Thursday, April 30, 2020

වසන්තය සිහිනයක් - අවසානයට පෙර



සදාරණිය කැලුම්,

මේ ලියුම ඔයාට හම්බවෙද්දී මම ගොඩක් දුරට ලංකාවේ ඉන්න එකක් නෑ.මේක මම අම්මා නැති කාලෙක ගන්න හිතාගෙන හිටපු තීරණයක්.ඉතින් මේකේ වැරද්දක් ඔයාගේ පිටින් දාගන්න එපා.මට ඕනේ ඔයාට හැමදේම කියන්න.ඔයාගේ මුණ බලාගෙන මට මේ දේවල් කියන්න බෑ.ඇත්තටම බෑ.මම උත්සහ කරලා තියෙනවා සෑහෙන වාරයක්.ඒත් බැරි වුනා.ඉතින් යන්න කලින්මෙහෙම හරි කියන්නයි ඕනේ වුනේ.

ඔයාට මතක ඇතිනේ මේ ඔක්කොම පටන් ගත්තේ තාත්තා අසනීප වෙනවත් එක්කමයි.මම එතකොට ෆයිනල් ඉයර් එකේ.වැඩ ගොඩක් මැද ඉන්න වෙලාවකයි අම්මා කතා කරේ තාත්තා අසනීපෙන් කියලා.එත් එක්කම තාත්තගේ බිස්නස් ගැන බලන්න බාප්පා  ඉදිරිපත් වුනු එකත් ප්‍රශ්නයක් වුනා.ඔයාට මතක ඇති මම මේවා ඔයාට කියපු බව.ඇත්තටම එතනදියි මට තේරුනේ මම තනිවෙලා බව.

මේ ප්‍රශ්න ඔයාට තේරුනේ නෑ.ඒවා ඔයාට තේරෙන්න කියන්න මට තේරුනේ නෑ.ඒ ඔක්කොටමත් වඩා ඔයා ඉස්සරහ දුක කියලා මට පුරුද්දක් තිබුනේ නෑ.ඒ මගේ අහංකාරකම ද වෙන දෙයක්ද කියන්න මට අදටත් තේරෙන්නේ නෑ.ඒත් මම බය වුනා ඔයාට මාව එපා වේවි කියලා.ඔයා ඉස්සරහ අඩන්න මම කැමති වුනේ නෑ.ඒත් වෙනදා වගේ ඔයා ලගට වෙලා ආදරෙන් ඉන්නත් මට පුළුවන්කමක් තිබුනේ නෑ.ඒක ඔයා තේරුම් ගත්තද නැද්ද මම දන්නේ නෑ කැලුම්.ඒත් වෙනදා වගේම මම කෑවද බිව්වද හොයන්න එන කෝල් එක පවා  මට කරදරයක් වෙන්න ගත්තා.

මම කතා නොකරනකොට ඔයා කලබල වෙලා හොයද්දි මට එක කරදරයක් වෙන්න ගත්තා.ඉස්සර වගේ නිතරම ෆෝන් එක ලග නැති එක වගේම ලග තිබුනත් නිතරම කතා කරන්න බැරි තරමට මට වැඩ වැඩි බවත් මට ඔයාට කියාගන්න බැරි වුනා.ඔයාටත් තේරුම් ගන්න බැරි වුනා.එකේ වැරැද්ද කාගේ වුනත් හිතට දැනෙන හැගීම් වහගෙන ඔයාගේ කෝල් ආන්සර නොකරනවට හේතු කියන එක මට තවත් පීඩනයක් දුන්නා.

සැරින් සැරේට තාත්තා ලගටත් කැම්පස් එකටත් මාරු වෙමින් හිටපු මට ඔයා අමතර බැදීමක් වෙන්න ගත්තා.ඔයා මට උදව් කරන්න හදන එක මට කරදරයක් වුනා.මට මගේ හැගීම් ඔයාට කියාගන්න බැරි වුනා.ඒත් මම ඔයා ඉස්සරහ හිනා වෙලා ඉන්න උත්සහ කරා.ඒ මට ඔයාව නැති කරගන්න ඕනේ වුනේ නැති නිසා.ඒ ඔයාව කරදරයක් විදියට මට දැනෙන හැගීමට මම මටම වෛර කරන්න ගත්තා.

තාත්තා නැති වුනා.අම්මා අසනීප වෙන්න ගත්තා.උපාධිය ගත්තත් මට මගේ කථිකාචාර්ය හීනෙට සමු දෙන්න වුනා.ගෙදර ඉදන් මම බිස්නස් බලාගන්න පටන් ගත්තා.මට මතකයි ඔයා කිව්වා ඔයා ඒකට මට උදව් කරන්නම් කියලා.එත් කැලුම් මම හිටියේ ජිවිතේ ආසාවෙන් මවපු හීනෙ නැති වුනු දුකෙන්.මගේ තාත්තා නැති වුනු දුකෙන්,අම්මා ලෙඩ වුනු දුකෙන්.තාත්තා නිසා අපේ රෙස්ට් හවුස් එක කරන්න පටන් ගත්තා මිසක මට ඒක කරගෙන යන්න උවමනාවක් තිබ්බේ නෑ.

මට මේවට ඔයාට බනින්න බෑ.ඔයා ඒවා තේරුම් නොගත්තේ මම ඒවා ඔයාට නොකිව්ව නිසා.එත් ඇයි වෙන ගෑනු ළමයි බෝයි ෆ්‍රෙන්ඩ් ට හැම දුකක්ම කියනවා වගේ මට ඔයාට කියන්න බැරි වුනේ කියලා මම ඔයා ආයේ එනකම්ම හිතුනා.එත් මම හිතන්නේ දැන් මම හේතුව දන්නවා.ඔයත් කවදාවත් ඔයාගේ දුකක් ප්‍රශ්නයක් මට කිව්වේ නෑ.හැමදාම අපි හිටියේ සතුටින්.කවදාවත් අපි අපි අතර දේවල් වලට මිසක් වෙන දෙයක් ගැන රණ්ඩු වෙලා නෑ.අපේ ලෝකේ ඇතුලේ හිටියේ අපි විතරයි.ඒක ඒ කාලේ හරිම සුන්දර වුනාට එතනින් එලියට ආවම අපි අපේ ප්‍රශ්න අපි ඇතුලෙම තියාගත්තා.ඔව් අපි සතුට විතරක් බෙදා ගෙන තනියම දුක් වින්දා කැලුම්.පහුගිය කාලෙම අපි ඒකයි කරේ.

ඒ ඔක්කොම අතරේ ඔයාගේ අම්මා මට කතා කරා.පුතාගේ ජීවිතේට බරක් එකතු වෙන්න ඕනේ නෑ කියලා අම්මා මට කිව්වා.ඇත්ත මමත් ඒක පිළිගත්තා.උපාධිය කරලා ගෙදර අසනීපෙන් ඉන්න අම්මා බලාගෙන ඉන්න තාත්තා නැති කෙල්ලක් විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක්ට නොසුදුසු බව මම තීරණය කරා.

එතනින් පස්සේ වුනු දේවල් ඔයාට මම කියන්න ඕනේ නෑනේ කැලුම්.ඔයා දන්නවා.මම ඔයාව ප්‍රතික්ෂේප කරා.ලේසි වුනේ නෑ ඒක.එත් ආදරයට ප්‍රේමයට වඩා ආත්ම අනුකම්පාව වැඩි වුනා.ප්‍රශ්න ගොඩක් මැද ආදරය නිසා හිතට දැනෙන පීඩනයෙන් මට මිදෙන්න ඕනේ වුනා.ඒත් මෙත්සරා ගැන දැනගනිද්දී මම අසරණ වුනා කැලුම්.මට ඔයාව ඇත්තටම නැති වෙන බව තේරුනේ එතැනදී.මම ඔයාව ප්‍රතික්ෂේප කරපු එක හරිද කියලා මම මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.

ඔයාගේ විවාහය දවසේ අම්මා අසනීප වෙලා රෝහල්ගත කරා හදිස්සියේම.මට ඩොක්ටර්ස්ලා කිව්වා අම්මා කම්පනයකින් ඉන්න බවත් සනීප කරන්න බෑ කියලත්.අම්මා ලගම ඉන්න එක වැදගත් කියලත් එයාලා කියද්දී මම ගත්ත තීරණය ගැන පසුතැවිලි වීම නැවැත්තුවා.මම ඒ ඔයාට සුබ පැතුවෙත් රෝහලේ ඉදගෙනමයි.

ඊට පස්සෙත් මම ඒ ගැන පසුතැවිලි වුනේ නෑ කියන්න මට බෑ කැලුම්.ඒත් ඔයා ආපහු ආවාම මගේ සන්සුන් කරගෙන හිටපු හිත ආයෙමත් කඩන වැටුනා.මෙත්සරා ඔයාට මොන තරම් ගැලපෙනවද කියන එක මට විශ්වාස කරගන්න බැරි වුනා.

දවසක් ඔයාලා දෙන්නා පහල වාඩි වෙලා කතා කරනවා මම අහගෙන හිටියා.මේ ඔයා කරගන්න හිතාගෙන ආපු ඉඩම් වැඩ ගැන ඔයා කියනවත් ඒවාට මෙත්සරා කියපුවත් මම අහගෙන හිටියා.මෙත්සරාගේ සමහර යෝජනාවන් ඔයා ප්‍රතික්ෂේප කරනවත්  එයා ඒවාට ප්‍රති උත්තර දෙනවත් මම අහගෙන හිටියා,අවසානයේදී ඔයාට කේන්ති ගිහින් බැනලා කාමරේට යනවත් මෙත්සරා එතනම ඉදගෙන ඉන්නවත් දැක්කා.මේ කිසිම දෙයක් නොවුනා වගේ ඊට ටික වෙලාවකට පස්සේ ඔයාලා දෙන්නා පහල ආපනශාලාවට හිනා වේවි එනවත් මම බලාගෙනයි හිටියේ කැලුම්.

ඇත්තටම මම ඒ වෙලාවේ ඔයා ගැන සතුටු වුනා. ඒවගේම මම ගැන දුක් වුනා.ඒ වගේ විවෘත බවක් අපි අතරේ තිබුනේ නෑ නේද කැලුම්.ඔයාගෙන් බැනුම් අහන මෙත්සරාට මම ඉසිරියා කරා.ඒත් ඒ වෙද්දීත් අපි වෙන් වෙලා තිබුනා.එදා වැව ලගදි මම තේරුම් ගත්තා ඔයාට මෙත්සරා අතාරින්න බැරි බව.

ඔයත් ඒක තේරුම් ගන්න කැලුම්.මට හිතෙන්නේ ඔයා තාම එක තේරුම් අරගෙන නෑ කියලා.ඒ කෙල්ල ඔයාට හරි ආදරෙයි.ඒක මටත් තේරෙනවා.මට සතුටුයි ඔයාට ඒ වගේ ගෑනු ළමයෙක් හම්බුනු එක ගැන.නැත්තම් මට මේ මගේ අරමුණට යන ගමනේ හැමදාම පසුතැවෙන්න වේවි ඔයා ගැන හිතලා.

එහෙනම් මම නවතින්නම් කැලුම්.මම ගැන තවත් හිතන්න එපා.මම හොදින්.ඔයාට සමහරවිට දවසක මම ගැන දැනගන්න ලැබේවි.මෙත්සරා එක්ක හොදින සතුටින් ඉන්න.එයා ලග තමයි ඔයාගේ ජීවිතය තියෙන්නේ.

තෙරුවන් සරණයි

මේ ආදරණිය තරුල්‍යා 

ඇයගේ ලිපිය කුමක්දෝ හේතුවකට මගේ හිතට සැනසුමක් ගෙනාවා.මගේ හැගීම් නිවැරදි බව ඇගෙ ලිපියෙන් මට පැහැදිලි වුනා.නමුත් ඇයගේ මේ ගමන ගැන මගේ සිතට දැනුනු බිය නිසාම මම ලොචනට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ.." ලෝචනගේ කටහඩ දුරකතනයේන ඇසුනා 

"හෙලෝ ලෝචන"

"කියපන්...මොකද තරුල්‍යා කියලා තියෙන්නේ?"ඔහු නොඉවසිලිමත්ව ඇසුවා.

"එයාගේ අරමුණකට යනවා කියලා විතරයි තියෙන්නේ.වෙන විස්තරයක් නෑ.මුකුත් ආරංචියක් නැද්ද?" 

"එයාගේ කැම්පස් යාලුවෙක් හිටියද දේශානි ගජසිංහ  කියලා" ලෝචන එකවර අසද්දී මට විශ්ව විද්‍යාලයේ ඇයගේ හොදම මිතුරිය මතකයට ආවා.

"ඔව් දේශානි එයාගේ කැම්පස් එකේ හොදම යාලුවා"

"අන්න ඒ දේශානි ගජසිංහ ෆේස්බුක් ෆොටෝ එකක් දාලා තියෙනවා තරුල්‍යා එනකම් එයා බලාගෙන ඉන්නවා කියලා ඕස්ට්‍රේලියාවේ ඉදන්.තරුල්‍යා ව ටැග්  කරලා තිබ්බා."

"ආ...එහෙනම් දේශානි ලගට වෙන්න ඇති යන්නේ.දෙශානිව කන්ටැක්ට් කරගන්න නම් හැබැයි පුළුවන් වෙයි" මම කියද්දී ලෝචන සුසුමක් හෙලුවා

"පුළුවන් නම් බලපන් මචන්.බලහන් ඔහොම යනවද කෙල්ලෙක් වුනාම.බය නැද්ද" ලෝචන කියවද්දී මගේ මුවගට සිනහවක් නැගුනා.

නැත.ඇය මා දුටු ශක්තිමත්ම කාන්තාවයි.ඇය හඩනු මා දැක ඇත්තේ අතේ ඇගිලි ගණනටත් අඩුවෙනි.ඇය සියල්ල දරාගන්නා ශක්තිමත් කෙල්ලකි.එදා මට ඇය හැරදා යන්නටද එතරම් පහසු වුයේ එහෙයිනි.ඇය මා නැතුව ද ජිවත් වන බව මා දැන සිටි හෙයිනි.

"තරුල්‍යා ඒවා පුරුදුයි මචන්.බය වෙන්න එපා.මම හොයලා බලන්නම්" 

"හරි මචන්.තැනක් යු.උබ දැන් මොකද කරන්නේ? කොලබ යනවද?"

"ඔව් බන්.දැන් යන්න හදන්නේ" මා එසේ කිවේ කාමරයෙන් පිට වන්නට බෑගය අතට ගනිමිනි.

"මගේ වෙඩින් එකට වරෙන් හරිද? " .

"ලබන මාසේ විතර මගේ වෙඩින් එකත් තියෙනවා මචන්"මා එසේ කියද්දී ඉදිරිපස කන්නාඩියකින් මගේ සිනාසෙන මුහුණ පිලිබුවක්ව මට පෙනුනා.ඒ මුහුණ වෙනදාට නැති අමුතු සනසිමකින් පිරි තිබුනා.

"ආ..හරි එහෙනම්.සෙට් වෙමුකෝ" ඔහු එසේ කියා දුරකථනය විසන්ධි කිරීමෙන් පසු මම මෙත්සරාට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ..." එක්වරම පිළිතුරු දුන් දුරකථනය තුලින් ඇයගේ හඩ මලානිකව ඇසුනා.

"මොකද කරන්නේ"

"ඔයාලගේ ගෙදරට ආවා අම්මා බලන්න" ඇය සෙමින් පිළිතුරු දුන්නා.වෙනදා කටහඩේ ඇති ජිවය නැති වී ගොස් තිබුනා.

"අද එහෙ ඉන්න.මම රෑට එනවා" 

"අද එනවද?"මගේ පිළිතුරෙන් පුදුමව ඇය අසද්දී මා සිනා සුනා.

"ඔව් හෙට නේද වෙඩින් සාරි ගන්න යනවා කිව්වේ.මනමාලයා නැතුව යන්න බෑනේ" මා කියද්දී ඇයගේ සිනාවෙන මුහුණ මට මැවී පෙනුනා.

"මෙත්සරා.." ඇයගෙන් පිළිතුරක් නොමැති තැන මා නැවත ඈ ඇමතුවා 

"ආ..හරි හරි..එන්නකෝ" වෙනස්ම වූ නොසන්සුන් හඩකින් ඈ කියද්දී මා සිනා සුනා.

"හරි එහෙනම්.බුදු සරණයි"

"බුදු සරණයි" 

ඇයගේ දුකථන ඇමතුම විසන්ධි වද්දී මම මගේ නිත්‍යානුකුල පතිනිය හදවතේ පතිනිය කරගනිමින් ඈ වෙත යන්නට පිටත් වුනා.

******************************************************************************************************************************
ඈ හැමදාමත් මගේ ප්‍රථම ප්‍රේමය වෙලා හදවතේ රැදේවි....💖  

****************************************************************************************************
තරුල්‍යා ගේත් මෙත්සරාගේත් කැලුම්ගේත් පසුවදනින් හෙට හමුවෙමු 😊

No comments:

Post a Comment