Saturday, February 23, 2019

මන්දාරම් අහස යට - තිස් නම වන කොටස



"ඔයා කොහොමද කියන්නේ ඒ ආදිත්‍ය මයි කියලා " මාධවී ඇහුවේ පුදුමෙන් 

"ආදිත්‍ය ලග තිබිලා එයාගේ පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්නුවා මට.ඒ හිටියේ ඒ පිරිමි ළමයි දෙන්නා" අසේලි උත්තර දුන්නේ ඇද උඩ හොදට වාඩි වෙන ගමන්.

"එක්කෙනෙක් ආදිත්‍ය.එතකොට අනිත් එක්කෙනා?"

"එයාගේ මල්ලි.ඒ දෙන්නා නිවුන්නුලු.පස්සේ කාලෙක ලෙඩ වෙලා මල්ලි නැති වෙලා.ඊට පස්සේ තමයි එයාලා රට ගිහින් තියෙන්නේ" 

" ඉතින් ඇයි මේ ඔයාට එයාව පෙන්නේ?" මාධවී ඇහුවේ කුතුහලෙන් 

" මට හිතෙන්නේ මෙහෙම දෙයක් .අපිත් පොඩි කාලේ හිටියේ නුවර නේ.ඉතින් ඒ කාලේ අපි අදුරනවා ඇති.ඒ කාලේ දේවල් වෙන්න ඇති මේ පෙන්නේ" 

"හරි එයාව පෙන්නේ ඒ නිසා කියමුකෝ.එතකොට මේ බය හිතෙන හීන? ඔයා කාමරේ ඇතුලේ හිරකරලා ඉන්නවා වගේ පෙනුණු ඒවා, අර ඔයාව පැහැරගත්තා වගේ පෙනුණු  හීන? ඔයා කියන්නේ ඒවත් ඇත්තට වුනා කියලද?"

"අනේ මන්දා ඒක නම්.අම්මලා ඒ ගැන මුකුත්ම කියලා නෑනේ .මං ඉස්සර ඒ හීන ගැන කියලා අම්මාගෙන් අහලාත් තියෙනවා"

"ඉතින් අම්මා මොකද කිව්වේ එතකොට?"

"අම්මා හිනා වෙනවා.පිස්සුද අහනවා.එහෙම එකක් වුනේ නෑලු"

"මේක මාර වැඩක්නේ.ආදිත්‍ය අයියා මොකද කිව්වේ ඉතින්?"

"එයා මොනවා කියන්නද? මං මේවා එයාට කිව්වේ නෑ ." අසේලි කිව්වේ බෑග්  එකෙන් ස්ට්‍රෝබෙරි පාර්සලය එලියට ගන්න ගමන්.

"ඇයි ඒ? " ස්ටෝබෙරි ගෙඩියක් ගන්න ගමන්ම මාධවී ඇහුවේ පුදුමෙන්.

"මං මොකක්ද එයාට කියන්නේ? මට හීන පේනවා.ඒවගේ එයා ඉන්නවා කියන්නද? මට පිස්සු කියලා හිතාවි" 

" ඒ වුනාට අක්කේ ඕකට එයා උත්තරයක් දන්නවා ඇති අනිවාර්යෙන්ම"

"හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කණට කොදුරලා ගියා...." අසේලිගේ දුරකථනය නාද වෙන්න ගත්තේ අසේලි මාධවී ට උත්තරයක් දෙන්න හදද්දිමයි.

"ආදිත්‍ය..." අසේලි තමන්ටම කියාගත්තේ දුරකථනය තිරය දිහා බලාගෙනමයි.

"ආව්...ආව්...මෙයාගේ මූණේ ලයිට් දාපු හැටි කෝල් එක දැකලා" මාධවී කියද්දි අසේලි රැව්වා.

"යනවා...ගිහින් පාඩම් කරනවා" අසේලි කිව්වේ දුරකථනය ත අරන් ඇදෙන් බහින ගමන්.දුරකථනය අරගෙන බැල්කනියට ගියපු අසේලි හොද හුස්මක් ගත්තා.

"හරි හරි මේක කෝල් එකක් විතරයි.ආන්සර් කරන්න.ඔයා කලිනුත් එයා එක්ක කතා කරානේ" අසේලි තමන්ටම කියාගත්තේ පපුවෙනුත් අතක් තියාගෙන.දුරකථනය තිරයේ ආදිත්‍ය ගේ නම දැකපු වෙලාවේ ඉදන් මහ හයියෙන් ගැහෙන්න ගත්ත හිත දැන් නම් කොයි වෙලාවේ හරි පුපුරාවි කියලා අසේලිට හිතුනා.

'හරි...හරි...ඔන්න ගත්තා'අසේලි එහෙම හිතාගෙනම දුරකථනයට පිළිතුරු දෙන්න හැදුවත් එතකොටම දුරකථනය විසන්ධි වුනා.

"අයියෝ..." අසේලිට ඉබේටම කියවුනා.ටිකක් වෙලා අසේලි දුරකථන තිරය දිහා බලන් හිටියා.එතකොටම ආයෙත් දුරකථනය නාද වෙන්න පටන් ගත්තා.කලින් සැරේ වෙච්ච දේ නිසා මේ සැරේ අසේලි කලබලෙන් පළමු නාද වීමෙන්ම දුරකථනය ට පිළිතුරු දුන්නා.

"හෙලො..." 

"හෙලෝ.. කොහෙද ඉන්නේ" ආදිත්‍යගේ කටහඩ දුරකථනයෙන් ඇහෙද්දි අසේලි හොද හුස්මක් ගත්තා.

"ගෙදර.ඔයා?" 

"ගෙදර.දැන් ආවේ"

"හ්ම්ම්..." 

"මොකද?" 

"ඇයි" 

"හ්ම්ම් ගාන්නේ බකමුණෙක් වගේ"

"නෑ....එහෙම නෑ" අසේලි කියද්දි ආදිත්‍ය හිනා වෙනවා අසේලිට දුරකථනයෙන් ඇහුනා.

"ඇයි හිනා වෙන්නේ?" අසේලි ඇහුවේ පුදුමෙන්.

"නෑ මං මේ බැලුවේ වෙනදට තොරතෝංචියක් නැතුව කියවන කෙල්ලට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා" 

"මට මුකුත් වෙලා නෑ" 

"වෙලා නැත්තේ මොකද? ආපහු එද්දිත් විහාරා ලගටම වෙලා හිටියා.නිකමටවත් මූණ බැලුවේ නෑ.හරියට මං ගිලිවී වගේ ඈතට වෙලා හිටියේ" 

"එහෙම නෑ..."

"නැත්තේ මොකද?" 

"නෑ අනේ" ඒ සැරේ නම් අසේලි කිව්වේ නොඉවසිල්ලෙන්.

"හරි හරි දැන් මොකද කරන්නේ? නෑවද? කෑවද?" ආදිත්‍ය අහද්දි අසේලිගේ මූණට ඉබේටම වගේ හිනාවක් ආවා.

"තාම නෑ.නංගි එක්ක කතා කර කර හිටියා" 

"මොනවද කතා කරේ?" 

"ට්‍රිප් එක ගැන කිව්වා" 

" මං ගැන නංගි දන්නවද?" ආදිත්‍ය අහද්දි අසේලිගේ මූණ රතු වුනා.

"මොනවද?" 

"මස්සිනා කෙනෙක් ඉන්නවා කියලා එයාට" ආදිත්‍ය කියද්දි අසේලි තවත් රතු වුනා.මොනවා කියන්නද කියලා හිතද්දි ආදිත්‍ය ආයෙත් කතා කරා.

"ආ...දන්නවද නංගි මාව."

"හ්ම්ම්..." 

"මොකද කිව්වේ?" 

"මොනවත් නෑ.එයා මේ නිකන් ඔයාව දන්නවා විතරයි.අර හෝටලේ සිද්දිය නිසා"

" ඒ මොකක්ද ඒ? මං ඇහුවේ ඒක නෙවෙයිනේ" 

"එහෙනම් මොකක්ද ඔයා ඇහුවේ" ඒ සැරේ අසේලි ඇහුවේ හිනා වෙවී.

"ඇහුවේ නංගි මස්සිනා ගැන දන්නවද කියලා.දන්නවද?" 

"නෑ නේ" 

"කියන්නේ නැද්ද?" 

"හෙමීට හිතලා බලන්න ඕනේ" 

"හෙමීට හිතලා බලලා මටත් කියන්න ඕනේ එක කටින් කියන්න හරිද?" 

"මොකක්ද කටින් කියන්න ඕනේ එක?" අසේලි ඇහුවත් ආදිත්‍ය උත්තර දුන්නේ වෙනම එකකට.

"හරි හරි මං එනවා....ඔව් අසේලි.අහ් හරි හරි මං අහන්නම්" ආදිත්‍ය එහෙම කිව්වේ වෙන කෙනෙක්ට කියලා තේරුනු අසේලි ආදිත්‍ය පිළිතුරු දෙනකම් බලන් හිටියා.

"හෙලෝ...අසේලි" 

"කවුද ඒ කතා කරේ" 

" අවිශ්ක..මට කන්න එන්න කියලා.මේ ඒක නෙවෙයි මං අහන්න හිටියේ අර නඩුව ගැන" 

"ඉතින්?" 

"ඒකට ලියුමක් ආවද? අද මෙහෙට ඇවිත් ලබන සතියේ නඩුව තියෙනවා කියලා" 

"ආ...දන්නේ නෑ ආවද කියලා.තාත්තා තාම ගෙදර ඇවිත් නෑ.අම්මත් ලග ගෙදරක බණකට යනවා කියලා ගියා.රෑට තමා දැනගන්න වෙන්නේ" 

"හරි...දැනගත්තොත් මැසේජ් එකක් දාන්න" 

"දැනගත්තොත් විතරයිද?" 

"ඒ කියන්නේ?" 

" නෑ....මේ ඒ ගැන දැනගත්තොත් විතරයිද මැසේජ් දාන්න ඕනේ" අසේලි අහද්දි ආදිත්‍යට හිනා ගියා.

"නෑ නෑ බබා ඔයාට ඕනේ වෙලාවක කතා කරන්න."

"හරි හරි මං එනවා..." ආදිත්‍ය ආයෙත් කෑගැහුවා.

"ඔයා ගිහින් කන්න" අසේලි කිව්වේ ඒක අහගෙන ඉදලා.

" හරි ඔයත් වොශ් එකක් දාගෙන කන්න.මං කාලා එන්නම්" 

"හා....බුදුසරණයි" 

"මේ....මං රෑට ගන්නද?" ආදිත්‍ය අහද්දි අසේලිට ඉබේටම හිනාවක් ගියා.

"නංගි 11ට නිදාගන්න කාමරේට එනවා.ඊට කලින් ගන්න" 

"හරි...එහෙනම් මං තියන්නම්.බායි" 

"බායි.බුදුසරණයි" 

"බුදුසරණයි" 

දුරකථනට විසන්ධි කරපු අසේලි කාමරේට ඇවිත් ඇදෙන් ඇලවුනා.

පහුවදා උදේම විශ්ව විද්‍යාලයට යන්න පිටත් වුනු අසේලිගේ ඒ සතියම ගත වුනේ විශ්ව විද්‍යාලේ වැඩත් එක්ක.ඒත් ඒ අතරේ වෙලාව හොයාගෙන ආදිත්‍යට කතා කරන්නත් අසේලි අමතක කරේ නෑ.

සිකුරාදා හවස විශ්ව විද්‍යාලේ දේශන ඉවර වෙලා අසේලි ගේට්ටුව ලගට වෙලා හිටියේ ආදිත්‍ය එනවා කියපු නිසා.

"ආ...නංගි එහෙනම් දැන් මං තනියම යන්න ඕනේ නේද?" එතනට ආපු නෙහාරා ඇහුවේ දුක හිතෙන විදියට මූණත් හදාගෙන.

"තනියම කොහෙද? ඇයි අද එක්කෙනෙක් කිව්වේ එයත් එක්ක යන්න පුලුවන් කියලා" අසේලි කිව්වේ නෙහාරාට ඇහැක් ගහන ගමන්.

"අනේ...මේ..එයා දැනටම ගිහින්ද කොහෙද.කෝ පෙන්නවත් නෑනේ" නෙහාරා කිව්වේ වටපිට බලන ගමන්.

"මේ ඇත්තටම ඔයාගෙයි ජීවකගෙයි මොකක්ද වෙන්නේ? දැන් ඒක හරිද?" 

"මොනවද? එහෙම මුකුත් නෑ.උඹට පිස්සු" නෙහාරා එහෙම කිව්වේ හිනා වෙන ගමන්.

"අනේ...මේ මට බොරු කරන්න එපා" 

"දවසෙම මාත් එක්ක එල්ලෙන්න එන කොල්ලෙක් එක්ක මොන ලව් ද බං.විකාර නොකිය ඉදහන්" 

"ආ...අන්න එනවා ගියා කියපු කෙනා" අසේලි පෙන්නුවේ ඈතින් එන ජීවක ව.

" මං හිතුවා ගිහින් කියලා" ජීවක එතනට කිට්ටු වෙද්දිම නෙහාරා කිව්වේ නෝක්කාඩු හඩකින්.

"ජයතිස්ස සර් කතා කරා අර ලෙක්චර් ටයිම් ටේබල් දෙන්න.මං මැසේජ් එකක් දැම්මනේ" ජීවක කියද්දි නෙහාරා කලබලෙන් දුරකථනය අතට ගත්තා.

"ආ...මේ මේකට මැසේජ් දාලා වැඩක් නෑ.මැසේජ් සයිලන්ට් දාලා තියෙන්නේ.කොල් කරන්න එපැයිනේ ඔයා.තව ටිකෙන් මං යනවා" නෙහාරා කියද්දි ජීවක රැව්වා.

"ඉතින් ඔයා සයිලන්ට් දාගත්තට මං මොනවා කරන්නද? මට කෑගහන්නේ මොකටද?" 

"කවුද කෑගැහුවේ.ඒ මං කතා කරන හැටි" නෙහාරාත් ජීවකට පරදින්න කැමති වුනේ නෑ.

"හරි හරි මේ දැන් හරිනේ ඕක.රණ්ඩු වෙන්න එපා" අසේලි කිව්වේ මේ රණ්ඩුව අහගෙන ඉදලා එපා වෙලා.

"ආදිත්‍ය අයියා නැද්ද තාම" ජීවක ඇහුවේ අත් ඔර්ලෝසුව දිහා බලන ගමන්.

"මග එනවාලූ. සිකුරාදානේ. ට්‍රැෆික් කිව්වා. ඔයාලා යන්න. "

" කමක් නැද්ද?" නෙහාරා ඇහුවේ අසේලිගේ අතකින් අල්ලගන්න ගමන්.

"කමක් නෑ බං.පලයන්.මං එන්නම්" 

"හරි අපි යනවා එහෙනම්.බායි.පරිස්සමෙන් යන්න" 

නෙහාරායි ජීවකයි එතනින් පිටත් වුනාට පස්සේ අසේලි ආයෙත් දුරකථනය අතට ගත්තේ ආදිත්‍යට දුරකථනය ඇමතුමක් දෙන්න හිතාගෙන.

"නංගි මොකද මෙතන තනියම" ඒ ඇහුනු කටහඩට අසේලි හැරිලා බැලුවා.එතන හිටගෙන හිටියේ ගගන.

පහුගිය කාලෙම ගගනගෙන් අසේලිට ආපු දුරකථන ඇමතුම් කෙටි පණිවිඩ වලින් අඩුවක් තිබ්බේ නෑ.ඒ වගේම විශ්ව විද්‍යාලෙදිත් සැරින් සැරේටම කතා කරන්න එන එක අසේලිට කරදරයක් වෙලා තිබුනේ.

"ආ...මේ බෝයිෆ්‍රෙන්ඩ් එනවා කිව්වා අයියේ" පුලුවන් තරම් හොදින් කියපු අසේලි ආයෙත් ඈත බැලුවේ ආදිත්‍ය එනවද කියලා.

"  තාමත් හිතේ තියෙන්නේ ඒ ග්‍රැෆික් කාරයා ගැනද? උපාධියක් කරන එකේ ඒකට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනේ නංගි.ඕවා ඔයාට තේරෙන්නේ පස්සේ" ගගන කියද්දි අසේලි ගගන දිහා හැරිලා බැලුවා.

"එයා ග්‍රැෆික් ජොබ් එකට කරාට එයා ඕස්ට්‍රේලියාවේ කැම්පස් එකක ඉගෙන ගන්නේ.මේ නිවාඩුවට ආපු ගමන් ඉන්නේ.අනික මේ උපාධිකාරයෙක් කිව්වම එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ.උපාධිකාරයොත් ඉන්නවා ඉගෙන ගෙන නෑ වගේ හැසිරෙන" අසේලි එහෙම කියාගෙනම අහක බලාගත්තා.

"නංගි ඒ මටද කිව්වේ?" 

"තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ අයියේ" අසේලි කිව්වේ ඒ පැත්ත බලන්නෙවත් නැතුව.ඒ නිසා ගගන ඇවිත් හරියටම අසේලිගේ ඉස්සරහින් හිටගත්තා.

"මේ නංගි මං මේ බොහොම හොදින් මෙච්චරවෙලා කතා කරේ.හිතන්න එපා අපි පොන්නයෝ කියලා කියන කියන ඒවා අහන් ඉන්න.හොදට බලාගන්නවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා.ඕක හරියන මගුලක් නෙවෙයි.මං අද කිව්වා කියලා හිතාගන්නවා" ගගන කිව්වේ කේන්තියෙන් දත්මිටි කන ගමන්.එච්චරවෙලාම අහක බලාගෙන හිටපු අසේලිගේ හිතට සහනයක් දැනුනේ එතන බස් නැවතුමේ නවත්තපු බස් එකෙන් බහින ආදිත්‍යව දැකලා.ගගන එතන හිටගෙන බලාගෙන ඉද්දිම අසේලි ආදිත්‍ය ලගට දුවලා ගියා.

"මේ මොකද?" කලබලේ තමන් ලගට ආපු අසේලිව දැකපු ආදිත්‍ය ඇහුවේ කුතුහලයෙන්.

"මෙච්චර වෙලා මොකද අනේ කරේ? මං කීයේ ඉදන්ද මෙතන බලන් ඉන්නේ" අසේලි කිව්වේ ඈත ඉන්න ගගන දිහාත් බලන ගමන්.ගගන තාමත් තමන් දිහා බලන් ඉන්න බව තේරුනු අසේලි ආයෙත් ආදිත්‍ය දිහා බැලුවේ බය වෙලා.අසේලි එක්කම බලපු ආදිත්‍ය ගගනව දැක්කා.

"අරූ මොනවා හරි කිව්වද?" ආදිත්‍ය ඇහුවේ තරහෙන් අත් මිට මොළවගන්න ගමන්.

"නෑ නෑ අපි යමු මෙතනින්" අසේලි එහෙම කියාගෙනම ආදිත්‍යගේ අතින් ඇද්දත් ආදිත්‍ය බලාගෙනම හිටියේ ගගන දිහා.

"අසේලි.." ආදිත්‍ය ඒ සැරේ අසේලි දිහා බැලුවේ අසේලිගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්.ඒකට අසේලි හොද හුස්මක් හෙලුවා.

"මං කියන්නම්.බස් එකේදි.යමුකෝ දැන්" අසේලි කියද්දි ආදිත්‍යත් ආපහු හැරුනා.

"කොටුවට ගිහින් යනවද? ශීට් නැති වේවි වාඩි වෙන්න" ආදිත්‍ය ඇහුවේ බස් නැවතුමේ බලන් ඉන්න අතරෙදි.

"කමක් නෑ.මෙහෙම යමු.කොටුවට ගියොත් පරක්කු වෙනවා.අයියා සැක කරාවි එතකොට" අසේලි කියද්දි ආදිත්‍යත් ඔලුව වැනුවා.

හිතුවා වගේම එයාලා නැගපු ගාල්ල කොළඹ බස් එකේ වාඩි වෙන්න ඉඩ තිබ්බේ නෑ.දෙන්නගෙම බෑග් උඩ රාක්කෙට දාපු ආදිත්‍ය අසේලි ලගින්ම හිටගත්තා.

"අද මං ටිකට් ගන්නේ" අසේලි කිව්වේ සල්ලි ගන්න ගමන්.

"මං ගන්නම්.දැන් මට අයිතියක් තියෙනවනේ ගන්න" ආදිත්‍ය කියද්දි අසේලි රැව්වා.

"ඒ අයිතිය තියෙන්නේ ඔයාට විතරයිද? මට බැරිද ඔයාටත් එක්ක ටිකට් ගන්න" 

"පුලුවන්...ඒ ඔයාගේ සල්ලි නම්.ඔයා තාම වියදම් කරන්නේ තාත්තාගේ සල්ලිනේ.මට මාමාණ්ඩිගේ සල්ලි වලින් බස් එකේ යන්න බෑ.ඔයා ජොබ් එකක් කරද්දි මටත් එක්ක ගන්න.දැන් මං ගන්නම්" ආදිත්‍ය කියද්දි නම් අසේලිට හිනා ගියා.

"කලුතර දෙකක්" ආදිත්‍ය දෙන්නටම බස් එකට ටිකට් ගත්තා.

"හරි දැන් කියන්න.මොකක්ද අර කොල්ලාගේ සිද්දිය?" 

"එයා මගෙන් යාලු වෙන්න අහනවා" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන හඩින්.

"ඌ දන්නවනේ ඔයාට කොල්ලෙක් ඉන්නවා කියලා"

"ඔව්...ඒත් අහනවා.කෝල් කරනවාත් එක්ක" 

"කවද්ද කතා කරේ?" 

"දැන් මාසෙක විතර ඉදන් කෝල් කරනවා.මැසේජ් එවනවා" 

" මාසෙක ඉදන්? නිකමටවත් මට කිව්වේවත් නෑ නේද?" 

"එතකොට ඉතින් ඕක කියන්න ඕනේ කියලා හිතුවේ නෑ" අසේලිගේ කතාවට ආදිත්‍ය හුස්මක් හෙලුවා.

"අසේලි මේ බලන්න." ආදිත්‍ය කියද්දි අසේලි එයා ලගම හිටගෙන ඉන්න ආදිත්‍ය දිහා ඔලුව උස්සලා බැලුවා.

"ආයේ එහෙම ඒ වගේ දේවල් මට කියන්නම ඕනේ හරිද? මට ඕනේ නෑ කොහේවත් යන පිස්සෙක් නිසා අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇති කරගන්න.ඊලගට මට දෙන්න ඌගේ නම්බර් එක.මං කතා කරලා මේක බේරුමක් කරගන්නම්"

"අනේ...." 

"මොකද අනේ...?" 

"එයා සැර නපුරු එක්කෙනෙක්.ඔයා ඒ කොල්ලා එක්ක පැටලෙන්න එපා" 

"අනේ මේ උගේ නපුරුකම් මට අදාළ නෑ.ඔයා බය නැතුව ඉන්න.මේ ඌට ගිය රට නෙවෙයිනේ" ආදිත්‍ය කිව්වත් අසේලිගේ මූණේ තිබ්බේ නොසන්සුන් පෙනුමක්.ඒ නිසාම ආදිත්‍ය එක අතක් අසේලිගේ වටෙන් අත දාලා අසේලිට එහා තිබුනු ශීට් එක අල්ලගත්තා.ඒකෙන් වුනේ අසේලි තවත් ටිකක් ආදිත්‍ය ට ලං වුනු එක.

"මේ මොකද? අත ගන්න.මිනිස්සු දකිවී" අසේලි කිව්වේ වටපිට බලන ගමන්.

"යකෝ මේක මාර වැඩක්නේ..මිනිස්සුන්ට වෙන වැඩ නෑ කියලද ඔයා හිතන්නේ.අනික මේ මං ඔයාගේ අතකින්වත් අල්ලලද? ඔහොම හරි යන්නේ නෑ.මේවට පුරුදු වෙන්න වෙනවා" ආදිත්‍ය කියද්දි අසේලිගේ මූණ රතු වුනා.

"අනේ මේ..ඔයාට ඕවා පුරුදු වුනාට මට පුරුදු නෑ" 

"ඉතින් මටත් නෑ තමයි.මොකෝ මට කලින් කෙල්ලෝ හිටියා කියලාද හිතන්නේ.දැන් තමයි මාත් පුරුදු වෙන්නේ" 

"කවුද දන්නේ එහේදි හිටියද කියලා"  අසේලි කිව්වේ ආදිත්‍ය දිහා හොරෙන් බලන ගමන්.

" ආ....ඒක නම් ශුවර් නෑ තමයි.ටිකක් මතක් කරලා බලන්න ඕනේ.මටත් හරියට මතක නෑ අනේ හිටියද කියලා"  ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍යගේ අතක් හෙමීට කෙනිත්තුවා.

"ඌයි...මේ කොටි නියපොතු වගේ වවාගෙන" ආදිත්‍ය කිව්වේ අත අල්ලගන්න ගමන්..

"ඕනේ නැති විහිලු කරන්න ආවාම එහෙම තමයි" අසේලි කිව්වේ රවන ගමන්.

"මේ අන්න අතන එක්කෙනෙක් බහින්න හදන්නේ.වාඩි වෙන්න එතනින්" ආදිත්‍ය පෙන්නුවේ එතන ලග නැගිටින්න හදන ගෑනු ලමයෙක්ව.

"ඔයා හිටගෙනනේ..මං ඉන්නම්.කමක් නෑ" 

"මේ පිස්සු නැතුව වාඩි වෙනවා.මං ලග ඉන්නවනේ" ආදිත්‍ය බල කරලාම කියපු නිසා අසේලි එතනින් වාඩි වුනා.

ශීට් එකේ වාඩි වුනු අසේලිට නින්ද යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

'මේ කෙල්ල බස් එකක ගියොත් නිදි' ආදිත්‍ය කල්පනා කරේ නිදාගෙන ඉන්න අසේලි දිහා බලන ගමන්.

කලුතර බහින්න කිට්ටු වෙලා තමයි ආදිත්‍ය අසේලිව ඇහැරෙව්වේ.

"අසේලි බහිමු..." ආදිත්‍ය කියද්දි ගැස්සිලා නැගිට්ට අසේලි කොණ්ඩේත් අතින් හදාගත්තා.බෑග් එකත් අරගෙන ශීට් එකෙන් නැගිට්ට අසේලි එක පාරටම කටට අතක් තියාගත්තා.

"අයියෝ..." අසේලි කිව්වේ කලබලෙන් දුරකථනය අතට ගන්න ගමන්.

"ඇයි?" 

"අයියට කිව්වේ නෑනේ දැන් ලගයි කියලා.දැන් බැහැලා ඉන්න වෙනවා" අසේලි කිව්වේ දුරකථනය කණේ තියාගෙනමයි.

"................."

"හෙලෝ අයියේ....."

"......................"

"ඔව් අයියේ....ලගයි...එන්න දැන්" 

".............."

දුරකථනය විසන්දි කරපු අසේලි දුරකථනය ආයෙත් සාක්කුවට දාගත්තා.

කලුතර බෝධිය ලගින් බැහැපු අසේලි වගේම ආදිත්‍ය ත් බලන් හිටියේ නිමන්ත එනකම්.රෑ 8  විතර වෙලා තිබුනත් ඒ වෙද්දිත් පාරේ සෙනග හිටියා බෝධියේ විදුලි ආලෝකයෙන් පේන අසේලිගේ මූණ දිහා ටිකක් බලන් හිටපු ආදිත්‍ය හෙමීට අසේලිගේ අතින් අල්ලගත්තා.

ආදිත්‍ය අල්ලගන්නවා දැනුනු අසේලි එක පාරටම බැලුවේ අත දිහා ඊට පස්සේ තමන් දිහා බලන් ඉන්න ආදිත්‍ය දිහා බලලා බිම බලාගත්තේ හිනාව තද කරගෙන.

"ආයේ එහෙම තනියෙන් බස් එකේ යද්දි නිදාගන්න එපා" එක පාරටම ආදිත්‍ය කියද්දි අසේලි බැලුවේ පුදුමෙන්.

"ඇයි?" 

"ඇයි කියන්නේ? මැරිලා වැටිලා වගේ නිදි.එහා පැත්තේ කොල්ලෙක් වාඩි වුනා නම් සැපට යාවි ඌ" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය ගේ අත කෙනිත්තුවා.

"ඌයි....මේ ඔය කොටි නියපොතු කපාගන්න හරිද? නැත්තම් මගේ අත ඉතුරු වෙන්නේ නෑ" ආදිත්‍ය කිව්වේ අසේලි රවන දිහා බලාගෙන.

එතකොටම එතන ඉස්සරහ සුදු වෑන් එකක් නැවතුනා.මුකුත් හිතාගන්නවත් වෙලාවක් නොදී ඒකෙන් මිනිස්සු කට්ටියක් එලියට පනිද්දි ආදිත්‍යගේ ඔලුවට පිටිපස්සෙන්  ලොකු පහරක් වැදුනා.

"ආදිත්‍ය....." අසේලිගේ කෑගැහිල්ල ඈතින් ඇහෙද්දි ආදිත්‍ය ගේ ඇස් පියවුනා.

******************************************
දවස් හතරකින් මේ කතාව ගේන්නේ.සමාවෙන්න එහෙම වෙනවට.ඒත් හැමදේකටම වඩා මගේ රැකියාව වැදගත්.විශේශයෙන්ම ඒක ගුරු වෘත්තිය නිසා.ගුරුවරු ඉන්නවා නම් දන්නවා ඇතිනේ පලමු වාරයේ විශය නිර්දේශ සම්පූර්න කරන එකේ අමාරුව 🙈 

හෙට අනිවාර්‍යෙන් ම කොටසක් ගේනවා.ඒකේ බාගයක් ටයිප් කරලා තියෙන්නේ.ඒ නිසා සැක හිතන්න එපා.හෙට දානවා මයි.

ඒ වගේම මේ කතාව ඉක්මනින්ම අවසන් වේවි 😅💜️

ආදරෙන් ඉන්න ❤️ 

No comments:

Post a Comment