Monday, January 7, 2019

මන්දාරම් අහස යට - විසි හතර වන කොටස


දේදුණු නුවර ඉදන් ආපහු කොළඹ ආවේ සති දෙකකට පස්සේ.ඒ ආපු ඉක්මනටම දේදුණු කාර්‍යබහුල වුනේ පහුගිය සති දෙකේ දේශන මග ඇරුණු ඒවා කරගන්න වුනු නිසා.ඒ බ්‍රහස්පතින්දා හවස හදිස්සියේ ම දේශනයක් අවලංගු කරපු නිසා දේදුණුට වෙනදට වඩා කලින් ගෙදර එන්න පුලුවන් වුනා.ගෙදර ආපු දේදුණු නාලා පහළට ගියේ එයාගේ නැන්දා සුනීතාට කියලා තේ එකක් හදවගන්න හිතාගෙන.

"නැන්දා.....මට තේ එකක්" දේදුණු කුස්සියේ පුටුවෙන් වාඩි වුනේම එහෙම කියාගෙන.

" ආ මේ නාලාත් එක්ක.කොණ්ඩේ හොදට පිහිදගන්න ලමයෝ.තෙතයි මේ තාම" වතුර රත් වෙන්න තියපු සුනීතා කිව්වේ දේදුණුගේ කොණ්ඩේ අල්ලලා බලන ගමන්.

" මේක ටක් ගාලා වේලෙනවා අනේ මේ තියෙන රස්නෙට"

"මේ ඒක නෙවෙයි සුදූ මං මේ ඔයා එක්ක කතා කරන්නමයි හිටියේ" සුනීතා එහෙම කියන ගමන් දේදුණු ලගින් වාඩි වුනා.

"ඇයි නැන්දා?"

"මොකක්ද මේ විසල් ගේ ප්‍රශ්නේ" සුනීතා අහද්දි දේදුණු ට ඉබේටම වගේ බිම බැලුනා.ඇත්තටම ඒකට දෙන්න හරියකට උත්තරයක් දේදුණු ට තිබුනේ නෑ.

"ආ....සුදූ....මොකක්ද ප්‍රශ්නේ" සුනීතා ආයෙත් ඇහුවේ දේදුණුගේ සද්දයක් නැති නිසා.

"අනේ මං දන්නේ නෑ නැන්දා ඕවා" දේදුණු කිව්වේ සුනීතාගේ ඇස් මග ඇරලා.

" දැන් විසල් ඔයාට කතා කරනවද?"

"ඉදලා හිටලා තමයි.එයාගේ ඔක්කොම වැඩ කරගෙන වෙලා තිබ්බම කතා කරනවා"

" මොනවද ඔච්චර වැඩ එයාට තියෙන්නේ? තාම එයාට කම්පැනි එක බාර දීලත් නෑනේ නේද?"

"අනේ මං දන්නේ නෑ නැන්දා ඕවා.එයා ලුනේ දැන් අපේ අප්පච්චිගේ වැඩත් බලන්නේ"

"ඒක තමයි මට තියෙන අනිත් ප්‍රශ්නේ.අයියා මොකටද විසල්ට ඒවා බලන්න දීලා තියෙන්නේ.ඇයි අපේ නිපුන්ට දෙන්න තිබ්බනේ.තාම කැම්පස් තමයි.ඒත් ඒ අපේ ලමයෙක්නේ.මේවගේ ඔයාලටත් අයිතියක් තියෙනවනේ" සුනීතා කියවගෙන ගියේ තරහෙන්.

"මොකද මොකද මේ හයියෙන් හයියෙන් කියවන්නේ" දේදුණුගේ මාමා සුරංජිත් කුස්සියට ආවේම එහෙම කියාගෙන.

"නෑ සුරේ මං මේ කිව්වේ අයියා අසනීප නම් නිපුන්ට වැඩ බලන්න දෙන්න පුලුවන්නේ.ඇයි විසල්ම මේවා බලන්නේ.මේවා අයියගේ බිස්නස් නේ.පස්සෙනේ විසල් මේකට එකතු වුනේ.ඒකත් මේ කෙල්ල නිසා" සුනීතා කිව්වේ අතින් දේදුණුව පෙන්නන ගමන්.දේදුණු මේ ඔක්කොම අහගෙන බිම බලාගෙන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව.

"හරි හරි....ඕවා මේ අයියා එක්ක කතා කරන්න ඕනේ ඒවනේ.ඇයි මේ පොඩි කෙල්ලට ඕවා කියන්නේ.මේ...අන්න වතුර එක රත් වෙලා.තේ එකක් හදන්න මටත් එක්කම" සුරංජිත් එහෙම කියද්දි සුනීතා පුටුවෙන් නැගිට්ටේ දේදුණු ගේ ඔලුවත් අතගාගෙනමයි.
තේ එකත් ගත්ත දේදුණු ඉක්මනටම කාමරේට ගියේ සුරංජිත් එතනින් ගියාම සුනීතා ආයෙත් කතාව පටන් ගනී කියලා බයෙන්.

බැල්කනියට වෙලා හෙමීට තේ එක බොන්න ගත්ත දේදුණුට මතක් වුනේ නුවරදි සිද්ද වෙච්ච් දේවල්.

"මේවට අපටත් අයිතියක් තියෙනවා.අපටත් පුලුවන් තීරණ ගන්න" දේදුණුගේ අප්පච්චි, ආනන්ද ව බලන්න ඉස්පිරිතාලෙට ආපු වෙලාවේ විසල්ගේ අම්මා, ලලිතා කෑගැහුවේ දේදුණුටත් රවන ගමන්.

"අයිතියක් තිබ්බා කියලා කම්පැනි එකේ සල්ලි හිතෙන හිතෙන හැටියට වියදම් කරන්න බෑනේ.මේ අපෙත් සල්ලි" පත්මා සෙනෙවිරත්න ,දේදුණුගේ අම්මත් කිව්වේ තරහෙන්.

"හිතෙන හිතෙන හැටියට කියන්නේ කොහොමද? මේකට සල්ලි දානවා කියලා ආනන්දත් දැනගෙන හිටියා.දැන් නිකන් වැරැද්ද අපේ පිටින් විතරක් දාන්න ලෑස්ති වෙන්න එපා" ලලිතා කිව්වේ මහ සද්දෙන්.බයටම දේදුණු පත්මාගේ අතින් අල්ලගත්තා

" මේ මිස් ඔයාලගේ කතා මෙතනින් එලියට ගිහින් කරගන්නවද? මේක ඉස්පිරිතාලයක්.ලෙඩ්ඩු ඉන්නේ" එතනට ආපු නර්ස් කිව්වේ ලලිතාට වගේම පත්මාටත් රවන ගමන්.

නර්ස් එහෙම කිව්වම ලලිතා හැරිලා එතනින් යන්න ගියේ පත්මාටත් ගස්සගෙන.

" අපි යමු අම්මා" දේදුණු පත්මාගේ අතින් ඇද්දා.

" යමු...." පත්මත් එහෙම කියලා දේදුණු ගේ අතින් අල්ලගෙන හැරුනේ ලලිතා යන දිහා ටිකක් වෙලා බලන් ඉදලා.

රෝහලෙන් පිට වෙන කොරිඩෝව දිගේ යන අතරේ දේදුණු ට ඇහුනු කටහඩක් නිසා දේදුණු ආපහු හැරිලා බැලුවා.

" දේදුණු....." ඒ කතා කරේ විසල්.විසල් දුවගෙන් වගේ දේදුණු ලගට එද්දි පත්මා දේදුණු ගේ අත අතෑරලා ඉස්සරහට ගියේ දේදුණු ට කතා කරගන්න ඉඩ දීලා.

"ඔයාලා යනවද?" විසල් ඇහුවේ දේදුණු ලග නතර වෙලා.

"ඔව් අයියේ..ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයිනේ" දේදුණු කිව්වේ විසල්ගේ ඇස් මග ඇරලා.

"ඇයි මේ ඉස්පිරිතාලේ නැවැත්තුවේ.අපට තිබ්බනේ අන්කල්ව ප්‍රයිවට් එකක නවත්තන්න." විසල් ඇහුවේ දේදුණු ගේ ඇස් වලට එබෙන්න උත්සහ කරන ගමන්.ඒ සැරේ දේදුණු කෙලින්ම විසල් දිහා බැලුවා.

"අපේ අම්මාට විශ්වාස මෙහේනේ.කමල් අයියා මෙහේ වැඩනේ" දේදුණු ඒ කිව්වේ වෛද්‍යවරයෙක් වුනු එයාගේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගැන.

"ඒක නෙවෙයිනේ ඇත්ත හෙතුව.ඔයාලා ලෝබයි.මෙහෙම වෙලාවකත් ඔයාලා ලෝබයි" විසල් කියද්දි දේදුණු ගේ පපුව පිච්චිලා ගියා.

" ඔයා කොහොමද අපට එහෙම කියන්නේ.අප්පච්චිට කොහොමද ඔයා එහෙම කියන්නේ.ඔයාගේ වාහනෙත් අරන් දුන්නේ අපේ අප්පච්චි නේද?" දේදුණු වේගයෙන් කතා කරේ හිතේ වේදනාව නිසාමයි.

" ඒ මං හම්බකරපු සල්ලි.දේදුණු මේ අප්පච්චි ව එක්කගෙන යමු ප්‍රයිවට් එකකට.මේවගේ හරියට බලන්නේ නෑ"

"අනේ ඕනේ නෑ .අපට මෙහෙම හොදයි"

"ඕක තමයි ඔයාලට වෙලා තියෙන්නේ.සල්ලි තිබ්බත් ඉස්සර වගේම පරණ තාලෙට ඉන්න හදන්නේ.ඕක තමයි මේ ඔක්කොටම මුල" විසල් කිව්වේ තරහෙන්.

"ඔව් අපි පරණ තාලේ තමයි.ඒ නිසා තමයි බිස්නස් වැටුනා කිව්වම අප්පච්චි ට හාර්ට් ඇටෑක් හැදුනෙත්.මේ එයාගේ දාඩිය මහන්සියෙන් හදපුවා නිසා.ඉස්සර ඉදන් මෙතනට ආපු විදිය අප්පච්චිට අමතක නෑ"දේදුණු කිව්වේ ඇස් වල කදුලු පිරෙද්දි.

"එයාගේ විතරක්ද? එතකොට අපි කරපුවා.ඔයා කියන්නේ බිස්නස් මං උවමනාවෙන් වැට්ටුවා කියලද.ඉන්වෙස්ට් කරා.ඒක නැති වුනා.මං මොනවා කරන්නද.බිස්නස් වල ලාබ පාඩු වෙනවා තමයි"

"අනේ ප්ලීස් අයියා...මට දැන් මේක කතා කරන්න කැමැත්තක් නෑ.හෙට අප්පච්චිගේ ටිකට් කපනවා කිව්වා.අප්පච්චිට හොද වෙනකම් කරුණාකරලා බිස්නස් ගැන අප්පච්චි එක්ක කතා කරන්න එපා" දේදුණු කියද්දි අහක බලාගත්ත විසල් ඔලුව වැනුවා.

" හරි එහෙනම් යමු මං ඩ්‍රොප් කරන්නම්" විසල් කිව්වේ ඉස්සර වෙන ගමන්.

"එපා අයියේ.අපි කැබ් එකක් කෝල් කරා.දැන් ඇවිත් ඇත්තේ.අපි යන්නම්" දේදුණු එහෙම කියලා පත්මා ලගට ගියා.

' විසල් අයියා ඉස්සරට වඩා දැන් කොච්චර වෙනස් ද?'  දේදුණු හිතුවේ බැල්කනියෙන් එලිය බලාගෙනමයි.දේදුණුගේ කල්පනාව බිද වැටුනේ එයාගේ දුරකථනය නාද වෙන හඩින්.

ආපහු කාමරේට ගියපු දේදුණු ඇද උඩ තිබ්බ ජංගම දුරකථනය අතට ගත්තා.ඒ ඇමතුම ආවේ විසල්ගෙන්.මේ විසල් මේ දවස් ගානකට පස්සේ දේදුණු ට කතා කරන පළවෙනි වතාව.කතා කරන්න තරම් හිතක් නොතිබ්බත් දේදුණු දුරකථනයට පිළිතුරු දුන්නා.

"හෙලෝ"

"හෙලෝ...දේදුණු කොහෙද ඉන්නේ?"

" කොළඹ"

"නැන්දලගේ ගෙදර ආවද?"

"ඔව්"

"මට කිව්වෙවත් නෑනේ"

"නැන්දලා එහේ ආපු වෙලාවේ එයාලා එක්ක ආවේ.කියන්න වෙලාවක් වුනේ නෑ" දේදුණු කිව්වේ ඕනවට එපාවට වගේ.

"අහ් දැන් වෙලාවක් තිබ්බොත්ද මට දේවල් කියන්නේ" විසල් අහද්දි දේදුණුගේ ඉවසීම නැති වුනා.

"අනේ මේ විසල් අයියේ,ඉදලා හිටලා කතා කරලා මං මැරිලද බලන ඔයා එන්න එපා මට ඕවා කියන්න..ඔයා දැන් මොකටද කතා කරේ"

"කතා කරේ කොහොමද බලන්න.මං ඉදලා හිටලා හරි කතා කරනවා.ඔයා එහෙමවත් කතා කරනවද"

" මං කතා කරපු කාලයක් තිබ්බා අයියේ.ඒත් මං කතා කරන එක ඔයාට වදයක් වුනාම මට ඒත් බලෙන් කතා කරන්නද කියන්නේ.වෙරි සොරි අයියේ මං එහෙම පස්සෙන් යන්නේ නම් නෑ" දේදුණු කිව්වේ තරහෙන්

" හරි දැන් කොහොමද ඔයාට"

"මං හොදින් ඉන්නවා.නැන්දා එක්ක පන්සල් යන්න හදන්නේ.පස්සේ කතා කරන්නම්.බායි" එක දිගට කියාගෙන ගියපු දේදුණු දුරකථනය විසන්ධි කරේ විසල්ට කතා කරන්නවත් අවස්ථාවක් නොදී.

' වෙලාවකට මාව ඕනේ.වෙලාවකට මාව එපා.මං බෝනික්කෙක්ද අප්පා එයාට ඕනේ විදියට ඉන්න' දේදුණු හිතුවේ ඇස් වල කදුලු පිරෙද්දි.

පහුවදා හවස දේදුණු ට දේශන කලින්ම ඉවර වුනේ එදා සිකුරාදා නිසා.ගොඩක් ලමයි ගෙවල් වල යන්න පිටත් වුනා.විශ්ව විද්‍යාලයෙන් එලියට බැස්ස දේදුණු බස් හෝල්ට් එක පැත්තට යන්න ගියේ බිම බලාගෙනමයි.දේදුණු ගේ හිතේ තිබ්බේ වෙනදට සෙනසුරාදාට තමන්ව බලන්න එන අප්පච්චි හෙට නෑනේ කියලා.

"හායි" එක පාරටම කණ ලගින් ඇහුනු සද්දේ නිසා දේදුණු ගැස්සිලා ඒ පැත්ත බැලුවා.දේදුණු ලගම හිටගෙන හිනා වෙවී හිටපු ආදිත්‍ය දිහා දේදුණු බැලුවේ පුදුමෙන්

"ඇයි අදුරගන්න බැරිද මාව" ආදිත්‍ය ඇහුවේ දේදුණු ගෙන් උත්තරයක් නැති නිසා.

"පුලුවන් පුලුවන්" දේදුණු කිව්වේ හොදට හිනා වෙන ගමන්.දේදුණු ටත් හිතාගන්න බැරි හේතුවක් නිසා ආදිත්‍යව දැකලා දේදුණුට දැනුනේ ලොකු සතුටක්.

"අම්මෝ...ලොකු දෙයක්.මං ඒත් හිතුවා අමතක වෙලා කියලා" ආදිත්‍ය කියද්දි දේදුණු හිනා වුනා.

" මං ගොඩක් පාරක් ඔයාගේ ෆෝන් එකට ගත්තා.ඒත් වැඩ කරේ නෑනේ" ආදිත්‍ය කිව්වේ දේදුණු උත්තරක් නොදීපු නිසා.

"ආ....මං නම්බර් එක මාරු කරා.දැන් අලුත් නම්බර් එකක් තියෙන්නේ"දේදුණු කිව්වේ දුරකථනය එලියට ගන්න ගමන්.

"නම්බර් එක මට දෙනවද" ආදිත්‍ය ඇහුවේ දේදුණු ගේ මූණට එබිලා.ඒකට ගැස්සුනු දේදුණු අඩියක් පස්සට ගත්තා.

"ඉන්න ටිකක්" එහෙම කියපු දේදුණු කලින් දුරකථනය ගබඩා කරලා තිබුනු ආදිත්‍යගේ අංකයට ඇමතුමක් ගත්තා.

"හරි...." ආදිත්‍ය කිව්වේ ඒ අංකය ගබඩා කරගන්න ගමන්.දේදුණු හිනා වෙලා දුරකථනය බෑග් එකට දාගත්තා.

"ඉතින් කොහොමද" ආදිත්‍ය ඇහුවේ දුරකථනය සාක්කුවට දාගන්න ගමන්.

"වරදක් නෑ"

"කෝ ඔයා අප්පච්චි ගෙන් ඇහුවද මං කියපු එක ගැන" ආදිත්‍ය එහෙම අහද්දි දේදුණු බිම බලාගත්තා.

"ආ....ඇහුවේ නැද්ද" ආදිත්‍ය ආයෙත් ඇහුවා.

" නෑ" දේදුණු කිව්වේ ඔලුව දෙපැත්තට වනන ගමන්.

" ඇයි ඒ? ඔයා කිව්වනේ අහන්නම් කියලා" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.ඒකට දේදුණු හිනා වුනේ අමාරුවෙන්.

"ඇයි මොකක්ද ප්‍රශ්නේ" ආදිත්‍ය ඇහුවේ දේදුණු ගේ මූනේ පෙනුනු වෙනස නිසා.

" අප්පච්චිට හාර්ට් ඇටෑක් එකක් හැදුනා.අහන්න වුනේ නෑ ඉතින්" දේදුණු කිව්වේ බිම බලාගෙන

"ආ....දැන් කොහොමද අප්පච්චිට ?"

" බයිපාස් එකක් කරා.දැන් ගෙදර ඉන්නේ"

"අහ්....එහෙනම් බය වෙන්න දෙයක් නෑ.අප්පච්චි තරුණ වෙලා ෆිට් වෙලා ඒවි." ආදිත්‍ය කියද්දි දේදුණු බැලුවේ පුදුමෙන්.

"ඇයි එහෙම කියන්නේ"

"ඇයි අහලා නැද්ද බයිපාස් කරාම අවුරුදු 10කින් තරුණ වෙනවා කියලා"

"නෑ....බොරූ...." දේදුණු කටත් උල් කරලා ඒක කියපු විදියට ආදිත්‍යට හිනා ගියා.

"ඇත්ත ලමයො....බොරු නම් ඔයා ඉන්ටර්නෙට් එකෙන් බලන්න.එහෙම කියනවා" ආදිත්‍ය කියද්දි දේදුණු ආදිත්‍ය දිහ බැලුවේ සැකෙන්.

" ඇත්තම ද?" දේදුණු ආයෙත් අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඔව් ඔව් ඇත්තම තමයි.මං එහෙම අහලා තියෙනවා.අප්පච්චිට ටිකක් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න කියන්න.ඒ ඇරෙන්න නම් බය වෙන්න දෙයක් නෑ.දැන් හාර්ට් එකේ ලෙඩ වුන කෑල්ල අයින් කරලනේ.දැන් එයා ලෙඩ දෙන්නේ නෑ.ඒ කියන්නේ සනීපයි" ආදිත්‍ය කියද්දි දේදුණු හිනා වුනා.

"අනේ....තැන්ක් යූ එහෙම කිව්වටත්" දේදුණු කිව්වේ ඇත්තටම හිතින් ආදිත්‍යට ස්තූතිවන්ත වෙන ගමන්.

" යුවර් වෙල්කම් මැඩම්" ආදිත්‍ය පොඩ්ඩක් ඉස්සරහය නැවිලා ආචාර කරලා කියපු විදියට දේදුණු ට ආයෙත් හිනා ගියා.

"ඒක නෙවෙයි ඔයා මොකද මෙහේ" දේදුණු ආදිත්‍යගෙන් ඇහුවා.

"ආ...මං මේ පොඩි වැඩකට ආපු ගමන්." ආදිත්‍ය එහෙම කිව්වේ දේදුණු ගේ උරහිසට උඩින්  එබිලා බලන ගමන්.ඒ නිසාම දේදුණු ත් පිටිපස්ස හැරිලා බැලුවා.එතන තිබ්බ තුංමං හන්දියෙන් එහේ මෙහේ යන වාහන ගොඩක් ඇරුනම දේදුණු ට වෙන දෙයක් පෙනුනේ නෑ.

" ඉතින් වැඩේ ඉවරයිද?" දේදුණු ඇහුවත් ආදිත්‍ය ගෙන් උත්තරයක් ලැබුනේ නෑ.ආයෙත් සැරයක් දේදුණු පිටිපස්ස හැරිලා බැලුවේ ඒ නිසාමයි.

බෑග් එකකුත් පිටේ එල්ලගෙන බිම බලාගෙන ඒ පැත්තට එන අසෙලිව අදුරගන්න දේදුණු ට වැඩි වෙලාවක් ගියේ නෑ.කොහොමත් හොද මතකයක් තියෙන දේදුණු ට අසේලිව දවසක් පාරේදි දැක්ක ගමන් අදුරගන්න පුලුවන් වුනෙත් ඒකයි.අසේලි ආවේ ලොකු කල්පනාවක නිසා මේ දෙන්නා ලගට එනකම්ම දැක්කේ නෑ.

"අසේලි...." මෙච්චර වෙලා අසේලි දිහා බලන් හිටපු ආදිත්‍ය කතා කරේ අසේලි එයාලා ලගට එනකොටමයි .තමන්ගේ නම කියනවා ඇහුනු අසේලි ඔලුව උස්සලා බැලුවේ පුදුමෙන්.

"ආ....මේ ඔයා...මෙතන" අසේලි කියාගෙන ආවේ පුදුමෙන්.

" ඔව්...වැඩකට ආවා මේ ලගට"

"ආ....එහෙමද " අසේලි කිව්වේ දේදුණු දිහාත් බලන ගමන්.දේදුණු ත් අසේලි දිහාමයි බලන් හිටියේ.

'ෆොටෝ එකේ නම් මීට වඩා ලස්සනයි මෙයා' දේදුණු හිතුවේ කොණ්ඩේ ගොතලා දිග සායට ටීශර්ට් එකක් ඇදලා හිටපු අසේලි දිහා බලාගෙන.

"දේදුණු, මේ ඉන්නේ අසේලි...මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්"ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගන්න ගමන්.

"ආ....ඔව් මට මතකයි ෆොටෝ එක..හායි..මං දේදුණු " දේදුණු කිව්වේ අසේලි දිහාවට අතක් දික් කරලා.

"හායි....මං අසේලි" අසේලි කිව්වේ ලැජ්ජාවෙන්.

'මෙයාගේ ලස්සන.ඇදුනුත් ලස්සනයි.මං නිකන් මොකෙක්ද වගේ පේනවා ඇති' අසේලි හිතුවේ ලැජ්ජාවෙන්.

" ඔයා කොහෙද මේ යන්නේ" ආදිත්‍ය ඇහුවේ අසේලිගෙන්.

" පොතක් ගන්න තියෙනවා මෙතන කඩේකින්.ඒක අරන් ගෙදර යනවා"

" මං මේ ඔයාව ගන්න කැම්පස් එකට එන්න හැදුවේ" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේන් පෙන්නන ගමන්.ඒක දැකපු ආදිත්‍ය අසේලිට ඇහැක් ගහලා ඉගි කරා.

" ආ...." ආදිත්‍ය ගේ හැසිරීමෙන් පුදුම වුනු අසේලිට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.

" යමු එහෙනම් අපි.දේදුණු අපි යනවා එහෙනම්" ආදිත්‍ය කියද්දි අසේලිත් හිනා වුනා.

" අපි ගිහින් එන්නම් එහෙනම්" අසේලිත් සුහද විදියට හිනා වෙලා කියද්දි දේදුණු ත් හිනා වුනා.

"හරි...හරි...බායි" එහෙම කියපු දේදුණු බලන් හිටියේ ආදිත්‍ය යි අසේලි යි යන දිහා.

'මේ දෙන්නා නම් ගැලපෙන්නේ නෑ.අර ලස්සන කොල්ලා මේ වගේ කෙල්ලෙක්ට මොකට කැමති වුනාද මන්දා' දේදුණු හිතුවේ ආදිත්‍ය යි අසේලි යි දිහා බලාගෙනමයි.

******************************************
කතාව හොදයිද ලමයි 

කොමෙන්ට් වලට රිප්ලයි නොකරට සොරී සොරී ගොඩක් සොරී.රිප්ලයි නොකරට මං ඒවා බලනවා හොදේ.පුලුවන් ඉක්මනට රිප්ලයි කරන්නම්.

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment