Sunday, April 14, 2019

සුබ අලුත් අවුරුද්දක් වේවා


ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ.

මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අකුණු ඇත්තෙත් නෑ.ලොකු නිසා සෙල්ලම් කරන්නෙත් නෑ.ඒ විතරක්ද කෑම හදන්න ගෙවල් අස් කරන්න වගේ වැඩත් ගොඩයි.ඒ මදිවට ගෙදරට එන අයගේ නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනේ.එහෙම බැලුවම අවුරුද්ද කියන්නේ සතුටකට වඩා කරදරයක්.

 අපේ  තාත්තා නිතරම කියන දෙයක් තමයි ඕනේම නරක දේක හොද දෙයක් තියෙනවා කියලා.ඉතින් මාත් හිතුවා මෙච්චර එපා වුනු අලුත් අවුරුද්දේ තියෙන හොද දේවල් මොනවද කියලා.

1.අලුත් ඇදුම් හම්බෙනවා. ( අම්බානෙකට හිදෙනවා තමයි.ඒත් මොකෝ සෙනග අස්සේ තෙරපිලා ඇදුම් ගන්න බෑනේ හැමදාම.මේක තමා චාන්ස් එක.)
2. එක එක කෑම ජාති කන්න පුලුවන් ( ඊට පස්සේ රෑට නොකා ඩයට් කරන්න වෙන එක වෙනමම සීන් එකක්.ඒ ගැන අපි කතා නොකර ඉමු)

3.නෑනලා මස්සිනාලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් වෙනවා ( උන්ගේ අම්මලා තාත්තලාත් උන් එක්ක නෑගම් එන එකේ තමයි අවුල තියෙන්නේ.ලොවෙත් නැති ප්‍රශ්න අහලා ජිවත් වෙන එකම එපා කරවනවා

4.ගේ අස් කරද්දි ඉස්සර දවස් වල එක එක ගැජමැටික් කෑලි හොයාගන්න පුලුවන් වෙනවා ( ගේ අස් කරන කෑල්ල තමා පොඩ්ඩක් අවුල් )

5..ගනු දෙනු ( ඔන්න ඕකේ දෙනු කෑල්ල නැති වුනා නම් තවත් අගෙයි)

ඒ කොහොම වුනත් අලුත් අවුරුද්ද කියන්නේ අපට ගෙදර ඉන්න නිවාඩුවක් හම්බෙන අඹ වාරෙකුත් සෙට් වෙන ගෙදරට වෙලා පිස්සුවක් නටලා ඉන්න පුලුවන් කාලයක්.

ඉතින් අද අලුත් අවුරුද්ද.හෙට ඉදන් ආයෙත් අපි පරණ අවුරුද්දේ...අපට ආයෙමත් අපේ වැඩ තියෙනවා.නිවාඩු අතෑරලා වැඩට යන්න වෙනවා.එතකොට අපි හිතනවා අනේ ආයෙත් අවුරුදු එනවා නම් කියලා.

සිංහල අපි අවුරුද්දට මෙච්චරම ආදරෙත් ඒකයි.අවුරුද්දත් එක්ක එන අපේකම නිසා.ගෙදර නිසා.අපේ අයත් එක්ක ඉන්න පුලුවන් වෙන දවස් ටික නිසා.ඒ අපේ අයත් එක්ක ඉන්න වෙන එක කොච්චර හොදද කියනවා නම් අපි අවුරුද්දේ තියෙන කරදර ඔක්කොම අමතක කරලා ආයෙමත් අලුත් අවුරුද්දක් එනකම් මග බලනවා.

එහෙනම් මේ අලුත් අවුරුද්දට සමු දෙමු....ඊලග අලුත් අවුරුද්ද එනකම් මග බලමු..

එතකම් හැමෝටම සිරි සුබ නව වසරක් වේවා ❤️

ප.ලි. කතාව හෙට හෝ අනිද්දා දෙනවා.නෑයෝ එනවා අප්පා සැරින් සැරේට 

Saturday, April 13, 2019

මන්දාරම් අහස යට - පසු වදන


පසුවදනක් කියලාත් ඉතින් මොනවා ලියන්නද මන්දා.

මන්දාරම් අහස යට මගේ දෙවෙනි නවකතාව.ආදරණීය නපුරා විවාහයක් ගැන ලියපු සරල ආදර කතාවක් වුනු නිසා මට ඕනේ වුනා ඊලග කතාව වෙනසක් කරන්න.ඒ  වෙනස මං හිතන්නේ මන්දාරම් අහස යට තිබුනා.

මුලින් නම් ඇත්තටම අභියෝගයක් වුනා කතාව ලියන එක.අසේලිගේ හීන ගැන ලියන කොටස් දෙතුන් සැරයක් ලියලා මැකුවා.අවසාන කොටසුත් එහෙමයි.මං ගොඩක් දෙබස් වලින් කතාව ලියන කෙනෙක්.එතකොට හරි දෙබස් හරි තැනට නාවොත් කතාවේ ගැලපීම නැති වෙනවා.ඒ වගේම කතාව මැදදි හදාගෙන හිටපු කතාව වෙනස් කරා කීප දෙනෙක්ගෙම අදහස් නිසා.ඒ නිසා ආයෙමත් කතාව ගොඩ නගන්න වුනා.

ඒත් ඒ මොනවා වුනත් අද මන්දාරම් අහස යට අවසන් වුනා.හොද අවසානයක් එක්ක.මං එහෙම හිතනවා.ඔයාලත් හිතනවද එහෙම.අවසාන‍ය හොද නෑ වගේද?

ඒ වගේම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි කතාව පිළිවලකට නොදැම්මට.අලුත් රැකියාව නිසා පුදුම විදියට කාර්‍යබහුල වුනා.ගුරුවරියකට එච්චර වැඩ ඇති කියලා කවදාවත්ම හිතුවේ නෑ.කතාව ටයිප් කරගන්න දවසකට පැය දෙකක් තුනක් හොයාගන්න එක පුදුම අමාරුවක් වුනා.අඩු ගානේ කොමෙන්ට් කියවන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.ඔන්න අද තමයි කොමෙන්ට් කියෙව්වේ.සමාවෙන්න ඕනේ ඒකට.

ඒ වගේම කතාව කියවපු අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි.විශේශයෙන්ම කතාව ගැන මැසේජ් එවපු කොමෙන්ට් කරපු ලයික් කරපු අයට ගොඩාක් ස්තූතියි.එයාලා තමයි කතාව ඉවරකරගන්න මාව උනන්දු කරේ.සමහර දවස් තිබුනා ලියාගන්නම බැරි.එහෙම දවසට අනේ කතාව කෝ කියලා එන මැසේජ් මාව පුදුම විදියට දිරිමත් කරා.මට හැමදාමත් හිටියේ  කොමෙන්ට් ලයික් වලට වඩා මැසේජ් එවන පාඨකයෝ.එහෙම කියලා කිසිම වෙනසක් නෑ.මාව වචනෙකින් හරි දිරිමත් කරපු ලයික් එකක් හරි දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි.හොරෙන් කියවලා ගිය අයටත් ස්තූතියි.එයාලා නොදන්නවා වුනාට එයාලා කියෙව්වා කියලා වීව්ස් කවුන්ට් එකක් මට හම්බෙනවා මුහුනු පොතෙන් වගේම බ්ලොග් අඩවියෙනුත්.ඒ නිසා එයාලා හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

ඒ වගේම කතාව කියවපු හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.ඔයාලා කතාව ගැන හිතපු දේ මට කියන්න.පොඩි දෙයක් හරි.කොමෙන්ට් එකකින් මැසේජ් එකකින් හරි.ඒක මට ගොඩාක් වටිනවා

කියවලා හොරා වගේ යන්නේ නැතුව මොකක්ම හරි අදහසක් කියලා යන්න.බැන්නත් කමක් නෑ ඉතින්.හොදම කියන්න ඕනේ නෑ 


ඊලග කතාවත් මේ වගේම ඔයාලා රස විදිවී කියලා හිතනවා.මං එකම දේ ලියන්නේ නෑ කියලා ඔයාලා දන්නවනේ.

ඉතින් ඊලග කතාව වෙනස්ම එකක්.ආදරය දීපු ආදරය නොලැබුණු ගෑනු ලමයෙක්ගේ කතාවක්.

මේක මට ගොඩාක් විශේශ කතාවක්.මොකද මේක දැනට ජීවත් වෙන සත්‍ය චරිතයක් ඇසුරින් ලියවෙන කතාවක්.ඒ නිසා මේ කතාව බ්ලොග් අඩවියට පමණක් සීමා වෙනවා.කතාව සමාජ ජාල වෙබ් අඩවි වලට දාන්න මට අවසර නෑ.

කලින් කතා වගේම මේ කතාවත් ඔයාලා ආදරෙන් කියවාවි කියලා හිතනවා.

එහෙනම් අද හවස පලවෙනි කොටසින් හම්බෙමු.

"අමාවක වරුසාව" අද සිට....



මන්දාරම් අහස යට - අවසන් කොටස


"අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා හිනා වෙවී කියද්දි හැමෝම බලාගෙන හිටියේ පුදුමෙන්

"ඒ කිව්වේ?" ප්‍රියංකා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන

"මෙයා චූටි කාලේ නිමන්ත මෙයාට කතාවක් කියලා දීලා.ඒකේ පොතක ගෑනු ලමයාගේ නම තමයි දේදුණු.ඊට පස්සේ මෙයා එක විකාරයක් කරා නම වෙනස් කරන්න කියලා.පස්සේ එයා එයාටම දේදුණු කියලා නම දාගත්තා.කවුරු ඇහුවත් කිව්වේ දේදුණු කියලා.ඕක ඉස්කෝලේ යනකම්ම වගේ තිබ්බා.ඉස්කෝලේ ගිහින් තමයි අමාරුවෙන් වෙනස් කරගත්තේ" ජනිතා කියද්දි ජයවර්ධන ත් ඔලුව වැනුවා.

"මටත් මතකයි ඔය කතාව.එක දවසක් ගෙදරට ආපු මගේ යාලුවෙක්ටත් කියලා තිබ්බේ නම දේදුණු කියලා" ජයවර්ධන ත් හිනා වෙවී කිව්වා.

"අනේ...බලන්න ඉතින් අපේ ආදිත්‍යත් දිගටම කිව්වා දේදුණු කියලා ගෑනු ලමයෙක් එක්ක සෙල්ලම් කරා කියලා.මං බැන්නත් එක්ක පිස්සුද කියලා.කවුද මෙහෙම එකක් දන්නේ.අපි දූව දන්නේ සුදු දූ කියලානේ" ප්‍රියංකා හිනා වෙවී කියද්දි ආදිත්‍ය බැලුවේ එයා ලගට වෙලා හිටගෙන ඉන්න අසේලි දිහා.

'එහෙනම් මේ තමයි මගේ දේදුණු...මගේ ඇත්ත දේදුණු' ආදිත්‍ය හිතුවේ අසේලි දිහා බලාගෙනමයි.

"හරිනේ දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත්.ඒත් පුතා කොහොමද හිතුවේ ඒ දේදුණු මේ සුදු දූ මයි කියලා" ප්‍රියංකා ඇහුවා.

"මේ ෆොටෝ එකෙන්" ආදිත්‍ය පෙන්නුවේ මෙච්චර වෙලා අතේ තියන් හිටපු ෆොටෝ එක.

"අනේ....මේ කොහෙන්ද මේක හම්බුනේ..හරි හුරතල් නේද මේ දවස් වල" ජනිතා කිව්වේ ප්‍රියංකාගේ අතේ තිබ්බ ජායාරූපයට එබෙන ගමන්.

"මේ අල්මාරියක තිබ්බේ" ආදිත්‍ය කිව්වේ අසේලි දිහා බලන ගමන්.

"මේ සුදු ගවුම මතකද? ඔයා මැහුවේ අසේලිට" ජනිතා කියද්දි ප්‍රියංකා ඔලුව උස්සලා ජනිතා දිහා බැලුවා.

"මොකක්ද මේ දූවගේ ඇත්තම නම? අසේලි ද?"  ප්‍රියංකා අහද්දි ජනිතා ඔලුව වැනුවා.

"ඔව්...අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

" ඇයි?" ජනිතා ආයෙමත් ඇහුවේ ප්‍රියංකාගේ සද්දයක් නැති නිසා.අසේලිත් ආදිත්‍ය දිහා බැලුවේ කලබලෙන්.

"නෑ...මේ මට දෙයක් මතක් වුනා" ප්‍රියංකා කිව්වේ අසේලි දිහා හොදට බලන ගමන්.

"ඒ මොකක්ද?" ජනිතා අහද්දි ප්‍රියංකා ආයෙමත් ආදිත්‍ය දිහා බැලුවා.

"ආදි...මේ අර ඔයා කියපු අසේලිද?" ප්‍රියංකා කෙලින්ම අහද්දි ආදිත්‍ය එක පාරට කලබල වුනත් ප්‍රියංකා දිහා කෙලින්ම බලලා ඔලුව වැනුවා.

"ඔව් අම්මා" ආදිත්‍ය කියද්දි ප්‍රියංකාගේ ඉබේටම හිනා ගියා.

"හනේ...හනේ...ඉතින්..කවුද දන්නේ මෙහෙම එකක්.මං මේ නිකමට වගේ සැකේට ඇහුවේ" ප්‍රියංකා හිනා වෙවී කියද්දි ආදිත්‍යත් අසේලි දිහා බැලුවේ හිනා වෙලා.ඒත් එහෙම වුනත් අසේලි නම් හිටියේ බය වෙලා.

"ඇයි මොකක්ද ප්‍රියංකා? ඔයා කලින් සුදු දූ ව දන්නවද?" ජනිතා අහද්දි අනිත් අයත් බලන් හිටියේ පුදුම වෙලා.

"හ්ම්ම්...මං විතරක් නෙවෙයි ඔයාලාත් අපේ ආදිත්‍යව දන්නවා ඇති"ප්‍රියංකා කිව්වේ හිනා වෙවී.

"ඒ කිව්වේ?" දැන් නම් ජයවර්ධන නටත් හිතාගන්න බෑ මේ කතාව.

"මේ ලගදි අසේලිව පැහැරගත්ත ප්‍රශ්නයක් වුනා නේද? ඒ වෙලාවේ එතන හිටපු කොල්ලා අපේ ආදිත්‍ය" ප්‍රියංකා කියද්දි කට්ටියම ආදිත්‍ය දිහා බැලුවේ පුදුම වෙලා.

"මේ ආදිත්‍යද එතකොට ඒ..." ජනිතා කියාගෙන ආවේ පුදුමෙන්.

"එතකොට මේ අසේලිවද ආදි බේරගත්තා කිව්වේ?" ක්‍රිශාන්තත් ඇහුවේ පුදුමෙන්.

"පේන විදියට නම් එහෙම තමයි" ප්‍රියංකා කිව්වේ ආදිත්‍යයි අසේලියි දිහා බලන ගමන්
අසේලි දිගටම බිම බලාගෙන හිටියත් ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඔව් අප්පච්චි"

"හරි පුදුමයිනේ" මෙච්චර වෙලා නිහඩව හිටපු ජයවර්ධන කිව්වේ පුදුමෙන්.

"සුදු අක්කා...." දොරෙන් එබුනු පොඩි පිරිමි ලමයෙක් කෑගහද්දි හැමෝම ඒ පැත්ත හැරිලා බැලුවා.

"ආ....ක්‍රිශී ඇයි?" අසේලි දොර ලගට යද්දිම ජනිතා ඇහුවේ දොරෙන් එබුනු පොඩි පිරිමි ලමයාගෙන්.

"අපේ සෙල්ලම් ගෙදරට එන්නකෝ සුදූ අක්කා...ඔයා බාගේට දාලා ගියානේ.මගදි දාලා යන්නේ නෝටි ලමයි" ඒ පිරිමි ලමයා කියද්දි හැමෝම හිනා වුනා.

"සුදු දූ යන්න එහෙනම්.." එහෙම කියපු ජනිතා ආයෙත් හැරුනේ ප්‍රියංකා දිහාවට.

"ඒ මල්ලිගේ පොඩිම පුතා.මතකද ඔයාට කුසල් ව.මගේ පොඩි මල්ලි.එයාගේ පුතා" ජනිතා කියද්දි ප්‍රියංකා ඔලුව වැනුවා.

"ඔව් ඔව්...ආ දැන් එයාලද මේ එහා පැත්තේ ගෙදර ඉන්නේ?"

"ඔව්...අපේ මෙහේ ගෙදර තාම රෙපෙයාරින්.ඒ නිසා මේ ටිකේ මෙහේ ඉන්නවා." ජයවර්ධන කිව්වා.

" එතකොට දිගටම මෙහේද?" ක්‍රිශාන්ත අහද්දි ජනිතා ඔලුව වැනුවා.

"අපෝ නෑ.මෙහේ ඉදලා කොහොමද? එහේනේ ඔක්කොම තියෙන්නේ.මායි සුදු දූයි පොඩි දූයි ඉන්න හිතාගෙන ඉන්නේ සති දෙකක් විතර" ජනිතා විස්තර කරා.

"එක්ස්කියුස් මී.අම්මා මං රූම් එක අස් කරගන්නද? " ආදිත්‍ය ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්.දැනගන්න ඕනේ විස්තර දැනගත්තාට පස්සේ ආයෙත් මෙතන ඉන්න ආදිත්‍යට ඕනේ වුනේ නෑ.

කාමරේට ගියපු ආදිත්‍ය ජනේලේ ලගට ගියා.අසේලි එහා ගෙදර සාලේ පුටුවක වාඩි වෙලා ඉන්නවා ආදිත්‍යට හොදට පෙනුනා.

'ශික් ඇත්තට මං වගේ මෝඩයෙක්.දේදුණු අත ලගම ඉදලත් හොයාගන්න බැරි වුනානේ' ආදිත්‍ය හිතුවේ අසේලි දිහාම බලාගෙන.

'එක අතකට ඉතින් මං කොහේ දැනගන්නද? එයත් මේ බොරු නමක් දාගෙනනේ ඉදලා තියෙන්නේ.මේක එයාගේ වැරැද්ද.කලින්ම දැනගන්න තිබ්බ එකනේ මෙච්චර කල් ගියේ' ආදිත්‍ය තවත් හිතනවා.

'ඒත් ඉතින් ඒ දැනගත්තා කියලා මොකක් වෙනස් වෙන්නද? මේ වෙච්ච දේවල් වෙනස් වෙන්නේ නෑනේ'  ඒ ගැන හිතද්දි ආදිත්‍ය ට දැනුනේ ලොකු පසුතැවීමක්.සාලේ වාඩි වෙලා හිනා වෙවී ඉන්න අසේලි දිහා එක පාරක් බලපු ආදිත්‍ය ඇවිත් ඇදෙන් වාඩි වුනා.

'ඒත් මොකක්ද එතකොට දේදුණු මට කියපු කතා වල තේරුම? එයා එක්ක මං සෙල්ලම් කරා කිව්වේ' ආදිත්‍ය හිතුවේ පුදුමෙන්.

හිතේ කුතුහලය නිසාම ආදිත්‍ය දේදුණු ට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ..."

"හෙලෝ දේදුණු මං ආදිත්‍ය"

"අනේ....ආදි...මං මේ බලාගෙන හිටියේ කතා කරනකම්.දැන්ද සිම් එකක් ගත්තේ" දේදුණු කතා කරේ හරිම නොඉවසිල්ලෙන් බව කතාවෙන්ම ආදිත්‍ය ට තේරුනා.

" හ්ම්ම්....මේ මට පොඩි දෙයක් තියෙනවා අහන්න"

"ඒ මොකක්ද?"

" ඔයා අර කිව්වා නේද මං හොයපු පොඩි කාලේ යාලුවා ඔයා කියලා.ඔයාට ඒක හොදටම විශ්වාසද?" ආදිත්‍ය එහෙම අහලා ටික වෙලාවක් යනකම් දේදුණු නිහඩ වුනා.

"හෙලෝ....දේදුණු " ආදිත්‍ය ආයෙමත් කතා කරේ දේදුණු ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා.

"හෙලෝ...ඔව් ඒ මං තමයි.ඇයි ඔයා එහෙම ඇහුවේ"

"ඒක වෙන්න බෑ දේදුණු.ඒ වෙන කෙනෙක්.ඔයාත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ මං නෙවෙයි"

"එහෙනම් ඒ කවුද?"

" අසේලි"

"අසේලි? ඔයාට පිස්සුද? අසේලි ද කිව්වේ.ඒක එහෙම වෙන්න බෑ.මමයි ඔයා හොයන දේදුණු " දේදුණු එක දිගට කියවගෙන යද්දි ආදිත්‍ය අහගෙන හිටියා.

"දේදුණු මං මේ කතා කරන්නේ හැමදේම හොදට දැනගෙන.අසේලිගෙන් විතරක් නෙවෙයි.අම්මාගෙන් අප්පච්චි ගෙන් පවා දැනගත්ත දේවල් වලින් මේ කතා කරන්නේ"

"එතකොට එතකොට ඔයා කියන්නේ එයා ඇත්ත දේදුණු කියලාද? මං නෙවෙයි කියලාද ? ඒක එහෙම වෙන්න බෑ ආදි.මං තමයි ඔයා හොයපු දේදුණු " හැඩුන් ස්වරයකින් දේදුණු කියද්දි ආදිත්‍ය ට දැනුනේ අනුකම්පාවක්.

"දේදුණු අපි මේක පස්සේ කතා කරමු.මං කතා කරේ ඔයාට මේක කියන්න.මං ආයේ කතා කරන්නම්.ඔයා ඒ දේදුණු නොවුනා කියලා ප්‍රශ්නයක් නෑ.ඔයා මට හොද යාලුවෙක් වුනා.ඒක ඉස්සරහටත් එහෙම්මයි.ඒක වෙනස් වෙන්නේ නෑ" ආදිත්‍ය කියාගෙන යද්දි දේදුණු නිහඩවම අහගෙන හිටියා.

"දේදුණු..." ආදිත්‍ය ආයෙමත් කතා කරේ දේදුණු ගෙන් උත්තරයක් නැති නිසා.ඒත් එක්කම දේදුණු ගෙන් සුසුමක් පිටවෙන හඩ ආදිත්‍ය ට ඇහුනා.

"හ්ම්ම්...මං තියන්නම් ආදි" දේදුණු කිව්වේ කෙදිරිලි හඩකින් වගේ.

"මං කතා කරන්නම් හොදේ" ආදිත්‍ය කියද්දිත් දේදුණු දුරකථනය විසන්ධි කරලා ඉවරයි.

දුරකථනය ඇදේ පැත්තකින් තියපු ආදිත්‍ය අත් දෙක ඔලුව යටින් තියාගෙනම ඇදේ වැතිරුනා.

'හිතාගන්නත් බෑ මේ වෙච්ච දේ...මං හැමතැනම දේදුණු හොයද්දි දේදුණු මගේ ලගම ඉදලා.එයා දේදුණු බව නොදැනත් මං ආදරේ කරලා.ඒත් දැන් අන්තිමට මං දන්නෙවත් නැති හේතුවකට එයා මගේ අයියා ලගට ගිහිල්ලා.අයියා නිසා මට අඩු ගානේ හේතුවක්වත් අහන්න බෑ.බෑ නෙවෙයි මට එහෙම ඕනේ නෑ.අවියා හොද කොල්ලෙක්.අසේලිව හොදට බලාගනිවී.අසේලිත් සතුටෙන් වගේ.ඒකනේ මාත් එක්ක කතාවක් නැත්තේ' ආදිත්‍ය කල්පනා කරේ එයාගේ දුරකථන තිරයේ තාමත් තියෙන අසේලිගේ ජායාරූපය දිහා බලාගෙන.

ඊලග දවස් දෙක තුනම ආදිත්‍යත් අසේලිත් එකිනෙකාව මග ඇරියා.ඒ අතරේ තමයි කලුතරින් ආරංචියක් ආවේ අවිශ්ක නුවර එන්න පිටත් වුනු බව කියලා.

අවිශ්ක දුම්රියෙන් නුවරට එද්දිම හවස 2  විතර වුනා.බඩු වගයක් ගේන්න නුවර නගරයට ගියපු ක්‍රිශාන්ත ඒ ගමන්ම අවිශ්කවත් එක්කගෙන ගෙදර ආවා.

බෑග් එකත් කරේ දාගෙනම අවිශ්ක ආදිත්‍යගේ කාමරේට එබුනා.

"එක්ස්කියුස් මී...මට එන්න පුලුවන්ද?" අවිශ්ක අහද්දි ආදිත්‍ය ලැප්ටොප් එකෙන් ඔලුව හරවලා බැලුවා.

"එන්න එන්න...ට්‍රේන් එක ලේට් ද?"

"ඔව් බං.මග නවත්තලා තිබ්බා පැයක් විතර"

"ගිහින් වොශ් එකක් දාගෙන වරෙන් ඉක්මනට" ආදිත්‍ය කිව්වේ ආයෙමත් ලැප්ටොප් එක දිහාවට හැරෙන ගමන්.

"ඒ මොකද හදිස්සිය" එහෙම කියන ගමන්ම අවිශ්ක ඇදේ ඇලවුනා.
" එකක් මේ දවස් වල හවසට වහිනවා.හොට් වෝටර් ශවර් එක කැඩිලා.තව හවස් වුනොත් නාලා ලෙඩක් හදාගන්න වෙන්නේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වුනා.

"අපි හොද ෆිට් පොරවල් හරිද මල්ලි.ඕක එකක්නේ..එතකොට මොකක්ද අනිත් එක?"

"අනිත් එක තමයි අම්මා අලිගැටපේර ගෙනැල්ලා.උඹ නාලා ආවම කියන්න කිව්වා හදලා දෙන්න.උඹ නාලා ආවාම තමයි මං කියන්නේ.අම්මා අල්ලපු ගෙදරට ගියා.ඒ නිසා උඹ නාලා වරෙන් අලිගැටපේර කන්න ඕනේ නම්.උඹ නැතුව මටත් නෑ" ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වෙවීම ඇදෙන් නැගිට්ටා.

"උඹෙන් නම් පුදුම වදයක් බං තියෙන්නේ.මං නාගෙන එන්නම්.උඹ කියපන් පුංචි අම්මට හදලා තියන්න කියලා" අවිශ්ක කිව්වේ තුවායකුත් අරගෙන නාන කාමරේට යන ගමන්.

අවිශ්ක නාලා ආවාට පස්සේ දෙන්නත් එක්ක වත්තට බැස්සේ අලිගැටපේට කොප්ප දෙකකුත් අරගෙන.

"කෝ බං අර ඔන්චිල්ලාව තිබ්බ කහ පාට මල් පිපුනු ගහ" අවිශ්ක ඇහුවේ වත්ත වටේම බලන ගමන්.

"මාත් ඕකම ඇහුවා.හුලගකට කඩන් වැටුනලු"

"ආ...ඒක නෙවෙයි.මතකද ඉස්සර මෙහේ ආවාම අපි වත්ත වටේම දුවනවා" අවිශ්ක මතක් කරද්දි ආදිත්‍ය හිනා වුනා.

"නැතුව.උඹ හරිම ආසයි ඉස්සර මෙහේ එන්න.ඒත් දවසයි දෙකයි මෙහේ ඉන්නේ.යනකොට අඩලා අඩලා යන්නේ"

"අප්පටසිරි වෙන්න කිව්වලූ.අර දේදුණු නේද?" ආදිත්‍ය කියපු දේට උත්තර නොදීපු අවිශ්ක ඇහුවේ එහා පැත්තේ වත්ත දිහා බලාගෙන.යාන්තමට ඒ පැත්ත බලපු ආදිත්‍ය දැක්කේ සුදු ගවුමක් ඇදගෙන දුරකථනයෙන් කතා කර කර වත්තේ ඇවිදින අසේලිව.

"හ්ම්ම්...." එහෙම කියපු ආදිත්‍ය ආයෙමත් අහක බලාගත්තා.

"එයා මොකද මෙහේ කරන්නේ?" අවිශ්ක ඇහුවේ ඒ දිහාම බලන්නේ.

"ඒක ඉතින් උඹ මටත් වඩා හොදට දන්නවා ඇතිනේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක බැලුවේ කුතුහලයෙන්

"මං දන්නේ කොහොමද ඒක? මං මේ අසේලිව දැක්කෙත් සෑහෙන දවසකින්" අවිශ්ක කියද්දි ආදිත්‍ය හැරිලා අවිශ්ක දිහා බැලුවා.

"ඒ වුනාට කෝල් කරන්න ඇතිනේ"

"පිස්සුද බං.අන්තිමට කෝල් කරපු දවසක්වත් මට මතක නෑ....පොඩ්ඩක් හිටපන්...පොඩ්ඩක් හිටපන්...උඹ මොකද ඔහොම ඒවා අහන්නේ?" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ට ලං වෙන ගමන්.

" දැන් එතකොට උඹ කියන්නේ උඹයි අසේලියි කතා කරන්නේ නෑ කියලාද? ඒක මට විශ්වාස කරන්න කියලාද?" ආදිත්‍ය ටිකක් සැරෙන් අහද්දි අවිශ්කගේ ඇස් ලොකු වුනා.

"මේ මොන මගුලක්ද උඹ අහන්නේ? පිස්සුද බං.උඹට මොකක්ද වෙලා තියෙන්නේ.අසේලි මට කතා කරලා තියෙන්නෙත් අතේ ඇගිලි ගානට.ඒකත් උඹ අසනීප කාලේ උඹ ගැන අහන්න.කවුද උඹට ඕවා කියන්නේ?" ඒ සැරේ නම් අවිශ්කත් ඇහුවේ තරහෙන්.

"එතකොට උඹ එදා කිව්වේ අසේලිට ආදරෙයි කියලා" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ ඇස් මග ඇරලා.

"ඒ කවද්ද?"

"අර උඹ මට කෑගැහුවේ අසේලි ගැන කියලා"

"ආ...හා....එදා...එදා යකෝ අසේලි කතා කරා මට.කෙල්ල හොදටම අප්සට් වෙලා හිටියේ උඹෙන් ආරංචියක් නැතුව.පුංචි අම්මත් කියලා තිබ්බනේ උඹට කතා කරන්න එපා කියලා.එහෙම එකේ උඹ කතා නොකරපු එකේ ඒ කෙල්ල අවුලෙන් හිටියේ.හැබැයි මචං මං ඒ අසේලිට ආදරෙයි කිව්වේ ඒ වෙලාවේ හිතේ ආවේගෙට.උඹ කියවපු නිසා ඇයි උඹ අසේලිට ලව් ද කියලා.එහෙම නැතුව සිරා නෙවෙයි" අවිශ්ක විස්තර කරද්දි ආදිත්‍ය අහගෙන හිටියේ පුදුමෙන්.

"අපේ අම්මා අසේලිට කියලාද මට කතා කරන්න එපා කියලා"

"ඔව් උඹ ලංකාවේ ඉන්න කාලේ දවසක් කෝල් කරාම පුංචි අම්මා අරගෙන තියෙන්නේ.ඒ වෙලාවේ කියලා"

"එතකොට උඹට අසේලිව හම්බුනේ එහෙම නැද්ද?"

"ආයෙත් මගුලක් අහනවා.හම්බුනා හම්බුනා.දවසක් විහාරාව කොළබ පන්ති එක්කගෙන ගිය වෙලාවක අසේලි හම්බුනා.ආයේ කලුතර ටවුමෙදි හම්බුනා කීපදවසක්.දැන් මොකක්ද ඕකේ ප්‍රශ්නේ.උඹ මේ හිතන්නේ මායි අසේලියි යාලුයි කියලා එහෙම නෙවෙයිනේ" අවිශ්ක අහද්දි ආදිත්‍ය මුකුත්ම කිව්වේ නෑ.

"අඩෝ....සිරාවටම එහෙම හිතුවද? පිස්සුද යකෝ..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විහාරා.මං ආයෙත් විහාරා එක්ක යාලු වුනා.මං මේ උඹට ඒ සීන් එක කියන්න ආවේ.මූ බැලුවම වෙන මල විකාරයක්නේ හිතාගෙන ඉදලා තියෙන්නේ" අවිශ්ක ඒක කිව්වේ තරහෙන්.

"නෑ බං එදා උඹ කෑගහපු විදියට මට එහෙම හිතුනා.පස්සේ චූටි ත් කිව්වා උඹ අසේලි එක්ක ටවුන් එකේ කතා කරනවා දැක්කා කියලා.දේදුණු ත් දවසක් කිව්වා උඹයි අසේලියි දැක්කා කියලා"

"යකෝ ඉතින් එක එකා දැක්කා කියලා කිව්වම උඹට බැරි වුනාම කට ඇරලා මගෙන් ඕක අහන්න.හිටපන් පොඩ්ඩක්.එතකොට උඹ මාත් එක්ක කතා නොකරේ මේ සීන් එක නිසාද?"  අවිශ්ක අහද්දි ආදිත්‍ය බිම බලාගත්තේ දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව.

"පිස්සු හැදෙයි.උඹ මාර ඩයල් එකක්නේ බං.දැන් මට මේක කියපන් උඹ තාමත් අසේලි එක්ක කතා කරේ නැද්ද?"

"නෑ..."

"අනේ ගොන් වහන්සේ....දැන්වත් පලයන්...කතා කරපන්..."

"දැන් නම් කොහොමත් බෑ..."

"ඇයි මොකද? නැකත පැනලද? මගෙන් අහගන්නේ නැතුව පලයන්"

"නෑ බං.මේකයි මේ....අසේලි තමයි ඇත්ත දේදුණු .දැන් එයා හිතාවි මං ඒක දැනගත්තට පස්සේ කතා කරන්න එනවා කියලා"

"ඇත්ත දේදුණු ? ඒ කියන්නේ?" අවිශ්ක අහද්දි ආදිත්‍ය දේදුණු ගේ සම්පූර්ණ කතාවම අවිශ්කට විස්තර කරා.

