Thursday, January 17, 2019

මන්දාරම් අහස යට - විසි හත් වන කොටස



තමන් මෙච්චර කල් හොයපු පොඩි කාලේ යාලුවා දේදුණු කියලා කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක් වගේම සතුටක්.

"ඒ කොහොමද ඔයා හරියටම එහෙම කියන්නේ" ආදිත්‍ය ඇහුවේ මේ කතාව ස්ථිර කරගන්න අදහසින්

"මං අපේ පොඩි අයියාගෙන් ඇහුවා පොඩි කාලේ මං සෙල්ලම් කරපු ගෙවල් ලග පිරිමි ලමයෙක් හිටියද කියලා.ඔයා කිව්වනේ අපේ ගෙවල් ලග හිටියේ කියලා"

"ඉතින් අයියා මොකද කිව්වේ"

"හිටියා කිව්වා එහෙම බෝයි කෙනෙක් ගෙවල් ලග.අයියාට වඩා අවුරුද්දක් බාලයි කිව්වා.අයියා ඉස්කෝලේ ගිහින් ඉන්නකොට මං සෙල්ලම් කරේ එයා එක්කලු"

"අයියගේ වයස කීයද දැන්"

" අයියට දැන් 25යි"

"අහ්...එතකොට ඒ බෝයිට පස්සේ මොකද වෙලා තියෙන්නේ"

"ඒක අයියා දන්නේ නෑ.කාලයක් සෙල්ලම් කරා මතකලු මාත් එක්ක.ඒ කාලේ අයියා මට කැමති නෑනේ.ඒ නිසා එයාට ගානක් නැතුව ඇති"

"ම්ම්ම්...ඒකත් එහෙමද"

"එහෙම තමයි අයියා කිව්වේ නම්"

"මට බැරි වෙයිද අයියට කතා කරන්න"

"අපෝ මේ පිස්සුද? හිතන්නවත් එපා.මං මේ අහපු ටිකටත් එයාට හෙන ප්‍රශ්නේ මං මොකටද මේවා අහන්නේ කියලා"

"ඔයාලගේ පවුලේ අය මාර ආදරේ වගේ ඔයාට" ආදිත්‍ය කිව්වේ ගෙදරට යන්න පාර පනින ගමන්.

"අම්මෝ...ඒ ගැන කියලා වැඩක් නෑ.කරදරයක් වෙලාවකට.හොයනවා වැඩියිනේ.එපා වෙනවා"

"එහෙම තමයි අයියලා...දැන් අප්පච්චිට කොහොමද?"

"ගෙදර ඉන්නේ.පරිස්සම් වෙන්න කිව්වනේ මාස තුනක් යනකම්"

"ඔව්...කෑම එහෙම බලලා දෙන්න"

"හ්ම්ම්...ඉතින් දැන් ගෙදරට ආවද?"

"ඔව්...දැන් ගේට්ටුව ලග"

"අහ්..එහෙනම් මං තියන්නම්.ගෙදර අම්මලත් ඇතිනේ.අම්මලා බලාවි කාත් එක්කද පුතා මේ කතා කරන්නේ කියලා" දේදුණු හිනා වෙවී කියද්දි ආදිත්‍යට ත් හිනා ගියා.

"එහෙම අවුලක් නම් වෙන්නේ නෑ"

"ඇයි"

"අම්මලා මෙහේ නෑ.ඒකයි"

"නෑ කියන්නේ? මේ....." දේදුණු අමාරුවෙන් අහන්න හදපු දේ තේරුම් ගත්ත ආදිත්‍ය හිනා වුනා.

"නෑ...නෑ...එහෙම එකක් නෙවෙයි.අම්මලා ඉන්නවා.මේ ගෙදර නෙවෙයි.ඇත්තටම අම්මලා මේ දවස් වල නුවර ඉන්නේ.මං කලුතර.ලොකු අප්පච්චි ගේ ගෙදර ඉන්නේ" ආදිත්‍ය කිව්වේ කාමරේට ඇතුල් වෙන ගමන්.

