Friday, September 28, 2018

මන්දාරම් අහස යට - තුන්වන කොටස


හැම පැත්තෙන්ම ලොකු ගස් වලින් වට වුන පාරක් දිගේ අසේලි ඇවිදගෙන ගියේ යන්නේ කොහෙද කියලා කිසිම අරමුණක් නැතුව.වටේම කරුවලයි.එතකොට හවස් වෙලා වෙන්නැති කියලයි අසේලිට හිතුනේ.වහින්න කිට්ටු වෙච්ච ගතියකුත් පරිසරයේ තිබුනා.අසේලි එයා ඇදගෙන හිටපු රෝස පාට ගවුම ආසාවෙන් අත ගෑවා.ඒක ලගදි තිබ්බ උපන්දිනේට තාත්තා අරන් දීපු එකක් කියලා අසේලිට මතකයි.

මෙහෙම ඇවිදගෙන යන අසේලිව එක පාරටම ලොකු අතකින් ඇදලා ගත්තා.අසේලි හැමපැත්තටම හැරි හැරි උත්සහ කරේ ඒ ලොකු අත් දෙකෙන් බේරෙන්න.ඒ  එක අතක තිබ්බ උල් හයි කරපු  වලල්ලක තිබ්බ උල් අසේලිගේ අතේ වැදිලා අතත් තුවාල වුනා.මේ මුලු වෙලාවෙම අසේලි කෑගහන්න උත්සහ කරත් ඒක හරි ගියේ නෑ.ඒත් ඒ මිනිහා අසේලිව උස්සලා ගන්නවත් එක්කම අසේලි එයාට පුළුවන් වෙර දාලා හයියෙන් කෑගැහුවා.

"තාත්තේ...." 

"අක්කේ..."

"අක්කේ..." අසේලිට කවුදෝ කතා කරනවා ඇහුවේ හීනෙන් වගේ.

"අක්කේ නැගිටිනෝ..." අසේලි ඇස් ඇරලා බැලුවා.අසේලිගේ නංගි මේධාවී ඇදේ වාඩි වෙලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා දැකපු අසේලි ඇදෙන් වාඩි වුනා.

"මොකෝ හලෝ වුනේ?" මේධාවී ඇහුවේ අසේලිගෙන්.ඒකට උත්තරයක් නොදීපු අසේලි අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තා.

"ආයෙත් අර හීන පේනවද?" මේධාවි ඇහුවේ අසේලිගෙන් සද්දයක් නැති නිසා 

"මට වතුර එකක් ගෙනත් දෙනෝ" අසේලිගේ කටින් ඒ වචන පිට වෙනවත් එක්කම මේධාවි නැගිටලා දිව්වේ අසේලිට වතුර එකක් ගේන්න.

'මොකක්ද මං ඒ දැක්කේ' අසේලි කල්පනා කරේ ඔලුවත් අල්ලගෙනමයි.

අසේලිට මෙහෙම හීන පේන්නේ පොඩි කාලේ ඉදන්මයි.මේ පේන හීන එකිනෙකට සම්බන්දෙකුත් නෑ.ඒත් ඒ හැම එකම අසේලිව බය කරනවා.මෙහෙම හීනෙන් බය වෙන්න ගත්තම ගෙදර අය අසේලිට එක එක බෙහෙත් කරන්න උත්සහ කරා.නූල බැන්දා,දෙහි කැපුවා,තොවිල් නැටුවා.දොස්තරලා හම්බෙන්න ගියා.කොටින්ම අසේලිට මේක හොදටම එපා වුනා.

හීන පේන එක නවතින්න කියලා අසේලි නිදාගන්නේ නැතුව හිටිය දවස් අනන්තයි.පේන හීන වලටත් වඩා මිනිස්සු ඒ ගැන දක්වන උනන්දුව අසේලිට කරදරයක් වුනා.ඒ නිසා අසේලි කරේ ඒ හීන පේන එක ගැන ගෙදරට හංගපු එක.මේ ගැන දැනගෙන හිටියේ අසේලිගේ යාලුවා විහාරායි අසේලිගේ කාමරේම නිදාගත්ත නංගි මේධාවී යි විතරයි.

මේධාවි ගෙනාපු වතුර එක බීපු අසේලි ආයෙත් ඇදේ ඇලවුනා.ලයිට් එක නිවපු මේධාවිත් අසේලි ලගින්ම ඇලවුනා.

"ඒ අක්කේ..."

"ම්ම්ම්..."

"මොකක්ද දැක්කේ?" මේධාවි අහපු එකට අසේලි උත්තරයක් දුන්නේ නෑ.

"කියනෝකෝ අනේ...වෙනස්ම එකක්ද?" මේධාවි හරිම උනන්දුයි මේ අසේලිගේ හීන ගැන.අසේලිට මේ හීන කරදරයක් වුනත් මේධාවිට මේ හීන හරිම ආස හිතෙන දෙයක් වුනා.එයා විශ්වාස කරේම මේවා අසේලිගේ පෙර ආත්මෙට සම්බන්ද දෙයක් කියලා.ඒ නිසාම මේ ගැන හරියකට දැනුම් තේරුම් තියෙන කාලේ ඉදන්ම  අසේලිට මේ හීන පේන දවස් එක්කම හීන වල විස්තරේ මේධාවි පොතක ලියලා තියන්නත් පුරුදු වෙලා හිටියා.

"කවුද මනුස්සයෙක් මාව උස්සගත්තා...මාව පැහැරගන්න හැදුවා මං හිතන්නේ" අසේලි කිව්වේ හෙමින්.

"ඉතින්? ඔයා තනියමද හිටියේ?" මේධාවි ඇහුවේ පුදුමෙන් 

"හ්ම්ම්..." මේධාවි හෙමීට අසේලිගේ අතින් අල්ලගත්තේ මෙහෙම හීන දැක්කම අසේලි දුක් වෙන බව දන්න නිසාමයි.

"ඇයි නංගි මටම මෙහෙම හීන පේන්නේ? මොන මගුලක් පේනවද දන්නේ නෑ.මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑ.මේක නවතින්නෙත් නෑ.පහුගිය කාලේ ටිකක් සැනසීමෙන් හිටියා පෙනුනේ නැති නිසා.දැන් ආයෙත් පේන්න පටන් අරන්.මොන කරුමයක්ද මන්දා මේක" අසේලි කියවගෙන ගියේ හිතේ වේදනාවටමයි.

"එහෙම හිතන්න එපා අක්කේ..ඕක හරි යාවි ඉක්මනටම" මේධාවි කිව්වේ අසේලිගේ හිත හදන්න.

"කොහේ හරි යන්නද? දැන් අවුරුදු කියක්ද? අපි ගෙවල් මාරු කරෙත් ඒකයි.කෝ හරි ගියාද නෑනේ"

"හරි හරි...හරි ගියේ නෑ මයි කියමුකෝ.ඒත් හලෝ ඔයාට අපි ඉන්නවනේ.අපි මොකෝ ඔයාට හීන පේනවා කියලා ඔයාව අතාරින් නෑනේ" මේධාවි කියද්දි අසේලිට කරුවලට හිනා වුනා.හිත හදන්න කියලා මේධාවි කියන මේ වගේ කතා අසේලිට හැමදාමත් ගෙනාවේ ලොකු සැනසීමක්.

"මේ පොඩි කෙල්ල දැන් පැහිලා තියෙන තරම්..." අසේලි කිව්වේ මේධාවිට පිටු පාලා පැත්තට හැරෙන ගමන්.

"අහ් මං දැන් පොඩි නෑ.හරිද?" මේධාවි එහෙම කිව්වේ අසේලිව පිටිපස්සෙන් වැලදගන්න ගමන්.

"එහාට වෙනවකෝ...පොඩි නෑ කිව්වට පොඩි අයගේ වැඩමයි කරන්නේ" අසේලි එහෙම කිව්වත් වැඩි විරුද්දත්වයක් පෙන්නන්න ගියේ නෑ.

අසේලිවත් තුරුල් කරගත්ත මේධාවි ඉක්මනින්ම නින්දට වැටුනත් අසේලිට නින්ද යන්න නම් සෑහෙන වෙලාවක් ගත වුනා.

පහුවදා සෙනසුරාදාවක් වුනත් අසේලිට උදෙන්ම නැගිටින්න වුනේ එයාගේ පරිඝනක පංතිය සෙනසුරාදා උදේට තිබ්බ නිසා.උසස් පෙළ ඉවර කරලා ගෙදර හිටපු අසේලිට මේ පංතියට යන්න කියලා බල කරේ අසේලිගේ අයියා නිමන්ත.අයියා කියන දේ ගෙදර අයත් හිස මුදුනින්ම පිළිගන්න නිසා අසේලිට සිද්ද වුනේ උසස් පෙළ ඉවර කරපු ගමන්ම පංති යන්න.මුලදි නම් මේකට අකමැති වුනත් විහාරාත් යන නිසයි එහේ මෙහේ ඇවිදින්න පුලුවන් නිසයි දැන් නම් අසේලි පංති යන්න හරිම කැමතියි.

උදෙන්ම නැගිටලා ලෑස්ති වුනත් අසේලිට එදා පංතියට යද්දි වෙනදට වඩා සෑහෙන පරක්කු වුනේ යන අතරමග සිද්ද වෙලා තිබ්බ වාහන අනතුරක් නිසා.එතන පැය බාගයක් විතරම බස් එක නවත්තගෙන හිටපු නිසා අසේලි පංතියට යද්දි පංතිය පටන් අරගෙනයි තිබ්බේ.ඒ නිසා අසේලිට විහාරා එක්ක කතා කරන්න පංති ඉවර වෙනකම්ම ඉන්න වුනා.

පංතිය ඉවර වෙලා අසේලි බලන් හිටියේ විහාරා එලියට එනකම්.ඈතින් විහාරා දැකපු අසේලි අත වැනුවා.හැබැයි විහාරා නම් අසේලි ලගට ආවේ එච්චර සතුටකින් නම් නෙවෙයි.

"මොකෝ නිකන් එක විදියක්" අසේලි ඇහුවේ විහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"මුකුත් නෑ" විහාරා කිව්වේ බිම බලාගෙන 

"මුකුත් නෑ වෙන්න බෑ.මොකෝ වුනේ?" 

"අවී කතා කරන්නේ නෑ අසේලි" විහාරා කිව්වේ අඩන්න වගේ මූණ හදාගෙන

'ඉතින් ඒක අලුත් දෙයක්‍ නෙවෙයිනේ.' අසේලි කල්පනා කරේ විහාරා දිහා බලාගෙන 

"හරි ඉතින්...දැන් මොකද වුනේ" අසේලි ඇහුවේ හරි පරිස්සමෙන්.මොකද විහාරා මෙතන අඩන්න ගත්තොත් ඒක නවත්තගන්න ශක්‍රයටවත් බෑ කියලා අසේලි දන්නවා.

"ඒක තමයි ඉතින් වුනේ" විහාරා කිව්වේ නහය උඩට අදින ගමන්.ඒත් එක්කම විහාරාගේ කම්මුල දිගේ කදුලක් බේරුනා.

'හරි ඉතින් දැන් මේ ඇඩිල්ල නවත්තන්නේ කොහොමද.' අසේලි එහෙම හිතුවත් ඇඩිල්ල නවත්තගත්තේ විහාරාමයි.

කම්මුල දිගේ බේරුන කදුල පිහිදගත්ත විහාරා අසේලි දිහාවට හැරුනා.

"අසේලි, මට උදව්වක් කරපන්"

"මොකක්ද?" අසේලි ඇහුවේ හැරෙන තැපෑලෙන් 

"මට කොහොම හරි එක පාරක් අවිශ්කත් එක්ක කතා කරන්න ඕනේ.ඒකට මට උදව් කරපන්" විහාරා කිව්වේ අසේලිගේ අත මිරිකන ගමන්.ටිකක් වෙලා විහාරා දිහා බලන් හිටපු අසේලි හිනා වුනා.

"අයියෝ ඕකද මේ...මං උදව් කරන්නම්.ඕක අහන්නත් දෙයක්ද?" අසේලි එහෙම කියනකොට විහාරා ලස්සනට හිනා වුනා.

'අම්මේ...කෙල්ල මේ මාසෙකින් විතර හරියකට හිනා වුනේ.කොහොම හරි විහාරාට උදව් කරන්න ඕනේ.' අසේලි හිතාගත්තා.

දෙන්නා කතාවෙන් කතාවෙන් බස් නැවතුමටම ආවා.

"යමුද අපේ ගෙදර අද?" විහාරා අසේලිගෙන් ඇහුවේ ඈත එන බස් එකක් දිහා බලාගෙන.

"බෑ සුදෝ.පුස්තකාලෙට යන්න ඕනේ.නංගි ගෙන්න කියලා පොත් දෙකක් ලියලා දුන්නා.ඒ දෙක ගන්න ඕනේ" 

"එහෙනම් මං මේ එන බස් එකේ යනවා හොදේ.ඔයා පරිස්සමෙන් යන්න" එහෙම කියපු විහාරා එතනට ආපු බස් එකට නැග්ගා.බස් එකට නැගපු විහාරාට අත වනපු අසේලි පුස්තකාලෙට යන්න හිතාගෙන පාරේ අනිත් පැත්තට පැන්නා.

පුස්තකාලෙට ඇතුල් වෙන්න ගිය අසේලි එහෙම්ම නැවතුනේ පුස්තකාලෙන් එළියේ දැකපු හුරුපුරුදු කෙනෙක් නිසා.

'මේ අර එදා මීගමුවෙදි හම්බුන අවිශ්කගේ යාලුවා නේද? එයත් එහෙනම් මෙහේ කෙනෙක්.' අසේලි කල්පනා කරේ ගහක් යට බංකුවකට වෙලා පාර බලන් ඉන්න ආදිත්‍ය දිහා බලාගෙන.

'අවිශ්කත් ආවද දන්නේ නෑ. විහාරාවත් එක්කගෙන එන්න තිබ්බේ' විහාරා තාමත් ඉන්නේ ආදිත්‍ය දිහා බලාගෙන.

'එක අතකට මේ කොල්ලත් වැරදි නෑ.මං මගේ යාලුවගේ පැත්ත ගත්තා වගේ එයත් එයාගේ යාලුවගේ පැත්ත ගත්තා.සාදාරණයි එක අතකට.මේක අවිශ්කගේ වැරැද්ද මිසක් වෙන කාගෙවත් වැරැද්දක් නෙවෙයිනේ.' අසේලි තවත් හිතනවා.

'මෙයාගෙන් අහලා බලන්නද අවිශ්ක ආවද කියලා.මෙයා උදව් කරාවිද මේ දෙන්නට කතා කරන්න.' අසේලි හිතුවේ සැකෙන්.

'ඔන්න ඔහේ ඕනේ දෙයක් වෙන්න කියලා මං ගිහින් කතා කරනවා.බලමු මොකද කියන්නේ කියලා.පේන තරම් යකා කළු නැතුව ඇතිනේ' අසේලි එහෙම හිතුවේ ආදිත්‍ය දිහාවට යන ගමන්.

මේ මුළු වෙලාවෙම ආදිත්‍ය හිටියේ ලොකු කල්පනාවක.පිටිපස්සෙන් ඇහුනු උගුර පාදන සද්දයක් නිසා ආදිත්‍ය හැරිලා බැලුවා.ඒ හිටපු කෙනා දැකලා ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

ආදිත්‍ය වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ ඒ පුදුමේ නිසාමයි.

"මේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" අසේලි ඇහුවේ අහිංසක විදියට.

"අහ්..." ආදිත්‍ය ඇහුවේ පුදුම වෙලා 

' මගේ මතකේ හරි නම් මේ අර පීසා හට් එකේ කෑගහපු කෙල්ල.ඒත් බලහන්කෝ දැන් කතා කරන හැටි.' ආදිත්‍ය හිතුවේ අහිංසක විදියට බලන් ඉන්න අසේලි දිහා බලාගෙන.

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" අසේලි ආයෙත් ඇහුවේ ආදිත්‍යගෙන් උත්තරයක් නැති නිසා

"මං දන්නේ නෑ ඉතින්.පොඩ්ඩක් බැරි නම් ගොඩක් කතා කරගන්න.මට අවුලක් නෑ" ආදිත්‍ය කියපු එකට අසේලිගේ කටත් ඇරුනා.

'ඉවසන්න අසේලි ඉවසන්න..ඔයා මේ කතා කරන්නේ විහාරා වෙනුවෙන්.' අසේලි හිතුවේ අමාරුවෙන් හිනා වෙන ගමන්.

"නෑ මං මේ කිව්වේ මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" අසේලි ආයෙත් කතා කරා.

"මොකක්ද? අර එදා වගේ වැදගත් දෙයක් නම් බුදු අම්මෝ....මට නම් බෑ.." ආදිත්‍ය ඒ සැරේ අත් දෙකත් වදින්න වගේ එකතු කරන් කියනකොට අසේලිට හිනා ගියා.

"නෑ නෑ..ඇත්තටම සොරි එදා වෙච්ච දේට.මං ටිකක් තරහ ගිහින් හිටියේ.ඒත් මට තේරෙනවා.මං මගේ යාලුවා වෙනුවෙන් කතා කරා වගේ ඔයත් කතා කරේ ඔයාගේ යාලුවා වෙනුවෙන්.ඉතින් ඒකේ වැරැද්දක් නෑ.සොරි ඒ වෙලාවේ කෑගැහුවට" අසේලි එක හුස්මට කියවගෙන ගියා.

අසේලිගේ කතාවට ආදිත්‍ය එක පාරටම පුදුම වුනත් ඒක පෙන්නුවේ නෑ.

"ආ...ඒකේ අවුලක් නෑ.ඒක ශේප්"  එහෙම කියාගෙනම ආදිත්‍ය ආයෙත් බංකුවෙන් වාඩි වුනා.

ආදිත්‍යගේ බංකුව ලග තිබ්බ මේසෙට ඉස්සර බංකුවෙන් අසේලි වාඩි වුනේ ආදිත්‍ය තවත් පුදුම කරලා.

"ඉතින් මේ අවිශ්ක පුස්තකාලේ ඇතුලෙද?"  අසේලි ඇහුවේ වටපිට බලන ගමන් 

' අහ් ඔය කිව්වේ ඇත්ත හේතුව..ඕක දැනගන්න තමයි මේ මෙතන සොරි කියාගෙන ආවේ ' ආදිත්‍ය කල්පනා කරේ හිත යටින් හිනා වෙන ගමන්

"නෑ මිනිහ අද ආවේ නෑ.මං මේ වෙන යාලුවෙක් එනකම් ඉන්නේ" ආදිත්‍ය කිව්වේ ගනන් ගන්නේ නැතුව.

"අහ් එහෙමද?" අසේලි මැලවුන කටහඩකින් අහද්දි ආදිත්‍ය හිත යටින් හිනා වුනා.ආදිත්‍ය හිතුවේ අවිශ්ක නැති නිසා දැන් අසේලි යාවි කියලා.ඒත් අසේලි නැගිට්ටේ නෑ.ටිකක් වෙලා කල්පනා කරපු අසේලි ආයෙත් කතා කරා.

"මේ...පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?"

"මොකක්ද?" 

"විහාරාට අවිශ්ක එක්ක එක පාරක් කතා කරන්න ඕනෙලු.අනේ ඒකට උදව් කරන්නකෝ.එකම එක පාරයි" අසේලි කිව්වේ බැගෑපත් හඩින්.

ආදිත්‍ය ටික වෙලාවක් එහෙම්ම අසේලි දිහා බලන් හිටියා.

"ඇයි දැන් මං එහෙම කරන්නේ? මට මොකක්ද ඒකෙන් තියෙන වැඩේ?" ආදිත්‍ය අහද්දි අසේලි බැලුවේ පුදුම වෙලා.

"ඔයාට...ඇති වැඩේ කියන්නේ...ඉතින් ..." අසේලි කියන්න හදද්දි ආදිත්‍ය ආයෙත් කතා කරා.

"මෙහෙමයි.මගෙත් පොඩි වැඩක් තියෙනවා.ඔයා ඒක කරලා දෙනවා නම් මං මේ උදව්ව කරනවා.මොකද කියන්නේ?" ආදිත්‍ය ඇහුවේ අත් දෙකත් බැදගෙන.

"මොකක්ද වැඩේ?" 

"ඔයා එක දවසකට මගේ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න ඕනේ" ආදිත්‍ය කියපු කතාවට අසේලිව බංකුවෙන් නැගිට්ටුනා.

*********************************************************************************

ඉක්මනට හම්බෙමු හොදේ...කතාවේ අඩුපාඩු හොද නරක ඔක්කොම කියන්න.සියල්ල සමසිතින් බාරගන්නෝ...

අද කතාව දිග වැඩිද මන්දා.එහෙමද? එහෙම නම් කියන්න.හෙට කොටස කොට කරලා දෙන්නම්.

ආදරෙන් ඉන්න....💖

Saturday, September 22, 2018

මන්දාරම් අහස යට - දෙවෙනි කොටස



"අම්මෝ...ගිනි බොම්බේ ගියා නේද?" පිටිපස්සෙන් ඇහුනු සද්දෙට ආදිත්‍ය හැරිලා බැලුවා.ආදිත්‍යගේ පිටිපස්සට වෙලා දොර දිහාට හොරෙන් එබීගෙන හිටියේ අවිශ්ක. 

"කොහෙද යකෝ හිටියේ? මෙතන එක විකාරයක් වුනානේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක ඔලුව වැනුවා.

"මං දැක්කා බං" එහෙම කියපු අවිශ්ක ආදිත්‍ය ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා ෆලූඩා එක බොන්න ගත්තේ ආදිත්‍ය පුදුමෙන් බලන් ඉද්දි 

"දැක්කා කියන්නේ? ඇයි ආවේ නැත්තේ?" ආදිත්‍ය ඇහුවේ ඒ කුතුහලෙන්මයි 

"අපෝ..මං ආවා නම් මෙතන තුන් වෙනි ලෝක යුද්දේ පටන් ගන්න තිබ්බා.විහාරා ටැප් එක ඇර ගනිවි.අසේලි මාව මරාවි.උඹට වෙන්නේ මගේ මළ කද අරන් ගෙදර යන්න" අවිශ්ක කිව්වේ ආදිත්‍ය කටත් ඇරන් බලන් ඉද්දි.

"යකෝ එතකොට ඒ කෙල්ලො දෙන්නා ඒ කියෙව්වේ උඹ ගැනද?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ මේක විශ්වාස නැති නිසා.කවදාවත් අවිශ්ක කෙල්ලෙක් ගැන ආදිත්‍යට කියලා තිබ්බේ නෑ.

"නැත්තම් ඉතින් උඹ හිතුවේ කවුරු ගැන කියලද?"

"මං හිතුවේ නැට්ට පාගගෙන කියවනවා කියලා.මට ලංකාවේ යාලුවොත් නෑනේ බං.මං කොහොමද දන්නේ මෙහෙම සීන් එකක්.උඹ මට කිව්වෙත් නෑනේ කෙල්ලෙක් ගැන"

"කියන්න තමා බං හිටියේ.ඒත් දැන් ඒක නෑ" අවිශ්ක කිව්වේ අහක බලාගෙන 

"ඇයි මොකෝ?"

"ඒකි ඕනවට වඩා හොයනවා බං.එපා වෙනවා.මට කෝල් එකක් ආන්සර් කරන්න බැරි උනොත් මගේ යාලුවෝ 10කට විතර කෝල් කරනවා මං ගැන අහන්න.උදේට කෑවද දවල්ට කෑවද රෑට කෑවද ඔක්කොම කියන්න ඕනේ.කොටින්ම බං නාන්න ගියත් ඒකිට කියලා යන්න ඕනේ.මොන මළ වාතයක්ද බං ඒක" අවිශ්කගේ මේ කතාව ආදිත්‍ය අහන් හිටියේ සද්දයක් නැතුව.

"හරි උඹම කියපන් මං වැරදිද කියලා" අවිශ්ක ඒපාර එහෙම ඇහුවේ ආදිත්‍යගෙන් සද්දයක් නැති නිසා.

"අනේ මං දන්නේ නෑ බං ඕවා..මොකෝ මට කෙල්ලෙක් හිටියා කියලද?" ආදිත්‍ය කිව්වේ උදාසීන ස්වරයකින් 

"ඇත්තට හිටියෙම නැද්ද? ඔය රටවල් වල පොඩි කාලෙම ඕවා සෙට් වෙනවනේ බං" අවිශ්ක කිව්වේ පුදුමෙන් වගේ.

"නෑ බං.මට ඒ කෙල්ලො පේන්නේ තම්බපු ඉස්සෝ වගේ.ලංකාවේ අයගෙන් එහෙම හරියන කෙල්ලෙක් හිටියෙත් නෑ.අනික උඹ දන්නවනේ අපේ අම්මා එක්ක ඕවා කරන්න වෙන්නේ නෑ"

"හරි ඒවා ඔක්කොම ඇත්ත කියමු..ඒත් ඇත්ත හේතුව ඒක නෙවෙයිනේ" අවිශ්ක කිව්වේ ආදිත්‍යට ඇහැක් ගහලා 

"මොකක්ද?" 

"අර පොඩි කාලේ ලව් එක උඹේ හිතේ තියෙනවා නේද? මොකක්ද ඒකිගේ නම? දෙව්මි  ද?" 

"දේදුණු.හැබැයි උඹ හිතනවා වගේ ඒක එහෙම ලව් එකක් නෙවෙයි.එහෙම ලව් කරන්න වයසකත් නෙවෙයිනේ බං අපි හිටියේ.මට 7යි.එයාට 5යි" 

"ලව් එකක් හිතේ නැත්තම් උඹ මොන මගුලකටද ඒකිව හොයන්නේ" අවිශ්ක ඇහුවේ ආදිත්‍යගේ මූණ දිහා කෙලින්ම බලාගෙන.

"මේකයි මචන්, අපේ ගෙවල් වල මිනිස්සු හැසිරෙන්නේ දේදුණු කියලා ගෑනු ලමයෙක් කවදාවත් හිටපු නැති ගානට.මං දේදුණු ගැන අහන හැම සැරේම එයාලා කියන්නේ එහෙම යාලුවෙක්වත් ගෑනු ලමයෙක්වත් හිටියේ නෑ කියලා"

"ඒක හරි වැඩක්නේ...එතකොට උඹට ඒ කෙල්ල මතකයිද?" අවිශ්ක ඇහුවේ මේ කතාවෙන් පුදුම වෙලා 

"ඔව් බං.මට හොදට මතකයි දේදුණුව.මට දැනගන්න ඕනේ මේ පටලැවිල්ල මොකක්ද කියලා"

"ඒ කියන්නේ උඹට දැන් ඒ කෙල්ල කොහේ ඉන්නවද කියලා කිසිම අදහසක් නෑ" 

"නෑනේ.." ආදිත්‍ය කිව්වේ ඔලුව වනන ගමන් 

"ෆේස්බුක් එකේ බැලුවේ නැද්ද උඹ?" අවිශ්ක කියපු කතාවට ආදිත්‍ය හිනා වුනා.

"ෆේස්බුක් ඉදිවිද බං ඒ වගේ පොඩි කෙල්ලෙක්.මේ ලංකාවනේ.උඹලගේ චූටි ඉන්නවද ෆේස්බුක්.නෑනේ"

"අපේ චූටි නෑ තමයි බං.හැබැයි ෆේස්බුක් ඉන්නවා ලංකාවේ කෙල්ලොන්ගෙන් බාගෙකට වැඩිය.නිකමට ට්‍රයි කරන එකේ වැරැද්ද මොකක්ද?"

"හ්ම්ම්..බලමුකෝ එහෙමත් කරලා" එහෙම කියපු ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටේ යන්න හිතාගෙන.

"අදම බලපන්.මං නම් කියන්නේ හොයාගන්න පුලුවන්" අවිශ්ක එහෙම කියාගෙනම පුටුවෙන් නැගිට්ටා.

පීසා හට් එකෙන් පිට වුන මේ දෙන්නට කලුතර මහ ගෙදරට එන්නත් තව පැය දෙකකට කිට්ටු වෙන්න ගියා.අත්තම්මගේ මහ ගෙදර වෙච්ච මේ ගෙදර ඇත්තටම පරණ වලව්වක්.පරන වලව්වක අලුත් විදියට පොඩ්ඩක් වෙනස් කරලා තිබ්බේ දැන් ගෙදර පදිංචි වෙලා ඉන්න ආදිත්‍යගේ ලොකු අප්පච්චි.

අවුරුදු ගානකින් දැකපු ආදිත්‍යට ගෙදර හැමෝගෙන්ම ලැබුනේ උණුසුම් පිළිගැනීමක්.

"ඉලන්දාරියගේ දැන් උස...මටත් වඩා උසයිද මන්දා" එහෙම කිව්වේ ආදිත්‍යගේ ලොකු අප්පච්චි.නැත්තම් අවිශ්කගේ අප්පච්චි.

"මේ වයසට උස යන්නේ නැතුව ඉදිවියැ.ඔයත් පුදුම කතා කියන්නේ.කමු පුතේ.මං කෑම ලෑස්ති කරලා තියෙන්නේ" ලොකු අම්මා කිව්වේ ආදිත්‍යගේ අතින් අල්ලගෙන 

"අහ් කමු ලොකු අම්මේ...මේ අත්තම්මා කොහෙද දන්නේ නෑ නේද?" ආදිත්‍ය ඇහුවේ එයාගේ අත්තම්මා ගැන 

"අත්තම්මා අන්න කාමරේ.පුතා එනකම් බලන් ඉදලා නින්ද ගිහින් මගේ හිතේ.පුතාම ගිහින් කතා කරන්නකෝ" ලොකු අම්මා එහෙම කියපු නිසා ආදිත්‍ය හෙමීට කාමරේට ගියේ ආත්තම්මා බලන්න හිතාගෙන.ඒත් ලොකු අම්මා කිව්වා වගේම අත්තම්මට නින්ද ගිහිල්ලයි තිබ්බේ.ඒ නිසා අත්තම්මව ඇහැරවපු නැති ආදිත්‍ය ආපහු සාලෙට ආවා.

"අත්තම්මා නිදි නේද?" අවිශ්ක ඇහුවේ කාමරෙන් එලියට එන ආදිත්‍යගෙන්.

"ඔව්.පස්සේ කතා කරනවා" එහෙම කියපු ආදිත්‍ය එතන පුටුවකින් වාඩි වුනා.

"පුතා වොශ් එකක් දාගෙන එන්න එහෙනම්.කෑම මේසෙට දාන්නම්" ලොකු අම්මා එහෙම කියාගෙනම කුස්සියට ගියා.

"කෝ ලොකු අප්පච්චි චුටී? නෙත්සර එහෙම දැක්කෙත් නෑ" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ මල්ලියි නංගියි ගැන.

"දෙන්නම පංති ගිහින්.චූටි මේ සැරේ a/l දෙවෙනි පාර කරනවා.පොඩි පුතා පලවෙනි සැරේනේ.එයා නම් පලවෙනි සැරෙන්ම ගොඩ දාගනිවි වගේ" ලොකු අප්පච්චි කිව්වේ පුටුවේ වාඩි වෙන ගමන්.

"යමු වොශ් එකක් දාගමු.අවිශ්ක කිව්වේ බිම තිබ්බ ආදිත්‍යගේ පොඩි බෑග් එක ගන්න ගමන්.

ආදිත්‍යත් අවිශ්කගේ පස්සෙන් ගියේ වලව්වේ අලුතෙන් හදපු කොටස් ගැන අවබෝධයක් නැති නිසා.

"ගේ හැදුවට පස්සේ මේ ආවමයි" ආදිත්‍ය කිව්වේ යන ගමන් 

"ඔව්මයි නේ...ඔන්න උඹට ඉන්න තියෙන්නේ මාත් එක්ක මගේ කාමරේ" එහෙම කියපු අවිශ්ක කාමරේ දොර ඇරියා. ඒක ලොකු කාමරයක්.කාමරේ ආදිත්‍යගේ බෑග් ටිකත් තියලා තිබ්බේ.

"අන්න ඒක තමා තියෙන අවුල.උඹ නාන්නේ නෑ නේද? අනේ මචන් වදින්නම් මේ මාස 3 නාලා ඉදපන්" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ පැත්තට හැරිලා අත් දෙකත් එකතු කරලා 

"අනේ පලයන් ඩෝ.. යන්න.අපි හැමදාම නාලා සුවද ගහ ගහ ඉන්න කොල්ලෝ හරිද?" අවිශ්ක එහෙම කියද්දි ආදිත්‍ය ගිහින් ඇදේ ඇලවුනා.

"මෙතන එහා පැත්තේ බාත් රූම් එක. උඹ වොශ් දාගෙන ගිහින් කාපන්.මට චූටි ගන්න යන්න තියෙනවා" අවිශ්ක එහෙම කියලා යන්න හැරුනා.

"මේ අවියා...මට උඹේ ෆෝන් එක දීලා පලයන්කෝ.මෙහේ වයිෆයි තියෙනවද?" ආදිත්‍ය එක පාරටම ඇහුවම අවිශ්ක ආයෙත් හැරිලා බැලුවා.

"ආ මෙන්න...මං එනකොට උඹට සිම් එකක් අරන් එන්නම්" අවිශ්ක කිව්වේ ආදිත්‍යගේ අතට ෆෝන් එක දෙන ගමන්.

"මේවගේ පාස්වර්ඩ් එහෙම නෑනේ නේද? "

"නෑ නෑ..උඹ ඕන දෙයක් කරගනින්.වයිෆයි ඔන් කරගනින්.මං ගියා" එහෙම කියපු අවිශ්ක ඉක්මන් ගමනින් ගියේ දැනටම පරක්කු වෙලා නිසා.

ඇදේ කොට්ටයක් උඩට ඔලුව තියාගත්ත ආදිත්‍ය අවිශ්කගේ ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එක දාගත්තා.ඒකේ ඒ වෙනකොටත් ලොග් වෙලා තිබ්බේ අවිශ්කගේ අකවුන්ට් එක.තමන්ගේ එකෙන් ලොග් වෙන්න හිතලත් ආදිත්‍ය ආයේ අවිශ්කගේ ෆේස්බුක් එකේම ඉන්න තීරනේ කරා.

ආදිත්‍ය මේ හදිස්සියේ ෆේස්බුක් දාගත්තේ දේදුණු ගැන හොයන්න හිතාගෙන.මේක හරියාවිද කියලා හරියටම නොදන්නවා වුනත් අවිශ්ක කිව්වා වගේ උත්සහයක් කරන එකේ වැරැද්දක් නෑ කියලා ආදිත්‍ය හිතුවා.

ෆේස්බුක් එකේ Dedunu කියලා ටයිප් කරපු ආදිත්‍ය ඒකට ආපු පිළිතුරු ගොඩ දිහා බලන් හිටියා.

' දැන් මං මේ ඔක්කොම  බලන්න ඕනේද' ආදිත්‍ය හිතුවේ ඒවා දිහා බලාගෙන.

ආදිත්‍ය ඊට පස්සේ කරේ ඒකේ තිබ්බ ගෑනු ලමයින්ගේ  විස්තර බලන එක.මෙහෙම ගෑනු ලමයින්ගේ  විස්තර බලන එක ආදිත්‍යට එපා වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

'මොන මගුලක්ද මන්දා මේක.මෙහෙම හොයන්න බෑනේ' එහෙම හිතපු ආදිත්‍ය ෆේස්බුක් එකෙන් අයින් වෙන්න හදනකොටම දැක්කේ search result වල යටම තිබ්බ නමක්.

Dedunu Wimansa Senewirathna 
Kandy 

පුලුවන් ඉක්මනින් ඒ ප්‍රොෆයිල් එකට ගියපු ආදිත්‍යට තේරුනා මේ ගෑනු ලමයා ආදිත්‍යට වඩා බාල අවුරුදු දෙකයි කියලා.ඒ කියන්නේ දේදුණුගේ වයසමයි කියලා.

'අහ් මෙයා නුවර.ඒකත් හරි.දේදුණු හිටියෙත් නුවරනේ.එතකොට මේ දේදුණු විමංසා සෙනෙවිරත්න මං දන්න දේදුණු ද? ' ආදිත්‍ය කල්පනා කරේ දේදුණුගේ ෆොටෝ එක දිහා බලාගෙනමයි.

*******************************************************************************

ඒ මේ ආදිත්‍ය දන්න දේදුණු මද? ඒක ඉස්සරහට දැනගමු.

එහෙනම් ලබන සතියේ හම්බෙමු.

ආදරෙන් ඉන්න 💖

Friday, September 21, 2018

මන්දාරම් අහස යට - පළවන කොටස

 

"සද පිනි දියේ.... හිම කුමරියේ....
ජිවිත කැලේ....පිපි මල් වැලේ....
මා හා බැදී ...." 

අවිශ්කගේ දුරකථනය නාද වෙන්න ගත්තේ වාහනේ කටුනායක හයි වේ එකෙන් එලියට දානකොටමයි.

"හෙලෝ" අවිශ්ක කතා කරේ වාහනේ ජනේලෙන් එලිය බලන ගමන්

"කොහෙද බං ඉන්නේ?" ආදිත්‍යගේ කටහඩ දුරකථනයෙන් ඇහෙද්දි අවිශ්ක වෙලාව බැලුවා.එතකොට දවල් 2ටත් කිට්ටුයි.

"ලග බං..වැඩි දුරක් නෑ.හයි වේ එකෙන් එලියට දාන්න හදන්නේ" 

"මොනවද ඕයි මං ඕස්ට්‍රේලියාවේ ඉදන් වෙලාවට ආවා.උඹට  කොළඹ ඉදන් මෙතනට වෙලාවට එන්න බෑ" ආදිත්‍ය කෑගැහුවේ තරහෙන්

"මේ උඹ මගෙන් අහගන්න එපා...වෙලාවට ආවේ නෑ කියන්නෙ මෙතන.දැන් කොහෙද කියපන් ඉන්නේ?"

"නිගම්බෝ පීසා හට් එකේ.වරෙන් ඉක්මනට"

"එහේ මොනවා කරනවද? හරි හරි එන්නම්" අවිශ්ක එහෙම කියලා දුරකථනය විසන්දි කරේ මීගමුව පැත්තට වාහනේ පදවන ගමන්.

අවිශ්ක පීසා හට් එකට එනකොට ආදිත්‍ය ජනේලයක් ලග පුටුවක වාඩි වෙලා ෆෝන් එක දිහා බලාගෙනයි හිටියේ.කෙලින්ම ආදිත්‍ය ලගට ගියපු අවිශ්ක ආදිත්‍ය ඉස්සරහ හිටගත්තා.

"යමුද?" අවිශ්ක ඇහුවේ තාමත් ෆෝන් එක දිහා බලන් ඉන්න ආදිත්‍යගෙන්.ඒ කතාවට තමයි ආදිත්‍ය ඔලුව උස්සලා බැලුවේ. 

අවිශ්කව දැකපු ආදිත්‍යට එක පාරටම හිනා යන්න ආවත් හිනාව නවත්තගත්ත ආදිත්‍ය කතා කරා.

"වාඩිවෙයන් .මං ෆලූඩා දෙකක් ඔඩර් කරලා තියෙන්නේ" ආදිත්‍ය කිව්වම අවිශ්ක එතනින් වාඩි වුනා.

"හරිද උඹේ වැඩේ?" අවිශ්ක ඇහුවේ ආයෙත් ෆෝන් එකට එබුන ආදිත්‍යගෙන් 

"මොන"

"ඇයි යකෝ එයාර් පෝට් එකෙන්ම මට බෑග් ටිකත් පටවලා ගියේ මොකක්ද හදිසි වැඩක් තියෙනවා කියලා" 

"අහ්.. ඒ මාත් එක්ක ආපු නදියගේ වැඩක් බං.උගේ කෙල්ලව හම්බෙන්න ආවේ අපි." ආදිත්‍ය තාමත් ඉන්නේ ෆෝන් එක දිහා බලාගෙනයි.

"ඉතින් දැන් හම්බුනාද?"

"ඔව් ඔව් ඒක ශේප්"

"ශේප්?? ඔව් ඔව් උඹට ශේප් ඇති.මං අම්බානෙකට බැනුම් ඇහුවා ගෙදර මිනිස්සුන්ගෙන් උඹව එක්කගෙන ආවේ නෑ කියලා" අවිශ්ක කිව්වේ තරහෙන් 

"ඉතින් ගොන් හරකෝ කියන්න එපැයි ෆ්ලයිට් එක ලේට් කියලා" ආදිත්‍ය එහෙම කියනකොටමයි පීසා හට් එකේ සේවිකාවක් ෆලූඩා අරගෙන ආවේ.

මේසේ උඩින් ෆලූඩා දෙක තියපු සේවිකාව අවිශ්ක දිහා බැලුවේ පුදුමෙන් වගේ.ඒත් එක්කම සේවිකාව කටට ආපු හිනාව තද කරගෙන ආදිත්‍ය දිහා බැලුවා.ආදිත්‍යත් සේවිකාවට ඇහැක් ගහලා බැලුවේ ඒ දෙන්නා දිහා පුදුමෙන් බලන් ඉන්න අවිශ්ක දිහා.

මොකක්ද බං ඒ වුනේ?" අවිශ්ක ඇහුවේ සේවිකාව එතනින් යනකම් ඉදලා.

"එහෙම තමයි බං.මාව දැක්කම කෙල්ලෝ හොල්මන් වෙනවා.ෆුල් හැන්ඩ්සම් නේ" ආදිත්‍ය කිව්වේ කොන්ඩෙත් අත ගගා.

"අනේ නිකන් හිටපන්.එහෙනම් මං දිහා බලලා හිනා වුනේ මොකද?" අවිශ්ක ඇහුවේ එයාගේ ෆෝන් එක අතට ගන්න ගමන්.

"ඒ උඹ වගේ වදුරෙක් මාත් එක්ක ඉන්නවා දැකපු අප්‍රමාණ සන්තෝසෙට" ආදිත්‍ය කියනවත් එක්කම අවිශ්ක එයාගේ ෆෝන් එකට එබුනේ පුදුමෙන් වගේ.

ටිකක් වෙලා ෆෝන් එකේ නිවුනු තිරේ දිහාම බලන් හිටපු අවිශ්ක ෆෝන් එකේ කැමරා එක ඔන් කරගත්තා.එතකොට තමයි අවිශ්ක හරියටම සිද්දිය තේරුම් ගත්තේ.අවිශ්කගේ කම්මුලේ තැන් තැන් වල ලිප්ස්ටික් වගේ රතු පැල්ලම් වගයක් ගෑවිලා.ඒක දැකපු අවිශ්ක ඊලගට බැලුවේ එයාගේ අත් දිහා.අත් දෙකෙන් රතු පැල්ලම් ඒ විදියටම තියෙනවා දැකපු අවිශ්ක ආදිත්‍යට එරෙව්වා.

"ඇයි බං ගොන් අලියෝ මට කිව්වේ නැත්තේ රතු පාට ගෑවිලා කියලා" අවිශ්ක ආදිත්‍යට කඩන් පැන්නේ ආදිත්‍ය හිනා වෙන අතරෙමයි.

"අහ් උඹ ඕක හිතලා ඇදන් ආපු එකක් නෙවෙයිද? කවුද බං දන්නේ" ආදිත්‍ය කිව්වේ හිනා වෙන ගමන්මයි.

"මං ඉතින් කියන්නේ නෑ උඹට" ආදිත්‍යට ඔරවන ගමන් එහෙම කියපු අවිශ්ක වොශ් රූම් එකට ගියේ පාට ටික හොදගන්න හිතාගෙන.

අවිශ්ක එතනින් යනවත් එක්කම ආදිත්‍යට ඉස්සරහින් කවුරු හරි හිටගත්තා කියලා තේරුන නිසා  ආදිත්‍ය හොදට ඔලුව උස්සලා බැලුවේ මේ කවුද කියලා.එතන හිටගෙන හිටියේ ගෑනු ලමයි දෙන්නෙක්.ඒ දෙන්නගෙන්  අඩන්න වගේ මූණත් හදාගෙන හිටපු කෙට්ටුම කෙට්ටු ගෑනු ලමයා ආදිත්‍ය ඉස්සරහින් වාඩි වුනා.

"අනේ අයියේ...ඔයා මගේ අවීගේ යාලුවෙක්ද? එයාට කියන්නකෝ අයියේ මට කතා කරන්න කියලා.මට මෙහෙම එයා කතා නොකර ඉන්න එක දරාගන්න බෑ අයියේ" ඒ ගෑනු ලමයා එක දිගට කියවගෙන ගියේ ආදිත්‍යට හිතාගන්නවත් බැරි තරම් වේගෙකින්.

"මේ නංගි...." ආදිත්‍ය කතා කරන්න ගත්තත් ඒ ගෑනු ලමයා එකට ඉඩක් දෙන්නේ නැතුව ආයෙත් තමන්ගේ කතාව පටන් ගත්තා.

"දැන් මාසයක් වෙනවා අයියේ...එයා මාව දැක්කම මග අරිනවා.අනේ අයියේ එයාට කියන්නකෝ" මේ සැරේ කෙල්ල අඩන්න ගත්තේ ආදිත්‍යව තවත් පුදුම කරලා.

"මේ නංගි..." ආදිත්‍ය ආයෙත් කතා කරන්න ගත්තත් ඒ සැරෙත් කතාවට බාධා වුනා.ඒ සැරේ කතා කරේ එතන හිටගෙන හිටපු  අනිත් ගෑනු ලමයා.

"මේ හලෝ ඒ කොල්ලට කියනවා මෙහෙම කෙල්ලොන්ට බලාපොරොත්තු දෙන්න එපා කියලා.මෙයා දවස් ගානකින් හරියට කාලා නෑ.මේ ලමයට මොනවා හරි වුනොත් තමුන්ගේ යාලුවට කියනවා ඒකට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න කියලා" ඒ කතාවට නම් ආදිත්‍යටත් කේන්ති ගියා.ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටෙ තරහෙන්මයි

"මේ හලෝ  මොනවද මේ කියවන්නේ? මොන යාලුවද? කවුද කතා කරන්නේ නැත්තේ? පිස්සුද නැත්තම් හැටිද?" ආදිත්‍ය එහෙම කියපු එකෙන් වුනේ වාඩි වෙලා හිටපු කෙල්ලගේ ඇඩිල්ල වැඩි වුන එක විතරයි.

"කියන්නේ මෙතන ඉදන් ගියපු තමුන්ගේ නල්ලමලේ යාලුවා ගැන.ඒකත් එකයි මේකත් එකයි" ආදිත්‍යට ඔරවපු කෙල්ල කිව්වා.

"මේ මේ නංගි, මං මේ මෙහෙම හරි කතා කරන්නේ කෙල්ලෝ දෙන්නෙක් නිසා.හොදින් කතා කරාම කරේ යන්න එන්න එපා " ආදිත්‍ය ඒක කිව්වේ සෑහෙන සැරෙන්.මේ කෙල්ලෝ දෙන්නව දැන් ආදිත්‍යට එපා වෙලයි හිටියේ.

'පෙනුම නිකන් ආලියා බාත් වගේ.හැබැයි කට නිකන් අපේ ලොකු අම්මා වගේ' ආදිත්‍ය හිතුවේ මේ කෑගහන කෙල්ල දිහා බලාගෙන.

"අනේ අපොයි ඔව් මෙයා ශාරුක් ඛාන් නේ මෙයාගේ කරේ යන්න.වරෙන් විහාරා යන්න.මේ කොල්ලොන්ට ඕවා කියනවට වඩා හොදයි ගලක් බෙල්ලේ බැදන් මුහුදේ පනිනවා" ඒ හිටගෙන හිටපු කෙල්ල කිව්වේ වාඩි වෙලා හිටපු විහාරා ගේ අතින් අල්ලගෙන.

"පනිනවකෝ ඉතින් මෙතන අපට වද දෙන්නේ නැතුව" හොදටම කේන්ති ගිහින් හිටපු ආදිත්‍ය එහෙම කියද්දි විහාරාගේ ඇඩිල්ල තවත් වැඩි වුනා.

"මේ කටවහන් ඉන්නවකෝ ඕයි" ආදිත්‍ය ඒ පාර විහාරා ට කෑගැහුවේ හිතේ තරහටමයි

"මේ මේ ඔයා කවුද එයාට කෑගහන්න.එයා මේ නිකන් ඉන්න බැරුවට අඩනවා නෙවෙයි.තමුන්ගේ මහ ලොකු යාලුවා නිසයි මගෙ යාලුවා මේ අඩන්නේ.පස්සෙන් එනකොට නම් කොහොමද? හද දෙන්නම් තරු දෙන්නම්.දැන් කොහෙද දන්නේ නෑ දෙනවා කියපු තරු" කෙල්ල තවත් කියවද්දි ආදිත්‍ය ඔලුව අල්ලගත්තා.

'යකෝ ඉදලා ඉදලා ලංකාවට ආපු පාර මට කඩන් වැටිච්ච මරාලේ බලහන්කෝ.කෝ මේ අවිශ්කයා...ඌ කොහේ ගියාද?'ආදිත්‍ය කල්පනා කරේ වොශ් රූම් එක දිහා බලන ගමන්.

"අහ් දැන් කටේ සද්දේ නෑ නේද? නිකන් යාලුවා බේරන්න එපා හලෝ.කෝ එන්න කියනවා තමුන්ගේ මහ ලොකු යාලුවට මේක අද දෙකෙන් එකක් බේරගන්න" කෙල්ල කියවද්දි ආදිත්‍ය පුටුවෙන් වාඩි වුනා.

"මොන යාලුවද ඕයි? තමුසෙට පිස්සුද?" ආදිත්‍ය ඇහුවේ මේ කෝළම එපා වෙලා.

"මොන යාලුවද අහන්නේ?..." කෙල්ල ආයෙත් කියවන්න පටන් ගත්තත් මේ සැරේ විහාරා ඉක්මන් වුනා.

"අපි යමු අසේලි.මට දැන් මේක ඇති වෙලා.අවී ගේ ඒවට එයාගේ යාලුවෝ මොනවා කරන්නද?" එහෙම කියපු විහාරා පීසා හට් එකෙන් එලියට යන්න හැරුනේ අසේලිගේ අතිනුත් අල්ලගෙන.විහාරා එක්කම හැරුනත් අසේලි ආයෙත් ආදිත්‍යගේ පැත්තට හැරුනා.

"මේ මේක මෙතනින් ඉවර නෑ හරිද? තමුන්ගේ යාලුවට පරිස්සම් වෙලා ඉන්න කියනවා" එහෙම කියපු අසේලි විහාරා එක්කම එලියට ගියේ ආදිත්‍ය බලන් ඉද්දී.

"අම්මෝ....ගිනි බොම්බේ ගියා නේද?" එක පාරටම පිටිපස්සෙන් ඇහුනු සද්දෙට ආදිත්‍ය හැරිලා බැලුවා

******************************************************************************

මගේ දෙවෙනි නවකතාව අදින් ආරම්භ වෙනවා.කලින් කතාව වගේම මේකත් ඔයාලා ආදරෙන් කියවාවි අදහස් දක්වාවි කියලා හිතනවා.ආදරණීය නපුරා වගේ මේක හැමදාම දාන්න පුලුවන්කමක් නම් නෑ.සති අන්තයේ ඔයාලට මේක කියවන්න පුලුවන්.පුලුවන් දවසට බෝනස් දෙන්නම්.එතකොට හරිනේ නේද?

කතාවේ චරිත  ගැන පොඩ්ඩක් කියන්නම්.

ආදිත්‍ය සූරියබණ්ඩාර, සූරියබණ්ඩාර යුවළගේ එකම දරුවා.පොඩි කාලෙම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියපු ආදිත්‍ය කැම්පස් නිවාඩුවක ලංකාවට එන්නේ ආච්චි බලන්න.ඒත් එක්කම එයාගේ තව අරමුණකුත් තියෙනවා.ඒක කතාව අතරේ බලමුකෝ.

අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන, ජයවර්ධන පවුලේ එකම දුව.එයාට තව අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.උසස් පෙළ ඉවර කරපු අසේලි මේ දවස් වල පරිඝනක පාඨමාලාවක් හදාරනවා.

ඊලගට දේදුණු,

මේ දේදුණු ගැන මං මොනවත්ම කියන්නේ නෑ.ඒක කතාවේ ඉස්සරහට බාරයි.

අවිශ්ක සූරියබණ්ඩාර, ආදිත්‍යගේ ලොකු අප්පච්චිගේ පුතා.එකම වයසේ නිසා දෙන්නා යාලුවෝ වගේ ඉන්නේ.ඇත්තටම ලංකාවේ ආදිත්‍යට යාලුවෙක් කියලා ඉන්නේ අවිශ්ක විතරයි.

විහාරා සෙනෙත්මි දිසානායක, අසේලිගේ හොදම යාලුවා.

මං හිතන්නේ මේ ටික ඇති.මොකක්ද කතාවේ වෙන්නෙ කියලා තේරුම් ගන්න නම් කියවන්නම වෙනවා.

කතාවේ ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා.

එහෙනම් හෙට හම්බෙමු..

ආදරෙන් ඉන්න 💖

Wednesday, September 12, 2018

එන්න...අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු


මගේම ආදර දේදුණුට,

සුලගක් ව ආදරෙන් මගේ ලග ගැවසෙන්න...
මලක් ව සුවද දී මා හද සනසන්න...
සදක් ව සද මඩල මා වටා පතුරන්න...
අනේ නුඹ ඇවිදින් සිතක් සනසා යන්න...

ආදරෙන්..
ආදිත්‍ය 💗

*********************************************************

සදාදරණීය ආදිත්‍ය ,

සද නැති රැයක තනිකමට ගුලි වෙන්න...
මා හද පුරාවට මල් වැසි වස්සන්න...
සිත ඇදි පැතුමන් සැබෑවක් කරන්න...
ආදරෙන් හැමදාම මා ලගට වී ඉන්න...

ඔයාගෙම,
අසේලි 💗

*********************************************************

ආදරණීය ආදි,

ආදර බැල්මකින් මා හද කළඹන්න...
සොදුරු කතාවෙන් මා සිත පුබුදන්න...
හාදු වැස්සකින් මා ගත තෙමන්න...
ලගම ඉදන් මට ආදරේ කියන්න...

ඔයාගේ ආදරණීය,
දේදුණු 💗

**********************************************************


මන්දාරම් අහස යට
ලගදීම....