"දෙයියෝ සාක්කි...කවුද මේම එකක් දන්නේ.මේ එකෙන් වැඩක් නෑ ගිහින් කතා කරපන්.දැන් සීන් ඒකත් ඔහොම නම් ගෙවල් වලිනුත් අවුලක් වෙන්නේ නෑ"

"ඒ වුනාට මට නිකන් හිතට හරි නෑ වගේ.බනීද බං මට" ආදිත්‍ය අහද්දි අවිශ්ක රැව්වා.

"බනින්න නෙවෙයි උඹට ගහලා මරන්න තියෙන්නේ කරපු ගොන්කම් වලට.දැන්වත් පලයන්"

"ගිහින් මොකක්ද මං කියන්නේ?"

"යකෝ ඒකත් මං කියලා දෙන්න ඕනේද? ඕනේ එකක් කියපන්.පලයන් දැන්ම.නැත්තම් අසේලිගේ අතින් මැරෙන්න් කලින් උඹ මගේ අතින් මැරුම් කනවා" අවිශ්ක කියවද්දි ආදිත්‍ය අතේ තිබ්බ අලිගැට පේර එක අවිශ්කගේ අතට දුන්නා.

"යාලු නොවුනොත් මොකෝ බං කරන්නේ?" ටික දුරක් ගිහින් ආපහු හැරුනු ආදිත්‍ය අහද්දි අවිශ්ක රැව්වා.

"පලයන් යකෝ..." අවිශ්ක තනියෙන් මුමුණද්දි ආදිත්‍ය අසේලිගේ වත්තට යන පඩිපෙල නැග්ගා.

වත්ත කෙළවරේ අසේලි හිටියේ ඈතින් පේන කදුවැටිය දිහා බලාගෙන.

"මේ.." ආදිත්‍ය කතා කරද්දි අසේලි ගැස්සිලා හැරිලා බැලුවා.

'එදා කලුතරදි ඇදපු සුදු ගවුම මයි.හරි ලස්සනයි' ආදිත්‍ය කල්පනා කරේ අසේලි දිහා බලාගෙනමයි.

"ඇයි?" අසේලි ඇහුවේ ආදිත්‍ය බලාගෙනම හිටපු නිසා.

"ආ...මේ...පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?"

"මොකක් ගැනද?"

"අපි ගැන"

" අපි ගැන තව මොනවා කතා කරන්නද ආදිත්‍ය.ඔයා මාව අතෑරලා දාලා ඉවරයිනේ.ඔයාගේ ඕස්ට්‍රේලියාවට මාව ගැලපෙන්නේ නෑනේ.ප්‍රශ්නයක් නෑ.ඔයා හොදින් ඉන්න.කොහොමත් මං නිසා ඔයාට ඇති වුනේ ප්‍රශ්න විතරයිනේ.දැන් මාත් නැති නිසා ඔයාට කරදරයක් නැතුව ඉන්න පුලුවන්" අසේලි කියවගෙන යද්දි ආදිත්‍ය අසේලිට ලං වුනා.

"මේ මොකද මේ...ලගට එන්න එපා..මං කෑගහනවා."ආදිත්‍ය ලං වෙද්දි අසේලි කිව්වේ වටපිට බලන ගමන්.එතකොටම අසේලිගේ අතකින් ඇදලා ගත්ත ආදිත්‍ය අසේලිව තමන්ට ලං කරගත්තා.

"ආදිත්‍ය අතාරින්න....අම්මා ඉන්නවා ගෙදර" අසේලි කිව්වේ ආදිත්‍ය ගේන් මිදෙන්න උත්සහ කරන ගමන්.

"ආ...ඒ කියන්නේ අම්මා නැත්තම් ප්‍රශ්නයක් නෑ කියලාද?"

"අනේ මේ විකාර නැතුව අතාරින්න" ඒ සැරේ නම් අසේලි කිව්වේ සෑහෙන තරහකින්.තරහටම අසේලිගේ මූණත් රතු වෙලා තිබුනා.

"අතාරින්නම්.මං කියන දේ අහගෙන ඉන්නවා නම්"

"හා...අතාරින්න.." අසේලි එහෙම කියද්දි ආදිත්‍ය අත අතෑරියා.

"හරි මොකක්ද කියන්න තියෙන්නේ?"

" අසේලි....මට සමාවෙන්න...මං දැනන් හිටියේ නෑ අපේ අම්මා ඔයාට මට කතා කරන්න එපා කිව්වා කියලා.මං හිතුවා ඔයා මාව අතෑරියා කියලා.ඔයා කතා කරේ නෑ මට.මගේ ලග ඔයාගේ නම්බර් එකක් තිබ්බේ නෑ.මං ඔයාගේ ෆේස්බුක් එකට මැසේජ් කරා.ඔයා ඒවට රිප්ලයි කරෙත් නෑ.මං හිතුවා...ඔයා මාව අතෑරලා කියලා" ආදිත්‍ය කියද්දි අසේලිගේ ඇස් වලට කදුලු පිරුනා.

"හරිද....කියලා ඉවරද?....මං යන්නද?" එහෙම කියලා අසේලි යන්න හැදුවත් ආදිත්‍ය අතින් අසේලිව නැවැත්තුවා.

"අසේලි....මට සමාවෙන්න.ඒත් ඔයා තරමටම මාත් විදෙව්වා.මට කතා කරන්නත් බැරුව හිටියේ ඔයා දන්නවා ඒක"

"බොරුවට දැන් කියවන්න එන්න එපා.ලේඩේ නිදහසට හේතුවක් නෙවෙයිනේ.එහෙනම් ඔයාට ඊයේ ලෙඩක් තිබ්බේ නෑනේ.පෙරේදා තිබ්බෙත් නෑනේ.ඕනේ වුනා නම් කතා කරන්න තිබ්බානේ.එතකොටත් කතා කරන්න බැරුවද හිටියේ.මං විතරයි දන්නේ මං අඩපු තරම්.ඔයා හිටියේ නෑ.කතා කරෙත් නෑ.හරිම නරකයි" අසේලි එතන හිටගෙනම අඩන්න ගත්තා.

"අසේලි....." ආදිත්‍ය කිව්වේ අසේලි ගේ අතින් අල්ලගන්න උත්සහ කරන ගමන්.

"එපා අල්ලන්න..මං නිසා කරදරමයි වුනේ ඔයාට.ඒ නිසා ඔයා මාව අතෑරපු එක හොදයි කියලා මං කොච්චර හිත හදාගන්න හැදුවද? ඒත් මං බලාගෙන හිටියා ඔයා නිකමට හරි කතා කරාවි කියලා.නෑ.ඔයා කතා කරේ නෑ.අඩු ගානේ ලංකාවෙදි මාව දැකලාවත් නෑ.ඔයා අදුරන්නේ නැති ගානට කතා කරේ"අසේලි කියෙව්වේ අඩ අඩමයි.

"අසේලි....මට සමාවෙන්න.මං මහම මහ මෝඩයෙක්" ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගෙන ලගට ගන්න ගමන්.

"ඔව් මහ මෝඩයෙක්" අසේලි කිව්වේ ඇඩුම් හඩ මැද්දෙමයි.

"හරි දැන් අඩන්න එපා.මං ඉන්නවනේ..මට සමාව දුන්නනේ නේද?" ආදිත්‍ය අසේලිගේ මූණට එබිලා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"නෑ...."

"නෑ.....නැද්ද...."

"නෑ කිව්වනේ...." අසේලි එහෙම කියනවත් එක්කම ආදිත්‍ය අසේලිගේ කරවටේ අතක් දාගත්තා.

"ආදි....අම්මා..." අසේලි කලබලෙන් කිව්වේ වටපිට බලන ගමන්.

"අම්මලා දෙන්නම මෙච්චර වෙලා ඔයාගේ ඇඩිල්ල බලාගෙන හිටියේ ජනේලෙන්.දැන් තමයි හිනා වෙවී එතනින් ගියේ.දැන් ඒ නිසා ඒ ගැන කරදර වෙන්න එපා" ආදිත්‍ය කියද්දි අසේලි පුදුමෙන් බැලුවා.

"ආ...."

"ආ....ආ....නෙවෙයි මතකද අපි අර පහළ පාර දිගේ දුවනවා ඇහැළ මල් අහුලන්න" ආදිත්‍ය කියද්දි අසේලිත් ඒ දිහා බැලුවා.

"මං තමා දිනන්නේ දුවලා." අසේලි කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"ඔව් ඔයා තමයි දිනන්නේ..." එහෙම කියපු ආදිත්‍ය අසේලිගේ ඇස් වලට එබුනා.

"ඇයි මේ...."

" හිතාගන්නත් බෑ මේ අර පොඩි දේදුණු කියලා..." ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"මටත් හිතාගන්න බෑ මේ අර දග ආදි කියලා" අසේලි කිව්වේ හිනා වෙවී.

"අන්න ඉර බහිනවා" ආදිත්‍ය ඈත කදුවැටියෙන් බහින ඉර දිහාවට අත දික් කරා.

"ඔව්මයි අද වහින්නේ නෑ වගේ"

" හ්ම්ම්....අද අපේ ලස්සන දවස...ඒකයි" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා බලලා හිනා වුනා..

සමාප්තයි...

***********************************
හෙට පසුවදනින් හම්බෙමු

Friday, April 12, 2019

මන්දාරම් අහස යට - පනස් වන කොටස



එලියේ ඉන්න අසේලිව දැකලා ආදිත්‍ය තමන්ගේ අතේ තිබ්බ ජායාරූපය දිහා බැලුවේ පුදුමෙන්.

"මේ පින්තුරේ? මේ එලියේ ඉන්න අසේලි?" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ පුදුමෙන් එලිය බලන ගමන්.

"මේ පින්තුරේ දේදුණු ගේ ඇස් දෙක අසේලිගේ වගේමයි.හරි ලස්සනයි." පින්තුරේ දිහා හොදට බලපු ආදිත්‍ය ආයෙමත් ජනේලෙන් එලිය බැලුවත් එතන අසේලි පේන්න හිටියේ නෑ.ආදිත්‍ය කලබලෙන් ජනේලෙන් එලිය බැලුවත් අසේලි පේන්න හිටියේ නෑ.

"මටත් මේ මහ දවල් හීන පේනවද මන්දා...අසේලි කොහෙද මෙහේ" ආදිත්‍ය තමන්ටම කියාගත්තා.

"පුතා....පොඩ්ඩක් එන්න.." එලියෙන් ඇහුනේ ප්‍රියංකාගේ කටහඩ.ආදිත්‍ය ජායාරූපය සාක්කුවට දාගන්න ගමන්ම එලියට ගියා.

සාලේ කවුදෝ මැදි වයසේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වාඩි වෙලා හිටියා.ඒත් එක්කම තව ගෑනු ලමයෙකුත් ආදිත්‍යට පිටුපාලා වාඩි වෙලා හිටියට ඒ ගෑනු ලමයගේ මූණ ආදිත්‍යට පෙනුනේ නෑ.ඒ වාඩි වෙලා හිටපු ගෑනු කෙනා එක්ක සන්තොසෙන් කතා කර කර හිටපු ප්‍රියංකා ආදිත්‍යව දැකලා කතා කරා.

"ආදි....එන්න මෙහෙට.මතකද ජනිතා ආන්ටි ව" ප්‍රියංකා කතා කරනවත් එක්කම ඒ ගෑනු කෙනා වගේම පිරිමි කෙනාත් ආදිත්‍ය එක්ක හොදට හිනා වුනා.ආදිත්‍යත් හිනා වේගෙනම ජනිතා ලග තිබ්බ පුටුවෙන් වාඩි වුනා.

"පුතා දැන් ලොකු වෙලානේ සෑහෙන්න"ජනිතා කිව්වේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන්.

"ඔව් මේ අපේ නිමන්තට වඩා අවුරුදු දෙකයිනේ බාල" එතන ඒ පිරිමි කෙනාත් කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"මේ කිව්වට පුතාට අපිව අමතකද කොහෙද?" ජනිතා කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"නෑ ආන්ටි මට මතකයි.පොඩි කාලේ චොක්ලට් ගේනවා මට මතකයි" ආදිත්‍ය කියද්දි ජනිතා හිනා වුනා.

"ඒක නෙවෙයි.ආදිට මතකද දන්නෙත් නෑ මේ ජනිතා ආන්ටිගේ දුව" ප්‍රියංකා කියද්දි ආදිත්‍ය හැරිලා බැලුවේ පුටුවේ වාඩි වෙලා ඉන්න ගෑනු ලමයා දිහා.ඒ ඉන්න ගෑනු ලමයා දැකපු ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

"අ....අසේලි" ආදිත්‍යට ඉබේටම කියවුනා.

"පොඩි කාලේ එකට සෙල්ලම් කරා මතකද? අර ඔන්චිල්ලාවෙමයි හිටියේ දෙන්නා" ප්‍රියංකා හිනා වෙවී කියනවා අසේලි දිහාම බලන් හිටපු ආදිත්‍යට ඇහුනේ හීනෙන් වගේ.

"ඇයි මතකද අර එක දවසක් අපේ සුදු දූගේ බෝනික්කෙන් ඔතනින් පහලට වැටිලා ආදි තමයි අරගෙන දීලා තිබ්බේ.තුවාලත් වුනේ" ජනිතාත් මතක් කරා.

ජනිතා එහෙම කියද්දි ආදිත්‍යට ඒ සිද්දිය මතක් වුනා.ඒත් ඒ සිද්දිය වුනේ දේදුණු ට කියලා ආදිත්‍යට හොදටම මතකයි.

"දේදුණු..... මෙන්න බෝනික්කා ගෙනාවා මං." බෝනික්කා අරගෙන ඇවිත් දේදුණු ගේ අතට දෙනවා ආදිත්‍යට අද වගේ මතකයි.ඒත් ඒ දේදුණු අද අසේලි වෙලා තියෙන්නේ කොහොමද කියලා ආදිත්‍යට හිතා ගන්නත් අමාරුයි.

ආදිත්‍ය ආයෙත් බැලුවේ පුටුවේ වාඩි වෙලා හිනාවක්වත් නැතුව තමන් දිහා බලන් ඉන්න අසේලි දිහා.හැබැයි අසේලි ඉන්න විදියෙන් නම් මේ දේවල් අසේලිට පුදුමයක් නොවෙන බව ආදිත්‍යට තේරුණා.

"ආඩම්බරයි...බැලුවම නම්.....හොරැහින් බලන්නේ ඇයි එහෙනම්..." අසේලිගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්තා.

"එක්ස්කියුස් මී" එහෙම කියපු අසේලි දුරකථනයත් අරගෙන එලියට යනවා ආදිත්‍ය බලාගෙන.

"ආදි...ඉතින් දැන් මොකද කරන්නේ?" ජයවර්ධන අහද්දි ආදිත්‍ය අමාරුවෙන් හිනා වුනා.

"මං අංකල් IT degree එකක් කරේ.graphic designing major.දැන් පාර්ට් ටයිම් වර්ක් කරනවා." ආදිත්‍ය විස්තර කරා.

"බොහොම හොදයි...බොහොම හොදයි.අපේ සුදු දූ ත් කොළඹ කැම්පස් ඉන්නේ" ජයවර්ධන කියද්දි ආදිත්‍යට හිනා වුනා.

'සුදු දූ ගැන මං දන්නවා අංකල්' එහෙම කියන්න හිතුනත් ආදිත්‍ය මුකුත් කිව්වේ නෑ.

වැඩිහිටියෝ  තමන්ගේ පරණ කතා අලුත් කතා කතා වෙන අතරේ ආදිත්‍ය එලියට බැස්සේ අසේලිව හොයාගෙන.කලින් ඔන්චිල්ලාව තිබුනු තැන අසේලි හිටියේ දුරකථනයෙන් කාත් එක්කදෝ කතා  කර කර.

"අනේ මං දන්නේ නෑ විහාරා.මගේ ඔලුවත් අවුල් වෙනවා මේ වෙන දේවල් නිසා"

" ...................................."

"දැන් ඉතින් කියලා වැඩක් නෑනේ...එක්කෝ අද උදේවත් කියන්න එපැයි මට" අසේලි කිව්වේ ඈතින් පේන කදු යායක් දිහා බලාගෙන.ඒත් එක්කම ඇහුනු සද්දයක් නිසා අසේලි පිටිපස්ස හැරිලා බැලුවා.එයාට ටිකක් එහාට වෙන්න හිටගෙන ඉන්න ආදිත්‍ය දැකපු අසේලිට දැනුනේ අපහසුතාවයක්.

"මේ මං ඔයාට පස්සේ කතා කරන්නම්" කලබලයෙන් දුරකථනය විසන්ධි කරපු අසේලි ආපහු ගෙදර පැත්තට යන්න හැරුනා.

"අසේලි...." ආදිත්‍යගේ කටහඩ ඇහුනත් අසේලි නැවතුනේ නෑ.

තමන්ගේ කටහඩ ඇහෙන්නේ නෑ වගේ අසේලි යද්දි ආදිත්‍ය ට දැනුනේ තරහක්.අඩියට දෙකට අසේලි ලගට ගියපු ආදිත්‍ය අසේලිගේ අතින් අල්ලගත්තා.

"මොක්කද මේ කරන්නේ? පිස්සුද?" අසේලි අත ගසලා දැම්මේ තරහෙන්.

"කතා කරපු වෙලාවේ නැවතුනා නම් ඉවරයිනේ" ආදිත්‍ය කිව්වෙත් තරහෙන්.

"හරි දැන් මොකටද කතා කරේ?" අසේලි ඇහුවේ සන්සුන් වෙන්න උත්සහ කරන ගමන්.

" කොහොමද ඔයාට?" ආදිත්‍ය අහද්දි අසේලි වටපිට බැලුවේ කෙලින්ම ආදිත්‍ය දිහා බලන්න බැරි අපහසුවක් දැනුනු නිසා.

"හොදයි.වරදක් නෑ" අසේලි කිව්වේ ආදිත්‍යගේ මූණ මග ඇරලා.

"නිකන්වත් මට කතා කරේ නෑ නේද?" ආදිත්‍ය අහද්දි අසේලි කෙලින්ම ආදිත්‍ය ගේ මූණ දිහා බැලුවා.

"ඔයා කතා කරෙත් නෑනේ" අසේලි කියද්දි ආදිත්‍යගේ අත්මිට මෙළවුනා.

"මං කතා කරන්නේ කොහොමද? මේ...නෑ...ඒක ඕනේ නෑ.මට තියෙනවා පොඩි දෙයක් අහන්න" ආදිත්‍ය අවිශ්ක ගැන කියන්න ආවත් ඒක ගිලගත්තේ ඒ ගැන කතා කරන්න දැන් තමන්ට අයිතියක් නැති බව හිතලා.

"මොකක්ද?" අසේලි අහද්දි ආදිත්‍ය සාක්කුවට අත දාලා ජායාරූපය එලියට ගත්තා.

"මේ ඉන්නේ කව්ද දන්නවද?" ආදිත්‍ය ඇහුවේ ජායාරූපය පෙන්නන ගමන්.

"හ්ම්ම්...."

"කව්ද...."

"ඔයයි මායි..."අසේලි ගානක්වත් නැතුව කියද්දි ආදිත්‍යට දැනුනේ පුදුමයක්.

" මේ ඔයාද?"

"ඔව්..."

"ඒත්...ඒත් මේ දේදුණු නේ.." ආදිත්‍ය කියද්දි අසේලි හුස්මක් හෙලුවා.

"මොන දේදුණු ද? මේ ඉන්නේ මම.ඔයාට සැක නම් අන්න අපේ අම්මා ඉන්නවා ඇතුලේ.අම්මාගෙන් අහන්න" එහෙම කියපු අසේලි ආපහු හැරුනේ ගේ ඇතුලට යන්න.

"ඉන්න....අසේලි...මේක මට ප්‍රශ්නයක්" ආදිත්‍ය ආයෙත් කියද්දි අසේලි නැවතුනා.

"මොකක්ද?"

"මේ පින්තූරේ ඉන්න ගෑනු ලමයාගේ නම මට මතක දේදුණු කියලා.ඒකේ වැරැද්දක් වෙන්න බෑ.ඔයාගේ නමේ දේදුණු කියලා කොටසක් තියෙනවද?"

"මගේ නම අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන.ඒකේ දේදුණු කියලා කෑල්ලක් තියෙනවද?" අසේලි ඇහුවේ නෝක්කාඩුවෙන් වගේ.

"ඒත්....අර දේදුණු එතකොට..මං හිතුවේ එයයි මේ දේදුණු කියලා...ආදිත්‍ය කිව්වේ කල්පනා කරන ගමන්.

"ආදිත්‍ය...මං දන්නේ නෑ මේ දේදුණු කතාව මොකක්ද කියලා ඒත් මේ ෆොටෝ එකේ ඉන්නේ මම.ඒ වගේම මට මතකයි ඔයයි මායි පොඩි කාලේ සෙල්ලම් කරනවා.ඔයා මට අකුරු කියලා දෙනවා.බයිසිකල් පදිනවා.අර ඈත තියෙන අරලිය ගහේ A අකුරකුත් අපි දෙන්නා මහන්සි වෙලා කෙටුවා මට මතකයි" අසේලි කියද්දි ආදිත්‍ය අහගෙන හිටියේ පුදුමෙන්.

"ඉතින්...ඉතින් ඇයි ඔයා ඕවා මට කලින් නොකිව්වේ"

"ඔයාගේ පොඩි කාලේ ෆොටෝ එකක් ඔයාම මට පෙන්නුවා මතකද? එදාම මට හිතුනා මං කොහෙදි හරි දැකලා තියෙනවා කියලා.ඒත් ඒවා මට මතක් වුනේ හෝස්පිට්ල් එකේදි.ඊට පස්සේ ඉතින් ඔයාට කියන්න වුනේ නෑනේ.අද මේ ගෙදරට එද්දිම මට තේරුනා මේ ඔයාගේ ගෙදර කියලා" අසේලි විස්තර කරා.

"හ්ම්ම්..හරි හරි....ඒත් මේ දේදුණු" ආදිත්‍ය කිව්වේ කල්පනාවෙන්.

"මං දන්නේ නෑ දේදුණු ගැන.ඒත් ඔයාට ඕනේ නම් ඕක අම්මාගෙන් අහමු" අසේලි එහෙම කිව්වේ ගේ ඇතුලට යන ගමන්.

මේ දෙන්නා ගේ ඇතුලට යද්දිත් කට්ටියගේ කතාව නතර වෙලා තිබුනේ නෑ.

"අම්මා..." ගේ ඇතුලට ගියපු අසේලි ජනිතාට කතා කරා" ජනිතා වගේම අනිත් අයත් බැලුවේ එක ලග හිටගෙන ඉන්න අසේලියි ආදිත්‍යයි දිහා.

කලු කලිසමට සුදු ටීශර්ට් එකක් ඇදපු ආදිත්‍යත් නිල් ඩෙනිම් සායට සුදු ටීශර්ට් එකක් ඇදපු අසේලිත් දැකපු ප්‍රියංකා ජනිතාගේ අතින් අල්ලගත්තා.ජනිතාත් ප්‍රියංකාගේ මූණ බලලා හිනා වුනා.

"අම්මා....මේ ආදිත්‍යට අහන්න දෙයක් තියෙනවලු" අසේලි කියද්දි ජනිතා ආදිත්‍ය දිහා බැලුවා.

"මේ...මේකයි ආන්ටි මේ....අසේලි ගේ  නංගි කෙනෙක් එහෙම ඉන්නවද දේදුණු කියලා" ආදිත්‍ය අහද්දි කට්ටියගෙම ඇස් උඩ ගියා.

"මොනවද පුතා මේ අහන්නේ?" ප්‍රියංකා ඇහුවේ පුදුමෙන්.

"මෙයාට නංගි කෙනෙක් නම් ඉන්නවා.ඒ මේධාවි.දේදුණු කියලා නම් නෑ..." ජයවර්ධන කිව්වේ පුදුමෙන්.

" දේදුණු කියලා නමක් අල්ලගෙන මෙයා කියවනවා පොඩි කාලේ සෙල්ලම් කරා කියලා.ඒක මේ එච්චර හිතන්න ඕනේ නෑ.පොඩි කාලේ එක එක ඒවා ඔලුවේ තියෙනවනේ" ක්‍රිශාන්ත කිව්වේ එතන තිබ්බ නොසන්සුන්කම මග අරවන්න හිතාගෙන.

"පොඩ්ඩක් ඉන්න...." ජනිතා කියද්දි හැමෝම ඒ දිහා බැලුවා.

"පුතාට මතක දේදුණු කියලා නේද?" ජනිතා ඇහුවේ හිනා වෙන ගමන්.

"ඔව් ආන්ටි.දන්නවද?"

"අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා කිව්වේ හිනා වෙවී.

*************************************
අද ඉවර කරන්න හිටියට සෑහෙන දිගයි වගේනේ.හෙට උදේ ඉවර කරන්නම්.
හෙට උදේ ඉවර කරනවාමයි.මොකද අලුත් අවුරුද්දට අලුත් තෑග්ගක් එනවා.
ඇගිල්ල තුවාල වෙලා ටයිප් කරගන්න බැරුව හිටියා දවස් දෙකක්ම.
හෙට කතාව ඉවරකරගමු.
ආදරෙන් ඉන්න ❤️

Tuesday, April 9, 2019

මන්දාරම් අහස යට - හතලිස් නම වන කොටස


පහුවදා උදේ ආදිත්‍යට ඇහැරුනේ ප්‍රියංකා කතා කරන හඩින්

"ආදි...නැගිටින්න පුතා..." ප්‍රියංකා එහෙම කියන ගමන් ආදිත්‍යගේ ලගින් ඇදේ කොනකින් වාඩි වුනා.

ඇස් අරින්නෙත්වත් නැතුව ආදිත්‍ය ප්‍රියංකාට ලං වෙද්දි ප්‍රියංකාට ඉබේටම හිනා ගියා.

"නැගිටින්න ආදි...අපි යන්නත් ඕනනේ" ප්‍රියංකා කිව්වේ ආදිගේ හිස්කෙස් අතරින් අත යවන ගමන්.ඒ අතේ සනීපෙට ආදිත්‍ය හෙමීට ඇස් ඇරියා.

"තව ටිකක් ඉමුකෝ අම්මා...මට මහන්සියි.නිදිමතයි" ආදිත්‍ය කිව්වේ ප්‍රියංකාගේ බද වටේට අතක් දාලා ලං වෙන ගමන්.

"මේ ලොකු කොල්ලොන්ගෙනේ හුරතලේ තියෙන්නේ.නැගිටින්න නැගිටින්න.අන්න අවිශ්කත් නැගිටලා" ප්‍රියංකා කිව්වේ හිනා වෙවී ඇදෙන් නැගිටින ගමන්.ඒකට මුකුත්ම නොකිව්ව ආදිත්‍ය ඔලුව කසන ගමන්ම ඇදෙන් වාඩි වුනා.

ප්‍රියංකා කාමරෙන් යනකොටම අවිශ්ක කාමරේට ඇතුල් වුනා.

" අවී මේ කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ?" ප්‍රියංකා ඇහුවේ අවිශ්ක දිහා හොදට බලන ගමන්.

"අදත් එක්සෑම් පුංචි අම්මේ.දැන් යන්න ඕනේ" අවිශ්ක කියද්දි ප්‍රියංකා හිනා වුනා.

"කවද්ද ඉවර වෙන්නේ එක්සෑම්"

"ලබන සතියේ"

"ඉවර වෙලා එනවනේ නේද නුවර" ප්‍රියංකා අහද්දි අවිශ්ක හිනා වුනා.

"ඔව් ඔව් එනවා එනවා"  අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහාත් බලන ගමන්.

"ආදි...තාම ඇදේද? යන්න ලෑස්ති වෙන්න.අවී දැන්ම යනවද?" ප්‍රියංකා ඇහුවා.

"ඔව් පුංචි අම්මේ..දැන් යනවා" එහෙම කියපු අවිශ්ක පහත් වෙලා ප්‍රියංකාට වැන්දා.

"බුදු සරණයි.එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.හොදට විභාගේ ලියන්න" ප්‍රියංකා කිව්වේ අවිශ්කගේ ඔලුව අතගාන ගමන්.

ප්‍රියංකා කාමරෙන් යනවාත් එක්කම ආදිත්‍ය ඇදෙන් නැගිටලා පුටුවක් උඩ දාලා තිබ්බ තුවාය අතට ගත්තේ නාන කාමරේට යන්න හිතාගෙන.

"ආදි...." ඒ කතා කරේ අවිශ්ක.ඒකට උත්තරයක් නොදුන්නත් ආදිත්‍ය එතනම නැවතුනා.

"ආදි...උඹ අහගෙනද ඉන්නේ" අවිශ්ක ආයෙමත් ඇහුවේ ආදිත්‍යගෙන් උත්තරයක් නැති නිසා.

"හ්ම්ම්...."මේසේ උඩ තිබ්බ ජංගම දුරකථන තිරය එහාට මෙහාට කර කර හිටපු ආදිත්‍ය කිව්වේ අවිශ්ක දිහා නොබලාමයි.

"මොකද මේ උඹට වෙලා තියෙන්නේ?" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ලගට යන ගමන්.

"ඇයි මොකක්ද?"

"ඇයි උඹ මාත් එක්ක කතාවක් නැත්තේ? මොකක්ද සීන් එක?" අවිශ්ක ඇහුවේ ටික දවසක ඉදන් හිතේ තිබ්බ ප්‍රශ්නයක්.

"එහෙම මුකුත් නෑ" ආදිත්‍ය තාමත් උත්තර දෙන්නේ දුරකථනය දිහා බලාගෙනමයි.අවිශ්ක ආදිත්‍ය ලගට ගිහින් ආදිත්‍ය ලගින්ම හිටගත්තා.

"මොකද නැත්තේ? ආදි බලපන් උඹ මගේ මූණ වත් බලන්නේ නෑ.මේ මොකද බං.උඹ මාත් එක්ක තරහ වෙලාද? " අවිශ්ක අහද්දි ආදිත්‍ය ඔලුව උස්සලා අවිශ්ක දිහා බැලුවා.ආදිත්‍ය ගේ ඇස් වල රතු පාට අවිශ්කට ගෙනාවේ පුදුමයක්.

"ආදි....ඇයි බං මේ..." අවිශ්ක ඇහුවේ පුදුමෙන්.

"මං කොහොමද අවියා උඹත් එක්ක තරහා වෙන්නේ.උඹ මගේ අයියනේ බං.මට වෙන අයියලා නෑනේ.උඹ මගේ අයියා.මං කොහොමද තරහා වෙන්නේ" ආදිත්‍ය කියද්දි ආදිත්‍යගේ ඇස් වලින් කදුලක් බේරිලා ගියා.

"මේ....මේ....මේ මොකද බං...මට නම් තේරෙන්නේ නෑ.ඒයි අඩන්න එපා" අවිශ්ක කිව්වේ ආදිත්‍යව බදාගන්න ගමන්.

"නෑ බං නෑ...මං අඩන්නේ නෑ...ඒත් උඹට තිබ්බා මට කතා කරන්න" ආදිත්‍ය කිව්වේ කම්මුල දිගේ බේරිලා ගියපු කදුල පිහිදන ගමන්.

"කතා කරන්න....ආ...ඉතින් මං කතා කරානේ  බං.උඹනේ අන්තිම කාලේ මගේ කෝල්ස් ආන්සර් නොකරේ හරියට මං වැරැද්දක් කරලා වගේ.මාත් හෙන අවුලෙන් හිටියේ" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන්.

"හ්ම්ම්...මට කතා කරන්න තරම් මූඩ් එකක් තිබ්බේ නෑ බං.මට හිත හදාගන්න කාලයක් ඕනේ" ආදිත්‍ය කිව්වේ අවිශ්කගෙන් ඈතට වෙන ගමන්.

"හ්ම්ම්...හරි හරි දැන් ඒවාගෙන් වැඩක් නෑ.උඹ තරහක් නෑ කියලා දැනගත්ත එකම ලොකු දෙයක්.උඹ අවුල් ගන්නේ නැතුව නුවර පලයන්.මං ලබන සතිය වෙද්දි එනවා.එතකොට කතා කරමු.මටත් උඹට කියන්න දේවල් තියෙනවා" අවිශ්ක කිව්වේ ආදිත්‍යගේ උරහිසට තට්ටු කරන ගමන්.

ආදිත්‍ය නාන කාමරෙන් එද්දිත් අවිශ්ක පිටත් වෙලා ඉවරයි.උදේට කෑම කාලා ආදිත්‍ය ප්‍රියංකායි ක්‍රිශාන්තයි එක්ක නුවර ගෙදරට යන්න පිටත් වුනා.පැය 5ක විතර ගමනකින් පස්සේ නුවර නගරය කිට්ටුවම වගේ පිහිටලා තිබුනු ආදිත්‍ය පොඩි කාලේ හැදී වැඩුනු ගෙදරට ලගා වෙන්න මේ අයට පුලුවන්කමක් ලැබුනා.

"ලගදි සුද්ද කරලා වගේ වත්ත නම්" ප්‍රියංකා කිව්වේ වාහනෙන් බහින ගමන්.

"ඔව් අයියා මනුස්සයෙක් දම්මලා සුද්ද කෙරෙව්වලු" ක්‍රිශාන්ත කිව්වේ බොරලු පාර දිගේ ගෙදර ලගට යන ගමන්.

ඒ අතරේ ආදිත්‍ය වත්ත වටේ ඇවිද්ද.කන්දක පිහිටලා තිබුනු ගෙදර වත්තට ඈතින් දළදා මාළිගාවත් හොදට පෙනුනා.ආදිත්‍යට මතක් වුනේ එතන මාළිගාව පේන තැන් තිබුනු ලොකු ඇහැළ ගහ.ඒ ගහේ ඔන්චිල්ලාවකුත් තිබුනා කියලා ආදිත්‍යට මතකයි.

"කෝ අප්පච්චි අර වත්තේ තිබ්බ ඇහැළ ගහ?" ආදිත්‍ය ගේ ඇතුලට ආවෙම එහෙම අහගෙන.

"ඒක ගහ මහ හුලගක් වෙලාවක කඩන් වැටිලා ආදි.ගොඩක් පරන ගහක්නේ" ක්‍රිශාන්ත කිව්වේ ගෙදර ඇතුලේ දොරවල් අරින ගමන්.

"මෙයාට තාම ඒ ගහත් මතකයි නේද?" ප්‍රියංකා ඇහුවේ හිනා වෙවී.

"ඔව් ඇයි ඒකේ ඔන්චිල්ලාවකුත් තිබ්බානේ.මං දේදු.....නෑ මේ මල්ලි එක්ක ඔංචිලි පැද්දත්නේ" ආදිත්‍ය කලබලෙන් කිව්වේ දේදුණු ගේ නම අම්මලට ඇහෙන්න නොදී.

දේදුණු කියලා කෙනෙක් ගැන ප්‍රියංකාලට කිසිම මතකයක් තිබුනේ නෑ.ඒ නිසා ආදිත්‍ය සැරින් සැරේටම දේදුණු ගැන කියවන එක ප්‍රියංකාට ලොකු ප්‍රශ්නයක් වුනා.පොඩි කාලේ නම් ලංකාවෙන් ආපු පීඩනේට මෙහෙම කියවන බව හිතුවත් ලොකු වෙද්දිත් දේදුණු ගේ කතාවේ අඩුවක් නොවුනු තැන ආදිත්‍ය ව දොස්තර කෙනෙක් ලගට එක්කගෙන යන්නත් ප්‍රියංකා පෙළඹුනා.ඒකෙන් තමයි ආදිත්‍ය දේදුණු ගැන ගෙදරදි කතා කරන එක නැවැත්තුවේ.

"මේ....මෙන්න ආදි ඔයාගේ ඉස්සර කාමරේ" ක්‍රිශාන්තගේ සද්දෙට ආදිත්‍ය ගියේ තමන්ගේ පරණ කාමරේ බලන්න.

"කෝ මේකේ බඩු නෑනේ"ආදිත්‍ය කාමරේට එබිලා කිව්වා.

"මොකද නැත්තේ.මේ ඇදයි අල්මාරියයි මේසෙයි තියෙන්නේ" එහෙම කියන ගමන්ම ප්‍රියංකා එතන තිබ්බ ජනේලේ ඇරියා.

"ඉතින් එච්චරයිනේ" ආදිත්‍ය කිව්වේ කාමරේ වටේ ඇවිදින ගමන්.

"වෙන මොනවා තියෙන්නද? ඔයාගේ බඩු අස් කරගන්න ආදි.වෙලාවට අයියා මේවා අස් කරවලා තිබ්බේ" ප්‍රියංකා එහෙම කියාගෙනම කාමරෙන් එලියට යද්දි ආදිත්‍ය එයාගේ අල්මාරිය ඉස්සරහ නතර වුනා.

ඒක සමාන කොටස් දෙකක් තිබුනු ලොකු අල්මාරියක්.එක අල්මාරියක් ඉස්සර "ආදිත්‍ය" කියලා ගහලා තිබුනා.අනිත් අල්මාරිය ඉස්සරහ තිබ්බේ "මලින්ද" කියලා.ආදිත්‍ය ඒ "මලින්ද" කියන නම ආදරෙන් අත ගෑවා.

'ඔයා හොද තැනක ඇති මල්ලි' ආදිත්‍ය හිතුවේ ඒ නම දිහා බලාගෙනමයි.

අල්මාරියේ තමන්ගේ පැත්තේ කොටස ඇරපු ආදිත්‍ය ඒකේ තිබ්බ පත්තර කොලයක් අයින් කරේ ලොකු දූවිලි ගොඩකුත් එක්කමයි.

"අස් කරා අස් කරා කියලා අම්මා කිව්වට මොකද මේ තාම දූවිලි නේ" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ දූවිලි පිරුනු පත්තර කොලයක් බිමට දාන ගමන්මයි.ඒත් පත්තර කොලයක් එක්කම බිමට වැටුනු පොඩි ෆොටෝ එකක් දැකපු ආදිත්‍ය බිමට නැමිලා ඒක අහුල ගත්තා.

"මේ...මේ...ඉන්නේ දේදුණු...දේදුණු යි මමයි" ආදිත්‍ය ඒ ජායාරූපය දිහා බැලුවේ පුදුමෙන්.පොඩි සුදු කොට ගවුමක් ඇදපු දේදුණු ආදිත්‍ය එක්කම ඔන්චිල්ලාවේ ඉන්න දිහා ආදිත්‍ය බලාගෙන හිටියා.

"මේ අපි ලංකාවෙන් යන්න කලින් ගත්ත ෆොටෝ එකක්" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ ජායාරූපය දිහා තවත් හොදට බලන ගමන්.

"මේ....දේදුණු...." ආදිත්‍ය එහෙම කියන ගමන්ම කාමරේ ජනේලේ ලගට ගියේ ජායාරූපය දිහා හොදට බලන්න හිතාගෙන.

"මේ දේදුණු ටිකක් වෙනස්ද මන්දා....ඒත් හොදට දැකලා පුරුදුයි වගේ" ආදිත්‍ය කල්පනා කරේ ජායාරූපය දිහා බලාගෙනමයි.

ඒත් එක්කම එලියේ කවුදෝ ඇවිදින සද්දයක් නිසා ආදිත්‍ය ජනේලෙන් එලිය බැලුවා.එලියේ ඇවිදින කෙනාව දැකපු ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.ආයෙමත් එක පාරටම ආදිත්‍ය ජායාරූපය දිහා බලපු ආදිත්‍ය ආපහු පාරක් එහා පැත්තේ ගෙදර වත්තේ ඇවිදිමින් ඉන්න අසේලි දිහා පුදුමෙන් බැලුවා 

****************************************
දැන් ගොඩක් දුරට ප්‍රශ්න ඉවරයි නේද?
ඊලග කොටස ගොඩක් දුරට අවසාන කොටස වේවි...

ඒ වගේම මගේ බ්ලොග් පාඨකයන්ට නම් අලුත් අවුරුදු තෑග්ගකුත් තියෙනවා දෙන්න ❤️
ඉක්මනටම එන්නම්
ආදරෙන් ඉන්න ❤️

Sunday, April 7, 2019

මන්දාරම් අහස යට - හතලිස් අට වන කොටස


ආදිත්‍ය ගුවන් යානයේ ජනේලෙන් පේන ලංකාවේ උස ගොඩනැගිලි දිහා බැලුවා.සුදු පාටට වළාකුලු අතරින් පේන ඒ ගොඩනැගිලි ඇත්තටම ලස්සනයි කියලා ආදිත්‍යට හිතුනා.

ආදිත්‍ය සාක්කුවේ තිබුනු දුරකථනය අතට ගත්තේ සුදු වළාකුලු අතරින් පේන දර්ශනය ජායාරූපයකට නගන්න හිතාගෙන.ඒත් දුරකථන තිරය දැකපු ආදිත්‍ය ඒ දිහා බලාගෙන හිටියා.සුදු ගවුමක් ඇදගෙන කලුතර පාලම උඩ අසේලි හිටගෙන හිටපු ඒ දවස කොච්චර ලස්සනද කියලා ආදිත්‍යට හිතුනේ නොදැනීම සුසුමක් පිටවෙද්දිමයි.ඒත් එක්කම ආදිත්‍යට මතක් වුනේ අවිශ්කගෙන් ආපු දුරකථන ඇමතුම.

"ඔව්...මං කැමතියි අසේලිට.ඇයි උඹ මට මොනවා කරන්නද? මට ඕනේ නම් මං අසේලි එක්ක යාලු වෙනවා තමයි.උඹ වගේ මං එක එකාට බය නෑ.යකෝ මට ලැජ්ජයි උඹ මගේ මල්ලි කියන්නත්" අවිශ්ක එදා තරහෙන් කෑගැහුවා ආදිත්‍යට අද වගේ මතකයි.

එදා ඒ තරහෙන් කිව්වේ මොනවද කියලා ආදිත්‍යට හරියට මතකයක් නැතත් අවිශ්කගේ දුරකථන ඇමතුමෙන් පස්සේ තවත් අසේලි ගැන හිතන එකේ තේරුමක් නැති බව නම් ආදිත්‍ය ට තේරුම් ගියා.

'අවියා උඹ වත් කිව්වා නම් එහෙම දෙයක් නෑ කියලා මං හැමදේම අමතක කරලා උඹව විශ්වාස කරනවා.ඒත් උඹත් මාව අතෑරියා අවියා.මට ඒකයි මෙච්චරම හිතට අමාරු' ආදිත්‍ය හිතුවේ ඇස් තද කරලා පියාගන්න ගමන්.

ඒත් එක්කම ආදිත්‍යට මතක් වුනේ ලංකාවට එන්න දින කීපයකට කලින් දේදුණු ගෙන් ආපු ස්කයිප් ඇමතුම.ලංකාවෙදි දේදුණු ව දැක්කටත් වඩා දේදුණු ලස්සන වෙලා කියලා ආදිත්‍යට හිතුනේ ඇමතුම ගත්ත වෙලාවෙමයි.

"ආදි.......කොහොමද සුදූ අයියේ?" දේදුණු ගේ කතාව වෙනදා වගේමයි කියලා ආදිත්‍යට හිතෙද්දිම ආදිත්‍යට හිනාවක් ගියා.

"ඉන්නවා ඉන්නවා සුදු නංගි.කොහොමද ඔයාට? එක්සෑම් ඉවරයිද?"

"ඕ....ඔයා කවද්ද දැන් එන්නේ?"

"අපි ලබන සතියේ වගේ එනවා.තාම ටිකට් බුක් කරේ නෑ.එනකොට කියන්නම්"

"මාව බලන්න එනවනේ නේද?"

"නැතුව නැතුව..." ආදිත්‍ය කිව්වේ හිනා වෙන ගමන්මයි.

මේ විදියට සෑහෙන වෙලාවක් ස්කයිප් එකෙන් කතා කරපු දේදුණු ඇමතුම විසන්ධි කරන්න සූදානම් වුනේ ඒ වෙද්දි ලංකාවට ගොඩක් රෑ වෙලා තිබුනු නිසා.

"මේ එහෙනම් මං තියනවා ආදි...රෑ වෙලා හොදටම"

"හා...හරි හරි..පරිස්සමෙන් වැඩ කරගන්න.ආවාම මං කියන්නම්"

"හරී....ගුඩ් නයිට්..."

"ආ...මේ දේදුණු ...."

"ඕඔ...ඇයි"

"මේ...." ආදිත්‍ය කතා කරේ දේදුණු ගෙන් ඇස් හංගන ගමන්.

"ඇයි කියන්න"

"අසේලි....අසේලි හම්බුනේ නැද්ද?" ආදිත්‍යගේ ප්‍රශ්නෙට දේදුණු නිහඩ වුනා.ආදිත්‍ය බලාගෙන හිටියේ දේදුණු උත්තරයක් දෙනකම්.

"ඔයා තාමත් අසේලි ගැන හිතනවද ආදි? දැන් මාස තුනක් වෙනවා"

" නෑ එහෙම නෙවෙයි...මං නිකන් දැනගන්න ඇහුවේ"

"හ්ම්ම්...එයාව දැක්කා මං බස් එකේදි අවිශ්කයි තව ගෑනු ලමයෙකුයි එක්ක.කතා කරන්න වුනේ නෑ.බස් එකේ සෙනගනේ" දේදුණු කිව්වේ ඒ ගැන තරමක අමනාපයෙන් බව ආදිත්‍යට තේරුනා

"හරි හරි මං නිකමට ඇහුවේ.ඔයා නිදාගන්න එහෙනම්"

"ඔයත් එක එක විකාර හිතන්නේ නැතුව වැඩ කරගන්න.මං තියනවා.බායි.බුදු සරණයි"

"බුදු සරණයි.ගුඩ් නයිට්"

එදා ඒ දේදුණු කියපු දේවල් ආදිත්‍යට තාමත් හොදට මතකයි.

'දේදුණුත් දැක්කා කිව්වා.මං තව මොනවා හිතන්නද අසේලි' ආදිත්‍ය හිතුවේ ජනේලෙන් එලිය බලාගෙනමයි.

"පුතා...මොන ලෝකෙකද ඉන්නේ.සීට් බෙල්ට් දාගන්න.ලෑන්ඩ් කරන්න යන්නේ" එහා පැත්තේ ශීට් එකේ හිටපු ප්‍රියංකාගේ කටහඩ ඇහිලා ආදිත්‍ය ප්‍රියංකා දිහා බැලුවා.

"ඉක්මනට ආවා නේද?" ආදිත්‍ය කිව්වේ බෙල්ට් එක දාගන්න ගමන්මයි.

"ඔව්...ලොකු අප්පච්චිලා ඇවිත් ඇත්තේ" ප්‍රියංකා කියද්දි ආදිත්‍යගේ මූණ අදුරු වුනේ ඔහුටත් නොදැනීමයි.

කටුනායකින් එලියට ආපු ආදිත්‍ය අම්මයි තාත්තයි එක්කම නිශාන්තගේ වාහනේට නැග්ගා.

"කෝ අයියේ අවී ආවේ නැද්ද?" ප්‍රියංකා ඇහුවේ වාහනේ යන ගමන්.

"අවීට අද ෆයිනල් එක්සෑම්.නැත්තම් මිනිහා එනවා" නිශාන්ත කිව්වේ පිටිපස්සේ ශීට් එකට වෙලා ඉන්න ආදිත්‍ය දිහාත් බලන ගමන්.

"ඔව් එහෙම ආවා නම් අපේ එක්කෙනත් මෙහෙම ඉන්නේ නෑ.දෙන්නා එක්ක කියව කියව යාවි" ක්‍රිශාන්තත් කිව්වේ ආදිත්‍ය දිහා බලලා හිනා වෙන ගමන්.

"දැන් කොහොමද ආදි? සනීපද?" නිශාන්ත අහද්දි ආදිත්‍ය හිනා වුනා.

"දැන් හොදයි ලොකු අප්පච්චි"

"දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් සනීපයි අයියේ.කොච්චර දුකක්ද ඒ විදෙව්වේ"  ප්‍රියංකා කිව්වේ ඇස් දෙකට ආපු කදුලු බිංදුවක් පිහිදාන ගමන්.

"ඕකනේ ඉතින් මෙයා පොඩ්ඩ ඇත්තම් ටැප් එක ඇරගන්නවා." ක්‍රිශාන්ත හිනා වෙවී කියද්දි ආදිත්‍යගේ ප්‍රියංකාගේ අතින් අල්ලගත්තා.

තමන්ගේ අසනීප කාලේම අම්මා තමන් වෙනුවෙන් මහන්සි වුනු තරම ආදිත්‍යට තාමත් මතකයි.අසේලිව හිතින් මේ තරමට හරි අයින් කරගන්න පුලුවන් වුනෙත් අම්මා ලගම හිටපු නිසා කියලා ආදිත්‍ය දන්නවා.ඒ නිසාම ආදිත්‍යගේ හිතේ අම්මා ගැන තිබුනේ ලොකු ආදරයක්.

ආදිත්‍යලා කලුතර ගෙදරට එද්දි රෑ 7ටත් කිට්ටුයි.ආදිත්‍ය අසනීපෙන් පස්සේ ගෙදරට ආපු මුල්ම වතාව නිසා ආදිත්‍යට හැමෝගෙන්ම ලැබුනේ ලොකු පිළිගැනීමක්.

"ආදි ඇදිලා ගිහින් වගේ..." ගයානි කිව්වේ ආදිත්‍යගේ අතින් අල්ලගන්න ගමන්.

"පිස්සුද ? ඕක තමයි කොල්ලෙක්ගේ ගාන.නැතුව ඔයාලා වගේ පිටිමුට්ට වෙලා හරියනවද?" නිශාන්ත කියද්දි හැමෝම හිනා වුනා.

"අයියා මොනාද මට ගෙනාවේ" චූටි ඇහුවේ ආදිගේ පුටුව ලගම කැරකෙන ගමන්.

"බෑග් එකේ ඇති චූටි.හෙට දෙන්නම් හොදේ." ආදිත්‍ය කිව්වේ චූටිගේ ඔලුව අතගාන ගමන්.

"මේ කොල්ලට මහන්සි පාටයි.අවී ආදිව එක්කගෙන යන්න" ගයානි කිව්වේ ආදිත්‍යගේ ඔලුව අතගාන ගමන්.

"ආයේ එක්කගෙන යන්නේ මොකක්ද? මේ අලුත් තැනක් නෙවෙයිනේ" ක්‍රිශාන්ත කියද්දි ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටා.

"කෝ දීපන් බෑග් එක" අවිශ්ක ආදිත්‍ය ගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා.

කාමරේට ගියපු ආදිත්‍ය දුරකථනය චාර්ජ් වෙන්න ගැහුවා.

"උඹට තාම මහන්සිද?" අවිශ්ක ඇහුවේ ආපු වෙලාවේ ඉදන් ආදිත්‍යගේ කතාවක් නැති නිසාමයි.

"ටිකක් විතර" එහෙම කියපු ආදිත්‍ය ඇදෙන් නැගිට්ටා.

"වොශ් එකක් දාගනින්" අවිශ්ක කියද්දිම ආදිත්‍ය නාන කාමරේට ගියා.

නාලා අවිශ්ක නාන කාමරෙන් තියපු ඇදුමකුත් ඇදගෙන එලියට ආපු ආදිත්‍යට ඇහුනේ බැල්කනියේ ඉදන් කතා කරන අවිශ්කගේ කටහඩ.කටහඩේ විදියටම මේ කතා කරන්නේ කෙල්ලෙක් එක්ක කියලා තේරුම් ගන්න ආදිත්‍යට අමාරු වුනේ නෑ.

"නෑ බබා කෑවේ නෑ තාම.ආදි ආවාම එයා එක්කම කනවා"

"-------------------------------------"

" වොශ් දානවා.අනේ මන්දා මිනිහා හරි අමුතුයි වගේ"

"--------------------------------------"

"වැඩි කතාවක් නෑ.අර මං ඔයාට කිව්වේ පහුගිය දවස් වලත් කතාවක් වුනා කියලා.මට ආපහු මේ ගැන කියන්නත් බෑනේ සුදූ.මිනිහත් තේරුම් ගන්න ඕනේ"

"---------------------------------------"

"ඒකනේ කියන්නේ...දෙකෙන් එකක් තියෙන්න එපැයිනේ.මාත් බලාගෙන ඉන්නද?මටත් හිතක් පපුවක් තියෙනවනේ බබා"

"--------------------------------------"

"හා හා ඔන්න ඉතින් ඔයා අඩන්න ගන්න ලැස්ති වෙන්න එපා.ඒක ඌ තේරුම් ගන්න ඕනේ එකක්.අපට කරන්න දෙයක් නෑ.ඌ නේ අතෑරලා දැම්මේ.අපි මොකක් කරන්නද?"

"------------------------------------"

අවිශ්කගේ කතාවෙන්ම මේ කතා කරන්නේ අසේලි එක්ක බව තේරුම් ගන්න ආදිත්‍යට අමාරු වුනේ නෑ.දුරකථනයෙන් සිංදුවක් වාදනය කරලා ඉයර් ෆෝන් එක කනට ගහගත්ත ආදිත්‍ය ඇදට නැග්ගේ තවත් මේ කතාව අහගෙන ඉන්න බැරි නිසා.

ඒත් එක්කම දුරකථයෙන් වාදනය වුනු ගීතය ආදිත්‍යගේ හිතට ගෙනාවේ වේදනාවක්.

මගේ ආදරේ…
තවමත් ඒ වගේ…
සොදුරූ… කතාවක් වගේ…
නුඹේ හීනයේ…
දැවටී එදා වගේ…
ඉන්න ආසයි
තවමත් හිතේ…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

මගේ ලෝකයේ…
නුඹ නෑ ලග මගේ
මට කී කතාවක් වගේ
අකීකරු වුනේ…
කාටත් හොර රහසේ
හිතට දැනුනා නිමාවක් නුඹේ…

සමනල අත්තටු බිදුනා…
සිහිනෙන්වත් නුඹ නොපෙනී ගියා
තවමත් නුඹ හට තියනා
හිතවත්කම් දැන් කොහෙදො මන්දා…

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දවසක නුඹ හා…
මේ ගී පද ගැලපූ…
තනුවක් වාගේ
නුඹ මට පෙනුනේ
මියුරු…
එන මග සරසා…
නුඹ යන විට තනිවූ…
දවසක් ඒවිද ආයේ
නුඹ මට හිමිවූ……

දුරකථනය ඔස්සේ ගීතය වාදනය වෙද්ද් ආදිත්‍යගේ ඇස් වලට කදුලු පිරුනේ ඔහුටත් නොදැනුවත්වමයි.ඒත් එක්කම කාමරේට එන අවිශ්කව දැකපු ආදිත්‍ය ඇස් තද කරලා පියාගත්තා.


"ආදි....නැගිටපන්...කන්න යමු" අවිශ්ක ආදිත්‍යට ලං වෙලා කිව්වත් ආදිත්‍ය හිටියේ නිදාගෙන වගේ.ටිකක් වෙලා නිදාගෙන ඉන්න ආදිත්‍ය දිහා බලන් හිටපු අවිශ්ක ආදිත්‍යගෙන් ඈත් වෙලා දොර ලගට ගියා.

"එයා නිදි අම්මේ...." අවිශ්ක එහෙම කිව්වේ කාමරෙන් එලියේ හිටපු ගයානිට බව ආදිත්‍යට තේරුනා.

"දැන් නැගිටින එකක් නෑ" එහෙම කියාගෙනම අවිශ්ක කාමරෙන් ගියේ කාමරේ විදුලි පහනත් නිවාගෙනමයි.සුසුමක් හෙලපු ආදිත්‍යත් එහා පැත්තට හැරුනේ නිදාගන්න හිතාගෙන.

****************************************
සමාවෙන්න පරක්කු වුනාට.දවස් දෙකේම ගෙදර හිටියේ නෑ.අවුරුද්දට ශොපින් ගියා 
හෙටත් කොටසක් දෙනවා.තව කොටස් කීපයයි.දැන් නිවාඩු කාලේ නිසා දවසම ගත වෙන ගමනක් නොගියොත් මිසක් හැමදාම කොටසක් දෙනවා.
ආදරෙන් ඉන්න❤️