Sunday, June 3, 2018

මහ පුදුම වයඹ අහස

වයඹ අහස හරි පුදුමය.හොදට හොදින් ඉන්නවා සේම නරකට නම් අන්තිම නරකය.දකුණු පලාතේ උපත ලබා එහිම හැදී වැඩුනු මට වයඹ අහසේ සුන්දරත්වය විදින්නට ලැබුනේ වසර හතරක කැම්පස් ජීවීතය නිසාවෙනි.

මූලින්ම වයඹ අහසේ අත්දැකීම විදින විට මා පළමු වසර කුණු ප්‍රෙශියෙකි.මුලින්ම හොයාගත් බෝඩිමේ තත්වය ඉතා සුන්දර නිසාවෙන් මාත් මගේ බෝඩිමේ බැචියෙකුත් වෙනත් බෝඩිමක් සොයමින් සිටියෙමි.මේ කාලයේ අපේම බැචයෙක් බෝඩිමක් ගැන කියූ ඔත්තුවකට මාත් ඇයත් ඔහුත් තවත් බැචෙකුත් සමග බෝඩිමක් සොයා යන්නට එලියට බැස්සේ විවේක කාලයේදීය.අප එලියට බසින විට ඉතා ලස්සනට තිබූ අහසට,අප බස් නැවතුමට එන ඒ විනාඩි කීපයට කුමක්දෝ විය.පරිසරයම කලු කර මහ හයියෙන් සුළං හමන්නට ගත් අතර අපි වහා කැම්පස් බස් හෝල්ට් එක යටට විමු.එතන බෝඩිමට යාමට බලා සිටි අපේ තවත් බැචියෙක්ද විය.

අහසේ තත්වය තවත් නරක අතට හරවමින් දොඹ ගෙඩි තරම් වතුර බිංදු අහසින් කඩා හැලෙන්නට විය.මේ දොඹ බිංදු මහා වරුසාවක් වෙන්නට මහා වෙලාවක් ගියේ නැත.අප සිටි බස් නැවතුමේ දමා තිබූ ටකරං කැබලි ඉතා හොද තත්වයෙන් යුතු වූ නිසා ඒ යට සිටීම වැසි දෙකක් යට සිටීමක් බදු විය. හාත්පසම මහා කරුවලකින් වෙලෙද්දී කුඩ තුනක් යටට වූ අපි පස්දෙනා සුලගත් සමග ආ වැස්සෙන් බේරෙන්නට උත්සහ දරමින් සිටියෙමු.මේ අතර කොල්ලන් දෙදෙනා සපත්තු වල වතුර පිරීම ගැනත් හෙටත් දාන්නට ඇත්තේ මේ මේස් දෙක පමණක් යැයි කණුකුනු ගාන්නට වූ අතර අපට තිබුනේ ඊටත් වඩා බරපතල ගැටලුවකි .කුණු ප්‍රෙශියන්ට නියම කර ඇති නිල ඇදුමින් සැරසී සිටි අපේ රැලි රැලි සායවල් හැමපැත්තෙන්ම සුලගේ යමින් පැවතුන අතර එක අතකින් පොත් මිටියත් තව අතකින් සායත් අල්ලා ගත් අපි මාරුවෙන් මාරුවට එකිනෙකාගේ සායත් කුඩයත් අතර අත් මාරු කරමින් නොතෙමී සිටින්නට උත්සහ කළෙමු.

කෙසේ හෝ ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇනීමේ කතාව සත්‍ය කරමින් අප සිටි බස් හෝල්ට් එකේ ටකරම් කැබැල්ලක්ද සුලගට ගසාගෙන ගියේය.අහෝ දුකකි ඉරකි තිතකි.එක වරම ආ මහා සුලගට අපිද ගසාගෙන යන්නාක් මෙන් විය.කොල්ලන් දෙදෙනා වහා බස් හෝල්ටයේ උඩ බැම්මට නැග්ගේ අපටද එසේ නගින ලෙස කියමිනි."යටින් හුලං එනවා අඩුයි එතකොට" ඒ ඔවුන්ගේ තර්කය විය.හරිද වැරදිද බැලීමට වෙලාවක් නැත.පොතුත් උස්සාගෙන අපිද බැම්ම උඩට නැග ගතිමු.බැම්ම උඩට වී සිටින අතර එතනට පැමිණි බසයට තෙමීගෙන නැග ගත් අප බසයේ අයට පෙනෙන්නට ඇත්තේ මහත් විහිලු කාරයන් ලෙස බවට කිසිදු සැකයක් නැත.

මෙහි ඇති මහත්ම පුදුමය වන්නේ අප නියමිත තැනින බැස ගැනීමටත් පෙරම අර මුරුගසන් වරුසාව නතර වීමය.කෙසේ හෝ ඒ බැලීමට ගිය බෝඩිම අපට හරි ගියේ නැත.

*****************************************
වයඹ අහස හරි පුදුමය.සති දෙකක් නොවැස්සොත් ළිං වල වතුර හිදී නියගයක් ඇති වන අතර සතියක් වැස්සොත් ගං වතුරක් දැක ගත හැකි වේ.

වැසි සමයේදී බෝඩිම් ජීවිතයේ බරපතළම ගැටලුව වූයේ රෙදි වේලා ගැනීමයි.නිවසේදීට වඩා තත්වය බරපතළ වූයේ පස්සේ සෝදනවා කියා ඒවා ගොඩ ගසා තැබීමට තැනක් නැති වීමත් සේදූ රෙදි හෙවනක දමා ගැනීමට නොහැකි වීමත්‍ නිසාවෙනි.මේ හේතුවෙන් ඒ කාලයට අප පුරුදු වී සිටියේ ඉක්මනින් වියලෙන ඇදුම්ය.මෝස්තරේට වඩා ඇදුම් වියලා ගැනීම වැදගත් විය.ඒ කාලයට බෝඩිම් ඇතුල ඉතා ලස්සනය.හැම කාමරේකම හැම තැනින්ම ලණු එල්ලා ඒවායේ එක එක ජාති වල ඇදුම් එල්ලා තිබේ.අවුරුදු කාලෙට ඇති ඇදුම් සේල් පොලක් මෙනි.ඒ කාලෙට බෝඩිමේ නිල නොවූ නීතියක්ද විය.ඒ නම් බෝඩිමේ සිටින ඕනෑම කෙනෙක් වහින වෙලාවට එලියේ ඇති සියලුම ඇදුම් ඇතුලට ගත යුතු බවයි.

බෝඩිමේ අනිත් අයට වඩා මට අමතර කරදරයක්ද විය.තට්ටු ඇදක උඩ ඇදේ සිටි මාත් වහලත් අතර වූයේ සුලු පරතරයකි.හරියටම මා සිටි ඇදට උඩින් ඇති ඒ ටකරමේ සිදුරක් විය.ඉතින් වහින වහින වාරයක් පාසා මා "අන්කල් තෙමෙනවා" යැයි කෑගසමින් එලියට යෑම අපේ බෝඩිමේ කාටත් සුලබ දසුනක් විය.කීප සැරයක්ම මෙය සෑදුවත් මගේම කරුමයකට මං ඒ බෝඩිමෙන් යනතෙක්ම මෙය හරියටම හරි ගියේ නැත.
වැස්ස කාලයේදී මෙන්ම පායන කාලයද මහත් අබියෝගයක් වන්නේ ඒ කාලයේදී ඇති වන ජල අර්බුදය හේතුවෙනි.එක් වතාවක් මෙය කොතරම් උග්‍ර වූවාද යත් බෝඩිමේ අන්කල් අපේ වැසිකිළි හා නාන කාමර වල වතුර කපා හැරියේය.අපට වතුර ලබා ගැනීමට වූයේ ළිදෙනි.දේශන ඉවර වී බෝඩිමට දුව එන අපි දිය රෙදි හැද බාල්ලි බේසම් ගෙන දියට යන්නෙමු.ළිදෙන් වතුර ඇද ගැනීමට මා ඉගෙන ගත්තේ මේ කාලයේදීය.මුල් කාලයේ ළිදෙන් වතුර ඇද ගැනීමට ගොස් මා කරගත් විපත්තිය ඔබට මතක ඇතැයි සිතමි.මේ ඔක්කොටමත් හරි යන්න මහ රෑට කාට හෝ බඩේ අමාරුවක් වත් හැදුනොත් අබ සරණය.මේ කිසිම දෙයක් අපේ බෝඩිමට පමණක් සීමා වූයේ නැත.අවට සියලුම බෝඩිම් හා කැම්පස් තත්වයද මෙයම විය.

*****************************************
ඒ මොනවා වූවත් වයඹ අහස තරම් ලස්සන අහසක් මා තවම දැක නැත.මොන කරදර තිබ්බත් ඒ අහසේ වෙනම චමත්කාරයක් විය.අමුතුම නිසසල බවක් විය.ඒ අහස යට මා මගේ ජිවිතේ හොදම කාලයක් ගත කළෙමි.ඉතින් ඒ වයඹ අහසට මා කවදත් ආදරේ කරමි ❤️

2 comments:

  1. අදයි ආවේ මේ පැත්තට.
    දිගු කාලයක් රැදෙන්න , එවිට වයඹ අහසෙ තිබෙන අපූරු සුන්දර මනුස්සකම නුඹට දැණෙනු ඇත.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි 😊 වයඹ මගේ දෙවෙනි ගම.වයඹ ලස්සන මතකයන් ගොඩක් මට තියෙනවා 💟

      Delete