මේසේ ලග වාඩි වෙලා හිටපු අවිශ්ක ඔලුව උස්සලා ආදිත්‍ය දිහා බලද්දි ආදිත්‍ය තොල් වලින් කිව්වේ කතා කරන්නේ දේදුණු කියලා.

"අහ්...එහෙමද? හරි හරි"

"එතකොට ඔයා කොළඹ කොහෙද ඉන්නේ? බෝර්ඩ් වෙලාද?" ආදිත්‍ය ඇහුවේ ඇදෙන් වාඩි වෙන ගමන්.

"නෑ...අපේ නැන්දා ඉන්නවා මෙහේ.එහේ ඉන්නේ"

"ආ....එහෙනම් ඉතින් ගෙදර වගේමනේ.ප්‍රශ්නයක් නෑනේ"

" ප්‍රශ්නයක් නම් නෑ.ඒත් පාලුයි"

"ඇයි නැන්දලාගේ ගෙදර කවුද ඉන්නේ "

"නැන්දයි මාමයි විතරයි"

" එහෙනම් පාලු ඇති තමයි.නැන්දලට ලමයි නැද්ද"

"ඉන්නවා..ශෙහාන් අයියා පේරාදෙණිය කැම්පස්.නුවනි අක්කා බැදලා රට ගිහින්"

"අහ්...ඒකත් එහෙමද?" ආදිත්‍ය කියද්දිම කාමරේට එබුනේ ගයානි.

"සුදු පුතා කන්න එන්න" ගයානි කිව්වේ ආදිත්‍යට.

" හා හා ලොකු අම්මේ" ආදිත්‍ය කිව්වේ දුරකථනය කනෙන් ටිකක් ඈත් කරන ගමන්.

"හෙලෝ" ආදිත්‍ය ආයෙත් දුරකථනය කනේ තියාගෙන කිව්වේ ගයානි ගියාට පස්සේ.

" ඔයා කන්න එහෙනම්.මං තියන්නම්"  අසේලි කිව්වේ එයාට ඔක්කොම ඇහුනු නිසා.

"ඔයා කාලාද" ආදිත්‍ය ඇහුවේ ඇදේ වාඩි වෙලා මේස් ගලවන ගමන්.

" ඔව්...ඔයා කන්න"

"හරි එහෙනම්.මං තියන්නම්.බායි"

"බායි" දේදුණුගේ ඇමතුම විසන්ධි කරපු  
ආදිත්‍ය ගියේ කෑම කන්න.කාලා ආපු ආදිත්‍ය තුවායත් අරගෙන නාන කාමරේට ගියා.


නාලා ඉවර වෙලා තුවාය ඇදගෙනම කාමරේට ආපු ආදිත්‍ය කෙලින්ම ගියේ කණ්නාඩිය ඉස්සරහට.කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පිහිදන ආදිත්‍ය දිහා බලාගෙන අවිශ්ක හිනා වුනා.

"අර කෙල්ලෝ දෙන්නා දැන් උඹව දැක්කා නම් ගිලිවී" අවිශ්ක එහෙම කියනවා ඇහුනු ආදිත්‍ය අවිශ්ක දිහාවට හැරුනා.

"මොන කෙල්ලෝ දෙන්නද?" ආදිත්‍ය ඇහුවේ කොට කලිසමක් ඇදගන්න ගමන්.

"වෙන කවුද ඉතින්.දේදුණු යි අසේලියි" අවිශ්ක කිව්වේ ආදිත්‍යට ඇහැක් ගහන ගමන්.

"පිස්සු කියවන්න එපා බං"

"ඇයි මොකෝ...බොරුද මං කියන්නේ.මේ සික්ස් පැක් දැක්කම කෙල්ලෝ දෙන්නට පිස්සු හැදෙයි"

"තැන්ක් යූ මචන් වර්ණනාවට.ඒත් ඒ කෙල්ලෝ දෙන්නම ඔහොම හිතන්නේ නෑ" ආදිත්‍ය කිව්වේ තුවාය පුටුවක් උඩට වීසී කරන ගමන්.

"හිතන් නෑ...මගුල තමයි...බලපන් ෆෝන් එක" අවිශ්ක එහෙම කියද්දි ආදිත්‍ය බැලුවේ ඇද උඩ දාලා තියෙන දුරකථනය දිහා.

දුරකථනය තිරයේ පෙන්නුවේ මග ඇරුනු ඇමතුම් 6ක්.ඒ ඇමතුම් 6ම තිබුනේ අසේලිගෙන්.ආදිත්‍ය ඉක්මනටම අසේලිට ඇමතුමක් ගත්තා.

"ඇයි උඹ ආන්සර් නොකරේ.මිස්ඩ් කෝල් 6ක්නේ.කරදරයක්ද දන්නේ නෑ බං" ආදිත්‍ය කිව්වේ දුරකථනය කනේ තියාගන්න ගමන්.

"අපෝ...මේ මං නම් ඕවට නෑ..අසේලිගේ කෝල් කොහොමත් එපා" අවිශ්ක එහෙම කියද්දිම අසේලි ආදිත්‍යගේ ඇමතුමට පිළිතුරු දුන්නා.

"හෙලෝ....කොහෙද ඉන්නේ"

" ගෙදර...කොහෙද ඉන්නේ ඔයා? මොකද වුනේ" ආදිත්‍ය ඇහුවේ කලබලෙන්.

"මං ගෙදර"

"ප්‍රශ්නයක් නෑනේ"

"නෑ" අසෙලි කිව්වේ ටිකක් වෙලා ඉදලා.

"ඇයි කතා කරේ ඉතින්" ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.

"නිකන්"

"නිකන් මිස්ඩ් කෝල් 6ක්? වෙන්න බෑ.ඇයි කියන්න.මොකක් හරි වුනාද? "

"මුකුත් වුනේ නෑ....මං මේ...නිකන්...ඔයා ගෙදර ගියාද....බලන්න ගත්තේ" අසේලි හෙමීන් හෙමින් කියද්දි ආදිත්‍යට හිනා ගියා.

"ආ...මේ ඒකටද?" ආදිත්‍ය ඇහුවේ හිනාව මැද්දෙන්මයි.

"මොකද මෝඩයෝ හිනා වෙන්නේ?" ආදිත්‍යගේ හිනාවට තරහ ගියපු අසේලි ඇහුවේ කේන්තියෙන්

" නෑ නෑ...හිනා වුනේ කවුද? ඒ මගේ හැටි.මං ගෙදර ආවා.කාලා නාලා දැන් කාමරේට ආවේ.ඒකයි කෝල් එක දැක්කේ නැත්තේ" ආදිත්‍ය කිව්වේ දුරකථනයත් කනේ තියාගෙනම බැල්කනියට යන ගමන්.

" හ්ම්ම්...හරි හරි මං ඔච්චර ඒවා ඇහුවේ නෑනේ.මං තියනවා"

"මොකෝ ඔච්චර හදිස්සි.මං හිතුවේ මිස්ඩ් කෝල් 6ක්ම තිබ්බ නිසා සෑහෙන වැදගත් දෙයක් කතා කරන්න ඇති කියලා"

" ඒ....ඉතින්....ආන්සර් කරේ නැති නිසානේ එච්චර ගන්න වුනේ"

"එච්ච්ර කෝල් කරේම මං ආවද බලන්නද?" ආදිත්‍ය අහද්දි අසේලි නිහඩ වුනා.

"ආ....මං ආවද බලන්නද?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ අසේලිගේ නිහඩ බව නිසාමයි.

"ඔව්.." අසේලි ඒක කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.

" හ්ම්...හ්ම්...හරි හරි...මට ප්‍රශ්නයක් නෑ.ඔයා මේ බොරුවට බය වෙන්නේ.මං හෙන ෆිට් කොල්ලෙක් හරිද? මට ගහන්න ආවොත් මං උඩින් යන්න දෙන්නේ" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"දෙයි දෙයි උඩින් යන්න.කියන එක්කෙනා තමා උඩින් ගිහින් වැටෙන්නේ" අසේලි කියනවත් එක්කම ඇහුනු බීප් සද්දයක් නිසා ආදිත්‍ය දුරකථනය තිරය දිහා බැලුවා.දුරකථන බැටරිය අඩු බව පෙන්නවන පණිවිඩය දැකපු ආදිත්‍ය ගේ මූණ ඇඹුල් වුනා.ආදිත්‍ය ආයෙත් දුරකථනය කනේ තියාගත්තා.

"මේ පොඩ්ඩක් ඔහොම්ම ඉන්න..." එහෙම කියන ගමන් ආදිත්‍ය දිව්වේ කාමරේ මේසේ ලගට.මේසේ බඩු එහෙට මෙහෙට කරත් දුරකථන චාර්ජර් එක හොයාගන්න තිබ්බේ නෑ.තව ටිකකින් දුරකථනය ඔෆ් වෙන බව දන්න නිසාම ආදිත්‍ය චාර්ජර් එක හොයන අදහස අතෑරියා.

"මේ මගේ ෆෝන් එකේ බැට්‍රි ලෝ"  ආදිත්‍ය කිව්වේ රවන ගමන්.

"ආ...එහෙමද? හරි හරි..මාත් නිදාගන්න හදන්නේ"

"හා..එහෙනම් ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්" අසේලි එහෙම කියනවත් එක්කම දුරකථනය විසන්ධි වුනා.

එතකොටම අවිශ්ක කාමරේට ඇතුල් වුනේ පොත් වගේකුත් උස්සගෙන.

"මොනවද හොයන්නේ" අවිශ්ක ඇහුවේ දුරකථනයත් අතේ තියන් මේසේ අවුස්සන ආදිත්‍යගෙන්

"කෝ බං මගේ චාර්ජර් එක"

"ආ...මෙන්න.." අවිශ්ක එයාගේ අතේ තිබ්බ චාර්ජර් එක ආදිත්‍යට දික් කරා.ආදිත්‍ය ඒක ගත්තේ අවිශ්කට රවන ගමන්.

"මොකෝ මේ ඔරවන්නේ"

"මොන මගුලක ගියාද ඒක අරගෙන" ආදිත්‍ය  කිව්වේ දුරකථනය චාර්ජ් වෙන්න ගහන ගමන්.

"මං කොහේ ගෙනියන්නද ඕක.උඹ උදේ සාලේ දාලා තිබිලා.මං දැන් ගෙනාවේ එතනින්" අවිශ්කගේ කතාවට උත්තරයක් නොදීපු ආදිත්‍ය ඇදෙන් ඇලවුනේ නිදාගන්න හිතාගෙන.
දවස් දෙකක නිවාඩුවේ ආදිත්‍ය සෑහෙන කාර්‍යබහුල වුනේ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයෙන් වසරක නිවාඩු ගන්න ලිපි ලියන්න වුනු නිසා.වසරක නිවාඩුවක් ලැබුනත් පෙර වසරට අයත් නිබන්ධනය අවසන් කර යැවීම අනිවාර්‍ය වුනු නිසා ආදිත්‍යගේ මුලු සති අන්තයම ගත වුනේ ඒ වැඩේට.

සදුදා පාන්දරම ආදිත්‍ය කළුතර දුම්රිය ස්ථානයට ගියේ පුරුදු විදියට රැකියාවට යන්න හිතාගෙන.ටිකට් අරගෙන දුම්රිය වේදිකාවට ගියපු ආදිත්‍ය දැක්කේ තවත් පිරිමි ලමයෙක් එක්ක කතා කර කර ඉන්න අසේලිව.

'කවුද ඒ?' ආදිත්‍ය ඇහුවේ තමන්ගේ හිතෙන්

' හැන්ඩ්සම් කොල්ලෙක්.කැම්පස් එකේද දන්නේ නෑ.....අර හිනා වෙනවත් එක්ක....ඔච්චර මොනවද හිනා වෙන්න තියෙන්නේ.අන්න ඒ කොල්ලා මෙයාගේ ඔලුවත් අතගානවා.ඔලුවේ මොකක්ද අත ගාන්න තියෙන්නේ' ආදිත්‍ය එතනම ඉදන් ඒ දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

'ආදි....අහක බලාගනින්.උඹට වැඩක් නෑ ඒ කෙල්ලගේ ඒවා.දැක්කේ නෑ වගේ ඉදපන්.' ආදිත්‍ය තමන්ගෙම හිතට තරවටු කරගන්න ගමන් අනිත් පැත්ත බලාගත්තා.

"හලෝ ආදිත්‍ය අයියා..." එක පාරටම පිටිපස්සෙන් ඇහුනු කටහඩක් නිසා ආදිත්‍ය හැරිලා බැලුවා.

" සෙනේශ් මල්ලි...මෙහේ කොහෙද?" ආදිත්‍ය ඇහුවේ ලොකු බෑග් එකකුත් පිටේ එල්ලගෙන එයා ලගට ආපු පිරිමි ලමයාගෙන්.

"කැම්පස් යනවා අයියේ.."

"මාත් මේ ජොබ් එකට යන්න.මල්ලි කොළඹ කැම්පස් නේද?.එදා අයියා එක්ක කතා කරාට ඔයා එක්ක හරියට කතා කරන්න වුනේ නෑනේ" ආදිත්‍ය මතක් කරේ අවිශ්කගේ යාලුවෙක් ගැන.සෙනේශ් අවිශ්කගේ යාලුවාගේ මල්ලි.කැම්පස් එක කොළඹ කිව්වට වෙන විස්තරයක් ආදිත්‍ය දැනන් හිටියේ නෑ.

"ඔව්  කොළඹ තමයි.යන්කෝ අරහෙට.අපේ සෙට් එක එතන ඉන්නේ.අයියා දන්නවනේ මිගාර අයියව.එයාගේ මල්ලි දෙනුවන් ඉන්නෙත් අපේ බැච් ේ.අර ඉන්නේ අතන." සෙනේශ් පෙන්නුවේ අසේලි එක්ක කතා කර කර ඉන්න පිරිමි ලමයාව.

"යමු අයියේ" එහෙම කියපු සෙනේශ් ඉස්සර වෙද්දි ආදිත්‍යත් සෙනේශ් පස්සෙන්ම එතනට ගියා.

ආදිත්‍ය එතනට ගියේ අසේලිගේ මූණ දිහා බලාගෙනමයි.ආදිත්‍යව දැකපු අසේලිගේ මූණ වෙනස් වෙන හැටි ආදිත්‍යට හොදට පෙනුනා.මුලින්ම පුදුමයක් පෙනුනු ඒ මූණේ ඊට පස්සේ ඇදුනේ ලොකු හිනාවක්.

"අයියේ මේ දෙනුවන්..මචන් මේ අවිශ්ක අයියගේ කසින් කෙනෙක්.ආදිත්‍ය අයියා" සෙනේශ් දෙනුවන්ව ආදිත්‍යට අදුන්වලා දුන්නා.

"හලෝ මල්ලි.අයියා නම් මං අදුරනවා හොදට" ආදිත්‍ය ත් හිනා වෙලා කිව්වේ දෙනුවන් ට අත දෙන ගමන්.

" අවිශ්ක අයියවත් මං දන්නවා.මං දන්නේ නෑනේ කසින් කෙනෙක් ඉන්නවා කියලා" දෙනුවන් කතා කරපු විදියෙන්ම දෙනුවන් ගැන ආදිත්‍යට ඇති වුනේ පැහැදීමක්.

"කසින් කිව්වට ඒ මගේ ලොකු අප්පච්චිගේ පුතා.මගේ අයියා"

"ආ...හරි හරි" දෙනුවන් එහෙම කිව්වේ අසේලි දිහා බලන ගමන්.

ආදිත්‍ය දිගටම දෙනුවන් එක්කම කතා කරේ අසේලිව නොසලකා හැරලා.ඒක නිසාම අසේලි ආදිත්‍ය දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"අසේලි ඇයි?" අසේලිගේ අමුත්ත තේරුනු දෙනුවන් ඇහුවේ අසේලිගේ උරහිසින් අල්ලලා.

"ආ....නෑ මුකුත් නෑ" එහෙම කියපු අසේලි බිම බලාගත්තා.

"සනීප නැද්ද?" ආදිත්‍ය එහෙම කියන ගමන් අසේලිගේ නළලට අත තිබ්බේ දෙනුවන්,සෙනේශ් වගේම අසේලිවත් පුදුම කරවලා.

"නෑ නෑ" අසේලි කලබලෙන් කිව්වා.

" එහෙනම් මොකද මේ රතු වෙලා" ආදිත්‍ය ඒ සැරේ අසේලි දිහා බලාගෙනම ඇහුවේ දෙනුවන්, සෙනෙශ් දෙන්නම පුදුමෙන් බලන් ඉද්දි.

" මං...නෑ...ඒ ඔයාට පේන හැටි" අසේලි ඒ සැරේ කිව්වේ දෙනුවන් දිහාත් බලන ගමන්.දේනුවන්ගේ හිතේ තමන් ගැන අදහසක් තියෙන බව අසේලිට රහසක් නෙවෙයි.

" අයියා අසේලිව අදුරනවද?" සෙනේශ් ඇහුවේ පුදුමෙන්.

" අදුරනවද කියන්නේ මල්ලි...මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඇයි මෙයා කිව්වේ කොල්ලෙක් නෑ කියලද? " ආදිත්‍ය හිනා වෙලා ඇහුවේ කාගෙන්වත් උත්තරයක් නොතිබ්බ නිසා.

"නෑ නෑ අයියේ...අපි හිතුවේ නෑ අසේලිට එහෙම දෙයක් ඇති කියලා" සෙනේශ් කිව්වේ හිනා වෙවී.

" මෙයා එහෙනම් කැම්පස් එකෙන් සෙට් කරගන්නද කොහෙද ඉදලා තියෙන්නේ.ඔන්න මල්ලි ඒවට ඉඩ දෙන්න එපා.හැමොටම කියන්න අයිතිකාරයෙක් ඉන්නවා කියලා" ආදිත්‍ය හිනා වෙවී කියද්දි අසේලි ආදිත්‍යගේ අත කෙනිත්තුවේ රවන ගමන්.

"ආ...මේ අයියේ අපි නුවර ට්‍රිප් එකක් යන්න ඉන්නේ.දවස් තුනක්.අපේ ෆිට් සෙට් එකක්.මං අවිශ්ක අයියටත් කිව්වා.අපේ බැජ් එකේ කෙල්ලොත් එනවා.අසේලිත් එනවා කිව්වා.අයියත් එනවානේ නේද?" සෙනේශ් අහද්දි ආදිත්‍ය බැලුවේ අසේලිගේ මූණ දිහා.

"හරි මල්ලි මං එනවා" ආදිත්‍ය කිව්වේ ටිකක් කල්පනා කරලා.

****************************************
නුවර ට්‍රිප් එකට ලෑස්ති වෙන්න ලමායි...

සුබ රාත්‍රියක්...

ආදරෙන් ඉන්න ❤️

2 comments:

  1. "අපේ බැජ් එකේ" නෙමෙයි අපේ බැච් එකේ
    K nenda

    ReplyDelete
    Replies
    1. Thank you nande.kalabaleta type karana nisa waradinawa.

      ❤️

      Delete