Sunday, July 8, 2018

ආදරණීය නපුරා - අවසාන කොටස



සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.

ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් නැන්දාගේ ගෙදරට එනකොට හොදටම රෑ වුනා.

වාහනේ එළියේ ඉඩ තියෙන තැනක නවත්තපු සහන් ගෙදර දොර ලගට ගියේ චකිතයෙන්.සජිනි නොහිටියොත් කියන බය එක්කම කොහොම පිළිගැනීමක් ලැබේවිද කියලත් සහන්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.දොර ලගට ගියපු සහන් දොරේ බෙල් එක ගැහුවා.බෙල් එක වැඩ නැද්ද දන්නේ නෑ කියලා කෝකටත් දොරටත් තට්ටු කරා.ටිකකින් දොර ඇරියේ මැදි වයසේ ගෑනු කෙනෙක්.එයා සහන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන .

"මේ ප්‍රියානි නැන්දා ද?" සහන් එහෙම අහනවත් එක්කම ඒ ගෑනු කෙනා බය වෙලා වගේ බැලුවා

"ඔව් කවුද මේ?"

"මං සහන්,මට ඇතුළට එන්න පුලුවන්ද?"

"අහ් එන්න.." නැන්දා එහෙම කිව්වත් සහන්ව ඇතුළට ගත්තේ නම් ටිකක් අකමැත්තෙන් වගේ කියලා සහන්ට හිතුනා.ඒ කොහොම වුනත් ගේ ඇතුළ නම් පිටින් පේනවට වඩා ලොකුයි කියලා සහන්ට හිතුනේ ඇතුළට ගියාම

"වාඩි වෙන්න"

"තැන්ක් යූ"

"මේ දරුවා මේ වෙලාවේ මෙහේ ආවේ?"

"මං ආවේ සජිනි ඉන්නවද බලන්න"

"සජිනි නෑ මෙහේ.මං ඒ වෙලාවෙත් කිව්වනේ" මේ සැරේ නම් නැන්දා කිව්වේ ටිකක් තදින්

"නැන්දේ මං දන්නවා මගෙන් වැරැද්දක් වුනා කියලා.මට ඕනේ ඒ වැරැද්ද හදන්න.මට එක සැරයක් සජිනි හම්බ වෙන්න දෙන්න"

"සජිනි මෙහේ නෑ.මං දැන් එක සැරයක් කිව්වනේ"

"සජිනි මෙහේ ඉන්නවා කියලා මං දන්නවා.නැන්දේ අනේ ප්ලීස් මට ඕනේ වෙච්ච වැරැද්ද හදන්න.සජිනි දුකෙන් ඉන්නවට නැන්දා කැමතිත් නෑනේ නේද?" සහන් තමන් ලග තිබ්බ අන්තිම තුරුම්පුවත් දාලා බැලුවා

"මං දන්නේ නෑ ඔය ලමයා මේක කොහොම දැනගත්තද කියලා.ඒත් සජිනි හරිම දුකෙන් ඉන්නේ.මට කිව්වා කිසිම කෙනෙක්ට කියන්න එපා කියලා" නැන්දා කිව්වේ ටිකක් වෙලා ඉදලා.නැන්දගේ කතාවෙන් සහන්ට දැනුනේ හිතේ බරෙන් බාගයක්ම අඩු වුනා වගේ හැගීමක්

"සජිනි කොහෙද ඉන්නේ කියන්න.මං මේ ඔක්කොම විසදන්නම්" සහන් කියද්දි නැන්දා බැලුවේ උඩට යන්න තියෙන පඩි පෙළ දිහා

"සජිනි උඩ තට්ටුවේ.බැල්කනියට යන්න.පාර පැත්තට නෙවෙයි.කන්ද පැත්තට තියෙන බැල්කනියට.හැබැයි ඒ ලමයව තවත් රිද්දන්න නම් එපා.එයාගේ අකමැත්තෙන් නම් මෙහෙන් එයාව ගෙනියන්න මං දෙන්නේ නෑ" නැන්දා ඒ ටික කිව්වේ නම් හරිම සැරෙන්

"නෑ නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ" එහෙම කියපු සහන් පුටුවෙන් නැගිට්ටා.සහන් උඩට යන දිහා ප්‍රියානි බලන් හිටියෙත් කණගාටුවෙන්

'අනේ මේ දරුවන්ට හොදක්ම වෙන්න ඕනේ' ප්‍රියානි හිතින් කිව්වා

සහන් උඩට නැග්ගේ නොඉවසිල්ලෙන්.නැගලා වටපිට බලපු සහන් බැලුවේ කන්ද පැත්තට තියෙන බැල්කනිය මොකක් වෙන්න පුලුවන්ද කියලා.ඒ සාලේ බැල්කනිම තුනක් තිබ්බා.එකක් වහලා තිබ්බේ.ඒ නිසා සහන්ට හොයාගන්න අමාරු වුනේ නෑ.කන්ද පැත්තට තිබ්බ බැල්කනියේ තිබ්බේ මළානික කහ පාටක විදුලි එලියක්.සහන් හරි හෙමීට බැල්කනියට ගියා.

මේ වැස්සෙ කරුවලේ  බැල්කනියේ කොට තාප්පෙට හේත්තු වෙලා ඈත බලාගෙන හිටපු සජිනි අදුරගන්න සහන්ට එච්චර අමාරු වුනේ නෑ.සහන් ආපු බවක්වත් නොදන්න සජිනි වැස්ස දිහා බලාගෙන හිටියේ හරිම දුකෙන්

කියන්න දේවල් ගොඩක් තිබ්බත් මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරුව හිටපු සහන් උගුර පෑදුවේ සජිනිගේ අවධානේ ගන්න හිතාගෙන.සහන් හිතුවා වගේම ඒ සද්දෙට බය වුන සජිනි එක පාරටම හැරිලා බැලුවා.සජිනිගේ මූණ අඩලා අඩලා හෙම්බත් වෙලයි තිබ්බේ.ඇස් යටට ගිලිලා මේ වෙනදා දැකපු සජිනිද කියලා හිතාගන්නත් බැරි තරම් වෙනස් වෙලා තිබ්බේ.සජීගේ මූන දැකපු සහන්ට තමන් ගැනම ආවේ ලොකු තරහක්.

සහන්ව දැකපු සජිනිගේ මූණ එක පාරටම වෙනස් වුනේ සහන් බලන් ඉද්දිමයි.මුලින් සහන් දිහා පුදුමෙන් බලපු සජිනි ඊලග තත්පරේ දුකෙන් බිම බලාගත්තා.

"ඔයා ආවේ ඩිවෝර්ස් පේපර්ස් දෙන්නද? මං ඒවා එවන්නයි හිටියේ ලබන සතියේ" සජිනි බිම බලාගෙන කියද්දි සහන්ට හීල්ලුනා.සජිනි ආයෙත් කොට තාප්පේ පැත්තට හැරෙනකොට සහන් සජිනිව අල්ලලා එයාගේ පැත්තට හරව ගත්තා

"මොනවද සජිනි මේ කියන්නේ? ඇයි මේ එක සැරේට ගෙදරින් ගියේ? මට වචනයක් හරි කියන්න තිබ්බා නේද?" සහන් ඇහුවේ සජිනිගේ උරහිසින් අත් දෙකම තියාගෙන

සහන්ගේ කතාවට සජිනි උත්තර දුන්නේ නෑ.

"සජිනි....ඇයි ඔයා ගෙදරින් ආවේ? මං කොච්චර හෙව්වද කියලා දන්නවද? මගේ පපුව හිර වුනේ නැති එක විතරයි.ඔයා මෙහෙත් නැති වුනා නම් මං දන්නේ නෑ මං මොනවා කරාවිද කියලා" සහන් එක දිගට කියවගෙන යද්දි සජිනි සහන් දිහා හිස් බැල්මකින් බලන් හිටියා.

"සජිනි...ඔයාට ඇහෙනවද මං කියන දේ? "සහන් සජිනිගේ උරහිසින් අල්ලලා හෙලෙව්වේ සජිනිගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසා

"ඇයි මාව හෙව්වේ? " සජිනි ඇහුවේ එච්චරයි

"හෙව්වේ...හෙව්වේ...ඔයා මගේ වයිෆ් නිසා.ඔයා කොහොමද එහෙම මට කියන්නේ නැතුව ගෙදරින් යන්නේ?  ඔයා ගියාම මං හොයන්නේ නැතුව ඉන්නේ කොහොමද"

"මං හිතුවා" එහෙම කියපු සජිනි සහන්ගේ අත් වලින් ගැලවිලා ගේ ඇතුළට යන්න හැදුවා.ඒත් එක්කම සහන්සජිනිගේ උරහිසින් අල්ලලා  ආයෙත් ඇදලා ගත්තේ සජිනි හිතුවෙවත් නැති විදියට

"මොකක්ද හිතුවේ?" සහන් ඇහුවේ සජිනිගේ ඇස් වලට එබිලා

"ඔයා ඕක කියනවා කියලා" සජිනි කිව්වේ සහන්ගෙන් බේරෙන්න හදන ගමන්

" සහන් මට රිදෙනවා.අතාරින්න"

"මොකක්ද මං කිව්වේ?" සහන් ඇහුවේ එයාගේ අත් දෙකේ ග්‍රහනය ටිකක් අඩු කරන ගමන්.එහෙම කරපු ගමන් සජිනි සහන්ගෙන් ඈත් වෙලා හිටගත්තා

"ඔයා මේ ඔක්කොම කරන්නේ මං ඔයාගේ වයිෆ් නිසා.නැතුව මට ආදරේකට නෙවෙයිනේ සහන්.ඔයා මේ කරන්නේ හස්බන්ඩ් කෙනෙක්ගේ යුතුකම් ඉශ්ට කරන එක.මට එහෙම හස්බන්ඩ් කෙනෙක් ඕනේ නෑ .දවස ගානේ මැරි මැරි ඉපදෙනවා මං.ඔයා ඒ මුකුත් දන්නේ නෑ.දැනගන්න ඔයාට උවමනාවකුත් නෑ.ඔයා ඔයාගේ යුතුකම් කරනවනේ.ඔයාට වෙන හිතන්න දෙයක් නෑනේ." සජිනි කිව්වේ අඩන ගමන්.

සහන් හෙමීට සජිනි ලගට ගිහින් සජිනිගේ උරහිසින් අල්ලලා එක අතකින් නිකටෙන් අල්ලලා මූණ උඩට ඉස්සුවා.අනිත් අතින් සජිනිගේ මූනේ කදුලු පිහිදපු සහන් කතා කරා

"දැන් ටිකක් මං කියන දේ අහන්න.ඔව් ඔයා මගේ වයිෆ් නිසා තමයි මං මේවා කරන්නේ.හැබැයි යුතුකමකට නෙවෙයි මං ඔයාට ආදරේ නිසා" සහන්ගේ කතාවට සජිනිගේ ඇස් ලොකු වුනා.සජිනිගේ මූණේ වෙනස දැකලා සහන්ට හීනීයට හිනාවකුත් ගියා

"ඔව් සජිනි..මං ආදරෙයි ඔයාට.කියාගන්න බැරි තරමටම.මං ඒක කියන්න මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න.ඒත් කියන්න හදන්න හැම වෙලාවෙම කියන්න බැරි මොකක්දෝ බාධාවක් දැනුනා මට.මං දැන් දන්නවා ඒ මගේ ආඩම්බරකම නිසයි කියාගන්න බැරි වුනේ" සහන් කියද්දී සජිනි බලන් හිටියේ පුදුමෙන්.

"ඇයි?" සහන් ඇහුවේ සජිනි බලාගෙනම ඉන්න නිසා

"එතකොට නදිනි?" සජිනි අහපු ප්‍රශ්නෙට සහන් ඔලුව වැනුවා

"එයාව අපි දෙන්නා මැද්දට ගන්න එපා.මං කලින් කිව්වා තමයි මං නදිනිට ආදරෙයි කියලා.ඒත් දැන් එහෙම නෑ.මං ආදරේ ඔයාට.ඒක කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.ආපහු එහෙම නදිනි ගැන කතා කරන්න එපා." සහන් කිව්වේ තරවටුවක හඩින්

සජිනි ආයෙත් කල්පනා කරන්න ගත්තා.ඒ දිහා ටිකක් බලන් හිටපු සහන් සජිනිගේ ඉණෙන් අල්ලලා එයාගේ ලගට ගත්තා.සජිනි ඒකෙන් බය වෙලා බිම බලාගත්තා.

"ඔයාට මුකුත් කියන්න නැද්ද? සහන් ඇහුවේ සජිනි දිහාට පහත් වෙලා

"මේ..එතකොට ඔයා මේ ආවේ ඩිවෝර්ස් පේපර්ස් ගෙනියන්න නෙවෙයිද?" සජිනි හෙමින් අහද්දි සහන්ගේ ඇස් උඩ ගියා

'මං මේ කෙල්ලට මෙච්චර කියලත් තේරිලා නෑනේ.ඔලුවේ පිදුරුද කොහෙද?'

"ආ සහන්..." සජිනි ආයෙත් ඇහුවේ සහන්ගෙන් උත්තරක් නැති තැන

"මං ඔයාට ආදරෙයි.මං ඔයාව කසාද බැදලත් ඉන්නේ.ඉතින් එහෙම එකේ මං මොකටද රත්තරන් ඔයාව ඩිවෝර්ස් කරන්නේ?" සහන් කිව්වේ කියන්න පුලුවන් හොදම විදියට.ඒ කතාවට සජිනි රතු වුනා.

"ඉතින් මං හිතන්නේ ඔයාටත් මොනවා හරි කියන්න තියෙනවා නේද?" සහන් ඇහුවේ සජිනිගේ මූණට එබිලා.ඒත් සජිනි කරේ සහන්ගෙන් ඇස් හංගගත්ත එක.

"මොකද කියන්නේ නැද්ද?" සහන් අහද්දි සජිනි එහෙම්ම සහන්ගේ පපුවට බර වුනා.සහන් හරි ආදරෙන් සජිනිව තුරුල් කරගත්තා

"බය වෙන්න එපා..කවදාවත්ම ඔයාව අතාරින්නේ නෑ.මේ මගේ පණ ටික" සහන් එහෙම කිව්වේ සජිනිගේ ඔලුව උඩ හාදුවක් තියන ගමන්.

සහනුයි සජිනියි මෙහෙම කොච්චර වෙලා හිටියද කියලා එයාලට දැනීමක් තිබ්බේ නෑ.එයාලා එකිනෙකාගෙන් ඈත් වුනේ සජිනිගේ නැන්දගේ සද්දෙට

"සජිනි...." පහළ තට්ටුවේ ඉදන් කතා කරපු හඩට දෙන්නා දෙපැත්තට වුනා

"සහන් එක්කගෙන කන්න එන්න...." නැන්දා කතා කරේ පහළ ඉදන්.කලින් උඩට ඇවිත් යන්තමට බලලා ගිය නිසා මේ දෙන්නගේ ප්‍රශ්නයක් නැති බව ප්‍රියානිට තේරිලයි  තිබ්බේ.

"යමු..." සජිනි කිව්වේ ඉස්සර වෙන ගමන්.මොකක්දෝ හේතුවකට සජිනිට සහන් දිහා බලන්න බැරිකමක් හිතට දැනුනා.සජිනි ඉස්සර වෙනවත් එක්කම සහන් සජිනිගේ අතින් අල්ලගත්තා.

"මට කියන්න දෙයක් තියෙනවා කියලා මතක තියාගන්න" එහෙම කියපු සහන් සජිනිට ඉස්සර වෙලා සජිනිගේ අතිනුත් අල්ලගෙන පහළට ගියේ කෑම කන්න.

ප්‍රියානි  කෑම ලෑස්ති කරලා මේසේ ලගට වෙලා බලන් හිටියේ මේ දෙන්නා එනකම්.දෙන්නා එක්ක අත් අල්ලගෙන එනවා දකිද්දිම ප්‍රියානිට දැනුනේ ලොකු සතුටක්.

"අනේ මේ දරුවෝ දෙන්නගේ ආදරේට ඇස් වහක් කටවහක් නම් වදින්න එපා" ප්‍රියානි හිතින් ප්‍රාර්ථනා කරා.

"වාඩි වෙන්න දෙන්නම" ප්‍රියානි කිව්වේ ඉදි ආප්ප පිගාන අතට ගන්න ගමන්

"නැන්දත් වාඩි වෙන්න" සහන් කිව්වේ ප්‍රියානි ඉදිආප්ප බෙදද්දී

"මං දැන්ම කන්නේ නෑ පුතේ.දුවලගේ තාත්තා කන්නේ රෑ වෙලානේ.එයා එක්කම කාලා පුරුද්දට ගිහින්"

"නංගිලා මෙහේ නැද්ද නැන්දේ?" සහන් එහෙම ඇහුවේ දුවලා ඉන්නවා කිව්වට පේන්න නැති නිසා

"දෙන්නම පේරාදෙණිය කැම්පස්.එහේ ඉන්නේ.සතිඅන්තෙට එනවා"

"නැන්දා තනියමද එතකොට අනිත් දවස් වලට"

"නෑ පුතේ.දුවලගේ තාත්තගේ අක්කා මෙහේ ඉන්නේ.මේ ටිකේ එයා වන්දනා ගමනක් ගිහින්.මාත් යන්න හිටියේ.ඒත් නිවාඩු තිබ්බේ නෑ..ඒකත් වෙලාවට.දුව කතා කරේ හිතුවෙවත් නැති වෙලාවකනේ" ප්‍රියානි කියද්දි සහන් සජිනි දිහා බැලුවා.

රෑ කෑම වෙලාවෙම සහනුයි ප්‍රියානියි ආ ගිය විස්තර කතා කරත් සජිනි මේ කතා වලට සම්බන්ද වුනේ නෑ.සජිනි තාමත් හිතුවේ මේ දේවල් ඇත්තමද කියලා.

රෑ කාලා නිදාගන්න කාමරේට ගිය සහන් බැල්කනියට වෙලා එළියේ තරු දිහා බලන් හිටියා.සජිනිත් කාමරේට ආවේ ඒ වෙලාවෙමයි.සහන් ඉන්නවා දැකපු සජිනිත් එතනින් ඇවිත් හිටගත්තා.

"දැන් හද පායලා නේද?" සහන් ඇහුවේ සජිනි දිහා බලන්නෙවත් නැතුව

"හ්ම්ම්ම්..."

"හදට පායන්නත් ඉතින් වැස්ස නැති වෙන්නම ඕනේ" එහෙම කියලා සහන් බැලුවේ සජිනි දිහා.සජිනි ලගට කිට්ටු වුන සහන් සජිනිගේ උරහිස වටේ අත දාලා ලගට කරගත්තා.

"ආයේ එහෙම යනවා නෙවෙයි මට කියන්නේ නැතුව.තේරුනාද?" සහන් ඇහුවම සජිනි ඔලුව වැනුවේ හිනා වෙලා

"කාලෙකින් අපි සතුටෙන් නේද?" සහන් කියනකොට සජිනි සහන්ගේ පපුවට හේත්තු වුනා

"අද මෙයාගේ කට වැහිලා" සහන් කිව්වේ සජිනිගෙන් සද්දයක් නැති නිසා

"ම්ම්ම්...." සජිනි කිව්වේ එච්චරයි.සහන් ඊට වඩා ඇහුවෙත් නෑ.

ටිකකින් සජිනි කතා කරා

"සහන්...."

"ම්ම්ම්ම්..."

"මං ඔයාට ආදරෙයි" සජිනිගේ කටින් ඒ වචන කියවෙනවත් එක්කම සහන්ගෙ මූනේ හිනාවක් ඇදුනා.සජිනිගේ උරහිස වගේ තිබ්බ අත තව ටිකක් තව කරලා සජිනිව ලං කරගත්ත සහන් සජිනිගේ අනිත් අත අල්ලගත්තා..

"මං දන්නවා.මං හැමදාමත් දැනගෙන හිටියා" සහන් කිව්වේ හිනා වෙවි

"ඒ කොහොමද?" සජිනි ඇහුවේ පුදුම වෙලා

"ඔයාට මගේ ඇස් කියවන්න බැරි වුනාට මං හැමදාමත් ඔයාගේ ඇස් කියෙව්වා" සහන් කියද්දි සජිනි ලැජ්ජාවෙන් හිනා වුනා

"නිදාගන්න යමු නේද? හෙට ගෙදර යන්නත් ඕනේ "

"සහන්,නදිනි?"

"ජීවක හෙට ලංකාවට එනවා.එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයිනේ"

"හ්ම්ම්..." සජිනි කිව්වේ සැනසිල්ලෙන්.ටිකක් වෙලා යනකම් දෙන්නගෙම සද්දයක් තිබ්බේ නෑ

"නිදාගන්න යමු කිව්වා නේද?"සජිනි අහද්දි සහන් සජිනිව තවත් ටිකක් ලගට ගත්තා.

"මෙහෙම ටිකක් ඉමු අපි.මට තාම හිතාගන්නත් බෑ ඔයා මගේ ලග කියලා" සහන් කියද්දි සජිනි සහන්ගේ මූන බැලුවා.ඒ මූනේ තිබ්බේ ලොකු සැනසීමක්.සහන් ලග කවදාවත් දැකපු නැති තරම් සන්සුන්කමක්.

සජිනි සහන්ගේ උරහිසට ඔලුව තියාගත්තා.සහන්ව මුලින්ම දැකපු දවස,නදිනි එක්ක සහන් ඉන්නවා දැකපු දවස්,මංගල යෝජනාවක් නිසා අමතක කරලා හිටපු සහන් ආයෙත් ජිවිතේට ආපු හැටි හැමදේම සජිනිට මැවිලා පේන්න ගත්තා..

'අපි ආපු තරම් දුර.කොච්චර දේවල් වුනාද? ඒත් දැන් සහන් මගේ ලග. මට වෙන මුකුත්ම ඕනේ නෑ...' සජිනි හිතුවේ හිතට දැනෙන මහා සැනසිල්ලක් එක්ක.

-------------------------------------------------------------------------------------------------------
අවුරු 8 කට පසු.....,

"රශී.....කොහේ යනවද මන්දා මේ ලමයා..රශී එන්න මේ කෑම කන්න.අක්කා කාලත් ඉවරයි" සජිනි කෑගහන්න ගත්තේ කාමරේ හොයලා බැරිම තැන

"කෝ නැද්ද චූටි?" සහන් ඇහුවේ ටයි එක හද හද කාමරෙන් එලියට එන ගමන්

"නෑනේ මේ ලමයා.සශී...කෝ නංගි" සජිනි ඇහුවේ සාලෙට වෙලා බලාගෙන ඉන්න සශීගෙන්.ඒකට සශී කරේ ඉස්සරහ කාමරේට අත දික් කරපු එක 

සශී,රශී කියන්නේ සහන්ගෙයි සජිනිගෙයි මුල්ම දරුවෝ දෙන්නා.ඒ දෙන්නා නිවුන්නූ.නිවුන්නූ නිසා පෙනුම සමාන වුනත් ගතිගුණ නම් සෑහෙන්න වෙනස්.රශී හරිම දග ලමයෙක් වුනත් සශී නම් හරි කීකරු විදියටයි හිටියේ.ඉස්කෝලේ 1 වෙනි පන්තියේ හිටපු මේ දෙන්නව උදේට ලැස්ති කරන එක යුද්දයක් වුනේ රශී නිසාමයි.

"ඔයාගේ බත් එක බැන්දෙත් නෑ සහන් තාම" සජිනි කිව්වේ බත් එකත් අරන් රශීව හොයන අතරේ

"ඔන්න ඕක මට දීලා ඔයා බත් එක බදින්න.මෙයාලගේ කෑම දාලද?" සහන් ඇහුවේ කෑම එක ගන්න ගමන්.

"ඔව් ඔව්.කටක් දෙකක් වත් කවන්න සහන්" එහෙම කියපු සජිනි ගියේ සහන්ගේ බත් එක බදින්න.

වෙලාවට සජිනි බත් එක බැදන් එන අතරේ සහන් බත් කටක් දෙකක් කවාගෙන තිබුනේ ටීවී එක දාලා.

"අම්මී කිව්වේ ටීවී කැඩිලා කියලා..මේ වැඩනේ..." රශී කිව්වේ ටීවී පෙන්නන ගමන්.සහන් සජිනි දිහා බැලුවේ මේ කතාව මොකක්ද කියලා බලන්න.

"අහ් ඒ තාත්ති හරි අම්මී හරි දැම්මොත් විතරයි වැඩ.දැන් දෙන්නම යන්න ලෑස්ති වෙන්න.බෑග් අම්මි කාමරේ තියලා තියෙන්නේ.ගිහින් අරන් එන්න" සජිනි කිව්වේ සහන්ට රව රව

"පොඩි අයට බොරු කියන්න හොද නෑ සජිනි"

"එහෙනම් ඔයා ඇවිත් බලාගන්න මේ දෙන්නව.මේ සදුදා විදූගේ වෙඩින්ග් එක මතකනේ...නිවාඩු දාලා එන්න මතක ඇතුව"

"හරි හරි ලමයෝ මට එහෙම අමතක වෙනවද?"

"මේ මං අද කඩේ යනවා.අපි නදිනිලගේ ගෙදරත් යනවනේ නේද බබා බලන්න.බේබි කොට් එකක් ගන්නද?"

"ඔයා කැමති එකක් ගන්නකෝ.ඒ ගමන් නරකද අපිත් තව බේබි කොට් එකක් ගන්න එක ගැන හිතුවොත්" සහන් කිව්වේ සජිනිට ඇහැක් ගහන ගමන්.සජිනි ඒකට උත්තරයක් දෙන්න හදනකොටම එතනට දුවගෙන ආවේ බෑග් පිටේ එල්ලගත්ත දුවලා දෙන්නා.

"අම්මී...සාදු..."

"තාත්තී...සාදූ..." කියලා පොඩි දෙන්නා පහත් වෙලා වදිද්දී සජිනිගේ ඇස් වලට කදුලක් ආවේ එයා නෝදැනිමයි

"හරි පැටියෝ පරිස්සමෙන් යන්න.දෙන්නා දෙන්නව බලාගන්න ඕනේ හොදේ" සජිනි කිව්වේ දෙන්නවම ඉබලා සමු දෙන ගමන්.ඒ දෙන්නා එලියට යන අතරේ සහන් සජිනි ලගට ආවා.

"මං කියපු එක හිතල බලන්න.පරිස්සමෙන් ඉන්න" සහන් කිව්වේ සජිනිගේ නළලට හාදුවක් දීලා

"ඔයත් පරිස්සමෙන්" සජිනි කිව්වේ සහන් හිනා වෙලා ගෙදරින් එලියට යද්දී.

සහන් එක්කම එලියට ගිය සජිනි බලාගෙන හිටියේ තමන්ගේ ජිවිතේ හැමදේම වුන සහනුයි මේ දරු පැටව් දෙන්නයි පිට වෙලා යන දිහා.

"මගේ පවුලට දළදා හමූදුරුවන්ගේ පිහිටයි" සජිනි තමන්ටම මුමුණ ගත්තා.

සමාප්තයි.

*********************************************************************************

කොටස් 40ක් පුරාවට ඔයාලා ආදරෙන් කියවපු 'ආදරණීය නපුරා' අදින් ඉවර වෙනවා.මේ කතාව ලියන්න ගත්තේ මෙච්චර දුර එන්න හිතාගෙන නෙවෙයි.මේක මුහුණු පොතට දාන්න කිසිම අදහසක් තිබ්බේ නෑ.මේ හැමදේම අහම්බයක්.

ස්තූති කරන්න කීප දෙනෙක්ම ඉන්නවා.නයෝමි ස්තූතියි ඔයාට.ඔයා නැත්තම් මේ කතාව කොටස් 6කින් ඉවරයි.ඊලගට ප්‍රභා ට."උබ ලියපන්,මං කියවනවා" කිව්වට.ඒ වචන ටික මාර හයියක් වුනා.ගොඩක්ම ස්තූතියි කියවපු ඔයාලා හැමෝටම.මේ කතාවට මගේ බ්ලොග් එකේ වීව්ස් 500කට කිට්ටු වෙන්න තියෙනවා.ලියන්න ගත්ත ගමන්ම නිසා ඒක මට ලොකු ගානක්.කියවපු අයට වගේම කොමෙන්ටුවක් දාලා සුබ පතපු මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

මං දන්නේ නෑ ඊලග කතාව කවදා ලියවේවිද කියලා.ඒත් ඒක හොද සැලසුමක් එක්ක ලියවෙන වෙනස්ම කතාවක් වේවි.එදාටත් අද වගේම ඔයාලා මාත් එක්ක ඉදිවි කියලා හිතනවා

එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු...

හැමෝම ආදරෙන් ඉන්න...💖

Saturday, July 7, 2018

ආදරණීය නපුරා - හතලිස් වන කොටස


සහන් සජිනිලගේ ගෙදරට එද්දී රෑ 11ටත් කිට්ටුයි.මේ වගේ වෙලාවක සහන්ව දැකපු සජිනිගේ අම්මයි තාත්තයි පුදුම වුනත් සහන්ව ආදරෙන් පිළිගත්තා.

" වාඩි වෙන්න පුතා" සජිනිගේ තාත්තා කිව්වේ පුටුවක් පෙන්නලා 

"කෝ පුතේ අපේ සංජු? ඇයි එයා ආවේ නැත්තේ? ඊටත් මේ මහ රෑ? කරදරයක්වත්ද? " සජිනිගේ අම්මා කියවගෙන ගියේ හිතේ ප්‍රශ්න නිසාමයි.සහන්ට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වුනා.සහන් අම්මා එක්ක හිනා වුනේ අසරණ විදියට 

"ඕවා පස්සේ කතා කරන්න පුලුවන් නෝනා.මේ දරුවට කන්න ලෑස්ති කරා නම්" තාත්තා කිව්වේ සහන්ගේ තත්වේ තේරුම් අරන් වගේ 

"මං කාලා ආවේ අම්මේ"

"එහෙනම් තේ එකක් බොනවද?" අම්මා අහද්දි සහන්ට හීල්ලුනා.සහන් ඔලුව වැනුවම අම්මා ඇතුලට ගියේ සහන්ට තේ හදන්න 

'වෙච්ච දේ දන්නවා නම් මට ගහලා එලවාවි' සහන්ට හිතුනා.ඒත් අද සහන් ආවේ ඇත්තම කියන්නයි.

"ඇත්තට මොකක් හරි ප්‍රශ්නයක්ද  පුතේ?" සජිනිගේ තාත්තා කුස්සිය දිහාත් බලලා සහන්ගෙන් ඇහුවා.සහන් එලියට ගත්තේ සජිනි තියලා ගියපු ලියුම .සහන් ඒක සජිනිගේ තාත්තා අතට දුන්නා.

සහන්ගෙන් කිසිම ප්‍රශ්නයක් අහපු නැති තාත්තා කණ්නාඩි කූට්ටමත් දාගෙන හෙමීට ලියුම කියවන්න ගත්තා.

"මෙන්න දරුවෝ මේ ගෙදරම හදපු හැලප.තේ බොන්න කලින් කන්න" අම්මගේ කටහඩ ඇහෙද්දිම තාත්තා ලියුම නවලා හැංගුවා.

අම්මා හැලප  පිගාන තියලා ගියාට පස්සේ තාත්තා ආයෙත් ලියුම අරගෙන සහන් දිහා බැලුවා 

"මේවා එහෙම එක සැරේට අම්මට කියන්න බෑ.මං දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි.මං හෙමීට කියන්නම්" තාත්තගේ කතාවට සහන් ඔලුව වැනුවා 

"මං මුකුත් අහන්නේ නෑ ඔය දරුවගෙන්.මට ටිකක් විතර හිතාගන්න පුලුවන් වෙච්ච දේ.දැන් මේක කවද්ද වුනේ?"

"අද හවස තාත්තේ.ඇත්තටම මේක මගේ වැරැද්ද.මං හොද මහත්තයෙක් වුනේ නෑ සජිනිට.මට සමාවෙන්න තාත්තේ" සහන් බිම බලාගෙන කිව්වා.ඒ තාත්තගේ මූණ බලන් මෙහෙම දෙයක් කියන්න සහන්ට පුලුවන්කමක් තිබ්බේ නෑ 

"අපි කවුරුවත් පුරුදු වෙලා කසාද බදින්නේ නෑනේ දරුවෝ.මුල් කාලේ කසාද ජීවිතේට පුරුදු වෙන එක හැමෝටම ලේසි නෑ.අනිත් එක ඉතින් ඔය දෙන්නා දැන හදුනගෙන බැන්දත් නෙවෙයිනේ.දෙන්නගෙම අතින් අතපසුවීම් හිත් රිදීම් වෙන්න ඇති.දැන් ඒවා බලලා වැඩක් නෑ.ඉස්සරහට කරන දෙයක් තමයි හිතන්න ඕනේ" සජිනිගේ තාත්තා කතා කරේ හරි සන්සුන් විදියට

"මොකද තාත්තේ දැන් කරන්නේ? එයා කොහෙද යන්න ඇත්තේ?" සහන් අහද්දි තාත්තා ලියුම ආපහු සහන්ගේ අතට දුන්නා 

"කොහේ හරි එයා හොදට දන්න අපට හොයාගන්න අමාරු තැනක්" තාත්තා කිව්වේ කල්පනාවකින් 

ඒ අතරේ අම්මා තේ අරන් ඇවිත් එතනින්ම වාඩි වුනා.

"නෝනා ඔන්න අපේ සංජු ආයෙත් හොද හපන්කමක් කරලා" තාත්තා කිව්වා 

"ඒ මොකක්ද?"

"මේ මොකක්ද පොඩි දේකට හිත රිද්දගෙන ගෙදරින් ගිහින්" තාත්තා කියද්දි අම්මා බැලුවේ සහන් දිහා.සහන් හිටියේ බිම බලාගෙනමයි 

"අනේ මගේ දරුවා...මොකද පුතේ වුනේ? ඇයි සංජු ගෙදරින් ගියේ? යන්න තරමට මොකක්ද වුනේ? කොහෙද ගිහින් තියෙන්නේ?" සජිනිගේ අම්මා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න ගත්තේ හුස්මක්වත් නොගෙන 

"ඕකනේ ඉතින් නෝනා කලබල වෙනවනේ..මේ පොඩි දෙයක්.පුතා මට කිව්වා වෙච්ච දේ.නෝනට මං පස්සේ කියන්නම්කෝ.දැන් මේ දරුවට නිදාගන්න ලෑස්ති කරන්න" 

"ඒ වුනාට මහත්තයා අපේ දරුවා...." සජිනිගේ අම්මා කිව්වේ අඩන්න ලෑස්ති වෙලා 

"දරුවට මුකුත් වෙන්නේ නෑ නෝනා.මේ පලවෙනි පාරත් නෙවෙයිනේ.කලබල වෙන්නේ නැතුව ගිහින් සංජුගේ කාමරේ ලෑස්ති කරන්න.අපි හෙට උදේට බලමු කරන්න දෙයක්" තාත්තා කිව්වේ ටිකක් තදින්.ටිකක් වෙලා එහෙම්ම බලන් හිටපු අම්මා නැගිටලා ගියේ සහන්ට කාමරේ ලෑස්ති කරන්න 

"තාත්තේ මොකක්ද ඒ පලවෙනි පාර නෙවෙයි කියපු කතාව?" සහන් ඇහුවේ අම්මා යනකම් ඉදලා.සහන්ගේ ප්‍රශ්නෙට තාත්තා හිනා වුනා 

"මේ පලවෙනි පාර නෙවෙයි සංජු ගෙදරින් ගියපු.එයාගේ හිත රිදිලා එයාට ඕනේ දේ කරගන්න බැරුව කලිනුත් ඔහොම ගියා..මේ වගේම ලියුමක් තියලා ගියේ.කිව්වා වගේම සතියකින් කතා කරා.ගෙදර ආවා" 

"කොහෙද ඉදලා තියෙන්නේ?"

"යාලුවෙක්ගේ ගෙදර.ඒකයි පුතා මං කියන්නේ.අපි මේක හොයලා බලමු.මගේ කෙල්ල එහෙම කරදර දාගන්නේ නෑ.ඉන්නවා ඇත්තේ පරිස්සම් තැනක.හෙට අපි දන්න හැමෝටම කතා කරලා බලමු.බය වෙන්න දෙයක් නෑ.දරුවා හම්බ වේවී" තාත්තා කිව්වේ සහන් පුදුමෙන් බලන් ඉද්දි 

තමන්ගේ එකම දරුවා ගෙදරින් ගිහින් තියෙන වෙලාවක මේ තාත්තා කතා කරන විදිය ගැන සහන්ට පුදුමයි.සහන් එහෙම්ම බලන් ඉද්දි තාත්තා නැගිටලා සහන් ලගට ආවා.සහනුත් පුටුවෙන් නැගිට්ටා

"පුදුම වෙන්න දෙයක් නෑ.මං මගේ කෙල්ල ගැන දන්නවා.එයාට කරදරයක් නෑ.ඒ වගේම මොන දේවල් කලින් වුනත් දැන් ඔය දරුවා මේ ඇවිත් තියෙන්නේ අපේ සංජු ගැන ආදරෙන් බවත් මට පේනවා.මුලින් කෙල්ල හොයාගමු.ඊට පස්සේ පුලුවන් මේ ප්‍රශ්න විසදගන්න" තාත්තා සහන්ගේ පිටටත් තට්ටු කරලයි ගියේ.

සහන් සජිනිගේ කාමරේට ආවේ නිදාගන්න හිතාගෙනයි.ඒත් නින්දක් සහන්ගේ ඇස් මායිමකවත් තිබුනේ නෑ.සහන් සජිනිගේ ඇදෙන් වාඩි වුනා.සහන්ට මතක් වුනේ මේ කාමරේ හිටපු දවස්.රණ්ඩු වෙවී වුනත් ඒ ලගින් හිටපු දවස් මේ ලග නැති දවස් වලට වඩා කොච්චර ලස්සනද කියලා සහන්ට හිතුනා.

'මම බලන් හිටියා එයා මට ආදරේ කියනකම්.අඩු ගානේ එයාගේ හිත හැදුවේවත් නෑ මම.වචන වලින් කියපු නැති බැදීමක් මට දැනෙද්දී එයාටත් එහෙම දැනෙනවා ඇති කියලා මං හිතුවා.මට තිබ්බා එයාට කතා කරන්න.මට හිතෙන දේ කියන්න.මගේ ආඩම්බරකම නිසයි මේ ඔක්කොම' සහන් හිතුවේ පසුතැවිල්ලෙන්

සජිනි ගැන හිත හිත හිටපු සහන්ට නින්ද යද්දි ගොඩක් රෑ වුනත් පහුවදා පාන්දරින්ම ඇහැරුනේ හිතේ සැනසිල්ලක් නැති නිසාමයි.

ඇදේ ඉදන්ම වටපිට බලපු සහන්ට පෙනුනේ මේසේ උඩ තිබ්බ ෆොටෝ වගයක්.සහන් නැගිටලා ගිහින් මේසේ උඩ තිබ්බ ෆොටෝ අරන් බැලුවා.එකක් සජිනිගේ ඉස්කෝලේ කාලේ එකක්.තව එකක් සජිනිගේ අම්මයි තාත්තයි එක්ක ගත්ත එකක්.ඒ දෙකම බලලා සහන් ඊලගට බැලුවේ මේසේ උඩ තිබ්බ අනිත් ෆොටෝ එක දිහා.

ඒකේ සජිනි හිටියේ තවත් ගෑනු ලමයි දෙන්නෙක් එක්ක.ඒක මේ ලගකදිම වගේ ගත්ත එකක් කියලයි පෙනුනේ නම්.

'කවුද මේ ගෑනු ලමයි දෙන්නා? යාලුවෝ දෙන්නෙක් වෙන්න ඇති.ඒත් ෆ්රේම් කරලම තියාගෙන ඉන්නේ ඇයි දන්නේ නෑ' සහන් කල්පනා කරේ ෆොටෝ එක දිහා බලාගෙනමයි 

" පුතා නැගිට්ටද  ..." කාමරේ දොර ලගින් ඇහුනු අම්මගේ කටහඩට සහන් හැරිලා බැලුවා.සහන් බිම බලාගෙන හිනා වුනේ අම්මගේ ඇස් මග ඇරලා.

"මෙන්න පුතේ තේ එක" මේසෙන් තේ එක තියපු සජිනිගේ අම්මා අතට ගත්තේ මේසේ තිබ්බා සජිනිගේ ෆොටෝ එක. 

"අම්මේ...මං සජිනිව හොයාගන්නම්" සහන් කිව්වේ අම්මා ෆොටෝ එක දිහා බලන් ඉන්න අතරේ.

"ඕව්ව්..ඔව්..මං දන්නවා පුතා හොයාගනිවි" අම්මා කියද්දී සහන්ට හීල්ලුනා.

"මේ ඉන්නේ සංජුගේ නැන්දගේ දූලා දෙන්නා" අම්මා කිව්වේ සහන්ගේ අතේ තිබ්බ ෆොටෝ එක දැකලා 

"අහ් ඒක තමයි මං කල්පනා කරේ.මට දැකලා පුරුද්දකුත් නෑ කියලා"

"නැති වෙන්න එපැයි දරුවෝ.එයාලා වෙඩින්ග් එකට ආවෙත් නෑනේ.එන්න හරි නොඑන්න හරි  අපේ මහත්තයා කිව්වේ  නෑ වෙඩින්ග් එක "

"ඇයි ඒ?"

"නංගිට කසාදයක් ලෑස්ති කරලා තියෙද්දී කසාද දවසේ උදේම පැනලා ගියානේ.ඒ හිතේ අමාරුවට තමයි අපේ මහත්තයාගේ තාත්තා නැති වුනෙත්.ඒකෙන් ඒ නෑදෑකම් නැති වුනා.අපේ මහත්තයා කැමති නෑ නංගි ගැන කතා කරන්නවටවත්"

"එත් සජිනි නම් එයාලා එක්ක කිට්ටුයි වගේ" සහන් කිව්වේ ෆොටෝ එක දිහා බලලා 

"එයාට නැන්දව මුලින්ම හම්බුනේ මාත් එක්ක ගමනක් ගිය වෙලාවක.එදා ඒ නංගිගේ දුවෙක්ගෙන් මෙයා නම්බර් එකක් එහෙම ඉල්ලගෙන කතා කරා.පස්සේ කාලෙක යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනකොටත් අහම්බෙන් හම්බෙලා තිබුනා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එකක්" අම්මා එහෙම කියද්දි සහන් බැලුවේ ඒකේ ඉන්න සජිනි දිහා.

"ඒ කියන්නේ ඒ හම්බුනාට පස්සේ ලොකු ආශ්‍රයක් තිබුනේ නැද්ද? "

"නෑ පුතේ..අපේ මහත්තයගේ කැමැත්තක් නෑනේ නංගි ගැන කතා කරනවටවත්.ඒකත් සාදාරණයි එක අතකට"

"ඇයි ඒ? දැන් මේවා වෙලා ගොඩක් කල් නේ"

"අපේ මහත්තයගේ හිතට හරි අමාරුයි තාත්තා නැති වුන එකට.නංගිට ඒ ගැන හිතන්න තිබ්බා කියලා එයා කියන්නේ.ඒ විතරක්ද අපට සංජුට බදින්න කෙනෙක් හොයන්නත් සෑහෙන්න අමාරු වුනා නංගිගේ වැඩේ නිසා.නැන්දා පැනලා ගියපු පවුලක  ගෑනු ලමයෙක් ගන්න ලේසියෙන් පවුලක් කැමති වෙන්නේ නෑනේ.ඒ නිසා ගොඩක් යෝජනා අතෑරුනා.අපේ මහත්තයටත් ප්‍රෙශර් වැඩි වෙලා තිබ්බේ ඕක නිසා.වාසනාවට පුතාලගේ අම්මා ඒ ගැන හිතුවෙන් නෑ.හැමෝම කැමතිත් වුනා.පතාගෙන ආපු දේවල් තමා දරුවෝ" සජිනිගේ අම්මා කියද්දි සහන් අහගෙන හිටියා.

දැන් සහන්ට පැහැදිලියි ඇයි අර තරම් එපා කියලත් සජිනි තමන්ව බදින්න කැමති වුනේ කියලා.

'මං නිතරම කිව්වේ එයා ආත්මාර්ථකාමී කියලා.මං හිතුවේ එයා මට කැමති නිසා බැන්දා කියලා.ඒත් දැන් බැලුවම එයා නෙවෙයි මමයි ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ' සහන් කල්පනා කරා 

"පුතා එහෙනම් තේ එක බීලා එන්නකෝ.මං සංජුගේ යාලුවන්ගේ ෆෝන් නම්බර් ටිකක් හොයාගත්තා.කතා කරලා බලන්නම්" අම්මා කිව්වේ කාමරෙන් යන ගමන්.

එදා උදේ වරුවම ගෙවුනේ දන්න කියන තැන් වලට කතා කරන්න.ඒ අතරේ නෑදෑ ගෙවල් වලටත් සැප දුක අහන මුවාවෙන් කතා කරලා සජිනි ගැන අහන්නත් සජිනිගේ අම්මා අමතක කරේ නෑ 

"මොකද මහත්තයා කරන්නේ?  දරුවා එක තැනකවත් නෑනේ.පොලීසියටවත් කියමුද?" සජිනිගේ අම්මා ඇහුවේ හැඩුම්බරව

"ඉන්නකෝ නෝනා.විදූටත් කතා කරානේ.එයත් දැන්  කොලබ ඉදන් එනවා කිව්වා.අපට වඩා සංජුගේ යාලුවෝ එයා දන්නවා ඇතිනේ" 

"අම්මේ...සජිනි නැන්දගේ ගෙදර ගියා වෙන්න බැරිද?" සහන් අහද්දි අම්මයි තාත්තයි දෙන්නම එයා දිහා බැලුවේ පුදුමෙන්.තාත්තා නම් බලපු ඉක්මනින් අහක බලාගත්තා 

"අනේ මන්දා පුතේ එහේ යාවිද කියලා නම්" අම්මා කිව්වේ සැරින් සැරේට තාත්තා දිහා බල බල 

"ෆෝන් නම්බර් එකක් නැද්ද කතා කරලා බලන්න"

"නම්බර් එකක් නම් මේ..." අම්මා කියද්දි තාත්තා කතා කරා 

"නම්බර් එක ගෙනත් දෙන්න නෝනා.පුතා කතා කරලා බලන්න"තාත්තා එහෙම කියපු ගමන් අම්මා ගිහින් නම්බර් එක ගෙනත් දුන්නා.සහන් එතනදීම කෝල් එක ගත්තා 

සම්බන්ද වෙන්න වෙලා යද්දි සහන්ට දැනුනේ බයක්.ඒත් අන්තිම තත්පරේ ගෑනු කෙනෙක් දුරකථනයට සම්බන්ධ වුනා 

"හෙලෝ..."

"හෙලෝ...මේ ප්‍රියානි  නැන්දද?"

"කව්ද මේ?"

"මං සහන්,සජිනිගේ හස්බන්ඩ්.සජිනිව දන්නවා ඇතිනේ"

"අහ් ඔව් ඔව්.ඇයි දන්නේ නෑ කතා කරේ?"

"මේ සජිනි ඔය පැත්තේ  ආවද?"

"නෑ සජිනි මෙහේ ආවේ නෑ"

"අහ් එහෙමද?"

"සජිනි කතා කරේවත් නැද්ද?"

"නෑ කතා කරේ නෑ"

"සජිනි අවොත් හරි කතා කරොත් හරි මට කියනවද? මේ මගේ නම්බර් එක.07********."

"හරි ආවොත් කියන්නම්"

"එහෙනම් මං තියන්නම්"

"හොදයි.බුදුසරණයි"

"බුදුසරණයි" එහෙම කියලා සහන් දුරකථනය විසන්දි කරේ කල්පනාවකින්.

"නෑ කිව්වා නේද?" අම්මා ඇහුවේ නොඉවසිල්ලෙන්

"නෑ කිව්වා නම් තමයි.ඒත් මං මේ හිතුවේ...."

"ඇයි දරුවෝ...."අම්මා අහද්දී තාත්තත් සහන් දිහා ඕනේකමකින් බැලුවා 

"මං හිතන්නේ එහේ ගිහින් බැලුවොත් හොදයි කියලා.මට නිකන් හිතෙනවා සජිනි එහේ ඇති කියලා"

"ඇයි පුතාට එහෙම හිතෙන්නේ?" තාත්තා ඇහුවම සහන් හුස්මක් හෙලුවා 

"නිකන් හිතෙනවා තාත්තේ මට.ගිහින් බලන්න හිතෙනවා" සහන් කියද්දි තාත්තා ඒ පාර බැලුවේ අම්මා දිහා

"සංජුගේ පොතක තිබිලා ඔයා ලියාගත්ත ඇඩ්‍රස් එක ගෙනත් දෙන්න පුතාට" අම්මා ඒක ගෙන්න ඇතුලට යද්දි තාත්තා හැරුනේ සහන් දිහාවට 

"එහේ නොහිටියොත් පුතා හිත කරදර කරගන්න එපා.විදූත් ලගම එනවා ඇති"

"නෑ තාත්තේ හිතට දැනෙන එකේ ගිහින් බලනවා"

"මෙන්න පුතා" අම්මා සහන්ගේ අතට කොළයක් දුන්නා 

"මේක රත්නපුරේ එකක් නේද?" සහන් ඇහුවේ ලිපිනය දැකලා 

"ඔව් බැන්දේ එහෙටනේ.දැන් නම් මහත්තයා නැති වෙලා.දූලා දෙන්නා එක්ක ඉන්නේ" තාත්තා කිව්වේ අහක බලාගෙන 

"එහෙනම් මං ගිහින් බලන් එන්නම් තාත්තේ" සහන් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන් 

"කාලම යන්න පුතා.මං ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්" අම්මා කියද්දී සහන් කාමරේට ගියේ ලෑස්ති වෙන්න 

*********************************************************************************

කට්ටියම එහෙනම් හෙට අවසානෙට ලෑස්තියිනේ නේද?

අපි බලමු මොකද වෙන්නේ කියලා..

ආදරණීය නපුරා දෙවෙනි කොටසක් ලියම්දෝ නොලියම්දෝ කියලත් හිත හිත මේ ඉන්නේ 😏

හෙට හම්බෙමු 

ආදරෙන් ඉන්න 💖

Wednesday, July 4, 2018

ආදරණීය නපුරා - තිස් නමවන කොටස


 "ඇති යන්තම්" නදිනි පුටුවෙන් නැගිට්ටේ හොදට හිනා වෙන ගමන්.මේ මුකුත් තේරුනේ නැති සහන් බලන් හිටියේ නදිනි දිහා 

"සජ්ජෝ...." නදිනි සජිනිට කතා කරගෙනම කුස්සියට ගියේ සජිනි එතන ඇති කියලා හිතලා.සජිනි මෙහෙම ගිහින් ඇති කියලා නදිනිට පොඩ්ඩක්වත් හිතුනේ නෑ.

නදිනි ඇවිත් කුස්සියට එබුනේ සජිනි කොහෙද බලන්න.ඒත් සජිනි පේන්න හිටියේ නැති වුනාම නදිනිට දැනුනේ අමුත්තක්.

"ඇයි මොකක්ද?" සහන් නදිනිගේ පිටිපස්සේ ඉදන් ඇහුවේ මේක තේරෙන්නේ නැති නිසා.

"නෑ මේ සජිනි නෑනේ "

"සජිනි කාමරේ වෙන්න ඇති" එහෙම කියපු සහන් කාමරේට ගියේ සජිනිව බලන්න.

ඒත් සජිනි කාමරේ හිටියේ නෑ.සහන් එන ගමන් නාන කාමරේ බැලුවත් සජිනි නාන කාමරේ හිටියෙත් නෑ.එතකොට නම් සහන්ගේ හිතට වෙනසක් දැනෙන්න ගත්තා.සහන් සාලෙට ආවේ මේක ගැන නදිනිගෙන් අහන්න හිතාගෙන.නදිනි සාලේ මැද්දේ කෝලෙකුත් අතේ තියාගෙන බය වෙලා වගේ බලන් ඉන්නවා දැකපු සහන් තවත් කලබල වුනා 

"ඇයි මොකද? කෝ සජිනි?"

"සහන්...අනේ සහන් මට සමාවෙන්න.මෙහෙම දෙයක් මං හීනෙන්වත් හිතුවේ නෑ" නදිනි කිව්වේ වෙව්ලන හඩකින්.

"මොනවද කියවන්නේ? කෝ සජිනි මේ ඉස්සරහ කාමරේත් නැද්ද?" එහෙම කියාගෙන සහන් ලෑස්ති වුනේ සජිනි ඉස්සර හිටපු කාමරේට යන්න.ඒත් ඊට කලින් නදිනි කතා කරා 

"එයා ගිහින් " නදිනිගේ කතාවට සහන් හැරිලා බැලුවා 

"මොකක්ද?" 

"එයා ගිහින් සහන්..." නදිනි කිව්වේ අතේ තිබ්බ කොලේ සහන්ට පෙන්නන ගමන්.අඩියට දෙකට නදිනි ලගට ආපු සහන් නදිනි ලග තිබ්බ කොලේ උදුරලා ගත්තා.

ආදරණීය  නදිනි,

මං හිතන්නේ ඔයාට දැන් තේරෙන්න ඇති මං කියපු දේ.සහන් ආදරේ ඔයාට.ඒකේ වෙනසක් නෑ.මං ගොඩක් උත්සහ කරා.ඒත් මට තවත් මේක දරාගෙන ඉන්න බෑ.මං යනවා.සහන්ව බලාගන්න.එයාට කියන්න මං එයාව බදින්න කැමති වුන එකට මට සමාවෙන්න කියලා.ඒ නිසයි මේ ඔක්කොම වුනේ.

කරුණාකරලා අම්මලා කාටවත් දැන්ම මුකුත් කියන්න එපා.සතියකින් විතර මං එයාලට කතා කරන්නම්

මේ 
සජිනි

ලියුම කියවපු සහන් බැලුවේ නදිනි දිහා 

"මොකක්ද මේ" එත් නදිනිගෙන් සද්දයක් නැති තැන සහන් ආයෙත් කතා කරා.නදිනි මේ සිද්දියෙන් කලබල වෙලයි හිටියේ.කියන්න දෙයක්වත් නදිනිට හිතාගන්න බෑ 

"මොකක්ද මේ කියන්නේ මේකේ " නදිනි ඔලුව උස්සලා සහන් දිහා බලනකොට නදිනිගේ මූනේ පෙනුමෙන් සහන්ට තේරුනා මේ කතාව බරපතළ බව.සහන් එහෙම්ම දිව්වේ කාමරේට 

කවදාවත් අල්මාරියේ සජිනිගේ ඇදුම් තියෙන පැත්ත ඇරපු නැති සහන් කලබලෙන් අල්මාරිය ඇරියා.ඇදුම් ටිකක් ඇරෙන්න ඉතුරු ඉඩ හිස් වෙලා තිබ්බේ.සජිනි ඇත්තටම ගෙදර නැති බව සහන්ට තේරුනේ දැන්.සහන් එහෙම්ම ඇද උඩ වාඩි වෙලා අත් දෙක ඔලුවේ ගහ ගත්තා.

'මොකක්ද මේ වුනේ? ඇයි එක පාරට? මං දන්නවා මගෙන් වැරදි වුනා.එත් එයාට මාව මෙහෙම දාලා යන්න තරම් දෙයක් වුනාද.ඒකත් මටත් නොකියම.අර ලියුම වුනත්...' සහන්ට එක පාරට මතක් වුනේ නදිනි අතේ තිබ්බ ලියුම.

සහන් සාලෙට යද්දි නදිනි උත්සහ කර කර හිටියේ සජිනිගේ  දුරකථනයට.ඒත් ඒක ක්‍රියා විරහිත කරලයි තිබ්බේ 

"ෆෝන් එකත් වැඩ නෑ" නදිනි කියද්දි සහන් නදිනිගේ අතේ තිබ්බ කොලේ උදුරලා ගත්තා

"මේක ලියලා තියෙන්නෙත් ඔයාට? මොකක්ද නදිනි මේකේ තේරුම? මොකක්ද මේ?" සහන් කියවගෙන ගියා 

"සහන් මේක මගේ අදහසක්"

"මොකක්ද ගෙදරින් යන එකද?" සහන් ඇහුවේ තරහෙන් පිපිරි පිපිරි 

"නෑ..ඔයාට කලින් එන්න කියලා මෙහෙම කතා කරලා..." නදිනි කියාගෙන යද්දි සහන් බැලුවේ පුදුම වෙලා 

"මොකක්ද මොකක්ද? මාව කලින් ගෙන්නලා..ප්ලෑන් එකක්ද එතකොට මේක? නදිනි මේ මගේ යකා අවුස්සගන්නේ නැතුව කියනවා සජිනි කොහෙද කියලා" සහන්ගේ කෑගැහිල්ලට නදිනිත් බය වුනා 

"මං දන්නේ නෑ.එයා ගියේ ඇයි කියලා මට හිතාගන්න බෑ.ඔයා කිව්වේ සජිනිට ආදරෙයි කියලනේ" නදිනි කිව්වේ කල්පනා කරන ගමන් 

"මේ කියන මගුලක් තේරෙන්න කියනවද? තමුසේ මොන නාඩගමක්ද නැටුවේ සජිනි ගෙදරින් යන්න තරම්" සහන්ගේ ඒ කතාවට නදිනිටත් තරහ ගියා 

"අනේ මේ මං නටපු ඇති නාඩගමක් නෑ.ඔයාගේ වැරදි වලට මාව අල්ලගන්න එපා සහන්.මං උදව්වක් කරන්න හැදුවේ"

"ඔව් ඔව් මේ කරේ ශෝක් උදව්වක්.අනේ පින්සිද්ද වෙයි.ඔයාගේ උදව් ඕනේ නෑ.මගේ සජිනිව මං හොයාගන්නම්" සහන් එහෙම කියාගෙනම ගියේ පහළ ආරක්ශක නිළදාරියා ලගට.එතකොටත් වටේම හොදටම කරුවල වැටිලා 

"අයියේ..මේ මගේ වයිෆ් යනවා දැක්කද?"

"ඔව් මහත්තයා.දැන් වැඩි වෙලාවක් නෑ.කැබ් එකක ගියේ" 

"මොකක්ද දන්නේ නෑ කැබ් එක නේද?"

"ඒක නම් දන්නේ නෑ මහත්තයා.එලියේ තියෙන වාහනේ බැලුවේ නෑ ඉතින්.ඇයි මහත්තයා ප්‍රශ්නයක්ද?" ඒ ආරක්ශක නිලදාරියා ඇහුවේ හරි සුහද විදියට.සහන් අමාරුවෙන් හිනා වුනා 

"ඔව් මේ පොඩි ප්‍රශ්නයක් වුනා"

"නෝනලා ඔහොම තමයි මහත්තයා.යන්න ඇත්තේ නෝනගේ මහ ගෙදර.දවසක් දෙකක් ගිහින් එක්කගෙන එන්න" ඒ මනුස්සයාගේ කතාවට ලාවට හිනා වුන සහන් උඩට නැග්ගේ බලාපොරොත්තු කඩ වෙච්ච මූනෙන්.

සහන් ඇතුලට එද්දි නදිනි හිටියේ සාලේ වාඩි වෙලා.සහන්ව දැකපු ගමන් නදිනි නැගිට්ටා 

"සහන් ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ"

"ඒ මොකටද?" සහන් ඇහුවේ තරහෙන් 

"මේ මට කෑගහන්න එපා සහන්.මං මේ උදව්වක් කරන්න හදන්නේ.ඔයාගේ වයිෆ් වගේම ඒ මගේ යාලුවා.මටත් කැක්කුමක් තියෙනවා"

"කැක්කුමට වෙන්නැති මාව ප්ලෑන් කරලා ගෙන්නගෙන මෙතන"

"ඇති සහන්...සජිනි ගෙදරින් ගියේ මං නිසා නෙවෙයි.ඔයා නිසා.ඔයා මුලින් ඒක පිළිගන්න.එහෙම නැතුව මේ රටේ මිනිස්සුන්ට බැන බැන ඉදලා හරි යන්නේ නෑ" නදිනිත් කෑගැහුවෙ හිතේ තරහටමයි 

ඒත් එක්කම හොද සුසුමක් හෙලපු සහන් එතන පුටුවෙන් වාඩි වුනා

"මොකක්ද මට දැන් කරන්න කියන්නේ?" සහන් ඇහුවේ බිම බලාගෙන.නදිනිත් සහන් ලගින්  වාඩි වුනා 

"හෙට උදේම යන්න සජිනිගේ මහ ගෙදර" නදිනිගේ කතාවට සහන් බැලුවේ පුදුම වෙලා 

"එහේ එයා නැතුව ඇති.ලියුමේ තිබ්බේ අම්මලට සතියකින් කතා කරනවා කියලා" 

"අනේ ගෙම්බෝ..අහනවකෝ සජිනි එහේ නැතුව ඇති තමයි.ඒත් ඔයාට විස්තරයක් හොයාගන්න පුලුවන් වේවි.මං විශ්මිටත් කතා කරා.එයත් බලන්නම් කිව්වා"

"ඒත් කොහොමද මං ඒ අම්මලට කියන්නේ?" සහන් ඇහුවේ පසුතැවිල්ලෙන් 

"ඒක ඔයාගේ වැඩක් සහන්.ඇත්තම කියන්න" නදිනිගේ කතාවට සහන් කල්පනා කරන්න ගත්තා 

"ඇත්තටම මොකක්ද නදිනි වුනේ?" ටික වෙලාවකින් සහන් ඇහුවේ නදිනි දිහා හොදට බලලා

"ඇති යන්තම් මනුස්ස පාටට ඒක ඇහුවා.මං ඔයාගෙන් ඔයා මට ආදරේද අහද්දි සජිනි කුස්සියේ ඉදන් ඒක අහගෙනයි හිටියේ.ඒ උත්තරෙන් එයා කලබල වෙන්න ඇති.හැබැයි මට හිතෙන විදියට එයා කලින්ම යන්නයි ප්ලෑන් කරන් ඉදලා තියෙන්නේ" නදිනි කියාගෙන යද්දි සහන් අහගෙන හිටියේ කල්පනාවකින් 

"ඒත් ඇයි ඔයා එහෙම එකක් කරේ?  ඇයි මගෙන් එහෙම දෙයක් ඇහුවේ"

"ඇහුවේ ඔයා නෑ කියාවි කියලා හිතාගෙන.සහන් ඔයා දන්නේ නෑ සජිනි අඩපු තරම්" නදිනි හුස්මක් හෙලුවේ දුකෙන් 

"කවද්ද?" 

"අද උදේ...ඔයාගේ ඔලුව හොද නැද්ද සහන්.මොන මගුලකටද ඔයා එයාට කියන්න ගියේ මට ආදරෙයි කියලා.ඔහොම විහිලු කරන්න හොද නෑ .ඔයා මහ ගොනෙක් සහන්"

"නදිනි මං ඒවා කිව්වේ විහිලුවට  නෙවෙයි" සහන් උත්තර දුන්නේ බිම බලාගෙන 

"ඒ කියන්නේ" සජිනි උදේ කියපුවා වගේම සහන් දැන් කියන ඒවත් නදිනිට පුදුම හිතෙන දේවල්

"සජිනිව බදින කාලෙත් මං ඔයාට ආදරේ කරා.මං එයා එක්ක තරහෙන් හිටියේ මාව බදින්න කැමති වුනාට.මං නිසා එයා සෑහෙන්න අඩලා තියෙනවා" එහෙම කියද්දි සහන්ගේ කටහඩ වෙව්ලන්න ගත්තා 

"මොකක් කිව්වා...සහන් බලන්න මං දිහා" නදිනි කිව්වම සහන් ඔලුව උස්සලා නදිනි දිහා බැලුවා.සහන්ගේ ඇස් හොදටම රතු වෙලා තිබ්බේ 

"සහන්, ඔයාට තාමත් එහෙම හිතෙනවද?" නදිනි අහනකොට සහන් ඔලුව වැනුවා 

"මටත් එහෙමයි සහන්,අපි ආදරේ කරා.ඒත් අපිට අපි නැතුව ඉන්න බැරි තරමට අපි ආදරේ කරාද? නෑ සහන්.මට ඕනේ වුනා නම් ඔයාට එන්න කියලා හොරෙන් බදින්න තිබ්බා.මං කොච්චර එපා කිව්වත් ඔයාට වුනත් තිබ්බා ඕනේ නම් මාව බලන්න එන්න.එහෙම නොවුනේ අපට ආදරේ වෙනුවෙන් ප්‍රශ්න දාගන්න ඕනේ වුනේ නැති නිසා.ඒකයි ඇත්ත.ඒක මට තේරුනේ ජීවක හම්බුනාම.මට දැන් පේනවා ඔයාටත් සජිනි ගැන එහෙම හිතෙනවා කියලා.ඉතින් එයාව නැති කරගන්න එපා"

නදිනිගේ කතාව අහගෙන හිටපු සහන් පුටුවෙන් නැගිට්ටා 

"මං දැන්ම යනවා එහේ.කොච්චර බැනුම් අහන්න වුනත් කමක් නෑ.සජිනි මගේ වයිෆ්.මට එයාව ඕනේ" 

"අන්න එහෙමනේ ඉන්න ඕනේ.දැන්ම යන්න.මං කන්න දෙයක් හදන්නම් .කාලා යන්න" නදිනි පුටුවෙන් නැගිට්ටේ එහෙම කියාගෙන 

"නදිනි...ඔයා තනියම ප්‍රශ්නයක් නැද්ද?" සහන්ගේ ප්‍රශ්නෙට නදිනි හිනා වුනා 

"ඇයි මං බබෙක්ද? මට ඉන්න පුලුවන්.තිළිනි අක්කත් ඉන්නවනේ.ඔයා දැන් බලන්න ඕනේ සජිනි ගැන.ගිහින් ලෑස්ති වෙන්න.මං කන්න හදන්නම්"

යන්න ගියපු නදිනි ආයෙත් හැරුනා 

"සහන් මේ ඔයාගේ ෆෝන් එකෙන් සජිනිට මැසෙජ් එකක් දාලා තියන්න.ඒක ඔන් කරාම සජිනිට යාවි.ඔයාටත් දැනගන්න පුලුවන් ෆෝන් ඔන් කියලා"

"ඒකත් ඇත්ත තමයි." සහන් ෆෝන් එක අතට ගත්තත් මොකක් යවන්නද කියලා සහන්ට හිතාගන්න බැරි වුනා

"මේ මොකක්ද යවන්න ඕනේ?" සහන් කුස්සියට එබුනේ එහෙම අහගෙන 

"නෝනට යවන මැසේජ් එක මගෙන්ද අහන්නේ? එක්කෝ සහන් ඔයා හිස් මැසේජ් එකක් යවන්න"නදිනිගේ කතාවට සහන් බැලුවේ පුදුම වෙලා

"ඇයි?"

"නෑ ඔයා මොනා කියාවිද කියලා ශුවර් නෑනේ.ඊට හපන් සජිනි ඕකෙන් මොනවා තේරුම් ගනිවිද දන්නෙත් නෑනේ.බුද්දිය අතින් නම් මේ දෙන්නම පොඩි ලමයි වගේ" නදිනි කිව්වේ හිනා වෙවි.

"හ්ම්ම්..එහෙනම් හිස් එකක් යවන්නම්"

"යන්න ගිහින් ලෑස්ති වෙන්න.දැන්ම ගියොත් ඔයාට 10ට 11ටවත් යන්න පුලුවන් එහෙට"නදිනි කිව්වේ සහන් ගැන අනුකම්පාවෙන් 

සහන් අමාරුවෙන් හිනා වෙලා කාමරෙට ගියේ ලෑස්ති වෙන්න හිතාගෙන.කාමරේ ඇද උඩ තිබ්බේ සහන්ගේ  බොත්තමක් ගැලවීලා අල්ලලා තිබ්බ ශර්ට් එක.සහන් ඒක අතට ගත්තා.

'මට සමාවෙන්න සජිනි...මේක සම්පූර්ණ මගේ වැරැද්ද.ඒත් මං මේ වැරැද්ද හදනවා මයි.මං ඔයාව ආපහු එක්කගෙන මිසක් ආයේ මේ ගෙදරට එන්නේ නෑ'

********************************************************************************

කතාව ටිකක් කොටයි අද.ඒ ගැන වැඩිය හිතන්න එපා..කොටස් වැඩි කරන්න කියලා තියෙන ඉල්ලිම් නිසයි කොට කරේ 

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න 💗

Tuesday, July 3, 2018

ආදරණීය නපුරා - තිස් අටවන කොටස


ඊලග දවස් දෙක තුනේම සජිනි වගේම සහන් එකිනෙකාව මග ඇරලයි හිටියේ.ඔෆිස් එකේ වැඩ කිය කිය සහන් රෑ වෙනකම්ම ඔෆිස් එකේ හිටියෙත් සජිනි නිසා.දෙන්නගේ මේ වෙනස හොදටම තේරුනේ නදිනිට.මේ දෙන්නගෙන්ම නදිනිට කිසිම වෙනසක් නොවුනත් දෙන්නා දෙන්නව මග අරින බව නදිනිට හොදට තේරිලා තිබ්බේ.ලොකුම වෙනස පෙනුනේ සජිනිගෙන්.සජිනි වෙනදා වගේ නදිනි එක්කත් වැඩි කතාවක් කරේ නෑ.අඩුවෙන් කාපු බීපු නිසාද කොහෙද ඇදිලා ගියපු පෙනුමක් තිබ්බේ.වෙනදට සිංදු අහන ටීවී බලන ඒවත් සජිනි නවත්තලා තිබ්බේ.සජිනි වැඩිපුරම කරේ නිදාගත්ත එක.

නදිනි එදා උදේම සජිනිව හොයන් ආවේ එයාට පණිවිඩයක් කියන්න.එතකොට සජිනි කාමරේ සහන්ගේ කමීසෙක බොත්තමක් මහනවා

"සජ්ජෝ...කෝ කොහෙද ඉන්නේ?" නදිනිගේ කටහඩට සජිනි කර කර හිටපු වැඩෙන් ඔලුව උස්සලා බැලුවා

"මේ කාමරේ...එන්න"

"අහ් මේ මොකද කරන්නේ?"

"මේ වොශින් මැශින් එකේ දාලා බොත්තමක් ගැලවිලා.ඒක මැහුවා.වාඩි වෙන්න ඔයා.ඔහොම හිටගෙන ඉන්න හොදයිද?" සජිනිගේ කතාවට නදිනි හිනා වුනා

"ටිකක් හිටගෙන හිටියා කියලා මට මුකුත් වෙන්නේ නෑ බං" එහෙම කියාගෙනම නදිනි සජිනි ලගින් ඇදේ වාඩි වුනා 

"දැන් මොකටද මාව හෙව්වේ? බඩගිනිද?" 

"බඩගින්නකුත් තියෙනවා.මං ශෝක් ආරංචියක් කියන්න ආවේ" නදිනිගේ ඇස් දිලිසුනා 

"ඒ මොකක්ද?"

"ජීවක එනවලු ලබන සිකුරාදා"

"ශා...හොදයිනේ.කලින් නේද?"

"ඔව්..මං පහුගිය ටිකෙම කියෙව්වා පාලුයි පාලුයි කියලා..ඒපාර වැඩ ඉක්මනට ඉවර කරගෙන"

"තාම ජීවක දන්නේ නැද්ද ඔයා මෙහේ කියලා"

"දන්නවා.ඒත් ගෙදරින් ප්‍රශ්නයක් වෙලා ආවා කියලා දන්නේ නෑ..එයාට ඔයාව මතකයි.මං කිව්වා ටික දවසකට මෙහේ ආවා කියලා"

"ඉතින් ඒක එයාට ප්‍රශ්නයක් නැද්ද?" සජිනි ඇහුවේ පුදුමෙන් 

"ප්‍රශ්නයක් ඇති.ඒත් තාම මුකුත් ඇහුවේ නෑ.එයා ෆෝන් වලින් ප්‍රශ්න අහන්න රණ්ඩු වෙන්න කැමති කෙනෙක් නෙවෙයි.පණිවිඩේ කිව්වා තිබ්බා.මං කිව්වේ ඔයාට"

"හ්ම්ම්..." සජිනි කිව්වේ කල්පනාවකින්

"මේ ඒක නෙවෙයි.මං දෙයක් අහන්න හිටියේ.ඔයා කැමති නම් විතරක්" නදිනි කිව්වේ හරි පරිස්සමෙන්.ඒ කතාවට සජිනි නදිනි දිහා හොදට බැලුවා 

"මොකක්ද?"

"මේකයි මේ...මෙහෙමයි...ඔයා කැමති නම් විතරක් කියන්න හොදේ.මං මේ අහන්නේ මේක බලන් ඉන්නම බැරි නිසා"

"මොකක්ද ඉතින්" සජිනි ඇහුවේ නොඉවසිල්ලෙන් 

"සහන්ගෙයි ඔයාගෙයි මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔයා දුකෙන් වගේ.සහන් ඇත්තෙත් නෑ ගෙදර වැඩිය" නදිනි අහද්දි සජිනි බිම බලාගත්තා 

"එහෙම මුකුත් නෑ"

"බොරු කියන්න එපා සජිනි..මට පේනවනේ..ඔයා කියන්න අකමැති නම් ඒක ඔයාලගේ පුද්ගලික දෙයක් නම් කමක් නෑ..ඒත් ප්‍රශ්නයක් කාටහරි කිව්වම හිත සැනසෙනවා.කවුද දන්නේ සමහරවිට ඒ ප්‍රශ්නේ වෙන පැත්තක් තියෙන්නත් පුලුවන්" නදිනි සජිනිගේ අතින් අල්ලගත්තා.

'මං කොහොමද නදිනි ඔයාට කියන්නේ සහන් තාමත් ඔයා ගැන හිතන එකයි මට තියෙන ප්‍රශ්නෙ කියලා' සජිනි නදිනි අල්ලගෙන හිටපු එයාගේ අත දිහා බලාගෙන හිතුවා.ඒ සිතුවිල්ලත් එක්ක සජිනිගේ ඇස් වලට කදුලු පිරුනා  

"ඒයි කෙල්ලේ..කියපන්කෝ" නදිනි ආයෙත් ඇහුවේ සජිනිගේ සද්දයක් නැති නිසා 

"එයා..එයා..මට ආදරේ නෑ" සජිනි කියාගත්තේ අමාරුවෙන්

"එයා කියන්නේ මේ සහන්ද?"

"ඔව්.." සජිනි කිව්වේ ඇහෙන නැහෙන ගානට

"ඇයි එහෙම කියන්නේ? සහන් මේ දවස් වල එන්න පරක්කු වෙන්නේ නම් අර ප්‍රොජෙක්ට් එකක් නිසානේ.එහෙම හිතන්න එපා.පිරිමින්ට වැඩ කිව්වම අපි ගැන ගානක් නෑ" නදිනි කිව්වේ හිත සනසන්න හිතාගෙන.

ඒකට සජිනි මුකුත් කිව්වේ නෑ.ඒත් එක්කම සජිනිගේ අතින් අල්ලගෙන හිටපු නදිනිගේ අත උඩට වැටුනේ සජිනිගේ කදුලු බින්දුවක්.

"මේ ඔයා අඩනවනේ...අනේ සජ්ජෝ...කියන්නකෝ ඇයි මේ?" නදිනි ඇහුවේ දුකෙන්.ඉස්කෝලේ කාලේ ලොකුම යාලුකම නොතිබ්බත් අමාරුවේ වැටුනු වෙලාවේ මුකුත් නොහිතා බලාගත්ත සජිනි ගැන නදිනිගේ හිතේ තිබ්බේ ලොකු ආදරයක් වගේම ගෞරවයක්

"එයා...ආදරේ නෑ මට" සජිනි ආයෙත් කිව්වා 

"ආදරේ නෑ කියන්නේ ඇයි? එයා ඔයාව මැරි කරේ ආදරේ නිසානේ සුදූ" නදිනි උත්සහ කරේ සජිනිගේ හිත හදන්න 

"නෑ..එයා මාව බැන්දේ මං කැමති වුන නිසා" සජිනි කිව්වේ ඇඩුම් හඩ මැද්දෙමයි 

" ඒ කියන්නේ?" සජිනි අඩන බව තේරුනත් දැන් මේ පටලැවිල්ල ගැන නදිනිට දැන ගන්නයි ඕනේ වෙලා තිබ්බේ.

කිසිම වෙලාවක මේ දෙන්නා මැරි කරපු විදියක්වත් හම්බුන විදියක්වත් නදිනි එක්ක කතා කරේ නෑ.නදිනි ඇහුවෙත් නැත්තේ මොනා වුනත් කලින් කොල්ලා ගැන මෙහෙම කතා කරන එක හරි නැති නිසා 

"මේක ඇරේන්ජ්ඩ් එකක්"

"අහ්....ඉතින් හරි සජ්ජෝ ජීවකයි මායි බැන්දෙත් එහෙමනේ.ඒකෙන් ඔයා කියන්නේ කොහොමද සහන් ආදරේ නෑ කියලා"

"එයා...එයා ආදරේ වෙන කෙනෙක්ට" සජිනිගේ ඒ කතාවට නදිනිට පුදුමෙන් බැලුවා 

"එහෙම වෙන්න බෑ සජිනි.සහන් එහෙම මේ දකින දකින කෙල්ලට ලව් කරන්නේ නෑ..කියන්න බලන්න ඒ කෙල්ල කව්ද කියලා.ගිහින් දෙකෙන් එකක් කතා කරන් එන්න.ශුවර් එකට ඒ කෙල්ල තමා එහෙනම් අල්ලගෙන ඇත්තේ.සහන් එහෙම කරන්නේ නෑ" නදිනි කිව්වේ හොද විශ්වාසෙන් 

"නෑ සහන් තමයි එයාට  ආදරේ" සජිනි කිව්වේ හැඩුම් හඩින්

"හරි දැන් කවුද ඒ කෙල්ල කියපන්කෝ.ඔයා දන්නවද?" නදිනි ඇහුවේ නොඉවසිල්ලෙන් 

ඒ කතාවට සජිනිගෙන් සද්දයක් තිබ්බෙ නැති නිසා නදිනි ආයෙත් කතා කරා.

"කියන්නකෝ සජිනි...කව්ද ඒ?" 

"ඔයා.." සජිනි කිව්වේ ඇහෙන නෑහෙන හඩින් 

"කව්ද?" නදිනි ඇහුවේ ඇහුන එක හරියට විශ්වාස නැති නිසා 

"ඔයා...ඔයා...ඔයා...නදිනි...සහන් පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ ඔයාට" සජිනි එක පාරටම අත් දෙකෙන් මූණ වහගෙන අඩන්න ගත්තේ සජිනි පුදුමෙන් බලන් ඉද්දි

සජිනි මේ කියපු කතාව නදිනිට විශ්වාස කරගන්නත් බෑ 

"සජිනි...ඔයා එහෙම කියන්නේ කොහොමද? දැන් අපි අතරේ එහෙම දෙයක් නෑ සජිනි ඇත්තමයි.මං ආදරේ ජීවකට.මගේ මහත්තයට.සහන් මගේ දැන් යාලුවෙක් විතරයි" නදිනි කිව්වේ වෙව්ලන හඩකින් 

"ඒත් එයා ඔයාට ආදරෙයි"  සජිනි කිව්වේ අඩන ගමන් 

"නෑ සජ්ජෝ එහෙම නෑ..සහන් මට ආදරේ නෑ.දැන් අවුරුද්දකටත් වැඩියි.එයාගේ එහෙම දෙයක් නෑ"

"ඔයා කොහොමද එහෙම කියන්නේ...හැමදේම මට හොදට තේරෙනකොට.මට පේනකොට"සජිනි ඉකි ගහ ගහ අඩන්න ගත්තේ නදිනි දුකෙන් බලන් ඉන්නකොට 

"මේ අහන්නකෝ...සහන් මට ආදරේ කරා.ඒත් ඒ දේවල් දැන් ඉවරයි.දැන් එයා ආදරේ ඔයාට.එයාගේ වයිෆ් ඔයා.එයාගේ අනාගතේ ඔයා.එයා ආදරේ ඔයාට" නදිනි හොද විශ්වාසෙන් කිව්වා 

"නෑ එයා මට ආදරේ නෑ"

"ඇයි ආදරේ නෑ කියන්නේ? කාටවත් පුලුවන්ද ඔයා වගේ කෙල්ලෙක් ලග තියාගෙන ආදරේ නොකර ඉන්න.සහන් ඔයාට ආදරෙයි ඔයාට නොතේරුනාට"

"මගේ මොනවද තියෙන්නෙ? මං ඔයා තරම් ලස්සනත් නෑ..මං එහෙම ලස්සනට කතා කරන්න දන්නෙත් නෑ..අඩු ගානේ මගේ හරියට ඇගක්වත් නෑ.කෙට්ටුම කෙට්ටුයි.මං එයා කරන ජොබ් එකේ දේවල් දන්නෙත් නෑ ඒවා කතා කරන්නවත්.මං එයාට ගැලපෙන්නෙම නෑ" සජිනි ආයෙත් අඩන්න ගත්තා 

"අනේ පිස්සි...ඕවට ආදරේ කරන්නේ ඉස්කෝලේ යන කොල්ලෝ.අනික මොකක්ද ඒ කිව්වේ ලස්සන නෑ කියලා.අනේ මේ ඉන්නෙ ලස්සනට ඔයා.ඔයා හිතනවා වැඩියි.සහන් ආදරේ ඔයාට ඒක මට හොදටම විශ්වාසයි" නදිනි කියද්දි සජිනි හෙමීට ඔලුව උස්සලා බැලුවා 

"ඔයා හිතන්නේ එහෙමද?"

"නැත්තම් ඉතින්..."

"ඒත් එයා කිව්වා මට....."

"මොකක්ද කිව්වේ?"

"එයා ආදරේ ඔයාට කිව්වා..කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ කිව්වා.මට මේ සලකන්නේ වයිෆ් කෙනෙක්ට යුතුකම් ඉශ්ට කරන්න ඕනේ නිසාලු" සජිනි ආයෙත් අඩන්න ගනිද්දි නදිනි සුසුමක් හෙලුවා 

"මං තේරෙන්නේ නෑ  සජිනි ඔයාට මේක කොහොම තේරුම් කරන්නද කියලා .ඒත් සහන්ම කිව්වොත් එයා මට ආදරේ නෑ කියලා ඔයා එක පිළිගන්නවා නේද?" නදිනි ඇහුවේ සජිනිගේ අතින් අල්ලගෙන.ඒත් සජිනි තාමත් ඉකි ගහ ගහ අඩ අඩ හිටියේ 

"කෝ නවත්තන්න අඩන එක..කියන්න පිළිගන්නවා නේද?" නදිනි සජිනිගේ කදුලු පිහිදුවා 

"එයා කවදාවත් එහෙම කියන්නේ නෑ"සජිනි කිව්වේ ඇඩුම් හඩින් 

"ඉන්නකෝ..මං ලග අදහසක් තියෙනවා..මං අද සහන්ගෙන් කෑම කාමරේදි ඕක අහන්නම්.ඔයාට පුලුවන්නේ කුස්සියේ ඉදන් අහන් ඉන්න." නදිනි අහද්දි සජිනි ඔලුව වැනුවා 

'එහෙම නැතුව මේක වෙන්නේ නෑ.සහන්ගේ ආඩම්බරකම මං නොදන්නවයැ.යාලු වෙලා හිටපු අවුරුදු ගානටම ආදරෙයි කිව්වේ කී සැරේද?එහෙම මිනිහා මේ.මේ විදියට මේ ප්‍රශ්නේ විසදේවි.පස්සේ සහන්ට දෙකක් කතා කරන්න ඕනේ.පුදුම මිනිහෙක්නේ අප්පා.ආදරේ නම් කියන්න එපැයි.මේ කෙල්ල නිකන් විදවනවා ' ඕවා හිතද්දි නදිනිට තරහ ගියේ සහන් එක්ක.

නදිනි එක්ක කතා කරද්දි හිත ටිකක් සැහැල්ලු වුනත් දැන් සජිනිගේ හිතේ තිබ්බේ මේ නදිනිගේ වැඩේ ගැන.

'සහන් කියාවි නදිනිට ආදරෙයි කියලා.එතකොට මං මොකද කරන්නේ?' එහෙම හිතද්දිත් සජිනිට දැනුනේ පුදුමාකාර දුකක් 

'නෑ එහෙම වුනොත් මං මෙහෙන් යනවා.එයාගේ කටින්ම ඒක ආයෙත් ඇහුනොත් මට තවත් මේ ගෙදර ඉන්න බෑ.තේරුමක් නෑ ඉන්න එක.මෙච්චර උත්සහ කරාටත් පස්සේ ' 

සජිනි එහෙම තීරනේ කරේ හිතේ වේදනාව දරාගන්න බැරි තැනමයි.නදිනිගේ වැඩේ තේරුමක් වෙන එකක් නෑ කියලා සජිනිට දැනෙන්න ගත්තා.

ඒ නිසාම සජිනි බෑග් එකකට ඇදුම් දාලා ලෑස්ති කරලා ඇද යටින් තිබ්බේ යනකොට ගෙනියන්න.එහෙම කරලා සජිනි කෝල් කරේ කැබ් සර්විස් එකකට.හවස 6ට කැබ් එකකුත් බුක් කරේ ඉන්න වෙන කාලෙටත් ගෙවන්න පොරොන්දු වෙලා.

සහන් එදා හවස කලින් ගෙදර එන්න ආවේ නදිනි හදිස්සියේම එන්න කියලා කතා කරපු නිසා.සහන් ගෙදරට ඇතුල් වෙද්දිත් ගේ ඇතුලේ තිබ්බේ පුදුමාකාර නිශ්ශබ්දතාවයක්.සහන් එහෙම්ම නදිනිගේ කාමරේ ලගට ගියේ මොකක්ද හදිස්සිය කියලා දැනගන්න.

"නදිනි..." සහන් නදිනිගේ කාමරේ දොර ලග ඉදන් කතා කරත් උත්තරේ හම්බුනේ පිටිපස්සෙන් 

"අහ් මේ ඇවිත් තියෙන්නේ"

"ඇයි මොකක්ද හදිස්සිය? ඔයාට ඩොක්ටර් කෙනෙක් ලගටවත් යන්න ඕනෙද?" සහන් ඇහුවේ නදිනි දිහා හොදට බලන ගමන් 

"නෑ නෑ මං මේ එන්න කිව්වේ ටිකක් කතා කරන්න"

"කතා කරන්න?? අනේ ඇත්තට පිස්සුද නදිනි.මං මේ වැඩ ගොඩක් දාලා දුවගෙන ආවේ" සහන් කිව්වේ තරහෙන් 

"ඔයාගේ වැඩ වලට වඩා මේක වැදගත්.වාඩි වෙන්නකෝ ඔය පුටුවෙන්" සහන් වාඩි වුනේ මේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.නදිනිත් සහන් ඉස්සරහ පුටුවෙන් වාඩි වුනා 

"මොකක්ද දැන් කියන්න තියෙන්නෙ?" සහන් ඇහුවේ වටපිට බලන ගමන්

"හරි මං කෙලින්ම අහන්නම්.ඔයා මට ආදරේද සහන්" නදිනි අහපු කතාවට සහන්ගේ කට ඇරුනා 

"මොකක්ද ඇහුවේ?"

"ඇහෙන්න ඇතිනේ.උත්තර දෙන්න"

"ඇයි එහෙම අහන්නේ?" සහන් ඇහුවේ සැකෙන් 

"මට දැනගන්න.දැන් කියන්න" නදිනි කිව්වෙත් අපහසුවෙන්.මෙහෙම දෙයක් සහන්ගෙන් අහන එක නදිනිටත් ලේසි වුනේ නෑ.සහන් මොනවා හිතනවද දන්නේ නෑ කියලා නදිනි ගේ හිත කිව්වත් නදිනිට ඕනේ වුනේ මේ ප්‍රශ්නේ විසදන්න නිසා එයා ඒ ලැජ්ජාව ගැන වැඩිය හිතුවේ නෑ.

"ඔව් මං ආදරෙයි ඔයාට" සහන් කියද්දි ඒ කතාවට පපුව හිර වුනේ කුස්සියේ ඉදන් මේක අහන් හිටපු සජිනිගේ.

කදුලු බිංදු කම්මුල් දිගේ බේරෙද්දි සජිනි වෙව්ලන කකුල් වලින් ගියේ එයා කලින්ම බෑග් එක ගෙනත් සාලේ හංගලා තිබ්බ තැනට.කෑම කාමරේට සාලේ නොපෙනන නිසා ඒ එක තත්පරෙන් සජිනි බෑග් එකත් අරන් ගිහින් කැබ් එකට නැගලා පිටත් වුනා 

මේ මුකුත් නොදන්න නදිනි කෑම කාමරේ ඉදන් බලන් හිටියේ සහන් දිහා 

"මොකක්ද ඒ ඔයා කිව්වේ? ඔයාට පිස්සුද සහන්.මං බැදලා.ඔයත් බැදලා.ඔයා කොහොමද ඔහොම..."නදිනි කියාගෙන යද්දි සහන් අත දික් කරේ කතාව නවත්තන්න කියලා 

"හෝව් හොව්ව්..මේ ගෑනු නම් ඇත්තට...මං ආදරෙයි තමයි නදිනි.හැබැයි ඒ හොද යාලුවෙක් වගේ.මට දැන් හිතෙනවා මං ඔයාට ඇත්තට ආදරේ කරේ නැද්ද කියලත් .සජිනි ගැන මට තියෙන ආදරේ ඔයා ගැන තිබ්බ ආදරේට වඩා වෙනස්" සහන් කියාගෙන යද්දි නදිනි බලන් හිටියේ පුදුමෙන්.ඒත් එක්කම නදිනිට හොද හිනාවක් ගියා

"ඒ කියන්නේ ඔයා සජිනිට ආදරෙයි කියන එකනේ නේද?"

"ඔව්..මං පිස්සෙක් වෙලා එයා නිසා..මට කියාගන්න බෑ මං එයාට කොච්චර ආදරේද කියලා.ඒ මෝඩිටත් තෙරෙන්නෙ නෑ" සහන් කිව්වේ ඔලුවේ අත් දෙකත් ගහගෙන 

******************************************************************************

පරක්කු වෙනවට සමාවෙන්න.මට සමහර වෙලාවට කමෙන්ට් රිප්ලයි එහෙම දාන්න වෙන්නෙත් නෑ.ඒව ගනන් ගන්න එපා හොදේ..

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න 💖

Monday, July 2, 2018

ආදරණීය නපුරා - තිස් හත් වන කොටස



උදේ සජිනි කුස්සියේ ඉන්නකොට තමයි ගෙදර දොරේ බෙල් එකේ සද්දේ ඇහුනේ.ඒ සද්දෙට කලබල වුන සජිනි දොර ලගට දුවගෙන ගියා.ඒත් දොර අරින්න කලින් සජිනි එතන කණ්නාඩියෙන් බලලා කොන්ඩෙත් හදාගත්තා.

එක සැරයක් හොද හුස්මක් ගත්ත සජිනි දොර ඇරියා.එතන හිටියේ සහන්ගේ අක්කයි මස්සිනයි බබයි.අක්කා බබාවත් වඩාගෙන හිනා වෙවී හිටියා.

"නංගි...කොහොමද? අදමනේ දැක්කේ" සහන්ගේ අක්කා සජිනිව දැක්ක ගමන් කිව්වා 

"ඒකනේ අක්කා..එන්න ඇතුලට" සජිනි කට්ටියට ඇතුලට කතා කරා.එතකොට තමයි සජිනි දැක්කේ ඒ හැමෝටම පිටිපස්සෙන් බෑග් එකකුත් අරන් හිටපු සහන්ව.

"නංගි බබාව කාමරේකින් තියන්න ඕනේ.නිදිමතේ ඉන්නේ" 

"අහ් අරන් එන්න අක්කේ..." සජිනි අක්කවයි බබාවයි එක්කගෙන ගියේ සජිනි කලින් හිටපු කාමරේට.

"අම්මෝ හෙන මහන්සියි මචං..." සහන්ගේ මස්සිනා,විරාජ් පුටුවකින් වාඩි වුනේ එහෙම කියාගෙනමයි.

"මහන්සි නැතුවයැ.බබාට අමාරු ඇති සෑහෙන්න" සහන් කිව්වේ ඒ ලගින්ම වාඩි වෙන ගමන් 

"එයාට මොන මහන්සියක්ද? උඩ පැන පැන හිටියේ.එයාව බලාගෙන අපට තමා අමාරු" විරාජ් කිව්වේ හිනා වෙවී.ඒ කතාවට සහනුත් හිනා වුනා

"ඒක නෙවෙයි.මේක මරු ගෙදරක්නේ..මල්ලිගෙමද?" විරාජ් ආයෙත් ඇහුවේ ගේ වටේ හොදට බලන ගමන්

"රෙන්ට් එකට අයියේ.ගන්නත් පුලුවන් ඕනේ නම්.තාම එච්චර සල්ලි අතේ නෑ" සහන් කිව්වේ ඔලුවත් කස කස

"ඉතින් මේ නංගිත් ඉගෙන ගෙන තියෙනවනේ නේද? ජොබ් එකක් කරා නම් හරිනේ" එහෙම කියාගෙනම එතනට ආවේ සහන්ගේ අක්කා මලිති.අක්කා එහෙම කියද්දි සහන් බැලුවේ සජිනිගේ මූන දිහා.සජිනි හිතලම සහන්ගේ මූන මග ඇරලා හිටියා.

"සජිනි වැඩ කරා අක්කේ බදින්න කලින්"සහන් එහෙම කිව්වේ සජිනිව අක්කගෙන් බේරගන්න හිතාගෙන

"අහ් ඉතින් ඇයි අස් වුනේ? ජොබ් හොයන්න අමාරුයි නංගි.තාම ඔයාලට බබාලත් නෑනේ.දැන් තමයි කරන එකක්" සහන්ගේ අක්කා කියද්දි සජිනි නම් සජිනි සහන් දිහා බැලුවේ බය වෙලා වගේ.සහන් කිව්වා වගේම අක්කා එක්ක නම් ලේසි වෙන්නේ නෑ කියලා සජිනිට තේරුනා

"මේකයි මේ..." සහන් කතාව පටන් ගත්තත් සජිනි ඒකට බාධා කරා

"මං වැඩ කරේ ගාල්ලේ...සතියේ දවස් 5ම වැඩ කරලා සෙනසුරාදත් හාෆ් ඩේ වැඩ.සහන් මෙහේ නේ.ඒකයි අයින් වුනේ "

"හරි ඉතින් මෙහෙන් එකක් බලන්න තිබ්බනේ.දැන් බැදලා ඇවිල්ලත් කොච්චර කල්ද ඔයාලා" මලිති කියාගෙන යද්දි සජිනි බිම බලාගත්තා.සජිනි බිම බලාගන්නවා දැකපු සහන් ආයෙත් කතා කරන්න හිතුවා

"අක්කේ මේ මමයි...." ඒත් ඒ සැරෙත් සහන්ට කතා කරන්න වුනේ නෑ

"නිකන් ඉන්න සුදූ.ඔයා ආපු ගමන් මේ ලමයා බය කරනවා" විරාජ් කිව්වේ සජිනි දිහා බලන් හිනා වෙවි

"බය කරා නෙවෙයි අනේ..හරි හරි මං ආය මුකුත් කියන්නේ නෑ" මලිති ඇස් දෙකත් වහගෙන පුටුවේ හේත්තු වුනා.

"අක්කලා දැන්ම උදේට කනවද නැත්තම් මොනවා හරි බොන්න හදන්නද?" සජිනි ඇහුවේ එතන තිබ්බ නොසන්සුන් තත්වේ නැති කරන්න හිතාගෙන

"තේ එකක් බොමුද නංගි? තේ තමා හොදම" මලිති කිව්වේ ඇස් වහගෙනමයි 

"ඔව්...හොදට කහට දාලා සීනී හොදට දාලා හදන්න" විරාජ් කිව්වේ පුටුවෙන් හොදට හාන්සි වෙන ගමන් 

"හරි එහෙනම් මං හදන් එන්නම්කෝ" එහෙම කියලා සජිනි කුස්සියට ගියාම සහන් බැලුවේ පුටු දෙකක් උඩ වැටිලා ඉන්න අක්කයි මස්සිනයි දිහා 

"මේ ඔයාලට කාමරයක් ලෑස්ති කරලා තියෙන්නේ ගිහින් නිදාගන්න ඒකේ" සහන් කිව්වේ ඉන්න විදියට දුක හිතුන නිසාමයි 

"තේ එක බීලම යන්නම්" මලිති කිව්වේ පුටුව උඩ තව ටිකක් හරි බරි ගැහෙන ගමන් 

ටිකක් වෙලා එහෙම්ම හිටපු සහන් නැගිටලා කුස්සියට ගියා.කුස්සියේ සජිනි තේ හදන ගමන් හිටියේ.සහන් ආපු බව දැනුනු සජිනි සහන්ගේ කෝප්පෙටත් තේ දැම්මා 

"ආ...." සජිනි තේ ඒක සහන්ට දික් කරා 

"ඔයා ඇයි ඕවා කියන්න ගියේ අක්කට? මං කියන්නනේ හැදුවේ මං කියපු නිසයි අස් වුනේ කියලා" සහන් කියද්දි සජිනි සහන්ගේ පැත්තට හැරුනේ අක්කලට හදපු තේ තියපු ට්‍රේ එකත් අරගෙන.

"හරි දැන් ඔයා ඒක කිව්වම මොකද වෙන්නේ කියන්න බලන්න? අක්කා ඔයාගෙන් රටේ නැති ප්‍රශ්න අහන්න ගනිවි.ඒ ඔයාගේ අක්කා සහන්.එයා ඔයා ගැන නොදන්නවා වෙන්න බෑනේ"

"ඒකත් ඇත්ත" සහන් එහෙම කියද්දි සජිනි ට්‍රේ එකත් අරන් එලියට යන්න ගියා 

"සජිනි මේ..." සහන් කතා කරපු නිසා සජිනි ආයෙත් නැවතුනා 

"අක්කා මොනවා හරි කිව්වොත් ලොකුවට හිතන්න එපා.ඒ එයාගේ හැටි" සහන් කියපු එකට සජිනි මොනවත් කිව්වේ නෑ.හිනා වුනා විතරයි.

කට්ටිය තේ බිව්වම පස්සේ මලිතියි විරාජුයි කාමරේට ගියේ ටිකක් නිදාගන්න කියලා.ඒ නිදාගත්ත එක එයාලා නැගිටිද්දී දවල් 3ටත් කිට්ටුයි.සජිනියි සහනුයි එයාලට කතා නොකරෙත් මහන්සි ඇති කියලා හිතලා.

"අම්මෝ...දැන් තමයි ඇගට ෆිට් එකක් ආවේ" විරාජ් කාමරෙන් ආවෙම එහෙම කියාගෙ.

"අහ් අයියා නැගිටලා.අක්කත් නැගිටලද අයියේ? කෑම ලෑස්ති කරන්නද?" සජිනි ඇහුවා 

"ඔව්.එයා නානවා.දැන් ඒවි.කමු නංගි.බඩගිනියි"

"හරි අයියා ඉන්නකෝ.විනාඩි පහෙන් කෑම ගේනවා" සජිනි යන දිහා බලන් හිටපු විරාජ් සහන් ලගින් වාඩි වුනා.

"ශෝක් කෙල්ල නේ මචන්" විරාජ් කියද්දි සහන් හිනා වුනා 

"මුගේ හිනාව බලපන්කෝ..ඉස්කෝලේ කාලේ ලව් එකක් වගේ හිනා වෙන්නේ"

"මොනවා කියවනවද බං" 

"නෑ ඇත්තටම මරු කෙල්ල.උබ බෑ බෑ ගගා බැන්දට මෙන්න මචන් ඉරණම්කාරි"

"හ්ම්ම්..." සහන් කිව්වේ එච්චරයි 

"උබ ඒත් තාමත් අර කලින් එකී ගැන හිතනවද?" විරාජ්ගේ ප්‍රශ්නෙට සහන් බැලුවේ විරාජ් දිහා 

"ඇයිඑහෙම අහන්නේ"

"නිකන් මොකක් හරි අවුලක් පේනවා නංගියි උබයි අතරේ.අපිත් බැදපු මිනිස්සුනේ මස්සිනා.අනික උබලා තාම බැදපු අලුත" විරාජ් කියද්දි සහන් හුස්මක් හෙලුවා 

"එහෙම එකක් නෑ.මේ දවස් වල පොඩ්ඩක් පොඩ්ඩක් අවුල්.දන්නේ නැද්ද?" සහන් කියද්දි විරාජ් සහන් දිහා හොදට බැලුවා 

"හරි හරි ඒ කොහොම හරි හොදට සලකපන් ඒ කෙල්ලට.බලපන් උබ නිසා රස්සාවෙනුත් අයින් වෙලා ගෙදරත් දාලනේ ඇවිත් තියෙන්නේ"

"මං කරනවා බං.ඒ මගේ වයිෆ් මං ඒ යුතුකම් අඩුවක් පාඩුවක් කරන්නේ නෑ" සහන් එහෙම කියද්දිම ඇහුන සද්දයක් නිසා දෙන්නම හැරිලා බැලුවා.මේසේ ලග බය වෙලා වගේ බලන් හිටියේ සජිනි.

"අහ් මේ...මේ..මගේ කකුල පැටලෙන්න ගියා" එහෙම කියපු සජිනි හැරිලා ගියේ කුස්සියට.සජිනි ගියාට පස්සේ විරාජ් ආයෙත් හැරුනේ සහන්ගේ පැත්තට 

"මොකක්ද මං කිය කිය හිටියේ...අහ් හොදට සලකන්න කියලා..මචන් හොදට සලකනවා කියන්නේ මේ බලාගන්න එකටම නෙවෙයි.ලව් කරන එකට.බැදලා වැඩක්ද බං හිතේ ආදරයක් නැතුව.දැන් කියපන් බලන්න උබ ඒ කෙල්ලට ආදරේද නැද්ද කියලා.මං අක්කට කියන්නේ නෑ උබ දන්නවනේ"

"මොකක්ද මට කියන්නේ නෑ කිව්වේ" සහන් උත්තරයක් දෙන්නත් කලින් ඇහුනේ මලිතිගේ කටහඩ 

"නෑ නෑ බබා මේක මේ අපි දෙන්නගේ කතාවක්" විරාජ් කියද්දි මලිති බැලුවේ සහන් දිහා 

"මොන කතාව වුනත් කමක් නෑ.මගේ මල්ලිව අමාරුවේ දානවා එහෙම නෙවෙයි ඔයාගේ එක එක කතා කියලා" එහෙම කියාගෙනම මලිති ගේ ඇතුලට ගියේ සජිනි හොයාගෙන 

"අන්න බලපන් සහෝදර ප්‍රේමේ" විරාජ් කිව්වේ මලිති යන දිහා බලලා 

"මොන සහෝදරද බං.අම්මට හපන්.මල කරදරේ"

"ඒයි ඒයි මේ මගේ ගෑනිට කරදරේ කියන්න එන්න එපා"

"කරදරේ තමා.එකනේ උබට දීලා රට පටවලා අපි බේරුනේ" සහන් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන් 

"හිටපන්කෝ මස්සිනා මං ඕක උබෙ අක්කට කියනවමයි"

"ඒක පස්සේ බැරියැ.වරෙන් කන්න.නැත්තම් උබ මාව කාවි" සහන්ගේ කතාවට විරාජ් නැගිටලා මේසෙට ගියේ කන්න හිතාගෙන  

"නංගි...." මලිති කතා කරේ කුස්සියේ දොරෙන් එබෙන ගමන් 

"අහ් අක්කා..මං මේ කෑම බෙදනවා"

"ශා..හරි රස පාටයි..මට බෑ නංගි එච්චරම හොදට ලංකාවේ ඒවා හදන්න.බැදපු ගමන් රට ගියා.එහේ ඉන්නකොට නෙට් එකෙන් බලන් පුරුදු වුන ඒවා විතරයි." මලිතිගේ කතාවට සජිනි හිනා වුනා 

"මාත් පස්සේ අක්කේ පුරුදු වුනේ 

"මෙහෙදි මට කෑම හදන්න ආසාවක් තිබ්බේ නෑ අනේ.අම්මා ඉස්සර හරියට බනිනවා.එහේ ගියාම තමයි ඒක තේරුනේ" මලිති එහෙම කියන ගමන් බත් එකට දාලා තිබ්බ ඉස්සෙක් අරන් කටේ දාගත්තා 

"අම්මේ...මාර රසයිනේ" මලිති කියද්දි සජිනි හිනා වුනා 

"පුදුමයක් නෑ මල්ලි මහත් වෙලා තියෙන එක.ඒක නෙවෙයි නංගි මං කතා කරන්නත් හිටියේ"

"කියන්න අක්කා"

"අපේ මල්ලි හෙන ගොනෙක්" මලිතිගේ කතාවට සජිනිට හිනා ගියා 

"නෑ සීරීයස්ලී...එයාට තේරෙන්නේ නෑ එයාට මොනවද හිතෙන්නේ කියලා.වෙලාවේ හැටියට කියන්න ඕනේ දේ දන්නේ නෑ.මොකක් හරි ගොන් කතාවක් කියලා මූඩ් එකම නැති කරන්න මාර දක්සයා.එයාට දෙයක් තේරුම් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.හිතන් ඉන්නේ එයා හැමදේම දන්නවා කියලා.මේවා ඉතින් ඔයාට තේරිලත් ඇති" මලිතිගේ කතාවට සජිනි උත්තරයක් දුන්නේ නෑ 

"ඉතින් මට කියන්න ඕනේ මේකයි.අපේ ගොන් නාම්බගේ වැඩ ටිකක් ඉවසගෙන ඉන්න.එච්චරම නරක නෑ අපේ කොල්ලා"

"මං දන්නවා අක්කේ"

"හරි එහෙනම් මේ මං තව ඉස්සෙක් ගන්නවා හොදේ" අක්කා කියද්දි සජිනි හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවා

'මෙච්චර අහිංසක කෙල්ලෙක් අරූ එක්ක කොහොම ඉන්නවද මන්දා' මලිති කල්පනා කරේ සජිනි දිහා බලාගෙනමයි 

"කෑම තියලා අක්කේ තියෙන්නේ.යමු කන්න" බත් දීසියකුත් උස්සගෙන සජිනි කියද්දි මලිති හිනා වුනා.

"කෝ දෙන්න ඕක මට.මං ගෙනියන්නම්" මලිති සජිනිගේ අතින් බත් දීසිය ගත්තේ බලෙන්මයි 

'අක්කත් පේන තරම්ම නපුරු නෑ වගේ ' සජිනි හිතුවේ අක්කගේ පස්සෙන් ඇවිදගෙන යන ගමන් 

කාලෙකින් කට්ටිය හම්බුන නිසා කෑම මේසේ කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා.පැය ගානක් කියවලා හවස් වෙලා මලිතියි විරාජුයි එයාලගේ බබා එක්ක මහ ගෙදර යන්න ලෑස්ති වුනා 

"අද ඉදලා යන්නකෝ අක්කේ" සජිනි කිව්වේ බබාගේ කොන්ඩේ අත ගාන ගමන්

"බෑ නංගි.අපේ අම්මලා වගේම විරාජ්ගේ  අම්මලත් බලන් ඉන්නවනේ.ආය එන්නම් අපි" එහෙම කියන ගමන් මලිති බබාව වඩා ගත්තා 

"ඔන්න අයියේ වාහනේට බඩු දැම්මා" සහන් ආවේ එහෙම කියාගෙනමයි 

"මනුස්සයා ශුවර් එක්කෙනෙක් නේද මල්ලි? බඩු ගොඩක් තියෙනවා බෑග් වල" මලිති ඇහුවේ මේ වාහනේ ගැන 

"ඔව් ඔව් අපේ ඔෆිස් එකේ වාහනේ එලවන අන්කල්.හරි හොදයි"

"එතකොට ඒ මනුස්සයා මේ රෑම ආයේ එනවද අපිව දාලා" විරාජ් ඇහුවේ කාමරේ ඉදන් එන ගමන් 

"නෑ ඒ අන්කල්ගේ ගෙවල් ගාල්ලේ.එයා එහේ නවතිනවා කිව්වා" සහන් කිව්වේ බයක් වෙන්න දෙයක් නැති බව තහවුරු කරලා.

"එහෙනම් අපි යනවා නංගි..."

"හරි අක්කේ...අපිත් එහේ එන්නම්කෝ.පරිස්සමෙන් යන්න.බුදුසරණයි "

"අක්කට විතරද නංගි කියන්නේ? අපට නැද්ද?" විරාජ් කිව්වේ දුක හිතෙන මූනක් හදාගෙන 

"අනේ අයියත් පරිස්සමෙන් යන්න හොදේ" සජිනි හිනා වෙලා කිව්වා

කට්ටියම වාහනේට නැග්ගට පස්සේ මලිති ආයෙත් වාහනෙන් එලියට ඔලුව දැම්මා 

"සහන්....." අක්කා කතා කරාම සහන් එතනට ගියේ මොනවා හරි අමතක වෙලාද කියලා හිතලා 

"සජිනි හරිම හොද ලමයෙක්.හිත රිද්දනවා නෙවෙයි ඒ ලමයගේ.මට වෙන නෑනලා ඕනේ නෑ.තේරුනාද?"

"හරි හරි තේරුනා..දැන් යන්නකෝ මෙතන වද නොදි" සහන් වෑන් එකෙන් ඈත් වෙලාම කිව්වේ මලිතිගේ ප්‍රතිචාරේ ශුවර් නැති නිසා 

අක්කලා ගියපු නිසා සජිනි ආයෙ නදිනිව එක්කගෙන එන්න තිළිණි අක්කලගේ ගෙදර ගියත් ඒ වෙනකොටත් නදිනි නිදි කියපු නිසා සජිනි ආයෙත් ගෙදර ගියා.අක්කලා යනකොටත් සෑහෙන රෑ වෙලා තිබුනේ.ඒ නිසා සහනුයි  සජිනියි දෙන්නා රෑට කෑවෙත් දවල් කෑමමයි.සජිනි කුස්සිය අස් කරලා එනකම් සහන් කාමරේ ඉදන් කල්පනා කරේ අක්කලා කියපු දේවල් ගැන 

'එයාලා කියන දේත් ඇත්ත.සජිනි කොච්චර දේවල් අතෑරලද මේ ඇවිත් ඉන්නේ.මං කියපු නිසා රස්සාවෙනුත් අයින් වුනා' සහන් කල්පනා කරේ පසුතැවිල්ලෙන්.

ඒ අතරේ තමයි සජිනි කාමරේට ඇවිත් නිදාගන්න ලෑස්ති වුනේ.

"ඔයාට ඕනේ නම් ජොබ් එකකට යන්න.මං හොයලා දෙන්නම්" සහන්ගේ ඒ කතාවට සජිනි මුකුත් කිව්වේ නෑ

"මං නිසානේ ජොබ් එකෙන් අයින් වුනෙත්.මං එකක් බලලා හොයලා දෙන්නම්" සහන් ආයෙත් කතා කරා 

"මට ඔහොම යුතුකම් ඉශ්ට කරන්න ඕනේ නෑ සහන්"

"මොකක්ද?" සහන් ආයෙත් ඇහුවේ ඇහුන දේ විශ්වාස නැති නිසා 

"නෑ මං කිව්වේ ඔයා මගේ හස්බන්ඩ්  වුනා කියලා ඔයා ඕවා කරන්න ඕනේ නෑ.මං ජොබ් එකෙන් අයින් වුනේ මට ඕනේ නිසා.ඔයා කියපු නිසා නෙවෙයි" සජිනි කිව්වේ අල්මාරියෙන් මොකක්ද ගන්න බලන ගමන් 

"මොනවද මේ කියවන්නේ?" සහන් ඇහුවේ නැගිටලා සජිනි ලගට යන ගමන්.

"මං කිව්වේ මට ජොබ් එකක් ඕනේ නම් මං හොයාගන්නම් කියලා" සජිනි තාමත් සහන් දිහා බලන්නේ නැතුව තමයි කතා කරන්නේ 

"මං දිහා බලනවා...." සහන් සජිනිව තමන්ගේ පැත්තට හරව ගත්තා 

"මං ඇහුවේ මොකක්ද ඒ යුතුකම් ඉශ්ට කරන කතාව කියලා?" සහන් සැරෙන් අහද්දි සහන්ගේ විදියට සජිනිට ටිකක් බය හිතුනත් එයා ඒක පෙන්නන්න ගියේ නෑ 

"ඇයි බොරුද? ඔයා දැන් මේ ජොබ් එකක් හොයලා දෙන්න ඇහුවේ මං පව් නිසානේ..ඔයාගේ අතින් වැරැද්දක් වුනා කියලා හිතලනේ.මට ජොබ් එකක් හොයලා දෙන එක ඔයාගේ යුතුකමක් කියලා හිතලනේ" 

"ඔව්..ඒකේ ඇති වැරැද්ද මොකක්ද? මගේ වයිෆ් ගැන මං හොයලා බලන එකේ තියෙන වැරැද්ද මොකක්ද?"

"නෑ වැරැද්දක් නෑ..ඒත් වයිෆ් කියලා මට ඔහොම යුතුකම් වගකීම් ඉශ්ට කරන්න ඕනේ නෑ සහන්.ඔයා කැමති නම් විතරක් කරන්න.අකමැත්තෙන්, කරන්න  ඕනේ නිසා මං ගැන හොයලා බලන්න ඕනේ නෑ..මට මං ගැන බලාගන්න පුලුවන්" සජිනි කිව්වේ කෙලින්ම සහන්ගේ ඇස් දිහා බලලා.සහන් ටිකක් වෙලා එහෙම්ම බලන් හිටියා 

එක පාරටම සහන් සජිනිව එයා එක්කම අල්මාරියේ දොරට හේත්තු කරගත්තා.සහන් බලන් හිටියේ සජිනි කියවන දිහා 

'ඔයා මේ මට බනිනවා තමයි.මටත් තරහයි.බනින්න ඕනේ.ඒත් මට හිතෙන්නෙම ඔයාව කිස් කරන්න' සහන් කල්පනා කරේ සජිනිගේ මූන දිහා බලාගෙනමයි 

"නෑ මට ඕනේ ඔයා ගැන හොයලා බලන්න.ඒක මගේ අයිතියක්" එහෙම කියපු සහන් සජිනිගේ මූණට කිට්ටු වෙනවත් එක්කම සජිනි ඇස් තද කරලා පියාගත්තා.ඒත් එක්කම ඇස් වල එකතු වෙලා තිබ්බ කදුලු බිංදුවකුත් කම්මුල් දිගේ බේරිලා ගියා 

"ඔව්ව්...මේක ඔයාගේ අයිතියක්නේ.ඔයාට පුලුවන් මට ඕනේ දෙයක් කරන්න" සජිනි කිව්වේ ඇස් වලින් කදුලු බේරෙද්දිමයි 

සජිනිගේ ඒ කතාවට සහන් එහෙම්ම නැවතුනා.මෙච්චර වෙලා සජිනිව අල්ලගෙන හිටපු අතින් එයාව අතෑරලා සහන් ඇදට ඇවිත් වාඩි වෙලා ඔලුවේ අත ගහගත්තා.

*********************************************************************************

ටිකක් පරක්කු වුනා.සමාවෙන්න.අකුරු වැරදි එහෙම තියෙනවා නම් කවුරු වුනත් කමක් නෑ පොඩ්ඩක් මාව දැනුවත් කරන්න.නැත්තම් ඒවා නොසලකා හැරියත් කමක් නෑ.එක සැරයක්වත් කියවලවත් නෙවෙයි මේ දාන්නේ 

හෙට හම්බෙමු 

ආදරෙන් ඉන්න 💖