Thursday, January 3, 2019

මන්දාරම් අහස යට - විසි දෙවන කොටස


උදේ බේකරියට ගිය ජයවර්ධන ගිය පයින්ම ගෙදර ආවේ කලබලෙන්.

"ඇයි ජයේ...ගියේ නැද්ද?" ජනිතා කුස්සියේ ඉදන් එන ගමන් ඇහුවේ ජයවර්ධන මෙහෙම එන්නේ නැති නිසා.

"කෝ අසේලි"

" උඩ කාමරේ"

" නිමන්ත?"

" එයා වැඩට ගියානේ.ඇයි ජයේ?" ජනිතා ඇහුවේ ජයවර්ධන දිහා කුතුහලෙන් බලන ගමන්.

"මෙහෙන් වාඩි වෙන්නකෝ" ජයවර්දන කිව්වේ එයාගේ එහා පැත්තේ පුටුව පෙන්නන ගමන්.ජනිතාත් ප්‍රශ්න අහන්නේ නැතුවම වාඩි වුනේ මොකක් හරි වැදගත් දෙයක් කියලා තේරුණු නිසා.

"මේක බලන්න" ජයවර්ධන කිව්වේ ජනිතා දිහාවට පත්තරයක් දික් කරන ගමන්.

" කලුතර ප්‍රසිද්ද බේකරි ව්‍යාපාරිකයාගේ දියණිය ගණිකා මඩමකදී අසු වෙයි" ජනිතා පත්තරේ සිරස්තලය කියෙව්වේ හදවත වේගයෙන් ගැහෙද්දි

"මොකක්ද ජයේ මේ?" ජනිතා ඇහුවේ ඔලුවේ අතක් තියාගෙන බලන් ඉන්න ජයවර්දන ගෙන්.

" ඕක ලියවලා තියෙන්නේ අර ගුණවර්ධන කාරයා.මට ඒක හොදටම විශ්වාසයි.මගේ බේකරිය වස්සවන්න පුලුවන් තරම් ට්‍රයි කරලා බැරි වුනාම කරන වැඩ තමයි මේවා.මං මේක ලේසියෙන් අතාරින්නේ නෑ" ජයවර්ධන කිව්වේ දත් මිටි කන ගමන්.

"මොන නවනින්ගිරාවක්ද දෙයියනේ මේක...මගේ කෙල්ල කොහොමද පාරේ බැහැලා යන්නේ ආයෙත්" ජනිතා හීල්ලුවේ ආයෙත් පත්තරේ දිහා බලන ගමන්.

" කෙල්ල විතරක් නෙවෙයි අපටත් පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නේ"

"ඇයි මොකද වුනේ"

" උදේම කඩේ ඉස්සරහ කෑලෑ පත්තර ගහලා"

"දෙයියනේ....." ජනිතා අත් දෙකෙන්ම කට වහගත්තා.එතකොටම ජයවර්ධනගේ ජංගම දුරකථනය නාද වෙන්න ගත්තා.

"හෙලෝ...දයානන්ද" ජයවර්ධන දුරකථනයට පිළිතුරු දුන්නා.

"..............................."

"ඔව් මං මේ ඒකමයි කතා කරේ.අපි මොකද මේකට කරන්නේ?"

".........................................."

"ඔව් ඔව් නැතුව ඉතින්.මේක ලියපු එකාව හිරේ යවන්නම ඕනේ"

"............................................."

"එහෙනම් මොකක්ද කරන්න පුලුවන්.දයානන්ද.....මට මේකට විසදුමක් ඕනේමයි.ඒ මිනිහා වෙච්ච සිද්දිය ලිව්වා කියලා මේක අතාරින්න බෑනේ.මූ දුව ව පැහැරගත්තා කියලා ලියලා නෑනේ.නිකන් කැමැත්තෙන් ගිහින් වගේනේ ලියලා තියෙන්නේ"

"................................."

"අන්න හරි....ඒකමයි මටත් කෙරෙන්න ඕනේ.මිනිහගේ අතක් පයක් කඩන්න ඕනේ නම් මං ඔයාට කතා කරන්නේ නෑනේ දයානන්ද.මට ඕනේ අපහාසෙට අපහාසේ.දයානන්ද දන්නවනේ මගේ ක්‍රමේ"

"............................................."

"ආ....ඒක නියමයි.මං දන්නවා ඕකට හරි යන නියම කොල්ලෙක්.මං දැන්ම ගිහින් වැඩේ බාර දෙන්නම්"

".............."

"හරි හරි දයානන්ද.මං එතනට ගිහින් කෝල් එකක් දෙන්නම්.එතකොට දයානන්දට පුලුවන්නේ වෙන්න ඕනේ දේ විස්තර කරන්න..."

"........................."

"ආ....ඒ ආදි....ආදිත්‍යයද කොහෙද නම.හරි ඒකත් ඒ ගමන් කතා කරගමු.ඒකත් එහෙම අතාරින්නේ නෑ මං" ජයවර්දන එහෙම කියන ගමන්ම පුටුවෙන් නැගිට්ටා.

"........................."

"හරි දයානන්ද මං දැන් එහේ යනවා.ගිහින් කෝල් එකක් දෙන්නම්"

".............."

"හරි....තැන්ක් යූ අයිඩියා එකට.ඕකේ...බායි..." ජයවර්දන එහෙම කියන ගමන් බැලුවේ තමන් දිහා බලන් ඉන්න ජනිතා දිහා.

" මං පොඩි ගමනක් යනවා.අසේලිට මේ ගැන දැනගන්න තියන්න එපා.එයාගේ ෆෝන් වැඩ කරනවද"  ජයවර්ධන අහද්දි ජනිතා ඔලුව වැනුවේ නෑ කියන්න.

" නෑ මගේ හිතේ.දැක්කේ නම් නෑ ඒක අරන් ඉන්නවා.සල්ලිත් නැතුව ඇති ඒකේ.මට කිව්වෙත් නෑ දාන්න කියලා" ජනිතා කියද්දි ජයවර්ධන යන්න හැරුනා.

"එහෙනම් මේ  පත්තරේ හංගලා තියන්න.මේධාවිවත් අද පංති යවන්න එපා"ජයවර්ධන කිව්වේ වාහනේ ලගට යන ගමන්.ජනිතාත් ජයවර්ධන ගේ පස්සෙන්ම ගියා.

"ඔයා මොකක්ද කරන්න යන්නේ?" ජනිතා ඇහුවේ ජයවර්ධන වාහනේට නගිද්දි.

" මං ඇවිත් කියන්නම්" එහෙම කියපු ජයවර්ධන වාහනේ අරන් යන දිහා බලන් හිටපු ජනිතා ගේ ඇතුලට ආවා.ඒත් එක්කම පඩිපෙළින් ආපු සද්දයක් නිසා පඩිපෙල දිහාවට එබිලා බලපු ජනිතා දැක්කේ උඩට යන්න හදන අසේලිව.

'අසේලිට ඇහුනද දන්නේ නෑ මේවා' ජනිතා හිතුවේ හදවත ගැහෙද්දි.ඒත් ජනිතාගේ හිතේ බය නැති කරලා අසේලි ජනිතා එක්ක හිනා වුනා.

"මොකක්ද අම්මා ඒ වාහනේ සද්දේ? තාත්තා දැන්ද වැඩට ගියේ?"අසේලි හිනා වෙලා අහද්දි ජනිතාත් හිනා වුනා.

"ඔව්.අද ටිකක් පරක්කු වුනා.දුව දැන්ද නැගිට්ටේ"

"ඔව් අම්මා...පහළට එන්න හැදුවේ.ඒත් මේ නංගි කතා කරනවා වගේ ඇහුනා.ඒකයි මේ බැලුවේ මං" අසේලි කිව්වේ ආයෙත් උඩ බලන ගමන්.

" ආ...එයා ඇත්තේ බැල්කනියේ.පාඩම් කරනවා උදේ උදන්.බලන්න පොඩ්ඩක් මොකද කියලා.කන්න එන්න කියන්න එයාට බඩගිනි නම්.ඔයත් එන්න කන්න.අද පිට්ටු හැදුවේ"

"ආ....පිස්ටු ද හැදුවේ.හරි හරි මං එන්නම් " එහෙම කියාගෙනම උඩට නැගපු දේදුණු ගියේ මේධාවි පාඩම් කර කර හිටපු තැනට.උසස් පෙළට පාඩම් කරන නිසා මේධාවි හරි කාර්‍යබහුලයි.මේධාවිට කන්න යන්න කියලා පණිවිඩේ කියලා අසේලි ආයෙත් ආවේ කාමරේට.

හෙමීට කාමරේ දොර වහපු අසේලි දොරට හේත්තු වුනා.

'තාත්තා ඇයි ආදිත්‍ය ගැන කතා කරේ? මොකක්ද ඒ ගැනත් බලන්න ඕනේ කිව්වේ?' අසේලි හිතුවේ කුතුහලෙන්.

' තාත්තා මොනවා හිතනවද දන්නේ නෑ ආදිත්‍ය මාව බේරගත්ත එක ගැන.හරි නම් තාත්තා එයාට තෑන්ක්ස් කරන්න ඕනේ ඒ වෙච්ච සිද්දියට.ඒත් එයා ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑනේ.මට බයත් හිතෙනවා.මොකක්ද මේ ප්‍රශ්නේ කියලා ' අසේලි කල්පනා කරා.

මේසේ උඩ තිබ්බ බෑග් එක ලගට ගිය අසේලි බෑග් එකෙන් එයාගේ ජංගම දුරකථනය එලියට ගත්තා.ඉස්සර ඉදන්ම අසේලිගේ ලොකු ඇබ්බැහිවීමක් තිබ්බේ නෑ දුරකථනයට.ඒත් මේ වෙච්ච සිද්දි එක්ක අසේලි දුරකථනය අතඇරලම දාලයි තිබුනේ
.
ජංගම දුරකථනය ඔන් කරපු අසේලි ආදිත්‍යට දුරකථන ඇමතුමක් ගත්තා.

"ආ...මැඩම්..." ආදිත්‍යගේ කටහඩ ඇහුනු අසේලිට ඉබේටම හිනා ගියා.

"හෙලෝ කියන්නේ නැද්ද මුලින්" අසේලි ඇහුවේ හිනාව තද කරගෙනමයි

" අහ් ඒ අදුරන් නැති අයටනේ".

" ඉතින් අපි අදුරනවද?"

"අප්පටසිරි නෑනේ...මට අමතක වුනානේ.අපි අදුරන්නේ නෑනේ.සොරි හොදේ" ආදිත්‍ය කියද්දි අසේලිට ආයෙත් හිනා ගියා..

"මේ පිස්සෝ....කොහෙද ඉන්නේ?"

"මං මේ පොඩි වැඩකට කොළඹ ආවා" ආදිත්‍ය කියද්දි අසේලිට මතක් වුනේ ආදිත්‍ය කියපු ගෑනු ලමයව.

'ඒ ගෑනු ලමයා හම්බෙන්න යන්න ඇති' එහෙම හිතද්දි අසේලිගේ හිතට දැනුනේ ලොකු බරක්

"හෙලෝ...." ආදිත්‍ය කතා කරේ අසේලිගෙන් පිළිතුරක් නැති නිසා.

"අහ් මේ....මං කතා කරේ වැදගත් දෙයක් කියන්න ඔයාට" අසේලි කිව්වා.

"මොකක්ද? ඉක්මනට කියන්න" ආදිත්‍ය ඒ සැරේ කිව්වේ ටිකක් කලබලෙන් කියලා අසේලිට හිතුනා.

" ඇයි ඔයා වැඩක්ද?"

"ඔව්...මං ඔයාට පස්සේ  ගන්නම්"

"හා...හා..."

"බායි...බායි" එහෙම කියපු ආදිත්‍ය දුරකථනය විසන්දි කරේ අසේලිට හිතන්නවත් වෙලාවක් නොදී.

'එයා ඇත්තේ ඒ ගෑනු ලමයා ලග' එහෙම හිතපු අසේලි දුරකථනය ආයෙත් මේසේ උඩින් තිබ්බා.එහෙම තිබ්බත් කාමරේට එන එන සැරේට දුරකථනය බලන්න අසේලි අමතක කරේ නෑ.

එදා රෑ වෙනකම්ම ආදිත්‍යගෙන් අසේලිට දුරකථන ඇමතුමක් ආවේ නෑ.මාධවිත් පාඩම් කරන්න එලියේ බැල්කනියට ගියපු නිසා අසේලි නිදාගන්න තීරණේ කරා.අසේලිට උදේ ඉදන් තිබ්බ හෙම්බිරිස්සාවට ගත්ත බෙහෙත් නිසා එයාට නින්ද යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ඇදේ නිදාගෙන හිටපු අසේලිගේ ඇගට එක පාරටම වැටුනු දෙයක් නිසා අසේලි ඇස් ඇරලා බැලුවා.ඇග උඩට වැටිලා හිටපු සර්පයා දැකපු අසේලි කෑගහන්න හැදුවත් කටින් වචන පිට වුනේ නෑ.එතකොටම ඇහුනු හිනා වෙන සද්දයක් නිසා අසේලි ඔලුව උස්සලා බැලුවා.එතන හිටගෙන හිටියේ පොඩි පිරිමි ලමයෙක්.ඒ ලමයා අසේලි දිහාවට ඇගිල්ල දික් කර කර හිනා වෙන්න ගත්තා.ඒ ලමයාගේ හිනාව නිසාම අසේලි බැලුවේ එයාගේ ඇද උඩ ඉන්න සර්පයා දිහා.ඒ සර්පයා රබර් සර්පයෙක් බව තේරුම් ගන්න අසේලිට වැඩි වෙලා ගියේ නෑ.

මේ ඉන්නේ රබර් නයෙක් බව තේරුම් ගිය අසේලිට ඉබේටම වගේ ඇඩුම් ආවා.අසේලි ඉකි ගහන්න උත්සහ කරත් ඒ හඩ කටින් පිට වුනේ නෑ.

එතකොටම අසේලිට ඇහුනේ මිහිරි සංගීත නාදයක්.ටිකෙන් ටික වැඩි වෙලා ඇහෙන ඒ සංගීත නාදය නිසා අසේලි එක පාරටම ඇස් ඇරියා.ඇදේ කොට්ටේ ලග නාද වෙමින් තිබ්බේ අසේලිගේ දුරකථනය.අසේලි දුරකථනය අතට ගන්නවත් එක්කම ඒක විසන්ධි වුනා.දුරකථනය පැත්තකින් තිබ්බ අසේලි ඇද ලග තිබ්බ මේස ලාම්පුව දැල්ලුවා.ඒ එලියෙන් පෙනුනු ඔර්ලෝසුවේ වෙලාව තිබ්බේ රෑ 11ක් විදියට.

'තවත් හීනයක්' අසේලි හිතුවේ හීනෙන් සර්පයා දැකපු ඇද දිහා බලාගෙනමයි.එතකොටම ආයෙත් අසේලිගේ දුරකථනය නාද වෙන්න ගත්තා.දුරකථන තිරයේ වැටිලා තිබ්බේ ආදිත්‍යගේ නම.

"හෙලෝ..." අසේලි දුරකථනය පිළිතුරු දුන්නා.

"හෙලෝ...නිදාගෙනද හිටියේ"

"ඔව්...ඇයි මේ රෑ"

" ඇයි මං ඔයාට කතා කරන්නම් කිව්වේ උදේ"

"ඒ උදේනේ...දැන් රෑ වෙලා" අසේලි කිව්වේ අමනාපෙන්.

" හරි හරි මං වැඩක හිටියේ.ගෙදර ආවේ හවස් වෙලා ඒ එද්දි ෆොන් එකේ බැට්‍රි බැහැලා.ඒක චාර්ජ් ගහලා අවිශ්ක එක්ක එයාගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.දැන් ආවේ" අසේලි ආදිත්‍යගේ පැහැදිලි කිරීම අහන් හිටියේ පුදුමෙන්.

'මං ඔච්චර දේවල් ඇහුවේ නෑනේ' අසේලි එහෙම හිතුවත් ඒක කියන්න ගියේ නෑ.

" හ්ම්ම්...."

"ඉතින් මොකටද කතා කරේ" ආදිත්‍ය ආයෙත් ඇහුවා.

"උවමනාව තිබ්බේ ඒ වෙලාවේ.දැන් ඒක කියලා වැඩක් නෑ" අසේලි කිව්වා.

" අහ් ඒකත් එහෙමද? මාත් මේ වැදගත් දෙයක් කියන්න ගත්තේ.එහෙනම් ඒකත් එපාද "
" වැදගත් දෙයක් නම් කියන්න ඉතින්.අපරාදේනේ ඔයා මේ කෝල් කරන සල්ලි" අසේලි එහෙම කියද්දි ආදිත්‍යට හිනා ගියා.

" මං අද ඉන්ටර්වීව් එකකට ගියා කොළඹ.Creative Vision කියලා කොම්පැනි එකක"

"ශා.....ඉතින්"

" ඉතින් මං සිලෙක්ට්.ඩිසයිනර් කෙනෙක් විදියට ගත්තේ"

"කන්ග්‍රැජුලේශන්ස්..." අසේලි කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"තැන්ක් යූ...තැන්ක් යූ...."

"පාර්ටි ඕනේ අපට"

"ඒක නම් දෙන්න බැරියැ.ඇයි ඔයා කතා කරේ" ආදිත්‍ය එහෙම අහද්දිම දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.

******************************************
ඉක්මනින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment