අවුරුදු 4ක කැම්පස් ජීවිතේ මා ලැබූ මාරම අත්දැකීම වන්නේ කැම්පස් කෑමයි. මේ කැම්පස් කෑම කැන්ටින් කෑම හා වෙනත් කෑම වර්ග ලෙස වෙන් කළ හැක.
කැන්ටින් කෑමේ මිල හා රසය කැම්පස් එකෙන් කැම්පස් එකට, ෆැකල්ටියෙන් ෆැකල්ටියට ,කැන්ටිමෙන් කැන්ටිමට, පමණක් නොව පිගානෙන් පිගානටද, වෙනස් විය හැක.නමුත් මේ සියලුම කැන්ටින් කෑමේ පොදු ධර්මතාවයක් ඇත.
ඒ නම් ,
මේවා කිසිම එකක ලුණු කියා නාමයක් නැති වීමයි
මා මුලින්ම කැම්පස් කෑම රස බැලුවේ රැග් කාලයේ මෙස් කැන්ටින් එකේදීය.උදේ ආහාරය වූ එහි තිබුනේ බතුත් පරිප්පුත් සම්බෝලත් ය.බත් ඇට්ටකුණා වී තිබු අතර පරිප්පු වල ලුනු වත් මිරිස් වත් තිබුනේ නැත.එය වතුර දමා තම්බා තිබු බව මට හොදටම විශ්වාසය.සම්බෝල සාදා තිබුනේ පොල් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිද්දෙනි.පොල් කිරි මිරිකා එන, අපේ ගෙවල් වල නම් විසි කරන හෝ පොළව මදින්නට ගන්නා පොල් කුඩු වලට මිරිස් කලවම් කර එය සාදා තිබුනි.එය උගුරෙන් පහළට දාගන්නට වින්දේ පුදුමාකාර දුකකි.මෙහි ප්‍රතිඵලය ලෙස පළවන මාසයේම බර කිලෝ දෙකක් අඩු විය.සතුටකට කියා තිබුනේ එච්චරය.
කෙසේ හෝ රැග් එකේ පිහිටෙන් මාස දෙකක් යන විට කැන්ටීන් කෑම අපට නතින්ග් විය.එසේ වූයේ අපේ ජේශ්ඨ උත්තමයෝ අපි විසින් මුදල් ගෙවා ගත් කෑම විසි කිරීමට එරෙහිව දැක්වූ බලවත් විරෝදයයි.එහි ප්‍රතිඵලය ලෙස කරපිංචා කොළ නටුත් සමගම ආහාරයට ගැනීමට සිදු විය.අවසානයේ මාස කීපයකින් පසු මේ මුලු බත් පිගානම ගිල දැමීම අපට ඉතාමත් සරල කාරණයක් විය.
එහිදී අප විසින් සිහි තබා ගත් කරුණු කාරණා රාශියකි.
1.මේවා ආහාරයට ගන්නේ බඩගින්න නැති වීමටත් ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් සපුරා ගැනීමටත් පමණී. රසයක් බලපොරොත්තු නොවන්න.
2.ගෙදර කෑමක මෙන් බැදුම් වල ළූනු ද සම්බෝල වල දෙහිද පරිප්පු වල මිරිස් ද නොසොයන්න.කැන්ටීමේ එවැනි ඒවා නැත.සිදු වන්නේ ඔබේ හිත රිදීම පමණි.
3.කෑම පිගාන ලබා ගැනීමේදී පිගානයේ රස්නය පිලිබද සැලකිලිමත් වෙන්න.අයිස් මෙන් සීතලක් දැනේ නම් ගද සුවද බැලුවාටත් කමක් නැත.
4.කෑම පාර්සලය ලෙස ගෙන ගොස් කන්නේ නම් පාර්සල් කොට පැය භාගයක් තුළ අනුභවය කෝටටත් හොදය - රාත්‍රියට විශේශයි
5.කැන්ටිමෙන් අලුතෙන් හදුන්වා දෙන ආහාර වෙන කෙනෙක් ආහාරයට ගෙන ගුණ අගුණ කියන තෙක් ඉවසා සිටින්න.
6.කෑම පිගාන ගත් පසු එක් එක් එලවලුව වෙන වෙනම නිරීක්ශනය කර රස බැලිය යුතුය.මිලට ගැනීමට පෙර අදහස් විමසීම කෝකටත් හොදය.
7.සැකයක් දැනෙන ආහාර වහාම ආහාරයට ගැනීමෙන් වළකින්න
මෙම කරුණු හිතේ තබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එසේ නොවීමෙන් ඔබේ සියුමැලි හිත මෙන්ම ගතද රෝගී විය හැකි බැවිනි.උදාහරණයක් ලෙස 7 වන කරුණ සිහි නොතබා ගැනීම නිසා මා රෝහල් ගත නොවී බේරුනේ පූරූවේ පිනකටය.රසයට ලොල් වී තැම්බූ බිත්තරයක් කෑමේ ආනිසංසයෙන් සති දෙකක්ම නිදි නැතුව වැසිකිළියේ සිටි ආකාරය මතක තිබෙන තාක් කල් බිත්තර නොකෑමට මා මටම පොරොන්දු වී ඇත.
මීට අමතරව අපේ කැම්පස් එකට කෑම ගෙනදෙන අය විය.බත් අන්කල්, 60 අන්කල් වැනි නොයෙකුත් නම් ඔවුන්ට විය.ඔවුන් ට කෝල් කර කෑම ඕර්ඩර් කළ විට කෑම පාර්සල් කර අපේ නමත් උඩින් ගසාගෙන බත් කූඩයක්ද බයිසිකලේ එල්ලාගෙන කැම්පස් ගේට්ටුව හෝ බෝඩිම අසලට පැමිණ සිටී.බොහෝ විට අපේ රාත්‍රී ආහාරය ගෙන එන්නේ ඔවුන් විසිනි.රෑ 7.30 පමණ වන විට බෝඩිමම බලා සිටින්නේ අන්කල්ගේ බයිසිකලයේ සීනුව වදින තුරුය.(අන්කල් යැයි රැවටී වෙන වෙන සීනු හඩ වලට රැවටී එලියට දුව ගිය අවස්ථාද නැතුවාම නොවේ 😉) . මෙසේ සිනූව ගසාගෙන පැමිණ බෝඩිමේ නම උඩින් ගැසු බත් පාර්සල් තොගයක් එලියට ගන්නා අන්කල් එකින් එක නම් කියමින් සල්ලි ගනිමින් කෑම බෙදා දෙයි.(එක වසරේ ළමුන් මිස් ලගට වී පොත් ඉල්ලා ගැනීමට බලා සිටින ආකාරය මතක් කර ගත්තාට කමක් නැත).මේවා කැන්ටින් කෑමට වඩා සෑහෙන තරම් හොදය.එසේ වූවත් බත් ප්‍රමාණය මදි වීම,බත් තැම්බී නොතිබීම,අන්කල්ට බත් ඔර්ඩරය මිස් වීම වැනි සිද්දීන්ද මේ අතර සුබල විය.
මේ සියල්ල කරත් බත් ටික උගුරෙන් පහලට දාගැනීමටම නොහැකි නම් ඒ සදහා විකල්පය ලෙස සියලුම සරසවි සිසුන්ගේ ජාතික ආහාර භාවිතා විය.ඒ නම් මැගී,කොත්තූ මී හා ක්‍රීම් කැකර් බිස්කට් ය.මේවා කොහොමත් කාමරයේ නිතරම ගබඩා කර තිබුනේ හදිසියේ එලබෙන සාගත තත්වයන්ට ඔරොත්තු දෙනු පිණිසය.මීට අමතරව කැම්පස් අයගේ ජාතික රෝගය වන ගෑස් ඇති අය ලග තවත් එක එක කෑම ජාතිද විවිද බෙහෙත් වර්ගද තිබුණි.
මේ මොනවා කතා කරත් කැම්පස් අපට තිබූ ලොකුම සහනය වූයේ මේ කන කෑමක් කන්නෙ තනියම නොවීමයි.ඒ සතුට අපට මේ මොන කෑමත් උගුරෙන් පහළට යවා ගැනීමට ලබා දුන්නේ ඉමහත් රුකුළකි.😀
අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ වන විට ගෙදර කොච්චර රස බොජුන් කෑවත් , ඒ කැම්පස් කෑම කොච්චර අජූත වූවත්,තුනපහ ලුණු අඩුපාඩුවට ඕපදූප දමා ගනිමින් ඒ කෑ කැම්පස් කෑම නැති අඩුව මට සැරින් සැරේට දැනී දැනී දැනෙන බවය.😐😕
සැළකිය යුතුයි- මැගී හා කොත්තු මී සාදන ආකාරය ගෙදර සාදන ආකාරයට වඩා වෙනස් වේ.මේ ආකාරයේ මැගී ගෙදර සෑදූ ඒවාට වඩා රස කරමින් කෑමේ හැකියාව ඇත්තේද සරසවි සිසුන්ටම පමණි. 😏
ප.ලි. : කරපිංචා නටුද ඉතා ගුණදායකය. (ජේශ්ඨ උත්තමයන්ගේ හිත සුව පිණිස වේ. 😅)
https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_70.html
ReplyDelete:) :) :) :)
Deletewow..remembered old days.thankz.
Delete