Wednesday, May 23, 2018

ආදරණීය නපුරා - දොළොස්වන කොටස


සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි.

"අහ් පුතා" සජිනිගේ තාත්තා කතා කරේ හොදට හිනා වෙන ගමන්

"අම්මලා උදේම ඇවිත්.කිව්වෙත් නෑනේ.එන්න ඇතුලට" සහන් අම්මලට ඇතුලට එන්න ඉඩ දෙන ගමන් කිව්වා 

"කෝ අපේ කෙල්ල" සජිනිගේ අම්මා ඇහුවේ ඇතුලට යන ගමන් 

එතකොටම බැල්කනියේ කතාවක හිටපු සජිනි බැල්කනියෙන් එලියට ඔලුව දැම්මේ මේ කතා කරන්නේ කවුද බලන්න.අම්මලව දැකපු සජිනිගේ ඇස් ලොකු වුනා.ෆොන් එකට මොනවද මුමුණපු සජිනි අම්මා ලගට දුවගෙන ඇවිත් අම්මව බදාගත්තා.

"සුබම සුබ උපන්දිනයක් මගේ දුවට" සජිනිගේ තාත්තා තාමත් අම්මව බදාගෙන ඉන්න සජිනිගේ ඔලුව අතගාන ගමන් කියනකොට සහන්ගේ ඇස් දෙක ලොකු වුනා.

"අහ් එහෙනම් ඒකයි මේ උදේ ඉදන් තිබ්බ වෙනස.කිව්වෙවත් නෑනේ" සහන් තමන්ටම කියගත්තා.

"කෝ ඉතින් අඩන්න එපා."සජිනිගේ අම්මා සජිනිවත් අල්ලගෙනම පුටුවෙන් වාඩි වුනා.

"දැන් මොකටද මේ අඩන්නේ?" සජිනිගේ තාත්තත් ඇහුවේ සජිනිගේ ඔලුව අතගාන ගමන් 

"ඔයාලා මාව අමතකම කරලා..මට උදේ කතා කරෙත් නෑ.විශ් කරෙත් නෑ.හරි නරකයි ඔයාලා "සජිනි හොටු හූරන ගමන් කියනකොට මෙච්චර වෙලා මේක බලන් හිටපු සහන්ට හිනා ගියා.

"ඉතින් මේ අම්මට ඕනේ වුනානේ උපන්දිනේ දවසේ දුව බලන්න.නැත්තම් මෙහෙම එන්නෙත් නෑ පුතා.ඔයාලා මේක හරි නම් තනියම සමරන්න ඕනනේ.මේ පළවෙනි උපන්දිනේනේ බැන්දට පස්සේ" සජිනිගේ තාත්තා සහන් දිහා බලලා කියනකොට සහන්ගේ මූන මැලවුනා.

හරි ආදරෙන් පරිස්සමට අම්මලා තාත්තලා හදපු දුවට තමන් කියපු කරපුවා දන්නවා නම් මේ තාත්තා තමන් දිහා බලන එකක්වත් නෑ කියලා සහන්ට හිතුනා 

"අපි වැඩි වෙලා ඉන්නේ නෑ පුතා.ඉක්මනට යනවා.මගේ අක්කා බැදපු මහත්තයගේ අම්මට සනීප නෑ.මේ එහේ යන්නත් හිතාගෙන ආවේ"සජිනිගේ අම්මා කිව්වා 

"කවුද? චන්ද්‍රානි ආච්චිද? මොනවා වෙලාද?" මෙච්චර වෙලා අඩ අඩ හිටපු සජිනි දැන් තමයි කතා කරේ 

"ඔව්.කකුලේ අමාරුවක්ලූ.අපි ගියේ නෑනේ බලන්න.ඒකයි මේ යන්න ආවේ" 

"මාත් එනවා යන්න" සජිනි එක පාරටම කිව්වා 

"ඔයාට පිස්සුද දුව.එහෙම කොහොමද ඔයා යන්නේ.අද ඔයාගේ උපන්දිනේ.පුතා මොනවා හරි ප්ලෑන් කරලා ඇත්තේ" සජිනිගේ තාත්තා සහන් එක්ක හිනා වෙන ගමන් කිව්වා 

'අනේ මෙයා ප්ලෑන් කරන එවා.මගේ උපන්දිනේ කියලවත් දන්නේ නැතුව ඇති' සජිනි එහෙම හිතුවට ඒක කිව්වේ නෑ.

හැබැයි ඒ කතාවට නම් සහන් අවුල් වුනා.මේ උපන්දින කතාවක් ඇත්තටම සහන් දැනගෙන හිටියේ නෑ.දැනන් හිටියා නම් අඩු ගානේ උදේ විශ් කරන්නවත් තිබුනා කියලා සහන් කල්පනා කරා.ඒත් තාමත් පරක්කු නෑ කියලා හිතපු සහන් කතා කරා 

"අහ් ඔව් අපි රෑට කෑමට එලියට යන්න ඉන්නේ" සහන් එහෙම කිව්වම සජිනි සහන් දිහා බැලුවේ පුදුම වෙලා.

"අම්මේ.. මෙයා මාර නලුවෙක්නේ..හෝටලේ කාමරෙන් එලියට දාලා දොර වහපු මිනිහා කන්නම එක්කන් යාවි "සජිනි තමන්ටම කියාගත්තා 

"අම්මලා ඉන්නකෝ.මං බොන්න මොනවා හරි හදන්නම්"සජිනි එහෙම කියලා නැගිටලා ගියා.සජිනිගේ අම්මත් සජිනිගේ පස්සෙන් කුස්සියට ගියා.

"අපේ සජිනිගෙන් ප්‍රශ්නයක් නෑ නේද පුතා? ටිකක් හිතුවක්කාර වුනාට හිත හරි හොදයි අපේ කෙල්ලගේ.පුතා ටිකක් කියලා හදාගන්න හිතුවක්කාර වැඩ.එයා තනියෙන්නේ ගෙදර හිටියේ.ඉතින් මං වත් සජිනිගේ අම්මා වත් කවදාවත් එයාට බෑ කියලා නෑ.ඒ නිසයි ඒ ඔක්කොම.වැඩිය හිතට ගන්න එපා පුතා"සජිනිගේ තාත්තගේ ඒ වචන වලට සහන්ගේ හිතත් කඩන් වැටුනා.

මෙහෙම ටික වෙලාවක් කතා කර කර හිටපු සජිනිගේ අම්මයි තාත්තයි දවල්ට කාලා ගියේ සජිනිගේ කරදරේටමයි.සහන් නම් ඇත්තටම සජිනිගේ වෙනසින් පුදුම වෙලා හිටියේ.ගෙදර ඉන්නකොට සජිනි මෙච්චර හිනා වෙලා ඉන්නවා සහන් කවදාවත් දැකලා තිබ්බේ නෑ.සජිනි හිනා වෙනකොට ඇත්තටම ලස්සනයි කියලා සහන් හිතුවත් සහන් එක ඒ ඉක්මනටම අමතක කරලා දැම්මා.

අම්මලා ගියාට පස්සේ කාමරේ වැඩ වගයක් කර කර හිටපු සහන් එලියට ආවේ ටීවී බලන්න කියලා.ඒත් ඒ යන ගමන සහන් කුස්සියට එබුනේ කුස්සියෙන් ඇහුන සද්ද වගයක් නිසා.කුස්සියේ සජිනි හිටියේ හාල් වගයක් එලියට ගන්න ගමන්

"මේ මොකද කරන්නේ?" සහන්ගේ සද්දෙට සජිනි හැරිලා බැලුවා.

"හාල් ගන්නවා.රෑට උයන්න"සජිනි එහෙම කියලා ආයෙත් තමන් කර කර හිටපු එක කරන්න ගත්තා 

"ඒත් අපි රෑට කන්න යනවනේ " සහන් කිව්වේ පුදුම වෙලා වගේ 

ඒ සැරේ සජිනි හොදට බැලුවා සහන් දිහා.

"අපි කියන්නේ? කොහෙද යන්නේ?" 

"ඇයි මං උදේ කිව්වේ තාත්තලා ඇවිත් හිටපු වෙලාවේ " සහන් ඇහුවේ සජිනිට මේක අමතක වෙලාද කියලා හිතලා 

"අහ් ඒකද? මං දන්නවා ඔයා ඒක තාත්තලගේ හිත හැදෙන්න කිව්වේ කියලා.එහෙම ඕනේ නෑ සහන්" සජිනිගේ මේ කතාවට සහන් පුදුම වුනා.දැන් කොහොමද කියන්නේ නෑ යමු කියලා.එහෙම හිතලා ටීවී එක ලගට ගියපු සහන් ආපහු හැරිලා කුස්සිය ලගට ආවා 

"නෑ සජිනි මං ඇත්තටමයි කිව්වේ.ඔයාගේ උපන්දිනේනේ.අපි යමු එලියෙන් කමු." සහන්ගේ කතාවට සජිනි සහන් දිහා බලන් හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව 

"ඔයාට මොකද සහන් වෙලා තියෙන්නේ?" ඒ පාර නම් සහන්ටත් තරහ ගියා.

"ඔච්චරටම ඕනේ නැත්තම් නිකන් ඉන්න.උපන්දිනේ නිසා එලියට යන්න හැදුවේ.ඒකටත් රටේ නැති ඒවා අහනවා" 

ඒ පාර නම් සජිනිට තේරුනා සහන්ට ඇත්තටම තරහ ගිහින් කියලා.

"හරි හරි තරහ ගන්න දෙයක් කිව්වේ නෑනේ මං.යමු යමු.කීයටද යන්නේ?" 

"හ්ම්ම් 7ට විතර යමු.ලෑස්ති වෙන්න"

"හා.." එහෙම කියපු සජිනි කාමරේට ගියේ අදින්න ඇදුමක් බලන්න.සජිනි ඉස්සර ඉදන්ම ලස්සනට අදින්න කැමති කෙනෙක්.ඒ නිසාම සජිනි ලග ලොකු ඇදුම් එකතුවක් තිබුනා.හැබැයි මේ මොනා වුනත් ගොඩක් ගෑනු ලමයි වගේ සජිනි ලෑස්ති වෙන්න පැය ගානක් ගත්ත කෙනෙක් නෙවෙයි.මේ නිසාම හවස 6.30 වෙද්දිම සජිනි ලෑස්ති වෙලා බලන් හිටියේ සහන් ලෑස්ති වෙලා එනකම්.

කලු කලිසමට සුදු අත් දිග ශර්ට් එක වැලමිට ලගට නවල ඇදගෙන එලියට ආපු සහන් දැක්කේ ඒ වෙනකොටත් ලෑස්ති වෙලා හිටපු සජිනිව.සජිනිත් සහන්ටම ගැලපෙන්න සුදු කුර්තා විලාසිතාවේ ඇදුමක් ඇදලා ටීවී දාගෙන හිටියේ සහන් එනකම්.

"ලෑස්තිද?" සහන් ඇහුවේ විශ්වාස නැතුව 

"අහ් ඔව් යමුද?"

"යමු " 

එලියට ආපු දෙන්නා සහන්ගේ කාර් එකට නැග්ගේ එලියට යන්න.

කාර් එකේ යනගමන් සහන් රේඩියෝ එක දැම්මේ සජිනිගේ සද්දයක් නැති නිසා.ගෙදර කියලා  පුරුදු විදියටම සජිනිත් සිංදු කියන්න ගත්තේ රේඩියෝ එකේ තාලෙට.අමරදේව සර්ගේ නන්දාමාලීයගේ වගේම ඉරාජ්ගේ සිංදුත් තිබුන සහන්ගේ සිංදු එකතුවේ තියෙන හැම සිංදුවම කිසි ගානක් නැතුව මහ හයියෙන්  කෑගහ ගහ කියන එක සහන් අහන් හිටියේ හිනාව අමාරුවෙන් තද කරගෙන.සජිනි ගෙදරදි සිංදු කියනවා අහලා තිබ්බත් මේ විදියට කියනවා සහන් දැකලා තිබ්බේ නෑ.

සජිනිත්  ඔක්කොම අමතක කරලා නිදහසේ සිංදු කියන්නේ ගත්තේ හිතේ සන්තෝසෙටමයි.අද තමන්ගේ 24වෙනි උපන්දිනේ නිසා වගේම අම්මලා බලන්න ආපු නිසත් සජිනිගේ හිත සතුටෙන් පිරිලා තිබ්බේ.ඒ ඔක්කොමත් එක්ක සහන්ගේ වෙනස්වීම ගැන අමුතුම සැනසිල්ලක් සතුටක් සජිනිගේ හිතට දැනෙමින් තිබ්බා 


*******************************************************************************

ටිකක් පරක්කු වුනා ලමයි..එත් ඔන්න කොහොම හරි අද දවසෙ කොටස දැම්මා.

මොකද හිතන්නේ? සහන් වෙනස් වෙලාද? මොනවා වේවිද?

ඊලග ඉරිදා හම්බෙමුකෝ 😊😊









ගොලු හදවතේ සැබෑ දම්මි සමු ගෙන ගොසිනි ....



මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ දුටු පෝස්ටුවකින් හදවත සසල විය.එහි මාතෘකාව වූයේ "ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි." යන්නයි.

ඔව් සැබැවින්ම සිදු වී ඇත්තේ එයයි.ගොලු හදවත නවකතාවට පදනම් වූ දම්මි හෙවත් පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.

ගොලු හදවත නවකතාව කිසි දිනක මට තවත් එක් නවකතාවක් වුයේ නැත.එය මගේ ජිවිතයේ එක් කොටසක්  විය .පොත් පිස්සියක වූ මා අම්මාගේ පාසලේ පුස්තකාලයෙන් පොත් කියවීමට පටන් ගත්තේ ඉතා කුඩා කාලයේදීය.මොනවා කියවන්නට අවසර තිබ්බත් මට ප්‍රේම කතා කියවීමට අවසර තිබුනේ නැත.ඉතින් පුස්තකාලයේ මේසයක් මත අහම්බයෙන් දමා ගොස් තිබී අම්මාටත් පුස්තකාලයේ මිස්ටත් හොරෙන් මා කියවූ පලමු ප්‍රේම කතාව "ගොලු හදවතයි".


ඒ කතාව ඇත්තෙන්ම මා ගොලු කළේය.ප්‍රේමය කුමක්දැයි තේරුමක් නොදැන සිටි වයසකත් සුගත් සමග මා ද දුක් විමී.කදුලු සැලුවෙමි.ඒ දුක මට ද බරක් විය.දම්මි සුගත්ට කළ දේට දම්මිට වෛර කළෙමි.කිසි දිනෙක දම්මි කෙනෙක් නොවීමට අදිටන් කරගත්තෙමි.නමුත් කාලය ගෙවී යද්දී නැවත නැවතත් ඒ පොත කියවද්දි දම්මිව මට දැනෙන්නට පටන් ගත්තාය.දම්මිගේ ඒ වයසේදී මම දම්මි තරමටම දම්මිව තේරුම් ගතිමි.දම්මිට ආදරය කරන්නට ගතිමි.

මගේ දෛවය මහ පුදුමාකාරය.මේ තරමට දම්මිට ආදරය කළ මට ජිවිතයේ එක තැනකදී "දම්මි" ලෙසම නමක් ලැබුණි.එය කොහෙත්ම සැලසුම් කළ දෙයක් නොවිණි.කොහෙත්ම මගේ නමට සම්බන්ද නමක් වූයේද නැත.කෙසේ හෝ මා ද දම්මි විය.මෙහි තවත් පුදුමයක් වූයේ මගේ මවගේ සුරතල් නාමයද දම්මි වීමයි.පසු කලක දැනගත් ලෙස ඇයද ගොලු හදවතට අසීමිතව ආදරය කළ හෙයින් ඇගේ මිතුරියන් ඇයගේ නම කොට කර දම්මි ලෙස අමතා ඇත.

ඉතින් මේ තරමටම මගේ හදවතේ ජීවත් වූ දම්මිය අද සමුගෙන ගොසිනි...නමුත් ඇයගේ ගොලු හදවත කිසි දිනක අප අතහැර නොයනු ඇත.

ඉතින් දම්මි,

සැබෑ ජිවිතයේ පද්මා නාලිනි ගුණරත්න නම් වූ අපට අපේ සදා ආදරණීය දම්මිය  වූ ,
ඔබට නිවන් සුව !! 

***************************************************************************
මේ ඇය ගැන මා දුටු මුහුණු පොතේ පෝස්ටුවයි.

ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි.
කරුණාසේන ජයලත්ගේ ප්‍රේමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූ අතර ජයලත් හා බෝල්ඩ්වින් යන දෙදෙනාම තම සිතෙහි වූ ප්‍රේමය කිසි දිනෙක දම්මිට ප්‍රකාශ කලේ නැත. දම්මි මේ දෙදෙනාටම ආදරණීය මිතුරන් ලෙස සැලකුවාය.
හදවතේ ගොඵ වු තම ආදරය පදනම් කර ගනිමින් ජයලත් ගොඵ හදවත ලිවීය. සැබැ කතාවේ සුගත් ජයලත් විය. ඔහු අද අප අතර නැත. නිහාල් පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ජිවිතයෙන් සමුගත් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. දම්මී පද්මා නාලනී ගුණරත්නය. ගොඵ හදවත නවකතාවේ දම්මි විවාහ වන්නේ නිහාල් සමගිනි. එහෙත් සැබෑ කතාවේ ජයලත්ට හෝ බෝල්ඩ්වින්ට පද්මා හා විවාහ විය නොහැකි විය.
මද කලක් රෝගාතුරව සිටි පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ 2018 මැයි මස 22නිදා රාත්‍රී 7.45 පමණ, කොල්ලුපිටියේ ඇගේ නිවසේදී ජිවිතයෙන් සමුගෙන තිබේ.
දේහය, හෙට 2018 මැයි 24වෙනිදා උදය වරුවෙ සිට බොරැල්ලේ ජයරත්න අවමංගල ශාලාවේ තබා ඉන්පසු මැයි 25 සිකුරාදා සවස 3.30ට ආදාහනය සඳහා බොරැල්ල කනත්තට ගෙන යනු ඇත.
ඇයට නිවන් සුව පතමු....
මේ ශෝකජනක පුවත අප වෙත ගෙන ආවේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ සොහොයුරියයි.

උපුටා ගැනීම Priyanjen Suresh De Silva මහතාගෙනි.

පද්මා නාලිනී ගුණරත්න - දම්මි

කරුණාසේන ජයලත් - සුගත්

ඩි. බී. කුරුප්පු - නිහාල්


Tuesday, May 22, 2018

සැලුන් අක්කලා



මා කොහෙත්ම සැලුන් රසිකාවියක් නොවෙමි.එසේ වීමට හේතු කීපයකි.ඒවායින් එකක් නම් මට ඕවාට යන්නට ඇති කම්මැලිකමයි.එක ගමනින් වැඩ දහයක් කරගැනීමට පිටත් වන මට සැලුන් යාම බොහෝවිට අතපසු වේ.මගේ යෙහෙළියන් කියන ලෙස නම් අතපසු වනවා නොව මා එය අතපසු කරමි.එක වැඩකට පමනක්  මුල සිට ඇද පැලද ගෙදරින් පිට වීම තරම් මට එපා කරන දෙයක් නොමැති නිසා සැලුන් යනවා කියා ගමනක් මට කොහෙත්ම නැත.දන්නා අදුරන අය බොහොමයක් එන  මගුල් ගෙදරක් ලග පාතක තිබුනොත්  පමණක්  කඩේ ගිහින් එන ගමන් ඇස් බැමි හදාගන්න යන්න හිතන මම ඒ යන්නේද  යන්නම ඕනේ යැයි සිතුනොත් පමණි.

නමුත් මූලිකම හේතුව වෙනත් එකකි .

මා සැලුන් යාමට අකමැති ප්‍රධානම හේතුව වන්නේ සැලුන් අක්කලාය.මොන සැලුන් එකට ගියත් සියලුම සැලුන් අක්කලා සිටින්නේ එකම මොඩල් එකකට ය.කියන්නේ එකම දේවල්‍ ය.කියන ආකාරයද බොහෝවිට එක සමාන වේ.සැලුන් ගිය විට අවසානයේ සිදු වන්නේ  අරන් ගිය තුට්ටු දෙකට තට්ටු වීම හා  හිත රිදවාගෙන ගෙදර ඒමට සිදු වීමයි.

මෙය ආරම්භ වන්නේ ඔවුන් අප දෙස හෙළන නිරීක්ෂණාත්මක බැල්මකිනි.ඉන්පසු කතාව ආරම්භ වේ...

"මිස්ගේ මූණ හරියට කලු වෙලානේ මිස්.සන්  ක්‍රීම්(sun cream) ගාන්නේ නැද්ද?.ෆේශල් එකක් කරා නම් හැබැයි ඕක ටක් ගාලා හරි යනවා.කරමුද? "

"මිස් කලින් කොහෙන්ද අයි බ්‍රෝස්(eye brows) හැදුවේ?මේ හරියට හදලා නෑනේ..එකක් ලොකුයි එකක් පොඩියි.ප්‍රශ්නයක් නෑ.මං දැන් හරියට හදන්නම්කෝ.අපෙන් දිගටම හැදුවා නම් මෙහෙම වෙන්නේ නෑ"

"මිස්  අපර් ලිප් (upper lip) එකත් ත්‍රෙඩින්ග්(threading)  කරමූ.මේ සෑහෙන ෆේශල් හෙයා(ර්) (facial hair) තියෙනවනේ.වැඩිය යන්නේ නෑ.වැඩිපුර 100ක් විතර යන්නේ"

"මිස්ගේ ඇස් යට හරියට කලු වෙලානේ.අලුතෙන් ආපු ක්‍රීම් එකක් තියෙනවා.සතියෙන් හරි යනවා.මිස්ට නිසා මං 600ට දෙන්නම්.පිටින් ගන්නවා නම් 1000ට වැඩියි."

"අහ් කොන්ඩෙ ලේයර් කරන්නද? හරි හරි මිස් බය වෙන්න එපා.ලස්සනට කපලා දෙන්නම්.නෑ නෑ මං එහෙම කොණ්ඩේ ගොඩක් කොට කරන්නේ නෑ.එත් ඉතින් කපනකොට ටිකක් කොට වෙනවා.මිස්ට තේරෙනවනේ ඉතින්" 

මේ කියන කොට කිරිල්ල ලේසි පහසු කොට කිරීමක් වන්නේ නැත.කොටින්ම මා අවසානයේ සැලුන් එකෙන් එලියට එන්නේ ජිවිතේට නැවත කොණ්ඩේ කපන්නේ නැත යන අධිශ්ඨානයෙනි.

ඒ විතරකින් මේ කතාව නිම වන්නේ නැත.සැලුන් අක්කලා කියන පරිදි මගේ මූණේ තරම් වලවල් ගොඩක් හදේ වත් නැත.මූනේ ඇති කලු පැල්ලම් යැවීම අපහසු මුත් ඇය ලබාදෙන නානාප්‍රකාර ක්‍රීම් බාවිතයෙන් එය ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකි වේ.ඒ කෙසේ වූවත් සමේ සහ කෙස් කළබේ ස්වබාවය ඉතා වියලි වන අතර ඇයගේ සැලුනයෙන් ස්කින් හා හෙයා(ර්) ට්‍රීට්මන්ට් කිරීමෙන් එය සුව කරගත හැකි වේ.ඇයට අනුව ඇයගේ සැලුනය වටපිටාවේ ඇති හොදම හා පිරිසිදුම සැලුනය වන අතර අනිකුත් බොහෝ සැලුනයන්හී වැඩ එච්චර හොද වන්නේ නැත.

මේ සියල්ල අවසන් වන්නේ සැලුන් අක්කා විසින් නියම කරන ලද ක්‍රීම් එකක් ගැනීමෙන් හෝ ඇය විසින් ඉතා හොද යැයි පවසන ලද ට්‍රීට්මන්ට් එකක් කරගැනීමෙනි.

සැලුන් අක්කලා ගැන කිසිම අවබෝදයක් නැති මුල් කාලයේ මා ද මෙවැනි ගොන් කම් කළ අතර දැන් නම් ඒවාගෙන් බේරෙන්නට මා ඇය යෝජනා කරන සියලුම ක්‍රීම් වර්ග සහ ට්‍රීට්මන්ට් වර්ග ප්‍රතික්ශේප කරන්නේ  ඉතා ප්‍රභල වාක්‍යයක් පවසිමිනි.ඒ නම්.

"මගේ මූන හරි සෙන්සිටිව් අක්කේ.මොනා ගෑවත් පිම්පල් දානවා.මේ ඩොක්ටර් කෙනෙක්ගේ ක්‍රීම් එකක් ගාලා මෙහෙම ඉන්නේ.වෙන මොනවත් කරන්න එපා කියලා තියෙන්නේ" 

මේ අක්කලා මොනා නැතත් දොස්තරලා කියන දේ පිළිගන්නා නිසා වැඩේ ශේප් වේ.

බොහොමයක් සැලුන් අක්කලා මේ ආකාරයේ වන නමුත්  අප ගැනත්  සිතන සැලුන් අක්කලාද ඉතා කළාතුරකින් සිටින බව ඉතා සන්තෝශයෙන් යුතුව  මතක් කරන අතර  ඒ විරල සැලුන් අක්කලාට මාගේ  ආදරය හා ගෞරවය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙය කියවූ ඔබ සැමට ස්තූතියි. 💓

ප.ළි. කෙසේ වූවත් උපතින් ලැබුණු මුහුණ හා කොණ්ඩය ඒ ලෙසම තබා ගැනීම කෝකටත් හොද බවද මතක් කරනු කැමැත්තෙමි.









Sunday, May 20, 2018

ආදරණීය නපුරා - එකොළොස්වන කොටස


සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.ඔලුව කැක්කුම නිසාම සජිනි හෙමීට ඇස් ඇරියා.ඇස් අරිනකොට සජිනි දැක්කේ එයාගේ ඇස් ලගටම පාත් වෙලා තියෙන ලොකූ ඇස් දෙකක්.

"ආ............ර්ග්....." සජිනි කෑගහගෙනම එයා දිහාට එබීගෙන හිටපු සහන්වත් තල්ලු කරලා   ඇද උඩ හිටගත්තා.

"මොන මගුලක්ද ඕයි කරන්නේ" සජිනිගේන් පයින් පාරක් කාලා ඇදෙන් බිමට වැටුනු සහන් ඇහුවේ නැගිටින්න හදන ගමන් 

"ඔයා...ඔයා  මොනවද මගේ මුණට එබීගෙන කරන්න හැදුවේ "  සජිනි සහන් දිහාට ඇගිල්ලකුත් දික් කරගෙන ඇහුවා.

"මං...මං..මං මේ නිකං මේ...." සහන්ට කියාගන්න බැරුව ගොත ගහන්න ගත්තා.ඇත්තටම සහන් හැදුවේ මේ සජිනිගේ උණ බලන්න.ඒත් ඒක සජිනිට කියන්න සහන් කැමති වුනේ නෑ.

"මොකද මං මං ගාන්නේ? අනික ඔයා මොනවද මෙතන කරන්නේ?"

"මෙතන නැත්තම් මං කොහෙද ඉන්නේ? සජිනි විකාර කරන්නේ නැතුව ඇදෙන් බහින්න" 

සජිනිට එතකොට තමයි තේරුණේ තමන් තවමත් ඉන්නේ ඇදේ හිටගෙන කියලා.සජිනි දඩ බඩ ගාලා ඇදෙන් වාඩි වුනා.ඒත් එක්කම තමයි සජිනිට තේරුනේ මේ ඉන්නෙ හෝටල් කාමරේ කියලා.ඊයේ වෙච්ච ඒවත් සජිනිට හෙමීට මතක් වෙන්න ගත්තා.සජිනි බලාගෙන ඉද්දිම සහන් සජිනිට කෝපි එකක් හදන්න ගත්තා.

"දැන්වත් මතකද වුනේ මොකක්ද කියලා"සහන් ඇහුවා 

"මං කොහොමද මෙහෙට ආවේ?" සජිනි ඇහුවේ ඇදෙන් බහින ගමන්

"ඉන්න ඔහොම.ඔයාට තාම සනීපයක් නෑ"

"මට ඇති අසනීපයක් නෑ.ලෙඩක් තිබ්බත් මට අනුන්ගේ කාමර වල බලෙන් ඉන්න ඕනේ නෑ" සජිනි එහෙම කියන ගමන් එයාගේ බෑග් එක ලගට ගියා.ඒත් තාමත් සජිනිගේ ඇගට අමාරුයි.ඒ නිසා සජිනි වැනෙන්න වගේ.

"මෙන්න මෙතනින් වාඩි වෙන්න"එහෙම කියපු සහන් සජිනිගේ අතින් අල්ලලා බලෙන්ම එතන පුටුවක වාඩි කෙරෙව්වා.

"ආ මේක බොන්නකෝ මුලින්" එහෙම කියපු සහන් කෝපි එකකුත් සජිනිගේ අතට දුන්නා.

"මට ඕනේ නෑ" එහෙම කියපු සජිනි එයාගේ ඇදුම් බෑග් එක අදින්න ගත්තා.

"කෝ මේකේ තිබ්බ මගේ තුවාය"සජිනි ඇහුවේ ඇදුම් බෑග් එකම අදින ගමන්

"ආ ඒක බාත් රූම් එකේ වෙන්න ඇති.ඊයේ එලියට ගත්ත ගමන්" 

"ඒ මොකටද ඒක එලියට ගත්තේ.මේ..මේ..මගේ ඇදුම්..මේවා නෙවෙයිනේ මං ඊයේ ඇදන් හිටියේ" සජිනි දැන් තමයි එයාගේ ඇදුම් වල වෙනසත් තේරුනේ.සහන් ඊයේ හොටෙල් එකේ වැඩ කරන කෙනෙක්ට කියලා සජිනිගේ ඇදුම් මාරු කෙරෙව්වේ ඒවා හොදටම තෙමිලා නිසයි.

"සහන් මට ඇත්ත කියන්න මං කොහොමද මෙහෙට ආවේ?මොකද  වුනේ ඊයේ රෑ" සජිනි ඇහුවේ වෙව්ලන ගමන්

"සජිනි,මේ ඔයා ආයෙත් වෙව්ලන්න අරගෙන.අපි ඇදට යමු" සහන් එහෙම කිව්වේ සජිනිගේ අතින් අල්ලගන්න ගමන් 

"අල්ලන්න එපා මාව" සජිනි සහන්ගේ අත ගසලා දැම්මා.පුටුවේ වාඩි වෙලා හිටියත් ඒ වෙනකොටත් සජිනි අමාරුවෙන් හිටියේ.

"ඔච්චර මුරණ්ඩු වෙන්න එපා.මං කියන එක අහලා ඇදට යමු" සහන්ට දැන් නම් සජිනිගේ මුරණ්ඩුකම් ඇති වෙලා හිටියේ.ඒත් මොනා වුනත් ලෙඩ වෙලානේ ඉන්නේ කියලයි සහන් හිතුවේ.

"මට බෑ..මොකක්ද වුනේ කියනකම් මං කොහේවත් යන්නේ නෑ.යනවා නම් යන්නේ කාමරෙන් එලියට" සජිනිට මේ සහන්ගේ කරුණාවන්තකම ගැන තිබ්බේ ලොකු සැකයක්.ඊයේ තමන්ව කාමරෙන් එලියට දාපු මිනිහා අද මේ මෙච්චර හොදට සලකන්නේ ඊයේ රෑ මොනවා හරි ලොකු දෙයක් වෙලා තියෙනවා කියලමයි සජිනිට ඉතුනේ.ඊටත් වඩා සජිනිට හිතාගන්න බෑ ඊයේ වැස්සට අහු වෙලා ඉදලා අද මෙහෙම සහන්ගේ කාමරේ ඉන්නේ කොහොමද කියලා.

"එහෙනම් යනවා යන්න එලියට.මේක මහ පුදුම මුරණ්ඩුකමක්නේ.මේ ගෑනුන්ට හොදක් කරන්නත් බෑනේ" සහන් අහ හයියෙන් කෑගැහුවා.

'ඔය තියෙන්නේ මෙයාගේ ඇත්ත සද්දේ' මෙහෙම හිතපු සජිනි එහෙම්ම පුටුවෙන් නැගිට්ටා.අමාරුවෙන් අඩියක් තියන්න හදනකොටම කකුල පැලළුනු සජිනි වැටෙන්න ගියා.එතනම හිටපු සහන් සජිනිව අල්ලගෙන එයාගේ අතට වාරු කරගත්තා.

"මට පුලුවන්" සජිනි කිව්වේ කෙදිරිල්ලක හඩකින්.

"ඔව් ඔව් පුලුවන් තමයි.දැන් පොඩ්ඩක් කට වහන් ඉන්නවකෝ" මෙහෙම කියපු සහන් සජිනිව උස්සලා ඇදෙන් තියලා සජිනිව හොදට පෙරෙව්වා.ඒ රස්නෙට සජිනි ආයෙත් නින්දට වැටුනා.

සජිනිට ආපහු ඇහැරෙනකොට සහන් හිටියේ සජිනි ලගම පුටුවක වාඩි වෙලා සජිනි දිහා බලාගෙන.සජිනි සහන් දිහා බලනකොටම සහන් කතා කරා.

"හෝව්..හෝව්.. ඔහොම්ම ඉන්න.කෑගහන්න එපා.මං විස්තරේ කියන්නම්" සහන් එහෙම කිව්වම සජිනි ඔලුව වැනුවා.

"ඊයේ ඔයා ඇවිදින්න ගිහින් රෑ වෙනකොටත් ආපු නැති නිසා අපි හොයන්න ගියා.ඔයාව හම්බුනේ බස් හෝල්ට් එකක ඉදලා.හොදටම තෙමිලා.අපි ඔයාව හෝටලේට ගෙනත් බෙහෙත් අරන් දුන්නා.ඔයාගේ ඇග තාම දුර්වලයි.ඊයේ උණ තිබ්බා" සහන් විස්තර කරා

"එතකොට මගේ ඇදුම්?" 

"හෝටලේ ගෑනු කෙනෙක්ට කියලා මාරු කෙරෙව්වේ.බය වෙන්න දෙයක් නෑ.මට කොහොමත් තමුසේ අල්ලන්න තරම් ආසාවක් නෑ" සහන් ඒ ටික කිව්වේ හරිම තදින්.අද උදේ ඉදන් සජිනිට හොදට සලකපු එක සජිනි වැරදියට තේරුම් ගන්න පුලුවන් කියලා සහන්ට හිතුනා.ඒකයි සහන් එහෙම කිව්වේ.

සජිනි සහන් දිහා බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ.සජිනිගේ කම්මුලක් දිගේ කදුලු බිංදුවක් ගලාගෙන ගියා.

ටිකක් වෙලා එහෙම්ම සජිනි දිහා බලන් හිටපු  නැගිටපු සහන් කෝපි එකක් හදලා සජිනිට ගෙනත් දුන්නා.

එකත් බීපු සජිනි ආයෙත් නිදාගත්තා.එදා දවල් වෙනකම්ම සජිනි ඇදේ හිටියේ.සහන්ට පහුවදා වැඩට යන්න තියෙන නිසා අමාරුවෙන් වුනත් දවල් දෙන්නා එක්ක ගෙදර ආවා.

නුවර එළියේ සිද්දියෙන් පස්සේ සහනුයි සජිනියි කතා කරන එක තවත් අඩු වුනා.ඇත්තටම සිද්ද වුනේ සජිනි සහන් එක්ක කතා කරන එක අඩු කරපු එක.තමන් ගැන මේ තරමටම අප්පිරියාවෙන් හිතන මනුස්සයෙක් එක්ක කතා කරන්න සජිනිට ඕනේ වුනේ නෑ.

හැබැයි සජිනි එහෙම හිතුවට සහන් සජිනි ගැන හිතන විදිය වෙනස් වෙලා තිබ්බේ මේ ගමනත් එක්ක.තමන් කියපු එක වචනයක් නිසා කේන්ති අරන් ගියේ මේ කෙල්ල මේ ගමන සැලසුම් කරලා කරා වෙන්න බෑ කියලා සහන්ට නිතරම හිතුනා.ඒක නිසාම සහන් සජිනිගේ හැසිරීම් ගැන වෙනදටත් වඩා සැලකිලිමත් වුනා.

ඔය විදියට සති දෙකක්ම ගෙවිලා ගියා.එක දවසක් සෙනසුරාදාවක  උදේ කෑම කද්දි  සහන්ට පෙනුනා සජිනිගේ වෙනසක් තියෙනවා කියලා.වෙනදා සහන් කෑම කනකම් කුස්සිය අස් කරන සජිනිට අද දුරකථන ඇමතුම් ගොඩයි කියලා සහන්ට තේරුනා.ෆෝන් එක රින්ග් වෙන සැරින් සැරේට සජිනි ඒකත් අරන් දිව්වේ බැල්කනියට.ඒ නිසා සහන්ට සජිනි කතා කරන දේවල් ඇහුනේ නෑ.ඒත් එක සැරයක් සජිනි බැල්කනියෙන් එලියට එනකොට සජිනිගේ ඇස් අඩලා වගේ රතු වෙලත් තිබුන නිසා සහන් මේ ගැන අහන්න හිතාගෙන කුස්සියට යන්න නැගිට්ටා.

එතකොටම  කවුරු හරි ගෙදර දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා..

ඊලග කොටසින් හමුවෙමු............

*********************************************************************************
ඔන්න ගෙනාවා 11 වෙනි කොටස.කවුද ඒ ආවේ කියලා ඊලග කොටසින් බලමුකෝ.

ඔන්න මේ ආරංචිය, හැමදාම වගේ
කෝ තාම දැම්මේ නැද්ද? කවද්ද දාන්නේ? ඉක්මනටම දාන්නකෝ කියන අයට වගේම ආදරණීය නපුරා ආදරෙන් කියවන හැමෝටමයි.

මීට පස්සේ හැමදාම සැරින් සැරේ ඇවිත් බලන්න දෙයක් නෑ.හැම බදාදා දවසකම යි හැම ඉරිදා දවසකමයි ආදරණීය නපුරා එක කොටසක් ඔයාලට බලන්න පුලුවන්.එතකොට සතියට කොටස් දෙකක් තියෙනවනේ.ඇතිනේ නේද?

ඉතින් ඒ ඊලග කොටස ඊලග බදාදාට ඇවිත් බලන්න පුලුවන් 

ඒ වගේම මේ ගැන ඔයාලගේ අදහස් මට කියන්නත්  අමතක කරන්න එපා 😊😊















Wednesday, May 16, 2018

ආදරණිය නපුරා - දහවන කොටස

හෝටලයෙන් එලියට ආපු සජිනි පාර දිගේ ඇවිත් කෙලින්ම ආවේ ප්‍රධාන පාරට.එතනින් හැරිච්ච සජිනි පාර දිගේ ඇවිදගෙන ගියේ පාරේ ලස්සනත් බල බල.


එක පැත්තකින් පයින් ගස් තියෙන කන්දකිනුත් අනිත් පැත්තෙන් තේ යායක් පේන බෑවුමකුත් තිබ්බ ඒ පාර හරිම ලස්සනයි.සජිනි ඒ පාර දිගේ දිගටම ගියා.ඒ යන පාරේ ලස්සන ෆොටෝ ගන්නත් සජිනි අමතක කරේ නෑ. ඔහොම යනකොට තමයි සජිනි දැක්කේ පයින් ගස් තියෙන පැත්තට යන්න තිබ්බ පොඩි පාරක්.සජිනි ඒ පාරෙන් හැරිලා ගියේ ඒ පැත්තෙත් ෆොටෝ ටිකක් ගන්න හිතාගෙන.

පයින් ගස් යාය ඉවර වෙලා සජිනි ආවේ එලිමහනකට.එතන පාර අයිනේ තිබ්බ පොඩි ගලක් උඩ වාඩි වුන සජිනි ගත්ත ෆොටෝ එක එක බලන්න ගත්තා.ෆොටෝ සිහියෙන් හිටපු සජිනි ගැස්සිලා ගියේ එක පාරටම ඇහුනු මහා අකුණු හඩකින්.එත් එක්කම මහා හුලගකුත් එක්කම වැස්සක්  කඩා වැටෙන්න ගත්තා.කුඩේ ඉහලගත්ත සජිනි ඉක්මනටම ආපහු යන්න පිටත් වුනා.සජිනිට එන්න පුලුවන් වුනේ ප්‍රධාන පාර වෙනකම් විතරයි.ඒ වෙනකම්ම පයින් ගස් යායක් මැදින් ආපු නිසා සජිනිට හුලග එච්චරටම දැනුනේ නෑ.එත් ප්‍රධාන පාරට ආපු ගමන්ම ඒ ආපු මහා හුලගට  සජිනිගේ කුඩේ ගහගෙන ගියා.ඒ වෙනකොට වටේම අන්දකාර වෙලා තිබ්බේ.සජිනි කරුවලේම වෙව්ල වෙව්ල පයින් ගහක් යටට දුවගෙන ගියා.සජිනි සාක්කුවෙන් ෆෝන් එක එලියට අරන් බැලුවත් ඒකෙ සිග්නල් තිබුනේ නෑ.ටික වෙලාවක් සජිනි එතනටම වෙලා බලාගෙන හිටියේ වැස්සේ කරුවලේ යන්න තැනක් කරන්න දෙයක් හිතාගන්න බැරුව. එක පාරටම  සජිනිට ඇහුනේ වාහන සද්දයක්.සජිනි වාහනේ එන පැත්තට දිව්වත් ඒ වාහනේ ඒ ආපු ඉක්මනින්ම වංගුවෙන් නොපෙනී ගියා.

ඒ වෙනකොට සජිනි හොදටම තෙමිලා හිටියේ.වැස්සත් ඒ වෙනකොට ටිකක් අඩු කරලා නිසා සජිනි තෙමීගෙනම වාහනේ ගිය පැත්තට යන්න ගත්තේ කරුවලේ යන්න පැත්තක්වත් හිතා ගන්න බැරි වුන නිසා.ටික දුරක් මෙහෙම ගියපු සජිනි දැක්කා පාර අයිනේ තිබුනු බස් හෝල්ට් එකක්.සජිනි එතනින් වාඩි වුනේ වැස්ස අඩු වුනාම පාර හොයාගන්න හිතාගෙන 

මේ අතරේ සහන් පාර දිගේ නුවර එලිය නගරයට  ආවේ සජිනි නගරයට එන්න ඇති කියලා හිතලා.මොනවා හරි ගන්න වුනත් පරිසරය බලන්න වුනත් ඕනෙ කෙනෙක් එන්නේ නුවර එලිය නගරයට නිසා.මේ වැස්ස නිසා පාරේ කවුරුවත්ම හිටියේ නෑ.කඩ වුනත් වහලා තිබ්බේ.නුවර එලිය නගරයම පාලුවට ගිහිල්ලයි තිබුනේ.මේ පලු නගරේ හැම පාරකම වගේ සහන් ගියේ සජිනි ඒ කොහේම හරි ඇති කියලා.

"මැඩම් මේ හරියට ඇවිත් නෑ වගේ සර්.අපි අනිත් පැත්තට ගිහින් බලමුද? "හෝටලේ ඉදන් සහන් එක්ක ආපු ගුණපාල කිව්වා

"අනිත් පැත්ත කියන්නේ?"

"හෝටලේ අනිත් පැත්ත සර්.සර්ලා කොලබ ඉදන් ආපු පැත්ත .ඒ පැත්ත හරි ලස්සනයි සර්.මැඩම් ඒ පැත්තට ගියාද දන්නේ නෑ"

"හරි එහෙනම් හරවගෙන යමු" සහන් කිව්වේ තොන්තුවාවෙන්.සජිනි කාමරයෙන් ගිය වෙලාවේ සොයා බැලුවා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා සහන්ගේ හිත සහන්ටම දොස් කියන්න අරන් තිබ්බේ.ඒත් තමන් කේන්තියෙන් හිටියේ කියලා නිදහසට කරුණු දෙන්නවත් සහන්ට පුලුවන් කමක් නෑ.

ආපහු හරවගෙන ආපු වාහනේ හෝටලේට හැරෙන පාරත් පහු කරගෙන ගියේ සහන්ලා නුවර එලියට ආපු පාර දිගේ.සහන් පාර දිහාම බලාගෙන ගියේ කොහෙන් හරි සජිනි මතු වෙයි කියලා.ඒත් සජිනිගේ සලකුණක්වත් තිබුනේ නෑ.

"අපි සර් දැන් හරවමු.මෙහෙම ගිහින් තේරුමක් නෑ.මැඩම් මෙච්චර දුර ආවා වෙන්න බෑ සර්"

"එහෙම කොහොමද? සජිනි නැතුව මං ආපහු යන්නේ නෑ"

"අපි පොලිසියට කියමුද සර්" 

"අහ් කියමු.මේවා අස්සේ මට ඒක අමතක වෙලා තිබ්බේ.යමු එහෙනම්" ඇත්තටම සජිනිව හොයාගන්න බැරුව සහන්ගේ ඔලුව අවුල් වෙලයි තිබ්බේ.මේ වෙනකොට සජිනි ගැන තරහක් සහන්ගේ හිතේ  තිබ්බේ නෑ.සහන් බය වෙලා හිටියේ සජිනිට කරදරයක් වෙලාද කියලා.

ආපහු හරවගෙන යනකොට සහන් දැක්කා බස් හෝල්ට් එකක දෙන්නෙක් අත දානවා වාහනේට.සජිනිව හොයාගන්න එක හදිස්සි වුනත් නවත්තන්නෙ නැතුව යන්න සහන්ට හිතුනේ නෑ.සහන් වාහනේ නවත්තලා වීදුරුව පහත් කරා.

"අනේ මහත්තයෝ මේ ගෑනු දැරිවියෙක් ඉන්නවා මෙතන.ටිකක් අසනීපෙන් ඉන්නේ.අපිව ගෙදරට දාන්න පුලුවන්ද?තව හෝල්ට් දෙකයි තියෙන්නේ" වීදුරුවෙන් ඔලුව දාපු වයසක පිරිමි කෙනෙක් කිව්වා.එතනම තව ගෑනු කෙනෙකුත් ඉදගෙන ඔලුව වැනුවා.

"කෝ ගෑනු ලමයා" සහන් ඇහුවේ ගෑනු ලමයෙක් පේන්න නැති නිසා"

"මේ මෙතන වාඩි වෙලා ඉන්නෙ මහත්තයෝ.කාගේ කවුද දන්නේ නෑ.අපි වැඩ ඉවර වෙලා යනකොට දැක්කේ.මෙතන දාලා යන්න බෑනේ මහත්තයෝ" 

ඒක ඇහුනු ගමන් සහන් වාහනෙන් බැස්සා නෙවෙයි පැන්නා.අඩියට දෙකට බස් හෝල්ට් එක ලගට ගිය සහන් දැක්කේ සජිනි එකේ මුල්ලක හේත්තු වෙලා ඉන්නවා.එයාව කාගෙ හරි රෙද්දකින් පොරවලා හිටියේ.සහන් සජිනි ලගට කිට්ටු වුනා. 

"සජිනි,සජිනි,ඇස් අරින්න.මං සහන්" සහන් කීප සැරයක්ම කිව්වත් සජිනි ඇස් ඇරියේ නෑ.

හැමෝම බලන් ඉන්දෙද්දි සහන් සජිව උස්සලා වාහනේ පිටිපස්සේ සීට් එකෙන් තිබ්බා.

"ඔයාලත් නගින්න.මං බස්සන්නම්"සහන් එහෙම කිව්වේ පුදුමෙන් බලන් හිටපු වයසක යුවලට 

එහෙම්ම වාහනේට නැග්ග සහන් වාහනේ අරන් ගියේ යන්න පුලුවන් උපරිම වේගෙන්.මේ වෙනකොට වැස්ස පායලා තිබ්බ එක සහන්ට ලේසි වුනා .ඒ අතරේ ගුනපාල වයසක ජෝඩුවට මේ විස්තරේ කිව්වා.එයාලවත් බස්සවපු සහන් කෙලින්ම ගියේ හෝටලේට.

කාර් එක පෝටිකෝවේ නවත්තපු සහන් සජිනිව අත් දෙකට උස්සලා ගත්තා.සජිනිව අත් දෙකට ගත්ත සහන් එහෙම්ම ගියේ කාමරේට.සජිනිව කාමරෙන් තියපු සහන් ආපහු පිළිගැනීමේ නිළදාරීය ඉන්න තැනට ගියා.

"දොස්තර කෙනෙක් ඉන්නවද මේ ලග"

"ඉන්නවා සර්.මං දැන් කතා කරා.එන්නම් කිව්වා" පිළිගැනීමේ නිළදාරිනිය වෛද්‍යවරයෙක්ට කතා කරේ සහන් සජිනිව අරගෙන එනකොටමයි.වැස්ස අඩු වෙලා නිසා ඒ වෛද්‍යවරයත් හරි ඉක්මනට ආවා.

සජිනිව බලපු ඩොක්ටර් සහන් දිහාට හැරුණා.

"තෙමිලා නිසයි මේ උණ අරන් තියෙන්නේ.උණටයි සිහිය නැත්තේ.මං ඉන්ජෙක්ශන් එකක් දුන්නා.උදේ වෙනකොට අඩු වේවි.උදේට රස්නෙට මොනවා හරි කන්න දෙන්න.එතකොට හරි යාවි.බය වෙන්න එපා"

"හරි ඩොක්ටර් තැන්ක් යූ ඩොක්ටර්"

සහන්ට සැනසිල්ලක් දැනුනේ ඩොක්ටර් එහෙම කිව්වට පස්සේ.සජිනිව හොදට පොරවපු සහන් බ්ලැන්කට් එකකුත් අරන් පුටුව උඩ වාඩි වුනා.

*********************************************************************************
ඔයාලා මොකද හිතන්නේ සහන් ඒ තරම්ම නරක නෑ නේද? සජිනි උදේ නැගිට්ටම මොනවා වේවිද? සහන් කියපුවට සජිනි මෙච්චර ඉක්මනට සමාව දේවිද?

බලමූ නේද? 

ඉක්මනටම ඊලග කොටස දාන්නම්.කතාව කියවන සහ කතාව කියවලා ඒ ගැන මට කියන ඔයාලා හැමෝටම ගොඩා...ක් ස්තූතියි 💟😘😘





Tuesday, May 15, 2018

මගේ දත් කතාව


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ගේ මෙන් මගෙත් දත් කතාව පටන් ගත්තේ මගේ දත් එන්නට පටන් ගත් දා පටන් ය.නමුත් එදා සිට අද දක්වාම මේ දත් සෙට් එක මට දී ඇති වද ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.

මේ දත් සෙට් එක මල කරදරයක් බව මට මුලින්ම වැටහුනේ අවුරුදු 6 දී මහියංගනයේදීය.තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර ගිය විටෙක දත් ප්‍රශ්නයක් මතු විය.එය කොහෙන් කොහොම මතු වුනා දැයි මට මතක නැත.කෙසේ වූවත් අවසානයේ සිදූ වූයේ මාව බලෙන්ම ඒ යාලු අන්කල්ගේ ගෙවල් ලග තිබු මහියංගනය රජයේ රෝහලේ දන්ත ඒකකයට රැගෙන යාමයි.මගේ බලවත් විරෝදය මැද මාව ඒ පුටුවට උස්සා දැමු අතර අන්කල් මගේ කකුල් දෙකෙන් අල්ලාගත් අතර තාත්තා මගේ අත් දෙක අල්ලාගෙන සිටියේය.කෙසේ හෝ මගේ කට ඇරවා බැලූ වෛද්‍යවරිය කිව්වේ මගේ යටි ඇන්දේ දතක් ගැලවීමට අවශ්‍ය බවයි.එසේ නොකලොත් ස්ථීර දත් එමට ඉඩ අඩු වී දත් ටික කැත විය හැකි බවයි.


ඔය මොනවා කිව්වත් මට නම් ඕවා අදාලම වුනේ නැත.මට ලස්සනක් වැඩක් වූයේ නැත.අවශ්‍ය වූයේ මේ මරාලයෙක් ගැලවීමය.කෙසේ හෝ එහෙට මෙහෙට ඇබරී මං ඒ පුටුවෙන් බිමට පැන ගතිමි.පැන දිව්වෙමි.අඩා අඩා රෝහල වටේම දිව්වෙමි.තාත්තාත් අන්කලුත් මා පසුපස නොයෙකුත් දේ කියමින් දිව ආවත් මං නම් නැවතුනේ නැත.මුලු රෝහලම මා දෙස බලාගෙන සිටියත් මට එයද ගානක් ගියේ නැත.මට අවශ්‍ය වූ එකම දේ මෙහෙන් පිට වී යාමයි.කෙසේ හෝ රෝහලේ ගෙට්ටුව සොයා ගත් මා ගෙට්ටුවෙන් එලියට ගොස් සිට ගතිමි.මා එලියේ බව දුටු තාත්තා මගේ ලගට පැමිණියේය.මා ආපසු මැරතන් තරගයකට සුදානම් වනු දුටු තාත්තා මහ හයියෙන් ,"නෑ නෑ ආපහු ගෙනියන් නෑ.අපි ගෙදර යමු" යැයි පැවසීය.

මා බලා සිටියේ අවිශ්වාසයෙනි.නමුත් තාත්තා පොරොන්දුව ඉශ්ට කළේය.එදා මා එක්කාගෙන ගෙදර  පැමිණි පසු නැවත, කිසිදාක මා එක්කාගෙන දන්ත සායන වලට ගියේ නැත.

ටික කලකින් ඒ දත ඉබේටම හැලී ගිය අතර මහියංගනයේ දොස්තරගේ කීම සත්‍ය කරමින් මගේ යටි දත් ඇන්දේ දත් මතු වූයේ යකා දත් හිටෙව්වාක් මෙනි.එයටම හරි යන්න මගේ උඩි ඇන්දේ හා දත් දෙකක්ද විය.මෙය ඒ කාලයේ මගේ මවට සෑහෙන ගැටලුවක් විය."අනේ මේ ලමයගේ දත් දෙකේ ලොකු " යැයි දවසට කීප වතාවක්ම පැවසීම මට මහත් කන්දොස්කිරියාවක් විය.කෙසේ වුවත් පිට කෙනෙකු මට එලෙස කීම අම්මා නොරිස්සු අතර මගේ දත් දෙක ගැන කතා කල ඇන්ටි කෙනෙකු මගේ අම්මාට කියා දත් ගලවා නොගෙන බේරුනේ අනුනමයෙනි.

මට නම් මේ කිසිම දෙයක් ගැන ගානක් වූයේ නැත.දත් අවශ්‍ය ආහාර සපා ගිලීමට බව අපට විද්‍යාව පාඩමේදී ඉගැන්වූ අතර මා එය හොදින් අවබෝද කරගෙන ඕනෑම ආහාරයක් හොදින් සපා ගිලීමට පුරුදු වී සිටියෙමි.මෙසේ හැම කෑමම සපා ගිලීම මට සාපයක් වන්නට වැඩි කාලයක් ගියේ නැත.හක්කේ දතක් නරක් වෙන්නට පටන් ගෙන තිබුණි.දත ගැලවීමට අවශ්‍ය නොවන බව කියූ දොස්තර එයට ස්නායු පීරවීමක් යෝජනා කළේය.වෙන විකල්පයක් නොවූ තැන මා එයට එකග විමී.මේ ස්නායු පිරවීමට වඩා දත ගලවා දැමුවේ නම් යෙහෙකීයැයි මට සිතුනේ පළමු දිනේදීමය.එය ඒතරම්ම වේදනාකාරී විය.කෙසේ හෝ මගේ දත් සෙට් එක එසේ නැවතුනේ නැත.මේ වනවිට දත් හතරක්ම පුරවා ඇත.


මෙසේ කාලය ගෙවී ගියේය.මා කැම්පස් ගියෙමි.ඒ ගොස් කලක් ගතවන විට මට පෙනී ගියේ අර මගේ හා දත් වලින් එකක් අනික උඩට නැග ඇති බවයි.ඒ වන විට දත් වලට කම්බි මල් දැමීම විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය විලාසිතාවක් වී තිබූ අතර පළමු වරට මටද මේ දත් ටික පේලියට හදා ගැනීමේ උවමනාව ඇති විය.ප්‍රදේශයේ ජනප්‍රිය දොස්තර මහතෙකු හමුවීමට ගිය පසු දැන ගැනීමට ලැබුනේ මහත් ශෝක ජනක ආරංචියකි.ඒ නම් මෙසේ මගේ හා දත් එකිනෙකා උඩ පැන ඇත්තේ මගේ අර යකා හිටවූ යටි ඇන්දේ දත් පේළිය නිසා බවයි.පොඩි කාලයේම මෙය හදාගත්තා නම් හරි යැයි දොස්තර දේශනා දීමට පටන් ගත් අතර තාත්තා මට රවමින් දොස්තරට මගේ කුඩා කල හපන්කම රස කරමින් කීවේය.කෙසේ හෝ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මගේ කටේ දත් 4ක් ගලවා කම්බි මල් දමා සෑදීමයි.

මේ වනවිට මේ කර්තව්‍යයට අවුරුදු 2කට වැඩිය.තාමත් මේ කම්බි මල් ගලවා නැත.මේ අවුරුදු දෙකට මේ කම්බි නිසා විදි දුක් ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.මුල් කාලයේ හරියට කෑමක් කෑවේ නැත.දැනුදු සමහර කෑම කන්නේ නැත.කම්බි ඇනී කට තුවාල වී ලේ ගැලීය.රෑ තිස්සේ වේදනාව දරාගත නොහැකි විය.දත් මැදීම ගැන කතා කර තේරුමක් නැත.කොච්චර මැද්දත් දොස්තරට ඒ මදිය.දත් වල කම්බි පෙන්නන්න යන හැමවෙලේම නොසෑහෙන්න බැනුම්‍ ය.ඒ සියල්ල ඉවසිය හැක.ඉවසියම නොහැක්කේ  මේ එක එකාගේ ප්‍රශ්නයි.

"කවද්ද ඕක ගලවන්නේ?"

"මොකටද අනේ ඕක දැම්මේ?"

"ඕක කනකොටවත් ගලවන්න බැරිද?"

"කීයක් ගියාද ඕකට?"

"අම්මෝ ඔච්චර කල් කොහොමද අනේ ඉන්නේ?'

"ඕක දාගෙන කසාදයක්වත් බදින්නේ කොහොමද"?

"දැන්වත් ඕක දොස්තරට කියලා ගලවගන්න.එපා වෙන්නේ නැද්ද?"

"කතා කරනකොට අමුතුයි ඔයා.කම්බි නිසා වචන පිට වෙන්නේ නෑ නේද?"

මේ යනාදී විවිධ ප්‍රශ්න වලට උත්තර දීම මට එපා වී ඇත.ඊට වඩා එපා වෙන්නේ තමුන් දන්නා ලෙස උපදෙස් දීමට පටන් ගැනීමය.උපදෙස් අසා සිටිම මේ කම්බි දාගෙන සිටිනවාට වඩා වේදනාකාරී වැඩකි.මේවා අසා එපා වී කම්බියක් දිවේ ඇනගෙන මැරෙන්න සිතුනු අවස්ථාද නැතුවා නොවේ.

මේ ඔක්කොම අස්සේ කාලයක් ගලවා දමන තල්ලකද දාන්නට සිදු විය.එය ඊට හපන්‍ ය.එය දමා ගත් විට කතා කරගැනීමටද අපහසුය.කට වසා ගැනීමටද නොහැක.මා දුටුවන් සිතන්නේ මා බුම්මාගෙන සිටින කිසිම සුහදශීලීත්වයක් නැති ලමයෙක් කියාය.මේ ඔක්කොමත් හරිය.ෆොටෝ එකකට දත් පෙන්නා හිනා වූ කාලයක් මතක නැත.මෙය නම් මහත් අපල කාලයකි.



මෙහි ඇති එකම හොදය වන්නේ දත් ටික ගානට ලස්සනට පේළියකට සෑදීමයි.කණ්නාඩියෙන් දත් දෙස බලන විට අර විදි වේදනාවන් අමතකව යයි.ලගදීම මේ කම්බි මල් ගලවා දමන බව දොස්තර කියා ඇත.ඒ දිනය වන තෙක් මා දින ගනිමි.හීන දකිමි.එය මගේ ජිවිතේ රන් අකුරින් ලියවෙන දිනයක් වනු ඇත.




Thursday, May 10, 2018

ආදරණීය නපුරා - නමවන කොටස




බෑග් එකත් අරන් එලියට ගියපු සජිනි කෙලින්ම ගියේ පිළිගැනීමේ නිළදාරිනිය ලගට.

"මට වෙනම කාමරයක් ගන්න පුලුවන්ද?"

"අනේ සොරි මිස්.කාමර සේරම ෆුල් නේ " පිළිගැනීමේ නිළදාරිනිය එහෙම කිව්වේ සජිනි දිහා කුතුහලෙන් බලන ගමන්.මේ ටිකකට කලින් තමන්ගේ සැමියා එක්ක ගිය ගැනු කෙනා කියලා එයාට මතකයි.

"ඒකත් එහෙමද? මේ ලගම තියෙන හෝටලේට ගොඩක් දුරයිද?" සජිනි ඇහුවා

"එහෙම ලොකු  දුරක් නම් නෑ.ඒ වුනාට ඒකෙත් කාමර නම් නැතුව ඇති.මේ සීසන් එකනෙ.කලින්ම බුක් කරනවා"

"ඒකට කමක් නෑ.මට කියන්න පුලුවන්ද මෙතනින් යන්නේ කොහොමද කියල?"

"එලියට කෙලින්ම ගියාම ත්‍රී වීල් තියෙනවා මිස්.ග්‍රීන් කැබේජ් හෝටලේ තමයි අපට ලගම"

"හරි බොහොම ස්තූතියි" එහෙම කියපු සජිනි යන්න හැරුනා.

"එක්ස්කියුස් මී මිස්,මිස් හොයන්නේ සින්ගල් රූම් එකක්ද? ඩබල් රූම් එකක්ද?" ඒ හෝටලේ මැනේජර් කියලා හිතන්න පුලුවන් විදියට ඇදගත්ත තලතුනා වයසේ පිරිමි කෙනෙක් සජිනි පිටිපස්සෙන් ඇවිත් කතා කරා

"අහ් සින්ගල් එකක්"

"සින්ගල් නම් නෑ මිස්.ඒත් අද අපේ ගෙස්ට්ලා දෙන්නෙක් යනවා කිව්වා.ඒක ඩබල් රූම් එකක්.හැබැයි එයාලා තාම ගිහින් නෑ.එයාලා ගියාම ඒක දෙන්න පුලුවන් "

"කීයටද එයාලා යනවා කිව්වේ?"

"හවස තමා මිස් යනවා කිව්වේ.එයාලා කැබ් එක බුක් කරේ හවස 4ට"

"ම්ම්ම් හරි එහෙනම් මං ඒක ගන්නම්" සජිනි කිව්වේ ටිකක් හිතලා.මේ සීසන් නිසා වෙන තැනක වුනත් කාමරයක්  හම්බෙන එක විශ්වාස නෑ.

"මිස් එහෙනම් ටිකක් මෙහෙන් ඉන්න.එයාලා ගියපු ගමන් අපි රූම් එක ඇරෙන්ජ් කරලා දෙන්නම්"

ඉතින් ඒ නිසා සජිනි හෝටලේ ලොබියේ වාඩි වුනා.ලොකු උස විදුරු වලින් සජිනිට කෙලින්ම පෙන්නේ ඈත කදු.ටිකක් වෙලා වීදුරු වලින් එලිය බලන් හිටපු සජිනි එයාගේ පොඩි හෑන්ඩ් බෑග් එකත් අරන් පිළිගැනීමේ නිළදාරිනිය ලගට ගියා.

"මගේ බෑග් ටිකක් බලාගන්න පුලුවන්ද? මං ටිකක් එලියට ගිහින් එන්නම්"

"හරි මිස්.අපට මිස්ගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද? අපි රූම් එක ඇරෙන්ජ් කරලා කෝල් එකක් දෙන්නම්"

"අහ් මගේ නම්බර් එක 077*******."

"හරි මිස්.අපි මිස්ට කතා කරන්නම්"

සජිනි එලියට බැස්සේ ලොකු සැනසිල්ලකින්.දැන් ඉතින් කරදරයක් නෑ.කාමරයක් තියෙනවා.අර නපුරගෙන් වදයකුත් නෑ.මට පාඩුවේ මේ ලස්සන බලන්න පුලුවන්.එහෙම හිත හිත සජිනි පාරේ ඇවිදගෙන ගියා.

*********************************************************************************

කාමරේ බැල්කනියේ බලන් හිටපු සහන්ට මතක් වුනේ නදිනි එක්ක නුවර එලියට ආපු ට්‍රිප් එක.නදිනිගේ ඔෆිස් එකේ යාලුවො සෙට් එකක් එක්ක තමයි ආවේ.එදා සුදු ඇදන් හිටපු නදිනි හරිම ලස්සනට හිටියා කියලා සහන්ට මතකයි.ඒකත් එක්ක සහන්ගේ හිත අතීතයට ඇදිලා ගියා.

"සහා...න්" දුවගෙන ආපු නදිනි සහන්ගේ අතේ එල්ලුනේ පොඩි ලමයෙක් වගේ.

"මොකද නදිනි.මං කොච්චර කියනවද පොඩි ලමයෙක් වගේ දුවන්න එපා කියලා" සහන් කිව්වේ තරවටුවක හඩින්

"නෑ නෑ මේ අහන්නකෝ අර අතන පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා.අම්මලා නෑ වගේ එයාලට"

"ඉතින් දැන් ඔයාට ඕනේ එයාලවත් ගෙදර ගෙනියන්නද? අර අරන් ගියපු සත්තු මදි වෙලාද ? "

"නෑ නෑ සහන්.මං හිතන්නේ මට මෙයාලව ගෙනියන්න බෑ.ළමයින්ව එහෙම නිකන් ගෙනියලා තියාගන්න තහනම් ලු නේ" නදිනි කිව්වේ බැරෑරුම් විදියට

"මොකක්? ඒ කියන්නේ එහෙම පුලුවන් වුනා නම් ඔයා ලමයින්වත් ගෙනියනවා කියලද?" සහන් ඇහුවේ පුදුම වෙලා

"ඉතින් එකේ තියෙන වැරැද්ද මොකක්ද? හා කියන්න බලන්න.පවුනේ මේ පොඩි අය.අනික මං කරන්නේ එයාලට සතුටෙන් ඉන්න පුලුවන් ගෙදරක් හොයලා දෙන එකනේ  "

"හරි හරි මගේ අම්මේ ඔයා හරී "සහන් එහෙම කිව්වේ  නදිනි  දිහාට ඔලුවත් නවලා

"මේ එහෙනම් යමුකෝ එහෙට"

"දැන් කිව්වේ එයාලව ගෙනියන්නේ නෑ කියලා ගෙදර.අනික අපි මේ ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ"

"අයියෝ....එයාලව එක්කගෙන යන්න නෙවෙයි කතා කරේ" නදිනි ඔලුවෙ අත ගහගත්තා

"එහෙනම්.." සහන්ට මේක තේරෙන් නෑ

"එයාල අර එහා පැත්තේ කඩේ දිහා බලන් ඉන්නේ.යමුකෝ.ගිහින් කන්න අරන් දෙමුකෝ"

"හා ඒකටද මේ..යමුකෝ යමුකෝ එහෙනම් "

එහෙම කියලා දෙන්නා එක්ක ගියේ බේකරියකට.එකේන් ඒ ලමයි දෙන්නට ඇති වෙන්න කෑම අරන් දිලා තමයි ආපහු ගියේ.

නදිනිගේ මේ වගේ වැඩ හරියට තිබුනා.වෙන කෙල්ලෝ ෆිල්ම් බලන්න යමු ශොපින්ග් යමු කියද්දි නදිනි කැමති වුනේ පන්සල් යන්න.අසරණ අයට උදව් කරන්නත් නදිනි හරිම කැමතියි.මේ වගේ දේවල් වලටමයි සහන් ගොඩක්ම නදිනිට ආදරේ කරේ.

සහන් මෙහෙම නදිනි ගැන හිත හිත ඉදලම සහන්ට එහෙම්ම නින්ද ගිහින් තිබුනා.සහන් ඇහැරුනේ දොරට ගහන සද්දෙකින්.සහන් ගිහින් දොර ඇරියා
එතන හිටියේ සජිනිට හම්බුන  පිළිගැනීමේ නිළදාරිනිය.

"සර්,මේ සර්ගේ වයිෆ් සර්ට කතා කරාද? අපි කතා කරාට ෆෝන් එක වැඩ නෑ" පිළිගැනීමේ නිළදාරිනිය කිව්වා.

"මගේ වයිෆ්? නෑ නෑ කතා කරේ නෑ .කෝ එයා  " සහන්ට සජිනිව මතක් වුනා.සජිනි ගිය වෙලාවේ තරහෙන් හිටපු නිසා සහන් හෙව්වෙ නෑ සජිනි ගැන.කොහොමත් වෙන කාමරත් නැති නිසා  සහන් හිතුවේ ටිකක් වෙලා ගිහින්  සජිනි ආපහු කාමරේට ඒවි කියලා.

"ඒක තමයි සර් අපිත් මේ බැලුවේ.දිපු නම්බර් එක වැඩ නෑනේ"සහන් වෙලාව බැලුවා.එතකොට හවස 6ටත් ලගයි.එලියේ ලොකු හුලගක සද්දෙකුත් ඇහෙනවා.

"දැන් එයා මෙහෙ නැද්ද?" සහන් ලොකු හුස්මක් අරන් ඇහුවා

"නෑ සර්.ටිකක් ඇවිදලා එන්නම් කියලා ගියා"

සහන් එහෙම්ම සජිනිගේ නම්බර් එකට කෝල් කරා.ඇත්ත තමයි වැඩ නෑ.එත් ඒක කලින් සැරේ වැඩ කරෙත් නෑනේ.සහන් ඒ ගෑනු ලමයා දිහා බැලුවා 

"ඔයාලට කොහෙන්ද එයාගේ නම්බර් එක"

"මැඩම්  තමයි දුන්නේ.රූම් එක ෆික්ස් කරලා කතා කරන්න කියලා"

"රූම් එක? " සහන්ගේ ඇස් උඩ ගියා

"ඔව් සර්.මැඩම් රූම් එකක් ඉල්ලුවා.ගෙස්ට්ලා දෙන්නෙක් 4ට යන නිසා ඒ රූම් එක ලෑස්ති කරලා කෝල් කරාම මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ.එලියේ හොදටම වැස්ස සර්.මේක කුණාටු තත්වයක් කියලා කියන්නෙත්.ඒකයි මේ සර්ට කතා කරේ"

"අහ් ..." සහන්ගේ ඔලුව රත් වුනා මේ කතාව අහලා.එතකොටම එලියේ අකුණක් පිපිරුවා.

මේ මෙච්චර අකුණු ගහන වෙලාවෙ සජිනි එලියේ කියලා හිතන්න සහන් කැමති වුනේ නෑ.

"මගේ වයිෆ් කියලා දැනන් හිටපු එකේ ඔයාලට තිබුනා එයාව ආපහු කාමරේට එවන්න.ඇයි එහෙම යන්න දුන්නේ?" සහන් ඇහුවේ කේන්තියෙන්.සහන් දැන් තමන් එක්කම තරහයි

"හනිමුන් ආපු මහත්වරු වයිෆ්ව කාමරෙන් එලියට දැම්මම කරන්න ඕනේ මොකක්ද කියලා මගේ ජොබ් එකට අදාලා නෑ සර් " එයා එහෙම කිව්වේ සහන්ටත් රවලා

ඒකට සහන්ට කියන්න දෙයක් තිබ්බේ නෑ.

"හරි මං දැන් යනවා හොයන්න.  බලන්න ඔයාලා ලග තියෙන්නේ මේ නම්බර් එකමද කියලා" එහෙම කියපු සහන් නම්බර් එක කියවන කොට ඒ  පිළිගැනීමේ නිළදාරිනිය ඒක එයා ලග තිබුනු නම්බර් එකත් එක්ක සංසන්දනය කරා.නම්බර් වල වැරැද්දක් තිබුනේ නෑ.එහෙනම් වැරැද්ද තියෙන්නේ සජිනිගේ.

"දිගටම මේ නම්බර් එකට ට්‍රයි කරන්න පුලුවන්ද?"

"හා සර්" එහෙම කියපු පිළිගැනීමේ නිළදාරිනිය ආපහු හැරුනා.

සහන් එහෙම්ම කාර් එකට නැග්ගේ සජිනි හොයන්න යන්න.එයා එක්ක හොටෙල් එකේ වැඩ කරන කෙනෙකුත් ආවේ සහන්ට මේ පැත්ත ගැන ලොකු අවබෝධයක් නැති නිසා.

සහන් වාහනේ හරි වේගයෙන් පැදෙව්වේ..ඒ මුලු වෙලාවෙම සහන් හිතින් කිව්වේ එකම එක දෙයයි

"අනේ සජිනි ඉන්න තැනකින් මට පේන්න එන්න.."

To be continued.....









ආදරණීය නපුරා - දොළොස්වන කොටස

සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි. "අහ් පුතා&quo...