Sunday, February 24, 2019

මන්දාරම් අහස යට - හතලිස් වන කොටස



හවස දේශන ඉවර වෙලා ගෙදර ආපු දේදුණු බෑග් එක ඇද උඩට වීසී කරා.

"විසල් අයියා හිතාගෙන ඉන්නේ එයා කවුරු කියලද දන්නේ නෑ" දේදුණු කේන්තියෙන් තමන්ටම කියාගත්තේ කරාබු දෙක ගලවලා කණ්නාඩි මේසේ උඩට වීසී කරන ගමන්.

' මොන මගුලකට දැන් මගේ පස්සේ එනවද මං දන්නේ නෑ.ඒ දවස් වල හෙව්වෙම නෑ.දැන් එක පාරටම ඕනෙකම.එදා නුවරඑළියටත් ආවා.ඒ අය මොනවා හිතුවද දන්නේ නෑ මෙයා හැසිරිනු  විදියට' දේදුණු කල්පනා කරේ කණ්නාඩියෙන් පේන තමන්ගෙම ජායාවට රවන ගමන්.

"දේදුණු මේ ඔයාව හම්බෙන්න බෝයි කෙනෙක් ඇවිත්" එදා අවිශ්ක එහෙම කියාගෙනම හෝටලේ බැල්කනියට ආපු විදිය දේදුණු ට මතක් වුනා.

"කවුද ඒ?" දේදුණු හැරිලා බැලුවේ මේ කවුද කියලා දැනගන්න.අවිශ්කට පිටිපස්සෙන් හිටගෙන ඉන්න විසල්ව දැකලා දේදුණු ගැස්සුනා.

"විසල් අයියා?" දේදුණු ට ඉබේටම කියවුනා.

"ඔයාගේ ෆෝන් වැඩ නෑනේ.ඒකයි මං මේ බලන්න ආවේ" විසල් හිනා වෙලා කියද්දි දේදුණු ත් අමාරුවෙන් හිනා වුනා.

"මේ වැස්සනේ.සිග්නල් නෑ." දේදුණු අමාරුවෙන් කියාගත්තේ වටපිට බලන ගමන්.එතන හිටපු කට්ටිය විසල් දිහා බැලුවේ කුතුහලයෙන් බව දේදුණු ට තේරුනා.

"ආ...මේ විසල් අයියා" දේදුණු කියන්න ගත්තේ විසල් දිහාත් බලන ගමන්.

"හලෝ..මං දේදුණු ගේ බෝයි ෆ්‍රෙන්ඩ්" විසල් එක පාරටම එහෙම කියද්දි දේදුණු ගල් ගැහුනා.

"ආ...දේදුණු කිව්වෙවත් නෑනේ" නෙහාරා කිව්වේ දේදුණු දිහාත් හොරෙන් බලන ගමන්.

"මෙයා එහෙම තමයි.හරි ලැජ්ජයි ඕවා කියන්න." විසල් කිව්වේ දේදුණු ගේ කරටත් අතක් දාගන්න ගමන්.දේදුණු ට ඒ අත අයින් කරන්න උවමනා වුනත් කට්ටිය ඉස්සරහ ප්‍රශ්නයක් ඇති කරගන්න දේදුණු ට ඕනේ වුනේ නෑ.

"බබා ලෑස්ති වෙන්න.අපි නුවර යමු" විසල් කියද්දි දේදුණු විසල් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඔයා යන්න.මං හෙට මෙයාලා එක්කම එන්නම්" 

"බෑ බබා මට තියෙනවා කතා කරන්න දෙයක් ඔයා එක්ක.දැන් හොද ලමයා වගේ ගිහින් ලෑස්ති වෙන්නකෝ" විසල් කිව්වේ දේදුණු ගේ ඔලුවත් හෙමීට අතගාන ගමන්.අනිත් අය ඉස්සරහ විරුද්ද වෙන්න තරම් පුලුවන්කමක් දේදුණු ට නොතිබ්බ නිසා දේදුණු ට විසල් එක්ක ගෙදර යන්න පිටත් වෙන්නම වුනා.

එන අතරමගදි විසල්ගේ කිසිම කතාවක් තිබ්බේ නෑ.ඒත් දේදුණු ට ඕනේ වුනේ කතා කරන්න.ටිකක් වෙලා විසල් දිහා බල බල හිටපු දේදුණු කතාව පටන් ගත්තා.

"ඇයි ඔයා ආවේ?" 

"ඔයාව එක්කගෙන යන්න" විසල් කිව්වේ පාර දිහාම බලාගෙන වාහනේ එලවන ගමන්.

"ඉතින් ඇයි එක්කගෙන යන්නේ මාව.මං අම්මට කියලා ආවේ" 

"අම්මට බොරු කියලා ආවේ"

"මොකක්ද බොරුව?" 

"කැම්පස් යාලුවෝ කට්ටියක් එක්ක කියලා නේද කිව්වේ.මේ ඔයාගේ කැම්පස් යාලුවොද? බොරු කියන්න එපා දේදුණු.ඔයා හිතන්නේ ඔයා බොරු කිව්වම ඒක අහුවෙන්නේ නෑ කියලද?" විසල් ඒක කිව්වේ නම් දේදුණු දිහා බලාගෙන.

"ඔයා කොහොමද දැනගත්තේ?" දේදුණු ඇහුවේ විසල්ගේ ඇස් මග ඇරලා.

"ඔයාලගේ ගෙදර ගියා මං අප්පච්චි හම්බෙන්න.ඒ වෙලාවේ ඔයාගේ කැම්පස් යාලුවෙක් ගෙදරට කෝල් කරා ඔයාගේ ෆෝන් ඔෆ් නිසා.වෙලාවට ඒ කෝල් එක මං ආන්සර් කරේ.යාලුවාගේ විස්තරෙන්ම මට තේරුනා මෙහෙම ට්‍රිප් එකක් කැම්පස් එකෙන් ගියේ නෑ කියලා" විසල් කියද්දි දේදුණු මුකුත්ම නොකියා අහගෙන හිටියා.

"මොනවද සුදූ මේ කරන වැඩ? ගෙදරට බොරු කියලා ඔහොමත් ගමන් යනවද? අනික කවුද අර ආදිත්‍ය කියන්නේ?"  ඒ සැරේ විසල් අහපු ප්‍රශ්නෙට දේදුණු බැලුවේ බය වෙලා

"ඇස් ලොකු කරගන්න දෙයක් නෑ.අර පොතක් පිටිපස්සේ කුරුටු ගාලා තිබ්බේ ආදිත්‍ය කියලා.කවුද ඒ?" විසල් ඇහුවේ සැකෙන් දේදුණු දිහා බලන ගමන්.

"ආ...ඒ මේ හින්දි නලුවෙක්නේ අනේ.ඔයා ආදිත්‍ය රෝයි කපූර් දන්නේ නැද්ද? එයා හරිම ලස්සනයි අනේ.මං මේ ලගදි එයාගේ ෆිල්ම් එකක් බැලුවා.ඒ බලන ගමන් ලිව්වේ ඒක" දේදුණු කිව්වේ පුලුවන් තරම් විසල්ගේ ඇස් මග ඇරලා.

"ආ...එහෙම නම් කමක් නෑ.මං මේ බැලුවා කවුද මේ ආදිත්‍ය කියලා" විසල් කිව්වේ වැඩි ගානකට නැතුව.

"හරි දැන් ඒකෙන් මේකෙන් වැඩක් නෑ.ඇයි ඔයා මේ මාව එක්කගෙන යන්නේ?" දේදුණු ආයෙමත් ඇහුවා.

"ඔයා මේ වෙලාවේ මගෙන් ඒක අහන්න පුලුවන් තත්වෙක නෑ.බොරු කියලා ආපු ට්‍රිප් එක ආවේ කාත් එක්කද කියලා මුලින් මට කියන්න.මං එතකොට කියන්නම්" 

"ඒ මගේ යාලුවෙක්ගේ ට්‍රිප් එකක්.මටත් කතා කරා.ඒ නිසා ගියා" 

"කවුද මං නොදන්න ඔයාගේ යාලුවා" 

"ඔයා මගේ හැම යාලුවාම දන්නේ නෑනේ විසල් අයියේ.නිකන් ඔයා මං ගැන කරදර වෙනවා වගේ රගපාන්න එපා.මං ආපු ගියපු තැන් මගේ අප්පච්චි ට ප්‍රශ්නයක් නැත්තම් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා" 

"අප්පච්චි දැනගත්තා නම් ප්‍රශ්නයක් වෙනවා..මං කියපු නැති නිසා හොදයි" 

"ඔයා ඒක නොකියා ඉදලා මට උදව්වක් කරා වගේ කියවන්න එපා.ඔයා ඒක කිව්වත් මට කමක් නෑ.මං වැරදි දෙයක් කරේ නෑ.මට පුලුවන් අප්පච්චි එක්ක මේක කතා කරගන්න" 

" හරි එහෙනම් කතා කරගන්නකෝ බලන්න..හැබැයි සුදූ ඔයා අමතක කරන්න එපා ඔයා බදින්න ඉන්නේ මාව කියලා.ඔයාට දීලා තියෙන නිදහසෙන් මේ ඔයා අයුතු ප්‍රයෝජන ගන්න හදන්නේ" 

"හරි හරි...ඒක අපි ඒ කාලෙට බලමුකෝ.ප්ලීස් දැන් අපි ඉක්මනට යමුද? මගේ ඔලුවත් කැක්කුමයි." දේදුණු කිව්වේ ශීට් එකට ඔලුව හේත්තු කරගන්න ගමන්.

දේදුණු ඒ මතකෙන් එලියට ආවේ දුරකථනය නාද වෙන හඩින්.

"සපු කුසුමේ....සුවද කවා...රකිමි ඔබේ සුසුම පවා......" දුරකථනය තිරයේ වැටිලා තිබුනේ නොදන්නා අංකයක් වුනත් දේදුණු දුරකථනය ට පිළිතුරු දුන්නා.

"හෙලෝ..." 

"හෙලෝ...දේදුණු මං මිගාර" 

"ආ..මිගාර අයියා.කොහෙන්ද මගේ නම්බර් එක" දේදුණු ඇහුවේ මිගාර කතා කරපු එක ගැන සතුටෙන්.

"හම්බුනා ආදිත්‍ය ගේ ෆෝන් එකෙන්.නංගි මං පනිවිඩයක් කියන්න කතා කරේ.කලබල වෙන්න එපා"

"මොකක්ද අයියේ" දේදුණු ඇහුවෙම කලබලෙන්.

"ආදි ට කවුරු හරි හොදටම ගහලා.දැන් නාගොඩ හොස්පිට්ල් එකේ ඉන්නේ" 

"දෙයියනේ...." අසේලි කිව්වේ පපුවටත් අත තියාගෙන.

"ඔව් නංගි.ඊයේ රෑ වෙලා තියෙන්නේ.වැඩ ඇරිලා යන ගමන්" 

"ආදි ට කොහොමද දැන්" දේදුණු ඇහුවේ වෙව්ලන කටහඩකින්.

"ICU ඉන්නේ.ඔපරේශන් එකක් කරා.තාම සිහිය නෑ.හරියටම ඔලුව මැදට වැදිලා හොද පාරක්.ඒ නිසා සිහිය එනකම් මුකුත් කියන්න බෑ කියලා ඩොක්ටර් කිව්වේ" 

"ඒ කියන්නේ...ඒ කියන්නේ..." දේදුණු ඇහුවේ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි.

"නෑ නෑ ජිවිත අවදානමක් නෑ.ඒත් මොළයේ වෙලා තියෙන වෙනස්කම් හරියටම බලාගන්න පුලුවන් වෙන්නේ සිහිය ආවමලු."

"අනේ දෙයියනේ....මං එන්නම් අයියේ එහේ.ගොඩක් දුරයිද" 

"දුරයි නංගි.ඔයා එනවා නම් හෙට 12ට එන්න බලන්න.මේ මගේ නම්බර් එක.මේකට කෝල් කරන්න"

"හා...හා..." දේදුණු කිව්වේ කම්මුල දිගේ බේරිලා වැටෙන කදුලු බිංදු පිහිදන ගමන්.

"හරි නංගි මං තියනවා එහෙනම්.එනකොට කියන්න" එහෙම කියනවා එත් එක්කම මිගාරගේ දුරකථනය විසන්ධි වුනා.

දේදුණු දුරකථනය ත් අතේ තියාගෙනම ඇදට වැටුනේ ඇස් වලින් නොනවත්තවාම කදුලු ගලාගෙන යද්දි.

ආදිත්‍යට ඔලුව වටේට පොඩි පොඩි සද්ද ගොඩක් ඇහෙන්න අරන් දැන් ටිකක් වෙලා.ඒත් එක්කම ඇහෙන බීප් හඩ එන්න එන්නම වැඩි වෙන බවක් ආදිත්‍යට තේරුනා.ඒත් ඒ හඩ මොකක්ද බලන්නවත් ඇස් ඇරගන්න පුලුවන්කමක් ආදිත්‍ය ට තිබ්බේ නෑ.යකඩ බරු දෙකක් එල්ලලා වගේ ඇස් පිහාටු බරට දැනෙද්දි ආදිත්‍යගේ ඔලුව එක පාරටම හිරි වැටෙන්න පටන් අරන් තිබ්බා.ඒ හිරි වැටිල්ල නිසාමයි ආදිත්‍ය එයාගේ අතින් ඔලුව අල්ලගන්න උත්සහ කරේ.ඒත් අතක් තියෙනවද කියලා වත් ආදිත්‍ය ට දැනුනේ නෑ.ඒ කණ ලගින්ම ඇහුනු බීප් හඩ එක සැරේටම අඩු වෙලා යද්දි ඔලුවේ හිරි ගතියත් නැති වෙනවා ආදිත්‍ය ට දැනුනා.ඒත් එක්කම ඔලුවට දැනුනු සැනසිල්ලත් එක්ක ආදිත්‍ය ඇස් දෙක ඇරියා.

ඇස් ඇරපු ගමන් ආදිත්‍ය ට පෙනුනේ උඩ තිබුනු සුදු සිවිලිමක්.අමාරුවෙන් ඔලුව හරවලා බලපු ආදිත්‍ය ට මේ ඉන්නේ ඉස්පිරිතාලේ කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.එයා ලග වාඩි වෙලා ඇදට ඔලුව ගහගෙන ඉන්න ගෑනු කෙනාගේ ඔලුව ආදිත්‍යගේ ඇගිලි තුඩු වලට දැනුනා.ආදිත්‍ය ඇගිලි තුඩු වලින් ඒ ඔලුව අල්ලන්න හැදුවේ ඒ ඉන්නේ කවුද කියලා දැනගන්න.

ආදිත්‍ය ඔලුව් අල්ලනවත් එක්කම ඔලුව උස්සලා බැලුවේ ප්‍රියංකා.ආදිත්‍ය ගේ අම්මා.

"අනේ සුදු පුතා සිහිය ආවාද? ඉන්න මං ඩොක්ටර් ට කතා කරන්න" ප්‍රියංකා කලබලෙන් එහේ මෙහේ යද්දි ඒ මූණේ තිබුනු අලුත් කදුලු පාරවල් ආදිත්‍ය දැක්කා.

ටිකකින් ආපු දොස්තර ආදිත්‍යව සම්බන්ද කරලා තිබුනු උපකරණ බලලා ආදිත්‍ය එක්ක හිනා වුනා.

"ඉලන්දාරියා දැන් ගොඩ වගේ.ඒත් දැන් මෙහේ ඉන්නේ ඇයි කියලා මතකද?" ඩොක්ටර් අහද්දි ආදිත්‍ය ආයෙත් ඇස් පියාගත්තා.

මහ රෑක විදුලි පහන් එලියක් මැද්දේ "ආදිත්‍ය..." කියලා කෑගහන සද්දේ ඇහුනු ආදිත්‍ය ඇස් ඇරියේ කලබලෙන්.

"හෝව්...හෝව්...පුතා...හෙමීට හෙමීට.ඉක්මන් වෙන්න එපා.හෙමීට මතක් කරන්න" දොස්තර කිව්වේ ආදිත්‍ය ගේ මොළේට සම්බන්ද කරපු උපකරණය දිහා බලන ගමන්.

ඒත් ආදිත්‍යගේ ඔලුවේ තිබ්බේ එක දෙයයි.

"අසේලි..කෝ අසේලි..."ආදිත්‍ය කතා කරන්න උත්සහ කරත් ආදිත්‍ය ගේ කටින් වචන පිට වුනේ නෑ.

"ඩොක්ටර්..ඩොකටර්...පුතා මොකක් හරි කියන්න හදනවා" ප්‍රියංකා කිව්වේ ආදිත්‍ය දිහාවට අත දික් කරන ගමන්.

ආදිත්‍ය දිහාවට නැඹුරු වුනු දොස්තර ආදිත්‍ය ගේ ඔක්සිජන් වැස්ම ඉවත් කරා.

"අසේලි...කෝ අසේලි..." ආදිත්‍ය ආයෙත් කතා කරත් ආදිත්‍ය ගෙන් වචන පිට වුනේ නෑ.ඒ වෙනුවට හුලං ගොඩක් විතරයි පිට වුනේ.

"කෝ පුතා කට අරින්න බලන්න" දොස්තර ආදිත්‍ය ගේ කටත් උගුරත් පරික්ශා කරලා ආපහු ආදිත්‍ය ට ඔක්සිජන් වැස්ම දැම්මා.

"එලියට එන්නකෝ මිසිස් සූරියබණඩාර ..." එහෙම කියපු දොස්තර ප්‍රියංකාට එලියට කතා කරා.

එක සැරයක් ආදිත්‍ය දිහා බලලා ඔලුවත් අත ගාපු ප්‍රියංකා කාමරෙන් එලියට ගියේ කදුලු පිහිදන ගමන්.

"මිසිස් සූරියබණ්ඩාර අපි හිතන්නේ ආදිත්‍යට පොඩි ගැටලු වගයක් ඇති වෙලා තියෙනවා" 

"ඒ කියන්නේ ඩොක්ටර්? ඇයි පුතා කතා නොකරන්නේ" 

"පේන විදියට එයාගේ මොළයට ඇති වුනු ශොක් එක නිසා එයාගේ කටහඩ එයාට නැති වෙලා.එක්කෝ නැති වෙලා.නැත්තම් මොළයෙන් වචන පිට කරන එක ප්‍රතික්ෂේප කරනවා.එයාට කියන්න දේවල් තිබ්බත් මොළයෙන් ඒ දේ කියන්න ඉඩ දෙන්නේ නෑ" 

"ඒක පුදුම කතාවක්නේ ඩොක්ටර්.එහෙම වෙන්න පුලුවන්ද?"ප්‍රියංකා ඇහුවේ වෙව්ලන කටහඩින්.

"පුලුවන්.මොළයේ ඒ ස්නායු කොටස් හානි වෙලා නම් වෙන්න පුලුවන්.නැත්තම් මේක කම්පනය නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන්" 

"එතකොට ඩොකටර් පුතාට ආයේ කතා කරන්න පුලුවන් වේවි නේද?" 

"ඒක මට මෙහෙම හරියටම කියන්න අමාරුයි මිසිස් සූරියබණ්ඩාර.මට ටිකක් චෙක් කරන්න ඕනේ.දැනට අපට පෙනුනේ කතාවේ වෙනස විතරක් වුනාට තව දේවල් තියෙන්න පුලුවන් ප්‍රශ්න ඇති වුනු"

"අනේ ඩොක්ටර් මගේ පුතාව හොද කරලා දෙන්න.මං ඕනේ රටකට පුතාව ගෙනියන්න ලෑස්තියි" 

"හරි මිසිස් සූරියබණ්ඩාර කලබල වෙන්න එපා.ගොඩක් දුරට මේක කම්පනය නිසා වෙච්ච දෙයක් වෙන්න ඇති.එහෙම නම් මේක තාවකාලිකයි.අපි බලමු.ආදිත්‍ය දැන් ජීවත් වෙනවනේ.අපි ඉතුරු ටික හදාගන්න බලමු" එහෙම කියපු දොස්තර එතනින් පිටත් වුනා.

දොස්තර යන දිහා ටිකක් බලන් හිටපු ප්‍රියංකා බැලුවේ මැශින් ගොඩකට සම්බන්ද කරලා ඇදකට වෙලා වැතිරිලා ඉන්න ආදිත්‍ය දිහා.

***********************************************
හෙටත් කොටසක් ගෙන්නම්

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment