Showing posts with label කැම්පස් විත්ති. Show all posts
Showing posts with label කැම්පස් විත්ති. Show all posts

Friday, November 9, 2018

ලස්සන සති අන්ත



සතියේ දවස් 5 ගෙවෙන්න මාස 5ක් විතර යද්දි සති අන්තේ දවස් දෙක ගෙවෙන්නේ පැය දෙකක වේගෙන්.

සෙනසුරාදා උදේ වෙලා ආයේ ඉරිදා හවස් වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.ඔයා සතියේ දවස් 5ම රස්සාවක් කරන ඉගෙන ගන්න එහෙමත් නැත්තම් ගෙදරින් පිට මොනවම හරි දේකට යන කෙනෙක් නම් මේක හොදටම තේරෙනවා ඇති.

මගේ ජිවිතේ හැම කාලෙකම මට ලස්සන ලස්සන සති අන්ත තිබිලා තියෙනවා.💜

මට මතක තියෙන පොඩිම කාලේ...,
සති අන්තේ කියන්නේ මහ ගෙදර යන දවස්.ආච්චි බලලා නංගිලා එක්ක සෙල්ලම් කරලා කාලා බීලා නටලා එන ලස්සන සෙල්ලම් දවස් 👭👵

ටිකක් ටිකක් ලොකු වෙද්දි ඉස්කෝලේ යද්දි...,
සති අන්තේ අම්මගෙයි මගෙයි නිදහස් දවස් වුනා.ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන දෙන්නත් එක්ක කඩේ ගිහින් ඇවිත් ඉස්කෝලේ වැඩත් කරලා රටේම ඕපදූප ටිකත් කතා කරගෙන ඉන්න මං පුදුම තරම් ආස කරා.සමහර සති අන්ත වලට තාත්තා ගෙදර එන්නේ ඒ සතුට දෙගුණ තෙගුණ කරලා.ඉදලා හිටලා ගෙදරින් අහන බැනුමත් ඒ කාලේ හිතට වැදුනේ නැත්තේ ඒ ආදරේ පිරිච්ච සති අන්ත නිසයි.👪

ඉස්කෝලේ ගියත් අමතර පංති කියලා එකකට මං යන්න ගත්තේ උසස් පෙළ කරද්දිම තමයි.

ඉතින් ඒ පංති යන කාලේ දි...,
 අම්මා එක්ක ගෙවුන ලස්සන සති අන්ත මං යාලුවෝ එක්ක පංති වල බංකු රත් කර කර ගෙවන්න පටන් ගත්තා.පංති යන එක අමාරුයි.ඒ පංති වල පැය ගනන් හිර වෙලා වාඩි වෙලා ඉන්න ඊට වඩා අමාරුයි.ඒත් ඒ මොනා වුනත් එක එක පාට ඇදුම් ඇදලා එක එක කොණ්ඩ මෝස්තර දාගෙන රටේම ඕපදූප කියව කියව හිනා වෙවී රේල් පාරවල් දිගේ පංති ගියපු කාලේ හරිම ලස්සනයි.💝💛

පංති ගියා වගේම යාලුවෝ එක්ක පොඩි පොඩි ගමන් යන්න පුරුදු වුනෙත් ඒ කාලෙම තමයි.අද කාලේ වගේ යන්න කෑම කඩ, පාර්ක් වගේ ඒවා නොතිබ්බ ඒ කාලේ අපි යාලුවෝ එක්ක ගියේ ශොපින්.ගන්න ඇති ඇදුමක් නැතත් තියෙන කඩ ඔක්කොටම ගිහින් ඇදුම් බලලා එන එක අපට පුරුද්දකට ගිහින් තිබ්බා.අද ආපහු හිතලා බලද්දි ඒ සල්ලි අතේ නැති කාලේ යාලුවෝ එක්ක ශොපින් ගිය සතුට අද අතේ සල්ලිත් තියාගෙන කඩිමුඩියේ දුවන ශොපින් වල නෑ.මහ ලොකු ගනන් වලට අපි දැන් ගන්න ඇදුම් ඒ කාලේ යාලුවෝ එක්ක ගිහින් ගන්න ලේන්සුව තරම්වත් ලස්සන නෑ.

ඒ සති අන්ත වලින් පස්සේ ආයෙත් ලස්සන සති අන්න ආවේ කැම්පස් කාලේ.ඒවා ගෙදර හිටියත් කැම්පස් හිටියත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සන සති අන්ත.💓

දුරම දුර කැම්පස් එකක හිටපු මට හැම සති අන්තෙම ගෙදර එන්න පුලුවන්කමක් තිබුනේ නෑ.ඉතින් ඒ සති අන්ත ගත වුනේ බෝඩිමේ නැත්තම් නේවාසිකාගාරේ රූමෝ මැද්දේ. අම්මලා තාත්තලා නැති අපේම නිදහස් සති අන්ත තිබ්බේ ඒ කාලේ.මහ දවල් වෙලා නැගිටලා කැන්ටිමෙන් හරි කඩේකින් හරි කෑම කාලා ඕපයක් කියවලා කට්ටියත් එක්ක ෆිල්ම් එකක් බලලා හිටපු ඒ දවස් හරිම කම්මැලි සුන්දර සති අන්ත.

ඒත් එහෙම හිටපු සති අන්ත තිබ්බේ හරි ටිකයි.සමහර සති අන්ත වල හුස්ම ගන්නත් බැරි තරම් වැඩ.ප්‍රැක්ටිකල් ලියනවා,ප්‍රසන්ටේශන් හදනවා, එසයින්ම්න්ට් හදනවා, බෝඩිමම එක එක වැඩ.සමහර සති අන්ත වෙන් කරලා තිබ්බේ බෝඩිම කාමරේ පිරිසිදු කරන්න.ඒ පිරිසිදු කරන සති අන්ත හරිම මහන්සියි.හැබැයි ඊට පස්සේ බෝඩිමම හරිම ලස්සනයි.

ඒ කාලේ සති අන්තේ ගෙදර ගියේ දිග නිවාඩුවකටම තමයි.ඒ ගියාම සැලකිල්ල රාජ කුමාරියකට වගේ.ආස කරන හැම කෑමක්ම කන්න ලැබෙනවා වගේම හැම ඕපදූපයක්ම හිතේ හැටියට කියවන්න ලැබෙන එකත් ලොකු නිදහසක්.හොදට කාලා බීලා ඇදට වෙලා නිදාගන්න එක තමයි ඒ කාලේ ගෙදර යන සති අන්තේ ප්‍රධානම දේ වුනේ.ඒ කාලේ තාත්තා නිතරම කියන්නේ මං ගෙදර එන්නෙම කම්මැලි වෙලා කියලා.ඔව් ඒක ඇත්ත.ඒ මගේ කම්මැලි සති අන්ත.මං ආසම ජාතියේ සති අන්ත.

ඒත් දැන් අපි පොඩි නෑ...රස්සාවකුත් කරන ලොකු ලමයිලුනේ..ඉතින් දැන් අපේ සති අන්ත ටිකක් වෙනස් වෙලා....

ඒ කාලේ වගේ දැන් සති අන්තේට ගමන් යන්න ෆිල්ම් බලන්න ඕප කියවන්න යාලුවෝ හම්බ නොවුනත් ආස කෑමක් මටම හදන් කන්න වුනත් ඉස්සර තරම් මහ දවල් වෙනකම් නිදාගන්න නොලැබුනත් තාමත් මගේ සති අන්ත හරිම ලස්සනයි.💕

මගේ ඒ සති අන්ත එක එක විදියයි...👸

*සමහර සති අන්ත හරිම කම්මැලියි.දවසෙම පොරවගෙන නිදාගන්න හිතෙන දවස් තියෙන්නේ 🙈

*තවත් සමහර සති අන්ත වල  වෙන්නේ  පොත් ගොඩක් වට කරගෙන කියවන එක,නැත්තම් ෆිල්ම් බලන එක නටන එක සිංදු කියන එක 😀💓

*සමහර සති අන්ත හරිම කාර්‍යබහුලයි.ගමන් බිමන් ගොඩයි.ගෙදර වැඩ ගොඩයි 😐🙉

*ඒ විතරක්ම නෙවෙයි.සමහර වෙලාවට  තියෙනවා සතියෙම හිතලා හිතලා වැඩ ප්ලෑන් කරලා  කරන්න ගිහින් ඒ වැඩත් ඔක්කොම අවුල් කරගෙන සති අන්තෙම නැති නාස්ති කරගන්නවා   😫😫🙊🙈

ඒත් ඒ මොනවා වුනත් මං වැඩියෙන්ම ආදරේ සති අන්තෙට.ඒක වෙනසක් වෙන්නේ නෑ.💖

මං හිතන්නේ සති අන්ත එච්චරටම ලස්සන ඒවා අපේ නිසා.සතියේ දවස් 5ම අනුන්ට ලියලා දීලා එයාලා වෙනුවෙන් ජීවත් වෙන අපි, අපි වෙනුවෙන් ජීවත් වෙන්නේ මේ දවස් දෙකේ නිසා 💓

ඉරිදා සෙනසුරාදා කියන්නේ 💓 අපේ දවස්,ඒකයි සති අන්ත මෙච්චරම ලස්සන....❤️


Sunday, June 3, 2018

මහ පුදුම වයඹ අහස

වයඹ අහස හරි පුදුමය.හොදට හොදින් ඉන්නවා සේම නරකට නම් අන්තිම නරකය.දකුණු පලාතේ උපත ලබා එහිම හැදී වැඩුනු මට වයඹ අහසේ සුන්දරත්වය විදින්නට ලැබුනේ වසර හතරක කැම්පස් ජීවීතය නිසාවෙනි.

මූලින්ම වයඹ අහසේ අත්දැකීම විදින විට මා පළමු වසර කුණු ප්‍රෙශියෙකි.මුලින්ම හොයාගත් බෝඩිමේ තත්වය ඉතා සුන්දර නිසාවෙන් මාත් මගේ බෝඩිමේ බැචියෙකුත් වෙනත් බෝඩිමක් සොයමින් සිටියෙමි.මේ කාලයේ අපේම බැචයෙක් බෝඩිමක් ගැන කියූ ඔත්තුවකට මාත් ඇයත් ඔහුත් තවත් බැචෙකුත් සමග බෝඩිමක් සොයා යන්නට එලියට බැස්සේ විවේක කාලයේදීය.අප එලියට බසින විට ඉතා ලස්සනට තිබූ අහසට,අප බස් නැවතුමට එන ඒ විනාඩි කීපයට කුමක්දෝ විය.පරිසරයම කලු කර මහ හයියෙන් සුළං හමන්නට ගත් අතර අපි වහා කැම්පස් බස් හෝල්ට් එක යටට විමු.එතන බෝඩිමට යාමට බලා සිටි අපේ තවත් බැචියෙක්ද විය.

අහසේ තත්වය තවත් නරක අතට හරවමින් දොඹ ගෙඩි තරම් වතුර බිංදු අහසින් කඩා හැලෙන්නට විය.මේ දොඹ බිංදු මහා වරුසාවක් වෙන්නට මහා වෙලාවක් ගියේ නැත.අප සිටි බස් නැවතුමේ දමා තිබූ ටකරං කැබලි ඉතා හොද තත්වයෙන් යුතු වූ නිසා ඒ යට සිටීම වැසි දෙකක් යට සිටීමක් බදු විය. හාත්පසම මහා කරුවලකින් වෙලෙද්දී කුඩ තුනක් යටට වූ අපි පස්දෙනා සුලගත් සමග ආ වැස්සෙන් බේරෙන්නට උත්සහ දරමින් සිටියෙමු.මේ අතර කොල්ලන් දෙදෙනා සපත්තු වල වතුර පිරීම ගැනත් හෙටත් දාන්නට ඇත්තේ මේ මේස් දෙක පමණක් යැයි කණුකුනු ගාන්නට වූ අතර අපට තිබුනේ ඊටත් වඩා බරපතල ගැටලුවකි .කුණු ප්‍රෙශියන්ට නියම කර ඇති නිල ඇදුමින් සැරසී සිටි අපේ රැලි රැලි සායවල් හැමපැත්තෙන්ම සුලගේ යමින් පැවතුන අතර එක අතකින් පොත් මිටියත් තව අතකින් සායත් අල්ලා ගත් අපි මාරුවෙන් මාරුවට එකිනෙකාගේ සායත් කුඩයත් අතර අත් මාරු කරමින් නොතෙමී සිටින්නට උත්සහ කළෙමු.

කෙසේ හෝ ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇනීමේ කතාව සත්‍ය කරමින් අප සිටි බස් හෝල්ට් එකේ ටකරම් කැබැල්ලක්ද සුලගට ගසාගෙන ගියේය.අහෝ දුකකි ඉරකි තිතකි.එක වරම ආ මහා සුලගට අපිද ගසාගෙන යන්නාක් මෙන් විය.කොල්ලන් දෙදෙනා වහා බස් හෝල්ටයේ උඩ බැම්මට නැග්ගේ අපටද එසේ නගින ලෙස කියමිනි."යටින් හුලං එනවා අඩුයි එතකොට" ඒ ඔවුන්ගේ තර්කය විය.හරිද වැරදිද බැලීමට වෙලාවක් නැත.පොතුත් උස්සාගෙන අපිද බැම්ම උඩට නැග ගතිමු.බැම්ම උඩට වී සිටින අතර එතනට පැමිණි බසයට තෙමීගෙන නැග ගත් අප බසයේ අයට පෙනෙන්නට ඇත්තේ මහත් විහිලු කාරයන් ලෙස බවට කිසිදු සැකයක් නැත.

මෙහි ඇති මහත්ම පුදුමය වන්නේ අප නියමිත තැනින බැස ගැනීමටත් පෙරම අර මුරුගසන් වරුසාව නතර වීමය.කෙසේ හෝ ඒ බැලීමට ගිය බෝඩිම අපට හරි ගියේ නැත.

*****************************************
වයඹ අහස හරි පුදුමය.සති දෙකක් නොවැස්සොත් ළිං වල වතුර හිදී නියගයක් ඇති වන අතර සතියක් වැස්සොත් ගං වතුරක් දැක ගත හැකි වේ.

වැසි සමයේදී බෝඩිම් ජීවිතයේ බරපතළම ගැටලුව වූයේ රෙදි වේලා ගැනීමයි.නිවසේදීට වඩා තත්වය බරපතළ වූයේ පස්සේ සෝදනවා කියා ඒවා ගොඩ ගසා තැබීමට තැනක් නැති වීමත් සේදූ රෙදි හෙවනක දමා ගැනීමට නොහැකි වීමත්‍ නිසාවෙනි.මේ හේතුවෙන් ඒ කාලයට අප පුරුදු වී සිටියේ ඉක්මනින් වියලෙන ඇදුම්ය.මෝස්තරේට වඩා ඇදුම් වියලා ගැනීම වැදගත් විය.ඒ කාලයට බෝඩිම් ඇතුල ඉතා ලස්සනය.හැම කාමරේකම හැම තැනින්ම ලණු එල්ලා ඒවායේ එක එක ජාති වල ඇදුම් එල්ලා තිබේ.අවුරුදු කාලෙට ඇති ඇදුම් සේල් පොලක් මෙනි.ඒ කාලෙට බෝඩිමේ නිල නොවූ නීතියක්ද විය.ඒ නම් බෝඩිමේ සිටින ඕනෑම කෙනෙක් වහින වෙලාවට එලියේ ඇති සියලුම ඇදුම් ඇතුලට ගත යුතු බවයි.

බෝඩිමේ අනිත් අයට වඩා මට අමතර කරදරයක්ද විය.තට්ටු ඇදක උඩ ඇදේ සිටි මාත් වහලත් අතර වූයේ සුලු පරතරයකි.හරියටම මා සිටි ඇදට උඩින් ඇති ඒ ටකරමේ සිදුරක් විය.ඉතින් වහින වහින වාරයක් පාසා මා "අන්කල් තෙමෙනවා" යැයි කෑගසමින් එලියට යෑම අපේ බෝඩිමේ කාටත් සුලබ දසුනක් විය.කීප සැරයක්ම මෙය සෑදුවත් මගේම කරුමයකට මං ඒ බෝඩිමෙන් යනතෙක්ම මෙය හරියටම හරි ගියේ නැත.
වැස්ස කාලයේදී මෙන්ම පායන කාලයද මහත් අබියෝගයක් වන්නේ ඒ කාලයේදී ඇති වන ජල අර්බුදය හේතුවෙනි.එක් වතාවක් මෙය කොතරම් උග්‍ර වූවාද යත් බෝඩිමේ අන්කල් අපේ වැසිකිළි හා නාන කාමර වල වතුර කපා හැරියේය.අපට වතුර ලබා ගැනීමට වූයේ ළිදෙනි.දේශන ඉවර වී බෝඩිමට දුව එන අපි දිය රෙදි හැද බාල්ලි බේසම් ගෙන දියට යන්නෙමු.ළිදෙන් වතුර ඇද ගැනීමට මා ඉගෙන ගත්තේ මේ කාලයේදීය.මුල් කාලයේ ළිදෙන් වතුර ඇද ගැනීමට ගොස් මා කරගත් විපත්තිය ඔබට මතක ඇතැයි සිතමි.මේ ඔක්කොටමත් හරි යන්න මහ රෑට කාට හෝ බඩේ අමාරුවක් වත් හැදුනොත් අබ සරණය.මේ කිසිම දෙයක් අපේ බෝඩිමට පමණක් සීමා වූයේ නැත.අවට සියලුම බෝඩිම් හා කැම්පස් තත්වයද මෙයම විය.

*****************************************
ඒ මොනවා වූවත් වයඹ අහස තරම් ලස්සන අහසක් මා තවම දැක නැත.මොන කරදර තිබ්බත් ඒ අහසේ වෙනම චමත්කාරයක් විය.අමුතුම නිසසල බවක් විය.ඒ අහස යට මා මගේ ජිවිතේ හොදම කාලයක් ගත කළෙමි.ඉතින් ඒ වයඹ අහසට මා කවදත් ආදරේ කරමි ❤️

Sunday, May 6, 2018

කැම්පස් කෑම



අවුරුදු 4ක කැම්පස්  ජීවිතේ මා ලැබූ මාරම අත්දැකීම වන්නේ කැම්පස් කෑමයි. මේ කැම්පස් කෑම කැන්ටින් කෑම හා වෙනත් කෑම වර්ග ලෙස වෙන් කළ හැක.

කැන්ටින්  කෑමේ මිල හා රසය කැම්පස් එකෙන් කැම්පස් එකට, ෆැකල්ටියෙන් ෆැකල්ටියට ,කැන්ටිමෙන් කැන්ටිමට, පමණක් නොව පිගානෙන් පිගානටද,  වෙනස් විය හැක.නමුත් මේ සියලුම කැන්ටින්  කෑමේ පොදු ධර්මතාවයක් ඇත.

ඒ නම් ,
මේවා කිසිම එකක ලුණු කියා නාමයක් නැති වීමයි

මා මුලින්ම කැම්පස් කෑම රස බැලුවේ රැග් කාලයේ මෙස් කැන්ටින් එකේදීය.උදේ ආහාරය වූ එහි තිබුනේ බතුත් පරිප්පුත් සම්බෝලත් ය.බත් ඇට්ටකුණා වී තිබු අතර පරිප්පු වල ලුනු වත් මිරිස් වත් තිබුනේ නැත.එය වතුර දමා තම්බා තිබු බව මට  හොදටම විශ්වාසය.සම්බෝල සාදා තිබුනේ පොල් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිද්දෙනි.පොල් කිරි මිරිකා එන, අපේ ගෙවල් වල නම් විසි කරන හෝ පොළව මදින්නට ගන්නා පොල් කුඩු වලට මිරිස් කලවම් කර එය සාදා තිබුනි.එය උගුරෙන් පහළට දාගන්නට වින්දේ පුදුමාකාර දුකකි.මෙහි ප්‍රතිඵලය ලෙස පළවන මාසයේම බර කිලෝ දෙකක් අඩු විය.සතුටකට කියා තිබුනේ එච්චරය.

කෙසේ හෝ රැග් එකේ පිහිටෙන් මාස දෙකක් යන විට කැන්ටීන් කෑම අපට නතින්ග් විය.එසේ වූයේ අපේ ජේශ්ඨ උත්තමයෝ අපි විසින් මුදල් ගෙවා ගත් කෑම විසි කිරීමට එරෙහිව දැක්වූ බලවත් විරෝදයයි.එහි ප්‍රතිඵලය ලෙස කරපිංචා කොළ නටුත් සමගම ආහාරයට ගැනීමට සිදු විය.අවසානයේ මාස කීපයකින් පසු මේ  මුලු බත් පිගානම ගිල දැමීම අපට ඉතාමත්  සරල කාරණයක් විය.

එහිදී අප විසින් සිහි තබා ගත් කරුණු කාරණා රාශියකි.

1.මේවා ආහාරයට ගන්නේ බඩගින්න නැති වීමටත් ජීවත් වීමට අවශ්‍ය  මූලික අවශ්‍යතාවයක්  සපුරා ගැනීමටත් පමණී. රසයක් බලපොරොත්තු නොවන්න.

2.ගෙදර කෑමක  මෙන් බැදුම් වල ළූනු ද සම්බෝල වල දෙහිද පරිප්පු වල මිරිස්  ද නොසොයන්න.කැන්ටීමේ එවැනි ඒවා නැත.සිදු වන්නේ ඔබේ හිත රිදීම පමණි.

3.කෑම පිගාන ලබා ගැනීමේදී පිගානයේ රස්නය පිලිබද සැලකිලිමත් වෙන්න.අයිස් මෙන් සීතලක් දැනේ නම් ගද සුවද බැලුවාටත් කමක් නැත.

4.කෑම පාර්සලය ලෙස ගෙන  ගොස් කන්නේ නම් පාර්සල් කොට පැය භාගයක් තුළ අනුභවය කෝටටත් හොදය - රාත්‍රියට විශේශයි 

5.කැන්ටිමෙන් අලුතෙන් හදුන්වා දෙන ආහාර වෙන කෙනෙක් ආහාරයට ගෙන ගුණ අගුණ කියන තෙක් ඉවසා සිටින්න.

6.කෑම පිගාන ගත් පසු එක් එක් එලවලුව වෙන වෙනම නිරීක්ශනය කර රස බැලිය  යුතුය.මිලට ගැනීමට පෙර අදහස් විමසීම කෝකටත් හොදය.

7.සැකයක් දැනෙන ආහාර වහාම ආහාරයට ගැනීමෙන් වළකින්න 

මෙම කරුණු හිතේ තබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එසේ නොවීමෙන් ඔබේ සියුමැලි හිත මෙන්ම ගතද රෝගී විය හැකි බැවිනි.උදාහරණයක් ලෙස 7 වන කරුණ සිහි නොතබා ගැනීම නිසා මා රෝහල් ගත නොවී බේරුනේ පූරූවේ පිනකටය.රසයට ලොල් වී තැම්බූ   බිත්තරයක් කෑමේ ආනිසංසයෙන් සති දෙකක්ම නිදි නැතුව වැසිකිළියේ සිටි ආකාරය මතක තිබෙන තාක් කල් බිත්තර නොකෑමට මා මටම පොරොන්දු වී ඇත.

මීට අමතරව අපේ කැම්පස් එකට කෑම ගෙනදෙන අය විය.බත් අන්කල්, 60 අන්කල් වැනි නොයෙකුත් නම් ඔවුන්ට විය.ඔවුන් ට කෝල් කර කෑම ඕර්ඩර් කළ විට කෑම පාර්සල් කර අපේ නමත් උඩින් ගසාගෙන බත් කූඩයක්ද බයිසිකලේ එල්ලාගෙන කැම්පස් ගේට්ටුව හෝ බෝඩිම අසලට පැමිණ සිටී.බොහෝ විට අපේ  රාත්‍රී ආහාරය ගෙන එන්නේ ඔවුන් විසිනි.රෑ 7.30 පමණ වන විට බෝඩිමම බලා සිටින්නේ අන්කල්ගේ බයිසිකලයේ සීනුව වදින තුරුය.(අන්කල් යැයි රැවටී වෙන වෙන සීනු හඩ වලට රැවටී එලියට දුව ගිය අවස්ථාද නැතුවාම නොවේ 😉) . මෙසේ සිනූව ගසාගෙන  පැමිණ බෝඩිමේ නම උඩින් ගැසු  බත් පාර්සල් තොගයක් එලියට ගන්නා අන්කල් එකින් එක නම් කියමින් සල්ලි ගනිමින් කෑම බෙදා දෙයි.(එක වසරේ ළමුන් මිස් ලගට වී  පොත් ඉල්ලා ගැනීමට බලා සිටින ආකාරය මතක් කර ගත්තාට කමක් නැත).මේවා කැන්ටින් කෑමට වඩා සෑහෙන තරම් හොදය.එසේ වූවත්  බත්  ප්‍රමාණය මදි වීම,බත් තැම්බී නොතිබීම,අන්කල්ට බත් ඔර්ඩරය මිස් වීම වැනි සිද්දීන්ද මේ අතර සුබල විය.

මේ සියල්ල කරත් බත් ටික උගුරෙන් පහලට දාගැනීමටම නොහැකි නම් ඒ සදහා විකල්පය ලෙස සියලුම සරසවි සිසුන්ගේ ජාතික ආහාර භාවිතා විය.ඒ නම් මැගී,කොත්තූ මී හා ක්‍රීම් කැකර් බිස්කට් ය.මේවා කොහොමත් කාමරයේ නිතරම ගබඩා කර තිබුනේ හදිසියේ එලබෙන සාගත තත්වයන්ට ඔරොත්තු දෙනු පිණිසය.මීට අමතරව කැම්පස් අයගේ ජාතික රෝගය වන ගෑස් ඇති අය ලග  තවත් එක එක කෑම ජාතිද විවිද බෙහෙත් වර්ගද තිබුණි.

මේ මොනවා කතා කරත් කැම්පස් අපට තිබූ ලොකුම සහනය වූයේ මේ කන කෑමක් කන්නෙ තනියම නොවීමයි.ඒ සතුට අපට මේ මොන කෑමත් උගුරෙන් පහළට යවා ගැනීමට ලබා දුන්නේ ඉමහත් රුකුළකි.😀

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ වන විට  ගෙදර කොච්චර රස බොජුන් කෑවත් , ඒ කැම්පස්  කෑම කොච්චර අජූත වූවත්,තුනපහ ලුණු අඩුපාඩුවට  ඕපදූප දමා ගනිමින් ඒ කෑ කැම්පස් කෑම නැති අඩුව  මට සැරින් සැරේට  දැනී දැනී දැනෙන  බවය.😐😕

සැළකිය යුතුයි- මැගී හා කොත්තු මී සාදන ආකාරය ගෙදර සාදන ආකාරයට වඩා වෙනස් වේ.මේ ආකාරයේ මැගී ගෙදර සෑදූ ඒවාට වඩා රස කරමින් කෑමේ හැකියාව ඇත්තේද සරසවි සිසුන්ටම පමණි. 😏

ප.ලි. : කරපිංචා නටුද ඉතා ගුණදායකය. (ජේශ්ඨ උත්තමයන්ගේ හිත සුව පිණිස වේ. 😅)

Monday, April 16, 2018

බෝඩිමේ ළිද


මේක වුනේ මගේ පලවෙනි බෝඩිමේදි.මේ ගැන ඇත්තටම දන්නේ මායි අම්මායි විතරයි.කතාව කියන්න කලින් කියන්නම්කෝ බෝඩිමට ගියපු හැටි.

2013-04-17 කියන්නේ මට ගොඩාක් විශේශ දවසක්.සරසවිය සිහිනයක් පමණයි කියලා අතැරලා දාලා හිටපු කාලෙක එක පාරටම ලියුමක් එනවා ගෙදරට කැම්පස් සිලෙක්ට් කියලා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි.ලියුම එන්නම ඕනේ කැම්පස් සිලෙක්ට් ද දැනගන්න.  ඉතින්  ඒ අප්‍රේල් 17 ආපු ලියුමේ තිබුනේ අප්‍රේල් 22 කැම්පස් පටන් ගන්නවා.එදාට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියලා.දවස් 5යි තියෙන්නේ හැමදේටම.

එන්න කිව්වේ 22 වුනාට තාත්තා කිව්වා අපි හෙට යමු රෙජිස්ටර් වෙන්න කියලා.ඒ ගමන් බෝඩිමකුත් හොයාගන්නයි හිතාගත්තේ.මගේ තාත්තා ගැන කියන්නම්කෝ මුලින්ම.මගේ තාත්තා කියන හැටියට අපායට වුනත් යනව නම් කලින් යන්න ඕනේ.හිතන්නකෝ අපට උදේ 8ට යන්න ඕනේ කියලා තැනකට.තාත්තා මාව එතනට යවනවා 6.30ට.අන්න එහෙමයි අපේ තාත්තා.😎

ඉතින් තාත්තයි මායි 18 උදේම පිටත් වුනා කැම්පස් එකට යන්න.බස් 2ක ගිහින් උදේ 11 විතර වෙනකොට අපි කැම්පස් එකට ඇවිත් රෙජිස්ටර් වුනා.ඒ වෙලාවේ තමයි මට කැම්පස් එකේ පලවෙනි යාලුවා හම්බුනේ.ඒ යාලුවා පස්සේ කාලෙක මාලුවා වුනා .ඒක වෙනමම කතාවක්.

එයත් තාත්තා එක්ක ඇවිත් හිටියේ.ඉතින් තාත්තලා දෙන්නයි අපි දෙන්නයි පිටත් වුනා බෝඩිම් හොයන්න.එහේ තියෙනවා "කෝරළේවත්ත" කියලා පැත්තක්.එහේ තමයි කිව්වා බෝඩිම් තියෙන්නේ.ඔන්න ඉතින් හැමතැනම ඇවිදලා ඇවිදලා බෝඩිමක් හොයාගත්තා.ඒක වෙනම ගෙදරක්.2nd year අක්කලා දෙන්නෙකුත් හිටියා වෙනම කාමරේක.අපට හම්බුන කාමරේ ඇදන් 4ක් එකට අහුරලා තිබුනා.රෙදි වැටකුයි පොඩි රාක්කෙකුයි තිබ්බා.එච්චරයි.ඒක තමයි හොයාගන්න පුලුවන් වුන හොදම කාමරේ.ඉතින් හිතාගන්නකෝ අනිත් බෝඩිම්.අපේ අනිත් ඇදන් දෙකට කවුරුවත් ඇවිත් හිටියේ නෑ.ඔන්න ඉතින් බෝඩිමට සල්ලි දිලා අපි ගෙදර එන්න ආවා.

ඒ ඉතුරු දවස් 4 යුද්දයක් වගේ.මං කවදාවත් බෝඩිමක ඉදලා නෑ.ඉතින් ගෙනියන්න දේවල් ලිස්ට් කරලා කඩේ ගිහින් බඩු ගෙනැල්ලා ඒවා ඔක්කොම පැක් කරලා ඉවර වෙනකොට දවස් 4 නිකන්ම ගිහින්.වැඩ වැඩි නිසා බය වෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.අප්‍රේල් 21 හවස අපි බඩුත් අරන් බෝඩිමට යන්න පිටත් වුනාම තමයි මං බයේ ගැහෙන්න ගත්තේ.යන්නම බෑ වගේ මට.මං පවුලේ එකම ලමයා.ඉතින් අම්මලා නැතුව ඉදලම නෑ.බෝඩිමට ආවම අර මගේ යාලුව ඇවිල්ලත් නෑ ඒ වෙනකොට.මං හොදටම බය වෙලා.ඒත් එහෙම කෝමද බයයි කියලා පෙන්නන්නේ.මං ඉතින් ෆුල් ගැම්මෙන් හිටියා අම්මලා යනකම්ම.අම්මලා ඉතින් ඔක්කොම බඩු එහෙම ලැස්ති කරලා දීලා පිටත් වුනා විතරයි මං හිතේ බයටයි හිතේ දුක යන්නයි හොදටම ඇඩුවා.😓

අඩලා ඉවර වෙලා ඉතින් ඔන්න ළිද ලගට ගියා නාන්න කියලා.ඇතුලෙත් නාන කාමරයක් තිබ්බත් ඒ වෙනකොට ඒකේ දොර වහලා තිබ්බ නිසා තමයි ළිදට ගියේ.අහන්නත් බයයි නේ.ඇත්තම කියනවා නම් මං ළිදකින් වතුර ඇදලම නෑ ඒ වෙනකොට.ඒ වුනාට ඉතින් එහෙම කියලා බෑනේ.අනික කැම්පස් සිලෙක්ට් වෙච්ච මට වතුර එකක් ඇදගන්න බැරිද ළිදෙන්.හපෝ...එහෙම හිතුවත් ලැජ්ජයිනේ.(ඒ කාලේ ඉතින් කැම්පස් කියලා පොඩි උණක් තිබ්බා.ඒ උණ කැම්පස් පය ගහපු වෙලාවෙම නැති වුනා).😝

ඔන්න ඉතින් නාන්න ලැස්ති වෙලා බාල්දිය ලිදට දාලා වතුර එකක් ඇද්දා කියන්නකෝ.ඒත් මේක උඩට ගන්න බෑ බරයි.

සෑහෙන්න ට්‍රයි කරා.කොහෙද බෑ.

මේ සැරේ අදිනවාමයි කියලා හිතලා ඇද්දා උඩට.වතුර ටික උඩින් වීසී වුනා.ඒත් එක්කම ළිද ලග ලිස්සලා මං එතන පත බෑවුනා.

අම්මෝ.... ඇගේ ඇට  කැඩිලා වගේ රිදෙනවා..නැගිටගන්න බෑ.කදුලු බේරෙනවා.හිතේ අමාරුව වැඩියි ඇගේ අමාරුවට වඩා.ඒත් එහෙම කියලා ඉන්න බෑනේ.ගෙදර නෙවෙයිනේ.අමාරුවෙන් නැගිටගත්තා.😶

පොඩ්ඩක් හීරීලා මිසක් වෙන තුවාලයක් නම් නෑ.කොන්ද නම් කැඩිලා වගේ රිදෙනවා.දැන් ඉතින් නාන්න නම් බෑ.ඇග හෝදගෙන යනවා කියලා හිතලා බාල්දිය ගන්න බැලුවා.

දෙයියෝ සාක්කී... කෝ බාල්දිය 😨

හැමතැනම බැලුවා.කෝකටත් කියලා නිකමට වගේ ළිදට එබුනා.මෙන්න බොලේ බාල්දිය ළිදේ.

මේ කලබලේ අස්සේ බාල්දිය ළිදට වැටිලා.දැන් මොකෝ කරන්නේ.දැන් මට ඇගේ අමාරුවක් මතක නෑ.බයටම දාඩියත් දාලා මට.ගන්න විදියක් හිතාගන්නත් බෑ.හොද වැඩේ මටත් තනියෙන් පන්ඩිත වැඩ කරනවට.මට මාත් එක්කම තරහයි.

ඔන්න ඒ අස්සේ මට ගණ දෙවි නුවණ පහළ වුනා.ඒ වෙනකොට බෝඩිමේ අක්කලා ඇවිත් හිටියෙත් නෑ.බෝඩිමේ ඇන්ටි ඉන්නෙත් වෙනමනේ.ඉතින් මං මෙතනට නාන්න ආවා කියලා කවුරුවත් දන්නේ නෑ.පත්තරේ දාලා නාන්න යන්නේ නෑනේ.😏

ඉතින් මං ශේප් එකේ ඇදුම් ආපහු ඇදගෙන දුවලා දුවලා ගියා බෝඩිමේ කාමරේට.දැන් හරි.කවුරුවත් දන්නේ නෑ වෙච්ච දේ.මට හරි සතුටුයි මේකෙන් බේරුනු එකට.එහෙම්ම ඇදට වැටුනා මං.ඇදට වැටිලා විනාඩි දෙකක් ගියේ නෑ බෝඩිමේ ඇන්ටි කතා කරනවා එලියෙන්.

"දුව... "

මට දැන් බයේ බෑ.බාල්දිය ගැන අහන්න තමා මේ ඇවිත් ඉන්නේ කියලා මට හොදටම විශ්වාසයි.ඒත් එහෙම කියලා හැංගිලා ඉන්නත් බෑනේ.මං ගට් අරගෙන ගිහින් දොර ඇරියා.😐

"අහ් ඇයි ඇන්ටි" මගේ කටහඩත් වෙව්ලනවා.

"අනේ දුව මට බාත් රූම් එකේ දොර අරින්න බැරි වුනානේ.නිවාඩු කාලෙට අපි කාමර ලොක් කරනකොට ඒකත් ලොක් කරනවා" ඇන්ටි එහෙම කියාගෙනම ගිහින් ඇතුලේ නාන කාමරේ දොර ඇරියා.
මට ඒ වෙලාවේ ඇන්ටිව පෙනුනේ දෙයියෙක් වගේ.ඒත් ඉතින් ඇන්ටිට තිබ්බේ ඕක කලින් ඇරලා තියන්නනේ.එහෙම වුනා නම් මේ කිසි දෙයක් නෑනේ.😐😕

"ඔන්න දැන් දුවට නාගන්න පුලුවන්.කෑම අරන්ද දරුවෝ ආවේ රෑට"
ඇන්ටි ඉතින් කතාවක් පටන් ගන්න ලැස්තිය.දැන් මගේ හාර්ට් බීට් ඒක කූල් වේගෙන යනවා.මට දැන් ඕනේ ඇන්ටිව යවලා නාගෙන ඇදට වැටෙන්න.

හැබයි ඇන්ටි ගියේ තවත් පැය කාලක් විතර කියවලා.

ඇන්ටි ගියාට පස්සේ මං දෙයියනේ කියලා නාන කාමරෙන් නාගත්තා.නාගෙන ඇවිත් අම්මා දීපූ බාම් එකකුත් තැලිච්ච තැන් වලට ගාගත්තා.
ආපහු නම් මං ඒ බෝඩිමේ ළිදෙන් නාන්න තියා ඒ පැත්තෙන්වත් ගියේ නෑ.

ප.ලි. හැබැයි දැන් නම් මට ළිදෙන් වතුර ඇදන් නාන්න පුලුවන්.ඒක පුරුදු වුනේ වෙන බෝඩිමක ළිදකින් 😅😎