Wednesday, May 23, 2018

ආදරණීය නපුරා - දොළොස්වන කොටස


සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි.

"අහ් පුතා" සජිනිගේ තාත්තා කතා කරේ හොදට හිනා වෙන ගමන්

"අම්මලා උදේම ඇවිත්.කිව්වෙත් නෑනේ.එන්න ඇතුලට" සහන් අම්මලට ඇතුලට එන්න ඉඩ දෙන ගමන් කිව්වා 

"කෝ අපේ කෙල්ල" සජිනිගේ අම්මා ඇහුවේ ඇතුලට යන ගමන් 

එතකොටම බැල්කනියේ කතාවක හිටපු සජිනි බැල්කනියෙන් එලියට ඔලුව දැම්මේ මේ කතා කරන්නේ කවුද බලන්න.අම්මලව දැකපු සජිනිගේ ඇස් ලොකු වුනා.ෆොන් එකට මොනවද මුමුණපු සජිනි අම්මා ලගට දුවගෙන ඇවිත් අම්මව බදාගත්තා.

"සුබම සුබ උපන්දිනයක් මගේ දුවට" සජිනිගේ තාත්තා තාමත් අම්මව බදාගෙන ඉන්න සජිනිගේ ඔලුව අතගාන ගමන් කියනකොට සහන්ගේ ඇස් දෙක ලොකු වුනා.

"අහ් එහෙනම් ඒකයි මේ උදේ ඉදන් තිබ්බ වෙනස.කිව්වෙවත් නෑනේ" සහන් තමන්ටම කියගත්තා.

"කෝ ඉතින් අඩන්න එපා."සජිනිගේ අම්මා සජිනිවත් අල්ලගෙනම පුටුවෙන් වාඩි වුනා.

"දැන් මොකටද මේ අඩන්නේ?" සජිනිගේ තාත්තත් ඇහුවේ සජිනිගේ ඔලුව අතගාන ගමන් 

"ඔයාලා මාව අමතකම කරලා..මට උදේ කතා කරෙත් නෑ.විශ් කරෙත් නෑ.හරි නරකයි ඔයාලා "සජිනි හොටු හූරන ගමන් කියනකොට මෙච්චර වෙලා මේක බලන් හිටපු සහන්ට හිනා ගියා.

"ඉතින් මේ අම්මට ඕනේ වුනානේ උපන්දිනේ දවසේ දුව බලන්න.නැත්තම් මෙහෙම එන්නෙත් නෑ පුතා.ඔයාලා මේක හරි නම් තනියම සමරන්න ඕනනේ.මේ පළවෙනි උපන්දිනේනේ බැන්දට පස්සේ" සජිනිගේ තාත්තා සහන් දිහා බලලා කියනකොට සහන්ගේ මූන මැලවුනා.

හරි ආදරෙන් පරිස්සමට අම්මලා තාත්තලා හදපු දුවට තමන් කියපු කරපුවා දන්නවා නම් මේ තාත්තා තමන් දිහා බලන එකක්වත් නෑ කියලා සහන්ට හිතුනා 

"අපි වැඩි වෙලා ඉන්නේ නෑ පුතා.ඉක්මනට යනවා.මගේ අක්කා බැදපු මහත්තයගේ අම්මට සනීප නෑ.මේ එහේ යන්නත් හිතාගෙන ආවේ"සජිනිගේ අම්මා කිව්වා 

"කවුද? චන්ද්‍රානි ආච්චිද? මොනවා වෙලාද?" මෙච්චර වෙලා අඩ අඩ හිටපු සජිනි දැන් තමයි කතා කරේ 

"ඔව්.කකුලේ අමාරුවක්ලූ.අපි ගියේ නෑනේ බලන්න.ඒකයි මේ යන්න ආවේ" 

"මාත් එනවා යන්න" සජිනි එක පාරටම කිව්වා 

"ඔයාට පිස්සුද දුව.එහෙම කොහොමද ඔයා යන්නේ.අද ඔයාගේ උපන්දිනේ.පුතා මොනවා හරි ප්ලෑන් කරලා ඇත්තේ" සජිනිගේ තාත්තා සහන් එක්ක හිනා වෙන ගමන් කිව්වා 

'අනේ මෙයා ප්ලෑන් කරන එවා.මගේ උපන්දිනේ කියලවත් දන්නේ නැතුව ඇති' සජිනි එහෙම හිතුවට ඒක කිව්වේ නෑ.

හැබැයි ඒ කතාවට නම් සහන් අවුල් වුනා.මේ උපන්දින කතාවක් ඇත්තටම සහන් දැනගෙන හිටියේ නෑ.දැනන් හිටියා නම් අඩු ගානේ උදේ විශ් කරන්නවත් තිබුනා කියලා සහන් කල්පනා කරා.ඒත් තාමත් පරක්කු නෑ කියලා හිතපු සහන් කතා කරා 

"අහ් ඔව් අපි රෑට කෑමට එලියට යන්න ඉන්නේ" සහන් එහෙම කිව්වම සජිනි සහන් දිහා බැලුවේ පුදුම වෙලා.

"අම්මේ.. මෙයා මාර නලුවෙක්නේ..හෝටලේ කාමරෙන් එලියට දාලා දොර වහපු මිනිහා කන්නම එක්කන් යාවි "සජිනි තමන්ටම කියාගත්තා 

"අම්මලා ඉන්නකෝ.මං බොන්න මොනවා හරි හදන්නම්"සජිනි එහෙම කියලා නැගිටලා ගියා.සජිනිගේ අම්මත් සජිනිගේ පස්සෙන් කුස්සියට ගියා.

"අපේ සජිනිගෙන් ප්‍රශ්නයක් නෑ නේද පුතා? ටිකක් හිතුවක්කාර වුනාට හිත හරි හොදයි අපේ කෙල්ලගේ.පුතා ටිකක් කියලා හදාගන්න හිතුවක්කාර වැඩ.එයා තනියෙන්නේ ගෙදර හිටියේ.ඉතින් මං වත් සජිනිගේ අම්මා වත් කවදාවත් එයාට බෑ කියලා නෑ.ඒ නිසයි ඒ ඔක්කොම.වැඩිය හිතට ගන්න එපා පුතා"සජිනිගේ තාත්තගේ ඒ වචන වලට සහන්ගේ හිතත් කඩන් වැටුනා.

මෙහෙම ටික වෙලාවක් කතා කර කර හිටපු සජිනිගේ අම්මයි තාත්තයි දවල්ට කාලා ගියේ සජිනිගේ කරදරේටමයි.සහන් නම් ඇත්තටම සජිනිගේ වෙනසින් පුදුම වෙලා හිටියේ.ගෙදර ඉන්නකොට සජිනි මෙච්චර හිනා වෙලා ඉන්නවා සහන් කවදාවත් දැකලා තිබ්බේ නෑ.සජිනි හිනා වෙනකොට ඇත්තටම ලස්සනයි කියලා සහන් හිතුවත් සහන් එක ඒ ඉක්මනටම අමතක කරලා දැම්මා.

අම්මලා ගියාට පස්සේ කාමරේ වැඩ වගයක් කර කර හිටපු සහන් එලියට ආවේ ටීවී බලන්න කියලා.ඒත් ඒ යන ගමන සහන් කුස්සියට එබුනේ කුස්සියෙන් ඇහුන සද්ද වගයක් නිසා.කුස්සියේ සජිනි හිටියේ හාල් වගයක් එලියට ගන්න ගමන්

"මේ මොකද කරන්නේ?" සහන්ගේ සද්දෙට සජිනි හැරිලා බැලුවා.

"හාල් ගන්නවා.රෑට උයන්න"සජිනි එහෙම කියලා ආයෙත් තමන් කර කර හිටපු එක කරන්න ගත්තා 

"ඒත් අපි රෑට කන්න යනවනේ " සහන් කිව්වේ පුදුම වෙලා වගේ 

ඒ සැරේ සජිනි හොදට බැලුවා සහන් දිහා.

"අපි කියන්නේ? කොහෙද යන්නේ?" 

"ඇයි මං උදේ කිව්වේ තාත්තලා ඇවිත් හිටපු වෙලාවේ " සහන් ඇහුවේ සජිනිට මේක අමතක වෙලාද කියලා හිතලා 

"අහ් ඒකද? මං දන්නවා ඔයා ඒක තාත්තලගේ හිත හැදෙන්න කිව්වේ කියලා.එහෙම ඕනේ නෑ සහන්" සජිනිගේ මේ කතාවට සහන් පුදුම වුනා.දැන් කොහොමද කියන්නේ නෑ යමු කියලා.එහෙම හිතලා ටීවී එක ලගට ගියපු සහන් ආපහු හැරිලා කුස්සිය ලගට ආවා 

"නෑ සජිනි මං ඇත්තටමයි කිව්වේ.ඔයාගේ උපන්දිනේනේ.අපි යමු එලියෙන් කමු." සහන්ගේ කතාවට සජිනි සහන් දිහා බලන් හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව 

"ඔයාට මොකද සහන් වෙලා තියෙන්නේ?" ඒ පාර නම් සහන්ටත් තරහ ගියා.

"ඔච්චරටම ඕනේ නැත්තම් නිකන් ඉන්න.උපන්දිනේ නිසා එලියට යන්න හැදුවේ.ඒකටත් රටේ නැති ඒවා අහනවා" 

ඒ පාර නම් සජිනිට තේරුනා සහන්ට ඇත්තටම තරහ ගිහින් කියලා.

"හරි හරි තරහ ගන්න දෙයක් කිව්වේ නෑනේ මං.යමු යමු.කීයටද යන්නේ?" 

"හ්ම්ම් 7ට විතර යමු.ලෑස්ති වෙන්න"

"හා.." එහෙම කියපු සජිනි කාමරේට ගියේ අදින්න ඇදුමක් බලන්න.සජිනි ඉස්සර ඉදන්ම ලස්සනට අදින්න කැමති කෙනෙක්.ඒ නිසාම සජිනි ලග ලොකු ඇදුම් එකතුවක් තිබුනා.හැබැයි මේ මොනා වුනත් ගොඩක් ගෑනු ලමයි වගේ සජිනි ලෑස්ති වෙන්න පැය ගානක් ගත්ත කෙනෙක් නෙවෙයි.මේ නිසාම හවස 6.30 වෙද්දිම සජිනි ලෑස්ති වෙලා බලන් හිටියේ සහන් ලෑස්ති වෙලා එනකම්.

කලු කලිසමට සුදු අත් දිග ශර්ට් එක වැලමිට ලගට නවල ඇදගෙන එලියට ආපු සහන් දැක්කේ ඒ වෙනකොටත් ලෑස්ති වෙලා හිටපු සජිනිව.සජිනිත් සහන්ටම ගැලපෙන්න සුදු කුර්තා විලාසිතාවේ ඇදුමක් ඇදලා ටීවී දාගෙන හිටියේ සහන් එනකම්.

"ලෑස්තිද?" සහන් ඇහුවේ විශ්වාස නැතුව 

"අහ් ඔව් යමුද?"

"යමු " 

එලියට ආපු දෙන්නා සහන්ගේ කාර් එකට නැග්ගේ එලියට යන්න.

කාර් එකේ යනගමන් සහන් රේඩියෝ එක දැම්මේ සජිනිගේ සද්දයක් නැති නිසා.ගෙදර කියලා  පුරුදු විදියටම සජිනිත් සිංදු කියන්න ගත්තේ රේඩියෝ එකේ තාලෙට.අමරදේව සර්ගේ නන්දාමාලීයගේ වගේම ඉරාජ්ගේ සිංදුත් තිබුන සහන්ගේ සිංදු එකතුවේ තියෙන හැම සිංදුවම කිසි ගානක් නැතුව මහ හයියෙන්  කෑගහ ගහ කියන එක සහන් අහන් හිටියේ හිනාව අමාරුවෙන් තද කරගෙන.සජිනි ගෙදරදි සිංදු කියනවා අහලා තිබ්බත් මේ විදියට කියනවා සහන් දැකලා තිබ්බේ නෑ.

සජිනිත්  ඔක්කොම අමතක කරලා නිදහසේ සිංදු කියන්නේ ගත්තේ හිතේ සන්තෝසෙටමයි.අද තමන්ගේ 24වෙනි උපන්දිනේ නිසා වගේම අම්මලා බලන්න ආපු නිසත් සජිනිගේ හිත සතුටෙන් පිරිලා තිබ්බේ.ඒ ඔක්කොමත් එක්ක සහන්ගේ වෙනස්වීම ගැන අමුතුම සැනසිල්ලක් සතුටක් සජිනිගේ හිතට දැනෙමින් තිබ්බා 


*******************************************************************************

ටිකක් පරක්කු වුනා ලමයි..එත් ඔන්න කොහොම හරි අද දවසෙ කොටස දැම්මා.

මොකද හිතන්නේ? සහන් වෙනස් වෙලාද? මොනවා වේවිද?

ඊලග ඉරිදා හම්බෙමුකෝ 😊😊









ගොලු හදවතේ සැබෑ දම්මි සමු ගෙන ගොසිනි ....



මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ දුටු පෝස්ටුවකින් හදවත සසල විය.එහි මාතෘකාව වූයේ "ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි." යන්නයි.

ඔව් සැබැවින්ම සිදු වී ඇත්තේ එයයි.ගොලු හදවත නවකතාවට පදනම් වූ දම්මි හෙවත් පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.

ගොලු හදවත නවකතාව කිසි දිනක මට තවත් එක් නවකතාවක් වුයේ නැත.එය මගේ ජිවිතයේ එක් කොටසක්  විය .පොත් පිස්සියක වූ මා අම්මාගේ පාසලේ පුස්තකාලයෙන් පොත් කියවීමට පටන් ගත්තේ ඉතා කුඩා කාලයේදීය.මොනවා කියවන්නට අවසර තිබ්බත් මට ප්‍රේම කතා කියවීමට අවසර තිබුනේ නැත.ඉතින් පුස්තකාලයේ මේසයක් මත අහම්බයෙන් දමා ගොස් තිබී අම්මාටත් පුස්තකාලයේ මිස්ටත් හොරෙන් මා කියවූ පලමු ප්‍රේම කතාව "ගොලු හදවතයි".


ඒ කතාව ඇත්තෙන්ම මා ගොලු කළේය.ප්‍රේමය කුමක්දැයි තේරුමක් නොදැන සිටි වයසකත් සුගත් සමග මා ද දුක් විමී.කදුලු සැලුවෙමි.ඒ දුක මට ද බරක් විය.දම්මි සුගත්ට කළ දේට දම්මිට වෛර කළෙමි.කිසි දිනෙක දම්මි කෙනෙක් නොවීමට අදිටන් කරගත්තෙමි.නමුත් කාලය ගෙවී යද්දී නැවත නැවතත් ඒ පොත කියවද්දි දම්මිව මට දැනෙන්නට පටන් ගත්තාය.දම්මිගේ ඒ වයසේදී මම දම්මි තරමටම දම්මිව තේරුම් ගතිමි.දම්මිට ආදරය කරන්නට ගතිමි.

මගේ දෛවය මහ පුදුමාකාරය.මේ තරමට දම්මිට ආදරය කළ මට ජිවිතයේ එක තැනකදී "දම්මි" ලෙසම නමක් ලැබුණි.එය කොහෙත්ම සැලසුම් කළ දෙයක් නොවිණි.කොහෙත්ම මගේ නමට සම්බන්ද නමක් වූයේද නැත.කෙසේ හෝ මා ද දම්මි විය.මෙහි තවත් පුදුමයක් වූයේ මගේ මවගේ සුරතල් නාමයද දම්මි වීමයි.පසු කලක දැනගත් ලෙස ඇයද ගොලු හදවතට අසීමිතව ආදරය කළ හෙයින් ඇගේ මිතුරියන් ඇයගේ නම කොට කර දම්මි ලෙස අමතා ඇත.

ඉතින් මේ තරමටම මගේ හදවතේ ජීවත් වූ දම්මිය අද සමුගෙන ගොසිනි...නමුත් ඇයගේ ගොලු හදවත කිසි දිනක අප අතහැර නොයනු ඇත.

ඉතින් දම්මි,

සැබෑ ජිවිතයේ පද්මා නාලිනි ගුණරත්න නම් වූ අපට අපේ සදා ආදරණීය දම්මිය  වූ ,
ඔබට නිවන් සුව !! 

***************************************************************************
මේ ඇය ගැන මා දුටු මුහුණු පොතේ පෝස්ටුවයි.

ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි.
කරුණාසේන ජයලත්ගේ ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූ අතර ජයලත් හා බෝල්ඩ්වින් යන දෙදෙනාම තම සිතෙහි වූ ප්‍රේමය කිසි දිනෙක දම්මිට ප්‍රකාශ කලේ නැත. දම්මි මේ දෙදෙනාටම ආදරණීය මිතුරන් ලෙස සැලකුවාය.
හදවතේ ගොඵ වු තම ආදරය පදනම් කර ගනිමින් ජයලත් ගොඵ හදවත ලිවීය. සැබැ කතාවේ සුගත් ජයලත් විය. ඔහු අද අප අතර නැත. නිහාල් පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ජිවිතයෙන් සමුගත් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. දම්මී පද්මා නාලනී ගුණරත්නය. ගොඵ හදවත නවකතාවේ දම්මි විවාහ වන්නේ නිහාල් සමගිනි. එහෙත් සැබෑ කතාවේ ජයලත්ට හෝ බෝල්ඩ්වින්ට පද්මා හා විවාහ විය නොහැකි විය.
මද කලක් රෝගාතුරව සිටි පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ 2018 මැයි මස 22නිදා රාත්‍රී 7.45 පමණ, කොල්ලුපිටියේ ඇගේ නිවසේදී ජිවිතයෙන් සමුගෙන තිබේ.
දේහය, හෙට 2018 මැයි 24වෙනිදා උදය වරුවෙ සිට බොරැල්ලේ ජයරත්න අවමංගල ශාලාවේ තබා ඉන්පසු මැයි 25 සිකුරාදා සවස 3.30ට ආදාහනය සඳහා බොරැල්ල කනත්තට ගෙන යනු ඇත.
ඇයට නිවන් සුව පතමු....
මේ ශෝකජනක පුවත අප වෙත ගෙන ආවේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ සොහොයුරියයි.

උපුටා ගැනීම Priyanjen Suresh De Silva මහතාගෙනි.

පද්මා නාලිනී ගුණරත්න - දම්මි

කරුණාසේන ජයලත් - සුගත්

ඩි. බී. කුරුප්පු - නිහාල්


Tuesday, May 22, 2018

සැලුන් අක්කලා



මා කොහෙත්ම සැලුන් රසිකාවියක් නොවෙමි.එසේ වීමට හේතු කීපයකි.ඒවායින් එකක් නම් මට ඕවාට යන්නට ඇති කම්මැලිකමයි.එක ගමනින් වැඩ දහයක් කරගැනීමට පිටත් වන මට සැලුන් යාම බොහෝවිට අතපසු වේ.මගේ යෙහෙළියන් කියන ලෙස නම් අතපසු වනවා නොව මා එය අතපසු කරමි.එක වැඩකට පමනක්  මුල සිට ඇද පැලද ගෙදරින් පිට වීම තරම් මට එපා කරන දෙයක් නොමැති නිසා සැලුන් යනවා කියා ගමනක් මට කොහෙත්ම නැත.දන්නා අදුරන අය බොහොමයක් එන  මගුල් ගෙදරක් ලග පාතක තිබුනොත්  පමණක්  කඩේ ගිහින් එන ගමන් ඇස් බැමි හදාගන්න යන්න හිතන මම ඒ යන්නේද  යන්නම ඕනේ යැයි සිතුනොත් පමණි.

නමුත් මූලිකම හේතුව වෙනත් එකකි .

මා සැලුන් යාමට අකමැති ප්‍රධානම හේතුව වන්නේ සැලුන් අක්කලාය.මොන සැලුන් එකට ගියත් සියලුම සැලුන් අක්කලා සිටින්නේ එකම මොඩල් එකකට ය.කියන්නේ එකම දේවල්‍ ය.කියන ආකාරයද බොහෝවිට එක සමාන වේ.සැලුන් ගිය විට අවසානයේ සිදු වන්නේ  අරන් ගිය තුට්ටු දෙකට තට්ටු වීම හා  හිත රිදවාගෙන ගෙදර ඒමට සිදු වීමයි.

මෙය ආරම්භ වන්නේ ඔවුන් අප දෙස හෙළන නිරීක්ෂණාත්මක බැල්මකිනි.ඉන්පසු කතාව ආරම්භ වේ...

"මිස්ගේ මූණ හරියට කලු වෙලානේ මිස්.සන්  ක්‍රීම්(sun cream) ගාන්නේ නැද්ද?.ෆේශල් එකක් කරා නම් හැබැයි ඕක ටක් ගාලා හරි යනවා.කරමුද? "

"මිස් කලින් කොහෙන්ද අයි බ්‍රෝස්(eye brows) හැදුවේ?මේ හරියට හදලා නෑනේ..එකක් ලොකුයි එකක් පොඩියි.ප්‍රශ්නයක් නෑ.මං දැන් හරියට හදන්නම්කෝ.අපෙන් දිගටම හැදුවා නම් මෙහෙම වෙන්නේ නෑ"

"මිස්  අපර් ලිප් (upper lip) එකත් ත්‍රෙඩින්ග්(threading)  කරමූ.මේ සෑහෙන ෆේශල් හෙයා(ර්) (facial hair) තියෙනවනේ.වැඩිය යන්නේ නෑ.වැඩිපුර 100ක් විතර යන්නේ"

"මිස්ගේ ඇස් යට හරියට කලු වෙලානේ.අලුතෙන් ආපු ක්‍රීම් එකක් තියෙනවා.සතියෙන් හරි යනවා.මිස්ට නිසා මං 600ට දෙන්නම්.පිටින් ගන්නවා නම් 1000ට වැඩියි."

"අහ් කොන්ඩෙ ලේයර් කරන්නද? හරි හරි මිස් බය වෙන්න එපා.ලස්සනට කපලා දෙන්නම්.නෑ නෑ මං එහෙම කොණ්ඩේ ගොඩක් කොට කරන්නේ නෑ.එත් ඉතින් කපනකොට ටිකක් කොට වෙනවා.මිස්ට තේරෙනවනේ ඉතින්" 

මේ කියන කොට කිරිල්ල ලේසි පහසු කොට කිරීමක් වන්නේ නැත.කොටින්ම මා අවසානයේ සැලුන් එකෙන් එලියට එන්නේ ජිවිතේට නැවත කොණ්ඩේ කපන්නේ නැත යන අධිශ්ඨානයෙනි.

ඒ විතරකින් මේ කතාව නිම වන්නේ නැත.සැලුන් අක්කලා කියන පරිදි මගේ මූණේ තරම් වලවල් ගොඩක් හදේ වත් නැත.මූනේ ඇති කලු පැල්ලම් යැවීම අපහසු මුත් ඇය ලබාදෙන නානාප්‍රකාර ක්‍රීම් බාවිතයෙන් එය ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකි වේ.ඒ කෙසේ වූවත් සමේ සහ කෙස් කළබේ ස්වබාවය ඉතා වියලි වන අතර ඇයගේ සැලුනයෙන් ස්කින් හා හෙයා(ර්) ට්‍රීට්මන්ට් කිරීමෙන් එය සුව කරගත හැකි වේ.ඇයට අනුව ඇයගේ සැලුනය වටපිටාවේ ඇති හොදම හා පිරිසිදුම සැලුනය වන අතර අනිකුත් බොහෝ සැලුනයන්හී වැඩ එච්චර හොද වන්නේ නැත.

මේ සියල්ල අවසන් වන්නේ සැලුන් අක්කා විසින් නියම කරන ලද ක්‍රීම් එකක් ගැනීමෙන් හෝ ඇය විසින් ඉතා හොද යැයි පවසන ලද ට්‍රීට්මන්ට් එකක් කරගැනීමෙනි.

සැලුන් අක්කලා ගැන කිසිම අවබෝදයක් නැති මුල් කාලයේ මා ද මෙවැනි ගොන් කම් කළ අතර දැන් නම් ඒවාගෙන් බේරෙන්නට මා ඇය යෝජනා කරන සියලුම ක්‍රීම් වර්ග සහ ට්‍රීට්මන්ට් වර්ග ප්‍රතික්ශේප කරන්නේ  ඉතා ප්‍රභල වාක්‍යයක් පවසිමිනි.ඒ නම්.

"මගේ මූන හරි සෙන්සිටිව් අක්කේ.මොනා ගෑවත් පිම්පල් දානවා.මේ ඩොක්ටර් කෙනෙක්ගේ ක්‍රීම් එකක් ගාලා මෙහෙම ඉන්නේ.වෙන මොනවත් කරන්න එපා කියලා තියෙන්නේ" 

මේ අක්කලා මොනා නැතත් දොස්තරලා කියන දේ පිළිගන්නා නිසා වැඩේ ශේප් වේ.

බොහොමයක් සැලුන් අක්කලා මේ ආකාරයේ වන නමුත්  අප ගැනත්  සිතන සැලුන් අක්කලාද ඉතා කළාතුරකින් සිටින බව ඉතා සන්තෝශයෙන් යුතුව  මතක් කරන අතර  ඒ විරල සැලුන් අක්කලාට මාගේ  ආදරය හා ගෞරවය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙය කියවූ ඔබ සැමට ස්තූතියි. 💓

ප.ළි. කෙසේ වූවත් උපතින් ලැබුණු මුහුණ හා කොණ්ඩය ඒ ලෙසම තබා ගැනීම කෝකටත් හොද බවද මතක් කරනු කැමැත්තෙමි.









Sunday, May 20, 2018

ආදරණීය නපුරා - එකොළොස්වන කොටස


සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.ඔලුව කැක්කුම නිසාම සජිනි හෙමීට ඇස් ඇරියා.ඇස් අරිනකොට සජිනි දැක්කේ එයාගේ ඇස් ලගටම පාත් වෙලා තියෙන ලොකූ ඇස් දෙකක්.

"ආ............ර්ග්....." සජිනි කෑගහගෙනම එයා දිහාට එබීගෙන හිටපු සහන්වත් තල්ලු කරලා   ඇද උඩ හිටගත්තා.

"මොන මගුලක්ද ඕයි කරන්නේ" සජිනිගේන් පයින් පාරක් කාලා ඇදෙන් බිමට වැටුනු සහන් ඇහුවේ නැගිටින්න හදන ගමන් 

"ඔයා...ඔයා  මොනවද මගේ මුණට එබීගෙන කරන්න හැදුවේ "  සජිනි සහන් දිහාට ඇගිල්ලකුත් දික් කරගෙන ඇහුවා.

"මං...මං..මං මේ නිකං මේ...." සහන්ට කියාගන්න බැරුව ගොත ගහන්න ගත්තා.ඇත්තටම සහන් හැදුවේ මේ සජිනිගේ උණ බලන්න.ඒත් ඒක සජිනිට කියන්න සහන් කැමති වුනේ නෑ.

"මොකද මං මං ගාන්නේ? අනික ඔයා මොනවද මෙතන කරන්නේ?"

"මෙතන නැත්තම් මං කොහෙද ඉන්නේ? සජිනි විකාර කරන්නේ නැතුව ඇදෙන් බහින්න" 

සජිනිට එතකොට තමයි තේරුණේ තමන් තවමත් ඉන්නේ ඇදේ හිටගෙන කියලා.සජිනි දඩ බඩ ගාලා ඇදෙන් වාඩි වුනා.ඒත් එක්කම තමයි සජිනිට තේරුනේ මේ ඉන්නෙ හෝටල් කාමරේ කියලා.ඊයේ වෙච්ච ඒවත් සජිනිට හෙමීට මතක් වෙන්න ගත්තා.සජිනි බලාගෙන ඉද්දිම සහන් සජිනිට කෝපි එකක් හදන්න ගත්තා.

"දැන්වත් මතකද වුනේ මොකක්ද කියලා"සහන් ඇහුවා 

"මං කොහොමද මෙහෙට ආවේ?" සජිනි ඇහුවේ ඇදෙන් බහින ගමන්

"ඉන්න ඔහොම.ඔයාට තාම සනීපයක් නෑ"

"මට ඇති අසනීපයක් නෑ.ලෙඩක් තිබ්බත් මට අනුන්ගේ කාමර වල බලෙන් ඉන්න ඕනේ නෑ" සජිනි එහෙම කියන ගමන් එයාගේ බෑග් එක ලගට ගියා.ඒත් තාමත් සජිනිගේ ඇගට අමාරුයි.ඒ නිසා සජිනි වැනෙන්න වගේ.

"මෙන්න මෙතනින් වාඩි වෙන්න"එහෙම කියපු සහන් සජිනිගේ අතින් අල්ලලා බලෙන්ම එතන පුටුවක වාඩි කෙරෙව්වා.

"ආ මේක බොන්නකෝ මුලින්" එහෙම කියපු සහන් කෝපි එකකුත් සජිනිගේ අතට දුන්නා.

"මට ඕනේ නෑ" එහෙම කියපු සජිනි එයාගේ ඇදුම් බෑග් එක අදින්න ගත්තා.

"කෝ මේකේ තිබ්බ මගේ තුවාය"සජිනි ඇහුවේ ඇදුම් බෑග් එකම අදින ගමන්

"ආ ඒක බාත් රූම් එකේ වෙන්න ඇති.ඊයේ එලියට ගත්ත ගමන්" 

"ඒ මොකටද ඒක එලියට ගත්තේ.මේ..මේ..මගේ ඇදුම්..මේවා නෙවෙයිනේ මං ඊයේ ඇදන් හිටියේ" සජිනි දැන් තමයි එයාගේ ඇදුම් වල වෙනසත් තේරුනේ.සහන් ඊයේ හොටෙල් එකේ වැඩ කරන කෙනෙක්ට කියලා සජිනිගේ ඇදුම් මාරු කෙරෙව්වේ ඒවා හොදටම තෙමිලා නිසයි.

"සහන් මට ඇත්ත කියන්න මං කොහොමද මෙහෙට ආවේ?මොකද  වුනේ ඊයේ රෑ" සජිනි ඇහුවේ වෙව්ලන ගමන්

"සජිනි,මේ ඔයා ආයෙත් වෙව්ලන්න අරගෙන.අපි ඇදට යමු" සහන් එහෙම කිව්වේ සජිනිගේ අතින් අල්ලගන්න ගමන් 

"අල්ලන්න එපා මාව" සජිනි සහන්ගේ අත ගසලා දැම්මා.පුටුවේ වාඩි වෙලා හිටියත් ඒ වෙනකොටත් සජිනි අමාරුවෙන් හිටියේ.

"ඔච්චර මුරණ්ඩු වෙන්න එපා.මං කියන එක අහලා ඇදට යමු" සහන්ට දැන් නම් සජිනිගේ මුරණ්ඩුකම් ඇති වෙලා හිටියේ.ඒත් මොනා වුනත් ලෙඩ වෙලානේ ඉන්නේ කියලයි සහන් හිතුවේ.

"මට බෑ..මොකක්ද වුනේ කියනකම් මං කොහේවත් යන්නේ නෑ.යනවා නම් යන්නේ කාමරෙන් එලියට" සජිනිට මේ සහන්ගේ කරුණාවන්තකම ගැන තිබ්බේ ලොකු සැකයක්.ඊයේ තමන්ව කාමරෙන් එලියට දාපු මිනිහා අද මේ මෙච්චර හොදට සලකන්නේ ඊයේ රෑ මොනවා හරි ලොකු දෙයක් වෙලා තියෙනවා කියලමයි සජිනිට ඉතුනේ.ඊටත් වඩා සජිනිට හිතාගන්න බෑ ඊයේ වැස්සට අහු වෙලා ඉදලා අද මෙහෙම සහන්ගේ කාමරේ ඉන්නේ කොහොමද කියලා.

"එහෙනම් යනවා යන්න එලියට.මේක මහ පුදුම මුරණ්ඩුකමක්නේ.මේ ගෑනුන්ට හොදක් කරන්නත් බෑනේ" සහන් අහ හයියෙන් කෑගැහුවා.

'ඔය තියෙන්නේ මෙයාගේ ඇත්ත සද්දේ' මෙහෙම හිතපු සජිනි එහෙම්ම පුටුවෙන් නැගිට්ටා.අමාරුවෙන් අඩියක් තියන්න හදනකොටම කකුල පැලළුනු සජිනි වැටෙන්න ගියා.එතනම හිටපු සහන් සජිනිව අල්ලගෙන එයාගේ අතට වාරු කරගත්තා.

"මට පුලුවන්" සජිනි කිව්වේ කෙදිරිල්ලක හඩකින්.

"ඔව් ඔව් පුලුවන් තමයි.දැන් පොඩ්ඩක් කට වහන් ඉන්නවකෝ" මෙහෙම කියපු සහන් සජිනිව උස්සලා ඇදෙන් තියලා සජිනිව හොදට පෙරෙව්වා.ඒ රස්නෙට සජිනි ආයෙත් නින්දට වැටුනා.

සජිනිට ආපහු ඇහැරෙනකොට සහන් හිටියේ සජිනි ලගම පුටුවක වාඩි වෙලා සජිනි දිහා බලාගෙන.සජිනි සහන් දිහා බලනකොටම සහන් කතා කරා.

"හෝව්..හෝව්.. ඔහොම්ම ඉන්න.කෑගහන්න එපා.මං විස්තරේ කියන්නම්" සහන් එහෙම කිව්වම සජිනි ඔලුව වැනුවා.

"ඊයේ ඔයා ඇවිදින්න ගිහින් රෑ වෙනකොටත් ආපු නැති නිසා අපි හොයන්න ගියා.ඔයාව හම්බුනේ බස් හෝල්ට් එකක ඉදලා.හොදටම තෙමිලා.අපි ඔයාව හෝටලේට ගෙනත් බෙහෙත් අරන් දුන්නා.ඔයාගේ ඇග තාම දුර්වලයි.ඊයේ උණ තිබ්බා" සහන් විස්තර කරා

"එතකොට මගේ ඇදුම්?" 

"හෝටලේ ගෑනු කෙනෙක්ට කියලා මාරු කෙරෙව්වේ.බය වෙන්න දෙයක් නෑ.මට කොහොමත් තමුසේ අල්ලන්න තරම් ආසාවක් නෑ" සහන් ඒ ටික කිව්වේ හරිම තදින්.අද උදේ ඉදන් සජිනිට හොදට සලකපු එක සජිනි වැරදියට තේරුම් ගන්න පුලුවන් කියලා සහන්ට හිතුනා.ඒකයි සහන් එහෙම කිව්වේ.

සජිනි සහන් දිහා බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ.සජිනිගේ කම්මුලක් දිගේ කදුලු බිංදුවක් ගලාගෙන ගියා.

ටිකක් වෙලා එහෙම්ම සජිනි දිහා බලන් හිටපු  නැගිටපු සහන් කෝපි එකක් හදලා සජිනිට ගෙනත් දුන්නා.

එකත් බීපු සජිනි ආයෙත් නිදාගත්තා.එදා දවල් වෙනකම්ම සජිනි ඇදේ හිටියේ.සහන්ට පහුවදා වැඩට යන්න තියෙන නිසා අමාරුවෙන් වුනත් දවල් දෙන්නා එක්ක ගෙදර ආවා.

නුවර එළියේ සිද්දියෙන් පස්සේ සහනුයි සජිනියි කතා කරන එක තවත් අඩු වුනා.ඇත්තටම සිද්ද වුනේ සජිනි සහන් එක්ක කතා කරන එක අඩු කරපු එක.තමන් ගැන මේ තරමටම අප්පිරියාවෙන් හිතන මනුස්සයෙක් එක්ක කතා කරන්න සජිනිට ඕනේ වුනේ නෑ.

හැබැයි සජිනි එහෙම හිතුවට සහන් සජිනි ගැන හිතන විදිය වෙනස් වෙලා තිබ්බේ මේ ගමනත් එක්ක.තමන් කියපු එක වචනයක් නිසා කේන්ති අරන් ගියේ මේ කෙල්ල මේ ගමන සැලසුම් කරලා කරා වෙන්න බෑ කියලා සහන්ට නිතරම හිතුනා.ඒක නිසාම සහන් සජිනිගේ හැසිරීම් ගැන වෙනදටත් වඩා සැලකිලිමත් වුනා.

ඔය විදියට සති දෙකක්ම ගෙවිලා ගියා.එක දවසක් සෙනසුරාදාවක  උදේ කෑම කද්දි  සහන්ට පෙනුනා සජිනිගේ වෙනසක් තියෙනවා කියලා.වෙනදා සහන් කෑම කනකම් කුස්සිය අස් කරන සජිනිට අද දුරකථන ඇමතුම් ගොඩයි කියලා සහන්ට තේරුනා.ෆෝන් එක රින්ග් වෙන සැරින් සැරේට සජිනි ඒකත් අරන් දිව්වේ බැල්කනියට.ඒ නිසා සහන්ට සජිනි කතා කරන දේවල් ඇහුනේ නෑ.ඒත් එක සැරයක් සජිනි බැල්කනියෙන් එලියට එනකොට සජිනිගේ ඇස් අඩලා වගේ රතු වෙලත් තිබුන නිසා සහන් මේ ගැන අහන්න හිතාගෙන කුස්සියට යන්න නැගිට්ටා.

එතකොටම  කවුරු හරි ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා..

ඊලග කොටසින් හමුවෙමු............

*********************************************************************************
ඔන්න ගෙනාවා 11 වෙනි කොටස.කවුද ඒ ආවේ කියලා ඊලග කොටසින් බලමුකෝ.

ඔන්න මේ ආරංචිය, හැමදාම වගේ
කෝ තාම දැම්මේ නැද්ද? කවද්ද දාන්නේ? ඉක්මනටම දාන්නකෝ කියන අයට වගේම ආදරණීය නපුරා ආදරෙන් කියවන හැමෝටමයි.

මීට පස්සේ හැමදාම සැරින් සැරේ ඇවිත් බලන්න දෙයක් නෑ.හැම බදාදා දවසකම යි හැම ඉරිදා දවසකමයි ආදරණීය නපුරා එක කොටසක් ඔයාලට බලන්න පුලුවන්.එතකොට සතියට කොටස් දෙකක් තියෙනවනේ.ඇතිනේ නේද?

ඉතින් ඒ ඊලග කොටස ඊලග බදාදාට ඇවිත් බලන්න පුලුවන් 

ඒ වගේම මේ ගැන ඔයාලගේ අදහස් මට කියන්නත්  අමතක කරන්න එපා 😊😊















Wednesday, May 16, 2018

ආදරණිය නපුරා - දහවන කොටස

හෝටලයෙන් එලියට ආපු සජිනි පාර දිගේ ඇවිත් කෙලින්ම ආවේ ප්‍රධාන පාරට.එතනින් හැරිච්ච සජිනි පාර දිගේ ඇවිදගෙන ගියේ පාරේ ලස්සනත් බල බල.


එක පැත්තකින් පයින් ගස් තියෙන කන්දකිනුත් අනිත් පැත්තෙන් තේ යායක් පේන බෑවුමකුත් තිබ්බ ඒ පාර හරිම ලස්සනයි.සජිනි ඒ පාර දිගේ දිගටම ගියා.ඒ යන පාරේ ලස්සන ෆොටෝ ගන්නත් සජිනි අමතක කරේ නෑ. ඔහොම යනකොට තමයි සජිනි දැක්කේ පයින් ගස් තියෙන පැත්තට යන්න තිබ්බ පොඩි පාරක්.සජිනි ඒ පාරෙන් හැරිලා ගියේ ඒ පැත්තෙත් ෆොටෝ ටිකක් ගන්න හිතාගෙන.

පයින් ගස් යාය ඉවර වෙලා සජිනි ආවේ එලිමහනකට.එතන පාර අයිනේ තිබ්බ පොඩි ගලක් උඩ වාඩි වුන සජිනි ගත්ත ෆොටෝ එක එක බලන්න ගත්තා.ෆොටෝ සිහියෙන් හිටපු සජිනි ගැස්සිලා ගියේ එක පාරටම ඇහුනු මහා අකුණු හඩකින්.එත් එක්කම මහා හුලගකුත් එක්කම වැස්සක්  කඩා වැටෙන්න ගත්තා.කුඩේ ඉහලගත්ත සජිනි ඉක්මනටම ආපහු යන්න පිටත් වුනා.සජිනිට එන්න පුලුවන් වුනේ ප්‍රධාන පාර වෙනකම් විතරයි.ඒ වෙනකම්ම පයින් ගස් යායක් මැදින් ආපු නිසා සජිනිට හුලග එච්චරටම දැනුනේ නෑ.එත් ප්‍රධාන පාරට ආපු ගමන්ම ඒ ආපු මහා හුලගට  සජිනිගේ කුඩේ ගහගෙන ගියා.ඒ වෙනකොට වටේම අන්දකාර වෙලා තිබ්බේ.සජිනි කරුවලේම වෙව්ල වෙව්ල පයින් ගහක් යටට දුවගෙන ගියා.සජිනි සාක්කුවෙන් ෆෝන් එක එලියට අරන් බැලුවත් ඒකෙ සිග්නල් තිබුනේ නෑ.ටික වෙලාවක් සජිනි එතනටම වෙලා බලාගෙන හිටියේ වැස්සේ කරුවලේ යන්න තැනක් කරන්න දෙයක් හිතාගන්න බැරුව. එක පාරටම  සජිනිට ඇහුනේ වාහන සද්දයක්.සජිනි වාහනේ එන පැත්තට දිව්වත් ඒ වාහනේ ඒ ආපු ඉක්මනින්ම වංගුවෙන් නොපෙනී ගියා.

ඒ වෙනකොට සජිනි හොදටම තෙමිලා හිටියේ.වැස්සත් ඒ වෙනකොට ටිකක් අඩු කරලා නිසා සජිනි තෙමීගෙනම වාහනේ ගිය පැත්තට යන්න ගත්තේ කරුවලේ යන්න පැත්තක්වත් හිතා ගන්න බැරි වුන නිසා.ටික දුරක් මෙහෙම ගියපු සජිනි දැක්කා පාර අයිනේ තිබුනු බස් හෝල්ට් එකක්.සජිනි එතනින් වාඩි වුනේ වැස්ස අඩු වුනාම පාර හොයාගන්න හිතාගෙන 

මේ අතරේ සහන් පාර දිගේ නුවර එලිය නගරයට  ආවේ සජිනි නගරයට එන්න ඇති කියලා හිතලා.මොනවා හරි ගන්න වුනත් පරිසරය බලන්න වුනත් ඕනෙ කෙනෙක් එන්නේ නුවර එලිය නගරයට නිසා.මේ වැස්ස නිසා පාරේ කවුරුවත්ම හිටියේ නෑ.කඩ වුනත් වහලා තිබ්බේ.නුවර එලිය නගරයම පාලුවට ගිහිල්ලයි තිබුනේ.මේ පලු නගරේ හැම පාරකම වගේ සහන් ගියේ සජිනි ඒ කොහේම හරි ඇති කියලා.

"මැඩම් මේ හරියට ඇවිත් නෑ වගේ සර්.අපි අනිත් පැත්තට ගිහින් බලමුද? "හෝටලේ ඉදන් සහන් එක්ක ආපු ගුණපාල කිව්වා

"අනිත් පැත්ත කියන්නේ?"

"හෝටලේ අනිත් පැත්ත සර්.සර්ලා කොලබ ඉදන් ආපු පැත්ත .ඒ පැත්ත හරි ලස්සනයි සර්.මැඩම් ඒ පැත්තට ගියාද දන්නේ නෑ"

"හරි එහෙනම් හරවගෙන යමු" සහන් කිව්වේ තොන්තුවාවෙන්.සජිනි කාමරයෙන් ගිය වෙලාවේ සොයා බැලුවා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා සහන්ගේ හිත සහන්ටම දොස් කියන්න අරන් තිබ්බේ.ඒත් තමන් කේන්තියෙන් හිටියේ කියලා නිදහසට කරුණු දෙන්නවත් සහන්ට පුලුවන් කමක් නෑ.

ආපහු හරවගෙන ආපු වාහනේ හෝටලේට හැරෙන පාරත් පහු කරගෙන ගියේ සහන්ලා නුවර එලියට ආපු පාර දිගේ.සහන් පාර දිහාම බලාගෙන ගියේ කොහෙන් හරි සජිනි මතු වෙයි කියලා.ඒත් සජිනිගේ සලකුණක්වත් තිබුනේ නෑ.

"අපි සර් දැන් හරවමු.මෙහෙම ගිහින් තේරුමක් නෑ.මැඩම් මෙච්චර දුර ආවා වෙන්න බෑ සර්"

"එහෙම කොහොමද? සජිනි නැතුව මං ආපහු යන්නේ නෑ"

"අපි පොලිසියට කියමුද සර්" 

"අහ් කියමු.මේවා අස්සේ මට ඒක අමතක වෙලා තිබ්බේ.යමු එහෙනම්" ඇත්තටම සජිනිව හොයාගන්න බැරුව සහන්ගේ ඔලුව අවුල් වෙලයි තිබ්බේ.මේ වෙනකොට සජිනි ගැන තරහක් සහන්ගේ හිතේ  තිබ්බේ නෑ.සහන් බය වෙලා හිටියේ සජිනිට කරදරයක් වෙලාද කියලා.

ආපහු හරවගෙන යනකොට සහන් දැක්කා බස් හෝල්ට් එකක දෙන්නෙක් අත දානවා වාහනේට.සජිනිව හොයාගන්න එක හදිස්සි වුනත් නවත්තන්නෙ නැතුව යන්න සහන්ට හිතුනේ නෑ.සහන් වාහනේ නවත්තලා වීදුරුව පහත් කරා.

"අනේ මහත්තයෝ මේ ගෑනු දැරිවියෙක් ඉන්නවා මෙතන.ටිකක් අසනීපෙන් ඉන්නේ.අපිව ගෙදරට දාන්න පුලුවන්ද?තව හෝල්ට් දෙකයි තියෙන්නේ" වීදුරුවෙන් ඔලුව දාපු වයසක පිරිමි කෙනෙක් කිව්වා.එතනම තව ගෑනු කෙනෙකුත් ඉදගෙන ඔලුව වැනුවා.

"කෝ ගෑනු ලමයා" සහන් ඇහුවේ ගෑනු ලමයෙක් පේන්න නැති නිසා"

"මේ මෙතන වාඩි වෙලා ඉන්නෙ මහත්තයෝ.කාගේ කවුද දන්නේ නෑ.අපි වැඩ ඉවර වෙලා යනකොට දැක්කේ.මෙතන දාලා යන්න බෑනේ මහත්තයෝ" 

ඒක ඇහුනු ගමන් සහන් වාහනෙන් බැස්සා නෙවෙයි පැන්නා.අඩියට දෙකට බස් හෝල්ට් එක ලගට ගිය සහන් දැක්කේ සජිනි එකේ මුල්ලක හේත්තු වෙලා ඉන්නවා.එයාව කාගෙ හරි රෙද්දකින් පොරවලා හිටියේ.සහන් සජිනි ලගට කිට්ටු වුනා. 

"සජිනි,සජිනි,ඇස් අරින්න.මං සහන්" සහන් කීප සැරයක්ම කිව්වත් සජිනි ඇස් ඇරියේ නෑ.

හැමෝම බලන් ඉන්දෙද්දි සහන් සජිව උස්සලා වාහනේ පිටිපස්සේ සීට් එකෙන් තිබ්බා.

"ඔයාලත් නගින්න.මං බස්සන්නම්"සහන් එහෙම කිව්වේ පුදුමෙන් බලන් හිටපු වයසක යුවලට 

එහෙම්ම වාහනේට නැග්ග සහන් වාහනේ අරන් ගියේ යන්න පුලුවන් උපරිම වේගෙන්.මේ වෙනකොට වැස්ස පායලා තිබ්බ එක සහන්ට ලේසි වුනා .ඒ අතරේ ගුනපාල වයසක ජෝඩුවට මේ විස්තරේ කිව්වා.එයාලවත් බස්සවපු සහන් කෙලින්ම ගියේ හෝටලේට.

කාර් එක පෝටිකෝවේ නවත්තපු සහන් සජිනිව අත් දෙකට උස්සලා ගත්තා.සජිනිව අත් දෙකට ගත්ත සහන් එහෙම්ම ගියේ කාමරේට.සජිනිව කාමරෙන් තියපු සහන් ආපහු පිළිගැනීමේ නිළදාරීය ඉන්න තැනට ගියා.

"දොස්තර කෙනෙක් ඉන්නවද මේ ලග"

"ඉන්නවා සර්.මං දැන් කතා කරා.එන්නම් කිව්වා" පිළිගැනීමේ නිළදාරිනිය වෛද්‍යවරයෙක්ට කතා කරේ සහන් සජිනිව අරගෙන එනකොටමයි.වැස්ස අඩු වෙලා නිසා ඒ වෛද්‍යවරයත් හරි ඉක්මනට ආවා.

සජිනිව බලපු ඩොක්ටර් සහන් දිහාට හැරුණා.

"තෙමිලා නිසයි මේ උණ අරන් තියෙන්නේ.උණටයි සිහිය නැත්තේ.මං ඉන්ජෙක්ශන් එකක් දුන්නා.උදේ වෙනකොට අඩු වේවි.උදේට රස්නෙට මොනවා හරි කන්න දෙන්න.එතකොට හරි යාවි.බය වෙන්න එපා"

"හරි ඩොක්ටර් තැන්ක් යූ ඩොක්ටර්"

සහන්ට සැනසිල්ලක් දැනුනේ ඩොක්ටර් එහෙම කිව්වට පස්සේ.සජිනිව හොදට පොරවපු සහන් බ්ලැන්කට් එකකුත් අරන් පුටුව උඩ වාඩි වුනා.

*********************************************************************************
ඔයාලා මොකද හිතන්නේ සහන් ඒ තරම්ම නරක නෑ නේද? සජිනි උදේ නැගිට්ටම මොනවා වේවිද? සහන් කියපුවට සජිනි මෙච්චර ඉක්මනට සමාව දේවිද?

බලමූ නේද? 

ඉක්මනටම ඊලග කොටස දාන්නම්.කතාව කියවන සහ කතාව කියවලා ඒ ගැන මට කියන ඔයාලා හැමෝටම ගොඩා...ක් ස්තූතියි 💟😘😘





Tuesday, May 15, 2018

මගේ දත් කතාව


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ගේ මෙන් මගෙත් දත් කතාව පටන් ගත්තේ මගේ දත් එන්නට පටන් ගත් දා පටන් ය.නමුත් එදා සිට අද දක්වාම මේ දත් සෙට් එක මට දී ඇති වද ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.

මේ දත් සෙට් එක මල කරදරයක් බව මට මුලින්ම වැටහුනේ අවුරුදු 6 දී මහියංගනයේදීය.තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර ගිය විටෙක දත් ප්‍රශ්නයක් මතු විය.එය කොහෙන් කොහොම මතු වුනා දැයි මට මතක නැත.කෙසේ වූවත් අවසානයේ සිදූ වූයේ මාව බලෙන්ම ඒ යාලු අන්කල්ගේ ගෙවල් ලග තිබු මහියංගනය රජයේ රෝහලේ දන්ත ඒකකයට රැගෙන යාමයි.මගේ බලවත් විරෝදය මැද මාව ඒ පුටුවට උස්සා දැමු අතර අන්කල් මගේ කකුල් දෙකෙන් අල්ලාගත් අතර තාත්තා මගේ අත් දෙක අල්ලාගෙන සිටියේය.කෙසේ හෝ මගේ කට ඇරවා බැලූ වෛද්‍යවරිය කිව්වේ මගේ යටි ඇන්දේ දතක් ගැලවීමට අවශ්‍ය බවයි.එසේ නොකලොත් ස්ථීර දත් එමට ඉඩ අඩු වී දත් ටික කැත විය හැකි බවයි.


ඔය මොනවා කිව්වත් මට නම් ඕවා අදාලම වුනේ නැත.මට ලස්සනක් වැඩක් වූයේ නැත.අවශ්‍ය වූයේ මේ මරාලයෙක් ගැලවීමය.කෙසේ හෝ එහෙට මෙහෙට ඇබරී මං ඒ පුටුවෙන් බිමට පැන ගතිමි.පැන දිව්වෙමි.අඩා අඩා රෝහල වටේම දිව්වෙමි.තාත්තාත් අන්කලුත් මා පසුපස නොයෙකුත් දේ කියමින් දිව ආවත් මං නම් නැවතුනේ නැත.මුලු රෝහලම මා දෙස බලාගෙන සිටියත් මට එයද ගානක් ගියේ නැත.මට අවශ්‍ය වූ එකම දේ මෙහෙන් පිට වී යාමයි.කෙසේ හෝ රෝහලේ ගෙට්ටුව සොයා ගත් මා ගෙට්ටුවෙන් එලියට ගොස් සිට ගතිමි.මා එලියේ බව දුටු තාත්තා මගේ ලගට පැමිණියේය.මා ආපසු මැරතන් තරගයකට සුදානම් වනු දුටු තාත්තා මහ හයියෙන් ,"නෑ නෑ ආපහු ගෙනියන් නෑ.අපි ගෙදර යමු" යැයි පැවසීය.

මා බලා සිටියේ අවිශ්වාසයෙනි.නමුත් තාත්තා පොරොන්දුව ඉශ්ට කළේය.එදා මා එක්කාගෙන ගෙදර  පැමිණි පසු නැවත, කිසිදාක මා එක්කාගෙන දන්ත සායන වලට ගියේ නැත.

ටික කලකින් ඒ දත ඉබේටම හැලී ගිය අතර මහියංගනයේ දොස්තරගේ කීම සත්‍ය කරමින් මගේ යටි දත් ඇන්දේ දත් මතු වූයේ යකා දත් හිටෙව්වාක් මෙනි.එයටම හරි යන්න මගේ උඩි ඇන්දේ හා දත් දෙකක්ද විය.මෙය ඒ කාලයේ මගේ මවට සෑහෙන ගැටලුවක් විය."අනේ මේ ලමයගේ දත් දෙකේ ලොකු " යැයි දවසට කීප වතාවක්ම පැවසීම මට මහත් කන්දොස්කිරියාවක් විය.කෙසේ වුවත් පිට කෙනෙකු මට එලෙස කීම අම්මා නොරිස්සු අතර මගේ දත් දෙක ගැන කතා කල ඇන්ටි කෙනෙකු මගේ අම්මාට කියා දත් ගලවා නොගෙන බේරුනේ අනුනමයෙනි.

මට නම් මේ කිසිම දෙයක් ගැන ගානක් වූයේ නැත.දත් අවශ්‍ය ආහාර සපා ගිලීමට බව අපට විද්‍යාව පාඩමේදී ඉගැන්වූ අතර මා එය හොදින් අවබෝද කරගෙන ඕනෑම ආහාරයක් හොදින් සපා ගිලීමට පුරුදු වී සිටියෙමි.මෙසේ හැම කෑමම සපා ගිලීම මට සාපයක් වන්නට වැඩි කාලයක් ගියේ නැත.හක්කේ දතක් නරක් වෙන්නට පටන් ගෙන තිබුණි.දත ගැලවීමට අවශ්‍ය නොවන බව කියූ දොස්තර එයට ස්නායු පීරවීමක් යෝජනා කළේය.වෙන විකල්පයක් නොවූ තැන මා එයට එකග විමී.මේ ස්නායු පිරවීමට වඩා දත ගලවා දැමුවේ නම් යෙහෙකීයැයි මට සිතුනේ පළමු දිනේදීමය.එය ඒතරම්ම වේදනාකාරී විය.කෙසේ හෝ මගේ දත් සෙට් එක එසේ නැවතුනේ නැත.මේ වනවිට දත් හතරක්ම පුරවා ඇත.


මෙසේ කාලය ගෙවී ගියේය.මා කැම්පස් ගියෙමි.ඒ ගොස් කලක් ගතවන විට මට පෙනී ගියේ අර මගේ හා දත් වලින් එකක් අනික උඩට නැග ඇති බවයි.ඒ වන විට දත් වලට කම්බි මල් දැමීම විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය විලාසිතාවක් වී තිබූ අතර පළමු වරට මටද මේ දත් ටික පේලියට හදා ගැනීමේ උවමනාව ඇති විය.ප්‍රදේශයේ ජනප්‍රිය දොස්තර මහතෙකු හමුවීමට ගිය පසු දැන ගැනීමට ලැබුනේ මහත් ශෝක ජනක ආරංචියකි.ඒ නම් මෙසේ මගේ හා දත් එකිනෙකා උඩ පැන ඇත්තේ මගේ අර යකා හිටවූ යටි ඇන්දේ දත් පේළිය නිසා බවයි.පොඩි කාලයේම මෙය හදාගත්තා නම් හරි යැයි දොස්තර දේශනා දීමට පටන් ගත් අතර තාත්තා මට රවමින් දොස්තරට මගේ කුඩා කල හපන්කම රස කරමින් කීවේය.කෙසේ හෝ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මගේ කටේ දත් 4ක් ගලවා කම්බි මල් දමා සෑදීමයි.

මේ වනවිට මේ කර්තව්‍යයට අවුරුදු 2කට වැඩිය.තාමත් මේ කම්බි මල් ගලවා නැත.මේ අවුරුදු දෙකට මේ කම්බි නිසා විදි දුක් ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.මුල් කාලයේ හරියට කෑමක් කෑවේ නැත.දැනුදු සමහර කෑම කන්නේ නැත.කම්බි ඇනී කට තුවාල වී ලේ ගැලීය.රෑ තිස්සේ වේදනාව දරාගත නොහැකි විය.දත් මැදීම ගැන කතා කර තේරුමක් නැත.කොච්චර මැද්දත් දොස්තරට ඒ මදිය.දත් වල කම්බි පෙන්නන්න යන හැමවෙලේම නොසෑහෙන්න බැනුම්‍ ය.ඒ සියල්ල ඉවසිය හැක.ඉවසියම නොහැක්කේ  මේ එක එකාගේ ප්‍රශ්නයි.

"කවද්ද ඕක ගලවන්නේ?"

"මොකටද අනේ ඕක දැම්මේ?"

"ඕක කනකොටවත් ගලවන්න බැරිද?"

"කීයක් ගියාද ඕකට?"

"අම්මෝ ඔච්චර කල් කොහොමද අනේ ඉන්නේ?'

"ඕක දාගෙන කසාදයක්වත් බදින්නේ කොහොමද"?

"දැන්වත් ඕක දොස්තරට කියලා ගලවගන්න.එපා වෙන්නේ නැද්ද?"

"කතා කරනකොට අමුතුයි ඔයා.කම්බි නිසා වචන පිට වෙන්නේ නෑ නේද?"

මේ යනාදී විවිධ ප්‍රශ්න වලට උත්තර දීම මට එපා වී ඇත.ඊට වඩා එපා වෙන්නේ තමුන් දන්නා ලෙස උපදෙස් දීමට පටන් ගැනීමය.උපදෙස් අසා සිටිම මේ කම්බි දාගෙන සිටිනවාට වඩා වේදනාකාරී වැඩකි.මේවා අසා එපා වී කම්බියක් දිවේ ඇනගෙන මැරෙන්න සිතුනු අවස්ථාද නැතුවා නොවේ.

මේ ඔක්කොම අස්සේ කාලයක් ගලවා දමන තල්ලකද දාන්නට සිදු විය.එය ඊට හපන්‍ ය.එය දමා ගත් විට කතා කරගැනීමටද අපහසුය.කට වසා ගැනීමටද නොහැක.මා දුටුවන් සිතන්නේ මා බුම්මාගෙන සිටින කිසිම සුහදශීලීත්වයක් නැති ලමයෙක් කියාය.මේ ඔක්කොමත් හරිය.ෆොටෝ එකකට දත් පෙන්නා හිනා වූ කාලයක් මතක නැත.මෙය නම් මහත් අපල කාලයකි.



මෙහි ඇති එකම හොදය වන්නේ දත් ටික ගානට ලස්සනට පේළියකට සෑදීමයි.කණ්නාඩියෙන් දත් දෙස බලන විට අර විදි වේදනාවන් අමතකව යයි.ලගදීම මේ කම්බි මල් ගලවා දමන බව දොස්තර කියා ඇත.ඒ දිනය වන තෙක් මා දින ගනිමි.හීන දකිමි.එය මගේ ජිවිතේ රන් අකුරින් ලියවෙන දිනයක් වනු ඇත.




Thursday, May 10, 2018

ආදරණීය නපුරා - නමවන කොටස




බෑග් එකත් අරන් එලියට ගියපු සජිනි කෙලින්ම ගියේ පිළිගැනීමේ නිළදාරිනිය ලගට.

"මට වෙනම කාමරයක් ගන්න පුලුවන්ද?"

"අනේ සොරි මිස්.කාමර සේරම ෆුල් නේ " පිළිගැනීමේ නිළදාරිනිය එහෙම කිව්වේ සජිනි දිහා කුතුහලෙන් බලන ගමන්.මේ ටිකකට කලින් තමන්ගේ සැමියා එක්ක ගිය ගැනු කෙනා කියලා එයාට මතකයි.

"ඒකත් එහෙමද? මේ ලගම තියෙන හෝටලේට ගොඩක් දුරයිද?" සජිනි ඇහුවා

"එහෙම ලොකු  දුරක් නම් නෑ.ඒ වුනාට ඒකෙත් කාමර නම් නැතුව ඇති.මේ සීසන් එකනෙ.කලින්ම බුක් කරනවා"

"ඒකට කමක් නෑ.මට කියන්න පුලුවන්ද මෙතනින් යන්නේ කොහොමද කියල?"

"එලියට කෙලින්ම ගියාම ත්‍රී වීල් තියෙනවා මිස්.ග්‍රීන් කැබේජ් හෝටලේ තමයි අපට ලගම"

"හරි බොහොම ස්තූතියි" එහෙම කියපු සජිනි යන්න හැරුනා.

"එක්ස්කියුස් මී මිස්,මිස් හොයන්නේ සින්ගල් රූම් එකක්ද? ඩබල් රූම් එකක්ද?" ඒ හෝටලේ මැනේජර් කියලා හිතන්න පුලුවන් විදියට ඇදගත්ත තලතුනා වයසේ පිරිමි කෙනෙක් සජිනි පිටිපස්සෙන් ඇවිත් කතා කරා

"අහ් සින්ගල් එකක්"

"සින්ගල් නම් නෑ මිස්.ඒත් අද අපේ ගෙස්ට්ලා දෙන්නෙක් යනවා කිව්වා.ඒක ඩබල් රූම් එකක්.හැබැයි එයාලා තාම ගිහින් නෑ.එයාලා ගියාම ඒක දෙන්න පුලුවන් "

"කීයටද එයාලා යනවා කිව්වේ?"

"හවස තමා මිස් යනවා කිව්වේ.එයාලා කැබ් එක බුක් කරේ හවස 4ට"

"ම්ම්ම් හරි එහෙනම් මං ඒක ගන්නම්" සජිනි කිව්වේ ටිකක් හිතලා.මේ සීසන් නිසා වෙන තැනක වුනත් කාමරයක්  හම්බෙන එක විශ්වාස නෑ.

"මිස් එහෙනම් ටිකක් මෙහෙන් ඉන්න.එයාලා ගියපු ගමන් අපි රූම් එක ඇරෙන්ජ් කරලා දෙන්නම්"

ඉතින් ඒ නිසා සජිනි හෝටලේ ලොබියේ වාඩි වුනා.ලොකු උස විදුරු වලින් සජිනිට කෙලින්ම පෙන්නේ ඈත කදු.ටිකක් වෙලා වීදුරු වලින් එලිය බලන් හිටපු සජිනි එයාගේ පොඩි හෑන්ඩ් බෑග් එකත් අරන් පිළිගැනීමේ නිළදාරිනිය ලගට ගියා.

"මගේ බෑග් ටිකක් බලාගන්න පුලුවන්ද? මං ටිකක් එලියට ගිහින් එන්නම්"

"හරි මිස්.අපට මිස්ගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද? අපි රූම් එක ඇරෙන්ජ් කරලා කෝල් එකක් දෙන්නම්"

"අහ් මගේ නම්බර් එක 077*******."

"හරි මිස්.අපි මිස්ට කතා කරන්නම්"

සජිනි එලියට බැස්සේ ලොකු සැනසිල්ලකින්.දැන් ඉතින් කරදරයක් නෑ.කාමරයක් තියෙනවා.අර නපුරගෙන් වදයකුත් නෑ.මට පාඩුවේ මේ ලස්සන බලන්න පුලුවන්.එහෙම හිත හිත සජිනි පාරේ ඇවිදගෙන ගියා.

*********************************************************************************

කාමරේ බැල්කනියේ බලන් හිටපු සහන්ට මතක් වුනේ නදිනි එක්ක නුවර එලියට ආපු ට්‍රිප් එක.නදිනිගේ ඔෆිස් එකේ යාලුවො සෙට් එකක් එක්ක තමයි ආවේ.එදා සුදු ඇදන් හිටපු නදිනි හරිම ලස්සනට හිටියා කියලා සහන්ට මතකයි.ඒකත් එක්ක සහන්ගේ හිත අතීතයට ඇදිලා ගියා.

"සහා...න්" දුවගෙන ආපු නදිනි සහන්ගේ අතේ එල්ලුනේ පොඩි ලමයෙක් වගේ.

"මොකද නදිනි.මං කොච්චර කියනවද පොඩි ලමයෙක් වගේ දුවන්න එපා කියලා" සහන් කිව්වේ තරවටුවක හඩින්

"නෑ නෑ මේ අහන්නකෝ අර අතන පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා.අම්මලා නෑ වගේ එයාලට"

"ඉතින් දැන් ඔයාට ඕනේ එයාලවත් ගෙදර ගෙනියන්නද? අර අරන් ගියපු සත්තු මදි වෙලාද ? "

"නෑ නෑ සහන්.මං හිතන්නේ මට මෙයාලව ගෙනියන්න බෑ.ළමයින්ව එහෙම නිකන් ගෙනියලා තියාගන්න තහනම් ලු නේ" නදිනි කිව්වේ බැරෑරුම් විදියට

"මොකක්? ඒ කියන්නේ එහෙම පුලුවන් වුනා නම් ඔයා ලමයින්වත් ගෙනියනවා කියලද?" සහන් ඇහුවේ පුදුම වෙලා

"ඉතින් එකේ තියෙන වැරැද්ද මොකක්ද? හා කියන්න බලන්න.පවුනේ මේ පොඩි අය.අනික මං කරන්නේ එයාලට සතුටෙන් ඉන්න පුලුවන් ගෙදරක් හොයලා දෙන එකනේ  "

"හරි හරි මගේ අම්මේ ඔයා හරී "සහන් එහෙම කිව්වේ  නදිනි  දිහාට ඔලුවත් නවලා

"මේ එහෙනම් යමුකෝ එහෙට"

"දැන් කිව්වේ එයාලව ගෙනියන්නේ නෑ කියලා ගෙදර.අනික අපි මේ ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ"

"අයියෝ....එයාලව එක්කගෙන යන්න නෙවෙයි කතා කරේ" නදිනි ඔලුවෙ අත ගහගත්තා

"එහෙනම්.." සහන්ට මේක තේරෙන් නෑ

"එයාල අර එහා පැත්තේ කඩේ දිහා බලන් ඉන්නේ.යමුකෝ.ගිහින් කන්න අරන් දෙමුකෝ"

"හා ඒකටද මේ..යමුකෝ යමුකෝ එහෙනම් "

එහෙම කියලා දෙන්නා එක්ක ගියේ බේකරියකට.එකේන් ඒ ලමයි දෙන්නට ඇති වෙන්න කෑම අරන් දිලා තමයි ආපහු ගියේ.

නදිනිගේ මේ වගේ වැඩ හරියට තිබුනා.වෙන කෙල්ලෝ ෆිල්ම් බලන්න යමු ශොපින්ග් යමු කියද්දි නදිනි කැමති වුනේ පන්සල් යන්න.අසරණ අයට උදව් කරන්නත් නදිනි හරිම කැමතියි.මේ වගේ දේවල් වලටමයි සහන් ගොඩක්ම නදිනිට ආදරේ කරේ.

සහන් මෙහෙම නදිනි ගැන හිත හිත ඉදලම සහන්ට එහෙම්ම නින්ද ගිහින් තිබුනා.සහන් ඇහැරුනේ දොරට ගහන සද්දෙකින්.සහන් ගිහින් දොර ඇරියා
එතන හිටියේ සජිනිට හම්බුන  පිළිගැනීමේ නිළදාරිනිය.

"සර්,මේ සර්ගේ වයිෆ් සර්ට කතා කරාද? අපි කතා කරාට ෆෝන් එක වැඩ නෑ" පිළිගැනීමේ නිළදාරිනිය කිව්වා.

"මගේ වයිෆ්? නෑ නෑ කතා කරේ නෑ .කෝ එයා  " සහන්ට සජිනිව මතක් වුනා.සජිනි ගිය වෙලාවේ තරහෙන් හිටපු නිසා සහන් හෙව්වෙ නෑ සජිනි ගැන.කොහොමත් වෙන කාමරත් නැති නිසා  සහන් හිතුවේ ටිකක් වෙලා ගිහින්  සජිනි ආපහු කාමරේට ඒවි කියලා.

"ඒක තමයි සර් අපිත් මේ බැලුවේ.දිපු නම්බර් එක වැඩ නෑනේ"සහන් වෙලාව බැලුවා.එතකොට හවස 6ටත් ලගයි.එලියේ ලොකු හුලගක සද්දෙකුත් ඇහෙනවා.

"දැන් එයා මෙහෙ නැද්ද?" සහන් ලොකු හුස්මක් අරන් ඇහුවා

"නෑ සර්.ටිකක් ඇවිදලා එන්නම් කියලා ගියා"

සහන් එහෙම්ම සජිනිගේ නම්බර් එකට කෝල් කරා.ඇත්ත තමයි වැඩ නෑ.එත් ඒක කලින් සැරේ වැඩ කරෙත් නෑනේ.සහන් ඒ ගෑනු ලමයා දිහා බැලුවා 

"ඔයාලට කොහෙන්ද එයාගේ නම්බර් එක"

"මැඩම්  තමයි දුන්නේ.රූම් එක ෆික්ස් කරලා කතා කරන්න කියලා"

"රූම් එක? " සහන්ගේ ඇස් උඩ ගියා

"ඔව් සර්.මැඩම් රූම් එකක් ඉල්ලුවා.ගෙස්ට්ලා දෙන්නෙක් 4ට යන නිසා ඒ රූම් එක ලෑස්ති කරලා කෝල් කරාම මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ.එලියේ හොදටම වැස්ස සර්.මේක කුණාටු තත්වයක් කියලා කියන්නෙත්.ඒකයි මේ සර්ට කතා කරේ"

"අහ් ..." සහන්ගේ ඔලුව රත් වුනා මේ කතාව අහලා.එතකොටම එලියේ අකුණක් පිපිරුවා.

මේ මෙච්චර අකුණු ගහන වෙලාවෙ සජිනි එලියේ කියලා හිතන්න සහන් කැමති වුනේ නෑ.

"මගේ වයිෆ් කියලා දැනන් හිටපු එකේ ඔයාලට තිබුනා එයාව ආපහු කාමරේට එවන්න.ඇයි එහෙම යන්න දුන්නේ?" සහන් ඇහුවේ කේන්තියෙන්.සහන් දැන් තමන් එක්කම තරහයි

"හනිමුන් ආපු මහත්වරු වයිෆ්ව කාමරෙන් එලියට දැම්මම කරන්න ඕනේ මොකක්ද කියලා මගේ ජොබ් එකට අදාලා නෑ සර් " එයා එහෙම කිව්වේ සහන්ටත් රවලා

ඒකට සහන්ට කියන්න දෙයක් තිබ්බේ නෑ.

"හරි මං දැන් යනවා හොයන්න.  බලන්න ඔයාලා ලග තියෙන්නේ මේ නම්බර් එකමද කියලා" එහෙම කියපු සහන් නම්බර් එක කියවන කොට ඒ  පිළිගැනීමේ නිළදාරිනිය ඒක එයා ලග තිබුනු නම්බර් එකත් එක්ක සංසන්දනය කරා.නම්බර් වල වැරැද්දක් තිබුනේ නෑ.එහෙනම් වැරැද්ද තියෙන්නේ සජිනිගේ.

"දිගටම මේ නම්බර් එකට ට්‍රයි කරන්න පුලුවන්ද?"

"හා සර්" එහෙම කියපු පිළිගැනීමේ නිළදාරිනිය ආපහු හැරුනා.

සහන් එහෙම්ම කාර් එකට නැග්ගේ සජිනි හොයන්න යන්න.එයා එක්ක හොටෙල් එකේ වැඩ කරන කෙනෙකුත් ආවේ සහන්ට මේ පැත්ත ගැන ලොකු අවබෝධයක් නැති නිසා.

සහන් වාහනේ හරි වේගයෙන් පැදෙව්වේ..ඒ මුලු වෙලාවෙම සහන් හිතින් කිව්වේ එකම එක දෙයයි

"අනේ සජිනි ඉන්න තැනකින් මට පේන්න එන්න.."

To be continued.....









Monday, May 7, 2018

ආදරණීය නපුරා - අටවන කොටස




"මොකක්ද ඔයා කිව්වේ?" සජිනිට විශ්වාස නෑ මේ ඇහුන එක හරිද කියලා 

"කිව්වේ තමුසේ මාව අල්ලගන්න යන්න තියෙන පහළම තැනටත් යන්න හදන්නේ කියලා" 

"මේ සහන් කට පරිස්සම් කරන් කතා කරන්න"

"ඇයි අහන් ඉන්න අමාරුයිද ඇත්ත කියනකොට.තමුසේ මේක හොදට මතක තියාගන්නවා" සහන් එහෙම කිය කියම  හෙමින් හෙමින් සජිනි දිහා බලාගෙනම සජිනිට ලං වුනා.සහන්ගේ ඇස් රතු වෙලා.තරහටම සහන්ට දත් මිටි කැවෙනවා.

සජිනිට අඩියක් විතර දුරින් නැවතුන සහන් සජිනිගේ මූණටම එබුනා.

"තමුසෙට කවදාවත්ම මාව හම්බෙන්නේ නෑ.මං ආදරේ නදිනිට.ඒක කවදාවත්ම වෙනසක් වෙන්නේ නෑ.අන්න ඒක හොදට ඔය ඔලුවට දාගන්නවා" සජිනිගේ ඔලුවට ඇගිල්ලෙනුත් ඇනලා කියපු සහන් එහෙම්ම හැරිලා කුස්සියෙන් එලියට ගියා.

සජිනිට දැනුනේ හරි අසරණකමක්.සහන් ඒ කියලා ගියේ මොනවද කියලා සජිනිට තේරෙන්නත් ටිකක් වෙලා ගියා .එයා බය වෙලා හිටියේ.පවුලේ එකම දරුවා විදියට හුරතල් වෙලා හැදුනු සජිනි කවදාවත් මෙහෙම කාගෙන්වත් බැනුම් අහලා තිබ්බේ නෑ.

ටිකක් වෙලා එහෙම්ම හිටපු සජිනි කාමරේට ගියා.ඇදෙන් වාඩි වුන සජිනිට ඉබේටම වගේ ඉකි ගැහුනා.සහන්ගෙන් මෙහෙම දරුණු ප්‍රකාශයක් සජිනි කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.සජිනි එහෙම්ම ඇද උඩට වැටුනා.

මේ අතරේ සහන් හිටියේ එයාගේ කාමරේ බැල්කනි එකේ  .ටයි එකත් බාගෙට ගලවගත්ත සහන් තාමත් කේන්තියෙන් පුපුරනවා.සජිනි අහිංසක තාලේට ඉදලා එයාගේ අම්මව රවට්ටගත්ත විදිය ගැන සහන්ට හරිම පුදුමයි.ඒ අතරේ සහන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.සහන්ට ඒවා ගැන සිහියක් නෑ.ඒත් කිහිප සැරයක් රින්ග් වෙනකොට සහන් ෆෝන් එක අතට ගත්තා.ඒ සහන්ගේ අම්මා.

"ඇයි" සහන් අම්මාගෙන් ඇහුවේ හලෝ කියන්නෙවත් නැතුව 

"මොකද මේ තරහ ගිහින්? හම්බුනාද මං එවපු තෑග්ග?" 

"මොකක්ද?" සහන් කතා කරන්නෙම හරහට 

"ඇයි දරුවෝ මං එව්වේ ඔයාලට හනිමුන් පැකේජ් එකක් නුවර එලියේ.හම්බුනේ නැද්ද?"

"හ්ම්ම් හම්බුනා" අම්මා මේ දේවල් දැනගන්නවට සහන් කැමති වුනේ නෑ.ඒකත් ඒ දෙන්නා කසාද බදිනකොටම කතා කරගත්ත දෙයක්.ඒ දෙන්නා අතර වෙන දේවල් ගෙවල් වලින් දැන ගන්න ඕනේ නෑ කියලා.

"සජිනිට කිව්වද?" 

එයාට මොනවා කියන්නද එයාට ඕනේ වෙලානේ මේ අම්මට කියලා මේක කරගන්න ඇත්තේ.එහෙම හිතුවට සහන් ඒක අම්මට කිව්වේ නෑ .

"තාම නෑ " සහන් කිව්වේ ඕනවට එපාවට 

"තාම කිව්වෙ නැද්ද? කියන්න එයාට."

"අම්මේ, මට මේ දවස් වල හරියට වැඩ.ඔහොම ගමන් යන්න වෙලාවක් නෑ"

"එහෙම කියලා කොහොමද? ඔයාගේ මුරණ්ඩුකමට වෙඩින්ග් එක ඉවර වුන ගමන් ඔහෙට ආවා.නෑ ගෙවල් වල ගියෙත් නෑ.දැන් මේකත් බෑ කියනවා" 

"බෑ නෙවෙයි අම්මේ,මේ වෙලාවේ අමාරුයි.ඕක කොයි වෙලාවේ බැරිද?"

"මේ පුතා,ඔයා දැන් බැදලා,මේක සෙල්ලමක් නෙවෙයි,ඒ දරුවගේ ජිවිතේ ඔයාට බත් තම්බ තම්බ ඉදලා ගෙවෙන්න බෑනේ" අම්මටත් දැන් සහන් එක්ක තරහයි.

"මං කිව්වද එයාට මට බත් තම්බන්න කියලා" සහන් මිමිණුවා.

"මොකක්ද කිව්වේ"

"නෑ නෑ මුකුත් නෑ"කොච්චර වුනත් සහන් අම්මට බයයි 

"මං ආය නොකිව්වා කියන්න එපා.මේ ගමන යන්නම ඕනේ.ඒ දරුවා ඉවසීමෙන් ඉන්න හොදට හැදිච්ච දරුවෙක් නිසා හොදයි.නැත්තම් මෙහෙම ඉවසගෙන ඉදිවීද ඔයාගේ මේ මුරණ්ඩුකම්.හෙට උදේම පිටත් වෙන්න.මං උදෙට කතා කරන්නම්" 

"හ්ම්ම්..."

"ඒ ගිහින් වත් ඒ දරුවට ආදරෙන් ඉන්න බලනවා"

"හ්ම්ම්.."

"හ්ම්ම් නෙවෙයි තේරුනාද"

"ඔව් ඔව් අම්මේ තේරුනා.මං තියන්නද? නාන්න ඕනේ."

"හරි පුතේ එහෙනම් සජිනිවත් මතක් කරා කියන්නකෝ.බුදුසරණයි "

"බුදුසරණයි" සහන් එහෙම කියලා කෝල් එක කට් කරා.

මේ ගැනී අපේ අම්මාව අල්ලගෙන තියෙන හැටි.හිතේ ඇති මාත් ඒ වගේ අල්ලගන්න පුලුවන් වේවි කියලා.සහන් කාමරේ පුරා එහේ මෙහේ ඇවිද්දේ හිතේ තරහටමයි.

ටිකකින් නාලා එලියට ආපු සහන් සජිනිව හෙව්වේ හෙට උදේම යනවා කියන්න.ඒත් සජිනි පේන්න කොහේවත් හිටියේ නෑ.සහන් හෙමීට සජිනිගේ කාමරේට ඔලුව දැම්මා.

අඩලා අඩලා හෙම්බත් වෙච්ච සජිනි කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන හිටියා.අඩපු නිසා සජිනිගේ මූණ රතු වෙලා.සහන් එහෙම්ම සජිනි දිහා ටික වෙලාවක් බලන් හිටියා.

'මේ මූණේ හැටියට හිතන්නවත් බෑ මෙච්චර කපටි කෙල්ලෙක් කියලා.අපේ අම්මා රැවටුනේ මේ අහිංසක මූණට වෙන්න ඇති.හැබැයි මාව නම් මේ ආත්මෙදි අල්ලගන්න වෙන්නේ නෑ' සහන් හිතුවේ සජිනි දිහා බලාගෙන

"ඒයි නැගිටිනවා" සහන්ගේ ඒ සද්දෙට බය වුන සජිනි එක පාරටම ඇදෙන් නැගිට්ටා.

"මගේ ඔලුවට ගින්දර දාලා තමුසේ මෙතන යස අගේට නිදි.ඔන්න තමුසෙගේ වැඩේ හරි.අපි හෙට උදේ යනවා.උදේ 8ට ලෑස්ති වෙනවා" සහන් එහෙම කියලා කාමරෙන් ගියා.

සහන් යන දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු සජිනි ඇදෙන් නැගිට්ටා.කුස්සියට ගියපු සජිනි කෑම හදලා එයා කාලා ඇදට ගියේ සහන්ටත් බෙදලා මේසෙන් තියලා.වෙනදා වගේ කන්න එන්න කියලා සජිනි සහන්ට කතා කරන්න ගියේ නෑ.ඒත් සජිනි දැනන් හිටියේ නෑ ඒ වෙනකොටත් සහන් කඩෙන් කෑම ගෙනත් කාලා හිටියේ කියලා.සහන් තීරණේ කරලා හිටියේ ආයෙත් සජිනිගෙන් කන්නේ නෑ කියලා.

පහුවදා උදේ නැගිටපු දෙන්නා ගමන පිටත් වුනේ සහන්ගේ කාර් එකේ.කාර් එකක් තිබ්බත් සහන් ඒක පාවිච්චි කරේ ගෙදර යන්න එන්නයි දුර ගමනකටයි විතරයි.එහෙට යනකම්ම දෙන්නගේ කිසිම කතාවක් තිබ්බේ නෑ.

නුවර කිට්ටු වෙනකොට සජිනි හරි ආසාවෙන් එලිය බලන් ඉන්න ගත්තා.සජිනි කාලෙකින් නුවර වත් නුවර එලියෙ වත් ගිහින් තිබුනේ නෑ.ඊයේ ඉදන් දුකින් හිටපු සජිනිට  පළවෙනි පාරට මේ ගමන ගැන සතුටක් දැනෙන්න ගත්තා.සහන්වයි එයා හිතන දේවලුයි අමතක කරලා මේ ගමන සතුටෙන් ගිහින් එන්න ඕනේ කියලයි සජිනි ඒ වෙලාවේ හිතාගත්තේ.

සජීනියි සහනුයි නුවර එලියේ  'White House' හොටෙල් එකට එනකොට දවල් කෑම වෙලාවත් පහු වෙලා.එන ගමන් මග හොටලේකින් කාපු නිසා දෙන්නට බඩගින්නක් තිබ්බෙත් නෑ.පිළිගැනීමේ නිළදාරිනිය ලගට ගියපු සහන් ඇහුවේ එයාට තව කාමරයක් ගන්න පුලුවන්ද කියලා.

"සොරි සර්,සීසන් එක නිසා කාමර සේරම බුක්" පිළිගැනීමේ නිළදාරිනිය හරිම ආචාරශීලී විදියට කිව්වා.

"එහෙනම් මේ කාමරේ බුක් කරලා තියෙන්නේ"

"මේක බුක් කරලා තියෙන්නෙ දැන් මාස 3කට කලින් සර්"

සහන්ට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ.එයාගේ බෑග් එකත් අරන් සහන් කාමරේට ගියා.සජිනිත් ඒ පස්සෙන් කාමරේට ගියා.කාමරේ ඇතුළට ගියපු සහන් එහෙම්ම ගියේ නාන කාමරේට.සහන් ආපහු එනකොට සජිනි හිටියේ වීදුරු වලින්ම හදලා තිබ්බ බිත්තිය ලගට වෙලා එලිය බලාගෙන.මේ වසන්ත කාලේ නිසා ඈත කදු හරි ලස්සනට පෙනුනා.සජිනි ඒ ලස්සනට වශී වෙලා වගේ බලන් හිටියේ.

සහන් ටිකක් වෙලා සජිනි දිහා බලන් හිටියා.

"තව හිනා වෙනවා තව හිනා වෙනවා.මගේ ජිවිතේ විනාශ කරලා තමුසේ තව හිනා වෙනවා" සහන් තරහෙන් කිව්වා.

"මොකක්ද?" සජිනි සහන්ගේ පැත්තට හැරුණා

"දැන් සතුටු ඇතිනේ තමුසෙට.හනිමුන් එක්කගෙන ආවා.දැන් වෙනම කාමරත් නෑ.ඒ නිසා කොහොමත් එක කාමරේනේ ඉන්නේ.එතකොට ලේසිනේ නේද ඕනේ දේවල් කරගන්න.එකක් මතක තියාගන්නවා.තමුසේ හිතන තරම් ඕවා ලේසි නෑ.මාත් එක්ක තමුසෙට හැරෙන්නවත් බෑ.අම්මා රැවටුනාට මං රැවටෙන්නේ නෑ"

"ඇති" සජිනි කෑගැහුවා 

"මේ හොදටම ඇති සහන්.ඔයා හිතන් ඉන්නේ මං කවුරු කියලද?මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා.මාත් ඔයාව කැමැත්තෙන් කසාද බැන්දේ නෑ.කැමැත්තෙන් ඔයා එක්ක අර ගෙදර ඉන්නේ නෑ.අනික මේ ඔයා හිතන්නේ ඔයා  කවුරු කියලද? ශාරුක් ඛාන්,වරුන් ධාවන් වගේ නලුවෙක් කියලද? මං මේ ඔයාව අල්ලගන්න දගලන්නේ.මට මේ ඔයාව අල්ලගන්න ඕනේ කමක් නෑ.ඔයා ඔයාට ඕනේ හැටියකට ඉන්න මෙහෙට වෙලා.මටත් කිසිම ආසාවක් නෑ මෙහෙම එක එක කතා අහ අහ මෙතනට වෙලා ඉන්න" 

එහෙම කියපු සජිනි එයාගේ බෑග් එකත් අරන් කාමරෙන් එලියට ඇවිත් දොරත්  වහලා දැම්මා.


To be continued.....

Sunday, May 6, 2018

කැම්පස් කෑම



අවුරුදු 4ක කැම්පස්  ජීවිතේ මා ලැබූ මාරම අත්දැකීම වන්නේ කැම්පස් කෑමයි. මේ කැම්පස් කෑම කැන්ටින් කෑම හා වෙනත් කෑම වර්ග ලෙස වෙන් කළ හැක.

කැන්ටින්  කෑමේ මිල හා රසය කැම්පස් එකෙන් කැම්පස් එකට, ෆැකල්ටියෙන් ෆැකල්ටියට ,කැන්ටිමෙන් කැන්ටිමට, පමණක් නොව පිගානෙන් පිගානටද,  වෙනස් විය හැක.නමුත් මේ සියලුම කැන්ටින්  කෑමේ පොදු ධර්මතාවයක් ඇත.

ඒ නම් ,
මේවා කිසිම එකක ලුණු කියා නාමයක් නැති වීමයි

මා මුලින්ම කැම්පස් කෑම රස බැලුවේ රැග් කාලයේ මෙස් කැන්ටින් එකේදීය.උදේ ආහාරය වූ එහි තිබුනේ බතුත් පරිප්පුත් සම්බෝලත් ය.බත් ඇට්ටකුණා වී තිබු අතර පරිප්පු වල ලුනු වත් මිරිස් වත් තිබුනේ නැත.එය වතුර දමා තම්බා තිබු බව මට  හොදටම විශ්වාසය.සම්බෝල සාදා තිබුනේ පොල් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිද්දෙනි.පොල් කිරි මිරිකා එන, අපේ ගෙවල් වල නම් විසි කරන හෝ පොළව මදින්නට ගන්නා පොල් කුඩු වලට මිරිස් කලවම් කර එය සාදා තිබුනි.එය උගුරෙන් පහළට දාගන්නට වින්දේ පුදුමාකාර දුකකි.මෙහි ප්‍රතිඵලය ලෙස පළවන මාසයේම බර කිලෝ දෙකක් අඩු විය.සතුටකට කියා තිබුනේ එච්චරය.

කෙසේ හෝ රැග් එකේ පිහිටෙන් මාස දෙකක් යන විට කැන්ටීන් කෑම අපට නතින්ග් විය.එසේ වූයේ අපේ ජේශ්ඨ උත්තමයෝ අපි විසින් මුදල් ගෙවා ගත් කෑම විසි කිරීමට එරෙහිව දැක්වූ බලවත් විරෝදයයි.එහි ප්‍රතිඵලය ලෙස කරපිංචා කොළ නටුත් සමගම ආහාරයට ගැනීමට සිදු විය.අවසානයේ මාස කීපයකින් පසු මේ  මුලු බත් පිගානම ගිල දැමීම අපට ඉතාමත්  සරල කාරණයක් විය.

එහිදී අප විසින් සිහි තබා ගත් කරුණු කාරණා රාශියකි.

1.මේවා ආහාරයට ගන්නේ බඩගින්න නැති වීමටත් ජීවත් වීමට අවශ්‍ය  මූලික අවශ්‍යතාවයක්  සපුරා ගැනීමටත් පමණී. රසයක් බලපොරොත්තු නොවන්න.

2.ගෙදර කෑමක  මෙන් බැදුම් වල ළූනු ද සම්බෝල වල දෙහිද පරිප්පු වල මිරිස්  ද නොසොයන්න.කැන්ටීමේ එවැනි ඒවා නැත.සිදු වන්නේ ඔබේ හිත රිදීම පමණි.

3.කෑම පිගාන ලබා ගැනීමේදී පිගානයේ රස්නය පිලිබද සැලකිලිමත් වෙන්න.අයිස් මෙන් සීතලක් දැනේ නම් ගද සුවද බැලුවාටත් කමක් නැත.

4.කෑම පාර්සලය ලෙස ගෙන  ගොස් කන්නේ නම් පාර්සල් කොට පැය භාගයක් තුළ අනුභවය කෝටටත් හොදය - රාත්‍රියට විශේශයි 

5.කැන්ටිමෙන් අලුතෙන් හදුන්වා දෙන ආහාර වෙන කෙනෙක් ආහාරයට ගෙන ගුණ අගුණ කියන තෙක් ඉවසා සිටින්න.

6.කෑම පිගාන ගත් පසු එක් එක් එලවලුව වෙන වෙනම නිරීක්ශනය කර රස බැලිය  යුතුය.මිලට ගැනීමට පෙර අදහස් විමසීම කෝකටත් හොදය.

7.සැකයක් දැනෙන ආහාර වහාම ආහාරයට ගැනීමෙන් වළකින්න 

මෙම කරුණු හිතේ තබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එසේ නොවීමෙන් ඔබේ සියුමැලි හිත මෙන්ම ගතද රෝගී විය හැකි බැවිනි.උදාහරණයක් ලෙස 7 වන කරුණ සිහි නොතබා ගැනීම නිසා මා රෝහල් ගත නොවී බේරුනේ පූරූවේ පිනකටය.රසයට ලොල් වී තැම්බූ   බිත්තරයක් කෑමේ ආනිසංසයෙන් සති දෙකක්ම නිදි නැතුව වැසිකිළියේ සිටි ආකාරය මතක තිබෙන තාක් කල් බිත්තර නොකෑමට මා මටම පොරොන්දු වී ඇත.

මීට අමතරව අපේ කැම්පස් එකට කෑම ගෙනදෙන අය විය.බත් අන්කල්, 60 අන්කල් වැනි නොයෙකුත් නම් ඔවුන්ට විය.ඔවුන් ට කෝල් කර කෑම ඕර්ඩර් කළ විට කෑම පාර්සල් කර අපේ නමත් උඩින් ගසාගෙන බත් කූඩයක්ද බයිසිකලේ එල්ලාගෙන කැම්පස් ගේට්ටුව හෝ බෝඩිම අසලට පැමිණ සිටී.බොහෝ විට අපේ  රාත්‍රී ආහාරය ගෙන එන්නේ ඔවුන් විසිනි.රෑ 7.30 පමණ වන විට බෝඩිමම බලා සිටින්නේ අන්කල්ගේ බයිසිකලයේ සීනුව වදින තුරුය.(අන්කල් යැයි රැවටී වෙන වෙන සීනු හඩ වලට රැවටී එලියට දුව ගිය අවස්ථාද නැතුවාම නොවේ 😉) . මෙසේ සිනූව ගසාගෙන  පැමිණ බෝඩිමේ නම උඩින් ගැසු  බත් පාර්සල් තොගයක් එලියට ගන්නා අන්කල් එකින් එක නම් කියමින් සල්ලි ගනිමින් කෑම බෙදා දෙයි.(එක වසරේ ළමුන් මිස් ලගට වී  පොත් ඉල්ලා ගැනීමට බලා සිටින ආකාරය මතක් කර ගත්තාට කමක් නැත).මේවා කැන්ටින් කෑමට වඩා සෑහෙන තරම් හොදය.එසේ වූවත්  බත්  ප්‍රමාණය මදි වීම,බත් තැම්බී නොතිබීම,අන්කල්ට බත් ඔර්ඩරය මිස් වීම වැනි සිද්දීන්ද මේ අතර සුබල විය.

මේ සියල්ල කරත් බත් ටික උගුරෙන් පහලට දාගැනීමටම නොහැකි නම් ඒ සදහා විකල්පය ලෙස සියලුම සරසවි සිසුන්ගේ ජාතික ආහාර භාවිතා විය.ඒ නම් මැගී,කොත්තූ මී හා ක්‍රීම් කැකර් බිස්කට් ය.මේවා කොහොමත් කාමරයේ නිතරම ගබඩා කර තිබුනේ හදිසියේ එලබෙන සාගත තත්වයන්ට ඔරොත්තු දෙනු පිණිසය.මීට අමතරව කැම්පස් අයගේ ජාතික රෝගය වන ගෑස් ඇති අය ලග  තවත් එක එක කෑම ජාතිද විවිද බෙහෙත් වර්ගද තිබුණි.

මේ මොනවා කතා කරත් කැම්පස් අපට තිබූ ලොකුම සහනය වූයේ මේ කන කෑමක් කන්නෙ තනියම නොවීමයි.ඒ සතුට අපට මේ මොන කෑමත් උගුරෙන් පහළට යවා ගැනීමට ලබා දුන්නේ ඉමහත් රුකුළකි.😀

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ වන විට  ගෙදර කොච්චර රස බොජුන් කෑවත් , ඒ කැම්පස්  කෑම කොච්චර අජූත වූවත්,තුනපහ ලුණු අඩුපාඩුවට  ඕපදූප දමා ගනිමින් ඒ කෑ කැම්පස් කෑම නැති අඩුව  මට සැරින් සැරේට  දැනී දැනී දැනෙන  බවය.😐😕

සැළකිය යුතුයි- මැගී හා කොත්තු මී සාදන ආකාරය ගෙදර සාදන ආකාරයට වඩා වෙනස් වේ.මේ ආකාරයේ මැගී ගෙදර සෑදූ ඒවාට වඩා රස කරමින් කෑමේ හැකියාව ඇත්තේද සරසවි සිසුන්ටම පමණි. 😏

ප.ලි. : කරපිංචා නටුද ඉතා ගුණදායකය. (ජේශ්ඨ උත්තමයන්ගේ හිත සුව පිණිස වේ. 😅)

Saturday, May 5, 2018

ආදරණීය නපුරා - හත්වන කොටස


දොර ඇරෙන සද්දෙට සහන් හැරිලා බැලුවා.

"අපෝ නෑ අනේ, එයා දැන්ම එන්නේ නෑ.ඔයා එන්නකෝ" ඒ සජිනිගේ සද්දේ..

සහන් එහෙම්ම පුටුවෙන් නැගිටින කොට සජිනි ගේ ඇතුලට ආවා.

"අහ් ඔයා ආවද?" සජිනිට හරිම පුදුමයි සහන් දැකලා.සහන් ඔලුව වැනුවා.

සජිනිට පිටිපස්සෙන් ආවේ තිලිනි.තිලිනි සහන් දිහා බලලා හිනා වුනාම සහන් අමාරුවෙන් හිනා වුනා.

"මේ එහා පැත්තේ ගෙදර අක්කා.අක්කේ මේ සහන්" සජිනි අදුන්වලා දුන්නා.

"මං මල්ලිව දන්නවා අනේ.මල්ලි මගේ මහත්තයා  දන්නවා ඇති.වරුණ,මගේ මහත්තයා"

"අහ් ඔව් මං දන්නවා.වාඩි වෙන්න "

"මෙන්න  අක්කේ"ඒ අස්සේ ගෙට ගියපු සජිනි මොකක්ද භාජනයක් ගෙනත් තිලිනිට දුන්නා.

"මං යනවා එහෙනම්.පස්සෙ එන්නම්කො මල්ලි" තිලිනි ගියාට පස්සේ සහන් එහෙම්ම පුටුවෙන් වාඩි වුනා.සජිනි කුස්සියට ගියා.

ටිකකින් සජිනි ආවේ දොඩම් බීම එකකුත් අරගෙන.ඒක සහන් ලග මේසෙන් තියලා සජිනි යන්න හැරුනේ තමන් ලග ඉන්නවට සහන් අකමැති නිසා.

"කොහෙද ගියෙ?" සහන්ගේ ප්‍රශ්නෙට සජිනි එහෙම්ම නැවතුනා.

"මොකක්ද?" සජිනිට හිතාගන්න බෑ මේක ඇහුවේ එයාගෙන්මද කියලත්.මේ සති දෙකටම සහන් කතා කරේ නෑනේ .

"මං ඇහුවෙ කොහෙද ගියේ කියලා"

"අහ් ඔයා ගොඩක් වෙලාද ඇවිත්? මං හිතුවෙ.."

"මං අහපුදේට උත්තර දෙනවා" සහන් කෙන්තියෙන්  කෑගහගෙනම නැගිට්ටා.

"මං..මං මේ තිලිනි අක්කගේ ගෙදරට ගියා" සජිනි බිම බලන් කියනකොට සහන් ආපහු වාඩි වුනා.

සජිනි බය වෙලා හිටියේ සහන්ගේ මේ අමුතු විපර්‍යාසෙට.එයා ගෙදර හිටියත් ගනන් ගන්නේ නැති සහන්ට මේකට මෙච්චර තරහ ගත්තේ මොකටද කියලා සජිනිට හිතා ගන්නත් බෑ.ඒත් දැන් සජිනි මොනවා හරි අහන්නත් බයයි.

"උදේ ඉදන්ම  එහෙද හිටියේ" සහන් හෙමීට ඇහුවා.

"ඔව්"

"ෆෝන් එකක් තියෙනවා නේද? කෝ ඒක?"

"අහ් ඒක කාමරේ" සජිනි එයාගේ කාමරේ දිහා බලන් ඇහුවා.

"ඒක කාමරේ තියලා ගියේ කාමරේ කතා කරන්න කෙනෙක් ඉන්නවද?"

"නෑ මේ එකේ බැට්‍රි තිබ්බේ නෑ.කතා කරන්න කෙනෙකුත් නෑනේ ඒකට"

"හ්ම්ම් " එහෙම කියපු සහන් මේසේ උඩ තිබුනු දොඩම් එකත් එක උගුරට බීලා කාමරේට යන්න නැගිට්ටා.

"ඒ නම්බර් එක සේව් කරගන්න.දවසෙම කොහේට හරි යනවා නම් මැසේජ් එකක් දාලා යන්න" එහෙම කියපු සහන් සජිනි දිහා බලන්නෙවත් නැතුව කාමරේට ගියා.

සහන් දිහා ටිකක් බලන් හිටපු සජිනි එහෙම්ම දිව්වේ කාමරේට.චාර්ජරේට ගහලා තිබ්බ ෆෝන් ඒක ඒකෙන් ගලවගත්ත සජිනි බැලුවේ එකේ තිබ්බ මිස් කෝල්ස් ගොඩ දිහා.මිස් කෝල් 26ක් තිබ්බා.එකේන් 25ක්ම සහන්.එකක් සහන්ගේ අම්මා.සහන්ගේ නම්බර් එක සේව් කරගත්ත සජිනි සහන්ගේ අම්මට කතා කරා.

දෙපාරක් රින්ග් වෙනකොටම අම්මා ආන්සර් කරා.

"අම්මේ " සහන් කොහොම වුනත් සජිනියි සහන්ගේ අම්මයි හරි එකතුයි.දවසට සැරයක් කතා කරනවමයි.හැබැයි සජිනි කවදාවත් මේ සහන්ගේ දේවල් සහන්ගේ අම්මට දැනගන්න තිබ්බේ නෑ.

"කොහෙද දුව හිටියේ?"

"මං අර තිලිනි අක්කලගේ ගෙදර ගියානේ.එයා අලුතෙන් කේක් එකක් හදනවා කිව්වා.ඉතින් මං උදව් කරන්න ගියා.ෆෝන් එක ගෙදර තිබුනේ "

"අපේ මිනිහා කතා කරේ නැද්ද?" සහන්ගේ අම්මා අහන්නේ සහන් ගැන

"කතා කරලා තිබ්බා.මං දැන් දැක්කේ?"

"දැන් කෝ?ගෙදර ඇවිත්ද?"

"ඔව් අම්මා අද ටිකක් කලින් ආවා"

"හරි දරුවෝ.මං මේ මොකක්ද හදිස්සිය බලන්න ගත්තේ.අපේ එකා අපට මුකුත්ම කියන්නේ නෑනේ.මං තියන්නම්.තාම  රෑට මුකුත් හැදුවෙත් නෑ."

"හරි අම්මේ "

"හොදයි දරුවෝ බුදු සරණයි"

"බුදු සරණයි අම්මේ"

දැන් සජිනි දන්නවා සහන් අම්මාගෙන් තමයි නම්බර් එක ඉල්ලගෙන කතා කරේ කියලා.ඒත් සජිනිට හිතා ගන්න බැරී හේතුව මොකක්ද කියලා.සහන් ඇදන් හිටියේ ගෙදරට අදින කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි නිසා සහන් අද ගොඩක් කලින් ඇවිත් කියලා නම් සජිනිට තේරුනා.ඒත් ඒ කෝල් කරේ තමන් නැති නිසා හොයන්නයි  කියලා හිතන්න සජිනිට හිතුනෙම නෑ.ඒ ඒක එහෙම වෙන්න ඉඩක් ඇත්තෙම නැති නිසා.

පහුගිය ටිකෙම සහන් සති අන්තයෙත් වැඩට ගිය නිසා සජිනි හිතුවේ මේ සතියෙත් එහෙමයි කියලා.ඒ නිසා සජිනි පුරුදු විදියට නැගිටලා සහන්ට ගෙනියන්නත් එක්ක කෑම හදන්න ගත්තා.එතකොටම සහන් කාමරෙන් එලියට ආවේ  ගෙදරට අදින කොට කලිසම පිටින්මයි.එහෙම්ම ටීවී එක ලගට ගියපු සහන් ටීවී දාගෙන බලන්න ගත්තා.

'අද යන්නේ නැද්ද දන්නේ නෑ' සජිනි හිතුවා..

"මං අද යන්නේ නෑ" සහන් එක පාරටම එහෙම කිව්වේ සජිනි හිතපු එක ඇහිලා වගේ.

සජිනි ඒකට උත්තර දෙන්න ගියේ නෑ.සහන් ඊයේ ඉදන් අමුතුයි වගේ කියලයි සජිනිට හිතුනේ.

සහන් වැඩට යන්නෙත් නැති නිසා සජිනි දෙන්නට උදේට කන්න ඉදි ආප්ප හැදුවා.උදේට කාලා සජිනි ගේ අස් කරනකම්ම සහන් කරේ ටීවී බලන එක.පස්සේ දවල්ට කලා සහන් ආයෙත් කාමරෙට ගියා.සහන් කාමරේට ගියාට පස්සේ සජිනි ෆිල්ම් එකක් දාගත්තා බලන්න කියලා.

ඒක තායි ෆිල්ම් එකක් First Love කියලා.ටිකකින් සහන් එයාගෙ ලැප් එකත් අරන් ඇවිත් මේසෙන් තියන් වාඩි වුනා.එයා ඉන්න තැනට එයාට සජිනිව කෙලින්ම පේනවා.

සජිනි සමහර වෙලාවට තනියෙන් හිනා වෙනවා.සමහර වෙලාවට ටීවී එක දිහාවටම එබිලා බලාගෙනම ඉන්නවා.සමහර වෙලාවට මූණ වහගෙන ඉන්නවා.එක සැරයක් සජිනි අඩ අඩ හිනා වෙන්නත් ගත්තා.එක  එක විකාර ගොඩයි.හරියට සජිනි ඒ ෆිල්ම් එකේ රගපානවා වගේ.

ටිකකින් සහන් ඉබේටම වගේ මේ සජිනි කරන ඒවා දිහා බලන් ඉන්න ගත්තා.ෆිල්ම් එක ඉවර වුනේ සජිනිවත් අඩවලා.මේ ඔක්කොම සහන් බලගෙන.

මේ ගෙදර හිටපු නිවාඩු දවස් දෙකේ සහන්ට තේරුනා සජිනි කියන්නේ එයා හිතුවට වඩා හරි වෙනස් කෙල්ලෙක් කියලා.ගෙදර හිටියා කියලා මහ ලොකු කතාවක් තිබ්බේ නෑ දෙන්නා අතරේ.ඒත් සහන් වෙනදා තරම්ම කාමරේ අස්සේ නොහිටපු එක සජිනිට ලොකුවට තේරුනා.

සදුදා උදේ සහන් වෙනදා වගේම ඔෆිස් ගියා.සජිනිත් උයලා ගේ අස් කරලා ටීවී එක දාගෙන ඉන්නකොට තමයි සහන් ගෙදර ආවේ.

සහන්ගේ මූණ දැක්ක ගමන් සජිනිට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා.සහන් එහෙම්ම ගියේ කාමරේට.සජිනිත් ටීවී එක ඔෆ් කරලා කුස්සියට ගියේ සහන්ට එයා හදලා තියපු ෆලූඩා එක දෙන්න.සහන් රස්නෙ දවසට හවසට බොන්න කැමති මොනවා හරි සීතල දෙයක් කියලා මේ ටික දවසට සජිනිට තේරිලා තිබ්බා.

එයා ෆලූඩා එක අරගෙන යන්න හදනකොටම දැක්කේ කුස්සිය ලගට වෙලා එයා  දිහා ඔරවගෙන බලාගෙන ඉන්න සහන්ව.

"තමුසේ හිතන්නේ මේවා කරාම මං කැමති වෙයි කියලද? " සහන්ගේ කෑගැහිල්ලට සජිනි ගැස්සිලා ගියා.

"හිතන්න එපා අපේ අම්මා අල්ල ගත්තා කියලා මාව ඒ වගේ රවට්ටගන්න පුලුවන් වෙයි කියලා" සහන්ගේ මුණ රතු වෙලා

"මොකක්ද මේ ඔයා කියන්නේ?" සජිනිට මේ මුකුත් හිතාගන්න බෑ.

"හා දැන් තමුසේ කියන්නේ මේ මුකුත් දන්නෙ නෑ කියලද?.නිකන් බබා වෙන්න එපා ඕයි" සහන් කෑගහන්කොට සජිනිටත් කේන්ති ගියා.

"මේ සහන් කරුණාකරලා කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා"

"වෙලා තියෙන්නෙද? වෙලා තියෙන්නෙ තමුසේ අපෙ අම්මා එක්ක එකතු වෙලා මෙතන මාත් එක්ක හනිමුන් යන්න ප්ලෑන් කරපු එක"

To be continued.....



Thursday, May 3, 2018

මා කැඩි බිදි ගොස් සිටියෙමි.........



මා කැඩි බිදී ගොස් සිටියෙමි.ප්‍රශ්න ගොඩක් මැද අන්ත අසරණව සිටියෙමි.මිනිස්සුන්ගේ කතාවන් අසා හෙම්බත් වී සිටියෙමි.මගේ මුලු අනාගතයම මා ඉදිරියේ බිද වැටී තිබුණි.කුඩා කළ සිට මැවූ සිහින සියල්ල සුනු විසුණු වී තිබුණි.මගේ ජීවිතේ වටිනාම වස්තූන් මට නැති වේ යැයි බියෙන් වෙව්ලමින් සිටියෙමි.

පවුලේ එකම දරුවා වූ මා හුරතල් කිරීමට මගේ දෙමාපියන්ට වෙලාවක් තිබුනේ නැත.පියා දුර බැහැරක තනියම ජීවත් වෙමින් පොඩි නිවාඩුවකටත් නිවසට දුව එමින්   රැකියාව කළ අතර මව කුඩා මමද, නිවසද බලාගෙන රැකියාවද කරමින් ජීවන අරගලය කරගෙන ගියාය.මේ නිසා මම කුඩා කළ සිටම තනියම හැදී වැඩුනු වගකීම් දැරිය දැකි දරුවෙකු විමී.ප්‍රශ්න මට අමුතු ඒවා වුයේ නැත.පවුලේ එකම දරුවා කියා මා මුළු ගැන්වුනු දරුවෙකුද වුයේ නැත.මා පිය දෙපාර්ශවයේම ජාන වල වූ මිත්‍රශීලීත්වය මා තුළද නොඅඩුව වූ නිසා මට මිතුරන් අඩුවක් වූයේද නැත.

නමුත් මෙවර මා කඩා වැටුනි.හිතේ ශක්තියද මිතුරු ආශ්‍රයද දෙමාපිය ආදරයද අදාළම වුයේ නැත.මගේ අනාගතය මට පීඩා දෙන්නට වූවාය.ඇති වූ තිබූ ප්‍රශ්න වලදි මට ගන්නට සිදූ තීරණ සමග මගේ අනාගතය වෙනස් විය.මගේ හීන නැති වී ගියේය.කුඩා කළ සිට මැවූ අනාගත බලපොරොත්තු සුනු විසුණු වී ගියේය.දින ගනනක් තනියම  හඩා අවසන් ව  ඒත් දරාගැනීමට අපහසුව නිවස මැද හඩා වැටුනු දිනය තවමත් මා මතකයේ ඇත.ඒ දෙස බලා සිටි අම්මාද අඩන්නට ගත් ආකාරය තවමත් මැවී පෙනේ.මාගේ මේ තත්වය ගැන කලබල වූ තාත්තා මගේ ඔලුව අත ගා  මට උපදේශන සේවාවකට යාමටද යෝජනා කළේය.ඒ ඔහුගේ ආදරයයි.

ඒ සියල්ල අද වෙනස් වී ඇත.මා අද හඩන්නේ නැත.මා අද සිනාසෙමි.සතුටින් සිටිමී.නමුත් ප්‍රශ්න නම් අවසන්ව නැත.එදාටත් වඩා දරුණුව අද මට ප්‍රශ්න දැනේ.මේ ප්‍රශ්න ඉවර වෙන දවසක් පේන මානයක නැත.අඩනවා නම් දවස් ගනන් සති ගනන් නොව මාස ගනන් අවුරුදු ගනන් හැඩීමට තරම් මට තවමත් ප්‍රශ්න ඇත.සිත් වේදනා ඇත.තවමත් සිත රිදවන කතා වලින් අඩුවක් නැත.නමුත් එයට කමක් නැත.දැන් ඒවා මගේ හිත රිද්දන්නේ නැත .මං අද සිනා සී සතුටින් සිටිමී.

චිත්‍රපට වල මෙන් මෙය එක දවසකින් සිදූ වූවක් නම් නොවේ.මා මෙසේ වෙනස් වෙන්නට ගත් දවසක්ද මගේ මතකයේ නැත.නමුත් මෙය සිදු වූයේ මා දුක් වීම නැවැත් වූ පසු බව නම් මට සක්සුදක් සේ විශ්වාසය.දුක් වී හඩා වැළපී මට ඇති වී තිබුණි.මා යථාර්ථය පිළිගැනීමට තීරණය කළෙමි.මගේ පරණ හීන වළලා දැමුවෙමි.මට තව ජිවිතේ බොහෝ දුරක් යාමට තිබෙන බව තීරණය කළෙමි.ඒ ජිවිතය සතුටින් ගත කිරීමට තීරණය කළෙමි.නැතිවූ බලාපොරොත්තු වෙනුවට අලුත්  අනාගතයක්  මමම හදාගැනීමට තීරණය කළෙමි.මිනිසුන්ගේ කතා හිතට ගැනීම නැවැත්විමි.හිතට දුක් දෙන මිනිසුන්ගෙන් ඇත් විමී.මිනිස්සුන්ට බලාපොරොත්තු දීමත් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු ගැනීමත් නැවැත්විමී.අනිත් මිනිස්සු ගැන කරදර වෙනවා වෙනුවට මා, මා පිළිබද සිතන්නට පටන් ගතිමි. මගේ ජිවිතය මා විසින්ම වෙනස්  කර ගතිමි.

සරලව කියන්නේ නම්,

මගේ ජීවිත සටහන මා විසින්ම ලිවීමට පටන් ගත්තෙමි.එහි දුක වේදනා හා ගැටලුද තිබෙනු ඇත.නමුත් ඒවා මගේ සතුටට බාධාවක් නොවෙනු ඇත.













Monday, April 30, 2018

කකුල් තියෙන අයට තේරෙන්නේ නෑ එයාලා කොච්චර වාසනාවන්තද කියලා


ඔන්න ඉතින් වෙසක් දවසේ හවස ලාවට නින්දක් දාන් ඉන්න වෙලාවේ  මට මගේ යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එනවා එයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා.මාත් ඉතින් හොයලා බැලුවා.ඉස්සර ඉදන්ම එක එක්කෙනගේ දුක්ගන්නාරාළ වෙලා මට මාර එක්ස්පීරීයන්ස් තියෙනවා ෆ්රෙන්ස් .ඒ එක්ස්පීරීයස් එකතු කරොත් මට ඒකට ක්ලාස් එකකුත් එක්ක ගෞරව උපාධියක් ගන්න පුලුවන්.😇

හරි දැන් ආපහු මුල් කතාවට ආවොත් ඔන්න මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා.ඉතින් මට කියපු විදියට  එයාගේ ප්‍රශ්නේ තමයි එයා යාලු වෙලා ඉන්න කොල්ලා දැන් වෙනස් වෙලා කියන එක.මෙයා කියන හැටියට එයාගෙන් තොර ලෝකයක් නැතිලු.ඒ කොල්ල නැති වුනොත් මගේ යාලුවා මැරෙනවලු.

බනින්න එපා ෆ්රෙන්ස් ඇත්තට නම් මට හිනා ගියා මැසේජ් කියවලා.😁මැසේජ් වලින් මූණ පෙන්නන ඔප්ශන් එකක් නැති එක වාසනාව.නැත්තම් මගේ හිනාව දැකලා මගේ යාලුවා ඒ වෙලාවෙම අභාවප්ප්‍රාප්ත වෙනවා.😏

කෝමහරි මං මගේ යාලුවගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා.ඔන්න යට තියෙනවා ප්‍රශ්න ටිකයි ඒවගේ උත්තර ටිකයි.මේ මගේ ෆේස්බුක් මිතුරියක් නිසා මේ වගේ ප්‍රශ්න අද්භූත  ගනයට දාන්න එපා පින්වතුනි.

1.ඔයාගේ ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි අයියයි මමයි නංගියි.
(සන්තෝසයි පින්වතුනි.මගේ තත්වෙට වඩා හොදයි.මට සහෝදරයෝ කියලා ඉන්නේත් මාවම කන්න ආපු යාලුවෝ විතරයිනේ)😐

2.අයියා මොකද කරන්නේ? අයියා ඉන්ජිනියර් කෙනෙක 😍බැදලා බබෙක් ඉන්නවා 😞නෑනා හරිම හොදයි.ටීචර් කෙනෙක් (ලස්සන පවුලක් නේද ෆ්රෙන්ස් )😘

3.නංගී? එයා කැම්පස්.මෙඩිකල් ෆැකල්ටි (අනේ..දොස්තර කෙනෙකුත් ඉන්නවා  )

4.ඔයා ජොබ් එකක් කරනවා නේද? ඔව් මං .........නනේ වැඩ කරන්නේ (බලන්න ෆ්රෙන්ස් මට රස්සාවකුත්  නෑ)😟

5.හොදයිද ජොබ් එක? සැලරි හොදයිනේ අනේ.ටිකක් දුර එක තමයි ප්‍රශ්නේ.මෙහෙ බ්‍රාන්ච් එකකට හදගන්න ඉන්නෙ ලබන අවුරුද්දේ වගේ.එතකොට ශේප් (ඉරිසියයි ෆ්රෙන්ස්)😐

6.දැන් ඔය කොල්ලා එක්ක යාලු වෙලා කොච්චර කල් ද? අවුරුදු 3යි 💛💕

7.දැන් ඇයි හිතෙන්නේ එයා වෙනස් වෙලා කියලා? දැන් දවස් ගානක්ම වැඩි කතාවක් නෑ අනේ 😒

මේ ඔක්කොම අහලා මට දුක හිතුනා ෆ්රෙන්ස්.එයා ගැන නෙවෙයි මං ගැන.බලන්න ඉතින් .හොද පවුලක්.සහෝදර සහෝදරියෝ පිරිලා.රස්සාවක් තියෙනවා.හොද ගානක් හම්බෙනවා.ඒ මදිවට ගෙවල් ලගට මාරු වෙන්නත් පුලුවන්ලූ.මට මේවා අහලා ඇඩුනා ෆ්රෙන්ස් 😭😭😭

මේකයි ඉතින්.love case අමතක කරොත් එයාට කොච්චර දේවල් තියෙනවද සතුටු වෙන්න.මං එයාට මුකුත්ම කිව්වේ නෑ.මේ පහළ තියෙන වීඩීයෝ එක යැව්වා බලපන් කියලා.

මේ මං කාලෙකට කලින් අහම්බෙන් හම්බ වෙලා බලපු දෙයක්.කවදාවත් මේක අමතක වෙන්නේ නෑ.

"කකුල් තියෙන අයට තේරෙන්නේ නෑ එයාලා කොච්චර වාසනාවන්තද කියලා"


Monday, April 16, 2018

බෝඩිමේ ළිද


මේක වුනේ මගේ පලවෙනි බෝඩිමේදි.මේ ගැන ඇත්තටම දන්නේ මායි අම්මායි විතරයි.කතාව කියන්න කලින් කියන්නම්කෝ බෝඩිමට ගියපු හැටි.

2013-04-17 කියන්නේ මට ගොඩාක් විශේශ දවසක්.සරසවිය සිහිනයක් පමණයි කියලා අතැරලා දාලා හිටපු කාලෙක එක පාරටම ලියුමක් එනවා ගෙදරට කැම්පස් සිලෙක්ට් කියලා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි.ලියුම එන්නම ඕනේ කැම්පස් සිලෙක්ට් ද දැනගන්න.  ඉතින්  ඒ අප්‍රේල් 17 ආපු ලියුමේ තිබුනේ අප්‍රේල් 22 කැම්පස් පටන් ගන්නවා.එදාට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියලා.දවස් 5යි තියෙන්නේ හැමදේටම.

එන්න කිව්වේ 22 වුනාට තාත්තා කිව්වා අපි හෙට යමු රෙජිස්ටර් වෙන්න කියලා.ඒ ගමන් බෝඩිමකුත් හොයාගන්නයි හිතාගත්තේ.මගේ තාත්තා ගැන කියන්නම්කෝ මුලින්ම.මගේ තාත්තා කියන හැටියට අපායට වුනත් යනව නම් කලින් යන්න ඕනේ.හිතන්නකෝ අපට උදේ 8ට යන්න ඕනේ කියලා තැනකට.තාත්තා මාව එතනට යවනවා 6.30ට.අන්න එහෙමයි අපේ තාත්තා.😎

ඉතින් තාත්තයි මායි 18 උදේම පිටත් වුනා කැම්පස් එකට යන්න.බස් 2ක ගිහින් උදේ 11 විතර වෙනකොට අපි කැම්පස් එකට ඇවිත් රෙජිස්ටර් වුනා.ඒ වෙලාවේ තමයි මට කැම්පස් එකේ පලවෙනි යාලුවා හම්බුනේ.ඒ යාලුවා පස්සේ කාලෙක මාලුවා වුනා .ඒක වෙනමම කතාවක්.

එයත් තාත්තා එක්ක ඇවිත් හිටියේ.ඉතින් තාත්තලා දෙන්නයි අපි දෙන්නයි පිටත් වුනා බෝඩිම් හොයන්න.එහේ තියෙනවා "කෝරළේවත්ත" කියලා පැත්තක්.එහේ තමයි කිව්වා බෝඩිම් තියෙන්නේ.ඔන්න ඉතින් හැමතැනම ඇවිදලා ඇවිදලා බෝඩිමක් හොයාගත්තා.ඒක වෙනම ගෙදරක්.2nd year අක්කලා දෙන්නෙකුත් හිටියා වෙනම කාමරේක.අපට හම්බුන කාමරේ ඇදන් 4ක් එකට අහුරලා තිබුනා.රෙදි වැටකුයි පොඩි රාක්කෙකුයි තිබ්බා.එච්චරයි.ඒක තමයි හොයාගන්න පුලුවන් වුන හොදම කාමරේ.ඉතින් හිතාගන්නකෝ අනිත් බෝඩිම්.අපේ අනිත් ඇදන් දෙකට කවුරුවත් ඇවිත් හිටියේ නෑ.ඔන්න ඉතින් බෝඩිමට සල්ලි දිලා අපි ගෙදර එන්න ආවා.

ඒ ඉතුරු දවස් 4 යුද්දයක් වගේ.මං කවදාවත් බෝඩිමක ඉදලා නෑ.ඉතින් ගෙනියන්න දේවල් ලිස්ට් කරලා කඩේ ගිහින් බඩු ගෙනැල්ලා ඒවා ඔක්කොම පැක් කරලා ඉවර වෙනකොට දවස් 4 නිකන්ම ගිහින්.වැඩ වැඩි නිසා බය වෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.අප්‍රේල් 21 හවස අපි බඩුත් අරන් බෝඩිමට යන්න පිටත් වුනාම තමයි මං බයේ ගැහෙන්න ගත්තේ.යන්නම බෑ වගේ මට.මං පවුලේ එකම ලමයා.ඉතින් අම්මලා නැතුව ඉදලම නෑ.බෝඩිමට ආවම අර මගේ යාලුව ඇවිල්ලත් නෑ ඒ වෙනකොට.මං හොදටම බය වෙලා.ඒත් එහෙම කෝමද බයයි කියලා පෙන්නන්නේ.මං ඉතින් ෆුල් ගැම්මෙන් හිටියා අම්මලා යනකම්ම.අම්මලා ඉතින් ඔක්කොම බඩු එහෙම ලැස්ති කරලා දීලා පිටත් වුනා විතරයි මං හිතේ බයටයි හිතේ දුක යන්නයි හොදටම ඇඩුවා.😓

අඩලා ඉවර වෙලා ඉතින් ඔන්න ළිද ලගට ගියා නාන්න කියලා.ඇතුලෙත් නාන කාමරයක් තිබ්බත් ඒ වෙනකොට ඒකේ දොර වහලා තිබ්බ නිසා තමයි ළිදට ගියේ.අහන්නත් බයයි නේ.ඇත්තම කියනවා නම් මං ළිදකින් වතුර ඇදලම නෑ ඒ වෙනකොට.ඒ වුනාට ඉතින් එහෙම කියලා බෑනේ.අනික කැම්පස් සිලෙක්ට් වෙච්ච මට වතුර එකක් ඇදගන්න බැරිද ළිදෙන්.හපෝ...එහෙම හිතුවත් ලැජ්ජයිනේ.(ඒ කාලේ ඉතින් කැම්පස් කියලා පොඩි උණක් තිබ්බා.ඒ උණ කැම්පස් පය ගහපු වෙලාවෙම නැති වුනා).😝

ඔන්න ඉතින් නාන්න ලැස්ති වෙලා බාල්දිය ලිදට දාලා වතුර එකක් ඇද්දා කියන්නකෝ.ඒත් මේක උඩට ගන්න බෑ බරයි.

සෑහෙන්න ට්‍රයි කරා.කොහෙද බෑ.

මේ සැරේ අදිනවාමයි කියලා හිතලා ඇද්දා උඩට.වතුර ටික උඩින් වීසී වුනා.ඒත් එක්කම ළිද ලග ලිස්සලා මං එතන පත බෑවුනා.

අම්මෝ.... ඇගේ ඇට  කැඩිලා වගේ රිදෙනවා..නැගිටගන්න බෑ.කදුලු බේරෙනවා.හිතේ අමාරුව වැඩියි ඇගේ අමාරුවට වඩා.ඒත් එහෙම කියලා ඉන්න බෑනේ.ගෙදර නෙවෙයිනේ.අමාරුවෙන් නැගිටගත්තා.😶

පොඩ්ඩක් හීරීලා මිසක් වෙන තුවාලයක් නම් නෑ.කොන්ද නම් කැඩිලා වගේ රිදෙනවා.දැන් ඉතින් නාන්න නම් බෑ.ඇග හෝදගෙන යනවා කියලා හිතලා බාල්දිය ගන්න බැලුවා.

දෙයියෝ සාක්කී... කෝ බාල්දිය 😨

හැමතැනම බැලුවා.කෝකටත් කියලා නිකමට වගේ ළිදට එබුනා.මෙන්න බොලේ බාල්දිය ළිදේ.

මේ කලබලේ අස්සේ බාල්දිය ළිදට වැටිලා.දැන් මොකෝ කරන්නේ.දැන් මට ඇගේ අමාරුවක් මතක නෑ.බයටම දාඩියත් දාලා මට.ගන්න විදියක් හිතාගන්නත් බෑ.හොද වැඩේ මටත් තනියෙන් පන්ඩිත වැඩ කරනවට.මට මාත් එක්කම තරහයි.

ඔන්න ඒ අස්සේ මට ගණ දෙවි නුවණ පහළ වුනා.ඒ වෙනකොට බෝඩිමේ අක්කලා ඇවිත් හිටියෙත් නෑ.බෝඩිමේ ඇන්ටි ඉන්නෙත් වෙනමනේ.ඉතින් මං මෙතනට නාන්න ආවා කියලා කවුරුවත් දන්නේ නෑ.පත්තරේ දාලා නාන්න යන්නේ නෑනේ.😏

ඉතින් මං ශේප් එකේ ඇදුම් ආපහු ඇදගෙන දුවලා දුවලා ගියා බෝඩිමේ කාමරේට.දැන් හරි.කවුරුවත් දන්නේ නෑ වෙච්ච දේ.මට හරි සතුටුයි මේකෙන් බේරුනු එකට.එහෙම්ම ඇදට වැටුනා මං.ඇදට වැටිලා විනාඩි දෙකක් ගියේ නෑ බෝඩිමේ ඇන්ටි කතා කරනවා එලියෙන්.

"දුව... "

මට දැන් බයේ බෑ.බාල්දිය ගැන අහන්න තමා මේ ඇවිත් ඉන්නේ කියලා මට හොදටම විශ්වාසයි.ඒත් එහෙම කියලා හැංගිලා ඉන්නත් බෑනේ.මං ගට් අරගෙන ගිහින් දොර ඇරියා.😐

"අහ් ඇයි ඇන්ටි" මගේ කටහඩත් වෙව්ලනවා.

"අනේ දුව මට බාත් රූම් එකේ දොර අරින්න බැරි වුනානේ.නිවාඩු කාලෙට අපි කාමර ලොක් කරනකොට ඒකත් ලොක් කරනවා" ඇන්ටි එහෙම කියාගෙනම ගිහින් ඇතුලේ නාන කාමරේ දොර ඇරියා.
මට ඒ වෙලාවේ ඇන්ටිව පෙනුනේ දෙයියෙක් වගේ.ඒත් ඉතින් ඇන්ටිට තිබ්බේ ඕක කලින් ඇරලා තියන්නනේ.එහෙම වුනා නම් මේ කිසි දෙයක් නෑනේ.😐😕

"ඔන්න දැන් දුවට නාගන්න පුලුවන්.කෑම අරන්ද දරුවෝ ආවේ රෑට"
ඇන්ටි ඉතින් කතාවක් පටන් ගන්න ලැස්තිය.දැන් මගේ හාර්ට් බීට් ඒක කූල් වේගෙන යනවා.මට දැන් ඕනේ ඇන්ටිව යවලා නාගෙන ඇදට වැටෙන්න.

හැබයි ඇන්ටි ගියේ තවත් පැය කාලක් විතර කියවලා.

ඇන්ටි ගියාට පස්සේ මං දෙයියනේ කියලා නාන කාමරෙන් නාගත්තා.නාගෙන ඇවිත් අම්මා දීපූ බාම් එකකුත් තැලිච්ච තැන් වලට ගාගත්තා.
ආපහු නම් මං ඒ බෝඩිමේ ළිදෙන් නාන්න තියා ඒ පැත්තෙන්වත් ගියේ නෑ.

ප.ලි. හැබැයි දැන් නම් මට ළිදෙන් වතුර ඇදන් නාන්න පුලුවන්.ඒක පුරුදු වුනේ වෙන බෝඩිමක ළිදකින් 😅😎




ආදරණීය නපුරා - දොළොස්වන කොටස

සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි. "අහ් පුතා&quo...