Saturday, March 23, 2019

මන්දාරම් අහස යට - හතලිස් පස් වන කොටස


කොහොම හරි මේ ඔයාගේ ජරමරේ නිසා අමාරුවේ වැටුනේ ආදි තමයි නේද?" මේධාවි දීපු පලතුරු යුශ එකත් බොන ගමන් දේදුණු කියද්දි අසේලි ගැස්සිලා දේදුණු දිහා බැලුවා.

"ඇයි ඔයා එහෙම කියන්නේ?" අසේලි ඇහුවේ වෙව්ලන කටහඩින්.

"නෑ ඉතින් බලන්නකෝ ආදි ට වෙලා තියෙන දේ? කතා කරන්නෙවත් නෑනේ" දේදුණු කියාගෙන යද්දි අසේලි වගේම මේධාවිත් බලාගෙන හිටියේ පුදුමයෙන්.ආදිත්‍ය ඉස්පිරිතාලේ කියලා මිසක් මේ වගේ තත්වයක් ගැන මේධාවි වුනත් දැනගෙන හිටියේ නෑ.

"ඒ....ඒ කියන්නේ? ආදිත්‍ය ඩිස්චාර්ජ් කරලා නැද්ද?" අසේලි කලබලයෙන් ඇහුවේ මේධාවි දිහාත් බලන ගමන්.

"හෙට ඩිස්චාර්ජ් කරනවා ඕස්ට්‍රේලියා ගෙනියන්න"

"ඇ...ඇයි ඒ? එහේ ගෙනියන්නේ"

"අයියෝ අසේලි මහ ලොකුවට ආදි ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වට ඔයා කිසි දෙයක් දන්නේ නෑනේ"

"මොනවද මේ කියන්නේ ඔයා? කියන දෙයක් කෙලින් කියන්න" මේධාවි අහද්දි දේදුණු මේධාවි දිහා බැලුවා.

"ඔයාලා මේ කියන්නේ ඔයාලා ආදි ගේ තත්වේ ගැන දන්නේ නෑ කියලද?" ඒ සැරේ නම් දේදුණු ඇහුවේ ටිකක් පුදුමෙන්.

"නෑ...ආදිත්‍යට මොකක්ද වෙලා තියෙන්නේ?" අසේලි ඇහුවේ කලබලෙන්.

"ආදි ට බ්‍රේන් ඩැමේජ් එකක් වෙලා එදා වැදුනු පාරෙන්.එයාට සිහිය තිබ්බත් කතා කරන්න ඇවිදින්න බෑ" දේදුණු කියන දේ අසේලි අහගෙන හිටියේ හීනෙන් වගේ.

"එහෙනම් ඩිස්චාර්ජ් කරන්නේ?" මේධාවි ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉන්න අසේලි දිහා බලන ගමන්මයි.

"මෙහේ ට්‍රීට් කරන්න බැරිලු ආදි ට.ඒකයි ඕස්ට්‍රේලියා ගෙනියන්නේ"

"එයාට...එයාට...ගොඩක් අමාරුද?" අසේලි ඇහුවේ අමාරුවෙන්.අසේලිගේ රතු වුනු ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටපු දේදුණු කතා කරා.

"හ්ම්ම්...ICU ඉන්නේ" දේදුණු එහෙම කියනවත් එක්කම දේදුණු ගේ දුරකථනය නාද වුනා.

"හෙලෝ..." දේදුණු දුරකථනයට පිළිතුරු දෙන ගමන්ම ජනේලය ලගට ගියා.

ඇස් වලින් බේරුනු කදුලක් අසේලිගේ කම්මුල දිගේ බේරෙද්දි අසේලි ඔලුව පහළට හරව ගත්තා.

"අක්කා..." මේධාවි අසේලිගේ උරහිසට අත තිබ්බේ කණගාටුවෙන්.

"නෙත්මි...අපි යමුද?" දේදුණු ගේ කටහඩ ඇහෙද්දිම අසේලි කලබලයෙන් කදුලු පිහිදගන්න ගමන් දේදුණු දිහා බැලුවා.

"අපි ගිහින් එන්නම් අසේලි." දේදුණු කියද්දි අසේලි අමාරුවෙන් හිනා වුනා.

"තැන්ක් යූ ආවාට" අසේලි කියද්දි දොර ලගටම ගියපු දේදුණු හැරිලා බැලුවේ පුදුමෙන්.

දොරෙන් එලියට ඇවිල්ලත් දේදුණු ආයෙත් වැහුනු දොර දිහා බැලුවා.

"පුදුම කෙල්ලෙක්නේ..මං මෙච්චර ඒවා කියලත් මට තැන්ක් යූ කියන්නේ" දේදුණු තමන්ටම කියාගත්තේ පුදුමෙන්

"පුදුමයි නේන්නම්.ඔයත් මොනවද ඒ කිව්වේ? ඔයාට අදාල නෑනේ ඒවා" නෙත්මි කියද්දි දේදුණු නෙත්මි දිහා බැලුවා.

"ඔව්...ඒත් එයාව ආදි ට ගැලපෙන්නේ නෑ කියලා එයා තේරුම් ගන්න ඕනනේ"

"අනේ මං දන්නේ නෑ මේ හතර බීරී කතා.යමු යන්න" නෙත්මි කිව්වේ දේදුණු ගේ අතින් අදින ගමන්.

දේදුණු එතනින් පිටත් වෙද්දි කාමරේ ඇතුලේ හිටපු අසේලි මේධාවිට තුරුල් වෙලා අඩන්න ගත්තා.

"අනේ අක්කා...අඩන්න එපා.කවුද දන්නේ එයා කිව්වේ ඇත්තමද කියලා" මේධාවිට අසේලිව සනසන්න කියන්න පුලුවන් වුනේ එච්චරයි.මේධාවිගේ තුරුලෙන් ඔලුව ගත්ත අසේලි මේධාවි දිහා බැලුවා.ඇස් රතු වෙලා කදුලු වලින් පෙගිලා තිබ්බ අසේලිගේ මූණ මේධාවි අතගෑවේ දුකෙන්.

"මගේ ෆෝන් එක කෝ" අසේලි ඇහුවේ කදුලු අතරින්මයි.

"මගේ බෑග් එකේ.ඇයි?"

"දෙන්නකෝ" අසේලි කියද්දි මේධාවි ගිහින් බෑග් එකෙන් දුරකථනය අරන් ආවා.අසේලි දුරකථනයෙන් ආදිත්‍යගේ අංකය ඇමතුවේ හදවත ගැහෙද්දිමයි.

'අනේ....ආදිත්‍ය...බොරු නේද මේ දේදුණු කිව්වේ.ඔයා හොදින් නේද? අනේ ගන්නකෝ ෆෝන් එක' දේදුණු හිතුවේ කම්මුල් දිගේ කදුලු බේරිලා යද්දි.

"හෙලෝ..." දුරකථනයෙන් එක පාරටම ගෑනු කෙනෙක්ගේ කටහඩක් ඇහෙද්දි අසේලි කලබල වුනා.

"හෙලෝ..." අසේලි කිව්වේ හෙමීට.

"හෙලෝ...කවුද මේ කතා කරන්නේ?" ඒ ගෑනු කටහඩ ආයෙත් ඇහුවා.

"මේ...ආදිත්‍යගේ ෆෝන් එක නේද? ආදිත්‍ය ඉන්නවද?" අසේලි ඇහුවේ චකිතයකින්.

"මේ කවුද කතා කරන්නේ?"

"මං..මේ..මේ.." අසේලිට වචන පැටලුනේ ඒ කටහඩේ තියුණු බව නිසාමයි.

"අහ්...මේ අසේලිද?" ඒ ගෑනු කෙනා ආයෙත් අහද්දි අසේලි ගොලු වුනා.

'නම්බර් එක සේව් කරලානේ ඇත්තේ."අසේලිගේ හිත කිව්වා

"ඔව්ව්.." අසේලි අමාරුවෙන් කියාගත්තා.

"ආ...මං මේ කතා කරනකම් බලන් හිටියේ.දැන්ද මතක් වුනේ හොයලා බලන්න" ඒ ගෑනු කටහඩ සැරෙන් කියද්දි අසේලි තවත් පුදුම වුනා.

"මං මං මේ..." අසේලි කිව්වේ වෙව්ලන කටහඩින්.

"මං මං මේ මොකක්ද? මගේ දරුවට හෙන ගෙඩියක් පාත් කරවලා දැන් කතා කරන්නේ මොකටද? මොනවා කරගන්නද? මේ මං ආයෙත් කියන්නේ නෑ.ආපහු ආදි ට කතා කරලා මං නරකයි කියන්න එපා" මේ කියපු දේ වලින් කතා කරන්නේ ආදිත්‍යගේ අම්මා කියලා තේරුම් ගන්න අසේලිට අමාරු වුනේ නෑ.

"අනේ...ඇන්ටි...මං මේ කතා කරේ..." අසේලි ආයෙත් කතා කරන්න උත්සහ කරේ ඇඩුම් හඩ මැද්දෙමයි.

"මොකෝ ඒපාර අඩනවද? මේ ඇඩුවා කියලා රැවටෙන්න මං ආදි නෙවෙයි.ආයේ එහෙම මේ ෆෝන් එකට කතා කරනවා නෙවෙයි" ඒ සැරේ නම් අසේලිගේ ඇඩුම් හඩ දුරකථනය දිගේ ප්‍රියංකාට ඇහෙන්න ගත්තා.ඒ ඇඩුම් හඩට ප්‍රියංකාට අසේලි ගැන අනුකම්පාවක් ඇති වුනත් ප්‍රියංකා බුරුලක් පෙන්නුවේ නෑ.

"ආදි...ආදි...ට කොහොමද?" අසේලි ඇහුවේ අඩන ගමන්මයි.

"අපි එයාව හෙට ඕස්ට්‍රේලියා ගෙනියනවා.ආයේ මගේ දරුවට කිට්ටු වෙන්න හදන්න එපා.මේ කරපු ටික හොදටම ඇති.පිංසිද්ද වෙයි මගේ දරුවට පාඩුවේ සනීප වෙන්න දෙන්න" ප්‍රියංකා එහෙම කියද්දි ඒ කටහඩේ තිබ්බ වේදනාව අදුරගන්න අසේලිට අමාරු වුනේ නෑ.

"නෑ මං ආයේ කතා කරන්නේ නෑ.පරිස්සමෙන් ආදිත්‍යව බලාගන්න" ඒ ටික කියපු අසේලි දුරකථනය විසන්ධි කරේ මේධාවි පුදුමෙන් බලන් ඉද්දි.

දුරකථනය විසන්ධි කරපු අසේලි දුරකථනය මේධාවි අතට දුන්නා.

"ඇයි අක්කා? කවුද කතා කරේ?" මේධාවි ඇහුවේ කුතුහලයෙන්.ඒත් අසේලි ජනේලෙන් එලිය බලාගෙන හිටියා මිසක් මේධාවිට උත්තරයක් දුන්නේ නෑ.

"අනේ අක්කේ කියනවකෝ...මොකද වුනේ" මේධාවි ඒ සැරේ ඇහුවේ අසේලිගේ උරහිසත් හොල්ලන ගමන්.

"එයාගේ අම්මා කතා කරේ" අසේලි කිව්වේ මේධාවි දිහා බලන්නෙවත් නැතුව.

"ඉතින්? "

"මං....මං නිසාලු මේක වුනේ.ආයේ කතා කරන්න එපා කිව්වා" එහෙම කියද්දි අසේලිගේ හඩ බිදිලා ගියා.කම්මුල් දිගේ කදුලු බේරෙන්න ගත්තත් අසේලි ඒ කදුලු පිහිදගන්නවත් උනන්දු වුනේ නෑ.දිගටම ජනේලෙන් එලිය බලන් ඉන්න අසේලි දැකලා මේධාවිටත් දැනුනේ ලොකු දුකක්.

"අක්කා...ඒත් ඔයා නිසා නෙවෙයි මේක වුනේ.ඔයා ඒක දන්නවනේ" මේධාවි උත්සහ කරේ අසේලිගේ හිත හදන්න.ඒත් තමන්ගේ හිතින්ම සැරින් සැරේ කෑගහන හඩ අසේලිට ඇහෙන්න වුනා.

'ඔව් ආදිත්‍ය ගේ අම්මා කියපු දේ ඇත්ත.උඹ තමයි ආදිත්‍ය ට මේ දේ කරේ' අසේලිගේ හිත අසේලිට දොස් කියන්න පටන් අරගෙනයි තිබුනේ.

"අක්කේ...කතා කරන්නකෝ අනේ.අඩන්න ඕනේ නම් අඩන්න.අඩලා හිතේ දුක නැති කරගන්න. ඔයා ඔහොම ඉන්නකොට මට බය හිතෙනවා" මේධාවි කියද්දි අසේලි මේධාවි දිහා බැලුවා.

" මට අඩන්නවත් අයිතියක් තියෙනවද මං දන්නේ නෑ නංගි.මේක මගේ වැරැද්ද.සම්පුර්ණයෙන්ම මගේ වැරැද්ද.ඉතින් මගේ වැරැද්දට මං වන්දි ගෙවන්න ඕනේ.මං අඩන්නේ නෑ.අඩලා දුක නැති කරගන්නේ නෑ මං.මගේ ආදිත්‍යට හොද වෙනකම් මේ දුක මගේ හිතේ තිබුනාවේ.මං අඩන්නේ නෑ.මේ දුක දරාගෙන ඉන්නවා මං.ඒක නැති වෙන්නවත් අඩු වෙන්නවත් ඉඩ දෙන්නේ නෑ මං" අසේලි එහෙම කිව්වේ කම්මුල් දිගේ බේරුනු කදුලු පිහිදගන්න ගමන්.

ඒත් එක්කම ඇහුනේ දොරට තට්ටු කරන හඩක්.මේධාවි දොර ලගට ගියේ දොර අරින්න හිතාගෙන.ඒ ඇවිත් තිබුනේ විහාරායි අවිශ්කයි.

"ආ..එන්න අක්කා" මේධාවි විහාරාව පිළිගත්තා.

"ආ...මේ නැගිටලා තියෙන්නේ" විහාරා කාමරේට ආවේම ඇද උඩ වාඩි වෙලා ඉන්න අසේලි දිහා බලාගෙන.අසේලි යාන්තමට විහාරා දිහා බලලා ආයෙමත් ජනේලෙන් එලිය බලාගත්තා.

"මොකෝ අර" විහාරා ඇහුවේ මේධාවිගෙන්

"මේ අර ආදිත්‍ය අයියාව ඕස්ට්‍රේලියා ගෙනියනවලු නේද?" මේධාවි රහසින් වගේ ඇහුවත් ඒක අවිශ්කටත් ඇහුනා.

"ඔව් හෙට රෑට.අසේලි එක දන්නවද?" අවිශ්ක අහද්දි මේධාවි අවිශ්ක දිහා බැලුවේ කුතුහලයෙන්.

"මේ ආදිත්‍යගේ අයියා කෙනෙක්.අසේලි ඒක දන්නවද? මාත් දැන් දැනගත්තේ විස්තරේ"

"ඔව් දන්නවා" මේධාවි කිව්වේ කණගාටුවෙන්.

"ඇඩුවද?" විහාරා ඇහුවේ අසේලි දිහාත් බලන ගමන්.

"ටිකක් ඇඩුවා.ඒත් එච්චරයිනේ.ඔයා දන්නවනේ අක්කේ මෙයාගේ මුරණ්ඩුකම.දැන් ඉතින් අපි එක්ක කතා නොකර ඉදිවි අපෙන් පලිගන්න වගේ.දැන් මං නම් අඩුගානේ හේතුවක්වත් දන්නවා.අම්මලා මොනවා හිතාවිද" මේධාවි කියද්දි විහාරාත් සුසුමක් හෙලුවා.

"මං කතා කරලා බලන්නද?"

"අනේ හා අක්කේ.බලන්නකෝ.මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.ඔයා ආපු එකත් හොදයි" මේධාවි කිව්වේ පුටුව උඩ තිබ්බ බෑග් එක අතට ගන්න ගමන්.මේධාවි පිටත් වෙලා ගියාට පස්සේ විහාරා අසේලි ලගට කිට්ටු වුනා.

"අසේලි....සුදූ...." විහාරා කිව්වේ අසේලිගේ කරට අතක් දාගන්න ගමන්.

"මේ ආදිත්‍යට ඒ තරම්ම අමාරුවක් නෑ අනේ.ඕස්ට්‍රේලියා ගෙනියන්නේ එයාගේ අම්මලාත් එහේ නිසානේ" අසේලිගෙන් සද්දයක් නැති තැන විහාරා ආයෙමත් කිව්වා.

"ඔව් අසේලි මිනිහා හොදට ඉන්නවා.බය වෙන්න දෙයක් නෑ.හොද වුනු ගමන් ඒවි ලංකාවට" අවිශ්කත් හොදට හිනා වෙලා කියද්දි අසේලි අවිශ්ක දිහා බැලුවා.

" අවිශ්ක මට උදව්වක් කරනවද?" අසේලි අහද්දි අවිශ්ක ඔලුව වැනුවා.

"මොකක්ද?"

"ආදිත්‍යයි මායි ගත්ත ෆොටෝ වගයක් තියෙනවා ආදිත්‍ය ගේ ෆෝන් එකේ.මට ඒවා එවන්න පුලුවන්ද? ෆොටෝ එකක්වත් නෑනේ මං ලග" එහෙම කියද්දිම අසේලිට ඉකි ගැහුනා.

"ශ්....ශ්...ශ්...අඩන්න සුදු අඩන්න...ඇති වෙන්න අඩන්න" විහාරා කිව්වේ අසේලිව තුරුල් කරගන්න ගමන්මයි

"නෑ...නෑ මං අඩන්නේ නෑ...මං අඩන්නේ නෑ" අසේලි ඔලුව ඉස්සුවේ එහෙම කියන ගමන්මයි.රතු වුනු ඇස් වලින් කදුලු වලින් පෙගුනු මූණෙන් ඒ හිතේ වේදනාව අවිශ්කටයි විහාරාටයි හොදටම පෙනුනා.

"මේ ඒක නෙවෙයි.හෙට නේද නඩුව?" අවිශ්ක ඇහුවේ කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන.

"ඔව්නේ...ඔයා යනවද අසේලි" විහාරා අහද්දි අසේලි ඔලුව වැනුවා.

" ඔව්...යනවා"

"මාත් එන්නද තනියට?" විහාරා අහද්දි අසේලි යන්තමට හිනා වුනා.

"එපා...අම්මලා යනවනේ"

"හ්ම්ම්...මේ අසේලි අපි එහෙනම් යන්නද? මට අද කලින් ගෙදර යන්න ඕනේ.අද ගෙදර බණ අපේ ආච්චිගේ.අද ඔයත් ගෙදර යනවනේ නේද?පුලුවන් නම් එන්න බණට" විහාරා කිව්වේ අත් ඔර්ලෝසුවෙන් වෙලාව බලන ගමන්.

"බලමු..."

"හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න හොදේ" විහාරා කිව්වේ අවිශ්කත් එක්ක කාමරෙන් පිට වෙන ගමන්.

විහාරාලා යන දිහා බලන් හිටපු අසේලි ආයෙමත් ජනේලෙන් එලිය බලාගත්තා.

"ඉක්මනට සනීප වෙන්න ආදිත්‍ය...අවිශ්ක කිව්වා වගේ සනීප වෙලා ආයෙත් එන්න ලංකාවට.මං බලන් ඉන්නවා.කවදා හරි ඔයා එනකම්" අසේලි තමන්ටම කියාගත්තේ ඇස් වල කදුලු පිරෙද්දි.

***************************************
කතාවේ අන්තිම කොටස් ටික යන්නේ.ඒ වගේ පාසල් වාරෙත් අන්තිම මාසේ යන්නේ.ඒ නිසයි මේ තරම්ම කාර්‍යබහුල වෙලා තියෙන්නේ.පොඩි ඉස්කෝලෙක උගන්නන එකේ අමාරුව දැනගන්න ඒ ඉස්කෝලෙක වැඩ කරන්නම වෙනවා.

ඉක්මනින් හම්බෙමු.
ආදරෙන් ඉන්න ❤️

1 comment: