Saturday, December 8, 2018

මන්දාරම් අහස යට - දස වන කොටස



විශ්ව විද්‍යාලෙට එන්න කියපු දවසේ උදේම අසේලි තාත්තයි අයියයි එක්ක විශ්ව විද්‍යාලය ආවේ හිතේ පොඩි තිගැස්මකුත් එක්ක.එයාගේ ඉස්කෝලේ යාලුවෙක් වුන නෙහාරාත් ඒ බැච් එකේම ඉන්නවා කියපු එක තමයි අසේලිට සැනසිල්ලකට තිබ්බේ.

"මේ මොකෝ චන්ඩියා බය වෙලා" කාර් එකේ එනගමන් අයියා ඇහුවේ අසේලිගේ බය වෙච්ච මූණ දැකලා

"බයයි තමා හලෝ..අනේ තාත්තා මට ගෙදර ඉන්න බැරිද?" අසේලි ඇහුවේ මූණත් බෙරි කරගෙන.අසේලි එහෙම කියද්දි තාත්තා හැරිලා බැලුවා.

"බය වෙන්න එපා දූ..ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අර ඔයාගේ යාලුවෙකුත් ඉන්නවා කිව්වනේ.යාලුවට ඔයාව බාර දීලම තමයි අපි යන්නේ" තාත්තා කිව්වේ අසේලිගේ හිත හදන්න.

"අනික දැන් ඕවගේ එහෙමට  රැග් ඇත්තෙත් නෑ.සයන්ස් ෆැකල්ටි නේ.මගේ යාලුවොත් ඉන්නවා.මං බලන්න කියන්නම් ටිකක්" අයියත් කතා කරේ අසේලිගේ හිත හදන්න හිතාගෙන.මේ අසේලි මුලින්ම ගෙදරින් පිට යන අවස්ථාව නිසා අසේලි වගේම ගෙදර අයත් ටිකක් නොසන්සුන් වෙලයි හිටියේ.

"ඇත්තටම රැග් නැති වෙයි නේද?" අසේලි ආයෙත් ඇහුවේ හිතේ බයටමයි.

"එහෙම ලොකු දෙයක් වෙන්නේ නෑ නංගි.ඔන්නම් නම ගම අහවි.එච්චරයි.අහන දේකට උත්තර දීලා ඉන්නවා.බය වෙන්න එපා.හිනා වෙන්න යන්න එපා.පණ්ඩිත කතා කියන්න එපා.කියන දෙයක් කට වහගෙන අහගෙන ශේප් එකේ ඉන්නවා"

"මට බැන්නත් අහගෙන ඉන්න ඕනෙද?" අසේලි ඇහුවේ පුදුමෙන් වගේ

"ඔන්න ඔහේ අහන් ඉන්නවා.ඇගේ ඇලෙන එකක් යැ" අයියා කියද්දි තාත්තත් ඔලුව වැනුවා.

"ඔව් දූ...අයියා කියන විදියට කරන්න.මේ ගෙදර නෙවෙයි.පරිස්සමට කතා කරලා ඉන්න.මතක තියාගන්න ඔයා එතන අවුරුදු 4ක් ඉන්න ඕනේ කියලා.එතන ඉන්න අය හැමෝම ඔයාට වඩා වැඩිමල් අය.ඔයාට වඩා ඒ විශ්ව විද්‍යාල ජිවිතේ අත්දැකීම් තියෙන අය.ඒ අය කවුරුවත් ඔයාට ඕනේ විදියට වෙනස් වෙන්නේ නෑ.ඔයා පොඩ්ඩක් එතන විදියට හැඩ ගැහෙන්න ඕනේ.තේරුනාද?" තාත්තා කියද්දි අසේලි ඔලුව වැනුවා.

"මුල ටික තමයි ටිකක් හරි ඔහොම වෙන්නේ.ඊට පස්සේ ශේප්.දැන් බලනවා නංගි අපි රස්සාවකට ගියත් එහෙමනේ.මතකද මං ජොබ් එකට ගියපු මුල් කාලේ.මොන කට්ටක්ද කෑවේ.දැන් කොහොමද තත්වේ.මුලින් ටිකක් අමාරුයි.කාගෙන හිටියොත් ගොඩ" නිමන්ත කියද්දි අසේලි හිනා වුනා.

"ඔව් මට මතකයි දවසක් ගෙදර ඇවිත් අම්මා එක්ක කිය කිය ඇඩුවේ ආයේ යන්න බෑ කියලා" අසේලි කිව්වේ හිනා වෙවි.

"ඒ කාලේ එහෙම තමයි දූ...අයියා වගේම තමයි ඔයත් හැමදාම ගෙදරට කතා කරන්න.තියෙන ප්‍රශ්න කරදර අරවා මේවා ඔක්කොම කියන්න අපට හරිද? අපි ඉන්නවනේ" තාත්තා කියද්දි අසේලිගේ ඇස් වලට කදුලුත් ආවා.අද එයාව තනියෙන් දාලා යන නිසා තමයි තාත්තා මේ කියවන්නේ කියලා අසේලිට තේරුනා.

"මේ කාගෙන් හරි කරදරයක් වුනොත් මට කියනවා.මං ඒක බලාගන්නම්" අයියා කියද්දි අසේලි හෙමීට හිනා වුනා.

"අයියෝ හරි හරි අනේ.මං හොද ලමයෙක් වෙලා ඉන්නම්"

"අන්න එහෙම ඉන්නවකෝ.තාත්තේ අපි කෙලින්ම කැම්පස් එකට යනවද? බෝඩිමට යනවද?" නිමන්ත අහද්දි තාත්තා හැරිලා අසේලි දිහා බැලුවා.

"අසේලිට හවස එයාගේ යාලුව එක්ක යන්න පුලුවන්නේ.අපි මෙයාව කැම්පස් එකට දාලාම  බෝඩිමෙන් බඩු ටික දාමු" තාත්තා එහෙම කියපු නිසා නිමන්ත කෙලින්ම වාහනේ හැරෙව්වේ විශ්ව විද්‍යාලයට යන්න.

එදා අසේලි වගේම තවත් අය ඇවිත් හිටියා විද්‍යා පීඨේටම ලියාපදිංචි වෙන්න.ඒ අතරේ හිටපු කීප දෙනෙක් එක්කම අසේලි ඒ වෙලාවෙම හිතවත් වුනේ තව අවුරුදු 4කට මේ ඉන්නේ තමන්ගේ යාලුවෝ බව මතක තියාගන්න ගමන්මයි.

අසේලි ඉක්මනින්ම යාලුවෝ හොයාගත්ත බව දැක්ක නිමන්තයි අසේලිගේ තාත්තයිත් පිටත් වුනේ බෝඩිමට බඩු දාලාම ගෙදර යනවා කියලා.අලුත් යාලුවෝ එක්ක දේශන ශාලාවට ගියපු අසේලිට නෙහාරාව හම්බුනේ දවල් කෑම විවේකෙදි.

"හම්මෝ...මේ ඉන්නේ.මං බය වුනා ඔයා නැද්ද කියලා" අසේලි කිව්වේ නෙහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"මං මොකටද ඉතින්.මං දැක්කා අලුත් සෙට් එකත් එක්කම කියව කියව හිටියා" නේහාරා කිව්වේ අසේලිව අවුස්සන්න හිතාගෙන.

"අනේ නෑ සුදූ...ඒ ඔයාව හොයාගන්න බැරි වුන නිසානේ.ඒක නෙවෙයි දැන් මොකක්ද වෙන්නේ?" අසේලි ඇහුවේ දේශන ශාලාවෙන් එලියේ හැමෝම නිශ්ශබ්ද වුන බව දැකලා.

"ශ්..ශ්..හෙමින් හෙමින්.වෙලාවට ඔයා මං කියපු විදියට සායක් ඇදලා ආවේ.දැන් යමු කැන්ටින් දවල්ට කන්න" නෙහාරා රහසින් වගේ කියද්දි අසේලිත් ඔලුව වැනුවා.

"මං ඔයා කියපු නිසා එලවලු ගෙනාවා රෑට කන්න.දවල්ට මුකුත් ගෙනාවේ නෑ"

"ඒක හොදයි.දවල්ට මෙහෙන් කමු.මේ අසේලි..." නෙහාරා අසේලි දිහා බැලුවේ කට්ටියම ආපනශාලාව දිහාට යන ගමන්.

"ම්ම්ම්..." අසේලිත් නෙහාරා වගේම රහසින් කෙදිරුවේ එයා අහන් ඉන්න බව අගවන්න.

"ඔයාලා අලුතෙන්නෙ.ඒ නිසා විස්තර අහවි.මූණ බලල උත්තර දෙන්න.හිනා වෙන්න නම් එපා හොදේ" නෙහාරා කියද්දි අසේලි ඔලුව වැනුවා.

ඒත් නෙහාරා කිව්වා වගේ දෙයක් කෑම කාලා ඉවර වෙනකම්ම වුනේ නෑ.බොහොම නිශ්ශබ්දව එක ලග ලග වාඩි වෙලා කෑම කාපු කට්ටියම ආපහු දේශන ශාලාවට යන්න යන්න ලෑස්ති වුනා.

"නෙහාරා ඔයා ෆොටෝකොපි ටික ගේන්න ඕනේ.අමතක කරන්න එපා" කට්ටිය පිටත් වෙන්න හදනකොටම නෙහාරා ලගට ආපු අත් කොට කමිසෙට දිග කලිසමක් ඇදලා බැලු බැල්මටම පළමු වසරේ කියලා හිතාගන්න පුලුවන් විදියේ පිරිමි ලමයෙක් කිව්වේ අසේලි දිහාත් හොදට බලන ගමන්.

"ඔව් මට මතකයි.ජීවක මේ අසේලි.අද ආවේ.මං මෙයත් එක්කම ගිහින් ගේන්නද" නෙහාරා කියද්දි ජීවක ඔලුව වැනුවා.

"හරි ප්‍රශ්නයක් නෑ.ගිහින් එන්න " ජීවක කිව්වේ යන්න අවසර දීලා.

"ඒ තමයි බැජ් රෙප් .ඒ කියන්නේ බැජ් එකේ නායකයා,පංති නායකයා වගේ" නෙහාරා අසේලිට තේරුම් කරලා දුන්නා.

"අහ් හරි හරි.දැන් මේ මොනවද ගෙන්න තියෙන්නේ?"

"'අපේ සබ්ජක්ට් එකක නෝට්ස් වගයක්.ඒ සබ්ජෙක්ට් එකේ නොට්ස් බාර මට.යමු මාත් එක්ක" නෙහාරා කිව්වේ අසේලි එක්කම ආපනශාලාවෙන් එලියට බහින ගමන්.

එලියට ආපු මේ දෙන්නා විශ්ව විද්‍යාලේ කාර්‍යාලයෙන් ඕනේ කරන සටහන් ටික අරගෙන ඉක්මනින්ම ආවේ ආයෙත් දේශන ශාලාවට යන්න හිතාගෙන.ඒත් එතකොටම එයාලට ඇහුනේ හයියෙන් ගහපු විසිල් එකක සද්දයක්.

"ඒයි මෙහේ එනවා..." ඒ විසිල් සද්දෙත් එක්කම හරි බර පිරිමි කටහඩක් ඇහුනා.කටහඩේ සැරටම අසේලියි නෙහාරයි එතනම නැවතුනා.

"දෙපාරක් කියන්න ඕනේද එකම දේ .මෙහේ එනවා" ආයෙත් ඒ කටහඩ කියද්දි දෙන්නම හැරිලා බැලුවේ බය වෙලා

බංකුවක් ලග හිටපු කොල්ලෝ තුන්දෙනෙක් තමයි මේ අසේලිටයි නෙහාරාටයි කතා කරේ.බැලූ බැල්මටම ඒ කොල්ලෝ එයාලට වඩා වැඩිමල් කියලා අසේලිට තේරුනා.නෙහාරා එක්ක එතනට යන අතරේ අසේලි කල්පනා කරේ දැන් මොනවා වේවිද කියලා.

බංකුව ලගට ගියපු මේ දෙන්නා බිම බලාගෙනම හිට ගත්තා.

"ඒයි දැන් අපි එන්න කිව්වේ බිම බලන් ඉන්නද.කෙලින් මූණ බලන්නවා.අපි ගිලින්නේ නෑ" ඒ පාර ඒ කතා කරේ වෙන කටහඩක්.ඒක අර තරම්ම සැර කටහඩක් නොවුනත් නෙහාරා වගේම අසේලිත් ඔලුව උස්සලා බැලුවා.

බංකුව ලග හිටගෙන අසේලි දිහාම බලන් හිටපු කොල්ලා අසේලි ලගට ඇවිත් ආයෙත් ගිහින් බංකුවෙන්ම වාඩි වුනා.

"අලුතෙන් නේද? අදද ආවේ? " ඒ කොල්ලා ඇහුවේ අසේලි දිහා බලාගෙනමයි.ඒ කටහඩේ විදියට ඒ කොල්ලා තමයි කලින් කතා කරලා තමන්ව නවත්ත ගත්තේ කියලා අසේලිට තේරුනා.

අසේලි ඔලුව වැනුවේ ඔව් කියන්න.

"ඇයි මොකෝ ඔලුව වනන්නේ? කටක් නැද්ද කතා කරන්න" එතන හිටපු වෙන කොල්ලෙක් කිව්වේ අනිත් අය දිහාත් බලන ගමන්.

"නැද්ද කොහෙද.නිකන් බදින්න කැමතිද ඇහුවා වගේනේ හැසිරෙන්නේ.ප්‍රශ්නයක් ඇහුවම කට ඇරලා උත්තර දෙන්න පුරුදු වෙනවා.මේ ඉස්කෝලේ නෙවෙයි.මුලින් කතා කරන්න පුරුදු වෙනවා " එහෙම කිව්වේ එතන හිටපු අනිත් කොල්ලා.මේ මුලු වෙලාවෙම ප්‍රශ්නේ අහපු කොල්ලා අසේලි දිහා බලාගෙනමයි හිටියේ.

"කෝ ඉතින් උත්තරේ.අදද ආවේ" ආයෙත් ඒ කොල්ලා ඇහුවේ අසේලිගෙන් උත්තරයක් නැති නිසා.

"ඔව්"

"අන්න එහෙම උත්තර දෙනවා.කටක් තියෙන්නේ කතා කරන්න" තව කොල්ලෙක් එහෙම කියද්දි එතන හිටපු අනිත් කොල්ලා නැගිට්ටේ කලබලෙන් වගේ.

"ගගන මුන්ව යවමු..අපේ ලෙක්චර්ස් ඉවරයිද කොහෙද.සර් කාරයා ආවොත් ලෙඩක්" ඒ කොල්ලා කිව්වේ අසේලි දිහා තාමත් බලන් ඉන්න සැර කටහඩක් තිබ්බ කොල්ලට.

"හ්ම්ම්..යනවා එහෙනම් පංතියට " ගගන එහෙම කියපු ගමන්ම අසේලියි නෙහාරායි හැරුනේ දේශන ශාලාවට යන්න හිතාගෙන.

"පොඩ්ඩක් ඉන්නවා" එහෙම කියපු ගගන ආයෙත් අසේලි ලගට ආවා.

"නම මොකක්ද? " 

"අසේලි "

" සම්පුර්ණ නම කියනවා " ගගන කිව්වේ සැරෙන්

"අසේලි ප්‍රාර්ථනා ජයවර්දන" 

"යමන් බං " ආයෙත් අර කොල්ලා කෑගැහුවේ ගගනට

"හ්ම්ම්..හරි යනවා එහෙනම් " එහෙම කියපු ගගන එයාගේ යාලුවෝ ලගට යන අතරේ අසේලියි නෙහාරයි ඉක්මනින්ම දේශන ශාලාවට ගියේ එතකොටත් පරක්කු වෙලා නිසා.

හවස නෙහාරාත් එක්ක බොඩිමට ගියපු අසේලි බඩු ටික අස් කරගත්තා.

"මට උඹ ඉන්න තැනම ඉන්න හම්බුන එක හොදයි" අසේලි කිව්වේ නිදාගන්න ලෑස්ති වෙලා.

"මටත් හරිම සතුටුයි ඔයා ආවට" නෙහාරත් කිව්වේ ඇත්තටම සතුටෙන් කියලා අසේලිට තේරුනා.

"එහෙනම් නිදාගමු.උදේ නැගිටලා යන්නත් ඕනනේ " නෙහාරා කිව්වේ ලයිට් නිවන ගමන්.

"හ්ම්ම්...දැන් ඉතින් ඒකටත් පුරුදු වෙන්න එපැයි" අසේලි කිව්වේ කරුවලේමයි.

"ටික දවසක් යද්දි පුරුදු වේවි ඔයාට.මාත් ඉන්නවනේ " නෙහාරා කියද්දි අසේලි ඇස් පියාගත්තේ නිදාගන්න හිතාගෙන.

නෙහාරා කිව්වත් වගේ පලවෙනි සතිය යද්දි අසේලි මේ ජිවිතේට ඉබේටම වගේ පුරුදු වුනා.සති අන්තේ ගෙදර ගිය දවසේ විශ්ව විද්‍යාලේ විස්තර කියන්න හිතාගෙන අසේලි විහාරාට කතා කරත් විහාරා ගෙදර අයත් එක්ක කතරගම ඉන්නේ කියපු නිසා අසේලිට විහාරා එක්කත් වැඩිය කතා කරන්න වුනේ නෑ.

සතියේ දවස් ටික ගෙවිලා ගියේ හරිම ඒකාකාරි විදියට වුනත් යාලුවො ඉන්න නිසා කොහොම හරි ඉවසගෙන ඉන්න අසේලි පුරුදු වුනා.උදේම නැගිටින අසේලියි නෙහාරායි ලෑස්ති වෙලා බස් එකේ විශ්ව විද්‍යාලෙට යනවා.එතනින් පස්සේ දේශන.දවල් කෑම.ආයෙත් දේශන ප්‍රායෝගික පරීක්ශන.මේ දේවල් එක්ක හිර වෙලා ඉදලා බ්‍රහස්පතින්දා වෙද්දි අසේලි හොදටම මහන්සි වෙලයි හිටියේ.පලවෙනි සතිය නිසාත් අසේලිට මහන්සිය වැඩියි.

"මහන්සියි අනේ..." නාන්නෙවත් නැතුව අසේලි ඇදට වැටුනේ එහෙම කියාගෙන.

"මටත් එහෙමයි.උඹ දැන්ම නාන්නේ නැද්ද?"  නෙහාරා ඇහුවේ නාන්න යන්න ලෑස්ති වෙන ගමන්.

"නෑ උඹ නාලා වරෙන්.මට මහන්සියි " එහෙම කියපු අසේලි එයාගේ ජංගම දුරකථනය අතට ගත්තා..සාමාන්‍යෙන් අසේලි විශ්ව විද්‍යාල වෙලාවේ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ නෑ.

දුරකථනය අතට ගත්ත අසේලි එහෙම්ම ඇදේ වාඩි වුනේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මිස්ඩ් කෝල් 32ක්..ආදිත්‍යගෙන්" අසේලි තමන්ටම කියාගත්තේ පුදුමෙන්.

*********************************************

ආදිත්‍ය මොකට වෙන්න පුලුවන්ද මේ වෙලාවේ අසේලිට කතා කරන්නේ? ටිකක් හිතලා බලමු ලමයි.

ඊලගට මට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මං කොළඹ විශ්ව විද්‍යාලේ ශිෂ්‍යාවක් නම් නෙවෙයි කියලා.මේ ලියන කිසිම දෙයක් කිසිම විස්තරයක් කොළඹ  විශ්ව විද්‍යාලයට සම්බන්ද නෑ.මේක සම්පුර්ණයෙන් ම මං ගොතපු කතාවක් විතරයි.කතාවට ගැලපෙන්න සිද්දි සහ විස්තර මගේ විශ්ව විද්‍යාල අත්දැකීම් වලින්  මං එකතු කරා.ඉතින් කොළඹ විශ්ව විද්‍යාලයේ උප සංස්කෘතියට හරි වෙන මොනවම හරි දෙයක් ගැන හරි මේ කතාවේ මගෙන් වැරදි දෙයක් කියවෙනවා නම් මං සමාව ඉල්ලන්නවා.ඒ වගේම ඒ කරුණු කාට හරි පුලුවන් නම් මට නිවැරදි කරගන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා.

ඊලගට හෙට කතාව ගේන්න වෙන්නේ නෑ.ඉරිදා කියන්නේ මට හුස්මක් ගන්න වෙලාවක් නැති දවසක්.ඒ නිසා අනිද්දට අලුත් කොටසකින් හම්බෙමු

ආදරෙන් ඉන්න 💜️ 


No comments:

Post a Comment