Friday, November 9, 2018

ලස්සන සති අන්ත



සතියේ දවස් 5 ගෙවෙන්න මාස 5ක් විතර යද්දි සති අන්තේ දවස් දෙක ගෙවෙන්නේ පැය දෙකක වේගෙන්.

සෙනසුරාදා උදේ වෙලා ආයේ ඉරිදා හවස් වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.ඔයා සතියේ දවස් 5ම රස්සාවක් කරන ඉගෙන ගන්න එහෙමත් නැත්තම් ගෙදරින් පිට මොනවම හරි දේකට යන කෙනෙක් නම් මේක හොදටම තේරෙනවා ඇති.

මගේ ජිවිතේ හැම කාලෙකම මට ලස්සන ලස්සන සති අන්ත තිබිලා තියෙනවා.💜

මට මතක තියෙන පොඩිම කාලේ...,
සති අන්තේ කියන්නේ මහ ගෙදර යන දවස්.ආච්චි බලලා නංගිලා එක්ක සෙල්ලම් කරලා කාලා බීලා නටලා එන ලස්සන සෙල්ලම් දවස් 👭👵

ටිකක් ටිකක් ලොකු වෙද්දි ඉස්කෝලේ යද්දි...,
සති අන්තේ අම්මගෙයි මගෙයි නිදහස් දවස් වුනා.ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන දෙන්නත් එක්ක කඩේ ගිහින් ඇවිත් ඉස්කෝලේ වැඩත් කරලා රටේම ඕපදූප ටිකත් කතා කරගෙන ඉන්න මං පුදුම තරම් ආස කරා.සමහර සති අන්ත වලට තාත්තා ගෙදර එන්නේ ඒ සතුට දෙගුණ තෙගුණ කරලා.ඉදලා හිටලා ගෙදරින් අහන බැනුමත් ඒ කාලේ හිතට වැදුනේ නැත්තේ ඒ ආදරේ පිරිච්ච සති අන්ත නිසයි.👪

ඉස්කෝලේ ගියත් අමතර පංති කියලා එකකට මං යන්න ගත්තේ උසස් පෙළ කරද්දිම තමයි.

ඉතින් ඒ පංති යන කාලේ දි...,
 අම්මා එක්ක ගෙවුන ලස්සන සති අන්ත මං යාලුවෝ එක්ක පංති වල බංකු රත් කර කර ගෙවන්න පටන් ගත්තා.පංති යන එක අමාරුයි.ඒ පංති වල පැය ගනන් හිර වෙලා වාඩි වෙලා ඉන්න ඊට වඩා අමාරුයි.ඒත් ඒ මොනා වුනත් එක එක පාට ඇදුම් ඇදලා එක එක කොණ්ඩ මෝස්තර දාගෙන රටේම ඕපදූප කියව කියව හිනා වෙවී රේල් පාරවල් දිගේ පංති ගියපු කාලේ හරිම ලස්සනයි.💝💛

පංති ගියා වගේම යාලුවෝ එක්ක පොඩි පොඩි ගමන් යන්න පුරුදු වුනෙත් ඒ කාලෙම තමයි.අද කාලේ වගේ යන්න කෑම කඩ, පාර්ක් වගේ ඒවා නොතිබ්බ ඒ කාලේ අපි යාලුවෝ එක්ක ගියේ ශොපින්.ගන්න ඇති ඇදුමක් නැතත් තියෙන කඩ ඔක්කොටම ගිහින් ඇදුම් බලලා එන එක අපට පුරුද්දකට ගිහින් තිබ්බා.අද ආපහු හිතලා බලද්දි ඒ සල්ලි අතේ නැති කාලේ යාලුවෝ එක්ක ශොපින් ගිය සතුට අද අතේ සල්ලිත් තියාගෙන කඩිමුඩියේ දුවන ශොපින් වල නෑ.මහ ලොකු ගනන් වලට අපි දැන් ගන්න ඇදුම් ඒ කාලේ යාලුවෝ එක්ක ගිහින් ගන්න ලේන්සුව තරම්වත් ලස්සන නෑ.

ඒ සති අන්ත වලින් පස්සේ ආයෙත් ලස්සන සති අන්න ආවේ කැම්පස් කාලේ.ඒවා ගෙදර හිටියත් කැම්පස් හිටියත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සන සති අන්ත.💓

දුරම දුර කැම්පස් එකක හිටපු මට හැම සති අන්තෙම ගෙදර එන්න පුලුවන්කමක් තිබුනේ නෑ.ඉතින් ඒ සති අන්ත ගත වුනේ බෝඩිමේ නැත්තම් නේවාසිකාගාරේ රූමෝ මැද්දේ. අම්මලා තාත්තලා නැති අපේම නිදහස් සති අන්ත තිබ්බේ ඒ කාලේ.මහ දවල් වෙලා නැගිටලා කැන්ටිමෙන් හරි කඩේකින් හරි කෑම කාලා ඕපයක් කියවලා කට්ටියත් එක්ක ෆිල්ම් එකක් බලලා හිටපු ඒ දවස් හරිම කම්මැලි සුන්දර සති අන්ත.

ඒත් එහෙම හිටපු සති අන්ත තිබ්බේ හරි ටිකයි.සමහර සති අන්ත වල හුස්ම ගන්නත් බැරි තරම් වැඩ.ප්‍රැක්ටිකල් ලියනවා,ප්‍රසන්ටේශන් හදනවා, එසයින්ම්න්ට් හදනවා, බෝඩිමම එක එක වැඩ.සමහර සති අන්ත වෙන් කරලා තිබ්බේ බෝඩිම කාමරේ පිරිසිදු කරන්න.ඒ පිරිසිදු කරන සති අන්ත හරිම මහන්සියි.හැබැයි ඊට පස්සේ බෝඩිමම හරිම ලස්සනයි.

ඒ කාලේ සති අන්තේ ගෙදර ගියේ දිග නිවාඩුවකටම තමයි.ඒ ගියාම සැලකිල්ල රාජ කුමාරියකට වගේ.ආස කරන හැම කෑමක්ම කන්න ලැබෙනවා වගේම හැම ඕපදූපයක්ම හිතේ හැටියට කියවන්න ලැබෙන එකත් ලොකු නිදහසක්.හොදට කාලා බීලා ඇදට වෙලා නිදාගන්න එක තමයි ඒ කාලේ ගෙදර යන සති අන්තේ ප්‍රධානම දේ වුනේ.ඒ කාලේ තාත්තා නිතරම කියන්නේ මං ගෙදර එන්නෙම කම්මැලි වෙලා කියලා.ඔව් ඒක ඇත්ත.ඒ මගේ කම්මැලි සති අන්ත.මං ආසම ජාතියේ සති අන්ත.

ඒත් දැන් අපි පොඩි නෑ...රස්සාවකුත් කරන ලොකු ලමයිලුනේ..ඉතින් දැන් අපේ සති අන්ත ටිකක් වෙනස් වෙලා....

ඒ කාලේ වගේ දැන් සති අන්තේට ගමන් යන්න ෆිල්ම් බලන්න ඕප කියවන්න යාලුවෝ හම්බ නොවුනත් ආස කෑමක් මටම හදන් කන්න වුනත් ඉස්සර තරම් මහ දවල් වෙනකම් නිදාගන්න නොලැබුනත් තාමත් මගේ සති අන්ත හරිම ලස්සනයි.💕

මගේ ඒ සති අන්ත එක එක විදියයි...👸

*සමහර සති අන්ත හරිම කම්මැලියි.දවසෙම පොරවගෙන නිදාගන්න හිතෙන දවස් තියෙන්නේ 🙈

*තවත් සමහර සති අන්ත වල  වෙන්නේ  පොත් ගොඩක් වට කරගෙන කියවන එක,නැත්තම් ෆිල්ම් බලන එක නටන එක සිංදු කියන එක 😀💓

*සමහර සති අන්ත හරිම කාර්‍යබහුලයි.ගමන් බිමන් ගොඩයි.ගෙදර වැඩ ගොඩයි 😐🙉

*ඒ විතරක්ම නෙවෙයි.සමහර වෙලාවට  තියෙනවා සතියෙම හිතලා හිතලා වැඩ ප්ලෑන් කරලා  කරන්න ගිහින් ඒ වැඩත් ඔක්කොම අවුල් කරගෙන සති අන්තෙම නැති නාස්ති කරගන්නවා   😫😫🙊🙈

ඒත් ඒ මොනවා වුනත් මං වැඩියෙන්ම ආදරේ සති අන්තෙට.ඒක වෙනසක් වෙන්නේ නෑ.💖

මං හිතන්නේ සති අන්ත එච්චරටම ලස්සන ඒවා අපේ නිසා.සතියේ දවස් 5ම අනුන්ට ලියලා දීලා එයාලා වෙනුවෙන් ජීවත් වෙන අපි, අපි වෙනුවෙන් ජීවත් වෙන්නේ මේ දවස් දෙකේ නිසා 💓

ඉරිදා සෙනසුරාදා කියන්නේ 💓 අපේ දවස්,ඒකයි සති අන්ත මෙච්චරම ලස්සන....❤️


3 comments:

  1. කතාව දාන්නේ නැද්ද???

    ReplyDelete
  2. කතාව දාන්නේ නැද්ද???

    ReplyDelete
    Replies
    1. December edan hamadama dannam.chuttak iwasala inna 😁

      Delete