Friday, October 5, 2018

මන්දාරම් අහස යට - සිවුවන කොටස




"මොකක් කිව්වා..." අසේලි ආදිත්‍ය දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.ඒ හිටපු විදියට ආදිත්‍යට හිනා ගියා.

"මං කිව්වේ එක දවසකට මගේ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න කියලා" ආදිත්‍ය හිනාව නවත්තගෙන සන්සුන් විදියට කිව්වා.

"එක දවසකට ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න? පිස්සුද? මොනවද මේ කියවන්නේ " අසේලි කියවගෙන ගියේ මේ මුකුත් හිතාගන්න බැරුව.

"හෝව් හෝව්..පොඩ්ඩක් වාඩි වෙලා මේක අහන්නකෝ.ඊට පස්සේ ඔයා තීරනේ කරන්න ඔයාගේ යාලුවට මගේ උදව් ඕනෙද එපාද කියලා" ආදිත්‍ය ඒක කිව්වේ කට කොණකින් හිනා වෙන ගමන්.ආදිත්‍ය එහෙම කියනකොට අසේලිට මතක් වුනේ විහාරාව.ඒ නිසා අසේලි ආදිත්‍ය ඉස්සරහින් වාඩි වුනා.

"හරි මේකයි වෙන්න ඕනේ..ගෑනු ලමයෙක් ඉන්නවා.මට එයාට පෙන්නන්න ඕනේ මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.ඉතින් එක පැයයි මට මේ වැඩේට ඕනේ.ගියා කතා කරා.ආවා.මොකද කියන්නේ?" ආදිත්‍ය ඇහුවේ සන්සුන් විදියට.

"දැන් මං මේක කරොත් ඔයා අවිශ්කට කතා කරලා මගේ වැඩේ කරලා දෙනවද?" අසේලි ඇහුවේ ටිකක් කල්පනා කරලා.

"අනිවාර්යෙන්ම කරලා දෙනවා.මගේ වචන දෙකක් නෑ"

"මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ? ඔයා ඔයාගේ වැඩේ කරගෙන හෙමීට මාරු වුනොත් එහෙම" අසේලි ඇහුවේ සැකෙන්.ඒ කතාවට ආදිත්‍ය හිනා වුනා. 

"එහෙම වෙන්නේ නෑ.ඒකට මං ඔයාට ගැරන්ට් එකක් දෙන්නම්.අවිශ්ක මගේ යාලුවෙක් වගේ වුනාට යාලුවෙක්ම නෙවෙයි.ඒ මගේ ලොකු අප්පච්චිගේ පුතා.නෑකමට මගේ අයියා.ඉතින් මට පුලුවන් අවිශ්කට කතා කරලා මේක කරන්න" ආදිත්‍ය කියාගෙන යද්දි අසේලි බලන් හිටියේ ලොකු කල්පනාවකින්.

"මොකද කියන්නේ?" ආදිත්‍ය ඇහුවේ අසේලිගෙන් සද්දයක් නැති නිසා.

"මං දන්නේ නෑ ඉතින් ඔයාගේ යාලුවගේ වැඩේ කෙරෙන්නත් ඕනනේ නේද? " ආදිත්‍ය ආයෙත් කියද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ හිස් බැල්මකින්.

"දැන් ඔහොම ගිහින් මං ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් කියලා කිව්වම ඒ ගෑනු ලමයා විශ්වාස කරාවිද?" 

"අපොයි නෑ..ඒකට පොඩ්ඩක් රගපාන්න ඕනේ" ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහලා.

"රගපාන්න ඕනේ කිව්වේ?" අසේලි එහෙම අහනකොට ආදිත්‍ය අසේලි දිහා බැලුවේ පුදුමෙන්.

'මේ කෙල්ල ඇත්තටම දන්නේ නැද්ද නැත්තම් දන්නේ නෑ වගේ රගපානවද?' ආදිත්‍ය හිතුවේ පුදුමෙන්.

"රගපානවා කිව්වේ අපි කපල් එකක්නේ...එතකොට...තේරෙනවනේ...." ආදිත්‍ය අසේලිට පැහැදිලි කරන්න උත්සහ කරා.

"අහ්....නෑ...නෑ...මට බෑ....ඕවා කරන්න..." අසේලි බංකුවෙන් නැගිට්ටේ එහෙම කියාගෙමයි.

"එතකොට ඔයාගේ යාලුවා?" ආදිත්‍ය ආයෙත් උත්සහ කරේ අසේලිව මේකට කැමති කරගන්න.

"ඒකට...ඒකට මං මොකක් හරි කරගන්නම්"අසේලි එහෙම කියාගෙනම යන්න හැරුනා.එතකොටම බංකුවෙන් නැගිට්ට ආදිත්‍ය අසේලිගේ අතේ තිබ්බ එයාගේ ජංගම දුරකථනය උදුර ගත්තා.

"ඒයි මට දෙනවා ඕක" අසේලි ආදිත්‍යගෙන් දුරකථනය ගන්න හැදුවත් ඒක ලේසි වැඩක් වුනේ නැත්තේ ආදිත්‍ය අසේලිට වඩා සෑහෙන උස නිසා.

අසේලිගේ දුරකථනය ගත්ත ආදිත්‍යට ඒකෙන් තමන්ගෙම දුරකථනය ඇමතුමක් ගත්තා.ඊට පස්සේ අසේලිගේ දුරකථනයේ තමන්ගේ දුරකථන අංකය ගබඩා කරලම තමයි ආදිත්‍ය ආයෙත් අසේලිට දුරකථනය දුන්නේ.අසේලි ඒක ගත්තේ උදුරලා වගේ.

"මැනර්ස් කියලා දෙයක් දන්නේ නැද්ද ගෙම්බෝ..අනුන්ගේ ෆෝන් ගන්නේ.ලැජ්ජ නැද්ද?" අසේලි බැනගෙන ගියත් ආදිත්‍යට නම් ඒකේ ගානක්වත් තිබ්බේ නෑ.

"හරි හරි හලෝ.ඕකේ මගේ නම්බර් එක ඇති.ආදිත්‍ය කියලා සේව් කරලා ඇති.හිත වෙනස් වුනොත් කතා කරනවා" ආදිත්‍ය කියද්දි අසේලි ගස්සගෙන ආපහු හැරුනේ ආදිත්‍යට හිතින් බනින ගමන්.

'නලුවෙක්ගේ වගේ නමක් දාගෙන.මූණේ හැටි විතරක්.වදුරෙක් වගේ.එනවා මෙතන දවසකට ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න කතා කරන්න' අසේලි හිතින් බැන බැනම පුස්තකාලෙට ගියේ ආදිත්‍ය එතනම ඉදන් බලන් ඉද්දි.

එතකොටම එතනට ආවේ අවිශ්කගේ නංගි චූටි.චූටි ව එක්කගෙන යන්න අවිශ්කට එන්න විදියක් නැති නිසා තමයි අද ආදිත්‍ය ආවේ චූටිව ගෙදර එක්කගෙන යන්න.පුස්තකාලෙට ඇතුල් වෙන්න ගියපු අසේලිට පෙනුනේ ආදිත්‍ය චුටි වත් බයික් එකේ නග්ගගෙන යන හැටි.

'කෙල්ලෙක් ඉන්නවද කොහෙද? ඒ ඉදලත් ඒ මිනිහා මේ මොකාටද එන්න හදන්නේ.මං බෑ කියපු එකමයි හොද' අසේලි කල්පනා කරේ ආදිත්‍ය යන දිහා බලාගෙන.

චූටිවත් එක්කගෙන ගෙදර ආපු ආදිත්‍ය කෑමත් කාලා කාමරේට ගියේ ටිකක් නිදාගන්න හිතාගෙන.අවිශ්කත් යාලුවෙක් හම්බෙන්න එලියට ගිහින් තිබ්බ නිසා ආදිත්‍ය කම්මැලිකමේ හිටියේ.ඒ ඉන්න අතරේ ආදිත්‍යට මතක් වුනේ දේදුණු හම්බුන විදිය.

එදා ෆේස්බුක් එකෙන් දේදුණුව හොයාගත්ත ආදිත්‍ය,අවිශ්ක ගෙදර ආපු ගමන්ම අවිශ්කට දේදුණුව පෙන්නුවා.

"අප්පද බොල...කිරි කිරි කෑල්ලක්නේ බං මේ දේදුණු" ෆේස්බුක් එකේ දේදුණුගේ ෆොටෝ එක දැකපු අවිශ්කට ඉබේටම එහෙම කියවුනා.

"හ්ම්ම්..." ආදිත්‍ය කිව්වේ එච්චරයි.

"අඩෝ...මේ හෙන පොශ් කෙල්ලෙක්නේ.අදින ඇදුම් බලපන්.බාගයක්ම නෑනේ" අවිශ්ක කියද්දි ආදිත්‍ය හිනා වුනා.

" ඒ මේ ලංකාව නිසා උඹට ඕවා අමුතුවට පේන්නේ.ඕසි වල කොහොමත් ඔහොමයි බං" ආදිත්‍ය කිව්වේ කටත් ඇරගෙන ෆෝන් එකේ දේදුණුගේ ෆොටෝ බලන අවිශ්කට.

"ඒ වුනාට බං මෙහෙම කෙල්ලෝ නුවර නම් ඉන්න විදියක් නෑ.උඹට ශුවර්ද නුවර කියලා"

"එහෙම තමයි මේකේ තියෙන්නේ නම්" ආදිත්‍ය කියද්දි අවිශ්ක බැලුවේ දේදුණුගේ විස්තර මොනවද කියලා.

"student at Sinepsis University College- Colombo 07" අවිශ්ක ආදිත්‍යටත් ඇහෙන්නම කියෙව්වා.

"මේ කෙල්ල ඉන්නේ කොළඹ බං" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලලා.

"ඔව් හැබැයි ඉගෙන ගන්නවා කියලා නම් තියෙන්නේ නම් කොළඹ තමයි.උඹ දන්නවද මේ කියලා තියෙන තැන" 

"හ්ම්ම්...කොළඹ කැම්පස් කිට්ටුව තැනක්. මේ අපි හෙට ගිහින් බලමුද?" අවිශ්ක ආදිත්‍යගෙන් ඇහුවේ හරි උනන්දුවෙන්.

"ගිහින්?" ආදිත්‍ය ඇහුවේ හිතාගන්න බැරුව 

"ගිහින් පොඩ්ඩක් කැරකිලා බලමු.ඕවාගේ ලෙක්චර්ස් පටන් ගන්නේ උදේ 9 කිට්ටු කරලා.ඕකේ මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් වැඩ.මිනිහගෙන් උදව්වක් ගන්නත් පුලුවන් වේවි" අවිශ්ක කියද්දි ආදිත්‍යත් ඔලුව වනලා වැඩේට එකඟ වුනා.

පහුවදා උදේ 9.30 වගේ වෙද්දි මේ දෙන්නා හිටියේ ඒ සිනෙප්සිස් විශ්ව විද්‍යාලයේ එළියේ පුටුවක වාඩි වෙලා.

"යන්න සර් ඇතුළට.ගිහාන් සර් එන්න කිව්වා" පිළිගැනීමේ නිළදාරිනිය එහෙම කිව්වේ එයාට ආපු දුරකථන ඇමතුමකට උත්තර දුන්නට පස්සේ.

එහෙම කියනවත් එක්කම පුටුවෙන් නැගිටපු ආදිත්‍යත් අවිශ්කත් ඇතුල් වුනේ ඒ ඉස්සරහම තිබුනු මුදල් අංශ ප්‍රධානියගේ කාමරේට.

"හලෝ මල්ලි, කොහොමද? වාඩි වෙන්න වාඩි වෙන්න" ගිහාන් දෙන්නව හරි සන්තෝසෙන් පිළිගත්තා.

"හොදින් ඉන්නවා අයියේ" අවිශ්ක කිව්වේ පුටුවේ වාඩි වෙන ගමන්.

"මේ එතකොට" ගිහාන් ඇහුවේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන් 

"මේ මගේ මල්ලි කෙනෙක් අයියේ..ඇත්තටම අපි මේ ආවේ මෙයාගේ වැඩකට" එහෙම කියපු අවිශ්ක සරලව ගිහාන්ට වෙන්න ඕනේ දේ පැහැදිලි කරා.

"හා..හා..ඒ කියන්නේ මේ ෆේස්බුක් එකේ දැකපු කෙල්ල ඇත්තටම ඉන්නවද කියලා තමයි දැනගන්න ඕනේ" ගිහාන් කිව්වේ ආදිත්‍යට ඇහැක් ගහන ගමන් 

"ඒ වගේ දෙයක් තමයි" ආදිත්‍ය කිව්වේ ඔලුව කසන ගමන්.

"පොඩ්ඩක් ඉන්නකෝ බලන්න..." එහෙම කියපු ගිහාන් පරිඝනකයේ මොනවද වැඩ වගයක් බැලුවා.

"හරි දේදුණු විමංසා සෙනෙවිරත්න ඉන්නවා.ෆර්ස්ට් ඉයර්.බිස්නස් ඇන්ඩ් ෆයිනෑන්ස් එකේ ඉන්නේ" එහෙම කියපු ගිහාන් ඊලගට දුරකථන ඇමතුමක් ගත්තා.

"සුරේනි පොඩ්ඩක් කාමරේට එන්න" එහෙම කියපු ගිහාන් දුරකථනය විසන්ධි කරා.ටිකකින් කාමරේට ආවේ කොටම කොට සායක් ඇදපු මේකප් ගොඩකුත් දාගත්ත ගෑනු ලමයෙක්.අවිශ්කයි ආදිත්‍යයි එක්කත් සුහද විදියට හිනා වුන මේ ගෑනු ලමයා ගිහාන් දිහා බැලුවා.

"සුරේනි ෆර්ස්ට් ඉයර් අයගේ පේමන්ට්ස් වැඩ කොහොමද? සයින් අරන් ඉවරයිද?" 

"ඊයේ HRM එකේ පේමන්ට්ස් සෙට්ල් කරලා සයින් කරා සර්.අද ලොජිස්ටික් එක පටන් ගන්න හැදුවේ"

"නෑ සුරේනි.අද බිස්නස් ඇන්ඩ් ෆයිනෑන්ස් එක පටන් ගන්න.ඒකේ ඉන්නවා දේදුණු විමංසා සෙනෙවිරත්න කියලා ගර්ල් කෙනෙක්.එයාගෙන් මේ වැඩේ පටන් ගන්න" ගිහාන් එහෙම කිව්වේ දේදුණුගේ නම ලියපු කොලයක් සුරේනිගේ අතට දෙන ගමන්.

"අහ් හා  සර්" සුරේනි කිව්වේ ටිකක් පුදුම වෙලා.

"හරි සුරේනි ඔයා දැන් යන්න.දැන්ම කතා කරලා දේදුණුව ගෙන්න ගන්න" ගිහාන් කිව්වේ ආපහු අවිශ්කලගේ පැත්තට හැරෙන ගමන්.සුරේනි යනකම් හිටපු ගිහාන් අවිශ්කට කතා කරා.

"අවිශ්ක මල්ලි එහෙනම් ගිහින් එළියෙන් ඉන්න.ටිකකින් දේදුණු ඒවි සුරේනි හම්බවෙන්න.එතකොට පුලුවන්නේ බලාගන්න" 

"අනේ තැන්ක් යූ අයියේ..." අවිශ්ක කියද්දි ආදිත්‍යත් කතා කරා.

"තැන්ක් යූ අයියේ" 

"හරි හරි ඕක මොකක්ද?හැබැයි මල්ලි කරන දෙයක් එළියේ.මේකේ ඇතුලේ මුකුත් බෑ හොදේ" ගිහාන් ඒක කිව්වේ ටිකක් බරපතළ විදියට.

"අපෝ නෑ නෑ..අයියා ඒ ගැන බය වෙන්න එපා" අවිශ්ක කියද්දි ආදිත්‍යත් හිනා වුනා 

"නෑ නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ.නිකන් බලාගන්න විතරයි ඕනේ" 

"අයියේ මේ කට්ටියගේ ලෙක්චර්ස් ඉවර වෙන්නේ කියටද? " අවිශ්ක එහෙම අහද්දි ගිහාන් ටිකක් කල්පනා කරා.

"අද මං හිතන්නේ IT තියෙන්නේ මුලු ෆර්ස්ට් ඉයර් එකටම.එහෙම වුනොත් හවස 3.30ට ඉවර වෙන්නේ.ඊට පස්සේ මිසක් කලින් නම් වෙන්නේ නෑ"

"හරි අයියේ එහෙනම් තැන්ක් යූ අගේන් " 

ගිහාන්ට ආයෙත් ස්තූති කරපු දෙන්නා ඇවිත් එළියේ ලොබියෙන් වාඩි වුනා.එතනට සුරේනිගේ මේසේ හොදට පේනවා.

ටිකකින් අත් නැති සුදු කොට ගවුමක් ඇදපු දේදුණු පඩිපෙළ බැහැගෙන ඇවිත් සුරේනිගේ මේසේ ලගින් නතර වුනා.

"ඒයි ෆොටෝ එකේ වගේමයි බං.බලපන්කෝ සුදු" අවිශ්ක කියද්දි ආදිත්‍යත් ඔලුව වැනුවා.

"හ්ම්ම්...."

"උඹට මොකෝ කටේ වචනත් නැති වෙලාද කෙල්ල දැකලා" අවිශ්ක එහෙම කිව්වේ ආදිත්‍ය ඒ දිහාම බලන් ඉන්න නිසා.

"නෑ බං.මට හිතාගන්න බෑ ඒ පොඩි කාලේ කෙල්ලමද මේ කියලා"

"පොඩ්ඩක්වත් හැඩහුරුකම සමාන නැද්ද?"

"කොහේ හොයන්නද බං.මේකප් දාලනේ ඉන්නේ" ආදිත්‍ය කිව්වේ නොරිස්සුමෙන්.ආදිත්‍ය කවදත් මේකප් වලට ආස කරපු කෙනෙක් නෙවෙයි.

"ඒකත් ඇත්ත.හරි දැන් යමු අපි.ආපහු එමු ඉවර වෙන වෙලාවට" ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටේ එහෙම කියාගෙන.

දෙන්නා ආපහු ගෙදර ගියේ දවල්ටත් කාලම එන්න හිතාගෙන.දවල්ටත් කාපු දෙන්නා 3.30 වෙද්දි ගියේ සිනෙප්සිස් එක ඉස්සරහ බස් හෝල්ට් එකට.

"දැන් ගිහින් උඹ මොනවද කියන්න හිතාගෙන ඉන්නේ?" අවිශ්ක ඇහුවේ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න ගමන්.

"ගිහින් කියමු.මෙන්න මෙහෙම මං කෙල්ලෙක් හොයනවා.ඒ ඔයාද කියලා" ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වුනා.

"උඹට පිස්සුද ගොන් අලියෝ.ඔහොම කියලා හරි යන් නෑ"

"එහෙනම්..."

"මුලින් බලපන් පොඩ්ඩක් ෆිට් වෙන්න.කලින් මං ඔයාව දැකලා තියෙනවා නංගි.එහෙම කියලා බලමු මුලින්"

"අනේ මන්දා...බලමුකෝ බලමුකෝ" ආදිත්‍ය එහෙම කියද්දිම සිනෙප්සිස් එකෙන් එළියට ළමයි රංචුවක් එන්න පටන් ගත්තා.

"හොදට බලපන්.මිස් වෙන්න දෙන්න එපා" අවිශ්ක කිව්වේ එබි එබි බලන ගමන් 

"අහ් අන්න ඉන්නවා. වරෙන් යන්න"එහෙම කියපු ආදිත්‍ය එක පාරට අවිශ්කවත් ඇදගෙනම පාර පැන්නා.පාර පැනපු ආදිත්‍ය කෙලින්ම ගියේ එතනම තිබ්බ මැක්ඩොනල්ඩ්ස් එකට.

මැක්ඩොනල්ස්ඩ් එක ඇතුලට ගියපු ආදිත්‍ය වටපිට බැලුවා.එතකොට එය දැක්කේ කවුන්ටරේ ලගට වෙලා හිටගෙන ඉන්න දේදුණු ව.

"අන්න ඉන්නවා..." අවිශ්ක කිව්වේ දේදුණුව පෙන්නලා

"හ්ම්ම්....යමුද කතා කරන්න" ආදිත්‍ය ඇහුවේ ඒ පැත්ත බලාගෙනමයි.

"එහෙම යන්න බෑ යකෝ..පොඩ්ඩක් වාඩි වෙලා ඉමු.ඊට පස්සේ යමු" එහෙම කියාගෙනම අවිශ්ක එතන තිබ්බ පුටුවකින් වාඩි වුනා.

දේදුණුත් කෑම එහෙම අරගෙන අවිශ්කලගේ මේසෙට ටිකක් ඈතින් මේසෙක වාඩි වුනා.ටිකක් වෙලා ඒ පැත්ත බලන් හිටපු අවිශ්ක එක පාරටම එතනින් නැගිට්ටා.

"හරි දැන් යමු..." අවිශ්ක එහෙම කිව්වේ ආදිත්‍ය දිහා බලන ගමන්.

ලොකු හුස්මක් පහළට හෙලපු ආදිත්‍යත් අවිශ්කගේ පස්සෙන් දේදුණුගේ මේසේ ලගට ගියා.

"එක්ස්කියුස් මී...." දේද්ණුගේ මේසේ ලගට ගියපු අවිශ්ක කතා කරා.

අවිශ්කගේ කටහඩට දේදුණු ඔලුව උස්සලා බැලුවා.දැන් තමයි ආදිත්‍ය හරියට දේදුණු ව ලගට දැක්කේ.

'දෙයියනේ...මේ කෙල්ල ඇත්තටම ලස්සනයි.මේකප් දාලා නෙවෙයි.මේ ඇත්තටම ලස්සනයි ' ආදිත්‍ය දේදුනු දිහා බලාගෙනම හිතුවා.

"අපට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" අවිශ්ක දේදුණුගෙන් අහද්දි දේදුණු බැලුවේ ලග හිටගෙන හිටපු ආදිත්‍ය දිහා.

"මොනවා ගැනද?" දේදුණු ඇහුවේ පුදුමෙන් වගේ.

"අපි පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්නද?" එහෙම අහපු අවිශ්ක දේදුණු ඉස්සරහ පුටුවෙන් වාඩි වුනේ ආදිත්‍යවත් තමන් ලගින්ම වාඩි කරවගන්න ගමන්.

"මොකක්ද කතා කරන්න තියෙන්නේ?" ඒ සැරේ නම් දේදුණු ඇහුවේ බය වෙලා වගේ කියලා ආදිත්‍යට හිතුනා 

"නෑ නෑ නංගි මේකයි.මට ඔයාව හොදට දැකලා පුරුදුයි.ඒකයි " ආදිත්‍ය කලින් අවිශ්ක කියලා දීපු විදියට කිව්වා.

"සොරි.මාව ඔයා දැකලා තියෙන්න විදියක් නෑ.ඔහොම කියාගෙන එන අය මං දන්නවා.එහෙම වෙන්න විදියක් නෑ" දේදුණු කියද්දි අවිශ්ක කතා කරා.

"නෑ නෑ එහෙම නෙවෙයි.ඇත්තටම අපට දෙයක් තියෙනවා කතා කරන්න"

"ඉතින් එහෙනම් ඉක්මනට කියන්න.මට පරක්කු වෙනවා" දේදුණු එහෙම කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.

"ඒක මේ එහෙම හදිස්සියේ කියන්න බෑ.මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන් වෙලාවක් කිව්වොත් මං එන්නම්" පුටුවෙන් නැගිටපු ආදිත්‍ය කිව්වේ බොහොම සංවරශීලිව වුනත් දේදුණු නම් බැලුවේ සැකෙන් වගේ.

"මේ ඔයාලා වගේ දැකලා තියෙනවා කියාගෙන ඕනේ තරම් කොල්ලෝ මගේ පස්සෙන් එනවා.අනේ ප්ලීස් මං ඕවට කැමති නෑ.වෙන කෙල්ලෙක් ඕකට හොයාගන්න"දේදුණු ඒ ටික නම් කිව්වේ ටිකක් තදින්.

"නෑ නෑ ඔයා වැරදියට හිතන්නේ..එහෙම මේ ඔයාගේ පස්සෙන් ආවේ නෑ අපි.එහෙම දේකට නෙවෙයි මේ කතා කරන්න හදන්නේ" ඒ සැරේ අවිශ්කත් කතා කරා.

"එහෙම දෙයක් නෙවෙයි නම් කොහොම දෙයක්ද? ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න පිරිමි ලමයි කරන බොරු මං දන්නවා. මං නම් කොහොමත් එහෙම ඒවට කැමති නෑ.ඒ නිසා ප්ලීස් ඕවට වෙන කෙනෙක් හොයාගන්න." දේදුණු කියාගෙන ගියේ ආදිත්‍ය පුදුමෙන් බලන් ඉද්දි.

"මේ මට ඔයා එක්ක යාලු වෙන්න ඕනේ නෑ.කතා කරන්න විතරයි ඕනේ.ඒකත් වැදගත් දෙයක්" ඒ සැරේ ආදිත්‍යත් කිව්වේ ටිකක් සැරෙන්.

"යාලු වෙන්න ඕනේ නෑ?? අනේ නිකන් බොරු කියන්න එපා.මොකක්ද තියෙන සාක්ශිය ඔයා කතා කරන්නේ ඒකට නෙවෙයි කියන්න" දේදුණුත් අතාරින පාටක් නෑ.

"සාක්ශියද? සාක්ශිය තමයි....මට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා" ආදිත්‍ය එහෙම කියද්දි අවිශ්ක ආදිත්‍ය දිහා බැලුවේ පුදුමෙන් වගේ.

"ඉතින් මට ඔයා එක්ක යාලු වෙන්න ඕනේ කමක් නෑ" එහෙම කියපු ආදිත්‍ය ලොකු හුස්මක් පහළට හෙලුවා.

*******************************************************************************

සමාවෙන්න කතාව පරක්කු වුනා.ඊලග බදාදටත්  අලුත් කොටසක් දෙන්නම් 

ආදරෙන් ඉන්න....💖