Friday, December 21, 2018

මන්දාරම් අහස යට - පහළොස්වන කොටස



හුලගේ සද්දේත් කපාගෙන ආපු ත්‍රීවීල් එක ආදිත්‍යගේ කකුල් ලගම නැවැත්තුවා.ආදිත්‍ය අඩියක් පස්සට ගත්තෙත් ත්‍රී වීල් එකෙන් මිනිස්සු දෙන්නෙක් බැස්සෙත් එක පාරටමයි.ඇගේ ගානටම තියෙන ටීශර්ට් දෙකක් ඇදලා හිටපු ඒ මිනිස්සු දෙන්නා බැලු බැල්මටම හොද සවි ශක්තිය තියෙන පාටක් පෙනුනා.

ඒ දෙන්නා හිනා වේගෙන ඉස්සරහට එනකොට ආදිත්‍ය තව අඩියක් පස්සට ගත්තා.අසේලි ආදිත්‍ය ලගට වුනේ ඒ මිනිස්සු දෙන්නා ගැන ඇතිවෙච්ච බය නිසාමයි.

"අහ් මල්ලි කොහෙද මේ නංගි එක්ක යන්නේ?" ඒ දෙන්නාගෙන් ටිකක් මිටි මනුස්සයා ඇහුවේ අසේලි දිහාත් හොදට බලන ගමන්.ඒ බැල්මෙන් අසේලිට ඇති වුනේ අපහසුවක්.ඒ නිසාම අසේලි ආදිත්‍යට මුවා වුනා.

"අපි මේ ගෙදර යනවා" ආදිත්‍ය කිව්වේ කෙලින්ම ඒ මිනිහගේ මූණ බලන ගමන්.ඒ මුණු වල හැටියටම මේ ආවේ හොදකට නෙවෙයි කියලා ආදිත්‍යට තේරුණා.

"ගෙවල් කොහෙද?" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු උස මනුස්සයා ඇහුවා.

"ඇයි අහන්නේ?" ආදිත්‍යත් හිතට දිරිය අරන් ඇහුවා.ඒකට ඒ දෙන්නම මූණ බලාගෙන හිනා වුනා.

"මේ අපේ ඒරියා එක මල්ලි.මෙහේ අපි නොදන්න කෙනෙක් නෑ.උදව්වක් කරන්න හිතාගෙන ඇහුවේ" උස මනුස්සයා කිව්වේ රැවුලත් අත ගාන ගමන්.

"ඔව් මේ ලස්සන නංගි කෙනෙක් එක්කනේ යන්නේ" මිටි මිනිහා කිව්වේ අසේලි දිහාවට තවත් එබෙන ගමන්.අසේලි තවත් ආදිත්‍යගේ පිටිපස්සට වුනේ ආදිත්‍යගේ ශර්ට් එකත් අතින් මිරිකගන්න ගමන්.

"කමක් නෑ.අපේ ගෙදර අය දැන් ලග එනවා අපිව එක්කගෙන යන්න " ආදිත්‍ය කිව්වේ පිටිපස්සෙන් අත දාලා අසේලිගේ අතින් අල්ලගන්න ගමන්.

"අපිත් එක්ක යමු.අපි මගින් දාන්නම්.නංගි නම් කලුතරනේ නේද?" ඒ කොට මනුස්සයා ආයෙත් අහද්දි ආදිත්‍ය ඒ මනුස්සයා දිහා බැලුවේ සැකෙන්.

"එයා කලුතර කියලා ඔයාලා කොහොමද දන්නේ?" ආදිත්‍ය ඇහුවේ ඒ සැකේ නිසාමයි.

"මේ බලහන්කෝ සිරී මේ මල්ලි අහන ඒවා.මෙහේ අපි නොදැන කපුටෙක්වත් පියාඹන්නේ නෑ මල්ලි" මිටි මනුස්සයා කිව්වේ සිරි කියලා හදුන්වපු අනිත් උස මනුස්සයට.

"මේ මල්ලිලා දන්නේ නෑනේ අයියා ගැන.ඒකයි" එහෙම කියාගෙනම සිරී ආදිත්‍ය ලගට ආවා.ලගට ආපු සිරී ආදිත්‍යගේ උරහිසට අතක් තිබ්බා.

"මේ ඉන්නේ මල්ලි විජේ අයියා.මේ පැත්තම විජේ අයියට තමා.මං මේ මල්ලි නොදන්න නිසා කිව්වේ" සිරී ආදිත්‍යට එහෙම කිව්වත් සිරීගේ ඇස් දෙක තිබ්බේ ආදිත්‍යට මුවා වෙලා ඉන්න අසේලී ලග.ඒක තේරුනු ආදිත්‍ය සිරීගෙන් ටිකක් ඈතට වුනා.

සිරී ආයෙත් විජේ ලගට යන අතරේ ආදිත්‍ය පිටිපස්සේ හිටපු අසේලි දිහා බැලුවා.

"ඔයාට දුවන්න පුලුවන්ද" ආදිත්‍ය අසේලිගෙන් රහසින් අහද්දි අසේලි ඔලුව වැනුවා.

"ඉතින් මල්ලි මොකද කියන්නේ? යමුද? අපිත් මේ අලුත්ගම යන ගමන්.මගින් දාන්නම්" සිරී කිව්වේ අමුතු විදියකට හිනා වෙන ගමන්.

"අහ් හා හා..ලොකු උදව්වක්" ආදිත්‍ය එහෙම කියද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ පුදුම වෙලා වගේ.

"එහෙනම් නගින්න නංගි" සිරී කියද්දි ආදිත්‍ය හැරිලා අසේලි දිහා බලලා එයාගේ පිටේ තිබ්බ බෑග් එක ගලවලා අතට ගත්තා.

"අයියේ මේ වතුර බෝතලයක් නැද්ද.මෙයාගේ මේ කකුලේ මොනවද ජරාවක් ගෑවිලා.අපි මේ මග නැවතුනෙත් ඒකයි"ආදිත්‍ය කියද්දි සිරී ත්‍රී වීල් එක ලගට ගියේ වතුර බෝතලේ ගන්න.

සිරී එතනට යනවත් එක්කම ආදිත්‍ය අතේ තිබ්බ බෑග් එකෙන් විජේට පහරක් දුන්නේ අසේලි බය වෙලා බලන් ඉද්දි.කොහෙත්ම බලාපොරොත්තු නොවුනු වෙලාවක ඒ ගහපු පාරට විජේ විසී වෙලා වැටෙද්දි ආදිත්‍ය අසේලිගේ අතින් ඇදගෙන දුවන්න පටන් ගත්තා.

" යමන් ඉක්මනට...." ඈතින් විජේ කෑගහන සද්දෙත් එක්ක ත්‍රී වීල් එක ක්‍රියාත්මක වෙන සද්දේ ඇහෙනවත් එක්ක ආදිත්‍ය දුවන වේගේ වැඩි කරා.

හුලග මැදින් ආදිත්‍යගේ වේගෙට දුවන එක ටිකක් අමාරු වුනත් අසේලිත් එයාට පුලුවන් උපරිමෙන් දිව්වේ පපුව ගැහෙද්දි.හුලගේ සැරට් කන් අගුල් වැටිලා තියෙද්දී අසේලිට දැනුනේ දැන් දැන් තමන්ව වැටේවි වගේ හැගීමක්.

ත්‍රීවීල් එක ලග ලග වගේ දැනෙද්දිම ආදිත්‍ය වංගුවක් ලග තිබ්බ කඩේකට රිංගුවේ අසේලිවත් ඇදගෙන.ටකරං දාලා පොඩියට හදලා තිබ්බ කඩේ බිත්තියකට මුවා වුන ආදිත්‍ය හෙමීට බිත්තියෙන් එබුනා.එතකොටම ආදිත්‍ය දැක්කේ එතනින් යන ත්‍රී වීල් එක.

"ගියා වගේ..." ආදිත්‍ය කිව්වේ අසේලිගේ පැත්තට හැරෙන ගමන්.

ඒත් ඒ කියපු එකට අසේලිට උත්තර දෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.හයියෙන් හුස්ම ගත්ත අසේලිගේ මූණත් රතු වෙලා තිබ්බේ මහන්සියටමයි.අසේලි හති දානවා දැකලා ආදිත්‍යත් කලබල වුනා.

"ඇයි ඇයි මොකද?" ආදිත්‍ය ඇහුවේ අසේලිගේ උරහිසින් අල්ලගන්න ගමන්.එහෙම්ම ඇස් දෙක පියවුනු අසේලි ආදිත්‍යගේ උරහිස උඩට කඩන් වැටුනා.අසේලිගේ ඉණ වටේ අත දාලා අසේලිව වාරු කරගත්ත ආදිත්‍ය අසේලිගේ මූණ එයාට පේන විදියට අතින් අල්ලගත්තා.

"අසේලි...අසේලි..." ආදිත්‍ය අසේලිගේ මූණට කීප සැරයක්ම ගහලා කතා කරද්දී අසේලි හෙමීට ඇස් ඇරියා.

"අසේලි...මොකද වුනේ?" ආදිත්‍ය ඇහුවේ කලබලෙන්.

"වතුර ටිකක් මට.." අසේලි හිමීට කෙදිරුවා.

"බෑග් එකේ තියෙනවද?" ආදිත්‍ය අහද්දි අසේලි ඔලුව වැනුවා.

අසේලිව බිත්තියට හේත්තු කරලා එක අතකින් අල්ලගන්න ගමන් ආදිත්‍ය අනිත් අතින් බිම තිබ්බ බෑග් එකෙන් වතුර බෝතලේ ගත්තා.වතුර බෝතලේ පියන ඇරපු ආදිත්‍ය පරිස්සමට වතුර ටික අසේලිට පෙව්වා.එහෙම්ම ටික වෙලාවක් ඇස් පියාගෙනම බිත්තියට හේත්තු වෙලා හිටපු අසේලි ටිකකින් ඇස් ඇරියා.

"බෝතලේ දෙන්නකො"අසේලි කිව්වේ අසේලිවත් අල්ලගෙන බිත්තියට හේත්තු වෙලා හිටපු ආදිත්‍යට.

"දැන් හරිද? මොකද වුනේ?" ආදිත්‍ය ඇහුවේ වතුර බෝතලේ දෙන ගමන්.

"දැන් හරි.." අසේලි කිව්වේ හරි හෙමින්.එතකොටම ආදිත්‍යගේ දුරකතනය නාද වෙන්න ගත්ත නිසා ආදිත්‍ය සාක්කුවෙන් දුරකථනය අරන් බැලුවා.

"මේ අවිශ්ක කතා කරන්නේ" අසේලිට එහෙම කියපු ආදිත්‍ය දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා.

"හෙලෝ මචන්"

"කොහෙද යකෝ ඉන්නේ..දැන් ගාලු බස් දෙකක් ගියා මෙතනින්.උඹ මදිවට ෆෝන් එකත් ඔෆ් කරගෙන" අවිශ්කගේ කටහඩ ඇහුනු ආදිත්‍ය අසේලි දිහා බැලුවා.

"හරි හරි පොඩි ප්‍රශ්නයක් වුනා අවියා.මේ උඹට පුලුවන්ද වාද්දූව ටවුන් එකට එන්න" 

" උඹ වාද්දූවේද? හරි මං එන්නම් විනාඩි 10න් ඔතන ඇති" අවිශ්ක එහෙම කියනවත් එක්කම දුරකථනය විසන්ධි වුනා.

"එන්නම් කිව්වා" ආදිත්‍ය කියද්දි අසේලි අමාරුවෙන් හිනා වුනා.

අසේලි එහෙම්ම එතන බිම වාඩි වුනේ ඇගේ අමාරුව නිසාමයි.ආදිත්‍යත් අසේලි ලගින්ම සිමෙන්ති පොලවේ බිත්තියට පිට දීලා වාඩි වුනා.එතන තිබ්බ වතුර බෝතලේ අරන් ආදිත්‍ය වතුර ටිකක් බිව්වා.

"උන් ආයේ ඒවිද?" ආදිත්‍ය වතුර බොන දිහා බලන් හිටපු අසේලි හෙමීට ඇහුවා.

"කියන්න බෑ.ඒත් අපිව හොයාගන්න වෙන්නේ නෑ.බය වෙන්න එපා" ආදිත්‍ය කියද්දි අසේලි බිත්තියට ඔලුව තියාගත්තා.

"අමාරුද? මොකද වුනේ? බඩගිනිද?" ආදිත්‍ය අහද්දි අසේලි ඔලුව වැනුවා.

"දවල්ට කෑවේ නෑ මං" 

"පිස්සුද ඕයි.." ආදිත්‍ය ඒක ඇහුවේ ටිකක් සද්දෙන්.

"ශ්හ්...සද්ද් කරන්න එපා"ආදිත්‍යගේ සද්දේ වැඩි වුන නිසාම අසේලි හෙමීට ආදිත්‍යගේ අත මිරිකන ගමන් කිව්වා.

"කෑවේ නැත්තම් කලන්තේ වෙන එක අහන්නත් දෙයක්ද.පුදුමයි මේ ටික දුවගෙන ආවා.තව ටිකෙන් අර මිනිස්සු අරගෙන යනවා.මේ මොන මගුලක්වත් නෑනේ මං කියපු වෙලාවේ බස් එකෙන් බැහැලා ආවා නම් " ආදිත්‍ය තරහෙන් කියද්දි අසේලි කරුවලට රැව්වා.

"ඉතින් යන්න තිබ්බනේ...මොකටද හිටියේ ඔයා" 

"මොකටද හිටියේ කියන්නේ.වෙලාවට මං බස් එක පිටිපස්සට වෙලා හිටියේ.නැත්තම් අර ගෑනු දෙන්නා උස්සගෙන යනවා.එතනින් බේරගෙන ආවම ඒ පාර ආවා පිරිමි දෙන්නෙක්." ආදිත්‍ය කියවගෙන ගියේ හිතේ තරහටත් එක්කමයි.

"කවුද ඉතින් ඔයාට මාව බේරගන්න කිව්වේ.ගියා නම් ඉවරයිනෙ" අසේලිත් කිව්වේ තරහෙන්.

"ඔව් ගියා නම් ඉවරයි මට" එහෙම කියපු ආදිත්‍ය ආයෙත් බිත්තියට ඔලුව තියාගත්තා.ටිකකින් අසේලිගේ සෙලවීමක් දැනුනු නිසා ආදිත්‍ය ඇස් ඇරලා බැලුවා.අසේලි හිටියේ බෑග් එක අවුස්සන ගමන්.ඒ නිසා ආදිත්‍ය ආයෙත් ඇස් පියාගත්තා.සර සර සද්ද ගොඩකට පස්සේ අසේලි කතා කරා

"මේ...."

"ම්ම්ම්ම්...." ආදිත්‍ය උත්තර දුන්නේ ඇස් අරින්නේ නැතුවමයි"

"මේ කන්න..." අසේලි කියනවා ඇහුනු ආදිත්‍ය ඇස් ඇරියා.අසේලි හිටියේ බිස්කට් කන ගමන්.ආදිත්‍යටත් බිස්කට් පැකට් එක දික් කරාම ආදිත්‍ය බිස්කට් එකක් ගත්තා.

"ඔයා ගෙදරට කතා කරන්නේ නැද්ද? ගෙදර අය බය වෙලා ඇත්තේ" ආදිත්‍ය කියද්දි අසේලි ලොකු හුස්මක් ගත්තා.

" දැන් බෑ.මං ෆෝන් එකත් ඔෆ් කරා"

"ඇයි ඒ?" ආදිත්‍ය ඇහුවෙ පුදුමෙන්.

"මං දැන් කතා කරලා මොනවා කියන්නද.මේ ටික කියපු ගමන් අයියා මෙතනට ඒවි.ඔයා දන්නේ නෑ අපේ අයියගේ හැටි.එයාට මේවා තේරුම් කරන්න ලේසි වෙන්නේ නෑ.එයා හිතාවි මං බොරු කියනවා කියලා" අසේලි කියගෙනම ගියා.

"ඉතින් ඔයා දැන් මොකක්ද කරන්න ඉන්නේ?"

" අවිශ්ක එනවනේ.ඒ යන ගමන් කතා කරන්නම් මං" අසේලි එහෙම කියනවත් එක්කම ආදිත්‍යගේ දුරකථනය නාද වෙන්න ගත්තා.

"හෙලෝ මචන් ආවද?" 

"ඔව්..ටවුන් එකේ.උඹ කොහෙද ඉන්නේ?" 

"ටවුන් එක පහු කරලා හෙමීට ඉස්සරහට වරෙන්.මං පාර අයිනේ ඉන්නම්" ආදිත්‍ය එහෙම කියලා දුරකථනය විසන්ධි කරේ අසේලි දිහාත් බලන ගමන්.

"ඔයා ඔහොම්ම ඉන්න.අරුන් මේ කිට්ටුව ඉන්නවද දන්නෙත් නෑනේ.මං අවිශ්කව නවත්තගන්නම් පාර ලගට ගිහින්" එහෙම කියපු ආදිත්‍ය එතනින් නැගිට්ටා.ඒත් එක්කම අසේලිත් නැගිට්ටේ බෑග් එක කරට දාගන්න ගමන්.

පාර ලගට ගියපු ආදිත්‍ය හොදට වටපිට බැලුවේ කවුරුහරි පේන්න ඉන්නවද කියලා.ඒත් පාරේ ගිය වාහනයක් මිසක් වෙන කෙනෙක් පේන්න හිටියේ නෑ.ඒත් එක්කම වගේ වංගුවෙන් මතුවුනූ අවිශ්කගේ වාහනේ දැකපු ආදිත්‍ය අත වැනුවේ අවිශ්කට පේන්න.අවිශ්කත් වාහනේ හරවලා ආදිත්‍ය ලගින්ම නැවැත්තුවා.නවත්තලා ජනේලේ වීදුරුව පහත් කරපු අවිශ්ක ආදිත්‍ය දිහාවට එබුනා.

"මොකද වුනේ? නැගපන්" 

" හිටපන් ටිකක්" එහෙම කියන ගමන් ආදිත්‍ය බලන් හිටියේ අසේලි එතනට එනකම්.ආදිත්‍යට අසේලිව වැහිලා හිටපු නිසා අවිශ්කට අසේලිව පෙනුනේ නැති නිසා ආදිත්‍ය මේ මොකක් කරනවද කියලා අවිශ්කට හිතා ගන්න බැරි වුනා.

"මොන මගුලක් කරනවද බං නගින්නේ නැතුව" අවිශ්ක එහෙම කියනවත් එක්කම ආදිත්‍ය පිටිපස්සේ දොර ඇරියේ අසේලිට නගින්න.අසේලි වාහනේට නගිනවා දැකපු අවිශ්කගේ කටත් ඇරුණා.

"මේ...මේ...අසේලි " අවිශ්ක කිව්වේ පුදුමෙන්.

"ඔව් ඔව් අසේලි තමයි" එහෙම කියාගෙනම ආදිත්‍ය වාහනේට නැග්ගා.අවිශ්ක ඒ පුදුමෙන්ම ආදිත්‍යයි අසේලියි දිහා බැලුවේ මේ මුකුත් හිතා ගන්න බැරුව.

"හරි හරි දැන් උඹ කට ඇරන් බලන් හිටියා ඇති.යමන්" ආදිත්‍ය කිව්වේ ශීට් එකට හේත්තු වෙන ගමන්.එදා දවසේ වෙච්ච හැමදේකින්ම ආදිත්‍ය හොදටම මහන්සි වෙලා හිටියේ.

"මොකක්ද දැන් මේ වුනේ?" අවිශ්ක ඇහුවේ වාහනේ පදවන ගමන්

"ගෙදර ගිහින් කියන්නම්.දැන් කට වහන් ඕක එලවපන්" ආදිත්‍ය එහෙම කියන අතරේ අසේලි දුරකථනය ගත්තේ අයියට ඇමතුමක් දෙන්න.ඒ සැරේ දෙපාරක් නාද වෙනවත් එක්කම නිමන්ත දුරකථනයට පිළිතුරු දුන්නා.

"තමුසේ කොහෙද ඉන්නේ?"නිමන්ත කතා කරපු විදියට නිමන්තට තරහ ගිහින් කියලා තේරුම් ගන්න අසේලිට තවත් හේතු ඕනේ වුනේ නෑ..

" බස් එක කැඩුනනේ අයියේ.දැන් මේ එන ගමන්.වාද්දූව පහු කරා" 

"මොකේද එන්නේ?" 

"බස් එකේ" 

"හරි ඇවිත් කියනවා.මං විශ්වගේ කඩේ ඉන්නේ" 

"හා..." අසේලී එහෙම කියනවත් එක්කම දුරකථනය විසන්ධි වුනා.

අසේලි ආයෙමත් ශීට් එකට ඔලුව තියාගෙන ඇස් පියාගත්තේ ඔලුව බර ගතියක් දැනෙන නිසා.ඉස්සරහ වාඩි වෙලා හිටපු ආදිත්‍ය කාර් එකේ ඉස්සරහ ලොකු අප්පච්චි තියලා තිබ්බ පෙට්ටිය අතට අරන් ඇරියා.ඒක පොඩි බෙහෙත් පෙට්ටියක්.ආදිත්‍ය ඒකෙන් සිද්දාලේප එක ගන්නවා දැකපු අවිශ්ක බැලුවේ පුදුමෙන්

"මොකෝ උඹට" අවිශ්ක ඇහුවත් ඒක ඇහුනේ නෑ වගේ ආදිත්‍ය පිටිපස්සට හැරුණා.

" මේක ගාගන්න...ඔලුවේ කැක්කුම අඩු වේවි" ආදිත්‍ය කිව්වේ අසේලිට සිද්දාලේප එක දික් කරන ගමන්.ඒක අතට ගත්ත අසේලි නලලේ සිද්දාලේප ගාගේන එක ආයෙම ආදිත්‍ය අතට දුන්නේ මේ ඔක්කොම අවිශ්ක පුදුමෙන් බලන් ඉන්න අතරේ.

'යමන්කෝ මල්ලි ගෙදර.මොකක්ද මේ සීන් කෝන් එක කියලා දැනගන්න' අවිශ්ක කල්පනා කරේ ආදිත්‍ය දිහා බලාගෙනමයි.

වැඩි වෙලා නොගිහින්ම වාහනේ කලුතරට ආවෙ පාරේ වාහන නොතිබුනු නිසාමයි.පාලමට කිට්ටු වෙනවත් එක්කම අසේලි කතා කරා.

"මාව පාලම පහු කරපු ගමන් දාන්න.බෝධිය ලගින්" අසෙලි එහෙම කියපු නිසාම අවිශ්ක පාලම පහු කරපු ගමන්ම වාහනේ නැවැත්තුවා.වාහනෙන් බැහැපු අසේලි ආදිත්‍යගේ පැත්තෙන් වාහනේට එබුනා.

"තැන්ක් යූ..මං යන්නම් එහෙනම්" 

"අයියා ඇවිත් ඇතිද? එනකම් ඉන්නද?" ආදිත්‍ය අහද්දි අසේලි හිනා වුනා.

"මේ කලුතර බෝධිය ලග ඕනේ තරම් සෙනග ඉන්නවා.අයියා කොහොමත් ඒ ලග කඩේක ඉන්නවා කිව්වේ" 

" හරි එහෙනම් පුලුවන්නේ තනියෙන් යන්න නේද?"

"පුලුවන්.දැන් හොදයි මට.මං යන්නම් එහෙනම්.යන්නම් අවිශ්ක.තැන්ක් යූ" එහෙම කියපු අසේලි වාහනේ පහු කරලා ඉස්සරහට යනවත් එක්කම ආදිත්‍ය කලබලේට වාහනෙන් බැස්සේ අවිශ්කවත් පුදුම කරලා.

"අසේලී...." ආදිත්‍ය කතා කරේ ටිකක් සද්දෙන්.ඒ සද්දෙට අසේලි හැරිලා බැලුවා.

"ගිහින් කෝල් එකක් දෙන්න" ආදිත්‍ය කිව්වේ අතිනුත් පෙන්නන ගමන්.අසේලි හිනා වුනේ ඔලුවත් වනන ගමන්.ටික වෙලාවක් එහෙම්ම බලන් හිටපු ආදිත්‍ය වාහනේට නැග්ගා.

"යමුද?" අවිශ්ක අහද්දි ආදිත්‍ය හිනා වුනා.

"යමන් ඉතින්.දැන් එක එක ඒවා හිත හිත යන්න එපා.මං ගිහින් ඔක්කොම කියන්නම්" 

"හාකෝ හකෝ මල්ලි" අවිශ්ක හිනා වෙවීම වාහනේ පණගන්ව ගත්තා.

මේ අතරේ පාරේ නවත්තලා තිබ්බ වාහනේ රියදුරු අසුනේ හිටපු තරුණයා අවිශ්කගේ වාහනේ අංකය තමන්ගේ දුරකථනයේ සටහන් කර ගත්තා.

*************************************************************

මේක ලොකු පෙරළියක ආරම්බයක් වේවි.ඇත්තටම නම් දැන් තමයි මට ඕනේ කතාව හරියට පටන් ගන්නේ.

එහෙනම් ඉක්මනින්ම හම්බෙමු.කොහොම හරි දවසට කොටසක් දාන්න බලන්නම්.ඒත් බැරි වුනොත් ඊට පහුවදා කොටසක් දෙනවමයි.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment