Monday, February 26, 2018

හදවතේ හැමදාමත් රැදෙන අම්මා



දේව්කී බයොලොජි ටීචර් කෙනෙක්.දේව්කීගේ පන්තියේ ඉන්නවා විශේශ ගෑනු ලමයෙක්.ඒ තමයි එයාගේ මහත්තයාගේ කලින් විවාහයේ දුව ආර්යා.ආර්යා සහ දේව්කී අතර එච්චර හොද සම්බන්දයක් නෙවෙයි තියෙන්නේ.දේව්කී ආර්යා ට තමන්ගේම දුව වගේ ආදරේ වුනාට ආර්යා හිතන්නේ දේව්කී එයාගේ තාත්තාගේ බිරිද හැටියට විතරයි.  

ඔය අතරෙදි දේව්කීගේ මහත්තයා කොන්ෆරන්ස් එකකට රට යනවා.ඒ ගියපු අතරේ ආර්යා පාර්ටි එකකට යනවා.ආර්යා එක්ක යාලු වෙන්න ට්‍රයි කරලා ඒ වැඩේ හරි ගියේ නැති කොල්ලෙක් ඉන්නවා මෝහිත් කියලා.මේ මොහිත් එයාගේ අයියායි අයියාගේ යාලුවෙකුයි එක්ක එකතු වෙලා ආර්යා ව පැහැරගන්නවා.රෑ වෙනකම්ම ආර්යා එනකම් බලාගෙන හිටපු දේව්කී තවත් බලාගෙන ඉන්න බැරි තැන ආර්යාව හොයාගෙන පාර්ටි එකට යනවා.ආර්යා එතනත් නැති තැන දේව්කී පොලිසියේ පිහිට පතනවා.පහුවදා උදේ ආර්යා ව හම්බෙනවා කුණු කානුවක ඉදලා.ආර්යා ව දකින දේව්කී හඩා වැලපෙනවා.පස්සේ අනාවරණය වෙනවා ආර්යස්ට  බරපතල සමූහ දූශනයක් වෙලා කියලා.රට ගියපු ආර්යා ගේ තාත්තාත් එනවා.දවස් ගානක් යනවා ආර්යා ට සිහිය එන්නත්.සිහිය ආවට පස්සේ ආර්යා එයාට මේ දේ කරපු අය ගැන ප්‍රකාශයක් දුන්නත් එයාලා උසාවියේදී නිදහස් වෙනවා ආර්යාගේ සිරුරේ තිබුනු ඇල්කොහොල් ප්‍රතිශතය මත ඇය කියන දේවල් පිලිගන්න බෑ කියලා.ආර්යා මේක දැකලා තවත් පීඩනේකට පත් වෙනවා.

මේ සිද්දිය  නිසා දේව්කී සහ ආර්යා අතර සම්බන්දේ තවත් ඈත් වෙනවා.මොකද මෝහිත් ආර්යා ව දූශනය කරන වෙලාවේ කියනවා "දැන් එන්න කියපන් අම්මාට "කියලා.එහෙම කියන්නේ කලිනුත් මෝහිත් ගේ දේවල් වලින් ආර්යාව බේරගෙන තියෙන නිසා.මේක ආර්යාට තේරෙන්නේ මේ දේ තමන්ට වෙන්න දේව්කිත් හේතුවක් කියලා.මේ පීඩනෙත් එක්ක ආර්යාගේ තත්වේ ගොඩක් දරුණු වෙනවා.ආර්යාගේ තාත්තා අභියාචයක් දානවා.

ඒත් මේ වෙනකොට දේව්කීගේ විශ්වාසය නැති වෙලා ඉවරයි.දේව්කී තීරණය කරනවා මේ මිනිස්සුන්ගෙන් පලි ගන්න.ඇය මේකට උදව් ගන්නවා රහස් පරික්ශකයෙක්ගෙන්.ඔහුගෙන් ලබා ගන්න තොරතුරු වලින් ඇය මුලින්ම ආර්යා ව පැහැරගන්න  උදව් කරපු ආරක්ශක බටයාව සිහිනැති කරන බෙහෙතක් යොදාගෙන මරණයට පත් කරනවා.ඊට පස්සේ ඇය මෝහිත්ගේ ගෙදර කවුරුවත් නැති වෙලාවක ගෙදරට ගිහින් ඇපල් ඇට වලින් සයනයිඩ් නිශ්පාදනය කරලා ඒ සයනයිඩ් කෝපි එකට කලවම් කරනවා.ඒ විතරක් නෙවෙයි ඇය මේ සියල්ල කරේ මොහිත් බව පෙන්නන්න සාක්ශිත් සුදානම් කරනවා.අවසානයේ වෙන්නේ මේ සයනයිඩ් නිසා මෝහිත්ගේ අයියා අංශබාග තත්වයට පත් වෙනවා වගේම මේ සියල්ල කරේ මෝහිත් බවට සැක කරලා මෝහිත්ව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.මේ විදියට ආර්යාගේ නඩුවට අදාළ පුද්ගලයන්ට සිදුවෙන විපත් නිසා ආර්යාගේ තාත්තව මුලින් පොලීසියෙන් සැක කරත් පස්සේ පොලිසියට තේරුම් යනවා මේ සියල්ලම දේව්කීගේ වැඩ කියලා.ඒත් ඒ බවක් ඔප්පු කරන්න කිසිම සාක්ශියක් ලැබෙන්නේ නෑ.

මේ සියල්ල වාර්තා වීමෙන් පස්සේ ආර්යාගේ පීඩන ගතිය අඩු වෙන නිසා ආර්යා සමග පවුලේ අය නිවාඩුවක් සදහා පිටත් වෙනවා.නිවාඩුව අතරතුරේ ආර්ය සහ පවුලේ අය නැවතී ඉන්න නිවසට එනවා විශේශිත පුද්ගලයෙක්.ඒ තමයි මෝහිත්ගේ අයියාගේ යාලුවා.එහෙමත් නැත්තම් ආර්යාගේ 3 වන දූශකයා.එතකොටත් ඔහු දන්නවා මේ සියල්ලම කරේ දේව්කී බව.ආර්යාගේ තාත්තටත් වෙඩි තියන ඔහු ආර්යා පසුපස හබා යනවා.දේව්කී ආර්යාව සොයා යන අතරතුර ඔවුන්ට මුණගැසෙනවා මේ අපරදකාරයා හොයාගෙන ආපු පොලීසිය.පොලීසීය ඔහුව අල්ලගන්නවා විතරක් නෙවෙයි දේව්කීගේ අතට තුවක්කුවකුත් දෙනවා වෙඩි තියන්න කියලා.ඒ අතරේ එතන වෙන කතා බහින් ආර්යා තේරුම් ගන්නවා මේ සියල්ල කරේ දේව්කී බව.ඇය ඒ මොහොතේ දේව්කීට "අම්මා" කියලා කතා කරනවා ජිවිතේ පලවෙනි වතාවට.ඒත් එක්කම දේව්කීගේ වෙඩි පහරින් ඔහු මිය යනවා.

*********************************************************************************

මේ තමයි පසුගියදා හදිසි දියේ ගිලීමක් නිසා මිය ගිය හින්දි සිනමාවේ සුරූපී තාරකාවියක් වුන ශ්‍රී දේවි ගේ අවසන් සිනමා රංගනය.මේ චිත්‍රපටයේ නම  "Mom" .නමේ අර්ථයටම ගැලපෙන විදියට ඇය මේ සිනමා කෘතිය තුළ ඉතා විශිෂ්ට රංගනයක යෙදෙනවා.හින්දි සිනමාව තුළ පළමු සුපර් ස්ටාර් ලෙස සලකන මේ විශිෂ්ට රන්ගන ශිල්පිනිය මිය යනවිට පසුවුනේ 54 වන වියේදී.ඉතා විශාල සිනමා කෘති රාශියක රංගනයේ යෙදුනු ඇගේ විශිෂ්ට රංගන ප්‍රතිබාවේ අඩුව හින්දි සිනමාව අගය කරන රසිකයන්ට හැමදාමත් දැනේවී.ඒ මතකය අපි තුළ හැමදාමත් තියේවී..

ශ්‍රී දේවිය ඔබට නිවන් සුව ...      













Sunday, February 25, 2018

කොච්චි පාර දෙපැත්තේ එලවළු පොළ


කෝච්චි පාරක් දෙපැත්තේ තියෙන එලවළු වෙලද පොළක් දැකලා තියෙනවද? ඔබ ඉන්නේ ලංකාවේ නම් එහෙම එලවළු පොළක් දැකලා තියෙන්න විදියක් නෑ.මොකද ලෝකේ කොච්චි පාරක් දෙපැත්තේ තියෙන එකම එලවළු වෙලද පොළ තියෙන්නේ තායිලන්තයේ නිසා.තායිලන්තයේ බැංකොක් නගරයේ  පිහිටි මේ මැක්ලෝන්ග් වෙලද පොල ( Maeklong Railway Market) අපි සාමාන්‍යයෙන් දන්න වෙලදපොළවල් වලට වඩා ටිකක් වෙනස් විශේෂ වෙලද පොළක්.ඒකට හේතුව තමයි මේ පොළ මැදින්  දවසට 8 වතාවක් දුම්රියක් ගමන් කරන දුම්රිය මාර්ගයක් පිහිටල තිබීම. බැංකොක් නගරයේ බටහිර දෙසට වෙන්න පිහිටල තියෙන මේ වෙලදපොළ දැන් දැන් සංචාරක ආකර්ශනය  දිනා ගත්ත තැනක් වෙලා  තියෙන්නෙත් මේ තියෙන විශේෂත්වය නිසාමයි.


දශක ගානක අතීතයක් තියෙන මේ වෙලද පොළෙන් සාමාන්‍ය පොළකින් වගේම නැවුම් එලවළු,පළතුරු,මස්,මාළු වගේම ඇදුම්,මල් වගේ දේවලුත් ගන්න හැකියාවක් තියෙනවා.


දුම්රිය පැමිණෙන්න විනාඩි කීපයකට කලින් දුම්රියේ  ඇහෙන දුම්රියේ සයිරන් නාදයත් එක්ක මේ වෙලද පොලේ අය තමන්ගේ බඩු,කුඩ වගේ දේවල් පාරෙන් ඉවත් කරගනු ලබනවා.දුම්රිය මාර්ගයේ සිටින පාරිබෝගිකයක් ලගම තියෙන වෙලද සැලට ගොඩ වෙනවා.දුම්රිය පිටත් වීමෙන් පස්සේ ඒ බඩු තිබුනු ලෙසම තබා ගන්නා ඔවුන් නැවතත් වෙලදාම ආරම්භ කරනවා. මේ දුම්රිය 15 mph  වගේ සෙමින් ගමන් කරන දුම්රියක් වුනත් මේ දුම්රිය මාර්ගය තුළ සුලු සුලු අනතුරු වාර්තා වෙලා තියෙනවා.මේ නිසා ගොඩක් අය මේ වෙළෙන්දන්ට  මේ දුම්රිය මාර්ගය අතහැරලා යන ලෙස උපදෙස් දුන්නත් ඒ හැමදේකටම ඔවුන් කියන්නේ එක දෙය යි.ඒ තමයි "අපි තමයි මෙතනට මුලින් ආවේ".



             

Saturday, February 24, 2018

එක දවසක්..

-මොකද අනේ මෙච්චර වෙලා කරේ? මං කීයේ ඉදන්ද බලන් ඉන්නේ?

+සොරී සොරී බස් එකෙනේ එන්නේ අපි 

-අපිත් බස් එකේ තමයි.ඊලග දවසේ මං යනවා යන්න 

+කොහෙද දන්නේ නෑ යන්නේ

-ඔයාට නම් විහිලු 

+හරි හරි නංගී දැන් මං සොරී කිව්වනේ.දැන් යාලූ වෙන්නකෝ

-හරි හරි යමු එහෙනම්

+කොහේ යන්නද? දැන් ට්‍රේන් එකත් ඒවී.

-අනේ... මං හිටියත් එක්ක එනකම් බලාගෙන.යමූකෝ...

+හරි දැන් මේ කොහෙද යන්නේ?

-මේ ලග අද අලුතෙන් වඩේ කඩයක් දාලා අනේ..රසයි ලූ..

+ඔයා කෑවද?

-මං කොහේ කන්නද?

+එහෙනම් රසයි කිව්වේ..

-පෙනුම හරි රස පාටයි එකයි කිව්වේ..

+ඔයා කවදා ඉදන්ද පෙනුම බලලා රස කියන්න පටන් ගත්තේ?

-අද ඉදන්

+අහ්

-ඔව් මට තේරුනා පෙනුම බැලුවා නම් මට මෙහෙම ස්ටේශන් එකේ රස්තියාදු වෙන්න වෙන්නෙ නෑ කියලා

+අහ් ඒ කියන්නේ මං කැතයි කියලද?

-පිස්සුද මෙයා මං ඔයාට එහෙම කියනවද?

******************************************
-අන්කල් වඩේ 10ක් දෙන්න.අර ලොකු එව්වා..මිරිස් කෑලිත් දාන්න අන්කල්.අනේ අන්කල් අර වඩේ එක පොඩියි වෙන එකක් දාන්න.

+ඔහොම කෑගහන්න එපා.ඔක්කොම එක සයිස්.අනික ඔච්චර කවුද කන්නේ.

-මේ ඔයා කට වහන් ඉන්න.මමනේ ගන්නේ.මං කන්නම්.

-කීයද අන්කල්? අහ් 20ක් නෑනේ අන්කල්.මේ ඒයි 20ක් දෙන්නකෝ

+ඇයි දැන් තනියෙන් අරන් තනියෙන් කනවා කියලා නේද කිව්වේ

-දෙනවකෝ අනේ.. හරි යන් 

+කෝ මට

-ආ... 

+මේ එකයිනේ..

-ඉතින් ඔයා 20යිනේ දුන්නේ.දීපූ ගානට තමයි වඩේ එක

+හනේ හනේ මං ගන්න ඉන්න ගෑනිගේ හැටි.දැනගත්ත එක හොදයි.බැදපු දවසක සල්ලි දීලා කන්න වෙයිද දන්නේ නෑ.

-එව්වා කියන්න බෑ පුතේ..ඒ කාලේ උද්දමනය හැටියට තමයි වැඩේ සිද්ද වෙන්නේ

+මේකී බලහන්කෝ

-එහෙම තමා අයියේ දේසේ හැටියට වාසේ කියන්නේ..හපෝ මෙලෝ දෙයක් දන්නේ නැනේ අප්පා ඔයා

+එහෙම තමයි අපි ඔයාලා වගේ පැහිලා නැනේ.තාම සූටී ලමයි

****************************************
-මේ ඒක නෙවෙයි ඔයා හෙට නෑනේ.මං ඒ නිසා ලක්ශිකාලගේ ගෙදර යන්න කියලා ඉන්නේ.ඔන්න කිව්වා.පස්සේ නෑ ගාන්න එපා. 

+හා හා හැබැයි  මං හෙට එනවා

-ඇයි හෙට මාමලගේ දානේ කිව්වා නේද?

+ඔව් දානේ නම් තමයි.මං කිව්වා නිවාඩු නෑ කියලා

-ඇයි ඒ? 

+මට යන්න බෑ

-ඇයි ඒ?... යන්න අනේ.බොරුනේ නිවාඩු නෑ කියන්නේ? ඔයා ඔහොම කොච්චර කල් මග අරින්නද?

+මොකක්ද? මං මුකුත් මග අරින්නේ නෑ. මට ඇත්තටම නිවාඩුත් නෑ.අම්මලා යනවනේ.ඒ ඇති.මං මට පුලුවන් කාලේ ගිහින් කරානේ.

-මේ බලන්න අයියේ මං දන්නවා ඔයා හිතන දේ.ඔයා යන්නේ නැත්තේ සදලි ඉන්න නිසානේ

+ඒකත් එකක්.මට එයාව දැක්කම හිතට හරි නෑ

-මෙච්චර ඔයාට දුක් දීලත් අද එයා සතුටින් කියලාද

+නෑ එහෙමත් නෙවෙයි.අනේ මංදා සුදූ.වැරදි කරපු එයාට ගානක්වත් නෑ.මං අවුරුදු ගානක් විදෙව්වා.ඒකේ කිසිම සාදාරනයක් නෑනේ.

-ඒ වුනාට ඔයා දැන් විදවන්නේ නෑනේ අයියේ.දැන් ඔයා සතුටින්නේ නේද?

+හ්ම්ම්.. ඔව්..

-හරි එහෙනම් දැන් කරන්න තියෙන්නෙ ඔයාට හෙට යන එක.යනකොට මතක ඇතුව එයාගේ බබාට මොනවා හරි අරගෙන යන්න.එයාට පෙන්නන්න එයා නැතත්  ඔයා සතුටින් කියලා.ඔයාට සන්තෝසෙන් ඉන්න එයා ඕනේ නෑ කියලා පෙන්නන්න.

+පුදුමයි මට 

-ඇයි

+වෙන කෙල්ලෝ කොල්ලා කලින් කෙල්ල දිහා බලනවටවත් කැමති නෑ.මෙන්න ඒකට මෙයා

-මේක මගේ පූරූවේ කරුමයක් කියලා මං දන්නවා.ඒ නිසා මට ගානක්වත් නෑ ඔයා මොන කෙල්ල එක්ක කතා කරත්.මං දන්නවා කරුමේ ආපහු හැරිල මං ලගට එනව කියලා

+මේ කරුමෙ ඉවර වෙච්ච දවසට තේරේවි උබට

-මේ උබට උබට ගාන්න එන්නේපා මට. එහෙම ඉවර වෙන්න දෙන්නේ නෑ මං මේ කරුමේ 

+උබට, උබට කියන්නේ නැතුව මං කාට උබට කියන්නද? දැන් මට කරුමේ කිව්වා මං ගනන් ගත්තද? නෑනේ 

-ඒකෙත් ඇත්තක් තියෙනවා බලාගෙන යද්දි

+ඇත්තක් තියෙනවා නෙන්නම්.. අන්න උබේ ට්‍රේන් එනවා 

-කරුමේ දාලා යන්නත් දුකයි වගේ අප්පා.මං ඊලග ට්‍රේන් ඒකේ යන්නද?

+මේ යන්න යන්න.රෑ වෙනකොට තාත්තත් බය වෙනවා ඒ පාර

-තාත්තට කියන්නම් කරුමේ එක්ක හිටියා කියලා

+තාත්තට කියන්න කරුමේ ලගදිම දුව ඉල්ලන්න එනවා කියලා

-අනේ... හා... ඉකමනට එන්න එහෙනම්...

+පරිස්සමෙන් යන්න...

-ඔයත් පරිස්සමෙන්...හෙට දානෙට යන්න...
















Friday, February 16, 2018

ඇස් ගහන කෙල්ල ලංකාවේ වුනා නම්...



මේ ඇස් ගහන කෙල්ල ගැන මෙලෝ අටමගලක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න පහලින් වීඩීයෝ එකක්  දාලා තියෙනවා.ඒක බලලා එන්නකෝ.😀

මේ ඉන්දියාවේ ගෑනු ලමයෙක්.ෆිල්ම් එකකට තමයි ඉතින් මෙහෙම ඇස් ගහන්නේ.හැබැයි ඒ ඇස් ගැහිල්ලට ඉන්දියාව විතරක් නෙවෙයි ලංකාවෙත් කොල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ කියලයි ආරංචිය.ඒ කොහොම වුනත් මේ කෙල්ල ලංකාවේ කෙල්ලෙක් වුනා නම් කොහොම ප්‍රතිචාරයක් තියේවිද? .එහෙමත් නැත්තම් ලංකාවේ කෙල්ලෙක් මෙහෙම ඇස් ගැහුවා නම් කොහොම වෙයිද? 😏😝

කෙල්ලගේ අම්මා

"උබට ලැජ්ජ නැද්ද ඔහොම කොල්ලොන්ට ඇස් ගහන්න.ඕවද ඉස්කෝලේ උගන්නන්නෙ .අපි ඔය වයසෙදි කොල්ලෙක් දිහා ඔලුව උස්සල බැලුවේ නෑ.ඒකටත් එක්ක උබලා. තේ එකක් හදන්න කිව්වාම ඒක කරගන්න බෑ.හැබැයි කොල්ලොන්ට ඇස් ගහන්න පුලුවන්. ඕවද අපි උබලට පොඩි කාලේ ඉදන් කියලා දුන්නේ? දැන් අර අල්ලපු ගෙදර ගෑනි උඩ පැන පැන හිනා වෙනවා ඇති.දෙයියනේ..මේ සතියේ කුලගන සමිතිය තියෙන්නෙත් අල්ලපු ගෙදර .බලපන් උබගේ ඇස් ගැහිල්ලක් නිසා අපට රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න හැටියක් නෑනේ." 😣

කෙල්ලගේ තාත්තා

"මං දැනගත්තා මං දැනගත්තා.කොන්ඩෙත් පැත්තට දාලා ඔහෙක් කරන් යනකොට මොකක් හරි වෙන්න යන්නේ කියලා.මේවා අම්මගෙත් වැරදි. ගෙදර ඉදන් ටීවී එකේ මල මගුල් බල බල ඉන්නවා,ගෙදර  එකී පැනලා යනකම් දන්නේ නෑ.උබලට සැප වැඩි වෙලා තියෙන්නේ. හෙට ඉදන් ගෙදර හිටපන් ටික දවසක් මනමාලකම අඩු වෙනකම්."😒

අල්ලපු ගෙදර ඇන්ටී 

"ආරංචිද සිද්දිය? අර සීතාගේ කෙල්ල කොල්ලෙක්ට ඇස් ගහලලුනේ.අන්න දැන් ගෙදර.ඉස්කෝලෙන් අස් කරලද දන් නෑ.වෙන්නත් පුලුවන් අනේ.ඔච්චර එකක් කරාම ඉස්කෝලේ තියාගන්නේ කොහොමද?අපේ ලමයිනුත් නරක් වෙනවා.මං නම් අපේ එවුන්ට කියලා තියෙන්නේ පැත්ත වත් බලන්න එපා කියලා.හැබැයි මං නම් කලින්ම හිතුවා ඔහොම එකක් කරගනිවි කියලා.පොත්ත ටිකක් රතු වේගෙන එනකොට ඒකි හිතන් හිටියේ ඒකී එංගලන්තේ මහ රැජින කියලානේ .අම්මගේ මනමාලකම තමයි ඔය දුවට ගහලා තියෙන්නේ.මට මතකයිනේ ඉස්කෝලේ යන කාලේ අම්මා නටපූ නාඩගම්." 😏

කෙල්ලගේ යාලුවා 

"මං උබට ඒ වෙලාවෙම කිව්වා කරන මගුලක් පරිස්සමෙන් කියලා.කොහෙද උබටත් ඒ කොල්ලා දැක්කම මෙලෝ සිහියක් නෑනේ.හරිනේ දැන් ඉතින්. දැන් ඉතින් මොනවා කරන්නද? ටික දවසක් අම්මා ලගටම වෙලා කියන දේ අහන් ඉදහන්.එතකොට ශේප් වෙයි අම්මා." 😟

බුකියේ අයියලා 

"ඇස් ගැහුවට පස්සේ වෙච්ච දේවල් බලන්න මේ ලින්ක් එකෙන් යන්න" 😉

"ඇස් ගහන නංගිගේ ඇත්තම  විස්තරේ" 😆

"ඒ කාලේ නම් මෙහෙම කෙල්ලෝ අපට ඇස් ගැහුවේ නෑ හාමුදුරුවනේ"😝

"හාල් කෑලී ෆෝම් කරන්න එපා බන්"😬

"කෙල්ලෝ දැකලා නැති උන්ට හොදයි මේවා"😔

"බඩුවක්ද කොහෙද?"😒

කෙල්ල 

"අයියෝ මේ ඇස් ගැහිල්ලක් නිසා වෙච්ච දෙයක්.දැන් එයා මට ඇහැක් ගැහුවා නම් මේ මුකුත් කියන්නේ නෑ.මේ ඔක්කොම මට තමයි.මේ නිකන්  ඇහිබැම එහේ මෙහේ කරා කියලා වැඩක් නැනේ.ඒකනේ මං ඇහැක් ගැහුවේ.ඇත්තට ඇයි එයාට බැරි වුනේ මට මුලින් ඇහැක් ගහන්න.එහෙම වුනා නම් මේ මුකුත් නෑනේ.සමහරවිට එයාට ඇස් ගහන්න තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.පව් දෙයියනේ කොල්ලෙක් වෙලත් ඇස් ගහන්න බැරි නිසා කොල්ලෝ එයාව චාටර් කරනවා ඇති.ආය ඉස්කෝලේ ගියාම එයාට කියලා දෙන්න ඕනේ ඇස් ගහන විදිය." 😄


කොල්ලා

"දෙයියනේ....ඒ ඇස් දෙක මාව පිස්සු වැට්ටුවා"  💓











Thursday, February 15, 2018

මාත් මගේ හිත හදාගන්නම්



රාත්‍රිය මනරම් කියා..
සදට තරුවට කවි ලියා..
මාත් මගේ හිත හදාගන්නම් 
නුඹත් මා ලග නැති නිසා..

රාත්‍රිය මනරම් කියා....

මගේ කවියක පද ගයා..
දෑස් දෙකොනේ තෙත තියා..
නුඹත් රෑ නිදි වරාගෙන ඇති..
මාත් නුඹ ලග නැති නිසා..

රාත්‍රිය මනරම් කියා....

හිරු සදුත් හමුවෙන් නැතේ..
එකම අහසේ පායනා..
ඉතින් දුක් වෙන්නේ කිමද අපි..
දිනක් එයි අප හමුවනා..

රාත්‍රිය මනරම් කියා..

මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලග නැති නිසා..



Wednesday, February 14, 2018

ආදරණීය නපුරා - හයවන කොටස


"මොකක්" එහෙම කියාගෙනම සහන් පුටුවෙන් නැගිට්ටා.

"ඇයි උබ කෑම එක දාලා අවා නේද? සජිනි ගෙනත් දුන්නා ඒක" ගයාන් කිව්වා.

"උබට?" විහග ඇහුවේ පුදුම වෙලා.

"මට නෙවෙයි බන්.ඔෆිස් එකට.මන් එනකොට කෙල්ල ගේට් එක ලග.මන් ඇතුලට එන්නත් කිව්වා.කොහෙද ගමනක් යන්න තියෙනවා කියලා මේක උබට දෙන්න කියලා ගියා" ගයාන් පැහැදිලි කරා.

"උබ කොහොමද සජිනි අදුරන්නේ?"සහන් ඇහුවා.

"ඇයි බන් අපි දැක්කනේ වෙඩින්ග් එකේදී.අනික උබ දන්නවනෙ මට මිනිස්සුන්ගේ මූනූ හොදට මතක හිටිනවා කියලා"

"කෝ දීපන් බලන්න" සුදේශ් බත් එක අතට ගත්තා.

"ඒ පට්ට සුවදයි බන්.උබ නම් මාර ලකී.ඉරිසියත් හිතෙනෝ"සුදේශ් බත් එකේ සුවද බලන ගමන් කිව්වා.

"ඒ ඔව් බන්.මටත් මග දිගටම හිතුනා මූට නොදි කැන්ටින් ගිහින් කන්න."ගයාන් කිව්වේ සුදේශ්ගේ අතේ තිබ්බ කෑම එකට ඉව අල්ලන ගමන්.

" ඉතින් උබ කන්න එපැයි.මොන මගුලකටද මෙහෙ උස්සන් ආවේ?" සහන් කිව්වේ කෙන්තියෙන්.

"උස්සන් ආවේ මේක උබේ ගෑනි ගෙනාපු නිසා.යකෝ උදව් කරම බැනුම් අහන්න වෙන රටක්නේ මේක" ගයාන්ටත් තද වුනා.

"ශෝක් උදව්ව.බලහන් උදේ ඉදන් කරපුවගේ කිසිම වැඩක් නැති වුනානේ." සහන් වාඩි වෙලා ඔලුවේ අත් දෙක තියාගත්තා.

"මොනවද බන් මේ මූ කියවන්නේ?" ගයාන් ඇහුවේ විහගයි සුදේශුයි දිහා බලන්.

"යමන්කෝ යමන්කෝ.උබට පස්සේ විස්තරේ කියන්නම්.දැන් ලොක්ක ආවොත් බැනුම් අහන්න වෙන්නේ"විහග ගයාන්ව ඇදන් කාමරෙන් ගියා.

"ඕන්න ඕක අතෑරලා දාලා වැඩක් කරගනින්.ලන්ච් එකෙදි සෙට් වෙමු" සුදේශ් පුටුවෙන් නැගිටින ගමන් කිව්වා.

"මෙන්න මේක අරන් ගිහින් උබලම කාපන්" සහන් බත් එක පෙන්නලා කිව්වා.

"කාපන් බන් ඕක.සජිනිට දිවැස් නෑ උබ කෑවද නැද්ද දැනගන්න"

"මං එහෙනම් වීසී කරනවා"

"පිස්සුද යකෝ.කෝ දීපන්"සුදේශ් කෑම එක ගත්තා.

"හරි එහෙනම් අපි කැපෙනෝ.පස්සෙ සෙට් වෙමුකෝ"එහෙම කියාගෙන සුදේශ් යන්න ගියා.

සහන්ට මේ වෙච්ච දේ හිතාගන්නත් බෑ.කෑම එක එපා කියලා ආවම සජිනි ඒක අරන් ඇවිත්.දැන් මේක හෙටත් එපා කියලා එන්නත් බෑ.මොකද එහෙම ආවත් සජිනි ආපහු මේ වැඩේම කරන්න ඉඩ තියෙන නිසා.මේකට මොනවම හරි කරන්න ඕනේ කියලා සහන් හිතාගත්තා.

සහන්ට කෑම එක දිලා සජිනි ගියේ ගුණසේන එකට.ගෙදර තනියෙන් ඉන්න එකේ පොත් ටිකක් කියවන්න ඕනේ කියලා හිතලා සජිනි පොත් සෙට් එකක්ම ගත්තා.එ ගමන් හොද ඩීවීඩී ටිකකුත් ගත්තා ගෙදර ගිහින් බලන්න කියලා.ගෙදර ඇවිත් කාලා ටීවී එක ටිකක් බලපු සජිනි ඩීවීඩී එකක් දාගත්තා බලන්න කියලා.

හවස සහන් වැඩ ඇරිල එනකොට 6ට විතර ඇති. සහන් දැක්කා සජිනි ටීවී එකේ මොකක්ද බලනවා.සහන් ආපු සද්දෙට සජිනි හැරිලා බැලුවා.ඊට පස්සේ ටීවී එකත් ඔෆ් කරලා කුස්සියට ගියා.සහන් ගිහින් නාලා එනකොට දැක්කා තේ එකක් මේසේ උඩ තියෙනවා.බොන්නේ නැතුව ඉන්න හදලත් සහන් ඒක බොන්න ගත්තා.සජිනිත් එක්ක මේ දේවල් වලට රණ්ඩු වෙන එකේ තේරුමක් නෑ කියලා සහන් තීරනේ කරේ ඔෆිස් එකේදිමයි.

ඉතින් එදා රෑ කෑම කන්න කතා කරාම සහන් කිසිම කතාවක් නැතුව ගිහින් කෑවා.පහුවදා උදේ සජිනි වෙනදටත් කලින් නැගිටල කෑම හැදුවා සහන් යාවි කියලා.එත් එහෙම වුනේ නෑ.සහන් පරක්කු වෙලා නැගිට්ටෙත්.හෙමීට ලැස්ති වෙලා සජිනි උදේට හදල තිබුනු සැන්ඩ්විචස් එහෙමත් කාලා බත් එකත් අරන් තමයි ගියේ.සජිනිට පුදුමයි මේ වෙනස ගැන.ඒත් සජිනිට එත් එක්කම තේරුනා තවත් වෙනසක්.කලින් මොනවම හරි දෙයක් කතා කරත් ඊයේ හවස ඉදන් සහන් සජිනි අහපූ දේකට වත් උත්තර දුන්නේ නෑ.

සහන් සජිනි එක්ක කතා නොකරේ හිතලමයි.සජිනි එක්ක කතා කරලා හිත අවුල් කරගන්නවට වඩා කතා නොකරම ඉන්න එක හොදයි කියලයි සහන් හිතුවේ.හවස වැඩ ඇරිලා ආවත් සහන් කතා කරන්න ගියේ නෑ.ගොඩක් වෙලවට සහන් හවසට ගෙදර ඇවිල්ලත් හිටියේ ලැප්ටොප් එක දාගෙන කාමරේ.සජිනිත් පාඩුවේ කුස්සියට වෙල සින්දුවකුත් දාගෙන ඉව්වා.පස්සේ දෙන්නත් එක්ක කාලා නිදගන්න කාමර දෙකට යනවා.ඔන්න ඔහොම තමයි දෙන්නගෙ දවස ගත වුනේ.ඔය විදියට සති 2ක් විතරම ගෙවුනා.මේ සති දෙකට මේ දෙන්නා වචන 10කට වඩා කතා කරලා නෑ.

මේක සහන්ට නම් එච්චර ගානක් වුනේ නෑ.එයාගේ කැමැත්තක් තිබුනෙත් නෑනේ සජිනි එක්ක කතා කරන්න.ඒත් මේක සජිනිට නම් සැහෙන්න දැනුනා.දවසට පාරක් අම්මලට කතා කරනවා ඇරෙන්න සජිනිට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ.ඒ විතරක් නෙවෙයි සහන් වීක් එන්ඩ් එකෙත් වැඩ කියලා ඔෆිස් ගියා.ඒ වගේම අනිත් අපාර්ට්මන්ට් වල ඉන්න කවුරුවත් සජිනි දැකල තිබුනෙත් නෑ.දවසම ටීවී එක බලලයි පොත් කියවලයි සජිනිට එපා වෙලා තිබ්බේ.යන්න කියලා තැනක් සජිනි දැනන් හිටියෙත් නෑ.

ඔහොම ඉන්න අතරේ දවසක් සජිනි බඩු ගේන්න ගිය අතරේ දැක්කා අවුරුදු 5ක විතර පොඩි බබෙක් ඉන්නවා අපාර්ට්මන්ට් එක ඉස්සරහ.සජිනි කලින් මෙහේ පොඩි බබාලා ඉන්නවා දැකලා තිබුනේ නෑ.එයාව දැකලා ඒ බබා හිනා වුනා.සජිනි බඩු ටිකත් පැත්තක තියලා බබා ලගින් වාඩි වුනා.

"බබා මෙතන තනියම ඇයි? කෝ අම්මා?" සජිනි ඇහුවේ වටපිට බලන ගමන්.ඇත්තටම බබා හිටියේ තනියම.

"අම්මා උයනවා" බබා හුරතල් විදියට කිව්වා.

"අම්මා කොහෙද උයන්නේ?"

"අම්මා උයන්නේ කුස්සියෙනෙ අනේ.ඔයා එකවත් දන්නේ නැද්ද?" බබා කටත් උල් කරන් කියනකොට සජිනිට හිනා ගියා.

"ඇන්ටිට අමතක වුනා පැටියෝ.ඉතින් අම්මගේ කුස්සිය තියෙන්නෙ කොහෙද?" 

"උඩ තියෙන්නෙ" බබා කිව්වේ පඩිපෙල පෙන්නලා.මේ බබා පඩිපෙලා බැහැගෙන ඇවිත් කියලා සජිනිට තේරුනා.

"බබාගේ නම මොකද්ද?" සජිනි ඇහුවේ බබාගේ කම්මුලකින් අල්ලගෙන.

"සංජු" 

"ශා හරි ලස්සන නමක්නේ.සංජූ පැටියෝ දැන් අම්මා බය වෙලා ඔයාව හොයනවත් ඇති.ඇන්ටි එක්ක යමු අම්මා බලන්න"එහෙම කියලා සජිනි බබාගේ අතින් අල්ලගත්තා.දෙන්නත් එක්ක පඩි නැගල උඩට යනකොට සජිනි දැක්කා එයලාගේ අපාර්ට්මන්ට් එක ලගම අපාර්ට්මන්ට් එකක දොර ඇරල තියෙනවා.ඒ අපාර්ට්මන්ට් එකේ දොර ඇරල තියෙනවා සජිනි කවදාවත් දැකලා තිබ්බේ නෑ.එතකොටම ඒ දොරෙන් සජිනිට වඩා අවුරුදු 5ක් 6ක් විතර වයස ගෑනූ කෙනෙක් එලියට ආවා.සංජූ එයාව දැකලා දුවගෙන ගියා.ඒ ගෑනූ කෙනත් සංජුව වඩාගත්ත විදියට සජිනිට හිතුනේ මේ ඒ බබාගේ අම්මා කියලා.සංජූ එයාව පෙන්නලා මොනවද කියනවා දැකපූ සජිනි හිනා වේගෙනම ඒ ලගට ගියා.

"අනේ නංගී ගොඩාක් තැන්ක්ස් ඔයාට.මෙයා ඉන්නෙම නෑනේ එක තැනක"

"පොඩි අය එහෙම තමයිනේ.මං අක්කව කලින් දැකල නෑනේ"

"මාත් මේ ඕකමයි කියන්න ගියේ.ලගදිද ආවේ? අපි ටික දවසකට ගමේ ගිහින් හිටියේ.අද තමයි ආවේ"

"ඔව් අක්කේ මං ඉන්නේ අර 24 අපාර්ට්මන්ට් එකේ" 

"අහ් ඒකේ හිටියේ පිරිමි ලමයි 3දෙනෙක් නේද?.මාත් එක්ක නම් කතා කරලා නෑ.මගේ හස්බන්ඩ් එක්ක නම් කතා කරනවා මන් හිතන්නේ" 

"ඔව් අක්කේ එහෙ හිටපු සහන්ව තමයි මං මැරි කරේ.ඒ අනිත් අය දැන් වෙන බෝඩිමක.අපි තමයි මෙහේ ඉන්නේ දැන්." සජිනි පැහැදිලි කරා.

"අනේ ශොක්නේ.මාත් හරි පාලුවෙන් හිටියේ කතා කරන්නවත් කෙනෙක් නැතුව.මේ එක නෙවෙයි එන්නකෝ ඇතුලට"

"වෙන වෙලාවක එන්නම් අක්කේ.මන් මේ කඩේ ගිහින් එන ගමන්"

"අනේ මට නංගිගේ නමවත් අහන්න බැරි වුනා.මං තිලිනි" 

"මං සජිනි" 

"ආනේ අපේ බබාගේ නමත් සජිනි.එයාට ගෙදරට කියන්නේ සංජූ" තිලිනි බබාගේ ඔලුව අතගාන ගමන් කිව්වා.

"මටත් ගෙදරට කියන්නේ සංජු කියලා තමයි" සජිනි ලැජ්ජාවෙන් කිව්වා.

"ආනේ එහෙනම් මාත් එහෙම කියන්නද?කමක් නැද්ද?" 

"අනේ කමක් නෑ.එහෙම කියන්න.එහෙනම් මං දැන් යන්නම් අක්කේ.වැඩ වගයක් තියෙනවා " සජිනි කිව්වා

"දූ මේ ඇන්ටිට බායි කියන්න.ඕනේ වෙලාවක එන්න නංගි.මාත් එන්නම්කො වෙලාවක" 

"බායි ඇන්ටී" සංජූ හුරතලේට කිව්වා.සජිනි කිට්ටු වෙලා සංජුගේ කම්මුලට කිස් එකකුත් දුන්නා.

මේ විදියට පටන් ගත්ත සජිනිගෙයි තිලිනිගෙයි යාලුකම කාලෙත් එක්ක ගොඩක් වැඩි වුනා.දෙන්නත් එක්ක එකට කෑම හැදුවා,ෆිල්ම් බැලුවා ශොපින්ග් ගියා.මේ නිසා දැන් ඇත්තටම සජිනි සතුටින් හිටියේ.ඒත් තාමත් සහන් කතා කරන්නේ නැති එක නම් සජිනිට කලින් වගේම දැනුනා.

සහන්ටත් සජිනිගේ වෙනස තේරිලා තිබ්බේ.සජිනිගේ මූන වෙනදට වඩා ගොඩක් එලිය වෙලා කියලා සහන්ට තේරුනා.ඒ විතරක් නෙවෙයි වෙනදට සහන් එනකොට ටීවී බලන සජිනි දැන් සහන්ට  එක කේක් ජාති එහෙම හදල දෙනවා තේ එක්ක කන්න.අනික වැදගත්ම දේ තමයි වෙනදා සහන් කතා නොකරත් මොනවම හරි කියවන සජිනි දැන් සහන් එක්ක කතා කරන්න උත්සහයක්වත් ගත්තේ නැති එක.ඒ වෙනස සහන්ට ගොඩක්ම දැනිලා තිබ්බේ.

සජිනිව මග අරින්න පහුගිය ටිකේම වීක් එන්ඩ් එකේ ඔෆිස් ගියපු සහන් ඒ සතියේ සිකුරාදා වෙනකොට හිටියේ හොදටම මහන්සි වෙලා.ඒ නිසා උදේ වැඩට ගියපු සහන් දවල් 2ට විතර ආපහු ආවා.ගෙට එනකොටම සහන්ට තේරුනා ගෙදර වෙනසක් තියෙනවා කියලා.අමුතුම නිශ්ශබ්දතාවයක් තිබ්බේ.කතා නොකරත් සජිනිගේ මොකක්ම හරි සද්දයක් ඇහෙනවනෙ වෙනදට කියලා සහන් කල්පනා කරා.මොකද ඇත්තටම සජිනි ඉන්නවා නම් එක්කො ටීවී එක දාලා නැත්තම් ලැප්ටොප් එකේ සින්දූ දාලා.එහෙමත් නැත්තම් තනියෙන් හරි සජිනි සින්දු කියනව.

කාමරේට ගිහින් වොශ් එකක් දාගෙන සහන් ඇදේ ඇලවුනා.ඇගේ අමාරුවටත් එක්ක සහන්ට නින්ද ගියා.සහන්ට ඇහැරෙනකොට 4ට විතර ඇති.සහන් කාමරෙන් එලියට ආවේ සජිනි ඇති කියලා.ඒත් තාමත් සජිනිගේ සලකුනක් නෑ.හැමතැනම බලපු සහන් සජිනිගේ කාමරේ ලගට ගියා.කාමරේ දොර ඇරලා තිබ්බේ.කවුරුවත් කාමරේ හිටියේ නෑ.එකට අල්ලලා තිබ්බ බාත් රූම් එකෙත් සජිනි නෑ කියලා දැනගත්තට පස්සේ තමයි සහන්ගේ ඔලුව රත් වුනේ.

සජිනි කඩේ ගියත් යන්නේ උදේ කියලා සහන් දැනගෙන හිටියේ දවසක් සජිනි ෆෝන් එකෙන් අම්මට කියනව ඇහිලා.ඒ කොහොම වුනත් සහන් ලැස්ති වෙලා එලියට බැස්සේ සජිනි ගිය තැනක් බලන්න.එලියට බැහලා සහන් ගියේ සිකුරිටි ලගට.

"අයියේ මගේ වයිෆ් එලියට යනවා දැක්කද?"

"නැනේ සර්.ඇයි නෝනගේ ෆෝන් එක වැඩ කරන්නෙ නැද්ද?" සිකුරිටිගේ කතාවට තමයි සහන්ට මතක් වුනේ එයා ලග සජිනිගේ නම්බර් එකක්වත් නෑ කියලා.

"නෑ නෑ අයියේ මන් බලන්නම්කො" එහෙම කියලා සහන් බයික් එකට නැගලා පිටත් වුනා.පිටත් වුනාට කොහේ යන්නද කියලා සහන්ට තේරුමක් තිබ්බේ නෑ.සහන් කෝකටත් කියලා ෆුඩ් සිටි එකටත් ගිහින් බැලුවා.

දැන් මොකද කරන්නේ කියලා සහන්ට හිතගන්න්වත් බෑ.එයා ලග සජිනිගේ නම්බර් එකක්වත් නෑ.පෙන්නලා දැක්කද අහන්න ෆොටෝ එකක්වත් නෑ.සහන් වැටුනේ හරි අමාරුවකට.ඊටත් වඩා සජිනිට මොනවා හරි වෙලාද කියලත් සහන්ට බයයි.සජිනි කොලබ පුරුදු කෙල්ලෙක් නෙවෙයි කියලා සජිනිගේ අම්මා කිව්වා සහන්ට මතකයි.

පහුගිය ටිකේ සජිනිගේ හැසිරීමත් වෙනස් කියලා සහන්ට මතක් වුනා.මේ ඔක්කොමත් එක්ක සහන් හිටියේ හොදටම බය වෙලා.ඕනේ දෙයක් කියලා සහන් ගෙදරට කතා කරල සජිනිගේ නම්බර් එක ඉල්ලගත්තා.ඒක ඉල්ලන්න හෙතුව නොකිව්වත් සහන්ට අම්මගෙන් හොදට අහගන්න වුනේ වයිෆ්ගේ නම්බර් එකවත් ලග නෑ කියලා.

සහන් දිගින් දිගටම සජිනිට කෝල් කරත් සජිනි ආන්සර් කරේ නෑ.පොලීසියට යන්න කලින් ආයෙත් ගෙදර බලන එක හොදයි කියලා සහන් ගෙදර ආවා.එනගමනුත් සහන්ගේ ඔලුවේ තිබ්බේ සජිනි කොහෙද මේ ගියේ? මොකද වුනේ කියලා . සහන්ගේ එකම බලපොරොත්තුව වුනේ එයා ගෙදර යනකොට සජිනි වෙනදා වගේ ටීවී එක දාගෙන ඉදීවී කියලා.ඒත් සහන් ගෙදර යනකොටත් සජිනි හිටියේ නෑ.සහන් එහෙම්ම පුටුවක් උඩ වාඩි වෙලා ඔලුවේ අත් දෙක ගහගත්තා.මොනවාකරන්නද කියලා සහන්ට හිතාගන්නත් බෑ.

එතකොටම ඇහුනු දොර අරින සද්දයක් නිසා සහන් ඔලුව උස්සලා බැලුවා...

*********************************************************************************

ඊලග කොටසින් හම්බෙමු.....


Tuesday, February 13, 2018

ආදරණීය නපුරා- පස්වන කොටස


පැය 3ක විතර ගමනකින් පස්සේ සජිනියි සහනුයි  ආවා අගනුවරින් ටිකක් ඇතුලට වෙන්න හදල තිබුනු ක්‍රියේටිව් සිටී අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට.සහන් කාලෙක ඉදන් එයාගේ යාලුවෝ 3දෙනෙක් එක්ක නැවතිලා හිටියේ මේ අපාර්ට්මන්ට් එකේ.සහන් බැදලා වයිෆ් එක්ක එනවා කියාපු නිසා යාලුවන්ට සිද්ද වුනා අලුත් බෝඩිමක් හොයාගන්න.

එකේ දෙවෙනි තට්ටුවේ තමයි සහන්ගේ අපාර්ට්මන්ට් එක තිබුනේ.සජිනිට නම් මේක දැකපු ගමන් හිතට අල්ලලා ගියා.සජිනිට හම්බුන  කාමරේ ටිකක් පොඩි වුනත් සජිනි නම් කාමරේට කැමති වුනා.සහන් නම් ඇවිත් ටිකකින් වැඩක් කියලා එලියට ගියා.සජිනිට ඒ නිසා ගේ ඇතුලේ හොදට ඇවිදලා බැලුවා.සජිනිට නම් ගේ ගැන හරි ආස හිතුනා.පොඩි හරි හුරුබුහුටි ගෙයක් කියලා තමයි සජිනිට හිතුනේ.

කොච්චර වුනත් සහන් ගේ පිරිසිදුව තියන් ඉදල තිබුනු නිසා අස් කරන්න කියලා දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. සජිනි එයාගේ ඇදුම් එහෙම අස් කරලා නාගත්තා.කන්න ඕනේ වුනත් ගෙදර කිසිම දෙයක් තිබුනේ නෑ.ඒ නිසා සජිනි ලැස්ති වෙලා එලියට බැස්සා බඩු ටිකක් අරගන්න.වාසනාවකට ඒ ලගම ෆුඩ් සිටී එකක් තිබ්බා.එකෙන් ඕනේ බඩුත් ත්‍රී වීල් එකක දාගෙන එනකොට රෑ වෙන්නත් ලගයි.ගෙට එනකොට සජිනි දැක්කා සහන් ඇවිත් ටීවී දාගෙන බලනවා.

සජිනි බඩු ටික තියලා තේ එකකුත් හදාගෙන ගිහින් සහන් ලගින් තිබ්බා.පස්සේ සජිනි උයන්න ගත්තා.මොනවද හදන්න ඕනේ කියලා සහන්ගෙන් අහන්නත් සජිනිට හිතුනා.ඒත් මොකටද ඔවා අහන්නේ කියලා සජිනි එයාට ඕනේ විදියට උයන්න ගත්තා.අද ඉතින් මේ ගෙදර පලවෙනි දවසනෙ කියලා සජිනි කහබත් අදල පරිප්පු හදල චිකන් හදලා ගත්තා.තව කෝකටත් කියලා සීනි සම්බෝලෙකුත් හැදුවා.හදලා කෑමත් මේසෙන් තියලා සහන්ට කතා කරත් සහන් ආවේ නෑ.

සහන් ඒ මුලු වෙලවේම කරේ ටීවී බලපු එක.කන්න හොදටම බඩගිනි වුනත් කන්න යන්න බෑ කියලමයි සහන්ට හිතුනේ.සජිනි මත යැපෙන්නෙ නෑ කියලයි සහන් හිතන් හිටියේ.ඒ නිසා සජිනි කතා කරනවා ඇහුනත් සහන් ඇහෙන්නෙ නෑ වගේ හිටියා.

සජිනි සහන්ගේ ලගටම ආවා.එතකොට සජිනි දැක්කා දිපූ තේ එකවත් සහන් බීලා නෑ කියලා.

"කෑම කෑස්තියි." සජිනි කිව්වා.සහන් ඒත් ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා.

"ඔයා කන්න එනවද මන් කෑම මෙතනට ගෙන්නද?" සජිනිත් වැඩේ අතාරින පාටක් නෑ.

සහන්ට තාමත් මේ මුකුත් ඇහෙන්නෙ නෑ.ඕනේ දේක සීමවක් තියෙන්න එපැයි.සජිනි හොද හුස්මක් ගත්තා.

"ඔයා කන්න ආවේ නැත්තම් මන් කෑම එකක් බෙදාගෙන ඇවිත් ඔයාට කවනවා" එහෙම කියලා සජිනි හැරෙනකොටම සහන් කතා කරා.

"මොකද මෙහෙම කරදර කරන්නෙ?අපි තීරනේ කරේ අනිත් එක්කෙනාගේ දේවල් හොයන්නේ නෑ කියලා නේද?"

"ඒ මන් ජොබ් එකෙන් අයින් වෙන්න ඉස්සර.ඔයානේ මාව ජොබ් එකෙන් අයින් කෙරෙව්වේ. දැන් මට ඔයාට කන්න උයලා දෙනවට වඩා වෙන වැඩක් නෑ.දැන් කන්න එන්න මන් කෑම එක මෙතනට ගෙන්න කලින්" 

ඒත් සහන් නැගිට්ටෙ නෑ.

"සහන් මේ මට ඔයා වෙනුවෙන් එච්චර ආසාවෙන් කරපු ජොබ් එක අතාරින්න පුලුවන් වුනා නම් ඔයාට කවනවා කියන එක හරිම සිම්පල්.ඒත් මන් ආස නෑ ඔයාට කවන්න .එකයි මේ මෙච්චර කියන්නේ.ඒත් ඉතින් ඔයා ඔච්චරම ආසයි නම් මන් කවනවට මන් කවන්නම්" එහෙම කිය කිය සජිනි කෑම බෙදන්න ගත්තා.මේ මොනවා කිව්වත් සජිනිගේ හිතෙත් බයක් තිබ්බ සහන් එන්නෙ නැති වෙයිද කියලා.පන්ඩිතයා වගේ කිව්වාට මොකද කවන්න වෙයි කියලා සජිනි බයේ හිටියේ.

 සහන් සජිනිට රව රව පුටුවෙන් නැගිටල ආවා කන්න කියලා.කෑම ඇත්තටම රසයි.ඒ වුනාට මේ විදියට සජිනිට පරාද වෙන්න සහන් කැමති නෑ.හෙට ඉදන්  මන් කරන්නම්කො වැඩක් කියලා සහන් හිතාගත්තා.
කෝම හරි කාලා බිලා සහන් නිදාගන්න ගියා.සජිනිත් උයපුවා අස් කරලා නිදාගන්න ගියා.

පහුවදා සජිනිට ඇහැරෙනකොට උදේ 5.30යි.සජිනි මුන හෝදල ඇවිත් උයන්න ගත්තා.ටිකකින් සහන් ලැස්ති වෙලා ආවා.

"ඉන්න මන් ටක් ගාලා කෑම ටික බෙදලා දෙන්නම්" සජිනි සහන් දිහා බලන ගමන් කිව්වා.එතකොට ඉතුරු වෙලා තිබ්බේ කෑම එක බදින්න විතරයි.

"ඕනේ නෑ"

එහෙම කියගෙනම සහන් එලියට ගියා.සජිනි බලන් හිටියේ කරගන්න දෙයක් නැතුව.

සහන් නම් එලියට ආවේ හරි සන්තෝසෙන්.සජිනිව පැරැද්දුවානේ කියලා තමයි ඉතින් මේ සතුට.ඒ වුනාට ඒ සතුට නම් වැඩි වෙලා තිබ්බේ නෑ.උදේම නැගිටල ලෑස්ති වුන නිසා සහන්ට බඩගින්නක් දැනෙන්න ගත්තා.අපරාදේ කාලා එන්නත් තිබ්බ කියලා බඩ කියන්න ගත්තත් සහන් ඒක හිතට ගත්තේ නෑ.උදේ කැන්ටිම ඇරපු ගමන්ම කැන්ටිමට ගිහින් සහන් හොදට කැවා.ඒ කෑම නම් කන්න හරිම අමාරුයි.ඒත් සජිනිගේ කෑම කනවට වඩා මේ කෑම හොදයි කියලා තමයි සහන් හිතුවේ.

7.45 විතර සහන්ගේ ඔෆිස් සෙට් එක එන්න පටන් ගත්තා.

මුලින්ම ආවේ සහන්ගේ ගෙදර  හිටපු රූමෝ දෙන්නෙක්.

"අඩෝ මේ මොකද මනමාලයා උදේම ඔෆිස් ඇවිත්?" විහග සහන්ගේ මේසේ උඩ වාඩි වෙන ගමන් ඇහුවා.

"ගෑනී පැන්නුවද උබව?" සුදෙශ් කතවට එකතු වුනා.

"එයා කොහෙද එහෙම මාව පන්නන්නෙ.මන් අද කෑම එකත් දාලා ගානට පැන ගත්තා.ගෑනිට ෆුල් අවුල් " සහන් හොදට හිනා වෙවි කිව්වා.

විහගයි සුදේශුයි මුනෙන් මූන බලගත්තා.

" මොකද්ද බන් ඒ හරුපේ තේරුම? අපි මෙහෙ මේ කඩ කෑම කකා දුක් විදිනව.මූ ගෙදරින් දෙන්න හදපු කෑම එක දාලා ඇවිත්" විහග කිව්වා .

"ඒකනේ බන්.ඒ මදිවට මූ හිනාවෙනවා.ඇත්ත කියපන්.මොකද්ද මේ සීන් එක?" සුදෙශ් ඇහුවේ සහන් ඉස්සරහ පුටුවේ වාඩි වෙන ගමන්.විහගත් එහා පුටුවෙන් වාඩි වුනේ මේක හරියටම දැන ගන්න.

"මන් උදේ පාන්දරම නැගිටලා කෑම එපා කියලා ගෙදරින් පැන්නා.බලන්න තිබ්බේ එතකොට මූන" සහන් කිව්වේ පුටුවෙ කැරකි කැරකි.

"මට නම් මුගේ මේ හැසිරීම අල්ලන්නෙ නෑ" විහග කිව්වේ සුදෙශ් දිහා බලන්.

"ඔව් බන්.මූ හැසිරෙන්නෙ කෑම එකක් ගෙනාපු එකෙක් හැසිරෙන්න ඕනේ විදියට.ඒත් මු ගෙනාවෙත් නැතිලූ" 

"හරි හිටපන්කෝ මන් කියන්න" එහෙම කියපු සහන් ගිහින් කාමරේ දොරත් වහලා ආවා.විහගයි සුදෙශුයිත් පුටුත් ලන් කරන් කතාව අහන්න ලැස්ති වුනා.

"මචන්ලා ඊයේ රෑ මාර සීන් එකක් වුනේ.මන් හිතුවෙවත් නෑ එහෙම වෙයි කියලා."සහන් පටන් ගත්තා. 

"සජිනි ඉන්නේ"

"ඔව් ඉතින්" සුදෙශ් හූමිටි තිබ්බා.සහන් තව ටිකක් මෙසේ ලගට කිට්ටු වුනා.

"ඊයේ රෑ සජිනි මට කෑම උයල දුන්නනේ" සහන් හෙමීට ලන් වෙල කිව්වා..

ටික වෙලාවක් සහන්ගේ මූන දිහා බලන් හිටපු විහගයි සුදේශුයි එක පාරටම හිනා වෙන්න ගත්තා.දෙන්නා බඩ අල්ලගෙන හිනා වෙනවා.හිනාව වැඩි වෙලා විහගට කැස්සකුත් හැදුනා.සහන් මේ ඔක්කොම බලන් හිටියේ පුදුම වෙලා වගේ.

"මොකද බන් හිනා වෙන්නෙ? " සහන් ඇහුවේ බැරිම තැන.

"යකෝ උබ මේ මොනවද කියවන්නේ?" සුදෙශ් ඇහුවේ පුටුවේ දිගා වෙන ගමන්.

"ඇයි?" 

"ඕකද වුනා කියපු මාර සීන් එක.ඇයි බන් සජිනි උබට කැම උයලා දෙන්නෙ නැතුව අපට උයලා දෙන්නද?"

විහග තාම කහිනවා.සහන් වතුර බෝතලේ අරන් විහගට දුන්නා.

"එහෙම නෙවෙයි බන්.අපි කතා වුනේ පාඩුවේ ඉන්නවා කියලානේ.ඉතින් එහෙම එකෙ උයාවි කියලා මන් හිතුවේ නෑ" 

"හරි දැන් කෑම කොහොමද? රසයිද?" විහග ඇහුවා.

"කෑම නම් නියමයි බන්.මාර රසයි"

"එහෙනම් මොකද්ද බන් ප්‍රශ්නේ? දැන් සජිනි ඉව්වේ එයාගෙම කැමැත්තෙන්ද? නැත්තම් උබ කිව්වාද උයන්න කියලා" සුදෙශ් කිව්වා 

"එයා ඉව්වේ.මන් කන්න බෑම කිව්වා.උබ දන්නවද ඒපාර ඒකි මොකද කිව්වේ කියලා" සහන් ආයෙත් මෙසේ උඩින් විහගලා ලගට කිට්ටු වුනා.

"මොකද්ද?" 

"කෑවේ නැත්තම් කවනවා කිව්වා" සහන් කිව්වේ බය වෙලා වගේ.

"අප්පටසිරි" විහගට කියවුනා.

"ඉතින් කැව්වද?" සුදෙශ් හෙමීට ලන් වෙලා ඇහුවා.

"පිස්සුද බන්? "

"හරි අපරාදේ" විහග සුදෙශ් දිහා බලලා කිව්වා.

"මොකද්ද?"

"නෑ නෑ හරි හරි දැන් එතකොට අද උදේ උබ කෑම එපා කියලා අවා?" විහග හොදට පුටුවෙ වාඩි වෙන ගමන් ඇහුවා.

"ඔව්...එතකොට ගැනී බරටම උයන්නත් අරගෙන. කොහොමද මගේ වැඩේ? එලනේ ? " සහන් ඇහුවේ ඔලුව පිටිපස්සේ අත් තියන් පුටුවට හේත්තු වෙන ගමන්.

"කැත වැඩ කරන්න එපා බන්" විහග කිව්වේ සහන්ට රවන ගමන්.

"පව් බන්.උදෙම නැගිටල උයන එක සෙල්ලමක් කියල හිතුවද?" සුදෙශුත් එකතු වුනා.

"ඉතින් මොකටද බන් උයන්නේ? මන් කිව්වද උයන්න කියලා.එයා විහින් කරන එවට මන් මොකක් කරන්නද?"

"ඒ කොහොම හරි උබට තිබ්බා ඒ කෑම එක අරන් එන්න.උබට බැරි නම් අපි හරි කනවනෙ.නැද්ද විහගයා?" 

"අනිවා මචන්.ගෙදර කෑම එකක් කන්න මග බල බල ඉන්නේ.උබ ඒකත් නැති කරා"

"ඒ වුනාට..." සහන්ට කතාව ඉවර කරන්න වුනේ නෑ.

"ගුඩ් මෝර්නිග් ගායිස්" කියාගෙන සහන්ගේ ගෙදර හිටපු අනිත් රූමා ගයාන් කාමරේට ඇතුල් වුනා.

"ඒ උබ දැන්ද එන්නේ? කෙල්ල හම්බුනාද?" විහග ගයාන්ගෙන් එහෙම ඇහුවේ ගයාන් හැමදාම උදෙට  එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් බලන්න යන නිසා.

"ඔව් බන්.ආ මෙන්න මේක උබට" ගයාන් බෑග් එකෙන් පාර්සල් එකක් එලියට ගන්න ගමන් කිව්වා.

"ඒ මොකද්ද?" විහග ඇහුවා.

"අඩෝ කැත වැඩ කරන්න එපා.උට දෙනව නම් අපටත් දීපිය" සුදේශ් ඒ අස්සේ  කැගහන්න ගත්තා.

"යකෝ උබලා බැදල නෑනේ තාම.බැන්ද කාලෙක හම්බෙයි" ගයාන් එතන මේසේ උඩින් වාඩි වෙන ගමන් කිව්වා.

"ඈ බන් බැන්දම එහෙම තැගිත් හම්බෙනවද?"විහග සහන් දිහා බලන් ඇහුවා.සහන් ඒ අස්සේ අර පාර්සල් එක අතට ගත්තා.ඒක රස්නෙයි.

"මොකද්ද බන් මේ? "සහන් ඇහුවා.

"උබේ කෑම එක බන්.සජිනි ගෙනාවේ " ගයාන් කිව්වා.

"මොකක්" සහන් එහෙම්ම පුටුවෙන් නැගිට්ටා" 

*********************************************************************************

ඊලග කොටසින් හම්බෙමු....