Wednesday, May 23, 2018

ගොලු හදවතේ සැබෑ දම්මි සමු ගෙන ගොසිනි ....



මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ දුටු පෝස්ටුවකින් හදවත සසල විය.එහි මාතෘකාව වූයේ "ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි." යන්නයි.

ඔව් සැබැවින්ම සිදු වී ඇත්තේ එයයි.ගොලු හදවත නවකතාවට පදනම් වූ දම්මි හෙවත් පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.

ගොලු හදවත නවකතාව කිසි දිනක මට තවත් එක් නවකතාවක් වුයේ නැත.එය මගේ ජිවිතයේ එක් කොටසක්  විය .පොත් පිස්සියක වූ මා අම්මාගේ පාසලේ පුස්තකාලයෙන් පොත් කියවීමට පටන් ගත්තේ ඉතා කුඩා කාලයේදීය.මොනවා කියවන්නට අවසර තිබ්බත් මට ප්‍රේම කතා කියවීමට අවසර තිබුනේ නැත.ඉතින් පුස්තකාලයේ මේසයක් මත අහම්බයෙන් දමා ගොස් තිබී අම්මාටත් පුස්තකාලයේ මිස්ටත් හොරෙන් මා කියවූ පලමු ප්‍රේම කතාව "ගොලු හදවතයි".


ඒ කතාව ඇත්තෙන්ම මා ගොලු කළේය.ප්‍රේමය කුමක්දැයි තේරුමක් නොදැන සිටි වයසකත් සුගත් සමග මා ද දුක් විමී.කදුලු සැලුවෙමි.ඒ දුක මට ද බරක් විය.දම්මි සුගත්ට කළ දේට දම්මිට වෛර කළෙමි.කිසි දිනෙක දම්මි කෙනෙක් නොවීමට අදිටන් කරගත්තෙමි.නමුත් කාලය ගෙවී යද්දී නැවත නැවතත් ඒ පොත කියවද්දි දම්මිව මට දැනෙන්නට පටන් ගත්තාය.දම්මිගේ ඒ වයසේදී මම දම්මි තරමටම දම්මිව තේරුම් ගතිමි.දම්මිට ආදරය කරන්නට ගතිමි.

මගේ දෛවය මහ පුදුමාකාරය.මේ තරමට දම්මිට ආදරය කළ මට ජිවිතයේ එක තැනකදී "දම්මි" ලෙසම නමක් ලැබුණි.එය කොහෙත්ම සැලසුම් කළ දෙයක් නොවිණි.කොහෙත්ම මගේ නමට සම්බන්ද නමක් වූයේද නැත.කෙසේ හෝ මා ද දම්මි විය.මෙහි තවත් පුදුමයක් වූයේ මගේ මවගේ සුරතල් නාමයද දම්මි වීමයි.පසු කලක දැනගත් ලෙස ඇයද ගොලු හදවතට අසීමිතව ආදරය කළ හෙයින් ඇගේ මිතුරියන් ඇයගේ නම කොට කර දම්මි ලෙස අමතා ඇත.

ඉතින් මේ තරමටම මගේ හදවතේ ජීවත් වූ දම්මිය අද සමුගෙන ගොසිනි...නමුත් ඇයගේ ගොලු හදවත කිසි දිනක අප අතහැර නොයනු ඇත.

ඉතින් දම්මි,

සැබෑ ජිවිතයේ පද්මා නාලිනි ගුණරත්න නම් වූ අපට අපේ සදා ආදරණීය දම්මිය  වූ ,
ඔබට නිවන් සුව !! 

***************************************************************************
මේ ඇය ගැන මා දුටු මුහුණු පොතේ පෝස්ටුවයි.

ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි.
කරුණාසේන ජයලත්ගේ ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූ අතර ජයලත් හා බෝල්ඩ්වින් යන දෙදෙනාම තම සිතෙහි වූ ප්‍රේමය කිසි දිනෙක දම්මිට ප්‍රකාශ කලේ නැත. දම්මි මේ දෙදෙනාටම ආදරණීය මිතුරන් ලෙස සැලකුවාය.
හදවතේ ගොඵ වු තම ආදරය පදනම් කර ගනිමින් ජයලත් ගොඵ හදවත ලිවීය. සැබැ කතාවේ සුගත් ජයලත් විය. ඔහු අද අප අතර නැත. නිහාල් පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ජිවිතයෙන් සමුගත් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. දම්මී පද්මා නාලනී ගුණරත්නය. ගොඵ හදවත නවකතාවේ දම්මි විවාහ වන්නේ නිහාල් සමගිනි. එහෙත් සැබෑ කතාවේ ජයලත්ට හෝ බෝල්ඩ්වින්ට පද්මා හා විවාහ විය නොහැකි විය.
මද කලක් රෝගාතුරව සිටි පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ 2018 මැයි මස 22නිදා රාත්‍රී 7.45 පමණ, කොල්ලුපිටියේ ඇගේ නිවසේදී ජිවිතයෙන් සමුගෙන තිබේ.
දේහය, හෙට 2018 මැයි 24වෙනිදා උදය වරුවෙ සිට බොරැල්ලේ ජයරත්න අවමංගල ශාලාවේ තබා ඉන්පසු මැයි 25 සිකුරාදා සවස 3.30ට ආදාහනය සඳහා බොරැල්ල කනත්තට ගෙන යනු ඇත.
ඇයට නිවන් සුව පතමු....
මේ ශෝකජනක පුවත අප වෙත ගෙන ආවේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ සොහොයුරියයි.

උපුටා ගැනීම Priyanjen Suresh De Silva මහතාගෙනි.

පද්මා නාලිනී ගුණරත්න - දම්මි

කරුණාසේන ජයලත් - සුගත්

ඩි. බී. කුරුප්පු - නිහාල්


3 comments:

  1. දම්මි,,
    හදවත ගොලු විය මෙය අසා

    ReplyDelete
  2. බොහොම ස්තූතියි :) වටිනා ලිපියක්

    ReplyDelete