Friday, January 25, 2019

මන්දාරම් අහස යට - තිස් එක් වන කොටස


සෙනසුරාදා පාන්දරම ආදිත්‍යයි අවිශ්කයි කොටුව දුම්රිය ස්ථානයට ආවේ නුවර යන්න.ඒ වෙද්දිත් අසේලිලා දුම්රිය ස්ථානයට ඇවිල්ලයි තිබුනේ.උදේ 6.50ට නුවර හරහා බදුල්ලට පිටත් වෙන දුම්රිය ඒ වෙද්දිත් ඇවිත් තිබුනේ නෑ.

කොටුව දුම්රිය ස්ථානයේ දෙවෙනි වේදිකාව දිගේ කරුවලේම ආදිත්‍යයි අවිශ්කයි ඇවිදගෙන ගියේ අසේලිලා ඉන්න තැනට.

"හලෝ...මචන් ගුඩ් මෝර්නිග්.වාඩි වෙයන් මෙතනින්" ඒ වෙද්දිත් එතනට ඇවිත් හිටපු මිගාර අවිශ්කවයි ආදිත්‍ය වයි පිළිගත්තා.

"ගුඩ් මෝර්නින්.තාම නෑ නේද ට්‍රේන් එක?" අවිශ්ක ඇහුවේ වටපිට බලලා වාඩි වෙන ගමන්.

"නෑනේ.අද පරක්කුද මන්දා.සෙනගත් වැඩියි"

" දවස් තුනක නිවාඩුවක්නේ.ඒකයි මං හිතන්නේ" අවිශ්ක මිගාර එක්ක කතාවක ඉන්න අතරේ ආදිත්‍ය බැලුවේ ඊට ටිකක් එහාට වෙලා යාලුවෝ එක්ක කතා කර කර ඉන්න අසේලි දිහා.

" මං ඒත් හිතුවා උඹ එන්නේ නැති වෙයිද කියලත්.අම්මලා බලන්න යන්න ඕනේ කිව්වා නේද?" මිගාර ඇහුවේ ආදිත්‍යගෙන්.ආදිත්‍ය ඒකට හිනා වුනා.

"මූ එන්නේ නැතුව ඉදිද කෙල්ලත් ට්‍රිප් එක යද්දි." ඒ වෙලාවේ එතනට ආපු ක්‍රිශාන් කිව්වේ මිගාර පුදුම වෙලා බලද්දි.

"කෙල්ල? මොන කෙල්ලද?" මිගාර පුදුමෙන් ඇහුවා.

"අපෝ බං.ආදිත්‍ය දාගෙන ඉන්නේ අසේලි නංගිවනේ.උඹ දන්නේ නැද්ද?" ක්‍රිශාන් කිව්වේ ආදිත්‍යගේ උරහිස වටේ අතක් දාගන්න ගමන්.මේ ඔක්කොටම ආදිත්‍ය කරේ හිනා වුනු එක විතරයි.

"අඩෝ....සිරාවට....මූ කිව්වෙත් නෑනේ" මිගාර කිව්වේ ආදිත්‍යගේ බඩට අතින් ගහන ගමන්.

ඒ වෙලාවේ එච්චර වෙලාම ඈත හිටගෙන හිටපු අසේලියි නෙහාරායි ආදිත්‍යලගේ ඉස්සරහ පුටු පේලියට ඇවිත් වාඩි වුනා.

නිල් ඩෙනිමට සුදු ටීශර්ට් එකක් ඇදලා කොණ්ඩේ පෝනිටේල් එකක් දාලා හිටපු අසේලිගෙන් අද පෙනුනේ වෙනදට වඩා වෙනස්ම කෙලිලොල් පෙනුමක්.තමන්ට ඉස්සරහ වාඩි වෙලා යාලුවෝ එක්ක කතා කර කර ඉන්න අසේලිව දැකපු ආදිත්‍යට අසේලිව අන්තිමට මුණ ගැහුනු රෑ මතක් වුනා.

කලු හැට්ටයට කහ පාට සාරියක් ඇදලා කොණ්ඩේ කඩලා දාලා විදුලි පහන් එලිය වැටුනු පාර දිගේ අසේලි දුවගෙන ආපු හැටි ආදිත්‍ය ට මතක් වුනා.

"ආදිත්‍ය මාව අතාරින්න" අසේලි ඒ වෙලාවේ මුමුණපු හැටි ආදිත්‍යට තාමත් ඇහෙනවා වගේ..

'ඒ වෙලාවේ අර ගෝතයා කෝල් නොකරා නම්' ආදිත්‍ය කල්පනා කරේ ඒ වෙලාවේ ආපු කෝල් එක ගැන.

අසේලිව පපුවට තුරුල් කරන් අසේලි දිහාම බලන් හිටපු ආදිත්‍ය එක පාරටම පියවි සිහියට ආවේ දුරකථනය ඇමතුමක හඩින්.

"ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා" අසේලි කියද්දි ආදිත්‍ය අසේලිව අත ඇරලා සාක්කුවට අත දාලා දුරකථනය අතට ගත්තා.

"හෙලෝ...."

"හෙලෝ...ආදි...කොහෙද ඉන්නේ" අවිශ්කගේ කටහඩ දුරකථනයෙන් ඇහෙද්දි ආදිත්‍ය බැලුවේ එයාගෙන් ඈතට වුනු අසේලි දිහා.

"ලගට ආවා.ඇයි? පාර්ටිය ඉවරයිද?"

"තාම නෑ.උඹ පෙන්න නැති නිසා බැලුවේ"

"පේන්න නැති වුනාම බලන්න මං මොන්ටිසෝරි ලමයෙක්ද? තියපන් ෆෝන් එක.මං එන්නම්" ආදිත්‍ය ඒක කිව්වේ සාරි පොටත් අල්ලගෙන වටේට හැරි හැරි හිටපු අසේලි දිහා බලාගෙන.ඒ ගමන්ම දුරකථනය විසන්ධි කරපු ආදිත්‍ය දුරකථනය සාක්කුවට දාගත්තා.

"මේ...මං යන්නම්" අසේලි කිව්වේ පුලුවන් තරම් ආදිත්‍යගේ ඇස් මග ඇරලා

"කීයටද ඕක ඉවර වෙන්නේ?"

" දන්නේ නෑ.පාන්දර වේවි"

"හ්ම්ම්...ඉවර වෙලා බෝඩිමට යන්නේ කොහොමද?"

"නෙහාරා ඉන්නවා.තව යාලුවෝ ඉන්නවා"

"හ්ම්ම්...හරි එහෙනම් යන්න" ආදිත්‍ය කියද්දි අසේලි යන්න හැරුනා.ඒ හැරුනු අසේලි ආයෙත් ආදිත්‍ය දිහා බැලුවා.

"ඔයා කොහෙද යන්නේ?"

"මං කොල්ලුපිටියෙ යාලුවෙක්ගේ පාර්ටි එකක හිටියේ.එහේ යනවා.අවිශ්කත් ඉන්නවා"

"හා...පරිස්සමෙන් යන්න" එහෙම කියපු අසේලි ආයෙත් කැම්පස් පාර දිගේ යන්න ගියා.
මේ සිද්දිය මතක් වෙනවත් එක්කම එක්කම ආදිත්‍යට හිනාවක් ගියේ එයාට නොදැනීමයි.

"මොකද මොකද මේ තනියෙන් හිනා වෙන්නේ" ආදිත්‍ය දිහාවට හැරුණු අවිශ්ක අහද්දි ආදිත්‍ය බිම බලාගත්තා.

"ආව්..ආව්..මූණත් එක්ක රතු වෙලා.මොකක්ද මල්ලි වුනේ" අවිශ්ක ඒ සැරේ ඇහුවේ අසේලි දිහාත් බලන ගමන්.

"මොනවා වෙන්නද? පිස්සුද?" ආදිත්‍ය කිව්වේ අවිශ්කගෙන් මූණ හංගන ගමන්.

"ඔව් ඔව් අපට තමා පිස්සූ..බෑග් එක ගනින්.ට්‍රේන් එක එනවා කිව්වා" අවිශ්ක කිව්වේ බෑග් එකත් අරගෙන නැගිටින ගමන්.

"කිව්වද එනවා කියලා" ආදිත්‍ය ත් බෑග් එක අරන් නැගිටින ගමන් ඇහුවේ පුදුමෙන්.

"නැත්තම්...උඹට ඉතින් ඒවා ඇහේවිද.මනෝ ලෝකේනේ හිටියේ" අවිශ්ක කිව්වේ අසේලි දිහා බලලා ඉගි කරන ගමන්.

දුම්රිය ඇවිත් නවත්තන්නවත් එක්කම පිරිමි ලමයි ටික ඉක්මනින්ම දුම්රිය ට නැගගත්තේ වාඩි වෙන්න තැන් අල්ලගන්න හිතාගෙන.හිතුවා වගේම සෑහෙන සෙනගක් දුම්රිය ට හිටියා වුනත් කට්ටියටම ඇති වෙන තරමට එක ලග වාඩි වෙන්න ශීට් අල්ලගන්න පුලුවන් වුනා.ආදිත්‍ය ජනේලේ ලග ශීට් එකේ වාඩි වෙද්දි එයා ඉස්සරහින් විහාරායි අසේලියි වාඩි වුනා.බෑග් එකක් උඩට දාන්න ගියපු අවිශ්ක ටිකකින් ඇවිත් ආදිත්‍ය ලග වාඩි වෙනවත් එක්කම විහාරා එතනින් නැගිට්ටා.

"ඇයි?" අසේලි ඇහුවේ එක පාරටම එතනින් නැගිටපු විහාරා දිහා බලන ගමන්.

"නෙහාරා මෙතනට එන්නකෝ" අසේලි අහපු එක නෑහුනු ගානට විහාරා එහා පැත්තේ ශීට් එකේ වාඩි වෙලා හිටපු නෙහාරාට කිව්වා.එතකොටම අවිශ්ක එතනින් නැගිට්ටා.
"ඔයා ඉන්න.මං යන්නම්" අවිශ්ක එහෙම කිව්වත් විහාරා ඒක ගනන් ගත්තේ නෑ.නෙහාරා එතනට නැගිටලා එනවත් එක්කම විහාරා ගිහින් නෙහාරාගේ ශීට් එකෙන් වාඩි වුනා.ඒ නිසා අවිශ්කත් ආයෙම වාඩි වුනා.

ටික වෙලාවකින් දුම්රිය ගමන ආරම්භ වෙනවත් එක්කම කට්ටියම සිංදු කියන්න පටන් ගත්තා.ගෙනාපු කෑම ජාති කන ගමන් සිංදු කිය කිය යන ගමන හැමෝටම හරිම විනෝදජනක වුනා.නැගිටලා සිංදු කිය කිය ඉන්න අයගේ නිල ජායාරූප ශිල්පියා විදියට වැඩ කරේ ආදිත්‍ය.මෙහෙම හැමෝගෙම ජායාරූප ගත්ත ආදිත්‍ය එහේ මෙහේ බැලුවේ අසේලිව හොයන්න.කලින් විහාරා ලගට වෙලා සිංදු කියපු අසේලි පේන්න නැති නිසා ආදිත්‍ය වටපිට බැලුවා.

ජනේලේ ලග ශීට් එකක වාඩි වෙලා දුරකථනයෙන් කතා කරන අසේලිව දැකපු ආදිත්‍ය කැමරාව ඒ පැත්තට හරවලා අසේලිගේ ජායාරූප කීපයක්ම ගත්තා.ඊට පස්සේ ආදිත්‍යත් එතනින්ම වාඩි වුනා.

"ඉතින් ඔයා නංගිගෙන් අහන්න ඕනේ නම්.මං ආවේ කැම්පස් යාලුවෝ සෙට් එකක් එක්ක." අසේලි කියනවා ආදිත්‍යට ඇහුනා.

"ඉතින් ඔයා ගෙදර ඉන්න එපැයි ඔයාට කියන්න.බොරුවට කියවන්න එපා අයියේ.මං තාත්තට කියලා අවසර අරන් ආවේ.ඔයා තාත්තා නෙවෙයිනේ ඔච්චර කියවන්න"

"................................................."

"හරි හරි ඊලග සැරේ ලියුමක් ලියලා වැදලා අවසර අරන් එන්නම්කෝ මං.පුදුම වදයක්නේ අප්පා ඔයාගෙන්"

".............................................."

"අනේ මේ මං තියනවා.අහන්න ඕනේ දෙයක් තියෙනවා නම් ඔයා තාත්තාගෙන් අහගන්න මෙතන මට වද දෙන්නේ නැතුව."

"......................"

"බායි...බායි...බුදුසරණයි" අසේලි එහෙම කියන ගමන්ම දුරකථනය විසන්ධි කරලා ජනේලෙන් එලිය බලාගත්තේ තරහෙන්.කොච්චර ආදරේ වුනත් නිමන්ත මේ ඕනවට වඩා තමන් ගැන හොයන එකට අසේලිගේ කැමැත්තක් තිබුනේ නෑ.ඒකට විශේශම හේතුව වුනේ මේ හෙවිල්ල ලගකදි ඉදන් වැඩි වුනු එක.නිමන්තට තමන් ගැන සැකයි කියන එක අසේලිට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.

"මොනවද කල්පනා කරන්නේ" එක පාරටම තමන්ගේ එහා පැත්තෙන් ඇහුනු හඩට අසේලි ගැස්සිලා හැරිලා බැලුවා.

"මේ මං බය වුනා...මොනවා කරනවද මන්දා" ආදිත්‍යව දැකපු අසේලි කිව්වේ පපුවත් අල්ලගෙන.

"බය වෙන්න මං යකෙක්ද? මොනවද හිතුවේ?" ආදිත්‍ය ඇහුවේ ශීට් එකේ හරිබරි ගැහිලා වාඩි වෙන ගමන්.

"විශේශ දෙයක් නෑ" අසේලි කිව්වේ ශීට් එකෙන් නැගිටින්න හදන ගමන්.ඒත් ආදිත්‍ය අසේලිගේ අතින් අල්ලලා ආයෙත් වාඩි කෙරෙව්වා.

"ඉන්න ටිකක්"

"ඇයි...??" වාඩි වුනු අසේලි ඇහුවේ අමනාපයෙන් වගේ.

"ඇයි මාව මග ඇරලා යන්න හදන්නේ?"

"මගඇරියේ කව්ද? හැමෝම සිංදු කියනවා.එතනට යමු"

"එයාලා කියාගත්තදෙන්.අපි නෑ කියලා ඒක නවතින්නේ නෑනේ.මට කතා කරන්න දෙයක් තියෙනවා" ආදිත්‍ය ඒ සැරේ කිව්වේ බැරෑරුම් හඩකින්.

"ඒ මොකක්ද?"

" අර ඇත්තට එදා ඔයාගේ ෆෝන් එකට කතා කරේ කවුද?"

"මං දන්නේ නෑ අනේ..ඕකද ඔයාට කතා කරන්න තියෙන වැදගත් දේ"

"ඔව්...ඒක මට වැදගත් තමයි" ආදිත්‍ය තදින් කියද්දි අසේලි ශීට් එකට හේත්තු වුනා.

"හරි දැන් ඒ කොල්ලා මොකක්ද කිව්වේ?"

"ඔයත් එක්ක තියෙන සම්බන්දේ නවත්තන්න කිව්වා.කැම්පස් කෙල්ලට කැම්පස් එකෙන්ම ගොඩ යන්න දෙන්න කිව්වා"

"ඉතින් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" අසේලි කිව්වේ ටිකක් වෙලා ගිහින්

"වැරැද්ද මොකක්ද කියන්නේ.ඌ කොහොමද ඔයාගේ ෆෝන් එක ආන්සර් කරලා මට එහෙම කියන්නේ?" ආදිත්‍ය ඒ සැරේ ඇහුවේ සැරෙන්.

"එයා කියපු එක ගැන නෙවෙයි මං කියන්නේ.ඔයාට තරහ යන්න දෙයක් කියලා නෑනේ කියලා.අපි දෙන්නගේ ඇත්තට එහෙම සම්බන්දයක් නෑනේ නේද? ඉතින් ඇයි ඔයා කලබල වෙන්නේ"අසේලි එහෙම ඇහුවේ හොරෙන් ආදිත්‍ය දිහා බලන ගමන්.

"ආ....." අසේලි අහපු එකට ආදිත්‍ය අසේලි දිහා බැලුවේ පුදුමෙන්.

"නෑ...මං ඇහුවේ නෑ නේද කියලා අපි දෙන්නගේ සම්බන්දයක්?" අසේලි අහද්දි ආදිත්‍ය අසේලිගේ පැත්තට එබුනේ අසේලි ජනේලේ දිහාවට ඉබේටම තල්ලු වෙද්දි.

"නැද්ද? ආ...." මූණටම කිට්ටු වුනු ආදිත්‍ය අහද්දි අසේලි බලන් හිටියේ නිල් පාටට දිලිසෙන ඇස් දෙක දිහා.

*****************************************
රාජකාරි වැඩ පෞද්ගලික වැඩ ගොඩක් මැද්දේ හිර වෙලා සැරින් සැරේට අසනීප වෙන නිසයි ඊයේත් කතාව ගේන්න බැරි වුනේ.ඒත් හෙටයි අනිද්දයි දෙකේම කතාව ගේනවා.ඊලග නිවාඩු දවස් දෙක ඇත්තටම නිවාඩු ගන්නයි හිතන් ඉන්නේ 
ආදරෙන් ඉන්න ❤️

Tuesday, January 22, 2019

මන්දාරම් අහස යට - තිස් වන කොටස


නවක සහෝදරත්වය පිළිගන්න ජේශ්ඨ සහෝදරත්වය විශ්ව විද්‍යාලය ඇතුලෙම සුදානම් කරලා තිබුනු සාදය අසේලි ඇතුලු නවකයෝ හැමෝටම අලුත්ම අත්දැකීමක් වුනා.විදුලි බල්බ් දාපු ගස්,සරසපු ගොඩනැගිලි විතරක් නෙවෙයි මෙච්චර දවස් දකින දකින තැන රවපු ඔරවපු බැනපු ජේශ්ඨ උත්තමයෝ එක පාරටම හිනා වෙන අක්කලා අයියලා වුනේ කොහොමද කියලා නවකයෝ හිතුවේ පුදුමෙන්.එලිමහන් රංග පීඨයක තිබුනු පිළිගැනීමේ කතාවයි සින්දු නැටුම් ඉවර වෙද්දිම රෑ 8ත් පහු වෙලයි තිබ්බේ.

"බඩගිනියි බං.කන්න දෙන්නේ නැද්ද දන්නේ නෑ" නෙහාරා අසේලිගේ කණට මිමිණුවා.

"අනේ මන්දා..මටත් හොදටම බඩගිනියි" අසේලිත් නෙහාරාට කිව්වේ ඉස්සරහ සින්දු කියන අක්කලා අයියලා දිහා බලාගෙනමයි.

"හැබැයි හරි ලස්සනයි නේද?" නෙහාරා ආයෙත් අසේලිගෙන් අහද්දි අසේලිත් ඔලුව වැනුවා.

"මේවා කරන්න කොහෙන් වෙලාව හොයාගත්තද මන්දා.හවස අපේ ලෙක්චර්ස් ඉවර වෙද්දිත් මේ සැරසිලි තිබ්බේ නෑනේ"

" ගොඩක් අය ඉන්නවනේ...අපිව ලෑස්ති වෙන්න යවලා මේවා ලෑස්ති කරන්න ඇති" නෙහාරා කියද්දිම එතනට ආපු ලස්සනට ඇදගත්ත ගෑනු ලමයෙක් අසේලිලා එක්ක හොදට හිනා වුනා.

"නංගිලා...කන්න යමු.මල්ලිලා ඔයාලා කනකම් ඉන්නවා" ඒ ගෑනු ලමයා කිව්වේ අසේලිගේ අතකිනුත් අල්ලගෙන.

"හා..හා..." අසේලි එහෙම කිව්වේ එයාගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු නෙහාරා දිහා බලන ගමන්.

"යමු..." ඒ අක්කා කියද්දි අසේලි පුටුවෙන් නැගිටිනකොට දැක්කේ එයාගේ කණ්ඩායමේ අනිත් ගෑනු ලමයිනුත් පුටුවලින් නැගිටලා එන හැටි.

අසේලියි නෙහාරායිත් ඒ පොලිමටම එකතු වුනා.

"අම්මෝ..ඇති යන්තම් උඹලා කන්න ආවා.අපි මේ යකෙක් කන්න බඩගින්නේ හිටියේ" ජීවක එහෙම කිව්වේ නෙහාරාගේ පිටිපස්සෙන් පොලිමට එකතු වෙන ගමන්.

"ඉතින් ඔයාලා කන්න එපැයි" අසේලි පිටිපස්ස බලන ගමන් කිව්වේ ජීවකට.ඒ වෙද්දි ජීවකගේ පිටිපස්සෙන් නවක කණ්ඩායමේ පිරිමි ලමයි ඔක්කොම පෝලිම් හැදිලයි හිටියේ.

"ඉස්සර නම් එහෙම කනවා තමයි.ඒත් දැන් බෑනේ.සහෝදරියෝ කනකම් ඉන්න ඕනේලුනේ" එතන හිටපු ජනිශ කිව්වේ හැමෝම හිනස්සලා.

"මට බය අපි මේ දකින්නේ හීනයක්ද කියලා.කොමද හෙට උදේ වෙද්දි ආයෙත් මේ අක්කලා අයියලා සෙට් එක යක්සයෝ වගේ වෙලා තිබ්බොත්" ජීවක කිව්වේ පපුවත් අල්ලගෙන.

"ඌයි" ජීවක එක පාරටම එයාගෙම උරහිසින් අල්ලගත්තේ නෙහාරාට රවන ගමන්.

"ඔන්න හරි...මේක හීනයක් නෙවෙයි" නෙහාරා කියද්දි හැමෝම හිනා වුනා.

විහිලුවෙන්ම කෑම කාලා ඉවර කරපු කට්ටිය ඊලගට ගියේ උඩ තට්ටුවේ ලෑස්ති කරලා තිබුනු ඩීජේ එකට.

"මේ ෆෝන්,පර්ස් කොහෙද තියන්නේ" අසේලි ඇහුවේ පාට පාට විදුලි එළි ගොඩක් මැද්දේ හිටගෙන.

" අර අතන බංකුවක් තියෙනවා.ඒක උඩ අපි තිබ්බේ" කලින්ම එතනට ආපු බැචියෙක් කිව්වේ ඈත් තිබ්බ බංකුවක් පෙන්නලා.

"හා...මං යනවා මේක තියන්න.නෙහාරා වරෙන්කෝ" අසේලි නෙහාරාගේ අතින් ඇද්දත් නෙහාරාගේ ඇස් තිබුනේ පාර ලයිට් ගොඩක් මැද්දේ අලුත්ම හින්දි ගීතයකට නටන සෙනග දිහාවේ.

"ඔතනට යන්න මං මොකටද බං.ටක් ගාලා ගිහින් තියලා වරෙන්" නෙහාරා කිව්වේ සංගිතයේ තාලයට පැද්දෙන ගමන්.

"මට පර්ස් එකක් ගෙන්න කියලා,උඹලා ඔක්කොගෙම ෆෝන් එකට ඔබලා දැන් කියන ලස්සන විතරක්" අසේලි ඒ පැත්තට යන්න හැරුනේ නෙහාරාට බැන බැන.ඒත් සින්දුවේ තාලයට පැද්දෙමින් හිටපු නෙහාරාට ඒ මුකුත් ඇහුනේ නෑ.

බංකුව ලගට ගිහින් පර්ස් එක තියලා ආපහු එන්න හැරුනු අසේලි එතනම නැවතුනේ දරදඬු අතකින් එයාගේ අත අල්ලගත්ත බව දැනුනු නිසා.අසේලි කලබලෙන්ම හැරිලා බැලුවේ අත ගලවගන්න උත්සහ කරන ගමන්මයි.

"ගගන අයියා..." අසේලි පුදුමෙන් කිව්වේ අතින් අල්ලගෙන ඉන්න කෙනාව දැකලා.

"අදුරනවා නේද දැන්" එයාගේ බර කටහඩින්ම ගගන කිව්වේ අසේලිගේ අත අතාරින ගමන්.

"ඔව්..." ඇහෙන නැහෙන හඩින් එහෙම කියපු අසේලි වටපිට බැලුවේ නෙහාරා හරි වෙන බැචියෙක් හරි ඉන්නවද බලන්න.ඒත් ලග පාතක කිසිම කෙනෙක් හිටියේ නෑ.

"වටපිට බලන්නේ බයයිද මට" ගගන අහද්දි අසේලි ඔලුව වැනුවේ නෑ කියන්න.

" යාලුවෝ ටික නටන්න ගිහින් නේද?" ගගන ආයෙත් ඇහුවේ අසේලිගෙන් සද්දයක් නැති නිසා.

"ඕ..ඔව්...මාත් යන්නද?" අසේලි බයෙන් ඇහුවේ ඈත නටන නෙහාරාලා දිහාත් බලන ගමන්.

"ඊට කලින් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න" ගගන කියද්දි අසේලි ඔලුව උස්සලා පාට පාට එලි වැටුනු ගගනගේ මූණ දිහා බැලුවා.

"මොකක්ද?"

"අර එදා බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වේ එක්කෙනෙක්.ඇත්තටම බෝයි ෆ්‍රෙන්ඩ් ද? " ගගන අහද්දි අසේලි එයාගේ යටිතොල හපාගත්තා

"ඔව්.."

" මොනවද කරන්නේ කොල්ලා"

"ග්‍රැෆික් ඩිසයිනින්ග්"

"අහ්...ජොබ් එකක් කරනවද? ඉගෙන ගන්නවද? "  

"ජොබ් එකක් කරනවා.කොල්ලුපිටියෙ " 

අසේලි උත්තර දුන්නේ පුදුමෙන්.ගගන මේවා අහන්නේ මොකටද කියලා අසේලිට හිතාගන්නවත් බෑ"

" ගෙදරින් මේ ගැන දන්නවද?"

"නෑ" අසේලි කිව්වේ ඔලුවත් වනන ගමන්.

" හ්ම්ම්....හරි හරි යන්න ඕනේද නටන්න" ගගන ඇහුවේ අසේලි සැරින් සැරේ නෙහාරලා දිහා බලනවා දැකලා.

"ඕ...ඔව්"

"හරි යන්න එහෙනම්" ගගන එහෙම කියපු ගමන් අසේලි හැරුනේ පුලුවන් ඉක්මනින් එතනින් යන්න හිතාගෙන.

"අසේලි...." ගගන ආයෙත් කතා කරනවා ඇහුනු අසේලි පිටිපස්ස හැරිලා බැලුවා.

"අද ලස්සනයි සාරියට" ගගන කිව්වේ අසේලි දිහාම බලාගෙන.ඒ බැල්මට අසේලිට දැනුනේ කලින් නොදැනුනු ලැජ්ජාවක්.

"තෑන්ක්ස්" මහ ඝෝශාව මැද්දේ තමන්වත් නෑහෙන හඩකින් ස්තූති කරපු අසේලි ඉක්මනින්ම නෙහාරලා ලගට දුවගෙන ගියා.

වේග රිද්මයේ සිංදු වලට කට්ටියත් එක්කම නටන්න ගත්ත අසේලිට ගගනව අමතක වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

"අසේලි...." කණ ලගින්ම ඇහුනු කටහඩ නිසා නැටුම ටිකකට නවත්තපු අසේලි ඔලුව හරවලා බැලුවා.එයා ලගම හිටගෙන හිටපු දෙනුවන් අසේලිට එලියට එන්න කියලා අතින් පෙන්නන ගමන් එලියට ගියා.අසේලිත් දෙනුවන් පිටිපස්සෙන්ම බැල්කනියට ගියා.

"කෝ ෆෝන් එක" දෙනුවන් ඇහුවේ තමන්ගේ පිටිපස්සේන් ආපු අසේලිගෙන්.

"අරහේ තිබ්බා.ඇයි" අසේලි ඇහුවේ මේ මුකුත් තේරුම් ගන්න බැරුව.

"මේ ආදිත්‍ය අයියා කෝල් කරා ඔයා කොහෙද අහන්න"

" ආදිත්‍ය මේ මහ රෑ කෝල් කරාද?" අසේලි ඇහුවේ පුදුමෙන්.ඒ වෙද්දි වෙලාව රෑ 10ත් පහු වෙලයි තිබ්බේ.

" ඔව්...කෝල් එකක් දෙන්න.එයා කලබලෙන් හිටියේ.ඔයාගේ ෆෝන් ඔෆ් කිව්වා"

"මගේ ෆෝන් එක ඔෆ් නෑනේ.ඉන්න මං බලලා ගන්නම්.තෑන්ක්ස් දෙනුවන්" අසේලි කිව්වේ එයාගේ පර්ස් එක තියපු බංකුව ලගට යන්න හැරෙන ගමන්.

පර්ස් එකෙන් දුරකථනය  ගත්ත අසේලි බැල්කනියට ආවේ දුරකථනය පණ ගන්වන ගමන්.

'මේකේ බැට්‍රිත් තිබ්බනේ.ඇයි දන්නේ නෑ ඔෆ් වුනේ' අසේලි කල්පනා කරේ පුදුමෙන්.

දුරකථනය පණ ගන්වපු අසේලි ආදිත්‍ය ට දුරකථන ඇමතුමක් ගන්න සූදානම් වෙද්දිම ආදිත්‍ය ගෙන් දුරකථන ඇමතුමක් බව තිරයේ සටහන් වුනා.

"හෙලෝ" අසේලි ඉක්මනින්ම ඇමතුමට පිළිතුරු දුන්නා.

"හෙලෝ...කොහෙද ඉන්නේ" ආදිත්‍ය ඇහුවේ කලබලෙන්.

"කැම්පස් එකේ.අද අපේ සෝශල් එකනේ.ඇයි මේ ඔයා මේ වෙලාවේ"

" ඇයි ඇයි අහන්නේ....මං කී සැරයක් කෝල් කරාද? ඔයා හොදින් නේද? කොහෙද ෆෝන් එක තිබ්බේ.ඇයි ඕෆ් කරේ ෆෝන් එක?" ආදිත්‍ය එක දිගටම ප්‍රශ්න අහද්දි අසේලිට දැනුනේ අමුත්තක්.

"ආදිත්‍ය ඇයි? මොකක්ද ප්‍රශ්නේ?"

"ඔයා කොහෙද ඉන්නේ? එලියට එන්න පුලුවන්ද?"

"එලියට කියන්නේ? ඇයි? ඔයා කොහෙද ඉන්නේ?"ආදිත්‍යගේ මේ වෙනසත් එක්ක හිතට දැනුනු බයක් නිසා අසේලි ඇහුවේ කලබලෙන්.

"මං කැම්පස් ගේට් එක ලග.එනවද එතනට"

"ඔයා...ඔයා මොනවද එතන කරන්නේ?" අසේලි ඇහුවේ පුදුමෙන්.

" එන්න පුලුවන්ද?" ඒ සැරේ ආදිත්‍ය ගේ කටහඩේ දුර්වලතාව අසේලිටත් දැනුනා.

"මං එන්නම්...මං එන්නම්..ඔහොම්ම ඉන්න" එහෙම කියපු අසේලි කලබලේට පහළට දුවගෙන ගියා.

විශ්ව විද්‍යාල දොරටුව ලගට යන්න තරමක දුරක් තිබුනත් පාර සරසලා තිබුනු නිසාත් ඒ වෙද්දිත් දෙතුන් දෙනා පාරේ ඇවිද ඇවිද හිටපු නිසාත් අසේලිට රෑ වුනත් පාලුවක් දැනුනේ නෑ.
දොරටුව ලගට කිට්ටු වෙද්දි අසේලි දැක්කේ දොරටුව කිට්ටුව එහෙට මෙහෙට ඇවිදින ආදිත්‍යව.කලු කලිසමට රතු කොටු අත් දිග ශර්ට් එක ඇදලා වැලමිට ගාවට අත නවලා හිටපු ආදිත්‍යගේ අද තිබුනේ අසේලි වෙනදට දැක්කට වඩා වෙනස් පෙනුමක්.ඒත් අසේලිගේ ඇස් ගියේ ආදිත්‍යගේ නොසන්සුන් මූණට.එක පාරටම අසේලි එන දිහාව බලපු ආදිත්‍ය එතනට නැවතුනේ අසේලිව දැකලා.

ඉක්මන් ගමනින් ආපු අසේලි නැවතුනේ ආදිත්‍ය ලග.

"ඇයි මේ?" අසේලි ඇහුවේ හෙමින් හෙමින් හති අරින ගමන්.

" හති ද?" ආදිත්‍ය ඇහුවේ එයාගේ සාක්කුවෙන් ගත්ත ලේන්සුවක් අසේලිගේ අතට දෙන ගමන්.ලේන්සුව ගත්ත අසේලි ආදිත්‍ය දිහා හොදට බැලුවා.

"ඔයා මේ එන්න කිව්වේ ලේන්සුව දෙන්න නෙවෙයිනේ.ඇයි ආදිත්‍ය.මොකක්ද ප්‍රශ්නේ" අසේලි ඇහුවේ කෙලින්ම ආදිත්‍ය ගේ මූණ දිහා බලාගෙන.අසේලි ඒ ප්‍රශ්නේ අහද්දිම ආදිත්‍යගේ මූණ වෙනස් වුනා.

"කවුද ඒ කොල්ලා" ආදිත්‍ය ඇහුවේ ටිකක් වෙලා අසේලි දිහාම බලන් ඉදලා.

"මොන කොල්ලද?"

"ඔයාගේ ෆෝන් එකට කතා කරපු කොල්ලා"

"මගේ ෆෝන් එකට කවුරු කතා කරන්නද?" අසේලි ඒ සැරේ ඇහුවේ පුදුමෙන්

"ඒකට කමක් නෑ.මට ඇත්ත කියන්න.කවුද ඒ?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ ඔලුවත් දෙපැත්තට වනන ගමන්.

"කවුරු ගැනද කියන්නේ? මට තේරෙන්නේ නෑ"

"අසේලි....මගේ ඉවසීම පරික්ශා කරන්න එපා.කවුද කියනවා ඒ කොල්ලා" ආදිත්‍ය ඒ සැරේ කිව්වේ තරහෙන්.

"මේ මහ රෑ මට මෙතනට එන්න කියලා මොන මගුලක් කියවනවද මන්දා.මං යනවා යන්න" අසේලි ආපහු යන්න හැරුනේ තරහෙන්.

එතකොටම ආදිත්‍ය අසේලිගේ බාහුවෙන් ඇදලා තමන් ලගට ගත්තා.ආදිත්‍යගේ එක අතක් අසේලිගේ ඉණ වටේ යද්දි අසේලි ආදිත්‍යගේ පපුවට හේත්තු වුනා.

" ආදිත්‍ය....අතාරින්න.." අසේලි කිව්වේ කෙදිරිලි හඩකින්.

"අතාරින්නම්.කොල්ලා කවුද කිව්වොත්"

"මොන කොල්ලෙක් ගැනද අහන්නේ? මං දන්නේ නෑ.මං නෙහාරලා එක්ක නට නට හිටියේ.දෙනුවන් තමයි ඇවිත් කිව්වේ ඔයාගෙන් කෝල් එකක් කියලා.ඒ කියද්දිත් මගේ ෆෝන් ඔෆ්.කොහොම ඔෆ් වුනාද දන්නේ නෑ" අසේලි කියන විස්තරේ ආදිත්‍ය අහගෙන හිටියේ බොහොම ඉවසීමෙන්.

"හ්ම්ම්..හරි හරි.."එහෙම කියන ගමන් ආදිත්‍ය අසේලිගේ මූණට එබුනා.

"ඇයි මේ...මාව අතාරින්න" ආදිත්‍ය ගේ ක්‍රියාවෙන් කලබල වුනු අසේලි කිව්වේ ආදිත්‍යගෙන් ඈත් වෙන්න උත්සහ කරන ගමන්.ඒත් එක්කම මහා හුලගක් හමාගෙන ගියේ අසේලිගේ කොණ්ඩේත් අවුල් කරගෙන.

අසේලිගේ බාහුව අල්ලගෙන හිටපු අත අතෑරපු ආදිත්‍ය ඒ අතින් අසේලිගේ මූණ පුරා වැටුනු කෙස් කෑලි අයින් කරේ අසේලිගේ මුලු ඇගම හිරිවට්ටලා.ආදිත්‍යගේ ඇගිලි මූණ පුරා යද්දි අසේලි ඇස් පියාගත්තා.මූණෙන් කොණ්ඩේ අයින් කරපු ආදිත්‍යගේ ඇස් ගියේ රෝස පාට තොල් ආලේපන ගාපු අසේලිගේ දෙතොල් වලට.ඒ දිහා ටිකක් බලන් හිටපු ආදිත්‍ය අසේලි දිහාවට කිට්ටු වුනා.

"අද හරි ලස්සනයි" ආදිත්‍ය හෙමීට අසේලිගේ කණට මිමිණුවා.

******************************************
හෙට නම් නැතෝ....අනිද්දා එන්නම් 

ආදරෙන් ඉන්න ❤️

Monday, January 21, 2019

මන්දාරම් අහස යට - විසි නම වන කොටස


ආදිත්‍යට අවිශ්කගෙන් දුරකථනය ඇමතුමක් ලැබුනේ කාර්‍යාලයේ වැඩ කරන අතරෙදි.

"හෙලෝ..." ආදිත්‍ය දුරකථනයට පිළිතුරු දුන්නේ පරිඝනක තිරය දිහා බලාගෙනමයි.

"හෙලෝ ආදි ඔෆිස් එකේද?"

"ඔව්..ඇයි"

"හවස වැඩක් දාගෙනද ඉන්නේ?"

" නෑ....කෙලින්ම ගෙදර එන්න හිතන් ඉන්නේ"
"ආ....එහෙනම් එන්න එපා"

"ඒ මොකද?"

" උඹ මිගාර දන්නවනේ...මිගාරයගේ කෙල්ලගේ බර්ත්ඩේ පාර්ටි එක කියලා අපටත් එන්න කිව්වා"

" අහ් මිගාරගේ මල්ලිව මට උදේ හම්බුනා"

" දෙනුවන්? ඒ කොහෙදිද?"

" උදේ ස්ටේශන් එකේදි.කැම්පස් යන ගමන්"

"හා...හරි හරි උඹ එනවා නේද?"

"කොහෙද තියෙන්නේ? මට හෙට වැඩට එන්නත් ඕනේ බං"

" වැල්ලවත්තේ රිසෝර්ට් එකක.මිගාර කිව්වා පාර්ටි එක ඉවර වෙලා උගේ නැන්දලාගේ ගෙදර නවතින්න කියලා.නැන්දලගේ ගෙදර තියෙන්නෙත් කොල්ලුපිටියෙ.ලේසිනේ උඹටත්" අවිශ්ක කියපු ඔක්කොම අහගෙන හිටපු ආදිත්‍ය පුටුවට හේත්තු වුනා.

එක දිගට ගෙවුනු ඒකාකාරී ජිවිතෙන් මිදෙන්න ආදිත්‍යටත් උවමනා වෙලා තිබුනේ.

"හරි මං එන්නම්.ලොකු අප්පච්චිට කිව්වද?"

"ඔව්..මිගාරගේ තාත්තා අප්පච්චි ගේ යාලුවෙක්.ඒ නිසා ශේප්"

"මේ අවියා....මට ඇදුමක්වත් නෑ හැබැයි.උඹ එනකොට ගේනවද?"

"හරි හරි...මං මොනවා හරි ගෙන්නම් බලලා"

"හෙට ඔෆිස් එකටත් ශර්ට් එකක් අරන් වරෙන්"

"හරි බං යකෝ..මං ගෙන්නම්"

"හරි එහෙනම් මං තිබ්බා.අපි වැඩ උඹලා වැඩ නැති වුනාට"

"අපටත් වැඩ තමා යකෝ උඹලා වගේ කියව කියව නොගියට" අවිශ්ක කියද්දි ආදිත්‍යට හිනා ගියා.

" මේ...අවියා අපේ ඔෆිස් එකට වරෙන් හවසට.මෙහෙන් චේන්ජ් කරගෙන යමු"

"මාත් එහෙම තමයි හිතුවේ.5 වෙද්දි මං ඔෆිස් එක ලගට එන්නම්"

"ඇවිත් රින්ග් කරපන්"

"හරි මචන්.එහෙනම් අපි තිබ්බා.උඹේ මහ ලොකු වැඩ ටික කරගනින්" අවිශ්ක එහෙම කියලා දුරකථනය විසන්ධි කරා.

කතා වුනු විදියටම අවිශ්කයි ආදිත්‍යයි හවස සාදයට යන්න පිටත් වුනේ ආදිත්‍ය ගේ කාර්‍යාලයෙන් ඇදුම් මාරු කරගෙන.එයාලා එතනට යද්දිත් සාදය ආරම්භ වෙලා තිබුනේ.

"ඒයි වරෙල්ලා සෙල්ෆියක්  ගන්න" සාදයේ හිටපු මිතුරෙක් කෑගැහුවේ එතන හිටපු අයට දුරකථනය පෙන්නන ගමන්.හැමෝම එතනට එකතු වුනේ ජායාරූප ගන්න.

"මේ මගේ එකෙනුත් ගනින්.මට මේක එෆ් බී දාන්න ඕනේ" අවිශ්ක කිව්වේ දුරකථනය තවත් මිතුරෙක්ට දෙන ගමන්.

එක එක විදියට ගත්ත ජායාරූප ගොඩකින් පස්සේ ආදිත්‍ය යි අවිශ්කයි බියර් වීදුරු දෙකකුත් අරගෙන තවත් යාලුවෝ කණ්ඩායමක් අතරින් වාඩි වුනා.හැමෝම එක එක දේවල් කතා කරන අතරේ අවිශ්ක කාර්‍යබහුල වෙලා හිටියේ ගත්ත ජායාරූප ටික මුහුණු පොතට දාන ගමන්.ඒ අතරේ ආදිත්‍ය මිගාරාගේ සාදයේදි හමුවුනු මිතුරන් දෙන්නෙක් එක්ක කතාවක හිටියේ අලුතෙන්ම වෙළදපොළට නිකුත් වුනු වීඩීයෝ ගේම් එකක් ගැන.

" ඒයි මේ බලපන්..." අවිශ්ක එක පාරටම ආදිත්‍යට ට කතා කරා.

"මොකක්ද?" ආදිත්‍ය ඇහුවේ අවිශ්ක ගේ දුරකථනය ට එබෙන ගමන්.

"මේ අදුරනවද බලපන්" අවිශ්ක කිව්වේ දුරකථනය ආදිත්‍යගේ අතටම දෙන ගමන්.

"මේ කෙල්ලෝ සෙට් එකක්නේ.." ආදිත්‍ය කිව්වේ අවිශ්ක පෙන්නපු ජායාරූපය දිහා බලන ගමන්.

"ඔව්...ඕකේ කහයි කලුයි සාරි එක දිහා බලපන් අදුරනවද කියලා" අවිශ්ක කියද්දි ආදිත්‍ය ආයෙත් හොදට ඒ දිහා බැලුවා.

"මේ...මේ...අසේලි" ආදිත්‍ය කිව්වේ ජායාරූප ය දිහා බලාගෙනමයි

"ඔව්...ලස්සනයි නේද?"

"හ්ම්ම්ම්..." ආදිත්‍ය කිව්වේ ඒ දිහාම බලාගෙන.

"කෝ දීපන් දීපන් ඕක මගේ ෆෝන් එක ගිලින්නේ නැතුව" අවිශ්ක දුරකථනය ආදිත්‍ය ගේ අතින් ගන්න හැදුවත් ආදිත්‍ය ඉඩ දුන්නේ නෑ.

"හිටපන් ටිකක්.මේ කොහෙද මේ...university of colombo කියලා තියෙන්නේ.මේ ඩේට් එකත් අද" ආදිත්‍ය කිව්වේ කල්පනා කරන ගමන්.

"ඔව් ඔව් මේ දැන් දාලා තියෙන්නේ.අද සෝශල් එකලු.මේ තියෙන්නේ දාලා" අවිශ්ක කිව්වේ ජායාරූපෙත් එක්ක තියෙන විස්‍තරේ කියවලා.

"ආ...." ටිකක් වෙලා එහෙම්ම දුරකථනය දිහා බලන් හිටපු ආදිත්‍ය අවිශ්ක ගේ දුරකථනය එයාටම ආයේ දෙන ගමන් පුටුවෙන් නැගිට්ටා.

උඹ කොහේ යන්නද?"

"කෝල් එකක් අරන් එන්නම්.මෙතන සද්දේ වැඩියි" ආදිත්‍ය කිව්වේ දුරකථනය අරන් බැල්කනිය දිහාවට යන ගමන්.

මුහුදට මූණ දාලා හදලා තිබ්බ හෝටලයේ බැල්කනිය මුහුදු හුළං වලින් පිරිලා.වටේම දාපු විදුලි ආලෝකයෙන් මුහුද යාන්තමට පේනවා.මුහුද දිහා බලාගෙනම ආදිත්‍ය අසේලිට දුරකථන ඇමතුමක් ගත්තා.

කීප වතාවක්ම නාද වුනත් අසේලි දුරකථනය ට පිළිතුරු දුන්නේ නෑ.නාද වෙන්න ඔන්න මෙන්න තියලා දුරකථනය ට පිළිතුරු දුන්නා.ඒත් ඒ අසේලි නෙවෙයි.

"හෙලෝ.." දුරකථනයේ අනිත් පැත්තෙන් ඇහුනු ගැඹුරු පිරිමි කටහඩ ආදිත්‍ය ව පුදුම කරා.

"හෙලෝ...මේ අසේලිගේ ෆෝන් එක නේද?" දුරකථන තිරය දිහාත් එක පාරක් බලපු ආදිත්‍ය ඇහුවේ සැක සිතින්.

"ඔව්...මේ කවුද කතා කරන්නේ"

"මං අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.කෝ අසේලි?" මේ සැරේ නම් ආදිත්‍ය ඇහුවේ නොඉවසිල්ලෙන්.අසේලිගේ දුරකථනය තියාගෙන ඉන්න මේ මිනිහා කවුද කියලා දැනගන්න කොච්චර උවමනාව තිබ්බත් ආදිත්‍ය ට මුලින් දැනගන්න ඕනේ වුනේ අසේලි කොහෙද කියලා.

"ආ...අසේලි ඩාන්සින් ෆ්ලෝර් එකේ"

"එතකොට මේ කතා කරන්නේ කවුද?"

"මං අසේලිගේ මෙහේ වෙන්ඩ බෝයි ෆ්‍රෙන්ඩ්" ඒ පිරිමි කටහඩ සරදම් හඩකින් කියද්දි ආදිත්‍ය ගේ අතමිට මෙළවුනා.

"මොකක්ද තමුසේ කිව්වේ" ආදිත්‍ය ඇහුවේ දත්මිටි කන ගමන්.

"මං මේ කියන්නේ බොහොම හොදින් සහෝදරයා.කෙල්ල දැන් කැම්පස්.කැම්පස් එකෙන්මන් ගොඩ යන්න දෙනවා කෙල්ලට"

"මොනවද මේ කියවන්නේ.තමුසෙගේ ඔලුව හොද නැද්ද? දෙනවා අසේලිට ෆෝන් එක" ආදිත්‍ය දුරකථනයෙන්ම කෑගැහුවා.

ඒත් ආදිත්‍ය ගේ ප්‍රශ්නෙට පිළිතුරක් නොදීම අසේලිගේ දුරකථනය විසන්ධි වුනා.ආදිත්‍ය ඊට පස්සේ කීප පාරක්ම අසේලිගේ දුරකථනය ට ඇමතුම් ගන්න උත්සහ කරත් දුරකථනය ක්‍රියා විරහිත කරලා දාලා තිබුනේ.

'මේ කෙල්ල මොන මගුලක යනවද මන්දා' ආදිත්‍ය බැල්කනියේ එහෙට මෙහෙට ඇවිද්දා.

'කවුද ඒ කොල්ලා...එදා හිටපු කොල්ලද..දැන් 9යි වෙලාව.මොනවා කරනවද මෙච්චර වෙලා' ආදුත්‍ය කල්පනා කරේ බැල්කනි බැම්මටත් අත තියාගෙන.

"මං යනවා...මං යනවා එහෙට" ආදිත්‍ය එහෙම කියාගෙනම හැරෙද්දිම දැක්කේ මිතුරන් කණ්ඩායමක් එක්ක ඉන්න මිගාරාව.ආදිත්‍ය කෙලින්ම එතනට ගියා.

"එක්ස්කියුස් මී...මිගාර..මේ උඹලාගේ මල්ලි දෙනුවන් ලගේ අද සෝශල් එක නේද?" ආදිත්‍ය අහද්දි මිගාර ඒ දිහා බැලුවේ පුදුමෙන්.

"අඩෝ..උඹ කොහොමද දන්නේ?"

"ඒකෙන් වැඩක් නෑ.මට කියපන් කොහෙද තියෙන්නේ කියලා ඒක"

" කැම්පස් එකේම කියලා තමයි කිව්වේ" මිගාර කිව්වෙ ආදිත්‍ය දිහා පුදුමෙන් බලන ගමන්.

"මට දෙනුවන් ගේ නම්බර් එක දීපන්"

" මං එවන්නම්.ඒත් ඇයි?"

"එවපන්කො.මට පොඩි දෙයක් දැනගන්න"

"හරි හරි..මං එවන්නම්" මිගාර කිව්වේ දුරකථනය එලියට ගන්න ගමන්.

"හරි මචන් නම්බර් එක ආවා.තැන්ක් යූ.මේ මං පොඩ්ඩක් එලියට යනවා.අවියට කියපන් හොදෙ" එහෙම කියපු ආදිත්‍ය කලබලෙන් එලියට ගියේ මිගාර පුදුමෙන් බලන් ඉද්දි.

**************************************
අද කොටස ටිකක් කොට කරන්න වුනා ලමයි ඊලග කොටස දිග නිසා.එකටම දාන්න තරම් දිග වැඩියි.අද හවස ඊලගට කොටස දානවා.


ආදරෙන් ඉන්න ❤️

Saturday, January 19, 2019

මන්දාරම් අහස යට - විසි අට වන කොටස


අසේලි උදේ විශ්ව විද්‍යාලයට එද්දි උදේ දේශනේ පටන් අරගෙනයි තිබුනේ.ඒ නිසා අසේලි පුස්තකාලය පැත්තට යන්න පිටත් වුනා.පුස්තකාලෙට යන අතරතුරේදි අසේලිට මතක් වුනේ ආදිත්‍ය එක්ක දුම්රියේදි වෙච්ච කතා බහ. 
"ඇයි ඔයා නිතරම මං ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ" අසේලි ඇහුවේ දවස් ගානක් තිස්සේ හිතේ තිබ්බ ප්‍රශ්නයක්. 
"ම්ම්ම්....අපි එහෙම කතා වුනානේ නේද?" ආදිත්‍ය කිව්වේ එයා ලගම හිටගෙන හිටපු අසේලි දිහා බලන ගමන්. 
"කොයි වෙලාවෙද?" ඇස් පුංචි කරලා ආදිත්‍ය දිහා බලන ගමන් අසේලි ඇහුවේ පුදුමෙන්.
"ඇයි ඔයා කෝල් කරලා කිව්වේ වැඩේට කැමතියි කියලා" 
"ඉතින් ඒ කිව්වේ පැයකටනේ" 
" පැයකට කිව්වට තාම ඒ පැය ආවේ නෑනේ" 
"ආවේ නෑ කියන්නේ? පැයයි නම් පැයයි.වැඩේ කෙරෙන්න කතා වුනේ එහෙමනේ" අසේලි ඒ සැරේ ටිකක් හයියෙන් කිව්වේ ආදිත්‍ය කියන දේ නොතේරෙන නිසා. 
"ශ්ශ්.....හෙමින් හෙමින්...මිනිස්සු බලනවා" ආදිත්‍ය වටේ බලන ගමන් අසේලිට රහසින් කිව්වා. 
"ඉතින්? මං වැරදි දෙයක් යැ කිව්වේ" 
" වැරදි දෙයක්ද කිව්වේ? පැයකට වැඩේ කෙරෙන්න ඕනේ කියලා තව ටිකක් හයියෙන් කියන්නකෝ බලන්න" ආදිත්‍ය කියද්දි අසේලිගේ ඇස් ලොකු වුනා. 
"ආ...යන්තම් තේරුනාද දැන්.මහ මෝඩියෙක් එක්කනේ මං මේ කතා කරන්නේ" ආදිත්‍ය කිව්වේ අසේලි ඇස් ලොකු කරගත්ත විදිය දැකලා. 
" ඉතින් කව්ද අනේ ඔහොම එකක් දන්නේ" අසේලි ආදිත්‍යට හෙමීට කිව්වේ වටේ මිනිස්සු දිහාත් බලන ගමන්. 
" කෝ ඉතින් ඔයා උත්තර දුන්නේ නෑනේ" අසේලි ආයෙත් ආදිත්‍ය දිහා බලලා රහසින් ඇහුවේ ආදිත්‍යගෙන් සද්දයක් නැති නිසා.අසේලි එක රහසින් අහද්දි ආදිත්‍යට හිනා ගියා. 
"මොකක්ද ප්‍රශ්නේ ඉතින්?" ආදිත්‍යත් රහසින්ම කෙදිරුවා. 
"ඇයි ඔයා මං ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ" අසේලි අහද්දි ආදිත්‍ය හිනා වුනා. 
" මේ වෙලාවේ ඒක අපි දෙන්නටම හොද නිසා.මට අර ගෑනු ලමයට පේන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕනේ.ඔයාටත් මේ වෙලවේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක හොදයිනේ..ඔයාව කොල්ලොන්ගෙන් බේරගන්න" ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහන ගමන්. 
"මාව මොකටද කාගෙන්වත් බේරන්නේ" අසේලි අමනාපෙන් කියද්දි ආදිත්‍ය අසේලිගේ මූණට එබුනා. 
"ඒකත් ඇත්ත තමයි.මං ඉන්නකොට කොල්ලෙක්වත් බලන්නේ නැතුව ඇති නේ..එහෙනම් දෙනුවන්ලට කියමු මං බොරු කිව්වේ කියලා" 
"නෑ...ඉතින් දැන් එහෙම කියන්න ඕනේ නෑ.එහෙම හරි නෑනේ...මුලින් ඔව් කියලා පස්සේ නෑ කියන එක" 
"අන්න ඒකමයි මාත් කියන්නේ..."
"මොකක්ද?" 
"මුලින් ඔව් කියලා පස්සේ නෑ කියන්න හොද නෑ" 
" ඉතින් එහෙම කියලා මේක හැමදාම කරන්නද?" 
"මොකක් කරන්නද? මං ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වා මිසක් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කරන දේවල් වලින් දශමයක් ඔයා එක්ක කරලා තියෙනවද? නෑනේ...අඩු ගානේ නිකමට අතින් අල්ලලා තියෙනවද? නෑනේ" ආදිත්‍ය කියද්දි අසේලි අහන් හිටියේ කටත් ඇරගෙන. 
"මෙයා මේ මොනවා කියවනවද මන්දා..මේ මං ඕවා දන්නේ නෑ.ආයේ එහෙම මගේ යාලුවන්ට කියන්න එපා ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා" අසේලි ඒ ටික කිව්වේ ටිකක් තදින්. 
"හරි හරි...මං කියන්නේ නෑ.ඔයාම කියන්න" ආදිත්‍ය ඒ ටික කිව්වේ හෙමීට. 
"මොකක්ද කිව්වේ" 
"මුකුත් නෑ මුකුත් නෑ.මේ අතන එක්කෙනෙක් බහින්න හදන්නේ වාඩි වෙන්න." එහෙම කියපු ආදිත්‍ය අසේලිට වාඩි වෙන්න තැනකුත් හොයලා දීලා එනකම්ම ලගට වෙලා හිටගෙන ආපු හැටි මතක් වුනු අසේලිට තනියම හිනා ගියා. 
පුස්තකාලෙට ආපු අසේලි බලන් හිටියේ උදේ දේශනේ ඉවර වෙලා නෙහාරා පුස්තකාලෙට එනකම්.දේශනේ ඉවර වුනත් නෙහාරා පුස්තකාලෙට එන්න පරක්කු වුනු නිසා අසේලි පුස්තකාලෙන් එලියට බැස්සා.එතකොටම තමයි නෙහාරාත් එතනට ආවේ. 
"අනේ සොරි සොරි ටිකක් පරක්කු වුනා" නෙහාරා එහෙම කියාගෙනමයි අසේලිගේ අතින් අල්ලගත්තේ. 
"මොනාද මෙච්චර වෙලා කරේ?" 
" ටියුට් වගයක් බෙදුවා අනේ.අද ශාලිනි නෑ.ඒ පාර ඒක මට සෙට් වුනා " 
"හරි හරි.අද කොහෙද ප්‍රැක්ටිකල් තියෙනවා කිව්වේ" 
" උඩ තට්ටුවේ ලැබ් එකේ.තව පැය භාගයක්ම තියෙනවා.හෙමීට යමු" නෙහාරා කිව්වේ අසේලි එක්කම පාරට බහින ගමන්. 
විශ්ව විද්‍යාල ප්‍රධාන පාරේ එනකම්ම දෙන්නා අතරේ කිසිම කතාවක් නොවුනේ මග දිගටම ජේශ්ඨයෝ හම්බුනු නිසා.විද්‍යාගාරේ ගොඩනැගිල්ලට යන පාරට ආවට පස්සේ තමයි දෙන්නටම සැනසීමක් දැනුනේ. 
" අම්මෝ...ඇති යන්තම් මග නවතින් නැතුව ආවා" නෙහාරා කිව්වේ හුස්මක් හෙලන ගමන්. 
"ඔව් මාත් හිතුවා  නවත්තලා යන්නේ කොහෙද අහවි කියලා.ඒත් ඇහුවේ නෑනේ.ලොකු දෙයක්" අසේලිත් කිව්වා. 
"කොහොමත් දැන් අද රෑ සෝශල් එක දෙනවනේ.ඊට පස්සේ රැග් එක ඉවරයිනේ" 
"ශුවර්ද අද දෙනවා කියලා" අසේලි නම් ඇහුවේ සැකෙන්. 
"ඔව් ඔව් මේ සැරේ ශුවර්ම ශුවර්.උඹ සාරියක් ගෙනාවනේ" 
"ඔව් ගෙනාවා.ඒත් අදින්නේ කොහෙදිද? බලමුකෝ.අනිත් උන් අදින තැනක අපිත් අදිමු.ශා....හෙට ඉදන් නිදහසේ යන්න එන්න පුලුවන්.කොච්චර ශෝක් ද?" නෙහාරා හිනා වෙවී කියද්දි අසේලිත් හිනා වුනා. 
"ඇයි කැමති ඇදුමක් අදින්නත් පුලුවන්නේ" 
"ඒක තමයි.මේ ඇහුවද ට්‍රිප් එක ගැන ගෙදරින්.මොකද කිව්වේ" 
" යන්න කිව්වා.ඔයා යන නිසා හොදේ හා කිව්වේ.ඔන්න එන්නේ නෑ කියන්න එපා.මටත් යන්න වෙන්නේ නෑ ඒ පාර" 
" මං එනවා බං.විහාරාත් එනවා කිව්වනේ නේද? අපට මාර ෆන් එකක් ගන්න පුලුවන්" නෙහාරා කියද්දි අසේලි ඔලුව වැනුවා. 
"විහාරා නම් ඒවිද දන්නේ නෑ බං" 
"ඇයි ඒ? ඔයා ගෙදරදි මං කොල් කරාම කිව්වේ එනවා කියලා" 
" ඔව් එතකොට එන්න තමා හිටියේ.ඒත් අවිශ්කත් එනවලුනේ.ඒ නිසා විහාරා ඒවිද දන්නේ නෑ" 
"අවිශ්ක? එයා කොහෙන්ද සෙට් වුනේ" නෙහාරා පුදුමෙන් අහද්දි අසේලි උදේ දුම්රිය ස්ථානයේදි වෙච්ච කතා බහ විස්තර කරා. 
"ඒ කියන්නේ ආදිත්‍යත් එනවා" නෙහාරා කිව්වේ කල්පනා කරන ගමන්. 
"හ්ම්ම්..." 
"උඹට හොදටම විශ්වාසයි ද උඹලගේ එහෙම සම්බදයක් නෑ.මේ බොරුවක් කරන්නේ කියලා" 
"ඇයි එහෙම අහන්නේ.එහෙම දෙයක් නෑ අපේ" 
" නෑ....උඹලා ඔය කතා කරන වෙලාවක ඌ එහෙම දෙයක් ජෝක් එකට වගේ කියලා උඹත් හා කියලා දැන් උඹට ඒක මතක නෑ වගේ සීන් එකක් නෙවෙයිද මෙතන තියෙන්නේ" 
"උඹට පිස්සුද නෙහාරා...එහෙම දෙයක් වුනා නම් ඒක මට අමතක වෙනවද?එහෙම නෑ.එයා මේ ඔක්කොම කරන්නේ අර ලස්සන පොශ් කෙල්ලට පේන්න.ඒ එයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ද කොහෙද.ඒ කෙල්ලට පෙන්න තමයි මාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා පෙන්නන්නේ" අසේලි කියාගෙනම ගියා. 
"අනේ මන්දා බං.මට නම් උඹේ කතාවේ නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා" නෙහාරා කිව්වේ ලැබ් එක ලග බංකුවේ වාඩි වෙන ගමන් 
"ඒ මොනවද?" එහෙම අහන ගමන්ම අසේලිත් බංකුවෙන් වාඩි වුනා. 
"දැන් උඹ කියනවා ඒ කොල්ලට ඕනේ වුනේ උඹව ඒ කෙල්ලට පෙන්නන්න කියලා.මොකටද බං ඒ? උඹ කිව්වා වගේ ඒ ඌගේ කලින් කෙල්ල නම් ඌ කීයටවත් උඹව ඒ කෙල්ලට පෙන්නන්නෙ නෑ මේ මගේ දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා" 
"ඇයි ඒ? " අසේලි ඇහුවේ පුදුමෙන්. 
" හරි දැන් උඹම නේද කිව්වේ ඒ කෙල්ල හරිම ලස්සන නිලියක් වගේ කෙල්ලෙක් කියලා.ඒ වගේ කෙල්ලෙක්ට ඉරිසියා හිතෙන්න නම් ඊට වඩා සෑහෙන ලස්සන කෙල්ලෙක්ව ඕනේ පෙන්නන්න.හා නැද්ද?" නෙහාරා එහෙම කිව්වම අසේලි කල්පනා කරන්න පටන් ගත්තා. 
"මං මේ කිව්වේ ඔයා කැතයි කියලා එහෙම නෙවෙයි හොදේ.මං මේ කිව්වේ උඹ ඒ කෙල්ල ගැන කියපුවාගෙන්" නෙහාරා ආයෙත් එහෙම කිව්වේ අසේලිගෙන් සද්දයක් නැති නිසා. 
"නෑ නෑ මං මේ හිතුවේ ඒ කතාව ඇත්ත තමයි කියලා.ඒ කෙල්ල එක්ක අපට හැරෙන්නවත් බෑ" අසේලි කිව්වේ කල්පනා කරන ගමන්මයි. 
" හ්ම්ම්...ඒ විතරක්මත් නෙවෙයි.එදා ගගනටත් ආදිත්‍ය කිව්වා ඔයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා" 
"ඒ වෙලාවේ මං ගගන ලග හිර වෙලා හිටියේ.ඒකයි එහෙම කිව්වේ" 
"ඉතින් ආදිත්‍යට තිබුනනේ කියන්න එයා ඔයාගේ අයියා කියලා.මොකෝ DNA ටෙස්ට් කරන්නද? හරි ඒත් කමක් නෑ.කටට ආපු බොරුව කිව්වා කියමු.ඒත් අද මොකක්ද වුනේ කියපන් බලන්න" 
"අද මොකද වුනේ?" අසේලි ඇහුවේ කල්පනා කරන ගමන්. 
"ඒ ටිකට ඒක මතක නෑ.අනේ මන්දා බං උඹේ මතකේ.ඇයි අද දෙනුවන්ටත් කිව්වා නේද ගර්ල් ෆ්‍රෙන්ඩ් කතාව" 
"ආ...ඔව් කිව්වා" 
"ඉතින් ඒකනේ...අද මොකටද එහෙම කියන්නේ.මේකේ වෙන පටලැවිල්ලක් තියෙනවා" නෙහාරා කිව්වේ බංකුවෙන් නැගිටින ගමන්. 
ඒ වෙද්දි ලමයි විද්‍යාගාරයට ඇතුල් වෙන්න පටන් අරගෙනයි තිබ්බේ.නෙහාරායි අසේලියි ත් බෑග් එක බංකුවෙන් තියලා පොත් අරගෙනයි නැගිට්ටේ. 
"මොකක්ද පටලැවිල්ල" අසේලි ඇහුවේ පුදුමෙන්. 
" ආදිත්‍ය උඹට කැමතියි..ඒක කියාගන්න බැරුවයි ඉන්නේ" 
"පිස්සුද නෙහාරා.එයා මේ බැලුවොත් මාත් එක්ක රන්ඩු.මට කැමති වෙයිද අර වගේ ලස්සන සුදු කෙල්ලෙක් ඉන්දෙද්දි" 
"ඔය ඉතින් උඹටත් ඉරිසියාව.මං කියන දේ පිළිගන්න බැරි නම් කමක් නෑ.ඒත් වෙලාවක ටිකක් හිතපන් ඌ උඹව එදා රෑ පරිස්සමට එක්කගෙන ආපු එක ගැන.උඹව බේරගන්න හෝටලේට ආපු එක ගැන.උඹ එක්ක කතා කරන්න අඹ ගස් දිගේ බඩගාගෙන කාමරේට ආපු එක ගැන.හිතපන් ඕවත් වෙලාවක.එතකොට තේරෙවි මං කියපු දේ" නෙහාරා කිව්වෙ විද්‍යාගාරේට ඇතුල් වෙන ගමන්. 
නෙහාරා කියපු දේවල් ඇහෙද්දි අසේලිට දැනුනේ හිත හිරිවැටිලා යන බවක්.ඇගම සීතල වෙලා හීන් දාඩියක් වැටෙද්දි අසේලිත් විද්‍යාගාරෙට ඇතුල් වුනා. 
******************************************
ඇග සීතල වුනාම දාඩිය දානවා හොදේ.අත්දැකීමෙන් කියන්නේ ❤️
ආදරෙන් ඉන්න ❤️

Thursday, January 17, 2019

මන්දාරම් අහස යට - විසි හත් වන කොටස



තමන් මෙච්චර කල් හොයපු පොඩි කාලේ යාලුවා දේදුණු කියලා කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක් වගේම සතුටක්.

"ඒ කොහොමද ඔයා හරියටම එහෙම කියන්නේ" ආදිත්‍ය ඇහුවේ මේ කතාව ස්ථිර කරගන්න අදහසින්

"මං අපේ පොඩි අයියාගෙන් ඇහුවා පොඩි කාලේ මං සෙල්ලම් කරපු ගෙවල් ලග පිරිමි ලමයෙක් හිටියද කියලා.ඔයා කිව්වනේ අපේ ගෙවල් ලග හිටියේ කියලා"

"ඉතින් අයියා මොකද කිව්වේ"

"හිටියා කිව්වා එහෙම බෝයි කෙනෙක් ගෙවල් ලග.අයියාට වඩා අවුරුද්දක් බාලයි කිව්වා.අයියා ඉස්කෝලේ ගිහින් ඉන්නකොට මං සෙල්ලම් කරේ එයා එක්කලු"

"අයියගේ වයස කීයද දැන්"

" අයියට දැන් 25යි"

"අහ්...එතකොට ඒ බෝයිට පස්සේ මොකද වෙලා තියෙන්නේ"

"ඒක අයියා දන්නේ නෑ.කාලයක් සෙල්ලම් කරා මතකලු මාත් එක්ක.ඒ කාලේ අයියා මට කැමති නෑනේ.ඒ නිසා එයාට ගානක් නැතුව ඇති"

"ම්ම්ම්...ඒකත් එහෙමද"

"එහෙම තමයි අයියා කිව්වේ නම්"

"මට බැරි වෙයිද අයියට කතා කරන්න"

"අපෝ මේ පිස්සුද? හිතන්නවත් එපා.මං මේ අහපු ටිකටත් එයාට හෙන ප්‍රශ්නේ මං මොකටද මේවා අහන්නේ කියලා"

"ඔයාලගේ පවුලේ අය මාර ආදරේ වගේ ඔයාට" ආදිත්‍ය කිව්වේ ගෙදරට යන්න පාර පනින ගමන්.

"අම්මෝ...ඒ ගැන කියලා වැඩක් නෑ.කරදරයක් වෙලාවකට.හොයනවා වැඩියිනේ.එපා වෙනවා"

"එහෙම තමයි අයියලා...දැන් අප්පච්චිට කොහොමද?"

"ගෙදර ඉන්නේ.පරිස්සම් වෙන්න කිව්වනේ මාස තුනක් යනකම්"

"ඔව්...කෑම එහෙම බලලා දෙන්න"

"හ්ම්ම්...ඉතින් දැන් ගෙදරට ආවද?"

"ඔව්...දැන් ගේට්ටුව ලග"

"අහ්..එහෙනම් මං තියන්නම්.ගෙදර අම්මලත් ඇතිනේ.අම්මලා බලාවි කාත් එක්කද පුතා මේ කතා කරන්නේ කියලා" දේදුණු හිනා වෙවී කියද්දි ආදිත්‍යට ත් හිනා ගියා.

"එහෙම අවුලක් නම් වෙන්නේ නෑ"

"ඇයි"

"අම්මලා මෙහේ නෑ.ඒකයි"

"නෑ කියන්නේ? මේ....." දේදුණු අමාරුවෙන් අහන්න හදපු දේ තේරුම් ගත්ත ආදිත්‍ය හිනා වුනා.

"නෑ...නෑ...එහෙම එකක් නෙවෙයි.අම්මලා ඉන්නවා.මේ ගෙදර නෙවෙයි.ඇත්තටම අම්මලා මේ දවස් වල නුවර ඉන්නේ.මං කලුතර.ලොකු අප්පච්චි ගේ ගෙදර ඉන්නේ" ආදිත්‍ය කිව්වේ කාමරේට ඇතුල් වෙන ගමන්.

මේසේ ලග වාඩි වෙලා හිටපු අවිශ්ක ඔලුව උස්සලා ආදිත්‍ය දිහා බලද්දි ආදිත්‍ය තොල් වලින් කිව්වේ කතා කරන්නේ දේදුණු කියලා.

"අහ්...එහෙමද? හරි හරි"

"එතකොට ඔයා කොළඹ කොහෙද ඉන්නේ? බෝර්ඩ් වෙලාද?" ආදිත්‍ය ඇහුවේ ඇදෙන් වාඩි වෙන ගමන්.

"නෑ...අපේ නැන්දා ඉන්නවා මෙහේ.එහේ ඉන්නේ"

"ආ....එහෙනම් ඉතින් ගෙදර වගේමනේ.ප්‍රශ්නයක් නෑනේ"

" ප්‍රශ්නයක් නම් නෑ.ඒත් පාලුයි"

"ඇයි නැන්දලාගේ ගෙදර කවුද ඉන්නේ "

"නැන්දයි මාමයි විතරයි"

" එහෙනම් පාලු ඇති තමයි.නැන්දලට ලමයි නැද්ද"

"ඉන්නවා..ශෙහාන් අයියා පේරාදෙණිය කැම්පස්.නුවනි අක්කා බැදලා රට ගිහින්"

"අහ්...ඒකත් එහෙමද?" ආදිත්‍ය කියද්දිම කාමරේට එබුනේ ගයානි.

"සුදු පුතා කන්න එන්න" ගයානි කිව්වේ ආදිත්‍යට.

" හා හා ලොකු අම්මේ" ආදිත්‍ය කිව්වේ දුරකථනය කනෙන් ටිකක් ඈත් කරන ගමන්.

"හෙලෝ" ආදිත්‍ය ආයෙත් දුරකථනය කනේ තියාගෙන කිව්වේ ගයානි ගියාට පස්සේ.

" ඔයා කන්න එහෙනම්.මං තියන්නම්"  අසේලි කිව්වේ එයාට ඔක්කොම ඇහුනු නිසා.

"ඔයා කාලාද" ආදිත්‍ය ඇහුවේ ඇදේ වාඩි වෙලා මේස් ගලවන ගමන්.

" ඔව්...ඔයා කන්න"

"හරි එහෙනම්.මං තියන්නම්.බායි"

"බායි" දේදුණුගේ ඇමතුම විසන්ධි කරපු  
ආදිත්‍ය ගියේ කෑම කන්න.කාලා ආපු ආදිත්‍ය තුවායත් අරගෙන නාන කාමරේට ගියා.


නාලා ඉවර වෙලා තුවාය ඇදගෙනම කාමරේට ආපු ආදිත්‍ය කෙලින්ම ගියේ කණ්නාඩිය ඉස්සරහට.කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පිහිදන ආදිත්‍ය දිහා බලාගෙන අවිශ්ක හිනා වුනා.

"අර කෙල්ලෝ දෙන්නා දැන් උඹව දැක්කා නම් ගිලිවී" අවිශ්ක එහෙම කියනවා ඇහුනු ආදිත්‍ය අවිශ්ක දිහාවට හැරුනා.

"මොන කෙල්ලෝ දෙන්නද?" ආදිත්‍ය ඇහුවේ කොට කලිසමක් ඇදගන්න ගමන්.

"වෙන කවුද ඉතින්.දේදුණු යි අසේලියි" අවිශ්ක කිව්වේ ආදිත්‍යට ඇහැක් ගහන ගමන්.

"පිස්සු කියවන්න එපා බං"

"ඇයි මොකෝ...බොරුද මං කියන්නේ.මේ සික්ස් පැක් දැක්කම කෙල්ලෝ දෙන්නට පිස්සු හැදෙයි"

"තැන්ක් යූ මචන් වර්ණනාවට.ඒත් ඒ කෙල්ලෝ දෙන්නම ඔහොම හිතන්නේ නෑ" ආදිත්‍ය කිව්වේ තුවාය පුටුවක් උඩට වීසී කරන ගමන්.

"හිතන් නෑ...මගුල තමයි...බලපන් ෆෝන් එක" අවිශ්ක එහෙම කියද්දි ආදිත්‍ය බැලුවේ ඇද උඩ දාලා තියෙන දුරකථනය දිහා.

දුරකථනය තිරයේ පෙන්නුවේ මග ඇරුනු ඇමතුම් 6ක්.ඒ ඇමතුම් 6ම තිබුනේ අසේලිගෙන්.ආදිත්‍ය ඉක්මනටම අසේලිට ඇමතුමක් ගත්තා.

"ඇයි උඹ ආන්සර් නොකරේ.මිස්ඩ් කෝල් 6ක්නේ.කරදරයක්ද දන්නේ නෑ බං" ආදිත්‍ය කිව්වේ දුරකථනය කනේ තියාගන්න ගමන්.

"අපෝ...මේ මං නම් ඕවට නෑ..අසේලිගේ කෝල් කොහොමත් එපා" අවිශ්ක එහෙම කියද්දිම අසේලි ආදිත්‍යගේ ඇමතුමට පිළිතුරු දුන්නා.

"හෙලෝ....කොහෙද ඉන්නේ"

" ගෙදර...කොහෙද ඉන්නේ ඔයා? මොකද වුනේ" ආදිත්‍ය ඇහුවේ කලබලෙන්.

"මං ගෙදර"

"ප්‍රශ්නයක් නෑනේ"

"නෑ" අසෙලි කිව්වේ ටිකක් වෙලා ඉදලා.

"ඇයි කතා කරේ ඉතින්" ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.

"නිකන්"

"නිකන් මිස්ඩ් කෝල් 6ක්? වෙන්න බෑ.ඇයි කියන්න.මොකක් හරි වුනාද? "

"මුකුත් වුනේ නෑ....මං මේ...නිකන්...ඔයා ගෙදර ගියාද....බලන්න ගත්තේ" අසේලි හෙමීන් හෙමින් කියද්දි ආදිත්‍යට හිනා ගියා.

"ආ...මේ ඒකටද?" ආදිත්‍ය ඇහුවේ හිනාව මැද්දෙන්මයි.

"මොකද මෝඩයෝ හිනා වෙන්නේ?" ආදිත්‍යගේ හිනාවට තරහ ගියපු අසේලි ඇහුවේ කේන්තියෙන්

" නෑ නෑ...හිනා වුනේ කවුද? ඒ මගේ හැටි.මං ගෙදර ආවා.කාලා නාලා දැන් කාමරේට ආවේ.ඒකයි කෝල් එක දැක්කේ නැත්තේ" ආදිත්‍ය කිව්වේ දුරකථනයත් කනේ තියාගෙනම බැල්කනියට යන ගමන්.

" හ්ම්ම්...හරි හරි මං ඔච්චර ඒවා ඇහුවේ නෑනේ.මං තියනවා"

"මොකෝ ඔච්චර හදිස්සි.මං හිතුවේ මිස්ඩ් කෝල් 6ක්ම තිබ්බ නිසා සෑහෙන වැදගත් දෙයක් කතා කරන්න ඇති කියලා"

" ඒ....ඉතින්....ආන්සර් කරේ නැති නිසානේ එච්චර ගන්න වුනේ"

"එච්ච්ර කෝල් කරේම මං ආවද බලන්නද?" ආදිත්‍ය අහද්දි අසේලි නිහඩ වුනා.

"ආ....මං ආවද බලන්නද?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ අසේලිගේ නිහඩ බව නිසාමයි.

"ඔව්.." අසේලි ඒක කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.

" හ්ම්...හ්ම්...හරි හරි...මට ප්‍රශ්නයක් නෑ.ඔයා මේ බොරුවට බය වෙන්නේ.මං හෙන ෆිට් කොල්ලෙක් හරිද? මට ගහන්න ආවොත් මං උඩින් යන්න දෙන්නේ" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"දෙයි දෙයි උඩින් යන්න.කියන එක්කෙනා තමා උඩින් ගිහින් වැටෙන්නේ" අසේලි කියනවත් එක්කම ඇහුනු බීප් සද්දයක් නිසා ආදිත්‍ය දුරකථනය තිරය දිහා බැලුවා.දුරකථන බැටරිය අඩු බව පෙන්නවන පණිවිඩය දැකපු ආදිත්‍ය ගේ මූණ ඇඹුල් වුනා.ආදිත්‍ය ආයෙත් දුරකථනය කනේ තියාගත්තා.

"මේ පොඩ්ඩක් ඔහොම්ම ඉන්න..." එහෙම කියන ගමන් ආදිත්‍ය දිව්වේ කාමරේ මේසේ ලගට.මේසේ බඩු එහෙට මෙහෙට කරත් දුරකථන චාර්ජර් එක හොයාගන්න තිබ්බේ නෑ.තව ටිකකින් දුරකථනය ඔෆ් වෙන බව දන්න නිසාම ආදිත්‍ය චාර්ජර් එක හොයන අදහස අතෑරියා.

"මේ මගේ ෆෝන් එකේ බැට්‍රි ලෝ"  ආදිත්‍ය කිව්වේ රවන ගමන්.

"ආ...එහෙමද? හරි හරි..මාත් නිදාගන්න හදන්නේ"

"හා..එහෙනම් ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්" අසේලි එහෙම කියනවත් එක්කම දුරකථනය විසන්ධි වුනා.

එතකොටම අවිශ්ක කාමරේට ඇතුල් වුනේ පොත් වගේකුත් උස්සගෙන.

"මොනවද හොයන්නේ" අවිශ්ක ඇහුවේ දුරකථනයත් අතේ තියන් මේසේ අවුස්සන ආදිත්‍යගෙන්

"කෝ බං මගේ චාර්ජර් එක"

"ආ...මෙන්න.." අවිශ්ක එයාගේ අතේ තිබ්බ චාර්ජර් එක ආදිත්‍යට දික් කරා.ආදිත්‍ය ඒක ගත්තේ අවිශ්කට රවන ගමන්.

"මොකෝ මේ ඔරවන්නේ"

"මොන මගුලක ගියාද ඒක අරගෙන" ආදිත්‍ය  කිව්වේ දුරකථනය චාර්ජ් වෙන්න ගහන ගමන්.

"මං කොහේ ගෙනියන්නද ඕක.උඹ උදේ සාලේ දාලා තිබිලා.මං දැන් ගෙනාවේ එතනින්" අවිශ්කගේ කතාවට උත්තරයක් නොදීපු ආදිත්‍ය ඇදෙන් ඇලවුනේ නිදාගන්න හිතාගෙන.
දවස් දෙකක නිවාඩුවේ ආදිත්‍ය සෑහෙන කාර්‍යබහුල වුනේ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයෙන් වසරක නිවාඩු ගන්න ලිපි ලියන්න වුනු නිසා.වසරක නිවාඩුවක් ලැබුනත් පෙර වසරට අයත් නිබන්ධනය අවසන් කර යැවීම අනිවාර්‍ය වුනු නිසා ආදිත්‍යගේ මුලු සති අන්තයම ගත වුනේ ඒ වැඩේට.

සදුදා පාන්දරම ආදිත්‍ය කළුතර දුම්රිය ස්ථානයට ගියේ පුරුදු විදියට රැකියාවට යන්න හිතාගෙන.ටිකට් අරගෙන දුම්රිය වේදිකාවට ගියපු ආදිත්‍ය දැක්කේ තවත් පිරිමි ලමයෙක් එක්ක කතා කර කර ඉන්න අසේලිව.

'කවුද ඒ?' ආදිත්‍ය ඇහුවේ තමන්ගේ හිතෙන්

' හැන්ඩ්සම් කොල්ලෙක්.කැම්පස් එකේද දන්නේ නෑ.....අර හිනා වෙනවත් එක්ක....ඔච්චර මොනවද හිනා වෙන්න තියෙන්නේ.අන්න ඒ කොල්ලා මෙයාගේ ඔලුවත් අතගානවා.ඔලුවේ මොකක්ද අත ගාන්න තියෙන්නේ' ආදිත්‍ය එතනම ඉදන් ඒ දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

'ආදි....අහක බලාගනින්.උඹට වැඩක් නෑ ඒ කෙල්ලගේ ඒවා.දැක්කේ නෑ වගේ ඉදපන්.' ආදිත්‍ය තමන්ගෙම හිතට තරවටු කරගන්න ගමන් අනිත් පැත්ත බලාගත්තා.

"හලෝ ආදිත්‍ය අයියා..." එක පාරටම පිටිපස්සෙන් ඇහුනු කටහඩක් නිසා ආදිත්‍ය හැරිලා බැලුවා.

" සෙනේශ් මල්ලි...මෙහේ කොහෙද?" ආදිත්‍ය ඇහුවේ ලොකු බෑග් එකකුත් පිටේ එල්ලගෙන එයා ලගට ආපු පිරිමි ලමයාගෙන්.

"කැම්පස් යනවා අයියේ.."

"මාත් මේ ජොබ් එකට යන්න.මල්ලි කොළඹ කැම්පස් නේද?.එදා අයියා එක්ක කතා කරාට ඔයා එක්ක හරියට කතා කරන්න වුනේ නෑනේ" ආදිත්‍ය මතක් කරේ අවිශ්කගේ යාලුවෙක් ගැන.සෙනේශ් අවිශ්කගේ යාලුවාගේ මල්ලි.කැම්පස් එක කොළඹ කිව්වට වෙන විස්තරයක් ආදිත්‍ය දැනන් හිටියේ නෑ.

"ඔව්  කොළඹ තමයි.යන්කෝ අරහෙට.අපේ සෙට් එක එතන ඉන්නේ.අයියා දන්නවනේ මිගාර අයියව.එයාගේ මල්ලි දෙනුවන් ඉන්නෙත් අපේ බැච් ේ.අර ඉන්නේ අතන." සෙනේශ් පෙන්නුවේ අසේලි එක්ක කතා කර කර ඉන්න පිරිමි ලමයාව.

"යමු අයියේ" එහෙම කියපු සෙනේශ් ඉස්සර වෙද්දි ආදිත්‍යත් සෙනේශ් පස්සෙන්ම එතනට ගියා.

ආදිත්‍ය එතනට ගියේ අසේලිගේ මූණ දිහා බලාගෙනමයි.ආදිත්‍යව දැකපු අසේලිගේ මූණ වෙනස් වෙන හැටි ආදිත්‍යට හොදට පෙනුනා.මුලින්ම පුදුමයක් පෙනුනු ඒ මූණේ ඊට පස්සේ ඇදුනේ ලොකු හිනාවක්.

"අයියේ මේ දෙනුවන්..මචන් මේ අවිශ්ක අයියගේ කසින් කෙනෙක්.ආදිත්‍ය අයියා" සෙනේශ් දෙනුවන්ව ආදිත්‍යට අදුන්වලා දුන්නා.

"හලෝ මල්ලි.අයියා නම් මං අදුරනවා හොදට" ආදිත්‍ය ත් හිනා වෙලා කිව්වේ දෙනුවන් ට අත දෙන ගමන්.

" අවිශ්ක අයියවත් මං දන්නවා.මං දන්නේ නෑනේ කසින් කෙනෙක් ඉන්නවා කියලා" දෙනුවන් කතා කරපු විදියෙන්ම දෙනුවන් ගැන ආදිත්‍යට ඇති වුනේ පැහැදීමක්.

"කසින් කිව්වට ඒ මගේ ලොකු අප්පච්චිගේ පුතා.මගේ අයියා"

"ආ...හරි හරි" දෙනුවන් එහෙම කිව්වේ අසේලි දිහා බලන ගමන්.

ආදිත්‍ය දිගටම දෙනුවන් එක්කම කතා කරේ අසේලිව නොසලකා හැරලා.ඒක නිසාම අසේලි ආදිත්‍ය දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"අසේලි ඇයි?" අසේලිගේ අමුත්ත තේරුනු දෙනුවන් ඇහුවේ අසේලිගේ උරහිසින් අල්ලලා.

"ආ....නෑ මුකුත් නෑ" එහෙම කියපු අසේලි බිම බලාගත්තා.

"සනීප නැද්ද?" ආදිත්‍ය එහෙම කියන ගමන් අසේලිගේ නළලට අත තිබ්බේ දෙනුවන්,සෙනේශ් වගේම අසේලිවත් පුදුම කරවලා.

"නෑ නෑ" අසේලි කලබලෙන් කිව්වා.

" එහෙනම් මොකද මේ රතු වෙලා" ආදිත්‍ය ඒ සැරේ අසේලි දිහා බලාගෙනම ඇහුවේ දෙනුවන්, සෙනෙශ් දෙන්නම පුදුමෙන් බලන් ඉද්දි.

" මං...නෑ...ඒ ඔයාට පේන හැටි" අසේලි ඒ සැරේ කිව්වේ දෙනුවන් දිහාත් බලන ගමන්.දේනුවන්ගේ හිතේ තමන් ගැන අදහසක් තියෙන බව අසේලිට රහසක් නෙවෙයි.

" අයියා අසේලිව අදුරනවද?" සෙනේශ් ඇහුවේ පුදුමෙන්.

" අදුරනවද කියන්නේ මල්ලි...මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඇයි මෙයා කිව්වේ කොල්ලෙක් නෑ කියලද? " ආදිත්‍ය හිනා වෙලා ඇහුවේ කාගෙන්වත් උත්තරයක් නොතිබ්බ නිසා.

"නෑ නෑ අයියේ...අපි හිතුවේ නෑ අසේලිට එහෙම දෙයක් ඇති කියලා" සෙනේශ් කිව්වේ හිනා වෙවී.

" මෙයා එහෙනම් කැම්පස් එකෙන් සෙට් කරගන්නද කොහෙද ඉදලා තියෙන්නේ.ඔන්න මල්ලි ඒවට ඉඩ දෙන්න එපා.හැමොටම කියන්න අයිතිකාරයෙක් ඉන්නවා කියලා" ආදිත්‍ය හිනා වෙවී කියද්දි අසේලි ආදිත්‍යගේ අත කෙනිත්තුවේ රවන ගමන්.

"ආ...මේ අයියේ අපි නුවර ට්‍රිප් එකක් යන්න ඉන්නේ.දවස් තුනක්.අපේ ෆිට් සෙට් එකක්.මං අවිශ්ක අයියටත් කිව්වා.අපේ බැජ් එකේ කෙල්ලොත් එනවා.අසේලිත් එනවා කිව්වා.අයියත් එනවානේ නේද?" සෙනේශ් අහද්දි ආදිත්‍ය බැලුවේ අසේලිගේ මූණ දිහා.

"හරි මල්ලි මං එනවා" ආදිත්‍ය කිව්වේ ටිකක් කල්පනා කරලා.

****************************************
නුවර ට්‍රිප් එකට ලෑස්ති වෙන්න ලමායි...

සුබ රාත්‍රියක්...

ආදරෙන් ඉන්න ❤️

Tuesday, January 15, 2019

මන්දාරම් අහස යට - විසි හය වන කොටස


කලින් කොටස හරියටම ඉවර වුනේ නෑනේ නේද? මේ එතන ඉදන්....
****************************************
එතනට ආපු කොන්දොස්තර නිසා ආදිත්‍ය පර්ස් එක එලියට ගත්තේ අසේලිගේ ප්‍රශ්නෙට උත්තර නොදීමයි.ආදිත්‍ය පර්ස් එක ගන්න අතරේ අසේලි එයාගේ දුරකථනය ආදිත්‍යගේ අතින් ගත්තා.

"කලුතර දෙකක්" ආදිත්‍ය සල්ලි දික් කරේ එහෙම කියන ගමන්මයි.

"නෑ නෑ මං ගන්නම් මට" අසේලි කලබලෙන් කිව්වේ එයාගේ පර්ස් එක බෑග් එකෙන් ගන්න ගමන්.

"පණ්ඩිත නැතුව ඉන්නවා" ආදිත්‍ය කිව්වේ අසේලි දිහා බලන්නෙවත් නැතුව.

කොන්දොස්තර ටිකට් එක දීලා එතනින් යනවත් එක්කම අසේලි 100 කොලයක් ආදිත්‍යට දික් කරා.ඒත් ආදිත්‍ය හිටියේ ඒක දැක්කේ නෑ වගේ.

"මේ ගන්න සල්ලි..." අසේලි කිව්වේ ආදිත්‍යගේ උඩ සාක්කුවට සල්ලි දාන්න හදන ගමන්.සාක්කුව අතින් වහන ගමන්ම ආදිත්‍ය අසේලිට රැව්වා.

"මේ මං ජොබ් එකක් කරනවා.ඔයාට ටිකට් එකක් ගත්තා කියලා මං බංකොලොත් වෙන්නේ නෑ" ආදිත්‍ය කියද්දි අසේලි සල්ලි එයාගේ පර්ස් එකට දාගත්තා.

"ඊලග දවසේ මං ගන්නම්" අසේලි කිව්වේ පර්ස් එක බෑග් එකට දාගන්න ගමන්මයි.

"ආ....ඔයා එතකොට ඊලග දවසෙත් මාත් එක්කද එන්නේ?" ආදිත්‍ය ඇහුවේ අසේලිගේ මූණට එබෙන ගමන්.

" නෑ නෑ මං එහෙම නෙවෙයි කිව්වේ" අසේලි කිව්වේ මුණත් රතු කරගෙන.

"එහෙනම් කොහොමද කිව්වේ"

"කොහොමවත් නෙවෙයි" ඒ සැරේ නම් අසේලි අහක බලාගත්තේ තරහෙන් වගේ.

" අනේ මන්දා මේ කෙල්ල නම්" ආදිත්‍ය තමන්ටම මුමුණ ගත්තා.ටික වෙලාවක් යනකම් දෙන්නම කතාවක් කරේ නෑ.බස් එකේ ශීට් එකට ඔලුව තියාගත්ත ආදිත්‍ය ඇස් දෙක පියාගත්තා.සතියක්ම එක දිගට වැඩ කරපු නිසා ආදිත්‍ය මහන්සි වෙලා හිටියේ.

මෙහෙම ඇස් පියාගෙන ඉන්න ආදිත්‍යට ඇහුනේ අසේලිගේ කටහඩ.කතා කරන විදියෙන්ම මේ කතා කරන්නේ දුරකථනයෙන් කියලා ආදිත්‍යට තේරුනා.

"ඔව් අයියේ"

"..........................."

"නෑ නෑ ප්‍රශ්නයක් නෑ"

"............................"

"ඔව් තනියම"

"......................."

"හා...හා..."

"......................................."

"හරි හරි බුදුසරණයි" අසේලි දුරකථනය විසන්ධි කරේ එහෙම කියන ගමන්.දුරකථනය විසන්ධි කරපු අසේලි බැලුවේ ආදිත්‍ය දිහා.ඒ බලන් ඉද්දි අසේලිට මතක් වුනේ තාත්තා කලින් දවසක කාටදෝ දුරකථනයෙන් කියපු කතාව.

"ආදි...ආදිත්‍ය ද කොහෙද නම.ඒ කොල්ලටත් යස වැඩක් කරන්න ඕනේ" තාත්තාගේ ඒ කටහඩ අසේලිට තාමත් ඇහෙනවා වගේ.

"මං එච්චරටම හැන්ඩ්සම් ද?" අසේලි ආයෙත් පියවි සිහියට ආවේ ආදිත්‍යගේ කටහඩින්

"ආ...."

"නෑ මෙච්චර වෙලා එක දිගට මගේ මූණ බලන් හිටියේ මං එච්චරටම හැන්ඩ්සම් ද" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහා ඔලුව හරවලා බලන ගමන්.

"කවුද බැලුවේ" අසේලි එහෙම කියාගෙනම අහක බලාගත්තේ ලැජ්ජාවෙන්.

'මෙයා ලග ඉන්නකොටමයි මට මේ වගේ ඒවා වෙන්නේ..අයියෝ මොන ලැජ්ජාවක්ද' අසේලි කල්පනා කරේ මූණත් රතු කරගෙන.

"මේ...." ආදිත්‍ය කතා කරේ අසේලි දිහා හොදට බලන ගමන්.

"ඇයි"

"මොකක්ද අවුල"

" මුකුත් නෑ"

"මුකුත් නැත්තම් ඇයි මට හරියකට මූණ දීලා කතා නොකරන්නේ"

" මොනා කතා කරන්නද"

" ආ.....දැන් ඒකත් එහෙමද? හරි හරි" එහෙම කියපු ආදිත්‍ය අහක බලාගත්තා.

"සොරි.මං හිතලා ආවා නෙවෙයි එතනට" අසේලි කියනවා ඇහුනු ආදිත්‍ය ආයෙත් අසේලි දිහා බැලුවා.ඒත් අසේලි හිටියේ ජනේලෙන් එලිය බලාගෙන.

"මොකක්ද?" ආදිත්‍ය ඇහුවත් අසේලි ඒකට උත්තර දුන්නේ නෑ.

"අසේලි...මොකටද ඔයා සොරි කිව්වේ" ආදිත්‍ය ඒසැරේ ඇහුවේ අසේලිට තවත් කිට්ටු වෙලා.

"ඔයාලට ඩිස්ටර්බ් කරාට" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.

"කාටද? කොයි වෙලාවෙද?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"අද හවස"

" අද හවස...අද හවස කවුද?....ආ...මේ....ඒකද?" අසේලි කියපු දේ තේරුනු ආදිත්‍යට ඉබේටම හිනාවක් ගියා.

"මොන ඩිස්ටර්බ් ද? පිස්සුද ඔයාට" ආදිත්‍ය කිව්වේ ඒ හිනාවෙන්මයි.

"ඔව් ඔව් මට පිස්සු.මොකටද එහෙනම් මාත් එක්ක ආවේ.ඉන්න තිබ්බනේ කතා කර කර ඒ ලස්සන ගෑනු ලමයා එක්ක" අසේලි කියවගෙන ගියේ තරහෙන්.අසේලිගේ ඒ කතාවට ආදිත්‍ය හොද හුස්මක් ගත්තා

"ඇහුනේ නැද්ද මං එයාට කිව්වා ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගෙදර එන්නේ නැතුව මං එයා එක්ක එතන නවතින්නද" ආදිත්‍ය කියද්දි අසේලි රැව්වා.

"දැක්කනේ දැක්කනේ...එහෙනම් මේ කෙල්ලටද මාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා පෙන්නන්න හැදුවේ? අපරාදේ නේද මං ආවේ නැත්තම් නවතින්නත් තිබ්බනේ."

"පිස්සුද හැටිද ? මේ කෙල්ලොන්ගේ හැටියක්ද කොහෙද බොරුවට එල්ලිගෙන් රණ්ඩු වෙන එක.මං ඒ වෙලාවේ කොහොමත් එතනින් එන්න හැදුවේ.ඔයා ආපු නිසයි අදුන්වලා දුන්නේ" ආදිත්‍ය කිව්වේ නොඉවසිල්ලෙන්.මේ විකාර කතාව මේ වෙද්දි ආදිත්‍යට ඇති වෙලා තිබ්බේ.

"හරි හරි...ඔයා කියන දෙයක් තමයි ඉතින්.ආයේ එහෙම වෙන්නේ නෑ.එච්චරයි" අසේලි අහක බලාගත්තේ එහෙම කියන ගමන්.

" පිස්සු කියවන්න එපා.මං මේ හිතුවා අර එදා කෝල් කරලා කියන්න හදපු කතාව කියන්න හදන්නේ කියලා.දැන් බැලුවම වෙන මගුලක් කියවන්නේ" ආදිත්‍ය එහෙම කියද්දි තමයි අසේලිට මතක් වුනේ ආදිත්‍යට කියන්න හිටපු කාරණේ.


"ආ....ඒකත් කියන්න ඕනේ.කොහෙද ඔයානේ මේ කෙල්ලොත් එක්ක හුරතල් වෙන්න ගියේ"

"මේ මට කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න ආසාවක් නෑ.ඕනේ නම් බැරිකමකුත් නෑ.යකෝ හොදින් කතා කරන්න බෑනේ මේ කෙල්ලෝ එක්ක" ආදිත්‍ය තරහෙන් කියද්දි අසේලිට තේරුනා මේ සැරේ නම් ආදිත්‍යට ඇත්තටම තරහ ගිහින් කියලා.

බෑග් එකෙන් පත්තරයක් අතට ගත්ත අසේලි ඒක හෙමීට ආදිත්‍ය දිහාවට දික් කරා.

"මේ මොකක්ද?" ආදිත්‍ය ඇහුවේ පත්තරේ අතට වත් ගන්නේ නැතුව.

"අරන් බලන්න" අසේලි කියපු නිසා ආදිත්‍ය පත්තරේ අතට ගත්තා.

" කළුතර ප්‍රසිද්ද බේකරි ව්‍යාපාරිකයාගේ දියණිය ගණිකා මඩමකදී හසුවෙයි" ආදිත්‍ය පත්තරේ සිරස්තලය කියෙව්වා.

"මේ මොකක්ද? කවදා පත්තරේද මේ" ආදිත්‍ය ඇහුවේ පත්තරේ දිනය බලන ගමන්.

"ගිය සතියේ පත්තරේ.ඔක්කොම කියවන්නකෝ" අසේලි කියපු නිසා ආදිත්‍ය පත්තරේ කියවන්න පටන් ගත්තා.

පත්තරේ කියවලා ඉවර වුනු ආදිත්‍ය බැලුවේ අසේලි දිහා.

"මේකේ මේ ඔයාව පැහැරගත්ත කතා නෑනේ.වෙලාවට ඔයාගේ නම් ගම් නම් එහෙමත් මුකුත් නෑ.මාතෘකාවට විතරක් දාලා වගේ සිද්දිය."

"හ්ම්ම්...ඔව්..ඒත් කළුතර ලොකුම බේකරිය අපේ තාත්තගේ.දන්න අය දන්නවා ඒ මමයි කියලා"

"තාත්තා මේක දැක්කද? මොකද වුනේ?"

"තාත්තා අම්මට කියද්දි තමයි මාත් දැනගත්තේ.කෑලෑ පත්තර එහෙමත් ගහලා තිබිලා"

"කෑලෑ පත්තර කියන්නේ පෝස්ටර් වගේද?" ආදිත්‍ය ඇහුවේ කල්පනාවෙන්.

"ඇයි ඔයා දන්නේ නැද්ද?" අසේලි පුදුම වුනේ ආදිත්‍යගේ කතාවට.

"නෑ...ඕසි හිටපු නිසා ඔහොම වචන ගැන මං වැඩිය දන්නේ නෑ.හරි දැන් මොකද වුනේ? ගෙදර අවුල් ද?"

"නෑ...තාත්තා දන්නේ නෑ මං මේ ගැන දන්නවා කියලා.ගෙදර මේ ගැන මං ඉන්න වෙලාවට මුකුත්ම කතා වෙන්නේ නෑ."

"ඒකත් එහෙමද? එතකොට පෝස්ටර් සීන් එක දැන් හරිද? පුදුමයි මං මේ ගැන මුකුත් නොදන්න එක.අපේ ලොකු අප්පච්චි පත්තරේ ගන්නවනේ අනිවාර්‍යෙන්ම"

"ඔයාට කියලා නැතුව ඇති ලොකු අප්පච්චි" අසේලි කිව්වේ බෑග් එකෙන් තවත් පත්තරයක් එලියට ගන්න ගමන්.

"මේ මොකක්ද?" ආදිත්‍ය පුදුමෙන් ඇහුව්‍ර්ර් අසේලි තවත් පත්තරයක් දීපු නිසා.

" මෙන්න මෙතන බලන්නකෝ"

" නිවැරදි කිරීමයි..ගණිකා නිවාසය වැටලීම සම්බන්ද ව පෙර දින පළවූ ලිපිය සම්බදවයි.එහි සදහන් වූ බේකරි ව්‍යාපාරිකයාගේ දියණිය එම අවස්ථාවේදි එම ස්ථානයේ සිට ඇත්තේ ඇය පැහැරගැනීමකට ලක් වූ බැවින් බව ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් දැනගැන්මට ලැබී ඇත.මේ සම්බදව මේ වන විට පොලිස් පරීක්ශන සිදුවෙමින් පවතින අතර සිදුවූ ප්‍රමාද දෝශය පිළිබදව සියලුම පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලමු" ආදිත්‍ය මුලු ලිපියම කියවලා ඉවර කරලා බැලුවේ අසේලි දිහා.

" ඕක තිබ්බේ පහුවදා පත්තරේ" අසේලි කිව්වේ පත්තරේ ආදිත්‍යගේ අතින් ගන්න ගමන්.

" පොලීසියෙන් අවුලක් වෙලා වෙන්න ඇති වෙනස් කරලා ලිව්වේ.ලොකු දෙයක්" ආදිත්‍ය කියද්දි අසේලි ඔලුව වැනුවා.

"අවුලක් වෙන්න නම් ඇති.ඒත් කාගෙන්ද කියලයි මං හිතුවේ" අසේලි කිව්වේ කල්පනාවකින්.

"වෙන කාගෙන්ද? " ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.ඒත් ඒකට උත්තරයක් නොදුන්නු අසේලි කෙලින්ම බැලුවේ ආදිත්‍ය දිහා.

"ඔයා පරිස්සම් වෙන්න" අසේලි එහෙම කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඇයි මේ ඔයා සැරින් සැරේටම මට පරිස්සම් වෙන්න කියන්නේ"

" පරිස්සම් වෙන්න ඕනේ නිසා කියන්නේ මං.ප්‍රශ්න අහන්න එපා ඔච්චර.මට බයයි.ඒකයි කියන්නේ" ඒ සැරේ අසේලි කිව්වේ ඇඩුම් ස්වරයකින්.

"හරි හරි මං පරිස්සම් වෙන්නම්" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

ටික වෙලාවක් ගෙවිලා ගියේ දෙන්නගෙම සද්දයක් නැතුව.

"අසේලි...මේ..." ආදිත්‍ය අසේලි දිහා බලලා කතා කරත් අසේලිගෙන් උත්තරයක් නොතිබ්බ නිසා ආදිත්‍ය අසේලි දිහා එබිලා බැලුවා.එතකොට තමයි දැක්කේ ශීට් එකටත් ඔලුව තියාගෙන අසේලි නින්දක කියලා.

'මගේ ඔලුව පත්තු වෙන්න ප්‍රශ්න දීලා මේ කෙල්ල නිදි' ආදිත්‍ය හිතුවේ හිනා වෙවී.

එත් එක්කම ආදිත්‍යගේ උරහිසට දැනුනි බරක් නිසා ආදිත්‍ය ඔලුව හරවලා බලද්දි දැක්කේ ආදිත්‍යගේ උරහිසට බර වෙලා තිබ්බ අසේලිගේ ඔලුව.බස් එකේ ගැස්සිලත් එක්ක අසේලිගේ ඔලුව ආදිත්‍යගේ උරහිසින් මිදිලා පහලට වැටෙන්න ගියා.ඒත් එක්කම ඔලුවෙන් අල්ලගත්ත ආදිත්‍ය ඒක ආයෙත් එයාගේ උරහිසින්ම තියාගත්තා.ආදිත්‍යගේ අතින් දැනුනි චලනය නිසාමද කොහෙද එහාට මෙහාට වුනු අසේලි ආදිත්‍යගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගත්තා.

'මට පිස්සු හැදෙනවා මේ කෙල්ල නිසා.."ආදිත්‍ය හිතුවේ ශීට් එකට ඔලුව තියාගන්න ගමන්.

'මේ තරහයි...මේ යාලුයි...අනේ මන්දා.හැබැයි නිදාගත්තම නම් මාර අහින්සකයි' ආදිත්‍ය හිතුවේ ඇස් වහගන්න ගමන්.මහන්සිය නිසාම ආදිත්‍යට ත් නින්ද යන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

ආදිත්‍යට ඇහැරුනේ එක පාරට ඇහුනු කෑගැහිල්ලකින්.

"කළුතර බහින අය කිට්ටු වෙන්න..."

 කොන්දොස්තරගේ කෑගැහිල්ලට ඇහැරුනේ ආදිත්‍යට විතරක් නෙවෙයි.සද්දෙට ඇහැරුනු අසේලිට දැනුනේ ලොකු සනීපයක්.පහුගිය ටිකෙම හරි නින්දක් නොතිබුනු අසේලිට මේ පොඩි නින්ද ගෙනාවේ ලොකු සැනසීමක්.

"කළුතර බහින අය කිට්ටු වෙන්න...." 

කොන්දොස්තර ආයෙත් කෑගැහුවා.ඒත් එක්කම තමයි අසේලි පියවි සිහියට ආවේ.තමන් මේ ඔලුව තියන් ඉන්නේ කාගේ හරි උරහිසකට කියලා තේරුනු අසේලි ඉක්මනින්ම ඔලුව ගත්තා.

"මගේ උරහිස එහෙම නිකන් නිදාගන්න දෙන්නේ නෑ.සල්ලි ගන්නවා" අසේලිට ඇහැරුනු බව දැක්ක ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහන ගමන්.

මූණත් එක්ක රතු කරගත්ත අසේලි ජනේලෙන් එලිය බැලුවා.ඉන්නේ කළුතර පාලම උඩ කියලා තේරුම් ගත්ත අසේලි බෑග් එක ගත්තේ බහින්න.ඒත් එක්කම මතක් වුනු දෙයක් නිසා අසේලි ආදිත්‍ය දිහා බැලුවා.

"මේ ඔයා ඉස්සරහින් බහිනවද?"

"ඇයි" අසේලිගේ ප්‍රශ්නෙට ආදිත්‍ය ඇහුවේ පුදුම වෙලා.

"අයියා එනවා මාව එක්කගෙන යන්න.ඒකයි" අසේලි එහෙම කිව්වම ආදිත්‍ය ඔලුව වැනුවා.

"හරි එහෙනම් ගිහින් මැසේජ් එකක් දාන්න"

"ඔයත් පරිස්සමෙන් යන්න" එහෙම කියපු අසේලි බස් එකෙන් බහින පෝලිමට එකතු වෙද්දි ආදිත්‍යත් බස් එක ඉස්සරහට ගියේ ඉස්සරහ දොරින් බහින්න හිතාගෙන.

බස් එකෙන් බැහැලා හැරිලා බලපු ආදිත්‍ය දැක්කා පාර පැනලා කාර් එකක් ලගට දුවන අසේලිව.අසේලි කාර් එකට නැගලා පිටත් වෙනවා දැකපු ආදිත්‍යත් ගෙදරට යන්න පිටත් වුනා.

පාරේ ටික දුරක් යද්දිම ආදිත්‍යට ඇහුනේ එයාගේ දුරකථනය නාද වෙන සද්දේ.කෝල් කරන්නේ දේදුණු කියලා දැනගත්ත ආදිත්‍ය දුරකථනයට පිළිතුරු දුන්නා.

"හෙලෝ..."

"හෙලෝ...කොහෙද ඉන්නේ"

"ගෙදර යන ගමන්"

"තාම...??"

"ඔව්...ඉතින්..දුරයිනේ අපේ ගෙවල්"

"ආ...එහෙනම් මං පස්සේ ගන්නද"

"නෑ නෑ කියන්න.මං මේ පයින් ගෙදරට යන ගමන්.තව විනාඩි 10ක් විතර යනවා මට" ආදිත්‍ය කිව්වේ හොදට හිතලා බලලා.ගෙදර ගිහින් කතා කරනවට වඩා මෙහෙම කතා කරන එක හොදයි කියලා තමයි ආදිත්‍යට හිතුනේ.

"ආ....මේකයි මං මේ කෝල් කරේ වැදගත් දෙයක් හොයාගත්තා කියන්න"

"ඒ මොකක්ද? "

"මං හිතන්නේ ඔයා කියපු පොඩි කාලේ ඔයාගේ යාලුවා, දේදුණු මං තමයි" දේදුණු එහෙම කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක්.

******************************************
ඔන්න මං ආයෙත් ආවා.

වෙනදා වගේම දවසක් ඇර දවසක් කතාව කියවන්න පුලුවන්..

ආදරෙන් ඉන්න ❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...