Tuesday, May 15, 2018

මගේ දත් කතාව


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ගේ මෙන් මගෙත් දත් කතාව පටන් ගත්තේ මගේ දත් එන්නට පටන් ගත් දා පටන් ය.නමුත් එදා සිට අද දක්වාම මේ දත් සෙට් එක මට දී ඇති වද ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.

මේ දත් සෙට් එක මල කරදරයක් බව මට මුලින්ම වැටහුනේ අවුරුදු 6 දී මහියංගනයේදීය.තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර ගිය විටෙක දත් ප්‍රශ්නයක් මතු විය.එය කොහෙන් කොහොම මතු වුනා දැයි මට මතක නැත.කෙසේ වූවත් අවසානයේ සිදූ වූයේ මාව බලෙන්ම ඒ යාලු අන්කල්ගේ ගෙවල් ලග තිබු මහියංගනය රජයේ රෝහලේ දන්ත ඒකකයට රැගෙන යාමයි.මගේ බලවත් විරෝදය මැද මාව ඒ පුටුවට උස්සා දැමු අතර අන්කල් මගේ කකුල් දෙකෙන් අල්ලාගත් අතර තාත්තා මගේ අත් දෙක අල්ලාගෙන සිටියේය.කෙසේ හෝ මගේ කට ඇරවා බැලූ වෛද්‍යවරිය කිව්වේ මගේ යටි ඇන්දේ දතක් ගැලවීමට අවශ්‍ය බවයි.එසේ නොකලොත් ස්ථීර දත් එමට ඉඩ අඩු වී දත් ටික කැත විය හැකි බවයි.


ඔය මොනවා කිව්වත් මට නම් ඕවා අදාලම වුනේ නැත.මට ලස්සනක් වැඩක් වූයේ නැත.අවශ්‍ය වූයේ මේ මරාලයෙක් ගැලවීමය.කෙසේ හෝ එහෙට මෙහෙට ඇබරී මං ඒ පුටුවෙන් බිමට පැන ගතිමි.පැන දිව්වෙමි.අඩා අඩා රෝහල වටේම දිව්වෙමි.තාත්තාත් අන්කලුත් මා පසුපස නොයෙකුත් දේ කියමින් දිව ආවත් මං නම් නැවතුනේ නැත.මුලු රෝහලම මා දෙස බලාගෙන සිටියත් මට එයද ගානක් ගියේ නැත.මට අවශ්‍ය වූ එකම දේ මෙහෙන් පිට වී යාමයි.කෙසේ හෝ රෝහලේ ගෙට්ටුව සොයා ගත් මා ගෙට්ටුවෙන් එලියට ගොස් සිට ගතිමි.මා එලියේ බව දුටු තාත්තා මගේ ලගට පැමිණියේය.මා ආපසු මැරතන් තරගයකට සුදානම් වනු දුටු තාත්තා මහ හයියෙන් ,"නෑ නෑ ආපහු ගෙනියන් නෑ.අපි ගෙදර යමු" යැයි පැවසීය.

මා බලා සිටියේ අවිශ්වාසයෙනි.නමුත් තාත්තා පොරොන්දුව ඉශ්ට කළේය.එදා මා එක්කාගෙන ගෙදර  පැමිණි පසු නැවත, කිසිදාක මා එක්කාගෙන දන්ත සායන වලට ගියේ නැත.

ටික කලකින් ඒ දත ඉබේටම හැලී ගිය අතර මහියංගනයේ දොස්තරගේ කීම සත්‍ය කරමින් මගේ යටි දත් ඇන්දේ දත් මතු වූයේ යකා දත් හිටෙව්වාක් මෙනි.එයටම හරි යන්න මගේ උඩි ඇන්දේ හා දත් දෙකක්ද විය.මෙය ඒ කාලයේ මගේ මවට සෑහෙන ගැටලුවක් විය."අනේ මේ ලමයගේ දත් දෙකේ ලොකු " යැයි දවසට කීප වතාවක්ම පැවසීම මට මහත් කන්දොස්කිරියාවක් විය.කෙසේ වුවත් පිට කෙනෙකු මට එලෙස කීම අම්මා නොරිස්සු අතර මගේ දත් දෙක ගැන කතා කල ඇන්ටි කෙනෙකු මගේ අම්මාට කියා දත් ගලවා නොගෙන බේරුනේ අනුනමයෙනි.

මට නම් මේ කිසිම දෙයක් ගැන ගානක් වූයේ නැත.දත් අවශ්‍ය ආහාර සපා ගිලීමට බව අපට විද්‍යාව පාඩමේදී ඉගැන්වූ අතර මා එය හොදින් අවබෝද කරගෙන ඕනෑම ආහාරයක් හොදින් සපා ගිලීමට පුරුදු වී සිටියෙමි.මෙසේ හැම කෑමම සපා ගිලීම මට සාපයක් වන්නට වැඩි කාලයක් ගියේ නැත.හක්කේ දතක් නරක් වෙන්නට පටන් ගෙන තිබුණි.දත ගැලවීමට අවශ්‍ය නොවන බව කියූ දොස්තර එයට ස්නායු පීරවීමක් යෝජනා කළේය.වෙන විකල්පයක් නොවූ තැන මා එයට එකග විමී.මේ ස්නායු පිරවීමට වඩා දත ගලවා දැමුවේ නම් යෙහෙකීයැයි මට සිතුනේ පළමු දිනේදීමය.එය ඒතරම්ම වේදනාකාරී විය.කෙසේ හෝ මගේ දත් සෙට් එක එසේ නැවතුනේ නැත.මේ වනවිට දත් හතරක්ම පුරවා ඇත.


මෙසේ කාලය ගෙවී ගියේය.මා කැම්පස් ගියෙමි.ඒ ගොස් කලක් ගතවන විට මට පෙනී ගියේ අර මගේ හා දත් වලින් එකක් අනික උඩට නැග ඇති බවයි.ඒ වන විට දත් වලට කම්බි මල් දැමීම විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය විලාසිතාවක් වී තිබූ අතර පළමු වරට මටද මේ දත් ටික පේලියට හදා ගැනීමේ උවමනාව ඇති විය.ප්‍රදේශයේ ජනප්‍රිය දොස්තර මහතෙකු හමුවීමට ගිය පසු දැන ගැනීමට ලැබුනේ මහත් ශෝක ජනක ආරංචියකි.ඒ නම් මෙසේ මගේ හා දත් එකිනෙකා උඩ පැන ඇත්තේ මගේ අර යකා හිටවූ යටි ඇන්දේ දත් පේළිය නිසා බවයි.පොඩි කාලයේම මෙය හදාගත්තා නම් හරි යැයි දොස්තර දේශනා දීමට පටන් ගත් අතර තාත්තා මට රවමින් දොස්තරට මගේ කුඩා කල හපන්කම රස කරමින් කීවේය.කෙසේ හෝ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මගේ කටේ දත් 4ක් ගලවා කම්බි මල් දමා සෑදීමයි.

මේ වනවිට මේ කර්තව්‍යයට අවුරුදු 2කට වැඩිය.තාමත් මේ කම්බි මල් ගලවා නැත.මේ අවුරුදු දෙකට මේ කම්බි නිසා විදි දුක් ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.මුල් කාලයේ හරියට කෑමක් කෑවේ නැත.දැනුදු සමහර කෑම කන්නේ නැත.කම්බි ඇනී කට තුවාල වී ලේ ගැලීය.රෑ තිස්සේ වේදනාව දරාගත නොහැකි විය.දත් මැදීම ගැන කතා කර තේරුමක් නැත.කොච්චර මැද්දත් දොස්තරට ඒ මදිය.දත් වල කම්බි පෙන්නන්න යන හැමවෙලේම නොසෑහෙන්න බැනුම්‍ ය.ඒ සියල්ල ඉවසිය හැක.ඉවසියම නොහැක්කේ  මේ එක එකාගේ ප්‍රශ්නයි.

"කවද්ද ඕක ගලවන්නේ?"

"මොකටද අනේ ඕක දැම්මේ?"

"ඕක කනකොටවත් ගලවන්න බැරිද?"

"කීයක් ගියාද ඕකට?"

"අම්මෝ ඔච්චර කල් කොහොමද අනේ ඉන්නේ?'

"ඕක දාගෙන කසාදයක්වත් බදින්නේ කොහොමද"?

"දැන්වත් ඕක දොස්තරට කියලා ගලවගන්න.එපා වෙන්නේ නැද්ද?"

"කතා කරනකොට අමුතුයි ඔයා.කම්බි නිසා වචන පිට වෙන්නේ නෑ නේද?"

මේ යනාදී විවිධ ප්‍රශ්න වලට උත්තර දීම මට එපා වී ඇත.ඊට වඩා එපා වෙන්නේ තමුන් දන්නා ලෙස උපදෙස් දීමට පටන් ගැනීමය.උපදෙස් අසා සිටිම මේ කම්බි දාගෙන සිටිනවාට වඩා වේදනාකාරී වැඩකි.මේවා අසා එපා වී කම්බියක් දිවේ ඇනගෙන මැරෙන්න සිතුනු අවස්ථාද නැතුවා නොවේ.

මේ ඔක්කොම අස්සේ කාලයක් ගලවා දමන තල්ලකද දාන්නට සිදු විය.එය ඊට හපන්‍ ය.එය දමා ගත් විට කතා කරගැනීමටද අපහසුය.කට වසා ගැනීමටද නොහැක.මා දුටුවන් සිතන්නේ මා බුම්මාගෙන සිටින කිසිම සුහදශීලීත්වයක් නැති ලමයෙක් කියාය.මේ ඔක්කොමත් හරිය.ෆොටෝ එකකට දත් පෙන්නා හිනා වූ කාලයක් මතක නැත.මෙය නම් මහත් අපල කාලයකි.



මෙහි ඇති එකම හොදය වන්නේ දත් ටික ගානට ලස්සනට පේළියකට සෑදීමයි.කණ්නාඩියෙන් දත් දෙස බලන විට අර විදි වේදනාවන් අමතකව යයි.ලගදීම මේ කම්බි මල් ගලවා දමන බව දොස්තර කියා ඇත.ඒ දිනය වන තෙක් මා දින ගනිමි.හීන දකිමි.එය මගේ ජිවිතේ රන් අකුරින් ලියවෙන දිනයක් වනු ඇත.




8 comments:

  1. ඉක්මනින් ගැලවේවා , කම්බියට නිවන් සුව පතමු. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි 😊 දැන් නම් බකට් කම්බියක් වත් පෙන්න බෑ මට 😬😅

      Delete
  2. මගේ කතාව වගේමයි ;-)

    ReplyDelete
  3. කට්ට කාල හදාගත්තට පාඩු නැ , අපේ වයසට එනකොට තමා රගේ තේරෙන්නේ ........ හරියට මැදගන්ඩ සුද්ධකරගන්ඩ බැරුව මාර කට්ටක් කන්ඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනාගතය ගැන හිතලා තමයි මේ හිත හදන් ඉන්නේ 😅😉

      Delete

ආදරණීය නපුරා - එකොළොස්වන කොටස

සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.ඔලුව කැක්කුම නිසාම සජිනි හෙමීට ඇස් ඇරියා.ඇස් අරිනකොට සජිනි දැක්කේ එයාගේ ඇස් ලගටම පාත් වෙලා ...