Monday, June 18, 2018

ආදරණීය නපුරා - විසි හතර වන කොටස


හවස් වෙනකොට විදූශත් සජිනිලගේ ගෙදරට ආවා.කට්ටියම කාලෙකින් එකතු වෙලා නිසා කතා කරන්න රස කතා ගොඩක් තිබ්බා.විදූශයි සහනුයිත් ගොඩක් දේවල් කතා කරා.සජිනිගේ පරණ කතා වගේම සජිනි ගැන විදූශගෙන් ගොඩක් දේවල් දැනගන්නත් සහන්ට පුලුවන් වුනා.ඒත් මේ දෙන්නා එකට එකතු වෙලා ඉන්න එකට සජිනිගේ නම් කැමැත්තක් තිබුනේ නෑ.

"මොනාද අම්මේ අර දෙන්නා අතන හොරෙන් කුටු කුටු ගාන්නේ" සජිනි අම්මා ලගට ඇවිත් කේලම කිව්වෙම හිතේ තරහට

"මොන දෙන්නද?"අම්මා අහන්නේ බත් එක බෙද බෙද 

"විදුයි සහනුයි අනේ"

"ඉතින් ගිහින් අහන්න එයාලගෙන්ම.මං කොහොමද දන්නේ?"

"විදූටත් මාව දැන් අමතක වෙලා" සජිනි බිම බලන් කියනකොට අම්මට හිනා ගියා 

"අනේ අනේ පිස්සි,මෙන්න මේ බත් එක ගිහින් තියලා එන්න" අම්මා කිව්වේ සජිනිගේ අතට බත් පිගාන දෙන ගමන් 

"ඒ ගමන් කට්ටියට කන්න එන්නත් කියන්න.මං පපඩම් ටික අරන් එන්නම්" අම්මා කිව්වේ බත් එක අරන් යන සජිනිට 

රෑ කෑම මේසෙත් හරිම විනෝදජනක වුනේ සජිනි ගැන සහන්ට කියන්න කට්ටියගේ තිබ්බ උනන්දුව නිසාමයි.

"පුතා දන්නේ නෑනේ මෙයා එක සැරයක් ඉටිපන්දම් හදන්න ඉටි උණු කරන්න ගිහින් ගෙදර පුටුවක වෙවැල් ඔක්කොම පිච්චුවා" සජිනිගේ තාත්තා කියන්නේ හිනා වෙවි 

"නෑ..." සහන් හිනා වෙනවා 

"අනේ නිකන් ඉන්නකෝ තාත්තේ එතකොට මං පොඩියිනේ" සජිනි තාත්තට රවනවා 

"ඒ විතරක් නෙවෙයි සහන් මෙයා එක සැරයක් කෝපි කියලා ගම්මිරිස් කුඩු දාලා අලුත්ම ජාතියක්  හැදුවනේ .පුදුමයි මේ උයනවා කිව්වම" විදූශත් කතාවට පෝර දානවා 

"අනේ මේ එදා කවුද දන්නේ නෑ ආ මෙන්න කෝපි කියලා බෝතලේ දුන්නේ" සජිනි විදූශ එක්කත් රන්ඩුව 

"ඉතින් කවුද දන්නේ ඔච්චරටම මෝඩයි කියලා.එතකොට මෙයාට 16ක් විතර වයසත් එක්ක.ඊයා ලැජ්ජයි සංජු" 

"අනේ නිකන් ඉන්නවා.මෝඩකම නෙවෙයි.මං ඔයාව විශ්වාස කරා වැඩි වුනා" සජිනි දැන් නිකන් අඩන්න වගේ කතා කරන්නේ.සහන් ඉස්සරහ මෙහෙම නෝන්ඩි වේවි කියලා සජිනි හීනෙන්වත් හිතුවේ නෑ 

'දැන් ඉතින් මේවා මතක තියාගෙන දවස ගානේ කියවාවි' සජිනි හිතුවේ එයා දිහා බලන් හිනා වෙවි ඉන්න සහන්ට රවන ගමන් 

'මෙයා මොකද මට රවන්නේ? යකො නිකන් මේවා මං කරා වගේනේ' සහනුත් හිතුවේ සජිනි රවනවා දැකලා 

"ඇති ඇති දැන් ඕක.පුතා තව බෙදාගෙන කන්න" සජිනිගේ තාත්තා රණ්ඩුව නැවැත්තුවත් සජිනියි සහන්ටයි විදූශටයි සැරින් සැරේ රවන ඔරවන එක නම් නැවැත්තුවේ නෑ.

විදූශ  ගියේ කෑම කාලත් ගොඩක් වෙලා කතා කර කර ඉදලයි.විදූශගේ අධ්‍යාපන වැඩ තාම ඉවර නැති වුනත් විදූශ අවුරුද්දක් ලංකාවේ ඉදලා යනවා කියපු නිසා සහන් පොරොන්දු වුනා එතකන් කරන්න විදූශට රැකියාවකුත් හොයල දෙන්නම් කියලා.

විදූශ ගියාට පස්සේ සහන් කලින්ම කාමරේට ගිහින් දත් මැදලා ඇදට නැගලා නිදාගන්න ලෑස්ති වුනා.දවල් වෙච්ච දේ නිසා සජිනිටත් ඉක්මනට කාමරේට එන්න ඕනේ වුනත් අම්මා සජිනිව කුස්සියේ නවත්ත ගත්තේ ටිකක් කතා කරන්න.

"සංජූ ඉන්න ටිකක්"

"ඇයි අම්මා"සජිනිට ඕනේ වුනේ පුලුවන් ඉක්මනට කාමරේට යාගන්න 

"ප්‍රශ්නයක් නෑ නේද පුතේ ඔයාට" අම්මා ඇහුවේ සජිනිගේ ඔලුවට අත තියලා 

"නෑ අම්මා" සජිනි කිව්වේ අම්මගේ ඇස් මග ඇරලා

"මට බොරු කියන්න ඕනේ නෑ පුතේ,මට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.මොකක්ද කියලා මං අහන්නේ නෑ.ඔයා කියන්නේත් නෑනේ"මේ කතාවට සජිනිගේ ඇස් වලින් කදුලක් වැටුනා.සජිනි එහෙම්ම අම්මව බදා ගත්තා 

"එක දෙයක් මතක තියාගන්න පුතේ,ඇස් වලින් දකිනකම් කන් දෙකෙන් අහනකම් කිසි දෙයක් විශ්වාස කරන්න එපා.ඒ කියන්නේ මේ අනිත් අය කියන දේ අවිශ්වාස කරන්න කියලා නෙවෙයි.ඒවා හොයලා බලන්න.ඒත් දකිනකම් අහනකම් විශ්වාස කරන්න එපා" අම්මා සජිනිගේ ඔලුව අත ගෑවා 

"තව දෙයක්,සහන් හරි හොද දරුවෙක්.ඔයා දන්නවනේ තාත්තා ලේසියෙන් කෙනෙක්ට හොදක් කියන්නේ නෑ කියලා.අද පන්සල් ගිහින් එනකම්ම කිව්වේ සහන්ගේ හොදමයි"

"එයා හොදයි තමයි අම්මේ" සජිනිත් අම්මට තුරුල් වෙලා මිමිණුවා 

'එත් ඔයාගේ දුවට ඒ හොද මහත්තයා ආදරේ නෑ අම්මේ' සජිනි හිතෙන් කිව්වේ අම්මගෙන් ඈත් වෙන ගමන් 

"මං අද අම්මා ලග නිදාගන්නද?"

"පිස්සුද පුතේ,අර දරුවා තනියෙන්නෙ.යන්න යන්න" සජිනිගේ අම්මා සජිනිව එලවගත්තා.සජිනිට සිද්ද වුනේ දැනටමත් සහන් නිදාගෙන ඉන්න කාමරේට යන්න.

දවල් නිදාගත්ත නිසා සහන්ට නිදිමතක් තිබ්බේ නෑ.ඒත් ඇදට වෙලා හිටියේ සජිනි ඒවි කියලා.සජිනි කාමරේට එද්දි සහන් හිටියේ ෆෝන් එක බල බල.සජිනි සහන් දිහා බලන්නෙවත් නැතුව ඇදුම් අරන් ගියේ වොශ් එකක් දාන්න කියලා.ඒත් ඒ ගියාමයි සජිනිට තේරුනේ එයා අරන් ආවේ තිබ්බ පරනම ඇදුමක් කියලා 

'අයියෝ මේකම උස්සන් ආවනේ මං' සජිනි හිතුවේ අතේ තිබ්බ ටී ශර්ට් එකේ ඉන්න ටෙඩි බෙයාර් දිහා බලාගෙන.ඒත් ඉතින් වෙන අදින්න එකක් නැති නිසා ඒකත් ඇදගෙන ඇවිත් කණ්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩේ පීරන්න ගත්තා.සජිනිට සහන්ව නොපෙනුනත් සහන්ට සජිනිව කණ්නාඩියෙන් සජිනිව පේනවා.මොකක්දෝ ක්‍රීම් එකක් ගගා ඉන්න සජිනි දිහා සහන් හොදට බලන් හිටියා.

'මෙයා වෙනදත් මෙච්චර ලස්සනයිද' සහන්ට හිතෙනවා 

'ඇගේ හැටියට නෙවෙයි කට'

'ඒ ටෙඩි බෙයාර් ලස්සනයි'

'ටෙඩි බෙයාර්ලා ඉන්න ඇදුම් අදින්නේ පොඩි එකෙක් කියලද දන්නේ නෑ හිතේ' සහන්ට සජිනි ගැන එක එක එවා හිතෙනවා.මේ අතරේ තමා සජිනි එක පාරටම සහන්ගේ පැත්ත හැරුනේ.ඒ ගමන්ම වගේ සහන් ආයෙත් ෆෝන් එක දිහා බලාගත්තා.

"හා යමු" සජිනි කිව්වා.සහන් ඔලුව උස්සලා සජිනි දිහා බැලුවා 

"කොහෙද"

"ඔයාට පුලුවන් විදූශගේ කාමරේ නිදාගන්න.මං ඒක ලෑස්ති කරා"

"ඒ මොකටද මං ඒකට යන්නේ?"

"නිකන් විහිලු කරන්න එපා සහන්,ඔයා මාත් එක්ක මෙතන ඉන්න කැමති නෑ කියලා මං දන්නවා"

"මටද ඔයාටද"

"මොකක්ද?"

"මෙතන ඉන්න බැරි? මාත් එක්ක එක කාමරේ හිටියොත් ඔයාට නිකන් ඔයාව කන්ට්‍රෝල් නෑ වගේද?" සහන් ඇහුවේ කට කොණෙන් හිනා වෙන ගමන්

"මොකක් කිව්වා?? අනේ ඔව් මෙයා හරි රාජ කුමාරයෙක් කියලනේ හිතන් ඉන්නේ,විකාර කරන්නෙ නැතුව යන්න" සජිනි කිව්වේ බොහොම ඉවසිමෙන් කියලා සහන්ට තෙරුනා 

"නෑ නෑ අපි කොහෙවත් යන්නේ නෑ.මේ ඔයාලගේ ගෙදර කියලා අමතකද? උදේට අම්මලා දැක්කොත් අපි දෙන්නා කාමර දෙකක ඉන්නවා ඔයා මොකද අම්මලට කියන්නේ?" සහන් ඇහුවේ තවත් හොදට ඇදේ හරි බරි ගැහෙන ගමන්.සහන්ගේ ඒ කතාවට සජිනි කල්පනාවකට වැටුනා.

"ඇත්ත මං කිව්වේ,ඔයා තීරනයක් ගන්න" සහන් ආයෙත් කිව්වේ සජිනිගේ මූන වෙනස් වෙන හැටි බල බල 

"හරි හරි එහෙනම් නිදාගමු.ඔයා බිමට යන්න.මං ඇදේ" එහෙම කියලා සජිනි ඇදේ අනිත් පැත්තෙන් වාඩි වුනා.

"ඒ මොන විහිලුවක්ද? මං මේ ගෙදර අමුත්තෙක්.අමුත්තන්ව බිම තියනවද?" එහෙම කියාගෙනම සහන් ඇදේ හොදට ඇලවුනා 

"හරි එහෙනම් මං බිමට යන්නම්කෝ"එහෙම කියලා සජිනි අල්මාරියෙන් බෙඩ්ශීට් එකක් ගත්තා

"අන්න හොද ලමයා..." සහන් කිව්වේ ඇදෙන් හොදට ඇලවෙන ගමන්.

ටිකකින් සජිනිට නින්ද ගියත් එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටපු සහන්ට නම් නින්ද ගියේ නෑ.මේ ලගදි ඉදන් සජිනි ලගදි මොනා වෙනවද කියන්න සහන්ට තේරෙන් නෑ.සජිනිට මොනවා හරි කියලා එයාව අවුස්සගන්න එක මාරම ජොලි කියලා සහන්ට හිතුනා.ඒත් මේ ඉන්නේ නම් තමන් බදිනකොට හිතාගෙන හිටපු සජිනි නෙවෙයි කියලා සහන්ට  දැන් තේරෙනවා.

සහන් ඇද පහල නිදාගෙන ඉන්න සජිනි දිහා බැලුවා.හද එලිය මූනට වැටිලා සජිනිගේ මූනම එලිය වෙලා.එක පාරට හිතට ආපු අදහසකට සහන් ඇදෙන් බැස්සා.සජිනි ඇහැරේවි කියලා හිතුනත් එයා ලගට ගියපු සහන් බොහොම පරිස්සමට සජිනිව අත දෙකෙන් උස්සලා ගත්තා.සජිනි කොහොමත් එච්චර බර කෙල්ලෙක් නෙවෙයි.සහන්ට ඒ නිසා සජිනිව උස්සන එක එච්චර දෙයක් වුනේ නෑ.

සජිනිව හෙමීට ඇදෙන් තියපු සහන් එතනින්ම ඇලවුනා.

*********************************************************************************

පරක්කු වුනාට බනින්න එපා ලමයි.කොහොම හරි ගෙනාවනේ.අද ඇත්තටම කතාව දාන්නේ නෑ කියලත් හිතුවා පරක්කු නිසා.එත් මැසේජ් එන තරම් දැකලා තමයි මේ කොහොම හරි ලියලා ගෙනාවේ.කතාව කෝ කියලා අහන ඒවට උත්තර දෙනවට වඩා ලේසි ලියන දාන එක 😅

එහෙනම් හෙට හම්බෙමු....

ආදරෙන් ඉන්න.....💖

Sunday, June 17, 2018

ආදරණීය නපුරා - විසි තුන් වන කොටස


සහනුයි සජිනියි සජිනිලගේ ගෙදර එනකොට දවල් 10ට විතර වුනා.සජිනිලා එන බව දන්න නිසාම සජිනිලගේ අම්මායි තාත්තයි උදේ ඉදන්ම මග බලාගෙනයි හිටියේ.

"තාත්තා....." කාර් එක හරියට නවත්තන්නත් කලින් එලියට බැස්ස සජිනි දුවලා ගියේ තාත්තා ලගට 

"හෙමින් හෙමින්...පොඩි ලමයෙක් වගේ මෙයා"සජිනිගේ තාත්තා කිව්වේ එයාව බදාගෙන ඉන්න සජිනිගේ ඔලුව අත්ගාන ගමන්.

"ඉතින් මං ඔයාට වඩා කොහොමත් පොඩියිනේ තාත්තේ..කෝ අම්මා" 

"අන්න කුස්සියේ උයනවා.උදේ ඉදන්ම බලාගෙනයි හිටියේ"

"ඔය ඉතින් හෙමින් යන්න ලමයෝ..අම්මා කොහේවත් යන්නේ නෑ" සජිනිගේ තාත්තා කෑගැහුවේ දිග ගවුමත් උස්සගෙන පඩිපෙල නගින සජිනිට.

දෙන්නගෙම බෑග් දෙකත් අරන් සහන් එතනට ආවේ ඒ වෙලාවේ 

"මේ පුතාවත් අමතක කරලා දාලනේ මේ කෙල්ල  දිව්වේ.කෝ දෙන්න මං එකක් ගන්නම්" සජිනිගේ තාත්තා සහන්ගේ අතේ තිබ්බ බෑග් එකක් ගන්න හැදුවා 

"නෑ නෑ මට පුලුවන් තාත්තේ"

"අද කාලේ කොල්ලෝ ඉතින් අපට වඩා හයියයිනේ.එහෙනම් එන්නකෝ අරගෙන.කාමරෙන් තියලා ඇග ටිකක් හෝදගන්න"

එහෙම කියපු සජිනිගේ තාත්තා සහන්ව එක්කගෙන ගියේ සජිනිගේ කාමරේට.

"මේක තමයි අපේ දෝණියැන්දගේ කාමරේ.අපි කිසි දෙයක් වෙනස් කරේ නෑ.බඩුවක් වෙනස් කරොත් නහින්න හදනවනේ මේ කෙල්ල"සජිනිගේ තාත්තා කිව්වේ සජිනිගේ මේසේ ලගට යන ගමන්.සජිනිගේ මේසේ උඩ එක එක බඩු පිරිලා.සහන් බෑග් දෙක තියලා බැලුවේ සජිනිගේ ඇදෙන් වාඩි වුනා 

මේ එහා පැත්තේ තියෙන්නේ බාත් රූම් එක පුතා.වොශ් එකක් එහෙම දාගෙන එන්නකෝ එහෙනම්.මහන්සිත් ඇතිනේ" එහෙම කියලා සජිනිගේ තාත්තා එළියට ගියේ සහන්ට කාමරේ හොදට බලන්න දීලා 

සජිනිගේ කාමරේ නිකන් කාර්නිවල් එකක් වගේ කියලා සහන්ට හිතුනා.බිත්ති වල ලස්සන පින්තූර එල්ලලා ඇදට උඩින් සජිනිගේ එක එක ෆොටෝ තියලා අල්මාරියේ පවා ස්ටිකර් අලවලා.වටේම බලපු සහන් ඊලගට ගියේ ජනේලේ ලගම තියලා තිබ්බ සජිනිගේ මේසේ ලගට.මේසේ උඩ සජිනිගේ පොත් වගයක් තියලා තිබුනේ තව පොඩි පොඩි බඩු ගොඩකුත් එක්කමයි.ඒ ලගම තිබ්බ රාක්කේ තිබුනේ ඩීවීඩි ගොඩකුයි නවකතා පොත් ගොඩකුයි.ඒවා බලන සහන්ට ඉබේටම හිනා ගියා.

ඒ පොත් ඔක්කොම වගේ බොලද ආදර කතා.ඒ තිබ්බ ඩිවිඩි පවා එහෙමයි.මේවා බල බල හිටපු සහන්ට මතක් වුනේ නදිනි නම් මේ වගේ පොත් වලට වැඩිය කැමති නෑ නේද කියලා.නදිනි හැමදාමත් කැමති වුනේ ගැඹුරු අර්ථයක් තියෙන කතා වලට.ලෝක ප්‍රසිද්ද පරිවර්ථන පොත් ගොඩක් නදිනි ලග තිබුනා.නදිනිගේ හැම උපන්දිනේකටම සහන් නදිනිට පුරුද්දක් විදියට පොතක් තෑගි කරා.ඒක තෝරන්න වුනත් අමාරුවක් නොවුනේ සහනුත් ඒ පොත් වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා.ඒ අතින් නදිනියි සජිනියි අහසට පොළව වගේ කියලා සහන්ට හිතුනා.

සහන්ගේ ඒ කල්පනාව බිදිලා ගියේ සජිනිගේ කටහඩින්.

"එන්නකෝ අනේ මෙහෙට,ඔයාට දැන් මාව අමතක වෙලාද?" සහන් ජනේලෙන් එබිලා බලනකොට දැක්කේ පොඩි පූස් පැටියෙක් පස්සේ දුවන සජිනිව.

'මේ අර මාත් එක්ක ගෙදර රණ්ඩු කරපු කෙල්ල නම් නෙවෙයි' මේ දිහා බලන් ඉන්න සහන්ට ඉබේටම හිනා ගියා

සජිනි පූස් පැටව්න්ට බලු පැටව්න්ට එහෙම පොඩි කාලේ ඉදන්ම ආදරෙයි.ඒත් ගෙදර පූසෝ බල්ලෝ තහනම් නිසා සජිනි දරුවෝ වගේ බලාගත්තේ පාරේ ඉන්න වටේ ගෙවල් වල ඉන්න පූසෝ බල්ලෝ.දැන් මේ ආවම ඒ පූසන්ට එයාව අමතක වෙලාද කියලා සජිනිට දුක හිතුනා.පූසා පස්සෙන් දුවන සජිනි හදිස්සියේම දැක්කේ එයාගේ කාමරේ ජනෙලෙන් බලන් හිනා වෙන සහන්ව.සහන්ව දැකපු සජිනි එහෙම්ම එතනම නැවතුනා.

'සහන් හිනා වෙද්දි ඉස්සර වගේම ලස්සනයි' සජිනිගේ හිත කියද්දී සජිනි එහෙම්ම ටිකක් වෙලා බලන් හිටියා.එක පාරටම සජිනිගේ මූන වෙනස් වුනා.සජිනි එහෙම්ම ගේ ඇතුලට දුවගෙන වගේ ආවා.

සජිනි ගේ ඇතුලට එනවා බලන් හිටපු සහන් ඇවිත් ඇදෙන් වාඩි වෙලා තුවායක් අතට ගන්නකොටම සජිනිගේ කටහඩ ඇහුනේ කාමරේ දොර ලගින් 

"ඔයා මෙතන මොකද කරන්නේ?"

"මං මේ නාන්න කියලා" 

"නාන්න? කොහෙද?" 

"අරකේ" සහන් පෙන්නුවේ සජිනිගේ කාමරේටම අල්ලලා තිබ්බ නාන කාමරේ 

"ඒකේ කොහොමද ඔයා නාන්නේ? ඊටත් වඩා කවුද ඔයාට මේ කාමරේට එන්න කිව්වේ?" සජිනි ඇහුවේ තරහෙන් පිපිරි පිපිරි 

"තාත්තා එක්කන් ආවේ,ඇයි මොකක්ද ඒකේ ප්‍රශ්නේ?"සහන් කිව්වේ ගානක්වත් නැතුව 

"ප්‍රශ්නේ තමයි මං කැමති නෑ මගේ කාමරේට පිට කවුරුවත් එනවට"

"පිට කවුරුවත්??" එහෙම කියපු සහන් හෙමීට ආවේ සජිනි ලගට 

"මං පිට කවුරුවත්ද? හොදට මතක් කරලා බලන්න.මට මතක විදියට නම් මං ඔයාගේ මහත්තයා.මට ඉන්න බැරි නම් ඔයාගේ කාමරේ කාටද ඉන්න පුලුවන්" එහෙම කියපු සහන් සජිනි ලගින් හැරුනා 

"මං එහෙම කියලා මෙයාගේ කාමරේට ගියා නම් බලන්න තිබ්බා" සජිනි තමන්ටම මුමුණ ගත්තා.

"මොකක්ද කිව්වේ?" සහන් ආයෙත් සජිනි දිහාට හැරුනා 

"නෑ නෑ මුකුත් නෑ.නාගන්න එහෙනම්" සහන්ට ඔරවපු සජිනි කාමරෙන් යන දිහා සහන් බලන් හිටියේ හිනා වෙවි.

සජිනි කෙලින්ම ආවේ කුස්සියට.මේවා අම්මටවත් කියන්න බෑනේ කියලා සජිනි හිතුවේ තරහෙන් .තරහෙන්ම කුස්සියේ බැම්මට හේත්තු වුන සජිනි අම්මා කප කප හිටපු කොස් කෑල්ලක් කටේ දාන් හපන්න ගත්තා.

"කී සැරයක් කියන්න ද දරුවෝ කිරි කොස් අමුවෙන් කෑවම බඩ රිදෙන්න ගන්නවා"

"හරි හරි අම්මේ.."

"විදූ ආවලු නේද එහේ?" සජිනිලගේ අම්මා ඇහුවේ සජිනි දිහා බලන්.

"හ්ම්ම් ආවා"

"එහේ යන්න අද හවස වත්.එයත් තනියෙන්නේ.මෙහේ එක්කන් එන්න රෑ කෑමට"

"එයාට කෝල් කරමුකෝ මෙහෙට එන්න කියලා.ඉවරයිනේ අම්මා එතකොට.ගිහින් එක්කගෙන එන්න පොඩි ලමයෙක්යැ"

"ඒකත් ඇත්ත.කෝල් එකක් දෙන්න එහෙනම්"

"එයත් පණ්ඩිතයිනේ අම්මේ,මෙහෙ ඇවිත් ඉන්නේ නැතුව තනියෙන් ඉන්නේ අර ගෙදරට වෙලා"

"තනියෙන් නෙවෙයිනේ දරුවෝ,සුමනා අම්මාත් ඇවිත් ඉන්නේ"

"සුමනා අම්මා ඇවිත්ද? එහෙනම් කමක් නෑ.මං කතා කරලා කියන්නම්කෝ"

එහෙම කියලා සජිනි සාලෙට ආවේ විදූශට කෝල් එකක් දෙන්න හිතාගෙන.කෝල් එක ගන්න අතරේ සජිනි වටපිට බැලුවේ සහන්වත් තාත්තාවත් පේන්න නැත්තේ ඇයි කියලා.

සහන් සජිනිගේ තාත්තා එක්ක වත්ත පහළට ගියේ තාත්තගේ ගම්මිරිස් වගාව බලන්නත් එක්ක

"තාත්තා මේ වැඩේ හොදට කරනවා නේද?"

"මං ඉස්සර ඉදන්ම ආස වැඩක් පුතා මේ වැඩේ" සහන් හොදට ගස් වටේ ගිහින් බැලුවා.'මේවගෙන් හොද ආදායමක් එනවා ඇති' සහන්ට හිතුනා.සජිනිගේ තාත්තගේ ගම්මිරිස් වගාවත් එක්කම තව එලවලු පලතුරු වගවකුත් තිබුනා.

"ඒක නෙවෙයි තාත්තේ,මට තාත්තාගෙන් දෙයක් අහන්න පුලුවන්ද?" සහන් ඇහුවේ තාත්තගේ වගාවන් බලලා ආපහු එන ගමන්.

"අහන්න දරුවෝ"

"සජිනි ඇයි විදූශට අකමැති වුනේ" මේ කතාවට තාත්තා සහන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.

"විදූ වෙන්න ඇති කිව්වේ" සජිනිගේ තාත්තා ඇහුවම සහන් ඔලුව වැනුවා.

"මං කතාවක් කියන්නම්කෝ,සංජු පොඩි කලේ අපි මේ ගේ හදනකොට ඉතින් එයාටත් ගෙදර සැලැස්ම එහෙම පෙන්නලා විස්තර කරා.මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ දරුවෝ.ඉතින් කාමර තුනයි හදන්න හිතුවේ.මගේ අම්මත් ඒ කාලේ අපි එක්ක හිටියේ" මේ කතාවට සහන් හරි උනන්දුවෙන් අහන් හිටියා

"පුතා  දන්නවද අපේ සංජු  ගෙදර සැලැස්ම බලලා මොකක්ද ඇහුවේ කියලා"

"මොකක්ද?"

"කෝ මේකේ විදූට කාමරයක් කියලා ඇහුවනේ අපේ කෙල්ල" තාත්තගේ කතාවට සහන්ගේ කටත් ඇරුනා.තාත්තා ඒ දිහා බලලා හිනා වුනා.

"මටත් හරි පුදුම හිතුනා.මං ඇහුවා ඇයි විදූට මොකටද කියලා,සංජු කියනවා ඉතින් තාත්තේ විදූ මගේ අයියනේ ඔයාගේ පුතානේ.ඔයාගේ දුවට කාමරයක් හදලා ඇයි පුතාට නැත්තේ කියලා" සජිනිගේ තාත්තා හිනා වුනා

"ඉතින්?" සහන්ට හරි පුදුමයි මේ කතාවට

"ඉතින් දරුවෝ කාමර තුනේ ගෙයක් හදන්න හිටපු මම කාමර හතරේ ගෙයක් හැදුවා"

"ඒ කියන්නේ විදූශටත් මෙහේ කාමරයක් තියෙනවද?"

"ඔව්,දැන් පුතාට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනාද?"

"හ්ම්ම්..." සහන් උත්තර දුන්නේ ලොකු කල්පනාවක

ඔව් සහන්ට ඒ උත්තරේ හම්බුනා.සජිනිට විදූශ ගැන එහෙම හිතන්න බැරි බව දැන් සහන්ට තේරෙනවා.සහෝදර බැදීමක් ප්‍රේමණීය හැගීමක් කරන්න බෑ.ඒක වෙනම දෙයක්.සජිනිගේ හිත සහන්ට තේරෙන්න ගත්තා.

දවල් කෑමෙන් පස්සේ සජිනිගේ අම්මයි තාත්තයි පන්සලට පිටත් වුනේ දායක සංගමේ රැස්වීමක් තියෙනවා කියලා.ඇගේ මහන්සියටත් එක්ක සහන් සජිනිගේ ඇදෙන් ඇලවුනා.ජනේලෙන් එන හුලගේ සනීපෙටත් එක්ක සහන්ට නින්ද යාගෙන එනකොටමයි සජිනි කතා කරනවා ඇහුනේ

"ඔයා මොකද මෙතන කරන්නේ?" සහන් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා

"ඔයා ඕක කලිනුත් ඇහුවා"

"මේක මගේ ඇද"

"ඔයාගේ ඇද කියන්නේ මගෙත් ඇද"

"මේක යකාගේ වැඩක්නේ" සජිනිට දැන් හොදටම තරහ ගිහින්

"මොකක්ද?"

"එහේ ඉන්නකොට එක නීතියක්.මෙහේ තව එකක්"

"එහෙම තමයි" සහන් ආයෙත් ඇස් පියාගත්තා

"යන්නකෝ මගේ ඇදෙන්.මට නිදාගන්න ඕනේ.මහන්සියි" සජිනි සහන් ලගටම ගිහින් කිව්වා

"ඉතින් නිදාගන්න.මේ ඕනේ තරම් ඉඩ තියෙන්නෙ"

"මේ මිනිහා නම් ඇත්තට...." සජිනිට කතාව ඉවර කරන්න වුනේ නෑ.

"ඔයාට ඕනේ නම් මේකේ නිදාගන්න,නැත්තම් මට නිදාගන්න දීලා යන්න" සහන් එහා පැත්තට හැරුනේ සජිනිගේ කොට්ටෙකුත් බදාගෙන

"මගේ කොට්ටේ දෙනවා" එහෙම කියපු සජිනි ඒ කොට්ටෙත් අරන් කාමරෙන් ගියේ සහන්ටත් රවාගෙන

'දැන් යන්නකෝ ඔයා,රෑට ඔයාට මේකට එන්නම වෙනවනේ..' සහන් හිතුවේ කට කොණකින් හිනා වෙන ගමන්.

*********************************************************************************

ඔන්න ගෙනාවා,අද ටිකක් පරක්කුයි තමයි.ඒත් දිග කතාවක් ගෙනාවා.

හෙට හම්බෙමු....

ආදරෙන් ඉන්න 💖

Saturday, June 16, 2018

ආදරණීය නපුරා - විසි දෙවන කොටස


"ඇයි ඔයාලා දෙන්නා බැන්දේ නැත්තේ" සහන්ගේ ප්‍රශ්නෙට විදූශ බිම බලාගත්තා.

"ඒක එච්චර හොදට පේනවද?" විදූශ සහන් දිහා බලලා හෙමින් හිනා වෙලා ඇහුවා.

"ඔව්,ඔයා දිහා බලන ඕනේ කෙනෙක්ට ඒක පේනවා" සහන් කිව්වේ විදූශ දිහාම බලාගෙන.ටිකක් වෙලා බිම බලාගෙන හිටපු විදූශ සහන් දිහා බැලුවා.

"සංජු මට ආදරේ කරේ නෑ"

"මොකක්ද?"

"ඔව්, මං විතරයි සංජුට ආදරේ කරේ.එයා කවදාවත්ම මට ආදරේ කරේ නෑ.එයාට මං හැමදාම එයාගේ හොදම යාලුවා විතරයි"

"සජිනි මේ ගැන දන්නේ නෑ වෙන්න බෑනේ" සහන් ඇහුවේ සැකෙන් 

" එයාට කාලයක් යනකොට තේරුනා මගේ හිතේ තියෙන හැගීම්.එයා උත්සහ කරා මට ලං වෙන්න මගේ හිත රිද්දන්න බැරි නිසාම. ඒත් ඒක හරි ගියේ නෑ.මාව යාලුවෙක් කියන තැනින් එහාට හිතන්න බෑ එයාට.ඒකෙන් එයා දුක් වින්දා විතරයි" විදූශ කිව්වේ හරි පසුතැවීමෙන් වගේ කියලා සහන්ට හිතුනා 

"ඒ නිසාද ඔයා රට ගියේ? සජිනිට කතා නොකරේ?"

"හ්ම්ම්.." 

ටික වෙලාවක් දෙන්නම සද්ද නැතුව හිටියා.

"සහන්,මං මේ ටික කිව්වේ ඇත්තටම ඒ ගැන අහපු නිසයි,මට මුකුත් හංගන්න ඕනේ වුනෙ නෑ.සංජු  වුනත්..." විදූශගේ කතාව සහන් නැවැත්තුවා 

"නෑ නෑ ඒක කියපු එක හොදයි.මං සජිනි ගැන එහෙම හිතන්නේ නෑ" සහන් කිව්වේ කල්පනාවකින් වගේ 

"සංජු ලගදි ගෙදර ගියේ නැද්ද?" විදූශ ඇහුවේ සහන්ගෙන් 

"නෑ,මෙහේ ආවට පස්සේ යන්න වුනේ නෑ.ඒත් යන්න කියලා හිතුවේ ලබන සතියේ " සහන් කිව්වේ ඇත්තටම පසුතැවීමෙන් 

"ඒක හොදයි.එයා ගෙදරමනේ හැදුනේ ඒ නිසා වෙන්න ඇති මේ ඔක්කොම" විදූශ එහෙම කියද්දී සහන් එයා දිහා බැලුවා.මේ ඔක්කොම කියලා විදූශ කිව්වේ මොකක්ද කියලා සහන්ට හරියටම නොතේරුනත් සහන් ආයේ ඒක අහන්න ගියේ නෑ.සෑහෙන වෙලාවක් කතා කර කර ඉදලා විදූශ යන්න ලෑස්ති වුනා.

"අනේ ඉන්නකෝ විදූ තව ටිකක්" සංජූ විදූශ ලගටම වෙලා කියනකොට සහන්ට විදූශ එක්ක පොඩි තරහක් වගෙත් දැනුනා.කලින් හිතුනේ නැති විදියට විදූශ ඉක්මනටම යනවා නම් හොදයි කියලා සහන් හිතුවා.

"මං ගෙදර යන්නත්  ඕනනේ සංජූ.ඔයා එන්නකෝ ඉතින් ලබන සතියේ මාව බලන්න" විදූශ කිව්වේ එයා දිහා කදුලු පුරවන් බලන් ඉන්න සජිනිගේ ඔලුව අතගාලා.ඊලගට විදූශ බැලුවේ සහන් දිහා 

"එහෙනම් සහන් ගිහින් එන්නම්කෝ..ලබන සතියේ එනවනේ නේද?' විදූශ ඇහුවේ සහන්ට අතට අත දෙන ගමන් 

"ඔව් මචං අපි එන්නම්" සහන් කියනකොට සජිනි එයා දිහා බැලුවේ මේක විශ්වාස කරගන්න බැරුව වගේ.ඒත් සජිනි මුකුත්ම කිව්වේ නෑ.විදූශ පහත් වෙලා සජිනිගේ ඇස් වලට එබුනා.

"එන්නම ඕනේ හොදද?මං ගෙනාපු තැග්ග ඕනේ නම්" විදූශ කිව්වේ සහන්ට ඇහැක් ගහලා.සහන් අමාරුවෙන් හිනා වුනා.

විදූශ පිට වෙලා යනකම්ම දොර ලගට වෙලා ඇස් වල කදුලු පුරවන් බලන් හිටපු සජිනි දොර වහලා දාලා කුස්සියට යන්න ගියේ සාලේ වාඩි වෙලා හිටපු සහන්වත් පහු කරගෙන.සජිනි එයාව පහු කරගෙන යනවා ඇ කොණෙන් බලන් හිටපු සහන් ආයෙත් ටීවී එක බලන්න ගන්නකොටම සජිනි ආයෙත් ආවා.

"සහන්..." සජිනි කතා කරා

"ම්ම්ම්.." සජිනි කතා කරනවා දැක්කත් නොදැක්ක ගානට සහන් උත්තර දුන්නා 

"සහන්..." සජිනි ආයෙත් කතා කරා

"ම්ම්ම්...."සහන් ටිකක් හයියෙන් කිව්වා.තාමත් සහන් ටීවී එක දිහා තමයි බලන් ඉන්නේ 

"සහන්...." ඒ සැරේ නම් සජිනිගේ සද්දේ වැඩි වුනා

"ඇයි ඇයි මොකද?" සහන්ටත් තරහ ගියා.

"මේ... අපි මේ..."

"මොකක්ද?හරියට කියන්න"

"අපි ලබන සතියේ ගෙදර යනවද?" සජිනි හරි අහිංසක විදියට ඇහුවා.ඒ කටහඩේ හැටියට සජින් දිහා හැරිලා බලන්න හිතුනත් සහන් දිගටම ටීවී එක දිහා බලාගෙනම කතා කරා 

"යන්න තමයි හිතුවේ.ඇයි බැරිද?බැරි නම් පස්සේ දවසක යමු" සහන් කිව්වා.

"නෑ නෑ යමු යමු" සජිනි කිව්වේ අඩන්න වගේ.

ඒ කතාවට නම් සහන් හැරිලා බැලුවා.සජිනි එතනම හිටගෙන බිම බලාගෙන අඩ අඩ හිටගෙන හිටියා.එක පාරට හිතට ආපු සිතුවිල්ලකට සහන් පුටුවෙන් නැගිට්ටා.හෙමීට සජිනි ලගට ගියපු සහන් සජිනිගේ නිකටෙන් අල්ලලා මූන ඉස්සුවා.ටිකක් වෙලා එහෙම්ම බලන් හිටපු සහන් අනිත් අතින් සජිනිගේ කදුලු පිහදුවා.

"නිතරම ඔහොම අඩන්න එපා.හරි කැතයි"එහෙම කියපු සහන් ආයෙත් ගිහින් ටීවී එක ඉස්සරහ පුටුවෙන් වාඩි වුනේ සජිනි එතනම ගල් වෙලා වගේ බලා ඉද්දි.

"දැන් ඉතින් ඔහොම බලන් ඉන්නේ නැතුව මට බොන්න මොනවා හරි හදනවද?හරි තිබහයි" සහන් කිව්වේ එතන තිබ්බ නොසන්සුන් වාතාවරණය නැති කරන්න හිතාගෙන.

ඒත් එක්කම සජිනි කුස්සියට ගියා නෙවෙයි දිව්වා.ඒ ගිහින් ශීතකරනයෙන් බීම එකක් ගත්ත සජිනි ඒක විදුරුවකට දැම්මා.එත් සජිනිට මතක් වෙන්නෙ සහන්ගේ ඇස් දෙක.

සහන් මෙහෙම ලගට එන හැම සැරේම සජිනිගේ පපුව ගැහෙන්න ගන්නවා.සහන් ගැන කොච්චර තරහෙන් හිතන්න හැදුවත්  සජිනිගේ හිත ඒක අහන්නේ නෑ.සහන් දකින දකින සැරේට ඒකට මොකක්ද වෙනවා.හෙමින් පපුවට අත තියන් ටිකක් වෙලා එහෙම්ම හිටපු සජිනි බීම එක අරන් ගිහින් සහන් ඉස්සරහින් තියලා ඉක්මනට ආයෙත් ගියා.

බීම එක බොන ගමන් සහන් කල්පනා කරේ විදූශ කියපු කතාව ගැන.ඇත්තටම විදූශ සහන්ට වඩා ගොඩක් කඩවසම් වගේම හොද රැකියාවක් කරන හොදට ඉගෙන ගත්ත කෙනෙක්.ඒ වගේම සජිනි ගැන හොදටම දන්න කෙනා.එහෙම එකේ ඇයි සජිනි විදූශට අකමැති වුනේ කියන එක සහන්ට හිතා ගන්න බැරි වුනා.

'සමහරවිට සජිනි වෙන කෙනෙක්ට ආදරේ කරාද දන්නේ නෑ.එහෙම නැත්තම් වෙන හේතුවක් තියෙන්න බෑනේ' සහන් කල්පනා කරා.සජිනිගෙන් මේ ගැන අහන්න සහන්ට ඕනේ වුනත් කොහොම අහන්නද කියලා සහන්ට හිතා ගන්න බැරි වුනා.

ඊලග සෙනසුරාදා උදේම දෙන්නා ලෑස්ති වුනේ සජිනිලගේ ගෙදර යන්න.පෝයත් එක්කම දවස් තුනේ නිවාඩුවක් නිසා සෙනසුරාදා සජිනිලගේ ගෙදර ඉදලා ඉරිදා හවසට  සහන්ගේ ගෙදර යන්න තමයි හිතාගෙන හිටියේ.විදූශගේ ගෙදර තිබ්බෙත් සජිනිලගේ ගෙදර ලගම නිසා ඒ ගමන්ම එහේ යන්නත් පුලුවන් කියලා තමයි කතා වුනේ.

ඒත් එයාලා දෙන්නා හිතුවේ නෑ මේ ගමනින් ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන් කියලා....

*******************************************************************************

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න.....💖



Friday, June 15, 2018

ආදරණීය නපුරා - විසි එක් වන කොටස



"විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි.

"සංජූ...."විදූශ සජිනිව එයාගේ අත් වලින් තුරුල් කරගෙන සජිනිගේ ඔලුව උඩින් මූන තියාගත්තා.ටිකකින් එයාට දැනුනා සජිනි අඩනවා කියලා.දැනුනා විතරක් නෙවෙයි.ඇහෙන්නත් ගත්තා.විදූශ හෙමින් හෙමින් සජිනිගේ පිට අතගෑවේ සජිනිව සන්සුන් කරවන්න හිතාගෙන.

"අඩන්න එපා සංජු, මං දැන් ආවනේ..."විදූශ කිව්වේ සජිනිගේ පිට හෙමීට අත ගාන ගමන්.ඒක ඇහුන ගමන් සජිනිගේ ඇඩිල්ල නැවතුනා.විදූශව තල්ලු කරලා දාපු සජිනි අත් දෙකත් බැදගෙන විදූශ ඉස්සරහින් හිටගත්තා.

"හ්ම්ම් කියමු බලන්න" සජිනි කිව්වේ විදූශට රවන ගමන් 

"සොරි සංජූ මං වැඩ වගේක හිර වෙලා හිටියේ.රස්සාවයි යුනි එකේ වැඩයි එක්ක.." විදූශට කියලා ඉවර කරන්න වුනේ නෑ 

"දැන් ඔයා කියන්නේ ඔයාට මේ මට වඩා ඔයාගේ රස්සාවයි ඉගෙන ගන්න එකයි ලොකු වුනා කියලද? ඔයා මට  කතා කරේ නෑ විදූ....ඔයා මගේ පණිවිඩ වලට උත්තරයක්වත් එව්වේ නෑ....මං කීපාරක් කතා කරාද ඔයාට.ඔයා...ඔයා..මගේ වෙඩින්ග් එකට ආවෙත් නෑ..මට ඔයාව ඕනෙම වුන වෙලාවේ ඔයා මං ලග හිටියේ නෑ විදූ...ඔයා හිටියේ නෑ" සජිනිගේ කටහඩ බිදිලා ගියා.එහෙම්ම බිම බලාගෙන සජිනි ඉකි බිදිද්දී විදූශ සජිනි ලගට ඇවිත් එයාගේ ඔලුවට අත තිබ්බා.

"මට සමාවෙන්න සංජූ.හැමදේකටම.ඒත් දැන් මං ආවනේ.මං ගොඩක් පරක්කු නෑනේ නේද? ඔයාගේ හොදම යාලුවට සමාව දෙන්න බැරිද?"

සජිනි හෙමීට ඔලුව උස්සලා බැලුවා.තාමත් සජිනිගේ ඇස් වල කදුලු.අඩලා අඩලම සජිනිගේ ඇස් රතු වෙලා,හෙම්බිරිස්සාවකුත් හැදිලා.

"ඔයා..ඔයා..හැමදාම ඔහොම මොකක් හරි කියලා මාව ශේප් කරගන්නවා.මේ සැරේ එහෙම නෑ.මං තරහයි.යාලු වෙන්නෙම නෑ" සජිනි කිව්වේ නහයෙන් වගේ 

"මේ නහයේ හොටුත් පිරිලා.ගිහින් ඕක සුද්ද කරන් එන්න" විදූශ කිව්වේ සජිනිගේ නහයෙනුත් අල්ලලා

"ඊයා...මොනවා කරනවද මන්දා" සජිනි විදූශගේ අත ගසලා දැම්මා.ඒත් එක්කම සජිනිගේ ඇස් ගියේ මේ ඔක්කොම බලාගෙන ඉන්න සහන් දිහාවට.සහන් මේවා බලාගෙන හිටියේ හරි පුදුමෙන්.සහන්ව දැකපු ගමන් සජිනි විදූශගෙන් ඈත් වුනා.සජිනිගේ වෙනස නිසා සජිනි බලපු පැත්ත බලපු විදූශ දැක්කේ සහන්ව.

"සහන්,..මේ විදූ..නෑ මේ විදූශ.මගේ හොදම යාලුවා"සජිනි කිව්වේ විදූශ දිහාත් බලන ගමන් 

"හලෝ..සොරි මේ වෙච්ච දේට" විදූශ සහන් ලගට ගිහින් කිව්වා.

"ඒක ප්‍රශ්නයක් නෑ.වාඩි වෙන්න.සජිනි,මොනවා හරි බොන්න හදන්න" 

"අද කාලාමයි යන්න ඕනේ" විදූශට ඇගිල්ලකුත් පෙන්නලා කියපු සජිනි කුස්සියට ගියා 

"ආ දැන් උයන්නත් පුලුවන්ද? "විදූශ ඇහුවේ වාඩි වෙන ගමන් 

"මේ මං තාම තරහයි.ඒක මතක තියන් කතා කරන්න"යන අතරමග නැවතුනු සජිනි කිව්වේ ඉණටත් අත තියාගෙන 

"හරි හරි මැඩම්" 

සජිනිගෙයි විදූශගෙයි කතාව අහගෙන හිටපු සහන් හිනා වුනා.

"මං ගැන සංජු කියලම නෑ වගේ" විදූශ ඇහුවේ සහන්ගෙන්

"නෑ ඇත්තටම නෑ.අපේ වෙඩින්ග් එකට ආවෙත් නෑනේ "

"ඔව් එකේ   පුදුමයක් නෑ.මාත් එක්ක තරහෙන් ඉන්න ඇත්තේ" විදූශ සුසුමක් හෙළුවා

"වෙඩින්ග් එකට ආපු නැති නිසාද? මට හිතාගන්න පුලුවන්" සහන් කිව්වා.දැන් ඇත්තටම සජිනි ගැන සහන්ටත් ටිකක් තේරෙනවා 

"ඒකමත් නෙවෙයි.මං මාස්ටර්ස් කරන්න රට ගියා.ඒ වැඩත් එක්ක මට සජිනිට කතා කරන එක මග ඇරුනා" 

"අහ්.. එහෙමද?එයාට තරහ ගිය එක පුදුමයක් නෙවෙයි එහෙනම්" සහන් කිව්වේ හිනා වෙවි.

"මෙන්න මං බීම හැදුවා.රස්නෙයිනේ මේ දවස් වල " සජිනි ආවේ දොඩම් වීදුරු දෙකකුත් අරගෙන. 

"ශා නියමයිනේ.දැන් නියම වයිෆ් කෙනෙක් වගේ එහෙනම්"සජිනි එක්ක හිනා වුන විදූශ බීම වීදුරුව ගත්තා.ඒ කතාවට සහනුයි සජිනියි මූනෙන් මූන බැලුවා මිසක් මුකුත් කිව්වේ නෑ.

"දැන් කවද්ද ඔයා ආවේ" සජිනි ඇහුවේ ඒ ප්‍රශ්නේ මග ඇරලා.

"ගිය සතියේ ආවේ.හෝව් හෝව්ව් කෑගහන්න එපා.අපේ මාමගේ ගෙදර යන්න වුනා.චූටි නංගිට සනීප නෑ.ඩෙංගු හැදිලා"විදූශ එහෙම කිව්වේ සජිනිගේ හැටි දන්න නිසා 

"චූටිට කොහොමද දැන්"

"දැන් නම් ගෙදර.ඒක නෙවෙයි.දැන් මොනවද හදන්නේ?හදන එකක් ඉක්මනට හදන්න බඩගිනියි"

"ආහ් මෙන්න මෙයා.ගෙදරකට ආවා නම් කන්න දෙනකම් ඉවසන්න".සජිනිගේ කතාවට විදූශ හිනාවෙද්දි එයාටත් රවලා  සජිනි ගියේ  කුස්සියට උයන්න කියලා 

ටික වෙලාවක් සහනුයි විදූශයි එක එක දේවල් කතා කර කර හිටියා.එතකොට තමයි සහන් දැනගත්තේ විදූශ සහන්ට වඩා අවුරුද්දක් වැඩිමල් වගේම එයත් පරිඝනක ඉංජිනේරුවෙක් කියලා.

"ඒක නෙවෙයි සහන්,මං මේක මෙහෙම අහන එක හරිද දන්නෙත් නෑ.ඒත් මේක මගේ හිතට වදයක් ඒකයි අහන්නේ,සංජු මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"විදූශගේ ඒ ප්‍රශ්නෙට සහන්ට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.සජිනිට තියෙන ප්‍රශ්නෙ තමන් කියලා එයාගෙම හොදම යාලුවට කියන්න තරම් පුලුවන්කමක් සහන්ට තිබ්බේ නෑ 

"එහෙම නම් නෑ විදූශ,ඇයි එහෙම ඇහුවේ"

"අපේ නංගි කෝල් කරලා තිබ්බා එයාට බර්ත්ඩේ විශ් කරන්න.සංජු ඇඩුවලු.හොදටම.මං ගැනත් කිය කිය ඇඩුවලු.ඉතින් මං ඇත්තටම මේ ආවෙත් සංජු හොදින්ද බලන්න.එයා කාටවත් හිතේ තියෙන දේවල් කියන කෙනෙක් නෙවෙයි.යාලුවා වුනත් මටවත්" විදූශ කිව්වේ දුකෙන් .මේ ඔක්කොම අහන් හිටපු සහන්ට දැනුනේ තමන් ගැනම ලොකු කලකිරීමක්.

දවල් කෑම මේසය  සජිනියි විදූශයි නිසා හරිම ඝෝශාකාරී තැනක් වුනා.පොඩි කාලේ සිද්දි සහ එයාලා දෙන්නා විතරක්ම දන්න දේවල් කතා කරපු නිසා සහන්ට දැනුනේ තමන් පිටස්තරයෙක් වගේ හැගීමක්.

කෑම ඉවර වෙලා සජිනි කුස්සිය අස් කරන වෙලාවේ සහනුයි විදූශයි හිටියේ සාලේ මැච් එක දාගෙන 

"විදූශ...මං දෙයක් අහන්නද?" සහන් ඇහුවේ විදූශ දිහා හොදට බලන ගමන් 

"මොකක්ද?"

"ඇයි ඔයාලා දෙන්නා බැන්දේ නැත්තේ"සහන්ගේ ප්‍රශ්නෙට විදූශ බිම බලාගත්තා 

"ඒක එච්චර හොදට පේනවද?" විදූශ සහන් දිහා බලලා හෙමින් හිනා වෙලා ඇහුවා.

*********************************************************************************

ඔන්න කතාව ගෙනාව ලමයි.අද කතාව කොටයි.බනින්න එපා.ගමනක් ගිහින් හවස් වෙලා ආවේ.හරිම මහන්සියි කතාව හිතන්න බැරි තරමටම.

හෙට දිග කොටසක් දෙන්නම් හොදේ 

ආදරෙන් ඉන්න.......💖




Thursday, June 14, 2018

ආදරණීය නපුරා - විසිවන කොටස


සහන් ගෙදර එනකොට ටිකක් පරක්කු වුනේ පාරේ ට්‍රැෆික් එකකට අහු වුන නිසා.පැය ගානක් පාරේ ඉදලා සහන් ගෙට ගොඩ වුනේ නාලා හොද තේ එකක් බොන්න හිතාගෙන.ඒත් වෙනදා වගේ ඇහෙන ටීවී එකේ සද්දේ වත් රේඩියෝ එකේ සද්දේ වත් නැති නිසා සහන් කාමරේට යන ගමන් කුස්සියටත් ඔලුව දැම්මේ නිකමට වගේ.ඒත් සජිනි කුස්සියෙත් නෑ කියලා දැක්කම සහන්ට දැනුනේ අමුත්තක්.

කාමරේට ගිහින් බෑග් එක තියලා සහන් ටිකක් එහෙම්ම වාඩි වෙලා ඉදලා ආයෙත් වොශ් රූම් එක ලගටත් ගියේ සජිනි ඒකෙවත්ද කියලා හිතලා.එත් නාන කාමරෙත් ඇරලා තිබුනේ.ඒ වෙනකොටත් රෑ 7ටත් කිට්ටු නිසා සජිනි කොහෙවත් යන්න විදියකුත් නෑ කියලා හිතපු සහන් හරි ඉක්මනට  ගියේ සජිනිගේ කාමරේ ලගට.කාමරේ හොදටම අදුරු වෙලා තිබ්බේ.

ලයිට් එක දාපු සහන් දැක්කේ ඇදේ වැතිරිලා නිදාගෙන ඉන්න සජිනිව.සජිනිව දැකපු සහන්ට දැනුනේ ලොකු සැනසිල්ලක්.ඒ සැනසිල්ලෙන්ම සහන් සජිනි ලගට ගියේ එයාව ඇහැරවන්න හිතාගෙනයි.ඒත් සජිනිගේ මූණ දැකපු සහන් එක පාරටම නැවතුනා.සජිනිගේ මූනම මැලවිලා හරි වෙහෙසකර පාටක් තිබ්බේ.සහන් හෙමීට සජිනිගේ ඔලුවට අත තිබ්බා.සජිනිගේ ඔලුව ලාවට වගේ රත් වෙලා තිබ්බේ.සජිනි නිදාගෙන හිටපු විදියට සහන්ට සජිනිව ඇහැරවන්න දුක හිතුනා.සහන් සජිනිව නැගිට්ටවන්නේ නැතුව කාමරේ වටේ බැලුවා.

සහන්  කලින් මේ කාමරේට ඇවිත් තිබ්බත් කාමරේ බලන්න  උවමනාවක් තිබුනේ නෑ.කාමරේ වටේ බලපු සහන්ගේ ඇස් ගියේ සජිනිගේ මේසේ උඩට.මේසේ උඩ සජිනිගෙයි එයාගේ අම්මගෙයි තාත්තගෙයි හරි ලස්සන ෆොටෝ එකක් තියලා තිබුනා.සහන් ඒක අතට ගත්තා.ඒ ෆොටෝ එකේ සජිනිගේ තියෙනවා තරම් ලස්සන හිනාවක් සහන් සජිනිගෙන් මේ වෙනකම් දැකලා තිබ්බේ නෑ.ඒ කොහොම වුනත් සජිනිත් එක්ක එයාලගේ ගෙදර ගිහින් එන්න ඕනේ කියලා සහන් හිතුවා.

පළවෙනි වතාවට සහන්ට සජිනි ගැන අනුකම්පාවක් ඇති වුනා.හැමදේම දාලා මේ ඇවිත් තමන් වෙනුවෙන්ම ජීවත් වෙන්නේ මෙහෙම අම්මා තාත්තා එක්ක සතුටෙන් ජිවත් වුන කෙල්ලෙක් නේද කියලා සහන්ට හිතුනා.

'සජිනි පාලුවෙන් ඉන්නවා ඇත්තේ.මාත් කතා කරන්නේ නෑ.ගෙදර ගියා නම් මේක හරි යාවි' සහන් හිතුවේ සජිනි දිහා බලාගෙනමයි.සහන් හිතපු දේ ඇහුනා වගේ සජිනි හෙමීට අනිත් පැත්තට හැරුනා.

සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවෙ කැක්කුමකුත් එක්කමයි.හෙමීට ඇස් අරිනකොටම ඇස් වලට වැටුනු ලොකු එළියක් නිසා සජිනි අතින් ඇස් දෙක මුවා කරගත්තා.එතකොටම වගේ සජිනිට ඇහුනු සහන්ගේ කටහඩ නිසා සජිනි හොදට ඇස් ඇරලා බැලුවා.

"ඔයා නැගිට්ටද?" සහන් ඇහුවේ සජිනිගේ කකුල් දෙක ලගින් ඇදේ වාඩි වෙන ගමන්.

"හ්ම්ම්.."සජිනි ඇදෙන් කෙලින් වෙන්න හැදුවත් සජිනිට කෙලින් වෙන්න අමාරු වුනා.

"ඉන්න ඔහොම.ඔයාගේ ඔලුවත් රස්නෙයි.බෙහෙත් ටිකක් ගන්න යමුද?" සහන් ඇහුවේ සජිනිගේ මූණ දිහා හොදට බලන ගමන්.සජිනීගේ ඇස් හොදටම රතු වෙලා තිබ්බේ එයා අඩලා තියෙනවා කියන එක සහන්ට කියන්න වගේ.එත් ඇඩුවේ ඇයි කියලා සහන්ට හිතාගන්න බැරි වුනා.

"ඕනේ නෑ.."එහෙම කියපු සජිනි හෙමීට ඇදෙන් නැගිට්ටත් ඔලුව කැරකෙන්න ගත්ත නිසා සජිනි එහෙම්ම ඇදෙන් වාඩි වුනා.

"මේ ඔයාගේ ඇග රස්නෙයි.යමු බෙහෙත් ගන්න" සහන් කිව්වේ සජිනිගේ නළලට අත තියන ගමන්

"මං කිව්වනේ ඕනේ නෑ" සජිනි එයාගේ නළල උඩ තිබුනු සහන්ගේ අත ගසලා දැම්මා

"හරි එහෙනම් ඔහොම ඇදෙන් ඉන්න.මං එන්නම්"එහෙම කියපු සහන් කුස්සියට ගියේ සජිනිට දෙන්න කෝපි එකක්වත් හදන්න කියලා.වතුර රත් වෙන්න තියපු සහන් කුස්සිය වටපිට බලනකොට එයාට තේරුනා කුස්සියේ තාමත් තියෙන්නේ එයාට උදේ ගෙනියන්න හදපු කෑමම තමයි කියලා.සහන් ආයෙත් කාමරේට ගියා.

"ඔයා දවල්ට කෑවද" සහන් ඇහුවේ සැකෙන්

"මතක නෑ" සජිනි හිටියෙ ආයෙත් ඇදේ  වැතිරිලා ඇස් වහගෙන

"සජිනි.. "සහන් ආයෙත් කතා කරා.ඒත් සජිනි උත්තරයක් දුන්නේ නෑ.ආයෙත් කුස්සියට ගියපු සහන් කෝපි එකක් හදාගෙන ඇවිත් සජිනිගේ ඇද ලගින් තිබ්බා.

"මේ කෝපි එකක් හැදුවා.මේක බොන්න.මං ටිකක් එලියට ගිහින් එන්නම්" සහන් ටිකක් වෙලා එහෙම්ම සජිනි දිහා බලාගෙන හිටියත් සජිනි කතා කරේ නෑ.කතා නොකරත් සජිනි අහගෙන ඉන්න බව තේරුනු සහන් ආයෙත් කතා කරා.

"මං එලියට යනවා කෑම මොනවා හරි ගෙන්න.කවුරුවත් ආවට දොර අරින්න එපා" එහෙම කියලා සහන් ගියේ ගෙදර දොරත් ලොක් කරගෙන.

සහන් ගිහින් ටිකකින් සජිනි ඇස් ඇරලා බැලුවා.සහන් හදලා තියලා ගියපු කෝපි එක අතට ගත්ත සජිනි ඒ දිහා බලන් හිටියා.ඒ බලන් ඉද්දි සජිනි ඇස් වලට ආයෙත් කදුලු උනන්න ගත්තත් සජිනි ඒ කදුලු පිහිද ගත්තා.සෑහෙන වෙලාවක් තිස්සේ හෙමීට හෙමීට රස බල බල කෝපි එක බීපු සජිනි ආයෙත් ඇදට හෙත්තු වෙලා ඇස් පියා ගත්තා.

ටික වෙලාවකින් දොර ඇරෙන සද්දෙකුත් එක්ක සහන් ඇවිදගෙන එන සද්දේ ඇහුනා.සහන් ආවේ ආප්ප අරගෙන.සජිනි මොනවා කන්න කැමතිද කියලා සහන්ට කිසිම අදහසක් නැතත් ආප්ප අරන් ආවේ ඕනෙම කෙනෙක් ආප්ප කන්න කැමති නිසා.ඒ විතරක් නෙවෙයි සජිනිට කෑම ගෙන්න ගියපු වෙලාවේ සහන්ට තව දෙයක් තේරුනා.

මෙච්චර දවස්ම සජිනිට ගෙදර වියදම් කියලා සහන් කීයක්වත් සජිනිට දුන්නේ නෑ.ඇත්තටම ගෙදර වැඩ කොහොම කෙරෙනවද කියලා සහන්ට ගානක් වුනේ නෑ.සජිනි මොනවා කරනවද කියලා සහන් ගනන් ගත්තේ නෑ.ගෙදර කුලියයි ලයිට් බිල්,වතුර බිල් ගෙව්වා ඇරෙන්න සහන් වෙන කිසිම දේකට සල්ලි දීලා නෑ.මේ බව් තේරෙනවත් එක්කම සහන්ට දැනුනේ මහ වැරදිකාර හැගීමක්.මෙච්චර දවස්ම නිකන්වත් මේ දේවල් ගැන හෙව්වේ නැති එක ගැන සහන්ට තමන් එක්කම තරහ ගියා.

ගෙනාපු කෑම මේසෙන් තියපු සහන් සජිනිට කතා කරා.

"කෑම ගෙනාවා.මං මෙතනට ගෙන්නද?"

"මං එන්නම්" සජිනි හෙමින් කිව්වා .හෙමීට සජිනි නැගිටිනවා බලන් හිටපු සහන් එතනට ගියේ සජිනිට උදව් වෙන්න වුනත් සජිනි සහන්ව ගනන් ගත්තේ නෑ.එයාම තනියෙන් ඇවිදගෙන ගිහින් මේසෙන් වාඩි වුනා.

"ආප්ප ගෙනාවේ මං.ඔයා කනවද දන්නෙත් නෑ" සහන් පැත්තක ඉදන් ඔලුව කස කස කිව්වා.ගෙනාපු ලුණුමිරිස් එකෙන් ටිකක් පිගානට දාගත්ත සජිනි සහන් දිහා බැලුවා.

"ඔයා කන්නෙ නැද්ද?" සජිනි ඇහුවේ සහන්ගෙන්

"මං කන්නම්.නාලා ඇවිත්" එහෙම කියලා සහන් ගියේ නාන්න කියලා.සහන් නාලා එනකොට කුස්සියෙන් ඇහුනු සද්දෙට බලපු සහන් දැක්කේ සජිනි කුස්සිය අස් කරනවා.

"තියන්න ඕක.මං අස් කරන්නම්" සහන් ඇවිත් සජිනි අතේ තිබ්බ පිගාන ගත්තා

"ඕක රාක්කෙන් තියන්න" එහෙම කියපු සජිනි කුස්සියෙන් ගියා .වටපිට බලපු සහන් දැක්කේ ඒ වෙනකොටත් සජිනි කුස්සිය අස් කරලා කියලා.

සහන් කෑම කන්න හිතාගෙන මේසෙට යනකොට එතන පුටුවක හිටපු සජිනි නැගිට්ටා.

"මං නිදාගන්න යනවා.හෙට මං ඕක අස් කරන්නම්"එහෙම කියපු සජිනි කාමරේට ගියා.

පහුවදා උදේ සජිනි නැගිටිනකොට දවල් වුනේ එයාට එලාම් එක තියන්න අමතක වෙලා තිබ්බ නිසා.එතකොට වෙලාව 7යි කියලා දැකපු සජිනි කලබලේ නැගිටලා කුස්සියට ගියේ සහන් ගිහිල්ලද දන්නෙත් නෑ කියලා හිතලා.ඒත් සහන් නැගිටලා ටීවී බලනවා දැකපු සජිනි සන්සුන් වුනා.එතකොටම සජිනිට මතක් වුනේ අද සෙනසුරාදනේ කියලා.ඒ නිසා  සජිනි වැඩි කලබලයක් නැතුව උදේට විතරක් කෑම හැදුවා.පුලුවන් තරම් සහන්ගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි කියලා හිතුනු නිසා සහන් සාලේ ඉන්නකම්ම සජිනි පුලුවන් තරම්ම කුස්සියෙන් ඉන්නයි බැලුවේ.

ටීවී එකේ බලන්න තරම් දෙයක් තිබුනේ නැතත් පොඩි වැඩකට එලියට යන්න තිබ්බත් සහන් සාලෙට වෙලා හිටියේ සජිනි සාලෙට එනකම්.මේ ඉන්න අතරේ සහන්ට ඇහුනා දොරේ බෙල් එක වදින සද්දේ.සහන් ගිහින් දොර ඇරියා.

එතන හිටියේ සහන්ගේ වයසෙම වගේ කඩවසම් තරුණයෙක්.

"මේ සජිනිලගේ ගෙදරද?" ඒ තරුණයා හොදට හිනා වෙලා ඇහුවා

"ඔව් මෙහේ තමයි" සහන් කිව්වේ තරුණයා දිහා හොදට බලන ගමන්

"සජිනි ඉන්නවද?" එයා ආයෙත් ඇහුවා

"ඔව් ඔව් එන්න ඇතුලට" සහන් ඒ තරුනයාව ඇතුලට අරන් දොර වැහුවා.

"මේ සහන් වෙන්න ඇති" ඒ තරුණයා ආයෙත් අහද්දි සහන් පුදුමෙන් බැලුවා

"සජිනි කියලත් ඇති මං ගැන..මං..." ඒ කතාවට බාධා වුනේ සජිනිගේ කෑගැහිල්ලෙන්

"විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි.

*********************************************************************************

හෙට හම්බෙමු

ආදරෙන් ඉන්න... 💖


Tuesday, June 12, 2018

ආදරණීය නපුරා - දහනම වන කොටස



සහන්ගේ ලැප් එක තිබුනු විදියටම තියපු සජිනි එයාගේ කාමරේට ගියා .ගිහින් ඇදේ වැතුරුණු සජිනිගේ කම්මුල් දිගේ කදුලු බේරෙන්න ගත්තා.සිහින් ඉකියකින් පටන්ගත්ත මේ හැඩිල්ල මහා ඉකි ගසා හැඩිමක් බවට පත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.අඩලා අඩලා මහන්සියට නින්ද ගියපු සජිනිට ඇහැරුනේ එයාගේ දුරකතනයේ සද්දෙට.ඒ කතා කරේ විශ්මි.ආන්සර් නොකර ඉන්නත් හදලා සජිනි ආන්සර් කරේ විශ්මි නිකමට මෙහෙම කතා නොකරන බව දන්න නිසා.

"හලෝ" සජිනිගේ බිදුනු හඩ අදුරගන්න විශ්මිට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

"ඇයි මොකද කෙල්ලේ" 

"ඇයි"

"මොකද වුනේ"

"මුකුත් නෑ.ඇයි කතා කරේ" 

"කතා කරේ උබට පොඩි පණිවිඩයක් කියන්න කියලා.එත් එක හදිස්සි නෑ.මට කියපන් මොකක්ද වුනේ කියලා" විශ්මිගේ කතාවට කිසි පිළිතුරක් ලැබුනේ නැති නිසා විශ්මි ආයෙත් කතා කරා.

"සජිනි..."

"එහෙම කියන්න තරම් විශේෂයක් නෑ විශ්මි"සජිනි කිව්වේ මහ හුස්මකුත් හෙලලා.සහනුයි සජිනියි අතරේ මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවා විශ්මිට කියන්න ඕනේ නෑ කියලයි සජිනි හිතුවේ.ඒත් විශ්මිට සජිනිගේ වෙනස තේරුනා.

"ආයෙත් සැරයක් සහන් එක්ක අවුලක්ද?"

"එහෙම නෑ"

"උබ මේ මටද සජිනි බොරු කියන්නේ"

"විශ්මි අනේ ප්ලීස් මං උබට පස්සේ කතා කරන්නම්" එහෙම කියපු සජිනි එක පාරටම කෝල් එක කට් කරේ විශ්මිට හිතාගන්නවත් බැරි විදියට.

ෆෝන් එකත් අතේ තියාගෙන විශ්මි කල්පනා කරේ මේ සැරේ ප්‍රශ්නේ මොකක් වෙන්න පුලුවන්ද කියලා.මේ ඔක්කොම අපේ මෝඩ කෙල්ල අර සහන්ව බදින්න කැමති වුන නිසානේ කියලා විශ්මි හිතුවේ දුකින්.පාසල් කාලේ ඉදන්ම එකටම හිටපු නිසා සජිනි ගැන විශ්මි නොදන්න දෙයක් නෑ.සජිනිගේ හිතේ සහන් ගැන තියෙන හැගීම ගැන විශ්මි හරියටම නොදන්නවා වුනත් ඒක නිකන්ම කොල්ලෙක් ගැන හිතෙන දෙයක් නෙවෙයි කියලා විශ්මි තේරුම් ගත්තේ සහන් සජිනිලා ඉන්න තැනම නදිනිගෙන් යාලු වෙන්න අහපු වෙලාවේ.

"මේ ඉක්මනට යමන්කෝ .අපේ පාරෙන්ම  යන CTB එක අල්ලගත්තොත් ලේසි." විශ්මි කෑගැහුවේ හෙමින් හෙමින් එන සජිනිට.සජිනි මේ හෙමීට එන්නේ සහන්  යන බස් එකටම නැග ගන්න කියලා විශ්මි හොදටම දන්නවා.

"ඉක්මනට ගිහින් මොකක් කරන්නද බං" සජිනි කිව්වේ සැරින් සැරේ පිටිපස්ස බලන ගමන් 

"මේ සජියෝ  එක්කෝ උබ ඕක සහන්ට කියපන් නැත්තම් මාත් එක්ක යමන් බස් එකට" විශ්මි කිව්වේ දෙකෙන් එකක් බේරගන්න හිතාගෙන 

"මොනා කියන්නද?" සජිනි අහන්නේ මුකුත් දන්නේ නැති ගානට.විශ්මිගේ ඔය වගේ තර්ජන සජිනි ගනන් ගන්නෙම නෑ 

"උබට බොරු කියන එකට සම්මානයක් දෙන්න පුලුවන්.අන්න බලපන් අන්න බලපන්.බස් එක යනවා.මේක තනිකර උබේ වැරැද්ද.දැන් යන්න එපැයි කිලෝමිටරයක් විතර  පයින්" විශ්මි කන් කෙදිරි ගාන්න ගත්තා.

"අපෝ බං.තනියෙන් යනවා වගේ උබේ කතාව.මාත් ඉන්නවනේ" ඔහොම කතාවෙන් කතාවෙන් සජිනිලා ආවේ බස් හෝල්ට් එකට.සජිනිලා ඇවිත් වැඩි වෙලාවක් යන්න කලින් එතනට ආවේ නදිනියි එයාගේ යාලුවා හිමාලියි.

"අහ් මේ විශ්මිලා ඉන්නවනේ මෙතන.මං යන්නද එහෙනම්" හිමාලි කිව්වේ විශ්මියි සජිනියි එක්ක හිනා වෙන ගමන් 

"ඇයි ඇයි මෙයා මේ කොහෙද යන්න හදන්නේ" විශ්මි ඇහුවේ හිමාලිගෙන් 

"අද නැන්දලගේ ගෙදර බං යන්නේ.එහේ පිරිතක්.එහෙනම් මං යනවා නදිනි.පරිස්සමෙන් පලයන් කෙල්ලේ .සජිනි යන්නම් හොදේ" එහෙම කියලා හිමාලි යන්න හැරුනා 

"කෝ බං මට කිව්වේ නැනේ යනවා කියලා " විශ්මි කෑගැහුවා 

"අනේ අම්මේ මට අමතක වුනානේ.සමාවෙන්න මහ රැජින.මට යන්න අවසරද?" හිමාලි හිනා වෙවි ඇහුවා 

"හ්ම් හ්ම් අවසරයි අවසරයි.පිරිතටම යන්න ඕනේ.එහෙ මෙහෙ රස්තියාදු ගහලා අහු වෙන්න එපා"

"එහෙමයි එහෙමයි" හිනා වෙවි කියපු හිමාලි යන්න ගියා.

තුන් දෙනත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට තමයි සහන්ලා එතනට ආවේ.සහන් දැකලා සජිනිගේ  මූනට ලයිට් දාපූ හැටි විශ්මිට හොදට පෙනුනා.විශ්මි ඒ ගැන කියලා සජිනිට විහිලුවක් කරන්න හදනකොටමයි සහන් එතනට ආවේ.

"නදිනි මේ..." සහන් ගොත ගහනවා.මේ මොකක්ද වෙන්න යන්නේ කියලා සජිනිට වගේම විශ්මිටත්  හිතාගන්න බෑ.නදිනි බිම බලාගෙන තවත් විශ්මි ලගට කිට්ටු වුනා.

"නදිනි මේ ..මං මේ .." සහන්ට තාමත් මේක කියාගන්න බෑ.

"මට ඔයාට ටිකක් කතා කරන්න පුලුවන්ද?" සහන් අමාරුවෙන් කියාගත්තා.ඒක ඇහුන ගමන් විශ්මිට තේරුනා මෙතන මේ මොකක්ද වෙන්නෙ කියලා.විශ්මි සජිනි දිහා බැලුවම විශ්මිට තේරුනා සජිනිට නම් මේක තාම තේරිලා නෑ කියලා.

"කියන්න"නදිනි කිව්වේ බිම බලාගෙන.තමන් දිහා බලාගෙන ඉන්න විශ්මියි සජිනියි දිහා බලපු සහන්  ආයෙත් නදිනි දිහා බැලුවා.

"මං ඔයාට කැමතියි නදිනි" සහන්ගේ කටින් ඒ වචන ටික එනවත් එක්කම විශ්මිට දැනුනා සජිනිගේ අතින් තමන්ගේ අත තද කරලා මිරිකන බවක්.සජිනිගේ මූන කලු වෙලා තිබ්බේ.සහන් තව මොනවා කිව්වද කියලාවත් නදිනි දීපු උත්තරයක්වත් විශ්මිට මතක නෑ .විශ්මි බලන් හිටියේ හරි වේගෙන වෙනස් වෙන සජිනිගේ මූන දිහා.එතකොටම වගේ බස් එක එතනට ආවේ වාසනාවකට වගේ.සජිනිවත් ඇදගෙන බස් එකට නගින්න හදලත් විශ්මි ආයෙත් හැරුනේ නදිනිට කතා කරන්න.

"නදිනි අපි මේ බස් එකේ යනවා.ඔයා එනවද?" 

"ඔයාලා යන්න" නදිනි කිව්වේ සහන් දිහා බලලා ලස්සනට හිනා වෙන ගමන් 

විශ්මි සජිනිත් එක්කම බස් එකට නැගලා වාඩි වුනා.බස් එකේ ගියපු ඒ පැයේදී විශ්මි සජිනි එක්ක කතා කරන්න කොච්චර උත්සහ කරත් සජිනි වචනයක්වත් කතා කරේ නෑ.ජනේලෙන් එහා බලාගෙන ගියා මිසක්.ඒත් ඊට පහුවදා ඉස්කෝලේ යනකොට සජිනිගේ මේ හැසිරීම එක පාරටම වෙනස් වෙලා තිබ්බා කියලත් විශ්මිට මතකයි.

විශ්මී ඒ මතකෙන් මිදුනේ එයාගේ අතේ තිබ්බ දුරක්ථනේ සද්දෙට.ඇමතුම කාගෙනද කියලා දැක්කම තමයි විශ්මිට මතක් වුනේ සජිනිට කතා කරපු හේතුව.

"හලෝ"

"හලෝ විශ්මි,කතා කරාද සංජුට" එහා පැත්තෙන් කටහඩක් ඇහුනා 

"හ්ම්ම් කතා කරා"

"කිව්වද එයාට.මට බැන්නද?" ඒ කටහඩ ආයෙත් අහනවා 

"කියන්න බැරි වුනානේ"

"හ්ම්ම් මට තේරෙනවා.මට බනින්න ගන්න ඇති නේද මතක් කරපු ගමන්"

"නෑ නෑ.එහෙම නෙවෙයි වුනේ.මට ඔයා ගැන කියන්න වුනෙත් නෑ.එයා වැඩක හිටියේ.පස්සේ ගන්නම් කිව්වා මට.එතකොට කියන්නම් මං"විශ්මි බොරුවට කිව්වෙ සජිනි ගැන කියලා මේ හිතත් රිද්දන්න ඕනේ නැති නිසා.

"ඒක්කෝ කියන්න එපා.මං කොහොමත් එයා බලන්න යන්නනේ ඉන්නේ"

"ඒ වුනාට කියලා යන එක හොද නැද්ද?" විශ්මි ඇහුවේ සජිනිගේ ප්‍රතිචාරේ ගැන බයෙන්

"එයාගේ හස්බන්ඩ් නිසාද එහෙම කියන්නේ?"

"නෑ නෑ සහන්ගේ එහෙම ප්‍රශ්නයක් නෑ" විශ්මි කිව්වේ සහන් ගැන තරහෙන් 

"එහෙනම්...."ඒ කටහඩ අහනවා 

"එයා දුකෙන් ඉන්නේ ඔයා ආවේ නෑ කියලා.අඩු ගානේ ඔයා එයාට කෝල් එකක්වත් දුන්නද? එහෙමත් නැතුව මෙහෙම එක සැරේට ගියාම මොනා වේවිද? "

"මගේ සංජු එහෙම මාත් එක්ක තරහ වෙන්නෙ නෑ.මං යනවා හෙට අනිද්දම.ඔයා එයාට මුකුත් කියන්න එපා"

"හ්ම්ම් හාකෝ හාකෝ.අන්තිමට ඔන්න සජිනි බැන්නොත් මාව බේරගන්නවා හරිද " විශ්මි කිව්වේ නොක්කඩුවෙන් වගේ 

"හරි හරි එක එතකොට බලමුකෝ"

"හරි එහෙනම් මං තියනවා.ඔෆිස් එකේ වැඩත් තියන් මේ කතා කරන්නේ"

"හරි එහෙනම් බායි"

"බායි" 

විශ්මි ෆෝන් එක කට් කරේ සතුටෙන්.මේ නිසාවත් දුකින් ඉන්න සජිනිගේ ජිවිතේට සතුටක් ලැබුනොත් ඒ ඇති කියලා විශ්මිට හිතුනා.

********************************************************************************

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න.... 💖


Monday, June 11, 2018

ආදරණීය නපුරා - දහඅට වන කොටස



සහනුයි යාලුවො ටිකයි මැච් එක බලනකම් සජිනි කට්ටියට කෑම ලෑස්ති කරා.කෑම ටික මේසේට තියලා තමයි සජිනි කට්ටියට කන්න කතා කරේ.

"එන්න අයියේ,කමු" සජිනි ඇවිත් කතා කරා.

"යමන් යමන් කන්න" සහනුත් කිව්වා 

"අම්මෝ ඔව් බඩගින්නෙ හිටියේ" විහග කිව්වේ බඩත් අල්ලගෙන මේසෙන් වාඩි වෙන ගමන් 

"යකෝ තැනකට ඇවිත් හරියට හැසිරියන්කෝ,නංගි මේ මූගේ මල විකාර" ගයාන් කිව්වේ විහගට රවලා 

"ඔව් නංගි.මූ කියන ඒවා ගනන් ගන්න එපා.මූ මේ මහ රෑ 12ට ඇහුවත් බඩගිනියි කියන එකා" සුදේශුත් ඒකට පෝර දැම්මා 

"අඩෝ දැන් මේ මාව බයිට් කරන්න ගන්න එපා.උදේට කෑවේ නෑ නංගි හරියට.ඒකයි" විහග කිව්වේ අනිත් දෙන්නට රව රව 

"අයියෝ අයියා කියන්න එපැයි කලින්.උදේ හදපු කිරිබත් තිබුනා" සජිනි කිව්වේ පසුතැවිලි වෙන හඩකින් 

"මුගේ බොරු සජිනි,මූ මේ උදේටත් හොදට ගිලල එන්න ඇත්තේ" එහෙම කියාගෙන සහනුත් මේසේට වාඩි වුනා 

"අනේ එහෙනම් උබලා නොකා  හිටපල්ලා . මං නම් කනවා.නංගිගේ කෑම එහෙම මග අරින්න පුලුවන්ද " විහග කෑම බෙදාගන්න පටන් ගත්තා.

"මූ නම් හදන්න පුලුවන් එකෙක් නෙවෙයි" ගයාන් කිව්වා 

"අයියා බෙදාගෙන කන්න අයියේ"එහෙම කියන ගමන් සජිනි බැලුවේ මේසේ මුකුත් අඩුයිද කියලා.එතකොට තමයි සජිනිට තේරුනේ අඹ මාලුව මේසෙට තියන්න අමතක වෙලා කියලා.ඒ නිසා සජිනි ඉක්මනටම ගිහින් අඹ මාලුව බෙදාගෙන ආවා.

"අප්පා...අඹ මාලුවකුත් තියෙනවද? නංගි උයන ඒවගෙන් මං ආසම මේකට තමයි"එහෙම කියන ගමන් විහග අඹ මාලුව බෙදාගන්න ගත්තා 

"අයියා කලින් මගේ කෑම කාලා තියෙනවද?" සජිනි අහනකොට සහන්ට එක පාරටම සජිනි දිහා බැලුනා.ඒත් සජිනි හරි උවමනාවෙන් බලන් හිටියේ විහග දිහා 

"නැතුව නංගි.ඔයා දවල්ට සහන්ට හදලා එවන කෑම එක පට්ටයි.මූට ඉතින් ඒවා කන්න පින නෑනේ.අර කැන්ටින් බත් එක ගිලිනවා.පවට පින ..ආව්ව්... මොකද යකෝ කකුලෙන් ගහන්නේ" කිය කිය හිටපු කතාව නවත්තපු විහග එයා ලගම වාඩි වෙලා හිටපු  සුදේශ්ට රැව්වා.සුදේශුත් විහගට  රවලා පෙන්නුවේ සජිනිව.සජිනිගේ මූණ රතු වෙලා අමුතු වෙලා  තිබ්බේ.එතකොට තමයි විහගට සිද්දිය තේරුනේ.සහන් කෑම එක දිහාම බලාගෙන හිටියේ.

"නෑ නෑ නංගි මේ මූ කියන්නේ බෙදාගෙනනේ අපි කන්නේ.එතකොට මදි වුනම කැන්ටින් එකෙන් කන්නත් වෙනවා" ගයාන් පැහැදිලි කරන්න හැදුවා.

"මේ බත් ඉවරයි වගේ.මං බත් ටිකක් දාගෙන එන්නම්" එක පාරටම එහෙම කියපු සජිනි බාගෙට ඉවර වුන බත් දීසීයත් අරගෙන හැරුනේ ඇස් වලට ආපු කදුලු තද කරගෙන.

සජිනී කුස්සියට යනකම්ම කට්ටියම බලන් හිටියේ සජිනි දිහා.

"මොනවද යකෝ කරන්නේ?" සජිනි නොපෙනී ගිය ගමන් සුදේශ් විහගට කඩන් පැන්නා.

"අනේ සොරි මචන්.මට නිකන්ම කියවුනා" විහග කිව්වේ පසුතැවිල්ලෙන් 

"මං නංගිට කතා කරන්නම්" එහෙම කියාගෙන විහග පුටුවෙන් නැගිටින්න හැදුවා

"උබ මොකක් කතා කරන්නද?" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සහන් විහග දිහා බලලා ඇහුවා 

"මං කියන්නම්..." ඒත් විහගට ඒ කතාව ඉවර කරන්න වුනේ නෑ 

"ඒ කතාව බොරු කියලද? උබ බොරු නෙවෙයිනේ කිව්වේ.ඒක ප්‍රශ්නයක් නෑ.උබලා කාපල්ල.මං සජිනිට කතා කරන්නම්" එහෙම කියපු සහන් ආයෙත් කන්න ගත්තා.

කුස්සියට යනකොටත් සජිනිට ඇඩිලා ඉවරයි.හැමදාම උදේට කොච්චර ආසාවෙන්ද බත් එක හදන්නේ කියලා සජිනිට මතක් වුනා.ගෙදරදි නම් උදේ 6ට නැගිටින්නෙත් රස්සාව නිසා.උයන්න කියලා නම් කවදාවත්ම නැගිටලා නෑ.ඒ ඔක්කොමත් හරි.සහන් එක්ක ගෙවන ජිවිතේ සන්තෝසෙකට තිබ්බේ කතා නොකරත් තමන් හදලා දෙන කෑම සහන් කනවා කියන සැනසිල්ල විතරයි.'කෑම කියන්නේ මිනිහෙක්ගේ හදවතට තියෙන මාර්ගය' කියලා සජිනිට කියලා දුන්නේ සජිනිගේ අම්මා.ඒ නිසාමයි සජිනි බදින්න කලින් හොදට උයන්න පුරුදු වුනේ,මොන අසනීපේ තිබ්බත් අමාරුවෙන් හරි එලාම් එක තියලා නැගිටලා උයලා දුන්නේ.මේ දේවල් මතක් වෙනකොට සජිනිට තවත් ඇඩුනා.හිතේ දුක යන්න ටිකක් වෙලා එහෙම්ම හිටපු සජිනි මූණත් ටිකක් හෝදගෙන කුස්සියෙන් යන්න හදනකොටමයි සහන් කුස්සියට ආවේ.

ඒ වෙච්ච සිද්දියත් එක්ක සහන්ට තිබ්බ බඩගින්නත් නැති වෙලයි තිබ්බේ.ඒ නිසා ඉක්මනටම කාලා ඉවර කරපු සහන් කෑම පිගානත් අරන් කුස්සියට ආවේ සජිනි ගැන බලන්නත් එක්කමයි.මොනවා වුනත් සජිනිගේ කෑම කන්න තිබ්බා කියලා සහන්ට හිතිලා තිබ්බේ දැන් ටික කාලෙක ඉදලා.මුල් කාලේ සජිනි එක්ක තරහට නොකැවත් පස්සේ කාලෙක සහන් කෑවේ නැත්තේ යාලුවන්ගේ බයිට් වෙන්න වේවි කියලා.දවස් ගානක්ම සහන්  කැන්ටින් එකෙන් කෑවේ ගයාන්ලා සජිනිගේ කෑම එක කන හැටි දැකලා හුල්ල හුල්ල.ඒත් දැන් තරම් ඒ ගැන පසුතැවිල්ලක් සහන්ට කලින් දැකලා තිබ්බේ නෑ.බයිට් වුනත් කමක් නෑ කියලා සජිනිගේ කෑම එක කෑවා නම් මේ මුකුත් නෑ කියලා සහන්ට තමන් එක්කම තරහයි.

සජිනි සහන්ව දැකලා ආපහු හැරුනේ කෑම බලන්න වගේ.

"සජිනි.." සහන් කතා කරා 

"ඇ..ඇයි?" 

"ඔයා.. මේ..මම මේ.." කියන්න දෙයක් සහන්ට හිතාගන්න බෑ.කියන දෙයක් කටට එන්නෙත් නෑ.පලවෙනි සැරේට සජිනිට වැරැද්දක් කරා වගේ හැගීමක් සහන්ට දැනෙන්න ගත්තා.

හිතට ශක්තිය ගත්ත සජිනි සහන්ගේ පැත්තට හැරුනා.සජිනිගේ මුලු මූණම රතු වෙලා.දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා සජිනි හොදටම අඩලා කියලා.

"මං පුඩින් එකක් හැදුවා.අරන් එන්නම්.පිගාන තියලා යන්න" එහෙම කියලා සජිනි පුඩින් එක තිබ්බ බාජනෙත් අරන් සහන්ව පහු කරන් කෑම කාමරේට ගියා.

කට්ටිය කතා කර කර ඉදලා යනකොට හවස් වුනා.දවල් කෑම වෙලාවේ වුන සිද්දියෙන් පස්සේ එතන තත්වේ ටිකක් අමුතු වගේ වුනත් සජිනිත් කට්ටිය එක්ක වාඩි වෙලා මැච් එක බලපු නිසා සහන්ගේ යාලුවන්ට නම් ටිකකින් සිද්දිය අමතක වෙලා ගියා.එත් සහන් නම් මැච් එක බැලුවේ සජිනිව මග අරින්නමයි.

ඊට පහුවදා සහන් වැඩට යන්න ලෑස්ති වෙලා එලියට එනකොට සහන් බලාපොරොත්තු වුනේ නැති විදියට වෙනදා වගේම සජිනි සහන්ගේ දවල් කෑම එකයි උදේ කෑම එකයි ලෑස්ති කරලා මේසෙන් තියලා තිබ්බා.සහන් හිතුවේ ඊයේ සිද්දිය නිසා සජිනි ආයෙත් කෑම දෙන එකක් නෑ කියලයි.ඒත් එක එහෙම නොවුන එක ගැන සහන් මේ වතාවේ සතුටු වුනා.

මේ විදියට සති දෙක තුනක්ම ගෙවිලා ගියා.සජිනි වෙනදා වගේම කෑම හැදුවත් දැන් සජිනිගේ එක වෙනසක් තිබ්බා.වෙනදට සජිනි සහන්ගෙන් එයාගේ කෑම ගැන අහනවා.මේක හොදයිද? අරක හොදයිද? ඒ වගේ ප්‍රශ්න.දැන් ඒ ප්‍රශ්න නැවතිලා.සහන් බලන් හිටියේ සජිනි එහෙම අහනකම්.ඒ ගැන කියන්න.ඒත් සජිනි කෑම ගැන කතා කරේම නෑ.

දවසක් සහන් වැඩට ගිය වෙලාවක සජිනිට කෝල් එකක් ආවේ එයාලගේ විවාහය ජායාරූප ශිල්පියාගෙන්.

"ෆොටෝ ටික නංගි ඔයාගේ  මේල් එකට එවලා තියෙන්නේ.බලලා ඇල්බම් එකට දාන්න පොඩ්ඩක් සිලෙක්ට් කරලා එවනවද? ඔක්කොම දාන්නත් පුලුවන් ඔයාලා කැමති නම්" 

"අහ් බලලා කියන්නම් අයියේ" එහෙම කියපු සජිනි ගියේ සහන්ගේ කාමරේට.සජිනිගේ ලැප් එක තාමත් ගෙදර තියෙන්නේ.ඒක ගෙන්න ගන්න බැරි වුනා මේ ගෙදරට.ඒක සජිනිට ලොකු ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඒත් දැන් මේ ෆොටෝ ටික බලන්න ඕනේ නිසා සජිනි හිතුවා ඒක සහන්ගේ ලැප් එකෙන් බලන්න ඕනේ කියලා.

ඒත් සජිනිගේ බලාපොරොත්තු කඩ වුනේ සහන්ගේ ලැප් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා දැකලා.අතෑරලා දාලා නිකන් ඉන්නත් හදලා සජිනි කෝකටත් කියලා සහන්ගේ බර්ත්ඩේ එක දාලා බැලුවා.ඒත් ඒක වැඩ නෑ.සජිනි ඒපාර උත්සහ කරේ සහන්ගේ අම්මගේ නම දාලා.ඒත් ඒකත් හරි ගියේ නෑ.එක පාරටම සජිනිගේ හිතට ආපු සිතුවිල්ලකට සජිනි, 'nadini' කියලා පාස්වර්ඩ් දාලා බැලුවා.

එක පාරටම ලැප් එකේ ඩෙස්ක්ටොප් එක විවෘත වුනේ නදිනිගේ ලස්සන ජායාරූපෙකුත් එක්කමයි.

*********************************************************************************

හෙට හම්බෙමූ

ආදරෙන් ඉන්න..... 💖





Sunday, June 10, 2018

ආදරණීය නපුරා - දාහත් වන කොටස



සහනුයි සජිනියි යනකොටත් නිශාන්තිලගේ ගෙදර කිරි උතුරවලා ඉවරයි.තිලිණිගේ මහත්තයා ඉන්නවා දැකපු සහන් එතනට ගියා.ඒ අතරේ සජිනි අරන් ගියපු කිරිබත් එක නිශාන්තිට දීලා තිළිනි ලගින් වාඩි වුනා.

"මං උදේ ඔයා බලන්න ගෙදරටත්  ගියා"තිලිණි කිව්වා.එතකොට තමයි සජිනිට තේරුනේ මේ උදේ ගෙදරට ආවේ තිළිණි කියලා.තිළිණිට එන්න කිව්වා කියලත් සජිනිට අමතක වෙලා තිබ්බේ උදේ වෙච්ච දේ නිසා.

"අහ් ඔව් සහන් එනවා කිව්වනේ හදිස්සියේම.ඒපාර එයා එක්ක ආවා" සජිනි කටට ආපු එක කිව්වා.

"මේ නංගිත් මේ ලගද ඉන්නේ" එතකොටම එතනට තේ අරගෙන ආපු ගෑනු කෙනෙක් සජිනිට තේ බන්දේසියත් අල්ලලා ඇහුවා.

"ඔව් මං මේ කොරිඩෝ එකෙන් හැරුන ගමන් ගෙදර ඉන්නේ"සජිනිත් හොදට හිනා වෙලා කිව්වා.

"මේ නිශාන්තිගේ අක්කා" තිළිණි සජිනිට හදුන්වලා දුන්නා 

"අහ් එහෙමද අක්කලා මේ ලගද"

"ලගම නෙවෙයි නංගි.අපි බත්තරමුල්ලේ" නිශාන්තිගේ අක්කා  එහෙම කියනකොට පොඩි බබෙක් අඩන සද්දයක් ඇහෙන්න ගත්තා 

අනේ නංගි මේ අපේ පොඩි එක්කෙනා ද  දන්නේ නෑ .මං ගිහින් බලලා එන්නම්" එහෙම කියපු නිශාන්තිගේ අක්කා එතනින් ගියා.

"හොදයි වගේ නේද?" තිළිණි ඇහුවේ සජිනිගෙන් 

"හ්ම්ම්..මේ ඒක නෙවෙයි කෝ සංජු?දහම් පාසල් ද?"සජිනි ඒ ඇහුවේ තිළිණිගේ දුව ගැන.

"ඔව්.උදේ යන්න බෑ කියලත් ඇඩුවා.මං එක්කගෙන ගියා.පොඩි කාලෙම ඕවා පුරුදු වෙන්න එපැයි නංගි"

මෙහෙම ටිකක් වෙලා කතා කර කර ඉන්න අතරේ නිශාන්ති බඩු අස් කරනවා දැකපු සජිනියි තිළිනියි එතනට ගියා.තිළිණි කුස්සිය අස් කර කර හිටපු නිශාන්තිගේ අක්කට උදව් වෙන අතරේ සජිනි නිශාන්තිගේ බඩු වගයක් කබඩ් එකට දාගන්න උදව් කරන්න ගත්තා.

"මේ ටික විතරයිද තියෙන්නේ?" සජිනි ඇහුවේ නිශාන්තිට පෙට්ටියක් දෙන ගමන් 

"නිශාන්තී..."කවුදෝ මන්දා කතා කරන සද්දයක් ඇහුනා.ඒ ඇහුනේ ගෙදර සාලෙන්.

"කවුරු හරි ගෙදරට ඇවිත්ද කොහේ නංගි.මං බලලා එන්නම්" 

"මං ඔයා එනකම් මේ ටික තියන්නද?"

"පුලුවන් නම් තියන්නකො.නැත්තම් මං ඇවිත් තියාගන්නම් නංගි"එහෙම කියපු නිශාන්ති ඉස්සරහට ගියා.

එතන තිබ්බ පෙට්ටියක් ගත්ත සජිනි ඒක කබඩ් එක උඩින් තියන්න උත්සහ කරා.සජිනි කබඩ් එකට වඩා සෑහෙන්න කොට නිසා ඒක තියන එක ලේසි වුනේ නෑ.ඒ නිසා සජිනි ඇගිලි තුඩු වලින් ඉස්සි ඉස්සි පෙට්ටිය උඩින් තියන්න උත්සහ ගත්තා.

සහන්ට දැන් මේ ඉදිල්ල ඇති වෙලා තිබ්බේ.නිවාඩු දවසේ ගෙදරට වෙලා මැච් එක බලන්න හම්බුනේ නැති එකටත් සහන්ට තරහයි. වරුණ ඉන්නකම් කොහොම හරි හිටියත් වරුණත් මැච් එක බලන්න කියලා ගියාම සහන්ට තවත් ඉන්න ඕනේ වුනේ නෑ.ඒ නිසා සහන් ගේ ඇතුලට ආවේ සජිනිවත් එක්කගෙන ගෙදර යන්න.

කෑම කාමරේට එනකොටම සහන් දැක්කේ ගෙදරට  ආපු කෙනෙක් එක්ක කතාවක ඉන්න වික්‍රමව.වික්‍රම ව ගනන් ගන්නේ නැතුව වටපිට බලපු සහන් දැක්කා පෙට්ටියක් උඩින් තියන්න උත්සහ කරන සජිනිව.පෙට්ටිය උඩින් තියන්න ඉස්සි ඉස්සි හිටපු සජිනිගේ බ්ලවුස් එක සැරින් සැරේ ඉස්සිලා එයාගේ ඉණ නිරාවරණය වුනේ සජිනිටත් නොදැනීමයි.සජිනිව දැකපු ගමන් සහන්ගේ ඇස් ගියේ සජිනිගේ නිරාවරණය වෙමින් තිබ්බේ ඉණට.ඒත් එක්කම වික්‍රමව මතකෙට ආපු සහන් වික්‍රම දිහා හැරිලා බැලුවා.වික්‍රමගේ ඇස් තිබ්බෙ සජිනි ලග.සහන්ට තරහටම අත මිට මෙළවුනා.ඒත් වික්‍රමගේ ගෙදරදිම එයා එක්ක ප්‍රශ්නයක් දාගන්න සහන්ට ඕනේ වුනේ නෑ.සහන් පුලුවන් ඉක්මනින් සජිනි ලගට ගිහින් වික්‍රමට සජිනිව මුවා වෙන විදියට හිටගත්තා.

පිටිපස්සෙන් එක පාරට කවුරුහරි ඉන්නවා වගේ දැනුනු සජිනි බය වෙලා හැරිලා බැලුවා.ඒ ඉන්නේ සහන් කියලා දැක්කම සජිනිට සැනසීමක් දැනුනා.කොච්චර සැර වුනත් පිට ගෙදරකදි සහන් ලග ඉන්න එක ගැන සජිනිට දැනුනේ සතුටක්.සහන් ආපු එක කොච්චර හොදද කියලත් සජිනිට හිතුනා.ඒත් වික්‍රමට සජිනිව නොපෙනෙන්න ඕනේ නිසා සහන් හිටගෙන හිටියේ සජිනිට ගොඩාක් ලගින්.ඒ නිසා සජිනි පිටිපස්සට අඩියක් තිබ්බේ සහන් අතර තිබ්බ දුර වැඩි කරගන්න.ඒත් සජිනිට හරියටම පිටිපස්සෙන් තිබුනේ කබඩ් එක නිසා සජිනිව කබඩ් එකේ හැප්පිලා සමබරතාවේ නැති වෙන්න ගියත්  සහන් සජිනිගේ  අතින් අල්ලගෙන සජිනිට  කෙලින් ඉන්න උදව් කරා.සජිනි අමාරුවෙන් හිටගෙන සහන්ගේ අතින් තමගේ අත අයින් කරගත්තා.සහන් හිටියේ දිගටම සජිනි දිහා බලාගෙන.

"ඇ..ඇයි?"සජිනි අමාරුවෙන් කතා කරා.

"මොනවද කරන්නේ?" සහන් ඇහුවේ හරි තරහෙන්

"මේ පෙට්ටිය තියන්න හැදුවේ" සජිනි කිව්වේ තාමත් එයාගේ අතේ තියෙන පෙට්ටිය පෙන්නලා

"කෝ දෙන්න" එහෙම කියලා සහන් ඒක අරන් කබඩ් එක උඩින් තිබ්බා 

"දැන් හරිනේ.යමු ගෙදර" සහන් යන්න හැරුනා 

"ඔයා යන්න.මං තිලිණි අක්කා එක්ක එන්නම්"

"ඇයි තමුසෙට මේ ගෙදර නවතින්න ආසයිද?මගෙන් මුකුත් අහගන්නේ නැතුව එනවා යන්න"සහන් ඒ ටික කිව්වේ කෑගහන්න වගේ 

"මෙයාගේ සැර..." සජිනි තමන්ටම මුමුණ ගත්තා 

"මොකක්ද කිව්වේ " සහන් ආයෙත් ගෙරෙව්වා 

"නෑ නෑ මුකුත් නෑ.මං ගිහින් තිළිණි අක්කට කියලා එන්නම්" සජිනි එහෙම කියලා කුස්සියට ගියා.සජිනි ගිහින් එනකම් සහන් එතනට වෙලා හිටියා

"හරිද එහෙනම්.යමුද" සහන් ඇහුවේ තිළිණි එක්කම එලියට ආපු සජිනිගෙන් 

"හා යමු"

"මල්ලි, වරුණ ගියා නේද?" තිළිණි ඇහුවේ සහන්ගෙන් 

"ඔව් ගියා.අක්කට මැසේජ් එකක් දැම්මා කිව්වා අක්කව  හොයාගන්න බැරි වුනා කියලා."

"ඔව් ඔව්.මං බඩු වගයක් අස් කර කර හිටියේ.අද මැච් එකනේ.හදිස්සිය එයාට"

'ඒක තමයි මෙයාටත්  මේ හදිස්සිය' තිළිනි ගේ කතාවට  සජිනි එහෙම හිතුවත් ඒක කිව්වේ නෑ.

තිළිණි තව ටිකක් ඉදලම යනවා කියපු නිසා සජිනියි සහනුයි යන්න හිතාගෙන සාලෙට ආවා.සාලේ මේසයක් උඩ පොත් වගයක් අස් කර කර හිටපු වික්‍රම දැකලා සජිනි එහෙම්ම නැවතුනා,සහන් සජිනි දිහා බැලුවේ ඇයි කියලා අහන්න වගේ.

"වික්‍රම අයියට කිව්වේ නෑනේ යනවා කියලා.මං කියලා එන්නම්" සජිනිගේ මේ  කතාවට සහන්ට යකා නැග්ගා.

'අයියා?කවුද අයියා? මේ නාකි කුකුළට අයියලු.අනේ ඇත්තට මේ කෙල්ලට මොලේ කියලා නාමයක් නෑනේ' හිතින් බැන බැනම සහන් සජිනි දිහාට හැරුනා.

"තමුසේ ඉන්නවා.මං කියන්නම්.මට කියන්නත් දෙයක් තියෙනවා කොහොමත්" එහෙම කියපු සහන් වික්‍රම ලගට ගියා.

'හිතෙන හිතෙන වෙලාවට මට තමුසෙ තමුසේ ගන්නේ මං මොකෙක් කියලද දන්නේ නෑ මෙයා හිතන් ඉන්නේ?වෙලාවක කොහිල ටිකක් හදලා දෙන්න ඕනේ.කොයි වෙලෙත් මල පැනලනේ ඉන්නේ'  එහෙම හිත හිත සජිනි එලියට යන අතරේ සහන් වික්‍රම ලගින් හිටගත්තා.වික්‍රම ෆෝන් එක කනේ තියාගෙන කතාවක ඉන්නවා වගේ පෙන්නන්න හැදුවත් සහන් බලන් හිටපු විදියට වික්‍රමට සහන්ව මග අරින්න බැරි වුනා.

"අහ් ඔයාලා යන්නද?" වික්‍රම මුකුත් වුනේ නෑ වගේ සහන්ගෙන් ඇහුවා 

"ඔව් යන්න කියලා.ආයේ එන්න කල්පනාවකුත් නෑ" සහන්ගේ කතාවට වික්‍රම ටිකක් අවුල් වුනත් ඒක පෙන්නුවේ නෑ.සජිනි දිහා බලනවා සහන් දැකලත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැති නිසා සහන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ කියලයි වික්‍රම හිතුවේ.

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ඔව් සෑහෙන ලොකු ප්‍රශ්නයක්.මං සරලව කියන්නම්.ඒ හිටියේ මගේ වයිෆ්.මගේ වයිෆ් දිහා මං බැලුවම හොදටම ඇති.මගේ වයිෆ් දිහා පිට එවුන් බලන්න ආවොත් අන්න ඒක තමයි උන් ජිවිතේ වරද්ද ගන්න ලොකුම තැන" එහෙම කියපු සහන් දොර ලග සජිනි එක්ක කතාවක ඉන්න නිශාන්ති දිහා බැලුවා 

"මතක තියාගන්නවා.තමුන්ටත් නෝනා කෙනෙක් ඉන්නවා කියලා.ඒ නෝනා ඉස්සරහ තමුන්ව බාල්දු කරන්න මං කැමති නෑ.අන්න ඒකයි මං මේක අතැරියේ.අන්න ඒකත් හොදට මතක තියාගන්නවා" හරිම සැරෙන් මේ ටික  කියපු සහන් හැරිලා දොර ලගට ආවේ සජිනි ලගට.එතනින් නිශාන්තිට සමු දීපූ දෙන්නා පිටත් වුනේ ගෙදරට යන්න.

මැච් එක මතක් වුන නිසා සහන් සජිනිට ඉස්සරහින් ගියේ ඉක්මනට ගිහින් මැච් එක බලන්න හිතාගෙන.ඒත් කොරිඩෝ එකෙන් හැරෙනකොටම දැකපූ දේ නිසා සහන් එතනම නැවතුනා.සහන්ගේ පිටිපස්සෙන් ෆෝන් එක දිහා බලාගෙන ආපු සජිනි නැවතුනේ ගලක් වගේ හයිය සහන්ගේ පිටේ වැදිලා.

"මොනා කරනවද සහන්"තරහටත් එක්කම සජිනි ඇහුවේ ටිකක් සද්දෙන් 

"අඩේ මෙන්න ඉන්නවා කපල් එක"එක පාරටම කවුදෝ කෑගැහුවා 

කෑගැහුවේ කවුද බලන්න එබිලා බලපු සජිනි දැක්කේ සහන්ගේ වයසෙම වගේ කොල්ලො තුන්දෙනෙක් එයාලගේ ගෙදර දොර ලග වාඩි වෙලා බලාගෙන ඉන්න හැටි.ඒක දැකලා සජිනිට හිනාත් ගියා.

ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.සහන්ගේ ඔෆිස් එකේ යාලුවො තුන්දෙනා.සුදේශුයි ගයානුයි විහගයි.

"උබලා මොනවද මෙහේ කරන්නේ?' සහන් ඇහුවේ ඒ පැත්තට යන ගමන් 

"ආවා ඉතින් උබව බලන්න.උබ මොකො අපිට එන්නවත් කියන එකක්ද?" සුදේශ් කිව්වේ බිමින් නැගිටින ගමන්.ඒත් එක්කම අනිත් දෙන්නත් නැගිට ගත්තා.

"කියලා වැඩක් නෑ බං .අපිම එන්න ඕනේ" විහගත් ඒකට පෝර දැම්මා 

"අනේ නිකන් හිටපන්.උබලා මේ මැච් එක බලන්න වෙන්නැති ආවේ.වරෙල්ලා වරෙල්ලා ඇතුලට" සහන් කට්ටියම ඇතුලට ගත්තා.

"ඔහොම කියන්න එපා බං.මේ නංගි අපි ගැන මොනවා හිතාවිද?" ගයාන් කිව්වේ හිනා වෙවි මේවා අහන්  ඉන්න සජිනි දිහා බලාගෙන.ඒ කතාවට සහන් සජිනි දිහා බලලා හිනා වුනා.සහන් මෙහෙම හිනා වෙලා ඉන්නවා සජිනි මේ බැන්දට පස්සේ දැක්කමයි.ඒ නිසා සජිනිගේ හිතටත් දැනුනේ සතුටක්.

"ඉඩ තියෙන හැටියකට වාඩි වෙයල්ලා.සජිනි,මේ ඔෆිස් එකේ මගේ හොදම යාලුවෝ.මේ විහග,මේ සුදේශ්,මේ ගයාන් " සහන් කට්ටියව අදුන්වලා දුන්නා 

"මං එහෙනම් බොන්න මොනවා හරි හදන් එන්නම්" එහෙම කියපු සජිනි කුස්සියට ගියා.

"මැච් එක දාපල්ල බං"විහග කෑගැහුවා.

"මේ ඒක නෙවෙයි සහන් කොහෙද මේ උදේ පාන්දර ගියේ?"සුදේශ් ඇහුවේ විහගටත් ඇහැක් ගහලා

"ඕවා අහන්න එපා බං.කවුද දන්නේ ඊයේ රෑ ගියපු ගමනක් අද උදේ එනවද කියලා" විහගත් කතාවට සෙට් වුනා

"පිස්සුද බං.මේ ලග ගෙදරක ගෙට ගෙවදීමක් තිබුනා" එහෙම කියන ගමන් සහන් පුටුවෙන් නැගිට්ටා.

"උබ කොහෙද යන්නේ?"ගයාන් ඇහුවේ සහන්ගෙන් 

"උබලා ඉදපල්ලා.මං එන්නම්"එහෙම කියපු සහන් ගියේ කුස්සියට.

සජිනි තේ හද හද හිටපු තැනට එහා තිබ්බ වතුර ෆිල්ටර් එකෙන් වතුර එකක් අරන් බීපූ සහන් කුස්සියෙන් එලියට යන්න ගියා.එලියට යන්න ගිය සහන් ආයෙත් හැරුනා. 

"ආපහු ඔය වගේ කොට බ්ලවුස් අදින්න එපා"  සහන් එහෙම කියලා යන්න ගියේ සජිනි පුදුමෙන් බලාගෙන ඉද්දි.


********************************************************************************

හෙට හම්බෙමු.....

ආදරෙන් ඉන්න..... 💓


Saturday, June 9, 2018

ආදරණීය නපුරා ගැනයි....

අද දාන්න හිටපු ආදරනීය නපුරා කොටස නොවැලැක්විය හැකි හේතුවක් නිසා දාන්න වෙන්නේ නෑ...ඒකට මට සමාවෙන්න.ඒත් එක්කම සුබ ආරංචියකුත් කියන්න තියෙනවා.ඒ නිසා ඔයාලා තරහ වෙන එකක් නෑ කියලා හිතනවා.

හෙට ඉදන් හැමදාම ආදරණීය නපුරා කියවන්න පුලුවන් 😊😊 හොදයිනේ නේද?

එහෙනම් හෙට හවස කතාව අරන් එන්නම්.... ❤️

Tuesday, June 5, 2018

ආදරණීය නපුරා - දහසය වන කොටස


සහන්ට රෑ හරියට නින්ද ගියේ නැති නිසා උදේ නැගිටිද්දී වෙනදට වඩා පරක්කු වුනා.සහන් ඒ ගැන එච්චර හිතුවේ නැත්තේ එදා ඉරිදා නිසා.

නැගිටපු සහන් සාලෙට ගියේ අද තියෙනවා කියපු ශ්‍රී ලංකා ඉන්දියා මැච් එක බලන්න හිතාගෙන.ලේසියෙන් මෙහෙම නිවාඩු දවසකට මැච් එකක් සෙට් වෙන්නේ නැති නිසා අද නම් දවසෙම මැච් එක බලනවා කියලයි සහන් හිතාගෙන හිටියේ.සහන් ටීවී එක දාපු සද්දෙට සහන් නැගිටලා කියලා දැනගත්ත සජිනි එයාට තේ එකක් ගෙනත් දුන්නා.දැන් සහන් ගෙදරදි සජිනි දෙන කෑම කනවා කිසිම විරුද්දත්වයක් නැතුව.

තාම මැච් එක පටන් අරන් නෑ.ඉන්දියාවේ නිවේදකයෝ දෙන්නෙක් මැච් එක ගැන විග්‍රහයක.ඒක බල බල ඉන්නකොට තමයි සහන්ට දොරේ බෙල් එක වදිනවා ඇහුනේ.සහන් නැගිටලා ගිහින් දොර ඇරියා.ඒ හිටියේ තිලිණි.

"අහ් ගුඩ් මෝර්නිග් මල්ලි.කෝ සජිනි ලෑස්තිද?"

"ගුඩ් මෝර්නිග්,සජිනි හිටියා කුස්සියේ.ඇයි කොහේ හරි යන්නද" සහන් ඇහුවේ තිලිනිගේ අතේ තිබ්බ පාර්සල් එක දිහා ත් බලන ගමන්

" ඔව් අර එහා ගෙදර ගෙට ගෙවදින එකට යන්න.සජිනි රෑ කිව්වා මල්ලිට වැඩක් තියෙනවා කියලා යනකොට එයාවත් එක්ක යන්න කියලා"

"හා ඔව් මේ පොඩි වැඩක් තිබ්බා තමයි.අක්කා යන්නකෝ.මං සජිනි එක්ක එන්නම්" සහන් කිව්වේ කියාගන්නම දෙයක් නැතුව.වෙලාවට තිලිණිට නම් ඒකේ වෙනසක් තේරුනේ නෑ.

"හරි මල්ලි.මං යන්නම් එහෙනම් සජිනිට කියන්නකෝ මං ආවා කියලා"

එහෙම කියලා තිලිණි යනකොටම සාලෙට ආවේ සුදු දිග සායට රෝස පාට බ්ලවුස් එකක් ඇදගෙන හිටපු සජිනි.ඇදුමෙන්ම සහන් තේරුම් ගත්තා සජිනි කොහේ හරි යන්න ඇදගෙන ඉන්නේ කියලා.

"කවුද ආවේ" සජිනි ඇහුවේ තෙත කොන්ඩේ පිහිද පිහිද

"ඊට කලින් කියමු බලන්න මේ කොහේ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ කියලා" සහන් ඇහුවෙ අත් දෙකත් බැදගෙන

"මං මේ..." සජිනි ගොත ගහන්න ගත්තා.වීරයා වගේ ලෑස්ති වුනාට සජිනි සහන්ගේ ගෝරනාඩු වලට තාම බයයි

"මං මං මේ මොකක්ද?"

"මං අර ගෙට ගෙවදීමට යන්න කියලා" සජිනි හිතට දෛර්‍ය අරන් කිව්වා
"දැන් කවුද කිව්වේ එහේ යන්න කියලා"

"ඇයි ඊයේ ඇවිත් එන්න කිව්වේ" සජිනිගේ උත්තරේට සහන්ට යකා නැග්ගා
"උන් එන්න කිව්වට මං යන්න කිව්වද"

"ඔයා කියන්නේ මොකටද? මටත් එක්කනේ එන්න කිව්වේ.ඉතින් මං යනවා" සජිනිටත් ඒ සැරේ තරහ ගියා

"මං ඊයේ රෑ පැහැදිලි සින්හලෙන් කිව්වා නේද අපි එහේ යන්නේ නෑ කියලා" සහන් ඇහුවේ සජිනි දිහාට එන ගමන්

"ඉතින් ඇයි යන්නේ නැත්තේ" සජිනිත් අඩියක් පස්සට ගත්තා

"යන්නේ නැත්තේ මං යන්නේ නෑ කියන නිසා"සහන් ඉස්සරහට එන්න එන්න සජිනි පස්සට ගියා

"ඒක පුදුම කතාවක්නේ.ඔයාට යන්න බැරි නම් ඔයා නොයා ඉන්න.මං මොකටද එහෙම කරන්නේ" සජිනිට තවත් පස්සට යන්න ඉඩක් තිබ්බේ නෑ.සජිනිගේ පිට බිත්තියට හේත්තු වුනා

සහන් සජිනි ලගටම ඇවිත් සජිනිගේ පැත්තකින් බිත්තියට අත තිබ්බා.අනිත් අතින් සජිනිගේ කොන්ඩෙන් වැටුනු වතුර බිංදුවක් අල්ලගත්තා.සජිනි ඇස් දෙකත් ලොකු කරන් සහන් දිහා බලන් හිටියේ බය වෙලා.ඒක බයක්ද වෙන දෙයක්ද කියලා හිතන්න සජිනිට වෙලා තිබ්බේ නෑ.තමන්ගේ පපුව ගැහෙන සද්දේ තමන්ට වගේම සහන්ට ඇහෙනවද කියලා විතරයි සජිනිට හිතුනේ.සජිනිගේ කොන්ඩේ වතුර බිංදූ දිහා බලන් හිටපු සහන් සජිනිගේ ලොකු ඇස් දිහා බැලුවා.

"මං කිව්වොත් අපි යන්නේ නෑ කියලා.අපි යන්නේ නෑ.අපි කියන්නේ මායි ඔයයි දෙන්නම.මං විතරක් නෙවෙයි.තේරුනාද?" සහන් ගැඹුරු හඩකින් කිව්වා.
"ඔව්.." සජිනි අමාරුවෙන් කියාගත්තා.ටිකක් වෙලා සජිනි දිහා බලන් හිටපු සහන් සජිනිගෙන් ඈත් වෙලා ටීවී එක ලගට ගියා

සජිනි එතකොට තමයි හොද හුස්මක් ගත්තේ.සහන් මොනවා කිව්වත් මෙහෙම මේක අතරින්න බෑ.මෙයා කියන හැටියට ඉන්නේ මොකටද? එහෙම හිතපු සජිනි කතා කරා.

"ඒ මොනා වුනත් මං එහෙට යනවා යනවා යනවා මයි.ඔයා ගෙදරට වෙලා ඉන්න" එහෙම කියපු සජිනි මේසේ උඩ ලෑස්ති කරලා තිබ්බ කිරිබත් එකත් අරන් ඉක්මනටම දොර ලගට ගියේ සහන්ට හිතන්නවත් වෙලා නොදී.සජිනි දොර අරිනකොටම ඇහුනු සහන්ගේ කටහඩට සජිනි හැරිලා බැලුවා.

"ඉන්නවා..මාත් එන්නම් මූණ හෝදගෙන"


*****************************************
හෙට මට ගොඩාක් වැදගත් දවසක් ලමයි.ඉතින් අද කතාවක් ලියනවා තියා හිතන්නවත් අමාරු තරමට වැඩ වැඩියි.මං ඊයේ ඇත්තටම කීප දෙනෙක්ටම කිව්වත් එක්ක අද කතාව නෑ කියලා.ඒත් ඔන්න කොහොම හරි වෙලාව හොයාගෙන මං කතාව ගෙනාවා.අද කතාව කොටයි.ඒකට සමාවෙන්න.ඒකටත් හරියන්න ඊලග දවසේ දිග කතාවක් දෙන්නම් හොදේ
තව දෙයක්.මේ කතාව ලියන්නේ මගේ හිතේ සන්තෝසෙට.ඉතින් ඒ සන්තෝසේ වැඩි වෙන්නේ ඒකට ලයික් එකක් කමෙන්ට් එකක් එන තරමට තමයි.එච්චරයි නේ දිරි ගැන්වීමකට තියෙන්නේ.කතාව නරක නම් ඒ ගැනත් කියන්න.කියවන අය මේකට ලයික් එකක්වත් දානවා නම් සතුටුයි.මට වෙනමම මැසේජ් කරලා කතාව ගැන කියන අය ඉන්නවා.ඒ හැමොටමත් ගොඩක් ස්තූතියි.
ඊලග ඉරිදා දිග....කොටසක් අරන් එන්නම් හොදේ
ආදරෙන් ඉන්න...❤️

Sunday, June 3, 2018

මහ පුදුම වයඹ අහස

වයඹ අහස හරි පුදුමය.හොදට හොදින් ඉන්නවා සේම නරකට නම් අන්තිම නරකය.දකුණු පලාතේ උපත ලබා එහිම හැදී වැඩුනු මට වයඹ අහසේ සුන්දරත්වය විදින්නට ලැබුනේ වසර හතරක කැම්පස් ජීවීතය නිසාවෙනි.

මූලින්ම වයඹ අහසේ අත්දැකීම විදින විට මා පළමු වසර කුණු ප්‍රෙශියෙකි.මුලින්ම හොයාගත් බෝඩිමේ තත්වය ඉතා සුන්දර නිසාවෙන් මාත් මගේ බෝඩිමේ බැචියෙකුත් වෙනත් බෝඩිමක් සොයමින් සිටියෙමි.මේ කාලයේ අපේම බැචයෙක් බෝඩිමක් ගැන කියූ ඔත්තුවකට මාත් ඇයත් ඔහුත් තවත් බැචෙකුත් සමග බෝඩිමක් සොයා යන්නට එලියට බැස්සේ විවේක කාලයේදීය.අප එලියට බසින විට ඉතා ලස්සනට තිබූ අහසට,අප බස් නැවතුමට එන ඒ විනාඩි කීපයට කුමක්දෝ විය.පරිසරයම කලු කර මහ හයියෙන් සුළං හමන්නට ගත් අතර අපි වහා කැම්පස් බස් හෝල්ට් එක යටට විමු.එතන බෝඩිමට යාමට බලා සිටි අපේ තවත් බැචියෙක්ද විය.

අහසේ තත්වය තවත් නරක අතට හරවමින් දොඹ ගෙඩි තරම් වතුර බිංදු අහසින් කඩා හැලෙන්නට විය.මේ දොඹ බිංදු මහා වරුසාවක් වෙන්නට මහා වෙලාවක් ගියේ නැත.අප සිටි බස් නැවතුමේ දමා තිබූ ටකරං කැබලි ඉතා හොද තත්වයෙන් යුතු වූ නිසා ඒ යට සිටීම වැසි දෙකක් යට සිටීමක් බදු විය. හාත්පසම මහා කරුවලකින් වෙලෙද්දී කුඩ තුනක් යටට වූ අපි පස්දෙනා සුලගත් සමග ආ වැස්සෙන් බේරෙන්නට උත්සහ දරමින් සිටියෙමු.මේ අතර කොල්ලන් දෙදෙනා සපත්තු වල වතුර පිරීම ගැනත් හෙටත් දාන්නට ඇත්තේ මේ මේස් දෙක පමණක් යැයි කණුකුනු ගාන්නට වූ අතර අපට තිබුනේ ඊටත් වඩා බරපතල ගැටලුවකි .කුණු ප්‍රෙශියන්ට නියම කර ඇති නිල ඇදුමින් සැරසී සිටි අපේ රැලි රැලි සායවල් හැමපැත්තෙන්ම සුලගේ යමින් පැවතුන අතර එක අතකින් පොත් මිටියත් තව අතකින් සායත් අල්ලා ගත් අපි මාරුවෙන් මාරුවට එකිනෙකාගේ සායත් කුඩයත් අතර අත් මාරු කරමින් නොතෙමී සිටින්නට උත්සහ කළෙමු.

කෙසේ හෝ ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇනීමේ කතාව සත්‍ය කරමින් අප සිටි බස් හෝල්ට් එකේ ටකරම් කැබැල්ලක්ද සුලගට ගසාගෙන ගියේය.අහෝ දුකකි ඉරකි තිතකි.එක වරම ආ මහා සුලගට අපිද ගසාගෙන යන්නාක් මෙන් විය.කොල්ලන් දෙදෙනා වහා බස් හෝල්ටයේ උඩ බැම්මට නැග්ගේ අපටද එසේ නගින ලෙස කියමිනි."යටින් හුලං එනවා අඩුයි එතකොට" ඒ ඔවුන්ගේ තර්කය විය.හරිද වැරදිද බැලීමට වෙලාවක් නැත.පොතුත් උස්සාගෙන අපිද බැම්ම උඩට නැග ගතිමු.බැම්ම උඩට වී සිටින අතර එතනට පැමිණි බසයට තෙමීගෙන නැග ගත් අප බසයේ අයට පෙනෙන්නට ඇත්තේ මහත් විහිලු කාරයන් ලෙස බවට කිසිදු සැකයක් නැත.

මෙහි ඇති මහත්ම පුදුමය වන්නේ අප නියමිත තැනින බැස ගැනීමටත් පෙරම අර මුරුගසන් වරුසාව නතර වීමය.කෙසේ හෝ ඒ බැලීමට ගිය බෝඩිම අපට හරි ගියේ නැත.

*****************************************
වයඹ අහස හරි පුදුමය.සති දෙකක් නොවැස්සොත් ළිං වල වතුර හිදී නියගයක් ඇති වන අතර සතියක් වැස්සොත් ගං වතුරක් දැක ගත හැකි වේ.

වැසි සමයේදී බෝඩිම් ජීවිතයේ බරපතළම ගැටලුව වූයේ රෙදි වේලා ගැනීමයි.නිවසේදීට වඩා තත්වය බරපතළ වූයේ පස්සේ සෝදනවා කියා ඒවා ගොඩ ගසා තැබීමට තැනක් නැති වීමත් සේදූ රෙදි හෙවනක දමා ගැනීමට නොහැකි වීමත්‍ නිසාවෙනි.මේ හේතුවෙන් ඒ කාලයට අප පුරුදු වී සිටියේ ඉක්මනින් වියලෙන ඇදුම්ය.මෝස්තරේට වඩා ඇදුම් වියලා ගැනීම වැදගත් විය.ඒ කාලයට බෝඩිම් ඇතුල ඉතා ලස්සනය.හැම කාමරේකම හැම තැනින්ම ලණු එල්ලා ඒවායේ එක එක ජාති වල ඇදුම් එල්ලා තිබේ.අවුරුදු කාලෙට ඇති ඇදුම් සේල් පොලක් මෙනි.ඒ කාලෙට බෝඩිමේ නිල නොවූ නීතියක්ද විය.ඒ නම් බෝඩිමේ සිටින ඕනෑම කෙනෙක් වහින වෙලාවට එලියේ ඇති සියලුම ඇදුම් ඇතුලට ගත යුතු බවයි.

බෝඩිමේ අනිත් අයට වඩා මට අමතර කරදරයක්ද විය.තට්ටු ඇදක උඩ ඇදේ සිටි මාත් වහලත් අතර වූයේ සුලු පරතරයකි.හරියටම මා සිටි ඇදට උඩින් ඇති ඒ ටකරමේ සිදුරක් විය.ඉතින් වහින වහින වාරයක් පාසා මා "අන්කල් තෙමෙනවා" යැයි කෑගසමින් එලියට යෑම අපේ බෝඩිමේ කාටත් සුලබ දසුනක් විය.කීප සැරයක්ම මෙය සෑදුවත් මගේම කරුමයකට මං ඒ බෝඩිමෙන් යනතෙක්ම මෙය හරියටම හරි ගියේ නැත.
වැස්ස කාලයේදී මෙන්ම පායන කාලයද මහත් අබියෝගයක් වන්නේ ඒ කාලයේදී ඇති වන ජල අර්බුදය හේතුවෙනි.එක් වතාවක් මෙය කොතරම් උග්‍ර වූවාද යත් බෝඩිමේ අන්කල් අපේ වැසිකිළි හා නාන කාමර වල වතුර කපා හැරියේය.අපට වතුර ලබා ගැනීමට වූයේ ළිදෙනි.දේශන ඉවර වී බෝඩිමට දුව එන අපි දිය රෙදි හැද බාල්ලි බේසම් ගෙන දියට යන්නෙමු.ළිදෙන් වතුර ඇද ගැනීමට මා ඉගෙන ගත්තේ මේ කාලයේදීය.මුල් කාලයේ ළිදෙන් වතුර ඇද ගැනීමට ගොස් මා කරගත් විපත්තිය ඔබට මතක ඇතැයි සිතමි.මේ ඔක්කොටමත් හරි යන්න මහ රෑට කාට හෝ බඩේ අමාරුවක් වත් හැදුනොත් අබ සරණය.මේ කිසිම දෙයක් අපේ බෝඩිමට පමණක් සීමා වූයේ නැත.අවට සියලුම බෝඩිම් හා කැම්පස් තත්වයද මෙයම විය.

*****************************************
ඒ මොනවා වූවත් වයඹ අහස තරම් ලස්සන අහසක් මා තවම දැක නැත.මොන කරදර තිබ්බත් ඒ අහසේ වෙනම චමත්කාරයක් විය.අමුතුම නිසසල බවක් විය.ඒ අහස යට මා මගේ ජිවිතේ හොදම කාලයක් ගත කළෙමි.ඉතින් ඒ වයඹ අහසට මා කවදත් ආදරේ කරමි ❤️

ආදරණීය නපුරා - විසි හතර වන කොටස

හවස් වෙනකොට විදූශත් සජිනිලගේ ගෙදරට ආවා.කට්ටියම කාලෙකින් එකතු වෙලා නිසා කතා කරන්න රස කතා ගොඩක් තිබ්බා.විදූශයි සහනුයිත් ගොඩක් දේවල් කතා ...