Tuesday, January 1, 2019

මන්දාරම් අහස යට - විසි එක් වන කොටස


ආදිත්‍යව කාමරේ ඇතුලේදි මෙහෙම දකින්න අසේලි කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ.ඒ නිසා අසේලිට දැනුනේ ලොකු පුදුමයක්.

"අසේලි..." ආදිත්‍ය කතා කරේ තමන් දිහා කට ඇරන් බලන් ඉන්න අසේලි දිහා බලාගෙනමයි.

"ආ..." බිම ඉදගෙනම ඇදට උඩින් ආදිත්‍ය දිහා බලාගෙන අසේලි කියද්දි ආදිත්‍ය අසේලි ලගට එන්න ආවා.

"ඇයි ඔයා බිම ඉන්නේ" ආදිත්‍ය ඇහුවේ ලගට එන ගමන්.

"මේ ඔයා ඇත්තට ආවද?" අසේලි ඇහුවේ කෙදිරිල්ලක හඩකින්.

"ඔව්...ඇයි මේ බිම" ආදිත්‍ය අහද්දි අසේලි කලබලෙන් නැගිටින්න හැදුවා.

" ආව්..." නැගිටිනකොටම දැනුනු කකුලේ වේදනාව නිසා අසේලි කකුල අල්ලගෙනම එහෙම්ම ඇදෙන් වාඩි වුනා.

"මොකද වුනේ?" ආදිත්‍ය ඇහුවේ අසේලි ලගට එන ගමන්.

" මුකුත් නෑ.ඔයා මොකද මෙහේ කරන්නේ? " අසේලි ඇහුවේ තමන් ලග හිටගෙන ඉන්න ආදිත්‍යගෙන්.ආදිත්‍ය අසේලි ලගින් වාඩි වුනා.

"කොහොමද දැන්? ඇගේ අමාරුව අඩුයිද" අසේලිගේ ප්‍රශ්නෙට උත්තර නොදීපු ආදිත්‍ය අසේලිගෙන් ඇහුවේ අසේලිගේ නළලට අත තියලා බලන ගමන්.

" ටිකක් අඩුයි.ආදිත්‍ය මං ඇහුවේ ඔයා මෙහේ මොකද කරන්නේ කියලා" අසේලි ආයෙත් ඇහුවම ආදිත්‍ය රැව්වා.

"ඇයි දැන් ආපු එක වැරදිද?"

"වැරදියි නේන්නම්.කොහොමද ඔයා ආවේ? කවුරු හරි දැක්කා නම් එහෙම.දැන් වුනත් කවුරු හරි ආවොත් එහෙම" අසේලි කියාගෙන ගියේ වටපිට හොදට බලන ගමන්

" ආ....හරි හරි මං එහෙනම් යන්නම්" ආදිත්‍ය එහෙම කියාගෙනම ඇදෙන් නැගිටිනකොටම අසේලි ආදිත්‍යගේ අතින් අල්ලගත්තා.ආදිත්‍ය හැරිලා බැලුවේ එයාගේ අතින් අල්ලගෙන ඉන්න අසේලි දිහා.ආදිත්‍ය බලනවා දැකපු අසේලි බිම බලාගත්තා.

" ඇයි" ආදිත්‍ය ඇහුවේ තරහෙන්

" වාඩිවෙන්න" අසේලි කිව්වේ ආදිත්‍ය දිහා හොරෙන් බලන ගමන්.ටිකක් වෙලා එහෙම්ම බලන් හිටපු ආදිත්‍ය අසේලි ලගින් වාඩි වුනා.ටික වෙලාවක් යනකම් දෙන්නම කතා කරේ නෑ.

" මේ...." අසේලි කතා කරේ බිම බලාගෙනමයි

"හ්ම්ම්..."

"ඔයා එදා ආවලු නේද එතනට" අසේලි කියද්දි ආදිත්‍ය අසේලි දිහා බැලුවා.

"හ්ම්ම්...මතක නැද්ද ඔයාට"

"මට ජායාවක් වගේ මතකයි ඔයා ඇවිත් කතා කරනවා"

"හ්ම්ම්..."

ආයෙත් ටික වෙලාවක් යනකම් දෙන්නම කතා කරේ නෑ.ඊලගට කතාව පටන් ගත්තේ ආදිත්‍ය.

" ඩොක්ටර් කෙනෙක් හම්බුනාද?" ආදිත්‍ය එහෙම අහද්දි අසේලි බැලුවේ පුදුමෙන්.

"නෑ නෑ මං ඇහුවේ මේ ඩ්‍රග්ස් වලට ඇගට අමාරුයි කියපු නිසා" ආදිත්‍ය ඉක්මනටම එහෙම කිව්වේ අසේලි වැරදියට හිතාවි කියලා හිතලා.

"හ්ම්ම්...එයා කිව්වේ රෙස්ට් කරාම හරි යාවි කියලා"

"හ්ම්ම්...හරි යාවි ඇගේ අමාරුව"

"ඒක නෙවෙයි.කවුද ඔයාට කිව්වේ මට ඩ්‍රග්ස් නිසා ඇගට අමාරුයි කියලා"

"ඒකෙන් වැඩක් නෑනේ.වැදගත් වෙන්නේ ඔයා හොදින් ඉන්න එක" ආදිත්‍ය කියද්දි අසේලි ආයෙත් බිම බලාගත්තා.

"ඔයාට පේන්නේ මං හොදින් වගේද"අසේලි ඇහුවේ ඇහෙන නෑහෙන හඩකින්.

"නෑ...ඒක තමයි මං මේ අහන්නේ.." ආදිත්‍ය කිව්වේ අසේලි දිහාවට නැබුරු වෙන ගමන්.

" මට බයයි" අසේලි කිව්වේ බිම බලාගෙනමයි.

" බය වෙන්න එපා.ඒ මිනිස්සුන්ව අල්ලගත්තනේ.අපට විස්තර දැනගන්න පුලුවන් හෙට අනිද්දට.ඒ මිනිස්සුන්ට නිකන් බේරිලා යන්න වෙන් නෑ."

" ආදිත්‍ය...." අසේලි කතා කරේ ටික වෙලාවකට පස්සේ.

" ම්ම්..."

" ඒ අයව අල්ලගෙන තිබ්බේ නෑ" අසේලි කිව්වේ බිම බලාගෙනමයි.

" ඒ කිව්වේ" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහා හොදට බලන ගමන්.

" ඒ පොලීසියේ හිටපු අය නෙවෙයි මාව අල්ලගත්තේ" අසේලි එහෙම කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු කම්පනයක්.අසේලිගේ උරහිසින් අල්ලගත්ත ආදිත්‍ය අසේලිව තමන්ගේ පැත්තට හරවගත්තා.

" ඒ කියන්නේ? මොකක්ද අසේලි?ඒ අය අල්ලගෙන නැද්ද.එහෙනම් ඔයා දැක්කා කිව්වේ"

"ආදිත්‍ය...හෙමින් හෙමින්..." අසේලි කිව්වේ ආදිත්‍යගේ සද්දේ ටිකක් වැඩි වුන නිසා.

" සොරි සොරි...කියන්න"

"මාව අල්ලගෙන ආපු කීප දෙනෙක් එතන හිටියා.ඒත් ඒ කාමරේ හිටපු දෙන්නා හිටියේ නෑ" අසේලි එහෙම කියද්දි අසේලිගේ ඇග වෙව්ලනවා ආදිත්‍යට තේරුනා.

" ඔයාට මතකද ඒ දෙන්නා? "

" ඔයත් දන්නවා ඒ දෙන්නව"

"මාත් දන්නවා...ඒ කවුද?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

" අර එදා බස් එක කැඩිලා එද්දි අපට හම්බුනේ දෙන්නෙක්.ඒ දෙන්නා" අසේලි කිව්වේ වෙව්ලන ගමන්.

"අසේලි....හරි හරි...ඒ ගැන අපි පස්සේ කතා කරමු හොදේ" ආදිත්‍ය කලබලෙන් කිව්වේ අසේලිගේ වෙනස නිසා

"නෑ නෑ...මට වෙන කියන්න කෙනෙක් නෑ මේක....ඔයාට කියන්නයි.... ඕනේ වුනේ.....ඒ දෙන්නා හිතන්නේ.... ඔයා තමයි පොලීසිය..... ගෙන්නුවේ කියලා.....කාමරෙන් යන්න හදද්දි එයාලා....කතා....වුනා....එදා හිටපු කොල්ලා පොලීසියට....එක්කන් ඇවිත්....කියලා..." අසේලි කිව්වේ වෙව්ලන ගමන්.අසේලිගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තේ ඒ කම්පනේටමයි.

"ඒකත් එහෙමද? හරි හරි අපි එක බලාගමුකෝ.ඔයා මේ වතුර එක බොන්නකෝ" ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතට එතන තිබ්බ වතුර වීදූරුව දෙන ගමන්.වතුර එක බීපු අසේලි ආදිත්‍ය දිහා බැලුවේ කදුලු පිහිදන ගමන්.

"ඔයා...පරිස්සම් වෙන්න" අසේලි එහෙම කියද්දි අසේලිගේ කම්මුල දිගේ තව කදුලු බිංදුවක් බේරුනා.ආදිත්‍ය හෙමීට ඒ කදුලු බිංදුව පිහිදලා අසේලිගේ අතින් අල්ලගත්තා.

"මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ඔයා පරිස්සම් වෙන්න ඕනේ.තනියෙන් කොහේවත් යන්න එපා.අපි බලමු මොකද කරන්නේ කියලා" ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගෙනමයි.එතකොටම ආදිත්‍යගේ දුරකථනය වයිබ්‍රේට් වුනේ දෙන්නවම කලබල කරලා.

"අවිශ්ක..."ආදිත්‍ය කිව්වේ දුරකථන තිරය දිහා බලලා.

"හෙලෝ.." ආදිත්‍ය දුරකථනය පිළිතුරු දුන්නා.

"කොහෙද යකෝ ඉන්නේ....කෝ බයික් එක...උඹ මොන මගුලක ගියාද" අවිශ්කගේ කෑගැහිල්ල ඇහුනු ආදිත්‍යට හිනා ගියා.ආදිත්‍ය අසේලි දිහා බැලුවෙත් ඒ හිනාවෙන්මයි.හිනාවට හේතුව නොදන්න අසේලි ඒ දිහාම බලන් හිටියේ කුතුහලයෙන්

" මේ ලගට ආවේ.දැන් එනවා.සද්දේ වහලා හිටපන්" එහෙම කියපු ආදිත්‍ය දුරකථනය විසන්ධි කරේ හිනා වෙවී.

"මොකද අවිශ්ක කියන්නේ"

"මං කොහෙද අහනවා"

"කෑගැහුවද"

"ඔව්.." ආදිත්‍ය උත්තර දුන්නේ ඇදෙන් නැගිටින ගමන්.

"අපෝ...එයා එහෙම තමා.බොරුවටත් කෑගහනවා" අසේලි හිනා වෙවී කියද්දි ආදිත්‍ය අසේලි දිහා බැලුවේ විපරමෙන්.

"ඔයා කොහොමද දන්නේ අවිශ්ක බොරුවටත් කෑගහනවා කියලා" ඇස් පුන්චි කරගෙන ආදිත්‍ය අහද්දි අසේලි හිනා වුනා.

"ඇයි ඔයාට අමතක වුනාද එයා යාලු වෙලා හිටියේ මගේ හොදම යාලුවා එක්ක කියලා.ඒ දෙන්නා ගැන මං තරම් දන්න වෙන කෙනෙක් නෑ" අසෙලි කිව්වේ ඇදෙන් නැගිටින ගමන්.

"කකුල කොහොමද? මොකද වුනේ" ආදිත්‍ය ඇහුවේ අසේලි අමාරුවෙන් නැගිටිනවා දැකලා.

" ඔයා නිසා තමා"

"ඇයි මං මොකක්ද කරේ"

"ඔයා එනකොට මං හිතුවේ හොරෙක් කියලා.තාත්තට කියන්න දුවන්න හදද්දි වැටුනේ"අසේලි කිව්වේ ආදිත්‍යට රවන ගමන්.

" අපෝ පොඩි එකා..කකුලේ මොනවා හරි ගාගෙන නිදාගන්න.මං යනවා එහෙනම්" ආදිත්‍ය කිව්වේ බැල්කනියේ දොර පැත්තට යන්න හැරෙන ගමන්.

"කොහොමද යන්නේ ඔයා" අසේලි ඇහුවේ බැල්කනිය දිහා බලන ගමන්.

"ආපු විදියටමයි.මෙතනින් අඹ ගහට.එතනින් තාප්පෙට.තාප්පෙන් බිමට" ආදිත්‍ය කියද්දි අසේලි බලන් හිටියේ පුදුමෙන්

"ඔයා හරි අමාරුවෙන්නේ මේ ඇවිත් තියෙන්නේ.වැටුනා නම් එහෙම" අසේලි කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"මේ...ඒක නෙවෙයි.ෆෝන් එක කෝ" ආදිත්‍ය එක පාරටම ඇහුවා.

"තියෙනවා.චාර්ජ් බැහැලා මං හිතන්නේ"

" චාර්ජ් කරගන්න එහෙනම්.කතා කරන්නවත් විදියක් නෑ" ආදිත්‍ය කිව්වේ බැල්කනියෙන් එලිය බලන ගමන්.ආදිත්‍ය ඒක කියද්දි අසේලි හිනා වුනා.

වටපිට හොදට බලපු ආදිත්‍ය බැල්කනියේ තාප්පෙන් වාඩි වුනා.අඹ ගහට කකුලක් තියන්නත් හදලා ආදිත්‍ය ආයෙත් අසේලි දිහා බැලුවා.

" මේ...හලෝ...මෙතන ඉන්නකොට අර පාරේ යන හැමඑකාටම පේනවා.මෙතන ඉන්නවා නම් හරියකට ඇදුමක් ඇදන් ඉන්නවා.මේ කොට කලිසම් කෑලියි අත් පේන ටීශර්ටුයි අදින් නැතුව.දැන් ඇතුලට ගිහින් දොර වහගන්නවා." ආදිත්‍ය කිව්වේ අසේලිට රවන ගමන්.

"ආ...." අසේලි පුදුමෙන් බලද්දි ආදිත්‍ය අඹ ගහට නැග්ගා.එතනින් තාප්පෙට පැනගත්ත ආදිත්‍ය බිමට බැහැලා අසේලිට අත වැනුවා.බයික් එකට නැගලා ආදිත්‍ය එතනින් යද්දිම අසේලිත් ඇතුලට ගිහින් දොර වහගත්තා.

ආදිත්‍ය ගෙදර පිටිපස්සේ වැට ලග බයික් එක නවත්තලා කුස්සිය පැත්තෙන් ඇවිත් කුස්සියේ දොර හෙමීට ඇරියේ කාට හරි සද්දේ ඇහේවි කියලා.ඒත් කුස්සියේ හිටපු කෙනා දැකලා ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක්.

කුස්සියේ දොරෙන් හෙමීට එබෙන ආදිත්‍ය දිහා අවිශ්ක බලන් හිටියේ කේන්තියෙන් පිපිරි පිපිරි.

"ආ...අවියා.." ආදිත්‍ය හිනා වුනේ බයික් එකේ යතුර අවිශ්කට දික් කරන ගමන්.

" පලයන් කාමරේට" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලාගෙන දත් මිටි කන ගමන්.කාමරේට ගියපු ආදිත්‍ය බයික් එකේ යතුර තියලා ටීශර්ට් එක ගැලෙව්වේ අවිශ්ක ඇතුලට ඇවිත් දොර වහන අතරේ.

"කොහෙද ගියේ" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ඇදෙන් වාඩි වෙන අතරේ.

" ලගට බං"

"අසේලිලගේ ගෙදරනේ" අවිශ්ක අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඇයි බොල ගොන් තඩියෝ උඹට මං හවසත් කිව්වා නේද යන්න එපා කියලා.පොලීසියේ ඉදන් ගෙදර ඇවිත් දවස් කීයද.එදා ඒ මොකක්ද වුනේ කියලා අපි තාම හරියට දන්නේ නෑ.එහෙම එකේ උඹව ඒ ගෙවල් ලග ඉදලා අහු වුනා නම් කේස් එකම වෙන පැත්තකට යන්නේ.අනික කවුද දන්නේ ඒ මිනිස්සු ඒ ගෙදර ලග කැරකෙනවද කියලා.උඹේ ඔලුවේ මැටිද තියෙන්නේ"  අවිශ්ක කියවගෙන ගියේ හිතේ තරහටමයි.

" මට ඕනේ වුනේ අසේලි එක්ක කතා කරන්න විතරයි" ආදිත්‍ය කියද්දි අවිශ්ක බැලුවේ පුදුමෙන්.

"උඹ මේ කියන්නේ උඹට අසේලිව හම්බුනා කියලද? " අවිශ්ක අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

ආදිත්‍ය වෙච්ච දේවල් විස්තර කරද්දි අවිශ්ක අහගෙන හිටියේ පුදුමෙන්.

"එතකොට උඹ කියන්නේ එදා ඒ කාමරේ ඉදලා තියෙන්නේ බස් එක කැඩුනු දවසේ උඹලට හම්බුනු මිනිස්සු දෙන්නා කියලද" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ලගින් ඇදේ වාඩි වෙන ගමන්.

"ඔව්...අසේලි කියන විදියට ඒක එහෙම තමයි"

" බලන් යද්දි මේක මාර සීන් එකක්නේ" අවිශ්ක කියද්දි ආදිත්‍යත් ඔලුව වැනුවා.

"අනේ මන්දා බං"

"කෝකටත් උඹත් පරිස්සම් වෙලා හිටපන්.අපි දන්නේ නෑනේ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ කියලා" අවිශ්ක කිව්වේ ආදිත්‍ය ඇදෙන් නැගිටිද්දිමයි.ඇදෙන් නැගිටපු ආදිත්‍ය මේසේ ලගට යනවා බලන් හිටපු අවිශ්ක ආයෙත් කතා කරා.

" මේ මට මේක කියපන්...." අවිශ්ක කියද්දි මේසේ උඩ තිබ්බ ජංගම දුරකථනය අතට ගත්ත ආදිත්‍ය අවිශ්ක දිහාවට හැරුනා.

"මොකක්ද"

"උඹයි අසේලියි යාලු‍යිද" අවිශ්ක අහද්දි ආදිත්‍ය දුරකථනය දිහා බලාගෙනම ඔලුව වැනුවා.අවිශ්කගේ මේ ප්‍රශ්නේ ආදිත්‍ය බලාපොරොත්තු වෙච්ච එකක්.

"නෑ"

"නෑ....? එහෙනම්" අවිශ්ක ඇහුවේ කුතුහලෙන්

"නෑ බං.එහෙම සම්බන්දයක් නෑ අපි දෙන්නගේ.අසේලි....අසේලි මගේ යාලුවෙක්" ආදිත්‍ය කිව්වේ හිත හිත

" යාලුවෙක් ? රෑට හොයාගෙන බලන්න යන්න මාර යාලුකමක්නේ.අර විහාරත් එහෙනම් ඔහොම අඹ ගස් අස්සේ යනවා ඇති අසේලි බලන්න"

" මෝඩ කතා කියන්න එපා බං.විහාරාට ඕනේ වෙලාවක අසේලි බලන්න පුලුවන්නේ.මේ ප්‍රශ්නේ නිසයි මං එහෙම ගියේ වෙන මගුලක් නෑ මෙතන" ආදිත්‍ය කිව්වේ නාන කාමරේ පැත්තට යන ගමන්.

" හරි හරි පුතේ...දැනට මං ඕක පිලිගන්නම්කෝ.අපි බලමුකෝ" අවිශ්ක කිව්වේ නාන කාමරේට යන ආදිත්‍ය දිහා බලාගෙන.

නාන කාමරෙන් එලියට ආපු ආදිත්‍ය අතේ තිබ්බ තුවාය පුටුවක් උඩට දාලා ජංගම දුරකථනය අතට ගත්තා.ජංගම දුරකථනයේ අසේලිගේ නමත් එක්ක තිබුනු කෙටි පණිවිඩය දැකපු ආදිත්‍ය කෙටි පණිවිඩය ව්වෘත කරේ කලබලෙන්.

"Gedara giyada? Thank you oya karapu hama dekatama.ada awatath thank you.parissamen inna.bs"

අසේලිගේ කෙටි පණිවිඩය දැකපු ආදිත්‍ය ජංගම දුරකථන තිරන දිහා බලාගෙනම හිනා වුනා.

' එහෙනම් ෆෝන් එක චාර්ජ් කරගෙන' එහෙම හිතපු ආදිත්‍ය ඉක්මනින්ම පිළිතුරක් සටහන් කරලා යැව්වා.

"Dora hodata wahagena nidaganna.good night.bs."

කෙටි පණිවිඩය යවපු ආදිත්‍ය ජංගම දුරකථනය මේසෙන් තියලා ඇදට ගියේ නිදාගන්න හිතාගෙන.

******************************************සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම ❤️

මං දන්නවා මං හරිම නරකයි කියලා.හැමදාම දාන්නම් කිව්වට දාන්නෙම නෑනේ නේද? තරහ වෙන්න එපා යාලුවනේ.කොහොම හරි දවසක් ඇර දවසක් හරිම කතාව දානවාමයි.එක දවසකට වඩා පරක්කු කරන්නේ නෑ නෑ නෑමයි ❤️

ඉතින් හෙට ඉස්කෝලේ පටන් ගන්නවා.මගේ පොඩි යක්ස පැටව් ටික හෙට මං එනකම් බලන් ඉන්නවා.එයාලා බලන්න යන්න ලෑස්ති වෙන්න වුන නිසා ඔන්න අද කතාව ටිකක් කොට වුනා.

කතාව ගැන කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.

ඉක්මනින් හම්බෙමු

ආදරෙන් ඉන්න ❤️

1 comment: