Monday, May 7, 2018

ආදරණීය නපුරා - අටවන කොටස




"මොකක්ද ඔයා කිව්වේ?" සජිනිට විශ්වාස නෑ මේ ඇහුන එක හරිද කියලා 

"කිව්වේ තමුසේ මාව අල්ලගන්න යන්න තියෙන පහළම තැනටත් යන්න හදන්නේ කියලා" 

"මේ සහන් කට පරිස්සම් කරන් කතා කරන්න"

"ඇයි අහන් ඉන්න අමාරුයිද ඇත්ත කියනකොට.තමුසේ මේක හොදට මතක තියාගන්නවා" සහන් එහෙම කිය කියම  හෙමින් හෙමින් සජිනි දිහා බලාගෙනම සජිනිට ලං වුනා.සහන්ගේ ඇස් රතු වෙලා.තරහටම සහන්ට දත් මිටි කැවෙනවා.

සජිනිට අඩියක් විතර දුරින් නැවතුන සහන් සජිනිගේ මූණටම එබුනා.

"තමුසෙට කවදාවත්ම මාව හම්බෙන්නේ නෑ.මං ආදරේ නදිනිට.ඒක කවදාවත්ම වෙනසක් වෙන්නේ නෑ.අන්න ඒක හොදට ඔය ඔලුවට දාගන්නවා" සජිනිගේ ඔලුවට ඇගිල්ලෙනුත් ඇනලා කියපු සහන් එහෙම්ම හැරිලා කුස්සියෙන් එලියට ගියා.

සජිනිට දැනුනේ හරි අසරණකමක්.සහන් ඒ කියලා ගියේ මොනවද කියලා සජිනිට තේරෙන්නත් ටිකක් වෙලා ගියා .එයා බය වෙලා හිටියේ.පවුලේ එකම දරුවා විදියට හුරතල් වෙලා හැදුනු සජිනි කවදාවත් මෙහෙම කාගෙන්වත් බැනුම් අහලා තිබ්බේ නෑ.

ටිකක් වෙලා එහෙම්ම හිටපු සජිනි කාමරේට ගියා.ඇදෙන් වාඩි වුන සජිනිට ඉබේටම වගේ ඉකි ගැහුනා.සහන්ගෙන් මෙහෙම දරුණු ප්‍රකාශයක් සජිනි කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ.සජිනි එහෙම්ම ඇද උඩට වැටුනා.

මේ අතරේ සහන් හිටියේ එයාගේ කාමරේ බැල්කනි එකේ  .ටයි එකත් බාගෙට ගලවගත්ත සහන් තාමත් කේන්තියෙන් පුපුරනවා.සජිනි අහිංසක තාලේට ඉදලා එයාගේ අම්මව රවට්ටගත්ත විදිය ගැන සහන්ට හරිම පුදුමයි.ඒ අතරේ සහන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.සහන්ට ඒවා ගැන සිහියක් නෑ.ඒත් කිහිප සැරයක් රින්ග් වෙනකොට සහන් ෆෝන් එක අතට ගත්තා.ඒ සහන්ගේ අම්මා.

"ඇයි" සහන් අම්මාගෙන් ඇහුවේ හලෝ කියන්නෙවත් නැතුව 

"මොකද මේ තරහ ගිහින්? හම්බුනාද මං එවපු තෑග්ග?" 

"මොකක්ද?" සහන් කතා කරන්නෙම හරහට 

"ඇයි දරුවෝ මං එව්වේ ඔයාලට හනිමුන් පැකේජ් එකක් නුවර එලියේ.හම්බුනේ නැද්ද?"

"හ්ම්ම් හම්බුනා" අම්මා මේ දේවල් දැනගන්නවට සහන් කැමති වුනේ නෑ.ඒකත් ඒ දෙන්නා කසාද බදිනකොටම කතා කරගත්ත දෙයක්.ඒ දෙන්නා අතර වෙන දේවල් ගෙවල් වලින් දැන ගන්න ඕනේ නෑ කියලා.

"සජිනිට කිව්වද?" 

එයාට මොනවා කියන්නද එයාට ඕනේ වෙලානේ මේ අම්මට කියලා මේක කරගන්න ඇත්තේ.එහෙම හිතුවට සහන් ඒක අම්මට කිව්වේ නෑ .

"තාම නෑ " සහන් කිව්වේ ඕනවට එපාවට 

"තාම කිව්වෙ නැද්ද? කියන්න එයාට."

"අම්මේ, මට මේ දවස් වල හරියට වැඩ.ඔහොම ගමන් යන්න වෙලාවක් නෑ"

"එහෙම කියලා කොහොමද? ඔයාගේ මුරණ්ඩුකමට වෙඩින්ග් එක ඉවර වුන ගමන් ඔහෙට ආවා.නෑ ගෙවල් වල ගියෙත් නෑ.දැන් මේකත් බෑ කියනවා" 

"බෑ නෙවෙයි අම්මේ,මේ වෙලාවේ අමාරුයි.ඕක කොයි වෙලාවේ බැරිද?"

"මේ පුතා,ඔයා දැන් බැදලා,මේක සෙල්ලමක් නෙවෙයි,ඒ දරුවගේ ජිවිතේ ඔයාට බත් තම්බ තම්බ ඉදලා ගෙවෙන්න බෑනේ" අම්මටත් දැන් සහන් එක්ක තරහයි.

"මං කිව්වද එයාට මට බත් තම්බන්න කියලා" සහන් මිමිණුවා.

"මොකක්ද කිව්වේ"

"නෑ නෑ මුකුත් නෑ"කොච්චර වුනත් සහන් අම්මට බයයි 

"මං ආය නොකිව්වා කියන්න එපා.මේ ගමන යන්නම ඕනේ.ඒ දරුවා ඉවසීමෙන් ඉන්න හොදට හැදිච්ච දරුවෙක් නිසා හොදයි.නැත්තම් මෙහෙම ඉවසගෙන ඉදිවීද ඔයාගේ මේ මුරණ්ඩුකම්.හෙට උදේම පිටත් වෙන්න.මං උදෙට කතා කරන්නම්" 

"හ්ම්ම්..."

"ඒ ගිහින් වත් ඒ දරුවට ආදරෙන් ඉන්න බලනවා"

"හ්ම්ම්.."

"හ්ම්ම් නෙවෙයි තේරුනාද"

"ඔව් ඔව් අම්මේ තේරුනා.මං තියන්නද? නාන්න ඕනේ."

"හරි පුතේ එහෙනම් සජිනිවත් මතක් කරා කියන්නකෝ.බුදුසරණයි "

"බුදුසරණයි" සහන් එහෙම කියලා කෝල් එක කට් කරා.

මේ ගැනී අපේ අම්මාව අල්ලගෙන තියෙන හැටි.හිතේ ඇති මාත් ඒ වගේ අල්ලගන්න පුලුවන් වේවි කියලා.සහන් කාමරේ පුරා එහේ මෙහේ ඇවිද්දේ හිතේ තරහටමයි.

ටිකකින් නාලා එලියට ආපු සහන් සජිනිව හෙව්වේ හෙට උදේම යනවා කියන්න.ඒත් සජිනි පේන්න කොහේවත් හිටියේ නෑ.සහන් හෙමීට සජිනිගේ කාමරේට ඔලුව දැම්මා.

අඩලා අඩලා හෙම්බත් වෙච්ච සජිනි කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන හිටියා.අඩපු නිසා සජිනිගේ මූණ රතු වෙලා.සහන් එහෙම්ම සජිනි දිහා ටික වෙලාවක් බලන් හිටියා.

'මේ මූණේ හැටියට හිතන්නවත් බෑ මෙච්චර කපටි කෙල්ලෙක් කියලා.අපේ අම්මා රැවටුනේ මේ අහිංසක මූණට වෙන්න ඇති.හැබැයි මාව නම් මේ ආත්මෙදි අල්ලගන්න වෙන්නේ නෑ' සහන් හිතුවේ සජිනි දිහා බලාගෙන

"ඒයි නැගිටිනවා" සහන්ගේ ඒ සද්දෙට බය වුන සජිනි එක පාරටම ඇදෙන් නැගිට්ටා.

"මගේ ඔලුවට ගින්දර දාලා තමුසේ මෙතන යස අගේට නිදි.ඔන්න තමුසෙගේ වැඩේ හරි.අපි හෙට උදේ යනවා.උදේ 8ට ලෑස්ති වෙනවා" සහන් එහෙම කියලා කාමරෙන් ගියා.

සහන් යන දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු සජිනි ඇදෙන් නැගිට්ටා.කුස්සියට ගියපු සජිනි කෑම හදලා එයා කාලා ඇදට ගියේ සහන්ටත් බෙදලා මේසෙන් තියලා.වෙනදා වගේ කන්න එන්න කියලා සජිනි සහන්ට කතා කරන්න ගියේ නෑ.ඒත් සජිනි දැනන් හිටියේ නෑ ඒ වෙනකොටත් සහන් කඩෙන් කෑම ගෙනත් කාලා හිටියේ කියලා.සහන් තීරණේ කරලා හිටියේ ආයෙත් සජිනිගෙන් කන්නේ නෑ කියලා.

පහුවදා උදේ නැගිටපු දෙන්නා ගමන පිටත් වුනේ සහන්ගේ කාර් එකේ.කාර් එකක් තිබ්බත් සහන් ඒක පාවිච්චි කරේ ගෙදර යන්න එන්නයි දුර ගමනකටයි විතරයි.එහෙට යනකම්ම දෙන්නගේ කිසිම කතාවක් තිබ්බේ නෑ.

නුවර කිට්ටු වෙනකොට සජිනි හරි ආසාවෙන් එලිය බලන් ඉන්න ගත්තා.සජිනි කාලෙකින් නුවර වත් නුවර එලියෙ වත් ගිහින් තිබුනේ නෑ.ඊයේ ඉදන් දුකින් හිටපු සජිනිට  පළවෙනි පාරට මේ ගමන ගැන සතුටක් දැනෙන්න ගත්තා.සහන්වයි එයා හිතන දේවලුයි අමතක කරලා මේ ගමන සතුටෙන් ගිහින් එන්න ඕනේ කියලයි සජිනි ඒ වෙලාවේ හිතාගත්තේ.

සජීනියි සහනුයි නුවර එලියේ  'White House' හොටෙල් එකට එනකොට දවල් කෑම වෙලාවත් පහු වෙලා.එන ගමන් මග හොටලේකින් කාපු නිසා දෙන්නට බඩගින්නක් තිබ්බෙත් නෑ.පිළිගැනීමේ නිළදාරිනිය ලගට ගියපු සහන් ඇහුවේ එයාට තව කාමරයක් ගන්න පුලුවන්ද කියලා.

"සොරි සර්,සීසන් එක නිසා කාමර සේරම බුක්" පිළිගැනීමේ නිළදාරිනිය හරිම ආචාරශීලී විදියට කිව්වා.

"එහෙනම් මේ කාමරේ බුක් කරලා තියෙන්නේ"

"මේක බුක් කරලා තියෙන්නෙ දැන් මාස 3කට කලින් සර්"

සහන්ට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ.එයාගේ බෑග් එකත් අරන් සහන් කාමරේට ගියා.සජිනිත් ඒ පස්සෙන් කාමරේට ගියා.කාමරේ ඇතුළට ගියපු සහන් එහෙම්ම ගියේ නාන කාමරේට.සහන් ආපහු එනකොට සජිනි හිටියේ වීදුරු වලින්ම හදලා තිබ්බ බිත්තිය ලගට වෙලා එලිය බලාගෙන.මේ වසන්ත කාලේ නිසා ඈත කදු හරි ලස්සනට පෙනුනා.සජිනි ඒ ලස්සනට වශී වෙලා වගේ බලන් හිටියේ.

සහන් ටිකක් වෙලා සජිනි දිහා බලන් හිටියා.

"තව හිනා වෙනවා තව හිනා වෙනවා.මගේ ජිවිතේ විනාශ කරලා තමුසේ තව හිනා වෙනවා" සහන් තරහෙන් කිව්වා.

"මොකක්ද?" සජිනි සහන්ගේ පැත්තට හැරුණා

"දැන් සතුටු ඇතිනේ තමුසෙට.හනිමුන් එක්කගෙන ආවා.දැන් වෙනම කාමරත් නෑ.ඒ නිසා කොහොමත් එක කාමරේනේ ඉන්නේ.එතකොට ලේසිනේ නේද ඕනේ දේවල් කරගන්න.එකක් මතක තියාගන්නවා.තමුසේ හිතන තරම් ඕවා ලේසි නෑ.මාත් එක්ක තමුසෙට හැරෙන්නවත් බෑ.අම්මා රැවටුනාට මං රැවටෙන්නේ නෑ"

"ඇති" සජිනි කෑගැහුවා 

"මේ හොදටම ඇති සහන්.ඔයා හිතන් ඉන්නේ මං කවුරු කියලද?මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා.මාත් ඔයාව කැමැත්තෙන් කසාද බැන්දේ නෑ.කැමැත්තෙන් ඔයා එක්ක අර ගෙදර ඉන්නේ නෑ.අනික මේ ඔයා හිතන්නේ ඔයා  කවුරු කියලද? ශාරුක් ඛාන්,වරුන් ධාවන් වගේ නලුවෙක් කියලද? මං මේ ඔයාව අල්ලගන්න දගලන්නේ.මට මේ ඔයාව අල්ලගන්න ඕනේ කමක් නෑ.ඔයා ඔයාට ඕනේ හැටියකට ඉන්න මෙහෙට වෙලා.මටත් කිසිම ආසාවක් නෑ මෙහෙම එක එක කතා අහ අහ මෙතනට වෙලා ඉන්න" 

එහෙම කියපු සජිනි එයාගේ බෑග් එකත් අරන් කාමරෙන් එලියට ඇවිත් දොරත්  වහලා දැම්මා.

*****************************************************************************************************
ඊලග කොටසින් හම්බෙමු....

Sunday, May 6, 2018

කැම්පස් කෑම



අවුරුදු 4ක කැම්පස්  ජීවිතේ මා ලැබූ මාරම අත්දැකීම වන්නේ කැම්පස් කෑමයි. මේ කැම්පස් කෑම කැන්ටින් කෑම හා වෙනත් කෑම වර්ග ලෙස වෙන් කළ හැක.

කැන්ටින්  කෑමේ මිල හා රසය කැම්පස් එකෙන් කැම්පස් එකට, ෆැකල්ටියෙන් ෆැකල්ටියට ,කැන්ටිමෙන් කැන්ටිමට, පමණක් නොව පිගානෙන් පිගානටද,  වෙනස් විය හැක.නමුත් මේ සියලුම කැන්ටින්  කෑමේ පොදු ධර්මතාවයක් ඇත.

ඒ නම් ,
මේවා කිසිම එකක ලුණු කියා නාමයක් නැති වීමයි

මා මුලින්ම කැම්පස් කෑම රස බැලුවේ රැග් කාලයේ මෙස් කැන්ටින් එකේදීය.උදේ ආහාරය වූ එහි තිබුනේ බතුත් පරිප්පුත් සම්බෝලත් ය.බත් ඇට්ටකුණා වී තිබු අතර පරිප්පු වල ලුනු වත් මිරිස් වත් තිබුනේ නැත.එය වතුර දමා තම්බා තිබු බව මට  හොදටම විශ්වාසය.සම්බෝල සාදා තිබුනේ පොල් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිද්දෙනි.පොල් කිරි මිරිකා එන, අපේ ගෙවල් වල නම් විසි කරන හෝ පොළව මදින්නට ගන්නා පොල් කුඩු වලට මිරිස් කලවම් කර එය සාදා තිබුනි.එය උගුරෙන් පහළට දාගන්නට වින්දේ පුදුමාකාර දුකකි.මෙහි ප්‍රතිඵලය ලෙස පළවන මාසයේම බර කිලෝ දෙකක් අඩු විය.සතුටකට කියා තිබුනේ එච්චරය.

කෙසේ හෝ රැග් එකේ පිහිටෙන් මාස දෙකක් යන විට කැන්ටීන් කෑම අපට නතින්ග් විය.එසේ වූයේ අපේ ජේශ්ඨ උත්තමයෝ අපි විසින් මුදල් ගෙවා ගත් කෑම විසි කිරීමට එරෙහිව දැක්වූ බලවත් විරෝදයයි.එහි ප්‍රතිඵලය ලෙස කරපිංචා කොළ නටුත් සමගම ආහාරයට ගැනීමට සිදු විය.අවසානයේ මාස කීපයකින් පසු මේ  මුලු බත් පිගානම ගිල දැමීම අපට ඉතාමත්  සරල කාරණයක් විය.

එහිදී අප විසින් සිහි තබා ගත් කරුණු කාරණා රාශියකි.

1.මේවා ආහාරයට ගන්නේ බඩගින්න නැති වීමටත් ජීවත් වීමට අවශ්‍ය  මූලික අවශ්‍යතාවයක්  සපුරා ගැනීමටත් පමණී. රසයක් බලපොරොත්තු නොවන්න.

2.ගෙදර කෑමක  මෙන් බැදුම් වල ළූනු ද සම්බෝල වල දෙහිද පරිප්පු වල මිරිස්  ද නොසොයන්න.කැන්ටීමේ එවැනි ඒවා නැත.සිදු වන්නේ ඔබේ හිත රිදීම පමණි.

3.කෑම පිගාන ලබා ගැනීමේදී පිගානයේ රස්නය පිලිබද සැලකිලිමත් වෙන්න.අයිස් මෙන් සීතලක් දැනේ නම් ගද සුවද බැලුවාටත් කමක් නැත.

4.කෑම පාර්සලය ලෙස ගෙන  ගොස් කන්නේ නම් පාර්සල් කොට පැය භාගයක් තුළ අනුභවය කෝටටත් හොදය - රාත්‍රියට විශේශයි 

5.කැන්ටිමෙන් අලුතෙන් හදුන්වා දෙන ආහාර වෙන කෙනෙක් ආහාරයට ගෙන ගුණ අගුණ කියන තෙක් ඉවසා සිටින්න.

6.කෑම පිගාන ගත් පසු එක් එක් එලවලුව වෙන වෙනම නිරීක්ශනය කර රස බැලිය  යුතුය.මිලට ගැනීමට පෙර අදහස් විමසීම කෝකටත් හොදය.

7.සැකයක් දැනෙන ආහාර වහාම ආහාරයට ගැනීමෙන් වළකින්න 

මෙම කරුණු හිතේ තබා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ එසේ නොවීමෙන් ඔබේ සියුමැලි හිත මෙන්ම ගතද රෝගී විය හැකි බැවිනි.උදාහරණයක් ලෙස 7 වන කරුණ සිහි නොතබා ගැනීම නිසා මා රෝහල් ගත නොවී බේරුනේ පූරූවේ පිනකටය.රසයට ලොල් වී තැම්බූ   බිත්තරයක් කෑමේ ආනිසංසයෙන් සති දෙකක්ම නිදි නැතුව වැසිකිළියේ සිටි ආකාරය මතක තිබෙන තාක් කල් බිත්තර නොකෑමට මා මටම පොරොන්දු වී ඇත.

මීට අමතරව අපේ කැම්පස් එකට කෑම ගෙනදෙන අය විය.බත් අන්කල්, 60 අන්කල් වැනි නොයෙකුත් නම් ඔවුන්ට විය.ඔවුන් ට කෝල් කර කෑම ඕර්ඩර් කළ විට කෑම පාර්සල් කර අපේ නමත් උඩින් ගසාගෙන බත් කූඩයක්ද බයිසිකලේ එල්ලාගෙන කැම්පස් ගේට්ටුව හෝ බෝඩිම අසලට පැමිණ සිටී.බොහෝ විට අපේ  රාත්‍රී ආහාරය ගෙන එන්නේ ඔවුන් විසිනි.රෑ 7.30 පමණ වන විට බෝඩිමම බලා සිටින්නේ අන්කල්ගේ බයිසිකලයේ සීනුව වදින තුරුය.(අන්කල් යැයි රැවටී වෙන වෙන සීනු හඩ වලට රැවටී එලියට දුව ගිය අවස්ථාද නැතුවාම නොවේ 😉) . මෙසේ සිනූව ගසාගෙන  පැමිණ බෝඩිමේ නම උඩින් ගැසු  බත් පාර්සල් තොගයක් එලියට ගන්නා අන්කල් එකින් එක නම් කියමින් සල්ලි ගනිමින් කෑම බෙදා දෙයි.(එක වසරේ ළමුන් මිස් ලගට වී  පොත් ඉල්ලා ගැනීමට බලා සිටින ආකාරය මතක් කර ගත්තාට කමක් නැත).මේවා කැන්ටින් කෑමට වඩා සෑහෙන තරම් හොදය.එසේ වූවත්  බත්  ප්‍රමාණය මදි වීම,බත් තැම්බී නොතිබීම,අන්කල්ට බත් ඔර්ඩරය මිස් වීම වැනි සිද්දීන්ද මේ අතර සුබල විය.

මේ සියල්ල කරත් බත් ටික උගුරෙන් පහලට දාගැනීමටම නොහැකි නම් ඒ සදහා විකල්පය ලෙස සියලුම සරසවි සිසුන්ගේ ජාතික ආහාර භාවිතා විය.ඒ නම් මැගී,කොත්තූ මී හා ක්‍රීම් කැකර් බිස්කට් ය.මේවා කොහොමත් කාමරයේ නිතරම ගබඩා කර තිබුනේ හදිසියේ එලබෙන සාගත තත්වයන්ට ඔරොත්තු දෙනු පිණිසය.මීට අමතරව කැම්පස් අයගේ ජාතික රෝගය වන ගෑස් ඇති අය ලග  තවත් එක එක කෑම ජාතිද විවිද බෙහෙත් වර්ගද තිබුණි.

මේ මොනවා කතා කරත් කැම්පස් අපට තිබූ ලොකුම සහනය වූයේ මේ කන කෑමක් කන්නෙ තනියම නොවීමයි.ඒ සතුට අපට මේ මොන කෑමත් උගුරෙන් පහළට යවා ගැනීමට ලබා දුන්නේ ඉමහත් රුකුළකි.😀

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මේ වන විට  ගෙදර කොච්චර රස බොජුන් කෑවත් , ඒ කැම්පස්  කෑම කොච්චර අජූත වූවත්,තුනපහ ලුණු අඩුපාඩුවට  ඕපදූප දමා ගනිමින් ඒ කෑ කැම්පස් කෑම නැති අඩුව  මට සැරින් සැරේට  දැනී දැනී දැනෙන  බවය.😐😕

සැළකිය යුතුයි- මැගී හා කොත්තු මී සාදන ආකාරය ගෙදර සාදන ආකාරයට වඩා වෙනස් වේ.මේ ආකාරයේ මැගී ගෙදර සෑදූ ඒවාට වඩා රස කරමින් කෑමේ හැකියාව ඇත්තේද සරසවි සිසුන්ටම පමණි. 😏

ප.ලි. : කරපිංචා නටුද ඉතා ගුණදායකය. (ජේශ්ඨ උත්තමයන්ගේ හිත සුව පිණිස වේ. 😅)

Saturday, May 5, 2018

ආදරණීය නපුරා - හත්වන කොටස



දොර ඇරෙන සද්දෙට සහන් හැරිලා බැලුවා.

"අපෝ නෑ අනේ, එයා දැන්ම එන්නේ නෑ.ඔයා එන්නකෝ" ඒ සජිනිගේ සද්දේ..

සහන් එහෙම්ම පුටුවෙන් නැගිටින කොට සජිනි ගේ ඇතුලට ආවා.

"අහ් ඔයා ආවද?" සජිනිට හරිම පුදුමයි සහන් දැකලා.සහන් ඔලුව වැනුවා.

සජිනිට පිටිපස්සෙන් ආවේ තිලිනි.තිලිනි සහන් දිහා බලලා හිනා වුනාම සහන් අමාරුවෙන් හිනා වුනා.

"මේ එහා පැත්තේ ගෙදර අක්කා.අක්කේ මේ සහන්" සජිනි අදුන්වලා දුන්නා.

"මං මල්ලිව දන්නවා අනේ.මල්ලි මගේ මහත්තයා  දන්නවා ඇති.වරුණ,මගේ මහත්තයා"

"අහ් ඔව් මං දන්නවා.වාඩි වෙන්න "

"මෙන්න  අක්කේ"ඒ අස්සේ ගෙට ගියපු සජිනි මොකක්ද භාජනයක් ගෙනත් තිලිනිට දුන්නා.

"මං යනවා එහෙනම්.පස්සෙ එන්නම්කො මල්ලි" තිලිනි ගියාට පස්සේ සහන් එහෙම්ම පුටුවෙන් වාඩි වුනා.සජිනි කුස්සියට ගියා.

ටිකකින් සජිනි ආවේ දොඩම් බීම එකකුත් අරගෙන.ඒක සහන් ලග මේසෙන් තියලා සජිනි යන්න හැරුනේ තමන් ලග ඉන්නවට සහන් අකමැති නිසා.

"කොහෙද ගියෙ?" සහන්ගේ ප්‍රශ්නෙට සජිනි එහෙම්ම නැවතුනා.

"මොකක්ද?" සජිනිට හිතාගන්න බෑ මේක ඇහුවේ එයාගෙන්මද කියලත්.මේ සති දෙකටම සහන් කතා කරේ නෑනේ .

"මං ඇහුවෙ කොහෙද ගියේ කියලා"

"අහ් ඔයා ගොඩක් වෙලාද ඇවිත්? මං හිතුවෙ.."

"මං අහපුදේට උත්තර දෙනවා" සහන් කෙන්තියෙන්  කෑගහගෙනම නැගිට්ටා.

"මං..මං මේ තිලිනි අක්කගේ ගෙදරට ගියා" සජිනි බිම බලන් කියනකොට සහන් ආපහු වාඩි වුනා.

සජිනි බය වෙලා හිටියේ සහන්ගේ මේ අමුතු විපර්‍යාසෙට.එයා ගෙදර හිටියත් ගනන් ගන්නේ නැති සහන්ට මේකට මෙච්චර තරහ ගත්තේ මොකටද කියලා සජිනිට හිතා ගන්නත් බෑ.ඒත් දැන් සජිනි මොනවා හරි අහන්නත් බයයි.

"උදේ ඉදන්ම  එහෙද හිටියේ" සහන් හෙමීට ඇහුවා.

"ඔව්"

"ෆෝන් එකක් තියෙනවා නේද? කෝ ඒක?"

"අහ් ඒක කාමරේ" සජිනි එයාගේ කාමරේ දිහා බලන් ඇහුවා.

"ඒක කාමරේ තියලා ගියේ කාමරේ කතා කරන්න කෙනෙක් ඉන්නවද?"

"නෑ මේ එකේ බැට්‍රි තිබ්බේ නෑ.කතා කරන්න කෙනෙකුත් නෑනේ ඒකට"

"හ්ම්ම් " එහෙම කියපු සහන් මේසේ උඩ තිබුනු දොඩම් එකත් එක උගුරට බීලා කාමරේට යන්න නැගිට්ටා.

"ඒ නම්බර් එක සේව් කරගන්න.දවසෙම කොහේට හරි යනවා නම් මැසේජ් එකක් දාලා යන්න" එහෙම කියපු සහන් සජිනි දිහා බලන්නෙවත් නැතුව කාමරේට ගියා.

සහන් දිහා ටිකක් බලන් හිටපු සජිනි එහෙම්ම දිව්වේ කාමරේට.චාර්ජරේට ගහලා තිබ්බ ෆෝන් ඒක ඒකෙන් ගලවගත්ත සජිනි බැලුවේ එකේ තිබ්බ මිස් කෝල්ස් ගොඩ දිහා.මිස් කෝල් 26ක් තිබ්බා.එකේන් 25ක්ම සහන්.එකක් සහන්ගේ අම්මා.සහන්ගේ නම්බර් එක සේව් කරගත්ත සජිනි සහන්ගේ අම්මට කතා කරා.

දෙපාරක් රින්ග් වෙනකොටම අම්මා ආන්සර් කරා.

"අම්මේ " සහන් කොහොම වුනත් සජිනියි සහන්ගේ අම්මයි හරි එකතුයි.දවසට සැරයක් කතා කරනවමයි.හැබැයි සජිනි කවදාවත් මේ සහන්ගේ දේවල් සහන්ගේ අම්මට දැනගන්න තිබ්බේ නෑ.

"කොහෙද දුව හිටියේ?"

"මං අර තිලිනි අක්කලගේ ගෙදර ගියානේ.එයා අලුතෙන් කේක් එකක් හදනවා කිව්වා.ඉතින් මං උදව් කරන්න ගියා.ෆෝන් එක ගෙදර තිබුනේ "

"අපේ මිනිහා කතා කරේ නැද්ද?" සහන්ගේ අම්මා අහන්නේ සහන් ගැන

"කතා කරලා තිබ්බා.මං දැන් දැක්කේ?"

"දැන් කෝ?ගෙදර ඇවිත්ද?"

"ඔව් අම්මා අද ටිකක් කලින් ආවා"

"හරි දරුවෝ.මං මේ මොකක්ද හදිස්සිය බලන්න ගත්තේ.අපේ එකා අපට මුකුත්ම කියන්නේ නෑනේ.මං තියන්නම්.තාම  රෑට මුකුත් හැදුවෙත් නෑ."

"හරි අම්මේ "

"හොදයි දරුවෝ බුදු සරණයි"

"බුදු සරණයි අම්මේ"

දැන් සජිනි දන්නවා සහන් අම්මාගෙන් තමයි නම්බර් එක ඉල්ලගෙන කතා කරේ කියලා.ඒත් සජිනිට හිතා ගන්න බැරී හේතුව මොකක්ද කියලා.සහන් ඇදන් හිටියේ ගෙදරට අදින කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි නිසා සහන් අද ගොඩක් කලින් ඇවිත් කියලා නම් සජිනිට තේරුනා.ඒත් ඒ කෝල් කරේ තමන් නැති නිසා හොයන්නයි  කියලා හිතන්න සජිනිට හිතුනෙම නෑ.ඒ ඒක එහෙම වෙන්න ඉඩක් ඇත්තෙම නැති නිසා.

පහුගිය ටිකෙම සහන් සති අන්තයෙත් වැඩට ගිය නිසා සජිනි හිතුවේ මේ සතියෙත් එහෙමයි කියලා.ඒ නිසා සජිනි පුරුදු විදියට නැගිටලා සහන්ට ගෙනියන්නත් එක්ක කෑම හදන්න ගත්තා.එතකොටම සහන් කාමරෙන් එලියට ආවේ  ගෙදරට අදින කොට කලිසම පිටින්මයි.එහෙම්ම ටීවී එක ලගට ගියපු සහන් ටීවී දාගෙන බලන්න ගත්තා.

'අද යන්නේ නැද්ද දන්නේ නෑ' සජිනි හිතුවා..

"මං අද යන්නේ නෑ" සහන් එක පාරටම එහෙම කිව්වේ සජිනි හිතපු එක ඇහිලා වගේ.

සජිනි ඒකට උත්තර දෙන්න ගියේ නෑ.සහන් ඊයේ ඉදන් අමුතුයි වගේ කියලයි සජිනිට හිතුනේ.

සහන් වැඩට යන්නෙත් නැති නිසා සජිනි දෙන්නට උදේට කන්න ඉදි ආප්ප හැදුවා.උදේට කාලා සජිනි ගේ අස් කරනකම්ම සහන් කරේ ටීවී බලන එක.පස්සේ දවල්ට කලා සහන් ආයෙත් කාමරෙට ගියා.සහන් කාමරේට ගියාට පස්සේ සජිනි ෆිල්ම් එකක් දාගත්තා බලන්න කියලා.

ඒක තායි ෆිල්ම් එකක් First Love කියලා.ටිකකින් සහන් එයාගෙ ලැප් එකත් අරන් ඇවිත් මේසෙන් තියන් වාඩි වුනා.එයා ඉන්න තැනට එයාට සජිනිව කෙලින්ම පේනවා.

සජිනි සමහර වෙලාවට තනියෙන් හිනා වෙනවා.සමහර වෙලාවට ටීවී එක දිහාවටම එබිලා බලාගෙනම ඉන්නවා.සමහර වෙලාවට මූණ වහගෙන ඉන්නවා.එක සැරයක් සජිනි අඩ අඩ හිනා වෙන්නත් ගත්තා.එක  එක විකාර ගොඩයි.හරියට සජිනි ඒ ෆිල්ම් එකේ රගපානවා වගේ.

ටිකකින් සහන් ඉබේටම වගේ මේ සජිනි කරන ඒවා දිහා බලන් ඉන්න ගත්තා.ෆිල්ම් එක ඉවර වුනේ සජිනිවත් අඩවලා.මේ ඔක්කොම සහන් බලගෙන.

මේ ගෙදර හිටපු නිවාඩු දවස් දෙකේ සහන්ට තේරුනා සජිනි කියන්නේ එයා හිතුවට වඩා හරි වෙනස් කෙල්ලෙක් කියලා.ගෙදර හිටියා කියලා මහ ලොකු කතාවක් තිබ්බේ නෑ දෙන්නා අතරේ.ඒත් සහන් වෙනදා තරම්ම කාමරේ අස්සේ නොහිටපු එක සජිනිට ලොකුවට තේරුනා.

සදුදා උදේ සහන් වෙනදා වගේම ඔෆිස් ගියා.සජිනිත් උයලා ගේ අස් කරලා ටීවී එක දාගෙන ඉන්නකොට තමයි සහන් ගෙදර ආවේ.

සහන්ගේ මූණ දැක්ක ගමන් සජිනිට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා.සහන් එහෙම්ම ගියේ කාමරේට.සජිනිත් ටීවී එක ඔෆ් කරලා කුස්සියට ගියේ සහන්ට එයා හදලා තියපු ෆලූඩා එක දෙන්න.සහන් රස්නෙ දවසට හවසට බොන්න කැමති මොනවා හරි සීතල දෙයක් කියලා මේ ටික දවසට සජිනිට තේරිලා තිබ්බා.

එයා ෆලූඩා එක අරගෙන යන්න හදනකොටම දැක්කේ කුස්සිය ලගට වෙලා එයා  දිහා ඔරවගෙන බලාගෙන ඉන්න සහන්ව.

"තමුසේ හිතන්නේ මේවා කරාම මං කැමති වෙයි කියලද? " සහන්ගේ කෑගැහිල්ලට සජිනි ගැස්සිලා ගියා.

"හිතන්න එපා අපේ අම්මා අල්ල ගත්තා කියලා මාව ඒ වගේ රවට්ටගන්න පුලුවන් වෙයි කියලා" සහන්ගේ මුණ රතු වෙලා

"මොකක්ද මේ ඔයා කියන්නේ?" සජිනිට මේ මුකුත් හිතාගන්න බෑ.

"හා දැන් තමුසේ කියන්නේ මේ මුකුත් දන්නෙ නෑ කියලද?.නිකන් බබා වෙන්න එපා ඕයි" සහන් කෑගහන්කොට සජිනිටත් කේන්ති ගියා.

"මේ සහන් කරුණාකරලා කියනවද මොකක්ද වෙලා තියෙන්නේ කියලා"

"වෙලා තියෙන්නෙද? වෙලා තියෙන්නෙ තමුසේ අපෙ අම්මා එක්ක එකතු වෙලා මෙතන මාත් එක්ක හනිමුන් යන්න ප්ලෑන් කරපු එක"

*********************************************************************************

ඊලග කොටසින් හම්බෙමු....

Monday, April 30, 2018

කකුල් තියෙන අයට තේරෙන්නේ නෑ එයාලා කොච්චර වාසනාවන්තද කියලා


ඔන්න ඉතින් වෙසක් දවසේ හවස ලාවට නින්දක් දාන් ඉන්න වෙලාවේ  මට මගේ යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එනවා එයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා.මාත් ඉතින් හොයලා බැලුවා.ඉස්සර ඉදන්ම එක එක්කෙනගේ දුක්ගන්නාරාළ වෙලා මට මාර එක්ස්පීරීයන්ස් තියෙනවා ෆ්රෙන්ස් .ඒ එක්ස්පීරීයස් එකතු කරොත් මට ඒකට ක්ලාස් එකකුත් එක්ක ගෞරව උපාධියක් ගන්න පුලුවන්.😇

හරි දැන් ආපහු මුල් කතාවට ආවොත් ඔන්න මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා.ඉතින් මට කියපු විදියට  එයාගේ ප්‍රශ්නේ තමයි එයා යාලු වෙලා ඉන්න කොල්ලා දැන් වෙනස් වෙලා කියන එක.මෙයා කියන හැටියට එයාගෙන් තොර ලෝකයක් නැතිලු.ඒ කොල්ල නැති වුනොත් මගේ යාලුවා මැරෙනවලු.

බනින්න එපා ෆ්රෙන්ස් ඇත්තට නම් මට හිනා ගියා මැසේජ් කියවලා.😁මැසේජ් වලින් මූණ පෙන්නන ඔප්ශන් එකක් නැති එක වාසනාව.නැත්තම් මගේ හිනාව දැකලා මගේ යාලුවා ඒ වෙලාවෙම අභාවප්ප්‍රාප්ත වෙනවා.😏

කෝමහරි මං මගේ යාලුවගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා.ඔන්න යට තියෙනවා ප්‍රශ්න ටිකයි ඒවගේ උත්තර ටිකයි.මේ මගේ ෆේස්බුක් මිතුරියක් නිසා මේ වගේ ප්‍රශ්න අද්භූත  ගනයට දාන්න එපා පින්වතුනි.

1.ඔයාගේ ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි අයියයි මමයි නංගියි.
(සන්තෝසයි පින්වතුනි.මගේ තත්වෙට වඩා හොදයි.මට සහෝදරයෝ කියලා ඉන්නේත් මාවම කන්න ආපු යාලුවෝ විතරයිනේ)😐

2.අයියා මොකද කරන්නේ? අයියා ඉන්ජිනියර් කෙනෙක 😍බැදලා බබෙක් ඉන්නවා 😞නෑනා හරිම හොදයි.ටීචර් කෙනෙක් (ලස්සන පවුලක් නේද ෆ්රෙන්ස් )😘

3.නංගී? එයා කැම්පස්.මෙඩිකල් ෆැකල්ටි (අනේ..දොස්තර කෙනෙකුත් ඉන්නවා  )

4.ඔයා ජොබ් එකක් කරනවා නේද? ඔව් මං .........නනේ වැඩ කරන්නේ (බලන්න ෆ්රෙන්ස් මට රස්සාවකුත්  නෑ)😟

5.හොදයිද ජොබ් එක? සැලරි හොදයිනේ අනේ.ටිකක් දුර එක තමයි ප්‍රශ්නේ.මෙහෙ බ්‍රාන්ච් එකකට හදගන්න ඉන්නෙ ලබන අවුරුද්දේ වගේ.එතකොට ශේප් (ඉරිසියයි ෆ්රෙන්ස්)😐

6.දැන් ඔය කොල්ලා එක්ක යාලු වෙලා කොච්චර කල් ද? අවුරුදු 3යි 💛💕

7.දැන් ඇයි හිතෙන්නේ එයා වෙනස් වෙලා කියලා? දැන් දවස් ගානක්ම වැඩි කතාවක් නෑ අනේ 😒

මේ ඔක්කොම අහලා මට දුක හිතුනා ෆ්රෙන්ස්.එයා ගැන නෙවෙයි මං ගැන.බලන්න ඉතින් .හොද පවුලක්.සහෝදර සහෝදරියෝ පිරිලා.රස්සාවක් තියෙනවා.හොද ගානක් හම්බෙනවා.ඒ මදිවට ගෙවල් ලගට මාරු වෙන්නත් පුලුවන්ලූ.මට මේවා අහලා ඇඩුනා ෆ්රෙන්ස් 😭😭😭

මේකයි ඉතින්.love case අමතක කරොත් එයාට කොච්චර දේවල් තියෙනවද සතුටු වෙන්න.මං එයාට මුකුත්ම කිව්වේ නෑ.මේ පහළ තියෙන වීඩීයෝ එක යැව්වා බලපන් කියලා.

මේ මං කාලෙකට කලින් අහම්බෙන් හම්බ වෙලා බලපු දෙයක්.කවදාවත් මේක අමතක වෙන්නේ නෑ.

"කකුල් තියෙන අයට තේරෙන්නේ නෑ එයාලා කොච්චර වාසනාවන්තද කියලා"


Monday, April 16, 2018

බෝඩිමේ ළිද


මේක වුනේ මගේ පලවෙනි බෝඩිමේදි.මේ ගැන ඇත්තටම දන්නේ මායි අම්මායි විතරයි.කතාව කියන්න කලින් කියන්නම්කෝ බෝඩිමට ගියපු හැටි.

2013-04-17 කියන්නේ මට ගොඩාක් විශේශ දවසක්.සරසවිය සිහිනයක් පමණයි කියලා අතැරලා දාලා හිටපු කාලෙක එක පාරටම ලියුමක් එනවා ගෙදරට කැම්පස් සිලෙක්ට් කියලා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි.ලියුම එන්නම ඕනේ කැම්පස් සිලෙක්ට් ද දැනගන්න.  ඉතින්  ඒ අප්‍රේල් 17 ආපු ලියුමේ තිබුනේ අප්‍රේල් 22 කැම්පස් පටන් ගන්නවා.එදාට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියලා.දවස් 5යි තියෙන්නේ හැමදේටම.

එන්න කිව්වේ 22 වුනාට තාත්තා කිව්වා අපි හෙට යමු රෙජිස්ටර් වෙන්න කියලා.ඒ ගමන් බෝඩිමකුත් හොයාගන්නයි හිතාගත්තේ.මගේ තාත්තා ගැන කියන්නම්කෝ මුලින්ම.මගේ තාත්තා කියන හැටියට අපායට වුනත් යනව නම් කලින් යන්න ඕනේ.හිතන්නකෝ අපට උදේ 8ට යන්න ඕනේ කියලා තැනකට.තාත්තා මාව එතනට යවනවා 6.30ට.අන්න එහෙමයි අපේ තාත්තා.😎

ඉතින් තාත්තයි මායි 18 උදේම පිටත් වුනා කැම්පස් එකට යන්න.බස් 2ක ගිහින් උදේ 11 විතර වෙනකොට අපි කැම්පස් එකට ඇවිත් රෙජිස්ටර් වුනා.ඒ වෙලාවේ තමයි මට කැම්පස් එකේ පලවෙනි යාලුවා හම්බුනේ.ඒ යාලුවා පස්සේ කාලෙක මාලුවා වුනා .ඒක වෙනමම කතාවක්.

එයත් තාත්තා එක්ක ඇවිත් හිටියේ.ඉතින් තාත්තලා දෙන්නයි අපි දෙන්නයි පිටත් වුනා බෝඩිම් හොයන්න.එහේ තියෙනවා "කෝරළේවත්ත" කියලා පැත්තක්.එහේ තමයි කිව්වා බෝඩිම් තියෙන්නේ.ඔන්න ඉතින් හැමතැනම ඇවිදලා ඇවිදලා බෝඩිමක් හොයාගත්තා.ඒක වෙනම ගෙදරක්.2nd year අක්කලා දෙන්නෙකුත් හිටියා වෙනම කාමරේක.අපට හම්බුන කාමරේ ඇදන් 4ක් එකට අහුරලා තිබුනා.රෙදි වැටකුයි පොඩි රාක්කෙකුයි තිබ්බා.එච්චරයි.ඒක තමයි හොයාගන්න පුලුවන් වුන හොදම කාමරේ.ඉතින් හිතාගන්නකෝ අනිත් බෝඩිම්.අපේ අනිත් ඇදන් දෙකට කවුරුවත් ඇවිත් හිටියේ නෑ.ඔන්න ඉතින් බෝඩිමට සල්ලි දිලා අපි ගෙදර එන්න ආවා.

ඒ ඉතුරු දවස් 4 යුද්දයක් වගේ.මං කවදාවත් බෝඩිමක ඉදලා නෑ.ඉතින් ගෙනියන්න දේවල් ලිස්ට් කරලා කඩේ ගිහින් බඩු ගෙනැල්ලා ඒවා ඔක්කොම පැක් කරලා ඉවර වෙනකොට දවස් 4 නිකන්ම ගිහින්.වැඩ වැඩි නිසා බය වෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.අප්‍රේල් 21 හවස අපි බඩුත් අරන් බෝඩිමට යන්න පිටත් වුනාම තමයි මං බයේ ගැහෙන්න ගත්තේ.යන්නම බෑ වගේ මට.මං පවුලේ එකම ලමයා.ඉතින් අම්මලා නැතුව ඉදලම නෑ.බෝඩිමට ආවම අර මගේ යාලුව ඇවිල්ලත් නෑ ඒ වෙනකොට.මං හොදටම බය වෙලා.ඒත් එහෙම කෝමද බයයි කියලා පෙන්නන්නේ.මං ඉතින් ෆුල් ගැම්මෙන් හිටියා අම්මලා යනකම්ම.අම්මලා ඉතින් ඔක්කොම බඩු එහෙම ලැස්ති කරලා දීලා පිටත් වුනා විතරයි මං හිතේ බයටයි හිතේ දුක යන්නයි හොදටම ඇඩුවා.😓

අඩලා ඉවර වෙලා ඉතින් ඔන්න ළිද ලගට ගියා නාන්න කියලා.ඇතුලෙත් නාන කාමරයක් තිබ්බත් ඒ වෙනකොට ඒකේ දොර වහලා තිබ්බ නිසා තමයි ළිදට ගියේ.අහන්නත් බයයි නේ.ඇත්තම කියනවා නම් මං ළිදකින් වතුර ඇදලම නෑ ඒ වෙනකොට.ඒ වුනාට ඉතින් එහෙම කියලා බෑනේ.අනික කැම්පස් සිලෙක්ට් වෙච්ච මට වතුර එකක් ඇදගන්න බැරිද ළිදෙන්.හපෝ...එහෙම හිතුවත් ලැජ්ජයිනේ.(ඒ කාලේ ඉතින් කැම්පස් කියලා පොඩි උණක් තිබ්බා.ඒ උණ කැම්පස් පය ගහපු වෙලාවෙම නැති වුනා).😝

ඔන්න ඉතින් නාන්න ලැස්ති වෙලා බාල්දිය ලිදට දාලා වතුර එකක් ඇද්දා කියන්නකෝ.ඒත් මේක උඩට ගන්න බෑ බරයි.

සෑහෙන්න ට්‍රයි කරා.කොහෙද බෑ.

මේ සැරේ අදිනවාමයි කියලා හිතලා ඇද්දා උඩට.වතුර ටික උඩින් වීසී වුනා.ඒත් එක්කම ළිද ලග ලිස්සලා මං එතන පත බෑවුනා.

අම්මෝ.... ඇගේ ඇට  කැඩිලා වගේ රිදෙනවා..නැගිටගන්න බෑ.කදුලු බේරෙනවා.හිතේ අමාරුව වැඩියි ඇගේ අමාරුවට වඩා.ඒත් එහෙම කියලා ඉන්න බෑනේ.ගෙදර නෙවෙයිනේ.අමාරුවෙන් නැගිටගත්තා.😶

පොඩ්ඩක් හීරීලා මිසක් වෙන තුවාලයක් නම් නෑ.කොන්ද නම් කැඩිලා වගේ රිදෙනවා.දැන් ඉතින් නාන්න නම් බෑ.ඇග හෝදගෙන යනවා කියලා හිතලා බාල්දිය ගන්න බැලුවා.

දෙයියෝ සාක්කී... කෝ බාල්දිය 😨

හැමතැනම බැලුවා.කෝකටත් කියලා නිකමට වගේ ළිදට එබුනා.මෙන්න බොලේ බාල්දිය ළිදේ.

මේ කලබලේ අස්සේ බාල්දිය ළිදට වැටිලා.දැන් මොකෝ කරන්නේ.දැන් මට ඇගේ අමාරුවක් මතක නෑ.බයටම දාඩියත් දාලා මට.ගන්න විදියක් හිතාගන්නත් බෑ.හොද වැඩේ මටත් තනියෙන් පන්ඩිත වැඩ කරනවට.මට මාත් එක්කම තරහයි.

ඔන්න ඒ අස්සේ මට ගණ දෙවි නුවණ පහළ වුනා.ඒ වෙනකොට බෝඩිමේ අක්කලා ඇවිත් හිටියෙත් නෑ.බෝඩිමේ ඇන්ටි ඉන්නෙත් වෙනමනේ.ඉතින් මං මෙතනට නාන්න ආවා කියලා කවුරුවත් දන්නේ නෑ.පත්තරේ දාලා නාන්න යන්නේ නෑනේ.😏

ඉතින් මං ශේප් එකේ ඇදුම් ආපහු ඇදගෙන දුවලා දුවලා ගියා බෝඩිමේ කාමරේට.දැන් හරි.කවුරුවත් දන්නේ නෑ වෙච්ච දේ.මට හරි සතුටුයි මේකෙන් බේරුනු එකට.එහෙම්ම ඇදට වැටුනා මං.ඇදට වැටිලා විනාඩි දෙකක් ගියේ නෑ බෝඩිමේ ඇන්ටි කතා කරනවා එලියෙන්.

"දුව... "

මට දැන් බයේ බෑ.බාල්දිය ගැන අහන්න තමා මේ ඇවිත් ඉන්නේ කියලා මට හොදටම විශ්වාසයි.ඒත් එහෙම කියලා හැංගිලා ඉන්නත් බෑනේ.මං ගට් අරගෙන ගිහින් දොර ඇරියා.😐

"අහ් ඇයි ඇන්ටි" මගේ කටහඩත් වෙව්ලනවා.

"අනේ දුව මට බාත් රූම් එකේ දොර අරින්න බැරි වුනානේ.නිවාඩු කාලෙට අපි කාමර ලොක් කරනකොට ඒකත් ලොක් කරනවා" ඇන්ටි එහෙම කියාගෙනම ගිහින් ඇතුලේ නාන කාමරේ දොර ඇරියා.
මට ඒ වෙලාවේ ඇන්ටිව පෙනුනේ දෙයියෙක් වගේ.ඒත් ඉතින් ඇන්ටිට තිබ්බේ ඕක කලින් ඇරලා තියන්නනේ.එහෙම වුනා නම් මේ කිසි දෙයක් නෑනේ.😐😕

"ඔන්න දැන් දුවට නාගන්න පුලුවන්.කෑම අරන්ද දරුවෝ ආවේ රෑට"
ඇන්ටි ඉතින් කතාවක් පටන් ගන්න ලැස්තිය.දැන් මගේ හාර්ට් බීට් ඒක කූල් වේගෙන යනවා.මට දැන් ඕනේ ඇන්ටිව යවලා නාගෙන ඇදට වැටෙන්න.

හැබයි ඇන්ටි ගියේ තවත් පැය කාලක් විතර කියවලා.

ඇන්ටි ගියාට පස්සේ මං දෙයියනේ කියලා නාන කාමරෙන් නාගත්තා.නාගෙන ඇවිත් අම්මා දීපූ බාම් එකකුත් තැලිච්ච තැන් වලට ගාගත්තා.
ආපහු නම් මං ඒ බෝඩිමේ ළිදෙන් නාන්න තියා ඒ පැත්තෙන්වත් ගියේ නෑ.

ප.ලි. හැබැයි දැන් නම් මට ළිදෙන් වතුර ඇදන් නාන්න පුලුවන්.ඒක පුරුදු වුනේ වෙන බෝඩිමක ළිදකින් 😅😎




Monday, April 2, 2018

දන්න Pizza ගැන නොදන්නා කතා

අතීතයේදි  සාම්ප්‍රදායික ඉතාලි ආහාරයක් ලෙස හැදින ගෙන තිබූ Pizza අද ලෝකයේ ජනප්‍රියතම  ආහාරයක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවෙයි.සාම්ප්‍රදායික ලෙස යීස්ට් රොටියක් මත තක්කාලි සෝස් සහ චීස් යොදා පුලුස්සා ගැනීමෙන් සාදා ගන්නා මෙයට උඩින් විවිධ එලවලු ,මස් වර්ග සහ විවිධ කුළු බඩු වර්ගද  එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා.මේ අපි දන්නා Pizza ගැන නොදන්නා කතා කීපයක්.


ඉතිහාසය 

Pizza හී ආරම්භය ඉතා ඈත අතීතයට දිව යන්නක් .නියෝලිතික සමයේ සිටම  පාන් සමග වෙනස් රසයන් මුසු කිරීම සිදු වී ඇති අතර අතීත ග්‍රීකයන් පාන් සමග තෙල්,පැලෑටි සහ චීස් ආහාරයට ගෙන තිබෙනවා.පළමුවෙන්ම Pizza ගැන සදහනක් වෙන්නේ 10 වන ශතවර්ශයේදී වුවත් නවීන Pizza හී ආරම්භය සිදු වී ඇත්තේ 18 වන හෝ  19 වන ශතවර්ශයේ නේපල්ස් නගරයේදීය.මෙම කාලයේදී පැතලි පාන් මතට සුදු ළුනු,ලුනු,ඌරු තෙල්,චීස් සහ බැසිල් යොදා Pizza නිපදවා ඇති මුත් Pizza සෑදීමට තක්කාලි එකතු කිරීම ආරම්භ කල කාලයක් ගැන නිශ්චිතව සදහනක් නෑ.1830 වන තෙක්ම Pizza අලෙවි කර ඇත්තේ එලිමහනේ හෝ Pizza බේකරි වල ඉදිරිපසයි.අපි මේ අද Pizza ලෙස ආහාරයට ගන්නා පිලිවලට Pizza එකක් ප්‍රථම වතාවට නිශ්පාදය කරනු ලැබුවේ 1889දී මාර්ගරීටා රැජින පිලිගැනීමට වන අතර ඒ නිසාම එයට "පීසා මාගරීටා" යන නමද භාවිතා කෙරුනා.

පුරාණ කාලයේ එලිමහනේ Pizza සාදන ආකාරය දැක්වෙන සිතුවමක්./https://pizzanapoletanismo.com

19 වන ශත වර්ශය අග භාගයේදි ඉතාලි සංක්‍රමණිකයන් පිරිසක් විසින් Pizza ඇමරිකා එක්සත් ජනපදයට හදුන්වා දුන් අතර 1905දී ඇමරිකා එක්සත් ජනපදයේ පළමු Pizza අවන්හල විවෘත කරන ලදී.දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ආපසු සිය රටට පැමිණි ජනයා අතර මේ ඉතාලි ආහාරය ඉතා ජනප්‍රිය වීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදය පුරා මෙම ආහාරය ජනප්‍රියත්වයට පත් විය.අද වන විට  Domino's, Pizza Hut සහ Papa John's වැනි Pizza සදහාම වූ අවන්හල් ජාලා ලෝකය පුරාම විසිරි පැතිරී ඇති අතර එයට අමතරව සීත කල Pizza හා නිවසේදි  ඉකමනින් සාදා ගත හැකි Pizza වර්ගද සුපිරි වෙලද සැල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

Pizzafest සැණකෙලිය 

Pizzafest සැනකෙලියේ දර්ශනයක්  /https://www.tastecapade.com

සෑම වසරකම සතියක කාලයක්  දකුණු ඉතාලියේ නේපල්ස් නගරය ඉතා සුන්දර හා රසවත්  සැනකෙලියක් බවට පත් වෙන්නේ  Pizzafest ලෙස හැදින්වෙන ලොව විශාලතම  Pizza  සැනකෙලිය සදහායි.මේ  සැණකෙලියේදි  විවිධ රස ඇති නවතම  Pizza රස බැලීමට මෙන්ම Pizza සෑදීමේ තරග වලට සහභාගී වීමේ අරමුණින් නේපල්ස් කරා ඇදී එන සංචාරකයන් බොහොමයි.Pizza දිනයක් වෙන් කර මුල් වරට සමරන ලද්දේ 1995දී වන අතර මේ වන විට සෑම වසරකම දින 5-7 අතර කාලයක් පුරාවට නේපල්ස් නගරයේදි මෙය සමරනු ලබනවා.මෙහිදි සාම්ප්‍රධායික Pizza හා ලොව පුරා ඇති නවතම Pizza රස බැලිමේ අවස්ථාව සැණකෙලියට සහභාගි වන්නන්ට  හිමි වෙන අතර සතිය අවසානයේ විනිශ්චය මණ්ඩලයක් විසින් මේ සියල්ල විනිශ්චය කරනු ලබනවා

Pizza වාර්තා 

ලොව විශාලතම Pizza එක 

ලොව විශාලතම Pizza එක නිර්මාණය වී ඇත්තේ 2012 දෙසැම්බර් මස රෝමයේදි වන අතර එහි ප්‍රමාණය වර්ග මීටර් 1261 බව කියවෙනවා.මෙය පළමු රෝම අධිරාජ්‍යා සිහි වීම පිණිස "Ottavia"ලෙස නම් කර ඇති අතර මෙය ග්ලුටෙන් රහිතව නිශ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

ලොව දිගම Pizza එක 2016දී නේපල්ස්  හීදී නිශ්පාදනය කෙරුණු අතර එහි දිග කිලෝ මිටර් 1.85කි.

ලොව දිගම Pizza ආහාරය 

ලොව මිල අධිකම Pizza ලෙස ගිනස් වාර්ථා පොතට ඇතුල්ව ඇත්තේ ලන්ඩනයේ පිහිටි අවන්හලක නිපදවෙන Pizza විශේෂයක් වන අතර මෙය අලෙවි වන්නේ ස්ටර්ලින් පවුම් 100ක මුදලකටයි.මෙම Pizza වර්ගය සෑදිමට ලොව මිල අධිකම හතු වර්ග හා චීස් වර්ග යොදා ගැනෙන අතර එය පුළුස්සා ගනු ලබන්නේද දර උදුනකයි.මීට වඩා මිල අධික Pizza වර්ග විවිධ අවස්ථා වල නිපදවා ඇති මුත් ඒවා කිසිවක් ගිනස් වාර්ථා වලට ඇතුලත්  වී නෑ.

සෞඛ්‍යය අවධානය 

http://www.nbpizzaworks.com/

ඉතා විශාල ප්‍රමාණ වලින් Pizza නිශ්පාදනය කෙරෙන ක්ෂණික ආහාර අවන්හල් වල සෞඛ්‍යයට අහිතකර අමු ද්‍රව්‍යය යොදන බවට චෝදනාවක්ද ඇති වී තිබෙනවා.Pizza හී ලුනු සහ තෙල් ප්‍රමාණය ඉහළ යාම මෙයට බලපා ඇති අතර මෙය සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා.Pizza ආහාරයට ගැනීමේදී එය ශරීරයට බලපාන ආකාරය Pizza හී අන්තර්ගත ද්‍රව්‍ය වර්ග අනුව වෙනස් වන මුත් පොදු මතය නම් එහි ලුනු ප්‍රමාණය ඉතා අධික බවයි.

Pizza යනු කොහෙත්ම පැණි රස කෑමක් නොවන නමුත් එහි සීනී ද අන්තර්ගත වෙනවා.චීස් Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 5ක්ද මස් සහ එලවලු Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 7ක්ද අඩංගු බව කියවෙනවා.සාමාන්‍ය කාන්තාවක් දවසට ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 24ක් වන අතර පිරිමි අයෙක් ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 36ක් ලෙස දැක්වෙනවා.එසේ බලන කල Pizza අනුභවය දියවැඩියා රෝගින්ට කොහෙත්ම හිතකර වෙන්නේ නෑ.

Pizza හී අඩංගු මේදය  ප්‍රමාණය රදා පවතින්නේ එහි ඇති එලවලු මස් හා චීස් ප්‍රමාණය මත වූවත් සාමාන්‍ය මතය නම් එහි ඇති මේද ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අසංතෘප්ත මේදය බවයි.මෙය කොලොස්ට්‍රෝල් වැනි ලෙඩ බොහෝ ප්‍රමාණයකට මූලික හේතුවක් සේ සැලකෙනවා.

 මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Pizza





   

රහස් ඔත්තුකාරියක වූ අබිසරුලිය, මාතා හරී

ලෝකයේ විවිධ කාල වල විවිධ ආකාරයේ රහස් ඔත්තුකරුවන් ඔත්තුකාරියන් දකින්න හැකියාව තිබෙනවා.ඒ නමුත් රහස්  ඔත්තුකාරියකගේ ජීවිත කතාව පස් වරක් සිනමාවට නගා දෙවරක් නවකතාවක ලෙසින් ලියා පල කර සංගීත නිර්මාණද හතරක් සිදු කර ඇත්නම් ඒ මාතා හරී ම පමණයි.මාතා හරී යනු රහස් ඔත්තුකාරියක් මෙන්ම  වෘර්තීය නාට්‍යාංගනාවක් හා  අබිසරුලියක් ලෙසද  සලකනු ලබනවා .පළමු ලෝක යුද්ද සමයේ ඔත්තුකාරියකව සිටි  මාතාහරී ගේ ජීවිත කතාව මේ තරම් වෙනස් සහ සුවිශේෂී  වන්නේ ඇයි? මේ ලිපිය එ පිලිබදවයි.

www.thedailybeast.com

ළමා කාලය 


1876 වර්ශයේ අගෝස්තූ 7 වන දින නෙදර්ලන්තයේ  ලියුවොර්ඩන් හීදී  උපත ලැබු මාගරීටා  ගර්ට්‍රියුඩා සෙල්ලේ දරුවන් හතර දෙනෙක් සිටි පවුලක වැඩිමල් දරුවා වූවා ය.ඇයගේ පියා ඇඩම් සෙල්ලේ ටත් මව වූ ඇන්ටි ජේ වැන් ඩී මවුලර්  ටත්  මාගරීටා අමතරව බාල  පුතුන් තිදෙනෙක් විය.හිස්වැසුම් අලෙවිසැලක් තිබූ මාගරීටාගේ පියා තෙල් කර්මාන්තය තුළද මුදල් ආයෝජනය කිරීමෙන් ඉහළ ආදායමක් ලැබීම හේතුවෙන්  ඇයට අවුරුදු 13ක් වන තෙක් සුපෝඛභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි වූ අතර ඇයටම වෙන් වූ පාසලක ඉගැනුම ලැබීමටද ඇයට වාසනාව ලැබුණී. 1889දී සිදුවූ පියාගේ බංකොලොත් වීමත් ඊට ටික කාලෙකට පසු සිදු වූ දෙමාපියන්ගේ දික්කසාදයත් නිසා සිදුවූ අතර  මාගරීටාගේ පියා නැවත වරක් සුසාන කැතරිනා නම් කාන්තාවක සමග විවාහ වූයේ ය.ඔවුන්ට දරුවන් නොමැති වීම හේතුවෙන් මේ විවාහය වැඩිකල් නොපැවතුණේය.මේ අතර මාගරිටා ස්නීක් හී  සිටි තම භාරකාර පියා වූ වීසර් තමග ජීවත් වීමට පටන් ගත්තාය.මෙහෙදී ඇය ළදරු පාසල් ගුරුවරියක් වීමට ඉගෙනුම ලැබුවද එහි විදුහල්පතිවරයා ඇය සමග සමීප වීමට උත්සහ දැරීම නිසා ඇයගේ භාරකාර පියා විසින් ඇයව පාසලෙන් ඉවත් කරගන්නා ලදී.ඊට මාස කීපයකට පසු මාගරීටා හේග් හී සිටි තම මාමාගේ නිවසට පලා ගියා ය.

විවාහය 

ඉන්දුනීසියාවේ සේවය කළ ලන්දේසි ජාතික යටත් විජිත හමුදා කපිතාන්වරයෙක් වූ රැඩොල්ෆ් මැක්ලියොඩ් විසින් පුවත්පතක පළ කර තිබූ මංගල දැන්වීමක් දකින මාගරීටා එම දැන්වීමට පිළිතුරු යැව්වා ය.එහි ප්‍රතිඵලයක් ලෙස මාගරීටා තමන්ට වඩා දෙගුණයක් වයසැති කපිතාන්වරයා සමග 1895 ජුලී මස 11 වන දින විවාහ වූවා ය.මෙම විවාහයෙන් ඔවුන් දෙදෙනාට නොර්මන් ජෝන් මැක්ලියෝඩ් සහ ලුවී ජියාන් මැක්ලිලෝඩ් ලෙස දරුවන් දෙදෙනෙක් ලැබිණි.


1897දී ගත් ජායාරූපයක් 

කෙසේ වුනත් ඔවුන්ගේ විවාහය සතුටුදායක විවාහයක් නොවිණි.රුඩොල්ෆ් මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක් වූ අතර දිනපතාම   මත්පැන් පානය කොට පැමිණ මාගරීටාට පහර දීම සිරිතක් ලෙස සිදු කළේය.ඔහු නිරන්තරයෙන්ම ඇයට චෝදනා කරේ තම උසස් වීම නොලැබීමට හේතුව ඇය බව පවසමිණි.මෙයින් නතර නොවුනු රැඩොල්ෆ් එකළ ඉන්දුනීසියාවේ සිරිතක් ව පැවති ලෙස ප්‍රසිද්දියේම තවත් කාන්තාවන්  ඇසුරු කිරීමට පටන් ගත්තේ ය.මෙයින් සිදු වූයේ මාගරීටා රැඩොල්ෆ්ගෙන් වෙන් ව වෙනත් ලන්දේසි කපිතාන්වරයෙකු වූ වෑන් රීඩ්ස් සමග ජීවත් වන්නට පටන් ගැනීමයි.මේ කාලයේදී ඉන්දුනීසීයානූ සම්ප්‍රදායන් හොදින් හැදෑරූ මාගරීටා දේශිය නර්තන සමාගමක් හා සම්බන්ද වූවා ය.1897දී ඇය කලා ලෝකයට අවතීණ වූයේ "මාතා හරී" නම් නව නමකිනි.ඉන්දුනීසියානූ බසින් එහි අර්ථය 'ඇස' හෝ 'සූර්යයා' ලෙස හැදින්වීය හැක.

මේ අතර රඩොල්ෆ්ගේ දැඩි ඉල්ලිම මත ඇය නැවත ඔහු වෙත යන නමුත් ඔහුගේ නොහික්මුනු හැසිරීම් වල වෙනසක් නොදකින මාගරීටා වැඩි අවධානය තම කලා හැකියාවන් දියුණු කර ගැනීම සදහා යොමු කළාය.1899 දී ඔවුන්ගේ දරුවන් දෙදෙනාම දැඩි ලෙස රෝගී වූ අතර රෝගය උත්සන්න වීමෙන් නෝර්මන් මිය ගියේ ය.කෙසේ වූවත් පවුලේ අය නම් සැක කලේ මෙය රැඩෝල්ෆ් ගේ සතුරෙක් විසින් දරුවන්ට වස දිමෙන් සිදු වූ දෙයක් ලෙසටයි.මෙයින් පසුව රැඩොල්ෆ්  හා මාගරීටා නැවතත් නෙදර්ලන්තයට පැමිණි අතර 1906 දී ඔවුන් නීතියෙන් වෙන් විණි.නීතියෙන් ජීයාන්ගේ බරකාරත්වය හිමිවූයේ මාගරිටා ට වුවත් රැඩොල්ෆ් වන්දි මුදලක් නොගෙවූ නිසා ඔවුන්ට මහත් අගහිගකම් මැද ජීවත් වීමට  සිදු විය.මේ අතර දිනක් ජියාන් තම නිවසට ගෙන්වා ගත්  රැඩොල්ෆ් ජියාන් තමන්ගේ බාරයට ගත්තේය.මෙයට විරුද්ද වීමට තරම්වත් මුදල් අතේ නොතිබුණු මාගරීටා දියණිය පියා ලග තැබීමට එකග වුවා ය.

දියණිය ජියාන් 


පුතු නෝර්මන්   හා රැඩොල්ෆ් 

ප්‍රංශයේ ගත කළ කාලය 


1903දී ප්‍රංශයට ගිය මාගරීටා සර්කස් කණ්ඩයමකට එකතු වූ අතර මුදල් අගහිගකම් නිසාම සිතුවම් ශිල්පීන්ගේ සිතුවම් සදහා පෙනී සිටිමටද පටන් ගත්තා ය.1905 වන විට ඇය නර්තන ශිල්පිනියක ලෙස අතිශය ප්‍රසිද්දියට පත් වූවා ය.1905 ගිමෙට් කෞතුකාගරයේදි කල නර්තනයෙන් අතිශය ජනප්‍රියත්වට පත් වූ ඇය ඒ සමගම කෞතුකාගාරයේ නිර්මාතෘ වූ එමිලි ටියෙන් ගිල්ට් ගේ දිගු කාලින ආර්‍යාව බවටද පත් වූවා ය.මාගරීටාගේ නර්තනයන් වල ප්‍රධාන අංගයක් වූයේ ඇදුම් උනා දැමීමයි.සියලුම ඇදුම් වුනා දැමූ ඇය අවසානයේදි නර්තනයේ යෙදුනේ  මැණික් ඇල්ලූ තන පටයකින් පමණක් සැරසී ගෙන ය.පැරීසියෙන් ආරම්භ කල මේ නර්තන ජිවිතය නිසා මාගරීටා 'මාතාහරී' ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූවා ය.ඇය තමන් ලන්දේසි කාන්තාවක බව සැගවූ නිසා සියලු දෙනා සිතුවේ ඇය  ඉන්දුනීසියානු කාන්තාවක බවයි.



1905 දී නර්ථනය ඉදිරිපත් කරමින් 

ඔත්තු සේවය 

1912 වන විට ඇයගේ නර්තනය නිසා ඇතිවූ උන්මාදය අඩු වෙන්නට පටන් ගත්තේය.ඒ සමගම ඇය කෙමෙන් අබිසරුලියක් බවට පත් වූවා ය.මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට බොහො උසස් හමුදා නිලධාරීන්, දේශපාලනයේ නියුතු වූවන් හා රාජ තාන්ත්‍රික පුද්ගලයන් ඇසුරු කිරීමේ භාග්‍යය හිමි විය.බොහො පුද්ගලයෝ  කිසිම ප්‍රශ්න කිරිමකින් තොරව ඇයව දේශ සීමාවෙන් පිටතට රැගෙන ගියේ ය.නේදර්ලන්ත අනන්‍යතාවයක් සහිත වූ මාගරිටා සෙල්ලේ නිතර නිතර ප්‍රංශය සහ නෙදර්ලන්තය අතර ගමන් කරේ බ්‍රිතාන්‍යය හරහා වීම ගැන  බ්‍රිතාන්‍ය හමුදාවන් සැක පහළ කළේ ය.පසුව ප්‍රංශ වෙනුවෙන් ඔත්තු ඇලු බවට සැක පිට මාගරීටා අතඩංගුවට එන ප්‍රශ්න කලත් කිසිවක් හෙළි නොවුන තැන ඇය නිදහස් කර හැරිණි.

මේ අතර ජර්මන් හමුදාවෙන් කේත සහිතව යැවූ පණිවිඩ කිහිපයක් විකේතනය කල බ්‍රිතාන්‍යයේ හමුදාව  H 21 ලෙස නම් වූ ජර්මන් ඔත්තුකරුවෙකු පිලිබද  හදුනා ගත් අතර වැඩිදුර පරික්ශන වලින් එලි වූයේ H 21 යනු මාතා හරී බවයි. 1917 පෙබරවාරි 13 පැරීසියේ එලිසේ පැලස් හෝටලයේදී මාගරීටා අත්ඩංගුවට පත් වන්නේ ජර්මනියට ඔත්තු සැපයිමේ චෝදනාව හේතුවෙනී.ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් මෙසේ ඇයට චෝදනා එල්ල කරත් ඒ පිළිබද කිසිදු පහැදිලි ප්‍රබල සාක්ශියක් සොයාගැනීමට නොලැබුණි.කෙසේ වූවත් ඇයව බේරාගැනීමට නොහැකි වූ අතර නඩු තීන්දුවෙන් ඇයට වෙඩි තබා මරා දැමීමට නියම විය.

1906දී ගත් ජායාරූපයක් 

ඒ අනුව ඇය 1917 ඔක්තෝබර් 15 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී.වාර්තා වල සදහන් වන පරිදි ඇය ඇස් වසා ගැනීමට දුන් සුදු රෙදි කඩ ද ප්‍රතික්ශේප කර වෙඩි පහර දෙස කෙලින් බලාගෙන ජිවිතයට සමු දුන් බව කියවේ.එමෙන්ම වෙඩි පහර ලබාදීමට පෙර ඇය වෙඩි තැබීමට පැමිණි ප්‍රංශ සොල්දාදුවන්ට හාදුවක් පා කර යැවූ බවද වෙඩි පහර එල්ල වීමේදි ඇය හැකිතාක් හිස කෙලින් තබා ගත් බව ද කියවේ. මාතා හරිගේ පවුලේ කිසිම කෙනෙක් ඇගේ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා සිරුර වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු සදහා බාර දුන් බව කියවේ. 

නෙදර්ලන්තයේ ලියුවොර්ඩන් කෞතුකාගරයේ මාතා හරි වෙනුවෙන් වෙන් කල වෙනම කුටියක් ඇති අතර එහි ඇත්තේ ඇගේ පෞද්ගලික පින්තූර පොතක් සහ ඇගේ නර්ථනය විදහා දැක්වෙන සේ කල එම්බ්‍රොඩර් නිර්මාණයකි.

නෙදර්ලන්තයේ ලියුවොර්ඩන් කෞතුකාගරය ඉදිරිපිට ඇති මාතා හරී ගේ ප්‍රතිමාව 


මාතා හරී ගේ පින්තූර පොත 


මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Mata_Hari