Thursday, June 14, 2018

ආදරණීය නපුරා - විසිවන කොටස


සහන් ගෙදර එනකොට ටිකක් පරක්කු වුනේ පාරේ ට්‍රැෆික් එකකට අහු වුන නිසා.පැය ගානක් පාරේ ඉදලා සහන් ගෙට ගොඩ වුනේ නාලා හොද තේ එකක් බොන්න හිතාගෙන.ඒත් වෙනදා වගේ ඇහෙන ටීවී එකේ සද්දේ වත් රේඩියෝ එකේ සද්දේ වත් නැති නිසා සහන් කාමරේට යන ගමන් කුස්සියටත් ඔලුව දැම්මේ නිකමට වගේ.ඒත් සජිනි කුස්සියෙත් නෑ කියලා දැක්කම සහන්ට දැනුනේ අමුත්තක්.

කාමරේට ගිහින් බෑග් එක තියලා සහන් ටිකක් එහෙම්ම වාඩි වෙලා ඉදලා ආයෙත් වොශ් රූම් එක ලගටත් ගියේ සජිනි ඒකෙවත්ද කියලා හිතලා.එත් නාන කාමරෙත් ඇරලා තිබුනේ.ඒ වෙනකොටත් රෑ 7ටත් කිට්ටු නිසා සජිනි කොහෙවත් යන්න විදියකුත් නෑ කියලා හිතපු සහන් හරි ඉක්මනට  ගියේ සජිනිගේ කාමරේ ලගට.කාමරේ හොදටම අදුරු වෙලා තිබ්බේ.

ලයිට් එක දාපු සහන් දැක්කේ ඇදේ වැතිරිලා නිදාගෙන ඉන්න සජිනිව.සජිනිව දැකපු සහන්ට දැනුනේ ලොකු සැනසිල්ලක්.ඒ සැනසිල්ලෙන්ම සහන් සජිනි ලගට ගියේ එයාව ඇහැරවන්න හිතාගෙනයි.ඒත් සජිනිගේ මූණ දැකපු සහන් එක පාරටම නැවතුනා.සජිනිගේ මූනම මැලවිලා හරි වෙහෙසකර පාටක් තිබ්බේ.සහන් හෙමීට සජිනිගේ ඔලුවට අත තිබ්බා.සජිනිගේ ඔලුව ලාවට වගේ රත් වෙලා තිබ්බේ.සජිනි නිදාගෙන හිටපු විදියට සහන්ට සජිනිව ඇහැරවන්න දුක හිතුනා.සහන් සජිනිව නැගිට්ටවන්නේ නැතුව කාමරේ වටේ බැලුවා.

සහන්  කලින් මේ කාමරේට ඇවිත් තිබ්බත් කාමරේ බලන්න  උවමනාවක් තිබුනේ නෑ.කාමරේ වටේ බලපු සහන්ගේ ඇස් ගියේ සජිනිගේ මේසේ උඩට.මේසේ උඩ සජිනිගෙයි එයාගේ අම්මගෙයි තාත්තගෙයි හරි ලස්සන ෆොටෝ එකක් තියලා තිබුනා.සහන් ඒක අතට ගත්තා.ඒ ෆොටෝ එකේ සජිනිගේ තියෙනවා තරම් ලස්සන හිනාවක් සහන් සජිනිගෙන් මේ වෙනකම් දැකලා තිබ්බේ නෑ.ඒ කොහොම වුනත් සජිනිත් එක්ක එයාලගේ ගෙදර ගිහින් එන්න ඕනේ කියලා සහන් හිතුවා.

පළවෙනි වතාවට සහන්ට සජිනි ගැන අනුකම්පාවක් ඇති වුනා.හැමදේම දාලා මේ ඇවිත් තමන් වෙනුවෙන්ම ජීවත් වෙන්නේ මෙහෙම අම්මා තාත්තා එක්ක සතුටෙන් ජිවත් වුන කෙල්ලෙක් නේද කියලා සහන්ට හිතුනා.

'සජිනි පාලුවෙන් ඉන්නවා ඇත්තේ.මාත් කතා කරන්නේ නෑ.ගෙදර ගියා නම් මේක හරි යාවි' සහන් හිතුවේ සජිනි දිහා බලාගෙනමයි.සහන් හිතපු දේ ඇහුනා වගේ සජිනි හෙමීට අනිත් පැත්තට හැරුනා.

සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවෙ කැක්කුමකුත් එක්කමයි.හෙමීට ඇස් අරිනකොටම ඇස් වලට වැටුනු ලොකු එළියක් නිසා සජිනි අතින් ඇස් දෙක මුවා කරගත්තා.එතකොටම වගේ සජිනිට ඇහුනු සහන්ගේ කටහඩ නිසා සජිනි හොදට ඇස් ඇරලා බැලුවා.

"ඔයා නැගිට්ටද?" සහන් ඇහුවේ සජිනිගේ කකුල් දෙක ලගින් ඇදේ වාඩි වෙන ගමන්.

"හ්ම්ම්.."සජිනි ඇදෙන් කෙලින් වෙන්න හැදුවත් සජිනිට කෙලින් වෙන්න අමාරු වුනා.

"ඉන්න ඔහොම.ඔයාගේ ඔලුවත් රස්නෙයි.බෙහෙත් ටිකක් ගන්න යමුද?" සහන් ඇහුවේ සජිනිගේ මූණ දිහා හොදට බලන ගමන්.සජිනීගේ ඇස් හොදටම රතු වෙලා තිබ්බේ එයා අඩලා තියෙනවා කියන එක සහන්ට කියන්න වගේ.එත් ඇඩුවේ ඇයි කියලා සහන්ට හිතාගන්න බැරි වුනා.

"ඕනේ නෑ.."එහෙම කියපු සජිනි හෙමීට ඇදෙන් නැගිට්ටත් ඔලුව කැරකෙන්න ගත්ත නිසා සජිනි එහෙම්ම ඇදෙන් වාඩි වුනා.

"මේ ඔයාගේ ඇග රස්නෙයි.යමු බෙහෙත් ගන්න" සහන් කිව්වේ සජිනිගේ නළලට අත තියන ගමන්

"මං කිව්වනේ ඕනේ නෑ" සජිනි එයාගේ නළල උඩ තිබුනු සහන්ගේ අත ගසලා දැම්මා

"හරි එහෙනම් ඔහොම ඇදෙන් ඉන්න.මං එන්නම්"එහෙම කියපු සහන් කුස්සියට ගියේ සජිනිට දෙන්න කෝපි එකක්වත් හදන්න කියලා.වතුර රත් වෙන්න තියපු සහන් කුස්සිය වටපිට බලනකොට එයාට තේරුනා කුස්සියේ තාමත් තියෙන්නේ එයාට උදේ ගෙනියන්න හදපු කෑමම තමයි කියලා.සහන් ආයෙත් කාමරේට ගියා.

"ඔයා දවල්ට කෑවද" සහන් ඇහුවේ සැකෙන්

"මතක නෑ" සජිනි හිටියෙ ආයෙත් ඇදේ  වැතිරිලා ඇස් වහගෙන

"සජිනි.. "සහන් ආයෙත් කතා කරා.ඒත් සජිනි උත්තරයක් දුන්නේ නෑ.ආයෙත් කුස්සියට ගියපු සහන් කෝපි එකක් හදාගෙන ඇවිත් සජිනිගේ ඇද ලගින් තිබ්බා.

"මේ කෝපි එකක් හැදුවා.මේක බොන්න.මං ටිකක් එලියට ගිහින් එන්නම්" සහන් ටිකක් වෙලා එහෙම්ම සජිනි දිහා බලාගෙන හිටියත් සජිනි කතා කරේ නෑ.කතා නොකරත් සජිනි අහගෙන ඉන්න බව තේරුනු සහන් ආයෙත් කතා කරා.

"මං එලියට යනවා කෑම මොනවා හරි ගෙන්න.කවුරුවත් ආවට දොර අරින්න එපා" එහෙම කියලා සහන් ගියේ ගෙදර දොරත් ලොක් කරගෙන.

සහන් ගිහින් ටිකකින් සජිනි ඇස් ඇරලා බැලුවා.සහන් හදලා තියලා ගියපු කෝපි එක අතට ගත්ත සජිනි ඒ දිහා බලන් හිටියා.ඒ බලන් ඉද්දි සජිනි ඇස් වලට ආයෙත් කදුලු උනන්න ගත්තත් සජිනි ඒ කදුලු පිහිද ගත්තා.සෑහෙන වෙලාවක් තිස්සේ හෙමීට හෙමීට රස බල බල කෝපි එක බීපු සජිනි ආයෙත් ඇදට හෙත්තු වෙලා ඇස් පියා ගත්තා.

ටික වෙලාවකින් දොර ඇරෙන සද්දෙකුත් එක්ක සහන් ඇවිදගෙන එන සද්දේ ඇහුනා.සහන් ආවේ ආප්ප අරගෙන.සජිනි මොනවා කන්න කැමතිද කියලා සහන්ට කිසිම අදහසක් නැතත් ආප්ප අරන් ආවේ ඕනෙම කෙනෙක් ආප්ප කන්න කැමති නිසා.ඒ විතරක් නෙවෙයි සජිනිට කෑම ගෙන්න ගියපු වෙලාවේ සහන්ට තව දෙයක් තේරුනා.

මෙච්චර දවස්ම සජිනිට ගෙදර වියදම් කියලා සහන් කීයක්වත් සජිනිට දුන්නේ නෑ.ඇත්තටම ගෙදර වැඩ කොහොම කෙරෙනවද කියලා සහන්ට ගානක් වුනේ නෑ.සජිනි මොනවා කරනවද කියලා සහන් ගනන් ගත්තේ නෑ.ගෙදර කුලියයි ලයිට් බිල්,වතුර බිල් ගෙව්වා ඇරෙන්න සහන් වෙන කිසිම දේකට සල්ලි දීලා නෑ.මේ බව් තේරෙනවත් එක්කම සහන්ට දැනුනේ මහ වැරදිකාර හැගීමක්.මෙච්චර දවස්ම නිකන්වත් මේ දේවල් ගැන හෙව්වේ නැති එක ගැන සහන්ට තමන් එක්කම තරහ ගියා.

ගෙනාපු කෑම මේසෙන් තියපු සහන් සජිනිට කතා කරා.

"කෑම ගෙනාවා.මං මෙතනට ගෙන්නද?"

"මං එන්නම්" සජිනි හෙමින් කිව්වා .හෙමීට සජිනි නැගිටිනවා බලන් හිටපු සහන් එතනට ගියේ සජිනිට උදව් වෙන්න වුනත් සජිනි සහන්ව ගනන් ගත්තේ නෑ.එයාම තනියෙන් ඇවිදගෙන ගිහින් මේසෙන් වාඩි වුනා.

"ආප්ප ගෙනාවේ මං.ඔයා කනවද දන්නෙත් නෑ" සහන් පැත්තක ඉදන් ඔලුව කස කස කිව්වා.ගෙනාපු ලුණුමිරිස් එකෙන් ටිකක් පිගානට දාගත්ත සජිනි සහන් දිහා බැලුවා.

"ඔයා කන්නෙ නැද්ද?" සජිනි ඇහුවේ සහන්ගෙන්

"මං කන්නම්.නාලා ඇවිත්" එහෙම කියලා සහන් ගියේ නාන්න කියලා.සහන් නාලා එනකොට කුස්සියෙන් ඇහුනු සද්දෙට බලපු සහන් දැක්කේ සජිනි කුස්සිය අස් කරනවා.

"තියන්න ඕක.මං අස් කරන්නම්" සහන් ඇවිත් සජිනි අතේ තිබ්බ පිගාන ගත්තා

"ඕක රාක්කෙන් තියන්න" එහෙම කියපු සජිනි කුස්සියෙන් ගියා .වටපිට බලපු සහන් දැක්කේ ඒ වෙනකොටත් සජිනි කුස්සිය අස් කරලා කියලා.

සහන් කෑම කන්න හිතාගෙන මේසෙට යනකොට එතන පුටුවක හිටපු සජිනි නැගිට්ටා.

"මං නිදාගන්න යනවා.හෙට මං ඕක අස් කරන්නම්"එහෙම කියපු සජිනි කාමරේට ගියා.

පහුවදා උදේ සජිනි නැගිටිනකොට දවල් වුනේ එයාට එලාම් එක තියන්න අමතක වෙලා තිබ්බ නිසා.එතකොට වෙලාව 7යි කියලා දැකපු සජිනි කලබලේ නැගිටලා කුස්සියට ගියේ සහන් ගිහිල්ලද දන්නෙත් නෑ කියලා හිතලා.ඒත් සහන් නැගිටලා ටීවී බලනවා දැකපු සජිනි සන්සුන් වුනා.එතකොටම සජිනිට මතක් වුනේ අද සෙනසුරාදනේ කියලා.ඒ නිසා  සජිනි වැඩි කලබලයක් නැතුව උදේට විතරක් කෑම හැදුවා.පුලුවන් තරම් සහන්ගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි කියලා හිතුනු නිසා සහන් සාලේ ඉන්නකම්ම සජිනි පුලුවන් තරම්ම කුස්සියෙන් ඉන්නයි බැලුවේ.

ටීවී එකේ බලන්න තරම් දෙයක් තිබුනේ නැතත් පොඩි වැඩකට එලියට යන්න තිබ්බත් සහන් සාලෙට වෙලා හිටියේ සජිනි සාලෙට එනකම්.මේ ඉන්න අතරේ සහන්ට ඇහුනා දොරේ බෙල් එක වදින සද්දේ.සහන් ගිහින් දොර ඇරියා.

එතන හිටියේ සහන්ගේ වයසෙම වගේ කඩවසම් තරුණයෙක්.

"මේ සජිනිලගේ ගෙදරද?" ඒ තරුණයා හොදට හිනා වෙලා ඇහුවා

"ඔව් මෙහේ තමයි" සහන් කිව්වේ තරුණයා දිහා හොදට බලන ගමන්

"සජිනි ඉන්නවද?" එයා ආයෙත් ඇහුවා

"ඔව් ඔව් එන්න ඇතුලට" සහන් ඒ තරුනයාව ඇතුලට අරන් දොර වැහුවා.

"මේ සහන් වෙන්න ඇති" ඒ තරුණයා ආයෙත් අහද්දි සහන් පුදුමෙන් බැලුවා

"සජිනි කියලත් ඇති මං ගැන..මං..." ඒ කතාවට බාධා වුනේ සජිනිගේ කෑගැහිල්ලෙන්

"විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි.

*********************************************************************************

හෙට හම්බෙමු

ආදරෙන් ඉන්න... 💖


6 comments: