Monday, January 21, 2019

මන්දාරම් අහස යට - විසි නම වන කොටස


ආදිත්‍යට අවිශ්කගෙන් දුරකථනය ඇමතුමක් ලැබුනේ කාර්‍යාලයේ වැඩ කරන අතරෙදි.

"හෙලෝ..." ආදිත්‍ය දුරකථනයට පිළිතුරු දුන්නේ පරිඝනක තිරය දිහා බලාගෙනමයි.

"හෙලෝ ආදි ඔෆිස් එකේද?"

"ඔව්..ඇයි"

"හවස වැඩක් දාගෙනද ඉන්නේ?"

" නෑ....කෙලින්ම ගෙදර එන්න හිතන් ඉන්නේ"
"ආ....එහෙනම් එන්න එපා"

"ඒ මොකද?"

" උඹ මිගාර දන්නවනේ...මිගාරයගේ කෙල්ලගේ බර්ත්ඩේ පාර්ටි එක කියලා අපටත් එන්න කිව්වා"

" අහ් මිගාරගේ මල්ලිව මට උදේ හම්බුනා"

" දෙනුවන්? ඒ කොහෙදිද?"

" උදේ ස්ටේශන් එකේදි.කැම්පස් යන ගමන්"

"හා...හරි හරි උඹ එනවා නේද?"

"කොහෙද තියෙන්නේ? මට හෙට වැඩට එන්නත් ඕනේ බං"

" වැල්ලවත්තේ රිසෝර්ට් එකක.මිගාර කිව්වා පාර්ටි එක ඉවර වෙලා උගේ නැන්දලාගේ ගෙදර නවතින්න කියලා.නැන්දලගේ ගෙදර තියෙන්නෙත් කොල්ලුපිටියෙ.ලේසිනේ උඹටත්" අවිශ්ක කියපු ඔක්කොම අහගෙන හිටපු ආදිත්‍ය පුටුවට හේත්තු වුනා.

එක දිගට ගෙවුනු ඒකාකාරී ජිවිතෙන් මිදෙන්න ආදිත්‍යටත් උවමනා වෙලා තිබුනේ.

"හරි මං එන්නම්.ලොකු අප්පච්චිට කිව්වද?"

"ඔව්..මිගාරගේ තාත්තා අප්පච්චි ගේ යාලුවෙක්.ඒ නිසා ශේප්"

"මේ අවියා....මට ඇදුමක්වත් නෑ හැබැයි.උඹ එනකොට ගේනවද?"

"හරි හරි...මං මොනවා හරි ගෙන්නම් බලලා"

"හෙට ඔෆිස් එකටත් ශර්ට් එකක් අරන් වරෙන්"

"හරි බං යකෝ..මං ගෙන්නම්"

"හරි එහෙනම් මං තිබ්බා.අපි වැඩ උඹලා වැඩ නැති වුනාට"

"අපටත් වැඩ තමා යකෝ උඹලා වගේ කියව කියව නොගියට" අවිශ්ක කියද්දි ආදිත්‍යට හිනා ගියා.

" මේ...අවියා අපේ ඔෆිස් එකට වරෙන් හවසට.මෙහෙන් චේන්ජ් කරගෙන යමු"

"මාත් එහෙම තමයි හිතුවේ.5 වෙද්දි මං ඔෆිස් එක ලගට එන්නම්"

"ඇවිත් රින්ග් කරපන්"

"හරි මචන්.එහෙනම් අපි තිබ්බා.උඹේ මහ ලොකු වැඩ ටික කරගනින්" අවිශ්ක එහෙම කියලා දුරකථනය විසන්ධි කරා.

කතා වුනු විදියටම අවිශ්කයි ආදිත්‍යයි හවස සාදයට යන්න පිටත් වුනේ ආදිත්‍ය ගේ කාර්‍යාලයෙන් ඇදුම් මාරු කරගෙන.එයාලා එතනට යද්දිත් සාදය ආරම්භ වෙලා තිබුනේ.

"ඒයි වරෙල්ලා සෙල්ෆියක්  ගන්න" සාදයේ හිටපු මිතුරෙක් කෑගැහුවේ එතන හිටපු අයට දුරකථනය පෙන්නන ගමන්.හැමෝම එතනට එකතු වුනේ ජායාරූප ගන්න.

"මේ මගේ එකෙනුත් ගනින්.මට මේක එෆ් බී දාන්න ඕනේ" අවිශ්ක කිව්වේ දුරකථනය තවත් මිතුරෙක්ට දෙන ගමන්.

එක එක විදියට ගත්ත ජායාරූප ගොඩකින් පස්සේ ආදිත්‍ය යි අවිශ්කයි බියර් වීදුරු දෙකකුත් අරගෙන තවත් යාලුවෝ කණ්ඩායමක් අතරින් වාඩි වුනා.හැමෝම එක එක දේවල් කතා කරන අතරේ අවිශ්ක කාර්‍යබහුල වෙලා හිටියේ ගත්ත ජායාරූප ටික මුහුණු පොතට දාන ගමන්.ඒ අතරේ ආදිත්‍ය මිගාරාගේ සාදයේදි හමුවුනු මිතුරන් දෙන්නෙක් එක්ක කතාවක හිටියේ අලුතෙන්ම වෙළදපොළට නිකුත් වුනු වීඩීයෝ ගේම් එකක් ගැන.

" ඒයි මේ බලපන්..." අවිශ්ක එක පාරටම ආදිත්‍යට ට කතා කරා.

"මොකක්ද?" ආදිත්‍ය ඇහුවේ අවිශ්ක ගේ දුරකථනය ට එබෙන ගමන්.

"මේ අදුරනවද බලපන්" අවිශ්ක කිව්වේ දුරකථනය ආදිත්‍යගේ අතටම දෙන ගමන්.

"මේ කෙල්ලෝ සෙට් එකක්නේ.." ආදිත්‍ය කිව්වේ අවිශ්ක පෙන්නපු ජායාරූපය දිහා බලන ගමන්.

"ඔව්...ඕකේ කහයි කලුයි සාරි එක දිහා බලපන් අදුරනවද කියලා" අවිශ්ක කියද්දි ආදිත්‍ය ආයෙත් හොදට ඒ දිහා බැලුවා.

"මේ...මේ...අසේලි" ආදිත්‍ය කිව්වේ ජායාරූප ය දිහා බලාගෙනමයි

"ඔව්...ලස්සනයි නේද?"

"හ්ම්ම්ම්..." ආදිත්‍ය කිව්වේ ඒ දිහාම බලාගෙන.

"කෝ දීපන් දීපන් ඕක මගේ ෆෝන් එක ගිලින්නේ නැතුව" අවිශ්ක දුරකථනය ආදිත්‍ය ගේ අතින් ගන්න හැදුවත් ආදිත්‍ය ඉඩ දුන්නේ නෑ.

"හිටපන් ටිකක්.මේ කොහෙද මේ...university of colombo කියලා තියෙන්නේ.මේ ඩේට් එකත් අද" ආදිත්‍ය කිව්වේ කල්පනා කරන ගමන්.

"ඔව් ඔව් මේ දැන් දාලා තියෙන්නේ.අද සෝශල් එකලු.මේ තියෙන්නේ දාලා" අවිශ්ක කිව්වේ ජායාරූපෙත් එක්ක තියෙන විස්‍තරේ කියවලා.

"ආ...." ටිකක් වෙලා එහෙම්ම දුරකථනය දිහා බලන් හිටපු ආදිත්‍ය අවිශ්ක ගේ දුරකථනය එයාටම ආයේ දෙන ගමන් පුටුවෙන් නැගිට්ටා.

උඹ කොහේ යන්නද?"

"කෝල් එකක් අරන් එන්නම්.මෙතන සද්දේ වැඩියි" ආදිත්‍ය කිව්වේ දුරකථනය අරන් බැල්කනිය දිහාවට යන ගමන්.

මුහුදට මූණ දාලා හදලා තිබ්බ හෝටලයේ බැල්කනිය මුහුදු හුළං වලින් පිරිලා.වටේම දාපු විදුලි ආලෝකයෙන් මුහුද යාන්තමට පේනවා.මුහුද දිහා බලාගෙනම ආදිත්‍ය අසේලිට දුරකථන ඇමතුමක් ගත්තා.

කීප වතාවක්ම නාද වුනත් අසේලි දුරකථනය ට පිළිතුරු දුන්නේ නෑ.නාද වෙන්න ඔන්න මෙන්න තියලා දුරකථනය ට පිළිතුරු දුන්නා.ඒත් ඒ අසේලි නෙවෙයි.

"හෙලෝ.." දුරකථනයේ අනිත් පැත්තෙන් ඇහුනු ගැඹුරු පිරිමි කටහඩ ආදිත්‍ය ව පුදුම කරා.

"හෙලෝ...මේ අසේලිගේ ෆෝන් එක නේද?" දුරකථන තිරය දිහාත් එක පාරක් බලපු ආදිත්‍ය ඇහුවේ සැක සිතින්.

"ඔව්...මේ කවුද කතා කරන්නේ"

"මං අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.කෝ අසේලි?" මේ සැරේ නම් ආදිත්‍ය ඇහුවේ නොඉවසිල්ලෙන්.අසේලිගේ දුරකථනය තියාගෙන ඉන්න මේ මිනිහා කවුද කියලා දැනගන්න කොච්චර උවමනාව තිබ්බත් ආදිත්‍ය ට මුලින් දැනගන්න ඕනේ වුනේ අසේලි කොහෙද කියලා.

"ආ...අසේලි ඩාන්සින් ෆ්ලෝර් එකේ"

"එතකොට මේ කතා කරන්නේ කවුද?"

"මං අසේලිගේ මෙහේ වෙන්ඩ බෝයි ෆ්‍රෙන්ඩ්" ඒ පිරිමි කටහඩ සරදම් හඩකින් කියද්දි ආදිත්‍ය ගේ අතමිට මෙළවුනා.

"මොකක්ද තමුසේ කිව්වේ" ආදිත්‍ය ඇහුවේ දත්මිටි කන ගමන්.

"මං මේ කියන්නේ බොහොම හොදින් සහෝදරයා.කෙල්ල දැන් කැම්පස්.කැම්පස් එකෙන්මන් ගොඩ යන්න දෙනවා කෙල්ලට"

"මොනවද මේ කියවන්නේ.තමුසෙගේ ඔලුව හොද නැද්ද? දෙනවා අසේලිට ෆෝන් එක" ආදිත්‍ය දුරකථනයෙන්ම කෑගැහුවා.

ඒත් ආදිත්‍ය ගේ ප්‍රශ්නෙට පිළිතුරක් නොදීම අසේලිගේ දුරකථනය විසන්ධි වුනා.ආදිත්‍ය ඊට පස්සේ කීප පාරක්ම අසේලිගේ දුරකථනය ට ඇමතුම් ගන්න උත්සහ කරත් දුරකථනය ක්‍රියා විරහිත කරලා දාලා තිබුනේ.

'මේ කෙල්ල මොන මගුලක යනවද මන්දා' ආදිත්‍ය බැල්කනියේ එහෙට මෙහෙට ඇවිද්දා.

'කවුද ඒ කොල්ලා...එදා හිටපු කොල්ලද..දැන් 9යි වෙලාව.මොනවා කරනවද මෙච්චර වෙලා' ආදුත්‍ය කල්පනා කරේ බැල්කනි බැම්මටත් අත තියාගෙන.

"මං යනවා...මං යනවා එහෙට" ආදිත්‍ය එහෙම කියාගෙනම හැරෙද්දිම දැක්කේ මිතුරන් කණ්ඩායමක් එක්ක ඉන්න මිගාරාව.ආදිත්‍ය කෙලින්ම එතනට ගියා.

"එක්ස්කියුස් මී...මිගාර..මේ උඹලාගේ මල්ලි දෙනුවන් ලගේ අද සෝශල් එක නේද?" ආදිත්‍ය අහද්දි මිගාර ඒ දිහා බැලුවේ පුදුමෙන්.

"අඩෝ..උඹ කොහොමද දන්නේ?"

"ඒකෙන් වැඩක් නෑ.මට කියපන් කොහෙද තියෙන්නේ කියලා ඒක"

" කැම්පස් එකේම කියලා තමයි කිව්වේ" මිගාර කිව්වෙ ආදිත්‍ය දිහා පුදුමෙන් බලන ගමන්.

"මට දෙනුවන් ගේ නම්බර් එක දීපන්"

" මං එවන්නම්.ඒත් ඇයි?"

"එවපන්කො.මට පොඩි දෙයක් දැනගන්න"

"හරි හරි..මං එවන්නම්" මිගාර කිව්වේ දුරකථනය එලියට ගන්න ගමන්.

"හරි මචන් නම්බර් එක ආවා.තැන්ක් යූ.මේ මං පොඩ්ඩක් එලියට යනවා.අවියට කියපන් හොදෙ" එහෙම කියපු ආදිත්‍ය කලබලෙන් එලියට ගියේ මිගාර පුදුමෙන් බලන් ඉද්දි.

**************************************
අද කොටස ටිකක් කොට කරන්න වුනා ලමයි ඊලග කොටස දිග නිසා.එකටම දාන්න තරම් දිග වැඩියි.අද හවස ඊලගට කොටස දානවා.


ආදරෙන් ඉන්න ❤️

2 comments: