Friday, June 15, 2018

ආදරණීය නපුරා - විසි එක් වන කොටස



"විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි.

"සංජූ...."විදූශ සජිනිව එයාගේ අත් වලින් තුරුල් කරගෙන සජිනිගේ ඔලුව උඩින් මූන තියාගත්තා.ටිකකින් එයාට දැනුනා සජිනි අඩනවා කියලා.දැනුනා විතරක් නෙවෙයි.ඇහෙන්නත් ගත්තා.විදූශ හෙමින් හෙමින් සජිනිගේ පිට අතගෑවේ සජිනිව සන්සුන් කරවන්න හිතාගෙන.

"අඩන්න එපා සංජු, මං දැන් ආවනේ..."විදූශ කිව්වේ සජිනිගේ පිට හෙමීට අත ගාන ගමන්.ඒක ඇහුන ගමන් සජිනිගේ ඇඩිල්ල නැවතුනා.විදූශව තල්ලු කරලා දාපු සජිනි අත් දෙකත් බැදගෙන විදූශ ඉස්සරහින් හිටගත්තා.

"හ්ම්ම් කියමු බලන්න" සජිනි කිව්වේ විදූශට රවන ගමන් 

"සොරි සංජූ මං වැඩ වගේක හිර වෙලා හිටියේ.රස්සාවයි යුනි එකේ වැඩයි එක්ක.." විදූශට කියලා ඉවර කරන්න වුනේ නෑ 

"දැන් ඔයා කියන්නේ ඔයාට මේ මට වඩා ඔයාගේ රස්සාවයි ඉගෙන ගන්න එකයි ලොකු වුනා කියලද? ඔයා මට  කතා කරේ නෑ විදූ....ඔයා මගේ පණිවිඩ වලට උත්තරයක්වත් එව්වේ නෑ....මං කීපාරක් කතා කරාද ඔයාට.ඔයා...ඔයා..මගේ වෙඩින්ග් එකට ආවෙත් නෑ..මට ඔයාව ඕනෙම වුන වෙලාවේ ඔයා මං ලග හිටියේ නෑ විදූ...ඔයා හිටියේ නෑ" සජිනිගේ කටහඩ බිදිලා ගියා.එහෙම්ම බිම බලාගෙන සජිනි ඉකි බිදිද්දී විදූශ සජිනි ලගට ඇවිත් එයාගේ ඔලුවට අත තිබ්බා.

"මට සමාවෙන්න සංජූ.හැමදේකටම.ඒත් දැන් මං ආවනේ.මං ගොඩක් පරක්කු නෑනේ නේද? ඔයාගේ හොදම යාලුවට සමාව දෙන්න බැරිද?"


සජිනි හෙමීට ඔලුව උස්සලා බැලුවා.තාමත් සජිනිගේ ඇස් වල කදුලු.අඩලා අඩලම සජිනිගේ ඇස් රතු වෙලා,හෙම්බිරිස්සාවකුත් හැදිලා.

"ඔයා..ඔයා..හැමදාම ඔහොම මොකක් හරි කියලා මාව ශේප් කරගන්නවා.මේ සැරේ එහෙම නෑ.මං තරහයි.යාලු වෙන්නෙම නෑ" සජිනි කිව්වේ නහයෙන් වගේ 

"මේ නහයේ හොටුත් පිරිලා.ගිහින් ඕක සුද්ද කරන් එන්න" විදූශ කිව්වේ සජිනිගේ නහයෙනුත් අල්ලලා

"ඊයා...මොනවා කරනවද මන්දා" සජිනි විදූශගේ අත ගසලා දැම්මා.ඒත් එක්කම සජිනිගේ ඇස් ගියේ මේ ඔක්කොම බලාගෙන ඉන්න සහන් දිහාවට.සහන් මේවා බලාගෙන හිටියේ හරි පුදුමෙන්.සහන්ව දැකපු ගමන් සජිනි විදූශගෙන් ඈත් වුනා.සජිනිගේ වෙනස නිසා සජිනි බලපු පැත්ත බලපු විදූශ දැක්කේ සහන්ව.

"සහන්,..මේ විදූ..නෑ මේ විදූශ.මගේ හොදම යාලුවා"සජිනි කිව්වේ විදූශ දිහාත් බලන ගමන් 

"හලෝ..සොරි මේ වෙච්ච දේට" විදූශ සහන් ලගට ගිහින් කිව්වා.

"ඒක ප්‍රශ්නයක් නෑ.වාඩි වෙන්න.සජිනි,මොනවා හරි බොන්න හදන්න" 

"අද කාලාමයි යන්න ඕනේ" විදූශට ඇගිල්ලකුත් පෙන්නලා කියපු සජිනි කුස්සියට ගියා 

"ආ දැන් උයන්නත් පුලුවන්ද? "විදූශ ඇහුවේ වාඩි වෙන ගමන් 

"මේ මං තාම තරහයි.ඒක මතක තියන් කතා කරන්න"යන අතරමග නැවතුනු සජිනි කිව්වේ ඉණටත් අත තියාගෙන 

"හරි හරි මැඩම්" 

සජිනිගෙයි විදූශගෙයි කතාව අහගෙන හිටපු සහන් හිනා වුනා.

"මං ගැන සංජු කියලම නෑ වගේ" විදූශ ඇහුවේ සහන්ගෙන්

"නෑ ඇත්තටම නෑ.අපේ වෙඩින්ග් එකට ආවෙත් නෑනේ "

"ඔව් එකේ   පුදුමයක් නෑ.මාත් එක්ක තරහෙන් ඉන්න ඇත්තේ" විදූශ සුසුමක් හෙළුවා

"වෙඩින්ග් එකට ආපු නැති නිසාද? මට හිතාගන්න පුලුවන්" සහන් කිව්වා.දැන් ඇත්තටම සජිනි ගැන සහන්ටත් ටිකක් තේරෙනවා 

"ඒකමත් නෙවෙයි.මං මාස්ටර්ස් කරන්න රට ගියා.ඒ වැඩත් එක්ක මට සජිනිට කතා කරන එක මග ඇරුනා" 

"අහ්.. එහෙමද?එයාට තරහ ගිය එක පුදුමයක් නෙවෙයි එහෙනම්" සහන් කිව්වේ හිනා වෙවි.

"මෙන්න මං බීම හැදුවා.රස්නෙයිනේ මේ දවස් වල " සජිනි ආවේ දොඩම් වීදුරු දෙකකුත් අරගෙන. 

"ශා නියමයිනේ.දැන් නියම වයිෆ් කෙනෙක් වගේ එහෙනම්"සජිනි එක්ක හිනා වුන විදූශ බීම වීදුරුව ගත්තා.ඒ කතාවට සහනුයි සජිනියි මූනෙන් මූන බැලුවා මිසක් මුකුත් කිව්වේ නෑ.

"දැන් කවද්ද ඔයා ආවේ" සජිනි ඇහුවේ ඒ ප්‍රශ්නේ මග ඇරලා.

"ගිය සතියේ ආවේ.හෝව් හෝව්ව් කෑගහන්න එපා.අපේ මාමගේ ගෙදර යන්න වුනා.චූටි නංගිට සනීප නෑ.ඩෙංගු හැදිලා"විදූශ එහෙම කිව්වේ සජිනිගේ හැටි දන්න නිසා 

"චූටිට කොහොමද දැන්"

"දැන් නම් ගෙදර.ඒක නෙවෙයි.දැන් මොනවද හදන්නේ?හදන එකක් ඉක්මනට හදන්න බඩගිනියි"

"ආහ් මෙන්න මෙයා.ගෙදරකට ආවා නම් කන්න දෙනකම් ඉවසන්න".සජිනිගේ කතාවට විදූශ හිනාවෙද්දි එයාටත් රවලා  සජිනි ගියේ  කුස්සියට උයන්න කියලා 

ටික වෙලාවක් සහනුයි විදූශයි එක එක දේවල් කතා කර කර හිටියා.එතකොට තමයි සහන් දැනගත්තේ විදූශ සහන්ට වඩා අවුරුද්දක් වැඩිමල් වගේම එයත් පරිඝනක ඉංජිනේරුවෙක් කියලා.

"ඒක නෙවෙයි සහන්,මං මේක මෙහෙම අහන එක හරිද දන්නෙත් නෑ.ඒත් මේක මගේ හිතට වදයක් ඒකයි අහන්නේ,සංජු මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"විදූශගේ ඒ ප්‍රශ්නෙට සහන්ට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.සජිනිට තියෙන ප්‍රශ්නෙ තමන් කියලා එයාගෙම හොදම යාලුවට කියන්න තරම් පුලුවන්කමක් සහන්ට තිබ්බේ නෑ 

"එහෙම නම් නෑ විදූශ,ඇයි එහෙම ඇහුවේ"

"අපේ නංගි කෝල් කරලා තිබ්බා එයාට බර්ත්ඩේ විශ් කරන්න.සංජු ඇඩුවලු.හොදටම.මං ගැනත් කිය කිය ඇඩුවලු.ඉතින් මං ඇත්තටම මේ ආවෙත් සංජු හොදින්ද බලන්න.එයා කාටවත් හිතේ තියෙන දේවල් කියන කෙනෙක් නෙවෙයි.යාලුවා වුනත් මටවත්" විදූශ කිව්වේ දුකෙන් .මේ ඔක්කොම අහන් හිටපු සහන්ට දැනුනේ තමන් ගැනම ලොකු කලකිරීමක්.

දවල් කෑම මේසය  සජිනියි විදූශයි නිසා හරිම ඝෝශාකාරී තැනක් වුනා.පොඩි කාලේ සිද්දි සහ එයාලා දෙන්නා විතරක්ම දන්න දේවල් කතා කරපු නිසා සහන්ට දැනුනේ තමන් පිටස්තරයෙක් වගේ හැගීමක්.

කෑම ඉවර වෙලා සජිනි කුස්සිය අස් කරන වෙලාවේ සහනුයි විදූශයි හිටියේ සාලේ මැච් එක දාගෙන 

"විදූශ...මං දෙයක් අහන්නද?" සහන් ඇහුවේ විදූශ දිහා හොදට බලන ගමන් 

"මොකක්ද?"

"ඇයි ඔයාලා දෙන්නා බැන්දේ නැත්තේ"සහන්ගේ ප්‍රශ්නෙට විදූශ බිම බලාගත්තා 

"ඒක එච්චර හොදට පේනවද?" විදූශ සහන් දිහා බලලා හෙමින් හිනා වෙලා ඇහුවා.

*********************************************************************************

ඔන්න කතාව ගෙනාව ලමයි.අද කතාව කොටයි.බනින්න එපා.ගමනක් ගිහින් හවස් වෙලා ආවේ.හරිම මහන්සියි කතාව හිතන්න බැරි තරමටම.

හෙට දිග කොටසක් දෙන්නම් හොදේ 

ආදරෙන් ඉන්න.......💖




4 comments:

  1. කරකවල අතඇරිය වගේ!

    ReplyDelete
    Replies
    1. අද කොටසින් හරි යාවි ඕක ;)

      Delete
  2. ඇයි ඔයාලා බැන්දෙ නැත්තේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඇයි බැන්දේ නැත්තේ?

      Delete