Sunday, December 30, 2018

මන්දාරම් අහස යට - විසි වෙනි කොටස


පොලීසීයේ ඉදන් ගෙදර ආපු ආදිත්‍යට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වුනා.

"මොනවද සුදු පුතා මේ කරගන්න දේවල්"  ආදිත්‍යගේ ලොකු අම්මා, ගයානි කම්මුලටත් අත තියාගෙන කියද්දි  ආදිත්‍යගේ  ලොකු අප්පච්චි වුනු නීතිඥ නිශාන්ත සූරියබණ්ඩාරත්  ඔලුව වැනුවා.

"මං කවදාවත් ඔය පොලීසියට පවුලේ එකෙක් නිසා ගිහින් නෑ.අනවශ්‍ය කරදරයක්නේ මේ දාගත්තේ" නිශාන්ත කිව්වේ ආදිත්‍ය දිහා කෙලින්ම බලන ගමන්

"ඒත් අප්පච්චි ආදි ගේ වැරැද්දක් නෑනේ.එයා ඒ ගෑනු ලමයා බේරගන්නනේ ගියේ" ආදිත්‍ය ලගම වාඩි වෙලා හිටපු අවිශ්ක ආදිත්‍ය වෙනුවෙන් කතා කරා.

"බේරගන්න.....බේරගන්න මෙයා විතරයිද හිටියේ.ඔය කෙල්ලෝ මොන ජාතියෙද කියලා කවුද දන්නේ" නිශාන්ත කියද්දි ගයානිත් ඔලුව වැනුවා.

"අනේද කියන්නේ...මහ විසේකාරියෙක් වෙන්න ඇති" ගයානි ඒකට හූමිටි තිබ්බා.

" එහෙම නෑ ලොකු අම්මා.මං දන්නවා ඒ ගෑනු ලමයව.දන්න කියන කෙනෙක්ව එහෙම අරන් යද්දි මට බලන් ඉන්නද කියන්නේ" ආදිත්‍ය කිව්වේ මේ කතා තවත් අහන් ඉන්න බැරුව.

" මං දන්නේ නෑ ඕවා.ලබන සතියේ අම්මලා එනවා කිව්වා ලංකාවට.අම්මටම ඔය කතා කියන්නකෝ.එතකොට අපි බලමු ඔය දන්න අදුරන ගෑනු ලමයි ගැන" ගයානි එහෙම කියද්දි ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

"අපේ අම්මලා එනවද?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"හ්ම්ම්...ලබන සදුදා උදේ මෙහෙට එනවා කියලා අද උදේ කෝල් කරා"  ගයානි කිව්වේ මෙච්චර වෙලා වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටින ගමන්.

"ඇයි අම්මලා එක පාරටම එන්නේ"

"එක පාරටම නෙවෙයිනේ.එනවා කියලනේ තිබ්බේ" නිශාන්ත කිව්වේ සාලේ එහාට මෙහාට ඇවිදින ගමන්.

"යමන් කාමරේට" අවිශ්ක ආදිත්‍යට මිමිණුවේ නිශාන්ත එහෙට මෙහෙට ඇවිදිනවා ටිකක් වෙලා බලන් ඉදලා.

"යමු.." එහෙම කියපු ආදිත්‍ය නැගිට්ටේ කාමරේට යන්න.ඒත් එක්කම අවිශ්කත් පුටුවෙන් නැගිට්ටා.

"සුදු පුතා, ආයේ එහෙම ඒ ගෑනු ලමයව හම්බෙන්න යනවා එහෙම නෙවෙයි" නිශාන්ත කිව්වේ බොහොම සැර කටහඩකින් කියලා ආදිත්‍යට තේරුනා.

කාමරේට ආපු ආදිත්‍ය කෙලින්ම වැටුනේ ඇදට.

"මේක චාර්ජ් ගහපන්කෝ" ආදිත්‍ය එහෙම කිව්වේ අවිශ්කට එයාගේ දුරකථනය දික් කරන ගමන්.අවිශ්ක ඒක අරන් චාර්ජ් එකට ගහලා ආදිත්‍ය ලගින් ඇදෙන් වාඩි වුනා.

" ඇයි උඹ විහාරාට මේක කියන්න එපා කිව්වේ.අසේලිගේ ගෙදර අය පණ දාගෙන හොයනවා ඇතිනේ බං.විහාරත් හොදටම බය වෙලා හිටියේ" අවිශ්ක ඇහුවේ කෙලින්ම ආදිත්‍යගේ මූණ දිහා බලාගෙන.

" විහාරාගේ හැටි උඹයි මායි දෙන්නම දන්නවනේ බං.විහාරා අඩනවා ඇති ශුවර් එකටම.ඒපාර ගෙදරට ඕක කියද්දි කොහොම කියවෙයිද දන්නේ නෑ.අන්තිමට මේ ප්‍රශ්නෙට මාව තවත් ගෑවෙන එක වෙන්නේ"

"උඹව ප්‍රශ්නෙට ගෑවෙන එක ගැන නම් උඹ වද වෙන්නේ මොකටද ඒ කෙල්ල පස්සේ ගියේ? පව් යකෝ ඒ ගෙවල් වල මිනිස්සු " අවිශ්ක හිතේ තරහට කැගහනකොට ආදිත්‍ය ඇදෙන් කෙලින් වෙලා වාඩි වුනා.

"පණිවිඩේ මගෙන් නොයන්නයි මට ඕනේ වුනේ.අසේලිගේ ගෙදරට පණිවිඩේ හම්බවෙන්න ඕනේ මගෙන් නෙවෙයි.ඒකෙන් ඒ ලමයට ප්‍රශ්න වැඩි වෙන විතරයි වෙන්නේ.කොල්ලෙක් වෙලා මගෙන් කොච්චර ප්‍රශ්න ඇහුවද බං ලොකු අප්පච්චි.එහෙම එකේ අසේලිගෙන් ඒ ගෙදර මිනිස්සු කොච්චර දේවල් අහවිද?.මට ඒ ප්‍රශ්න වැඩි කරන්න ඕනේ වුනේ නෑ.අනික අපි එහෙන් එද්දි අසේලිට සිහිය ඇවිත්.මට එතන කොස්තාපල් කෙනෙක් කිව්වා එහෙම" ආදිත්‍ය කියද්දි අවිශ්ක හුස්මක් හෙලලා අනිත් පැත්ත බලාගත්තා.

"උඹ තරහයිද" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ මේ වෙනස නිසා.

" තරහයිද නෙවෙයි යකෝ මට උඹව මරන්න හිතෙන්නේ.ඇයි බං පොඩ්ඩක් අත වැනුවා නම් මං දකින්නේ නැද්ද.පාර දිගට පේ ෆෝන් තිබ්බේ නැද්ද.මට කිව්වා නම් මං එන්නේ නැද්ද.තනියෙන් ගියා මෙතන වීරයෙක් වෙන්න.මොනවා හරි වුනා නම් එහෙම" අවිශ්ක කියවද්දි ආදිත්‍ය හිනා වෙලා ආදිත්‍යගේ කරට අත දාගත්තා.

"හරි බං.ඊලග සැරේ ශුවර් එකට කියන්නම්" ආදිත්‍ය කියද්දි අවිශ්ක රැව්වා.

"මේ මං වොශ් එකක් දාගෙන එන්නම්.උඹ පස්සේ නා ගනින්" එහෙම කියපු ආදිත්‍ය තුවායකුත් කරේ දාගෙන නාන කාමරේට ගියේ අවිශ්ක බලන් ඉද්දි.

එතකොටම අවිශ්කට විහාරාගෙන් දුරකථන ඇමතුමක් ආවත් අවිශ්ක ඒකට පිළිතුරු නොදුන්නේ ආදිත්‍ය ගැන ඇහුවොත් ඒ ගැන කියන්න දෙයක් නැති නිසා.

රෑට කාලා කාමරේට ආපු ආදිත්‍ය බලන් හිටියේ අවිශ්ක කාමරේට එනකම්.

"මේ...විහාරාට කතා කරපන්කෝ" අවිශ්ක ආපු ගමන් ආදිත්‍ය කිව්වේ අවිශ්කව පුදුම කරලා.

" ඒ මොකටද"

"අසේලිට කොහොමද අහපන්කෝ"  ආදිත්‍ය කියද්දි අවිශ්කට හිනා ගියා.

"මූ හවස දීපූ ටෝක් එකේ හැටියට මං හිතුවේ අසේලිට ආයේ කතා කරන එකක් නෑ කියලා"

" හරි ඉතින් මං කතා කරන්නේ නෑනේ.උඹ අහපන් නිකමට කොහොමද කියලා.උඹ කතා කරන්නෙත් විහාරාටනේ"

" උඹ ගැන ඇහුවොත් එහෙම"

" කියපන් උඹ මාව හොයලා හොයලා ගෙදර එද්දි මං ඇවිත් කියලා ගෙදර.උඹත් ශේප් නේ.අපෝ බං උඹට බොරුවක් හදාගන්නත් බෑනේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක ආදිත්‍ය දිහා බලාගෙනම හිටියා.

"මොකද මගේ මූණේ පෙරහැරක් යනවද" ආදිත්‍ය ඇහුවේ හිනා වෙවී

"නෑ මං මේ හිතුවේ උඹ මොකද මෙච්චර අසේලි ගැන හොයන්නේ කියලා.එදා රෑ උඹලා දෙන්නා එකට ආපු එක ගැනත් උඹ කිව්වේ බස් එක කැඩුනා කියලා.දැන් අසේලිගේ සැප දුක අහන්න හදනවා.මොකක්ද මල්ලි කේස් එක" අවිශ්ක ඇහුවේ ආදිත්‍යට ඇහැක් ගහන ගමන්.

"මනුස්සකම...මනුස්සකම.. කෝ දීපන් ෆෝන් එක උඹට බැරි නම් කතා කරන්න" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ අතේ තිබ දුරකථනය ගන්න අත දික් කරන ගමන්.

" මනුස්සකමද...නැත්තම් හදවත ටින් ටින් ගානවද?"අවිශ්ක කිව්වේ දුරකථනය තිබ්බ අත ආදිත්‍යගෙන් දුරකට ගන්න ගමන්.

"පිස්සුද යකෝ..හදවත ටින් ටින් ගාන්න උඹ හිතුවද මගේ පපුවේ ලේනෙක් ඉන්නවා කියලා.උඹට බැරි නම් මට නම්බර් එක දීපන් මං ගන්නම් විහාරාට" ආදිත්‍ය කිව්වේ අවිශ්කට රවන ගමන්.

"හිටපන් හිටපන්...හපෝ..මූට යන කේන්තියක්" එහෙම කියන ගමන් අවිශ්ක ඇමතුම ගත්තේ විහාරාට.ඇමතුම සම්බන්ද වෙන්නත් මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

"හෙලෝ..."

"හෙලෝ..."

" කොහෙද ඉන්නේ? කතා කරන්න පුලුවන්ද?" අවිශ්ක ඇහුවේ සැකෙන්

"පුලුවන්.ගෙදර ඉන්නේ.කියන්න"

" අසේලිට කොහොමද? ගෙදර ආවද?"

"ඔව්..මං හවස කෝල් කරෙත් ඒක කියන්න"

"අහ්...ඔව් සොරි මං කාමරේ හිටියේ නෑ ඒ වෙලාවේ"

"හ්ම්ම්..."

"ඉතින් කොහොමද අසේලිට"

" ඇගට අමාරුයිලූ.මොනවා හරි ඩ්‍රග්ස් වගයක් දීලනේ"

"අහ්...ඉතින් දැන් අසේලි ගෙදරද ඉන්නේ"

"ඔව් ගෙදර" විහාරා එහෙම කියද්දි අවිශ්ක බැලුවේ එයා ඉස්සරහ ඉදන් තොල් වලින් මොනවදෝ කියන්න හදන ආදිත්‍ය දිහා.

"මොකක්ද?" අවිශ්ක සද්දේ අඩු කරලා ඇහුවේ දුරකථනය කණෙන් එහාට ගන්න ගමන්

" ගෙදරින් බැනලද අහපන්" ආදිත්‍ය මිමිණුවේ අවිශ්කට විතරක් ඇහෙන විදියට

"හෙලෝ..." විහාරා දුරකථනයෙන් කියනවා ඇහුනු අවිශ්ක ආයෙත් දුරකථනය කණේ තියාගත්තා.

" හෙලෝ..හෙලෝ..විහාරා මේ අසේලිට ගෙදරින් බැනලද?"

"බැනලා නම් නැතුව ඇති.පොලීසියෙන් කෝල් කරාට පස්සේ මාත් ගෙදර ආවනේ.අසේලිට කෝල් කරාට කතා කරේ නෑ මාත් එක්ක.ඇන්ටි කිව්වා ඇගේ අමාරුවට නිදි කියලා" විහාරා ඒ විස්තරේ කියන අතරේ ආදිත්‍ය අවිශ්ක දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"ඔයා කතා කරේ අසේලිගේ ෆෝන් එකටද?"

" අසේලිගේ ෆෝන් එක වැඩ නෑ.මං අහන්න ගියෙත් නෑ ඇන්ටිගෙන්.මං කතා කරේ ගෙදරට"

"හ්ම්ම්..හරි හරි" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලන ගමන්.

"ආදිත්‍ය ඉන්නවද ඔතන" විහාරා එක පාරටම ඇහුවේ අවිශ්කවත් කලබල කරලා.

"ඇයි?"

" ඇයි කියන්නේ? ඉන්නවද?"

" නෑ...මෙතන නෑ.පණිවිඩයක් තියෙනවා  කියන්න.මං කියන්නම්" අවිශ්ක කිව්වේ ආදිත්‍යගෙන් පැත්තකට හැරෙන ගමන්.

"එයාට තෑන්ක්ස් කියන්න අසේලි වෙනුවෙන් කරපු දේවල් වලට.ගොඩක් පිරිමි ලමයි ගෑනු ලමයින්ව ගනන් ගන්නෙවත් නැති කාලේක එයා කරේ හිතාගන්නවත් බැරි දෙයක්" විහාරා කියද්දි අවිශ්ක ගොලු වුනා.

"කියන්න එයාට" විහාරා ආයෙත් කිව්වේ අවිශ්කගෙන් සද්දයක් නැති නිසා.

"ආ..හරි හරි මං කියන්නම්"

" හරි එහෙනම්.තියන්නම්.බායි" එහෙම කියපු විහාරා දුරකථනය විසන්ධි කරේ අවිශ්කට කිසිම දෙයක් කියන්න අවස්ථාවක් වත් නොදීමයි.

" මොකද කිව්වේ" ආදිත්‍ය ඇහුවේ ඇද උඩ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන්.ඒත් අවිශ්කගේ ඔලුවේ තිබ්බේ වෙන දෙයක්.

'මේ කෙල්ල වෙනදට මං බුදු සරණයි නොකිව්වම තරහත් වෙනවා.අද එයාටම ඒක අමතක වෙලා' අවිශ්ක හිතුවේ දුකෙන්.

"ඒයි...කියපන්...මොකද කිව්වේ" ආදිත්‍ය නොඉවසිල්ලෙන් ඇහුවේ අවිශ්කගෙන් සද්දයක් නැති නිසා.

" අසේලිට අවුලක් නෑලු.අර ඩ්‍රග්ස් සීන් එක නිසා ඇගට අමාරුයිලූ.ගෙදරින් අවුලක් වුන පාටකුත් නෑ කිව්වා.විහාරාත් වැඩි දෙයක් දන්නේ නෑ බං.විහාරා කෝල් කරාට අසේලි ෆෝන් එකට ඇවිත් නෑ"

"ඇයි ඒ"

"නිදි කිව්වලු ඇගේ අමාරුවට"

"ෆෝන් එක අසේලි ලගලුද? "

"ෆෝන් වැඩ නැතිලු "

"ඒකත් එහෙමද" එහෙම කියපු ආදිත්‍ය ඇදේ ඇලවුනා.

"හරිද උඹේ ප්‍රශ්න පත්තරේ"

"හ්ම්ම්..."

"උඹ නිදාගන්නවද? මට පංතියේ වැඩ වගයක් තියෙනවා" අවිශ්ක ඇදෙන් නැගිටින ගමන් කිව්වා.

"හරි උඹ කරගනින්" එහෙම කියපු ආදිත්‍ය අනිත් පැත්තට හැරුනේ නිදාගන්න හිතාගෙන.ඒත් ආදිත්‍යගේ හිතේ තිබ්බේ අසේලිට කොහොමද කතා කරන්නේ කියලා.

පහුවදා දවසම ආදිත්‍යට ගෙදරම ඉන්න වුනේ නිශාන්ත දවසම ගෙදර හිටපු නිසා.ගෙදරින් පැන ගන්න විදියක් නැති නිසා ආදිත්‍ය දවසම හිටියේ කාමරේට වෙලා.කීප සැරයක්ම ආදිත්‍ය අසේලිට දුරකථන ඇමතුම් දුන්නත් ඒ හැම ඇමතුමෙන්ම කියවුනේ දුරකථනය සම්බන්ද කරන්න බෑ කියලා.

විහාරාට ආදිත්‍යම කතා කරෙත් අසේලි ගැන තොරතුරක් දැනගන්න වුනත් විහාරා කිව්වේ අසේලි තාමත් ඉන්නේ අසනීපෙන් කියලා.අසේලි විහාරා එක්කත් වැඩිය කතා නොකරපු බව අහලා ආදිත්‍ය හිටියේ නොසන්සුන් වෙලා

'මේ කෙල්ලට මොනවා වෙලාද? ඇයි ෆෝන් වැඩ නැත්තේ? විහාරා කියපු විදියට ගෙදර අවුලකුත් නෑ.එයාට ගොඩක් අමාරුයිද දන්නේ නෑ.ඩ්‍රග්ස් කියන්නේ මොන ජාතියේ ඒවද දන්නේ නෑ.මොන මගුලක් දැනගන්නත් මෙයා කතා කරන්න එපැයිනේ' ආදිත්‍ය කල්පනා කරේ හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන.

දවස් දෙකක්ම ගේ ඇතුලේ හිටපු ආදිත්‍යට මේක දැන් එපා වෙලයි තිබ්බේ.

තුන්වෙනි දවසේ උදේ අවිශ්ක සුපුරුදු විදියට දේශන වලට යන්න ලැස්ති වුනේ ආදිත්‍ය උදේ කෑම කන අතරෙදි.කෑම කාපු ආදිත්‍ය කාමරේට එද්දිත් අවිශ්ක ලෑස්ති වෙනවා.


"කාව බලන්න යන්නද මචන් මෙච්චර හැඩ වැඩ වෙන්නේ " ආදිත්‍ය ඇහුවේ ඇදේ ඇලවෙන ගමන්.

"මොකෙක් බලන්නද මං.මේ ඒක නෙවෙයි උඹ අද මොකද කරන්නෙ?"

" පොඩි වැඩක් නම් හිතේ තියෙනවා.මොකක්ද උඹේ වැඩේ කියපන්"

"මගේ රිපොර්ට් එක ෆොර්මැට් කරලා හදලා දීපන් වස්තුවේ.පෙන් එකේ ඔක්කොම විස්තර තියෙනවා" අවිශ්ක කිව්වේ මේසේ උඩ තියෙන පෙන් එක පෙන්නන ගමන්

"හරි...හැබැයි උඹ හවස මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ"

"ඒ කොහෙද?"

"අසේලිගේ ගෙදර"

"පිස්සුද යකෝ එහේ යන්න...සිටුවේශන් එක දන්නෙත් නෑ.අනික අසේලිට ඉන්නවා හිට්ලර් අයියා කෙනෙක්.අනේ පුතේ මට නම් බෑ" අවිශ්ක අත් දෙක එකතු කරලා වැදලා කියද්දි ආදිත්‍යට හිනා ගියා.

" එහෙනම් රිපෝර්ට් එක නෑ හොදේ"

" කමක් නෑ.දැනටත් අප්පච්චි මං දිහා බලන්නේ මං උඹව එතනට එක්කන් ගියා වගේ.අසේලිලගේ ගෙදර එක්ක ගියොත් මාව දඩුකදේ ගහවි"

"ඒ කියන්නේ උඹට බෑ"

"බෑ තමා"

"හරි මං තනියෙන් යන්න.මට ඇඩ්‍රස් එක දීපන්" ආදිත්‍ය කියද්දි අවිශ්ක හොද හුස්මක් අරන් ආදිත්‍ය ලගට ආවා.

"මොකක්ද බං මේ උඹට හැදිලා තියෙන පිස්සුව" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ලග වාඩි වෙන ගමන්

"මට ඇති පිස්සුවක් නෑ.මට කියපන් උඹ යන්න එනවද නැද්ද? " අවිශ්ක දිහාවට ඇගිල්ලකුත් දික් කරලා ආදිත්‍ය කියද්දි අවිශ්ක ඔලුව දෙපැත්තට වැනුවා.

"එන්නම් එන්නම්...හවස 5ට විතර යමු" අවිශ්ක කිව්වේ ආදිත්‍ය ලගින් නැගිටින ගමන්.
අවිශ්ක කියපු විදියටම ආදිත්‍යයි අවිශ්කයි හවස 4ට විතර පිටත් වුනේ අසේලිගේ ගෙදරට යන්න.අසේලිගේ ගෙදරට හැරෙන තැන බයික් එක නවත්තපු අවිශ්ක ආදිත්‍ය දිහා හැරිලා බැලුවා.

"අර ඉස්සරහ තියෙන කොල පාට තාප්පේ තියෙන ගෙදර තමයි මං දන්න විදියට ගෙදර"
"යමන් ඉතින් ටිකක් ඉස්සරහට"

"ගෙදරට යන්න බෑ ඔන්න දැම්ම කිව්වා" අවිශ්ක කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"නෑ නෑ බං.යන්නේ නෑ.යමන්කෝ ඉස්සරහට" අවිශ්ක බයික් එක හෙමීට ඉස්සරහට අරන් ගියේ ආදිත්‍යට ගෙදර හොදට පේන්න.ගෙදර පහුවෙනවත් එක්කම ආදිත්‍ය දැක්කේ බැල්කනියට වෙලා පාර බලන් ඉන්න අසේලිව.අසේලිව දැකපු ආදිත්‍යගේ පපුව ගැහෙන්න ගත්තා.

අසේලිගේ ගෙදර පාස් කරලා බයික් එක නවත්තපු අවිශ්ක ආයෙත් ආදිත්‍ය දිහාවට හැරුනා.

"අසේලි නේ හිටියේ"

"ඔව්" ආදිත්‍ය කිව්වේ වෙන කල්පනාවකින්.

"දැන් මොකද කරන්නේ"

"ගෙදර යමු" ආදිත්‍ය එහෙම කියද්දි අවිශ්ක බැලුවේ පුදුමෙන්.

"දැන් මොකටද ආවේ"

"ආවේ ගේ බලන්න.බැලුවනේ.දැන් යමු"

"මොන මගුලක් කියනවද මන්දා...යමු එහෙනම්" අවිශ්ක එහෙම කියලා බයික් එක ආපහු  හරවගත්තා.ආදිත්‍ය ආයෙත් ගේ පහු කරද්දිත් අසේලි කලින් වගේම බැල්කනියට වෙලා බලන් හිටියා.

ආපහු ගෙදරට කිට්ටු කරපු අවිශ්ක බයික් එක නැවැත්තුවා.

"අප්පච්චි ඇවිත්ද දන්නේ නෑ.ප්‍රශ්න කෝටියයි බයික් එකේ උඹත් එක්ක ගමනක් ගියා කිව්වොත්" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලන ගමන්.

"අහ් ඒකට මං ලග ප්ලෑන් එකක් තියෙනවා.බයික් එක පිටිපස්සේ වැට ලගට දාහන්.අපි වැටෙන් රිංගමු." ආදිත්‍ය කියද්දි අවිශ්කත් ඔලුව වැනුවා.

ආදිත්‍ය කියපු විදියට බයික් එක පිටිපස්සේ වැට ලගට දාපු දෙන්නා හෙමීට ඇතුලට ගියා.කිසිම වෙනසක් නැතුව ගෙදර අයත් එක්කත් කතා කරලා හිටපු ආදිත්‍ය රෑ කෑමෙන් පස්සේ කාමරේට ගියේ අවිශ්ක කොහෙද බලන්න.

" උඹ වැඩක්ද?" ආදිත්‍ය ඇහුවේ ලැප් එකත් දාගෙන වැඩ කරන අවිශ්කගෙන්

"ඔව් බං.අද නිදාගන්න වෙන් නෑ වගේ.උඹ නිදාගනින්.මං සාලෙට යන්නම්"

"නෑ නෑ මට මරු ෆිල්ම් එකක් සෙට් වුනා.මං එහෙනම් සාලේ ඉදන් ෆිල්ම් එක බලනවා.උඹ වැඩ කරපන්" එහෙම කියපු ආදිත්‍ය හෙමීට ගියේ  අවිශ්ක හැමදාම බයික් එකේ යතුර තියන අල්මාරිය ලගට.

එතනින් හෙමීට යතුරත් අරගෙන වැටෙන් පැනලා බයික් එකට නැගපු ආදිත්‍ය කෙලින්ම ගියේ අසේලිගේ ගෙදර ලගට.අසේලිගේ ගෙදරත් පහු කරලා බයික් එක නවත්තපු ආදිත්‍ය අසේලිගේ ගෙදර ඉස්සරහ හිටගත්තා.ඒ වෙද්දිත් අසේලිගේ කාමරේ ලයිට් දාලා තිබ්බ එක ගැන ආදිත්‍යගේ හිතට දැනුනේ සතුටක්.කලින් හිතාගත්ත විදියට තාප්පෙට නැගලා එතනින් අඹ ගහට නැග ගත්ත ආදිත්‍යට තරමක මහන්සියකින් පස්සේ අසේලිගේ බැල්කනියට නැග ගන්න පුලුවන් වුනා.

අමාරුවෙන් බැල්කනියට ආපු ආදිත්‍යට කාමරේ ඇතුලේ එක එක සද්ද වගයක් ඇහුනා
'නිදි නෑ වගේ තාම.තව කවුරුහරි කාමරේ ඉන්නවද දන්නේ නෑ' එහෙම හිතපු ආදිත්‍ය බැල්කනියේ දොරේ වීදුරුව අස්සෙන් එබිකම් කලා.

'නෑ වගේ කවුරුවත්ම...කෝ අසේලිත් නෑනේ' එහෙම හිතපු ආදිත්‍ය හෙමීට දොරෙන් ඇතුලට ඔලුව දැම්මා.ඒත් කවුරුවත් පේන්න හිටියේ නෑ.

'කෝ මේක ඇතුලේ කවුරුවත් නෑනේ'  ආදිත්‍ය හිතුවේ කාමරේ වටේ බලන ගමන්

"ආදිත්‍ය.." සියුම් හඩකින් ඇහුනු ඒ කටහඩ අදුරගන්න ආදිත්‍යට වැඩි වෙලාවක් ගියේ නෑ.කට හඩ ඇහුනු පැත්තට හැරුනු ආදිත්‍ය දැක්කේ ඇද ලගින් හෙමීට නැගිටින අසේලිව.

*****************************************
ඉක්මනින් හමුවෙමු.
ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment