Thursday, April 30, 2020

වසන්තය සිහිනයක් - 13




"ඒ තරුල්‍යා අක්කා නෙවේ.තාරකා අත්තනායක කියලා වෙන ගර්ල් කෙනෙක්" ඇය කියද්දී මම විස්මයට පත් වුනා 

"තාරකා..තාරකා අත්තනායක ද  බදින්නේ?" මම එසේ  පුදුමයෙන් අසද්දී ඇය මා දෙස කුතුහලයෙන් බැලුවා.

තාරකා අත්තනායක, අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරා.ඇය හා ලෝචන අතර අමුතුම ආකාරයේ තරගයක් තිබු බව මුළු පාසල පුරාම ප්‍රසිද්ද රහසක්ව තිබුනා.අධ්‍යපනයෙන්ද ක්‍රීඩාවන් ගෙන්ද සෞන්දර්ය යන කුමන අංශයෙන් වුවද එකිනෙකා පරදා ජය ගැනීමේ උවමනාවකින් දෙදෙනාම කටයුතු කරා.ඔවුන් දෙදෙනා ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා වීමෙන් පසු ඔවුන්ගේ තරගය උත්සන්න වීම නිසා සෑම කටයුත්තක්ම දෙදෙනාට වෙන වෙනම බෙදා වෙන් කර දීමට ගුරුවරුන්ට සිදු වී තිබුනා.මේ අරගලය උසස් පෙළ අවසන් වන තුරුම පැවතුනා.එහෙම අතීතයක් හිමි   තාරකා හා  ලෝචන  විවාහ වීමට යන ආරංචිය මට ගෙනාවේ ලොකු පුදුමයක්.

"ඔයා තාරකා දන්නවද ?" මෙත්සරා අසද්දී මම ඇය දෙස බැලුවා

"ආ...ඔව්..තාරකා අපේ ඉස්කෝලේ.එත් මෙහෙම දෙයක් ඒ කාලේ නම් තිබ්බේ නෑ' මම කිව්වා.

"ඒ කාලේ නැති කොච්චර දේවල් මේ කාලෙට වෙන්න පුළුවන් ද කැලුම් අයියා" ඇය සුසුමක් හෙලමින් එසේ කියද්දී මා නැවතත් ඇය දෙස හොදින් බැලුවා

"මෙත්සරා...මොකක්ද මේ වෙන්නේ?" මා ඇසුවේ හිතේ නැගෙන නොසන්සුන්කම මැඩගනිමින්

" මොකක්ද? " ඇය එවර කිසිවක් නොදන්නා සේ ඇයගේ ඇදුම් නවන්නට ගද්දි මගේ සිතේ ඇති වුනේ කෝපයක්

"මොකක්ද අහන්නේ? ඊයේ කියනවා තරුල්‍යා ලගට යන්න දෙන්නේ නෑලු.අද කියනවා යන්නලු.මොකක්ද මේකේ තේරුම" මා අසද්දී සුසුමක් හෙලු ඇය අතට ගත් ඇදුම ද අතින් ගෙන ඇද උඩ වාඩි වුනා.

"ඊයේ මම කියපුවට මට සමාවෙන්න.මම ඒ වෙලාවේ හිතුවේ මම ගැන විතරයි.එත් මම අද දන්නවා ඔයා ආදරේ තරුල්‍යා ට කියලා.ඔයා එයා ලගට යන්න.මම අම්මලට කතා කරන්නම් "

"අම්මලට මොනවා කතා කරන්නද? ඔයා දැනුත් හිතන්නේ ඔයා ගැන විතරයි" මා එසේ කියද්දී ඇය දෙනෙත් විසල් කර මා දෙස බැලුවා.

"ඔයා දැනුත් මේ ඔයා කියන විදියටනේ මට කරන්න කියන්නේ.මමයි තීරණය කරන්නේ මම මොකක්ද කරන්නේ කියලා.මම තරුල්‍යා ලගට යනවද නැද්ද කියන්නේ මගේ තීරණයක්.ඔයාට මම වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ" ම එලෙස පවසා සිටිද්දී ඇයගේ දෙනෙත් වල පිරි කදුලක් කම්මුල් දිගේ ගලා ගියා.

ඇයගේ කදුළු දැකීමෙන් ඊයේ රාත්‍රියේ මගේ සිතට අමුතු හැගීමක් දැනුනු නමුත් අද ඒ හැගීම වේදනාවක් බවට පත් වී තිබුනා.විවිධ දේට ඇය හඩා වැටෙන අයුරු ඕනා තරම් දැක තිබුනත් ඇය මා වෙනුවෙන් හඩා වැටෙනු දුටු පළමු අවස්තාව නිසාදෝ මගේ හදවත මහත් වේදනාවකට පත් වී තිබුනා.තවත් ඇයගේ දෙනෙතෙන් මා වෙනුවෙන් ගලන කදුළු දැකිය නොහැකි තැන මා නාන කාමරයට ඇතුල් වුනා.

ඒ මුළු රාත්‍රියම අප දෙදෙනා එක්ව ගත කල නිහඩම රාත්‍රිය වුනා.මා හට කිසිවක්ම නොපැවසූ ඇය ද නොසන්සුන් සිතින් සිටි මමද එකම යහනේ දෙපසට වී නිදි වර්ජිතව රැය පහන් කරා.

ඒ මුළු රාත්‍රියම මගේ සිත තුල තරුල්‍යා ත් මෙත්සරා ත් සැරිසැරුවා.

තරුල්‍යා මගේ ප්‍රේමය බව සැබෑවකි.ඇය අසලදී හදවතේ ගැස්ම වේගවත් වන බවද සිත සතුටෙන් පිරෙන බවද සැබෑවකි. ඒ තරුල්‍යා ගෙන් දැනෙන සිත සසල කරවන නොඉවසිලිමත් ප්‍රේමය මට මෙත්සරාගෙන් කිසිදිනෙක නොදැනුනු බවද සැබෑවකි.

ඒත්...එත්....තරුල්‍යා ගෙන් වෙනස් වූ යමක් මා මෙත්සරා වෙතට ආකර්ෂණය කරනවා.ඇය අසලදී සිතට මහත් වූ නිදහසක් දැනෙනවා වගේම වචනයෙන් විස්තර කරන්න බැරි සැනසීමක් මට මෙත්සරා ලගදි දැනෙනවා.ඒ සැනසීම මට ඇය අසලදී සිනාසිමත් හැඩිමත් කෝප ගැනීමත් හදවතේ හැගීම් ප්‍රකාශනයත් එක සේ පහසු කරවනවා.මා, තරුල්‍යා අසලදී ආදරය සිනහව තුල පමණක්  ජිවත් වන ආදරණිය පෙම්වතෙකු වද්දී මෙත්සරා ලගදි සාමාන්‍ය ජිවිතයක් හිමි දුක, කෝපය, ආදරය, සතුට දැනෙන කොල්ලෙකු බවට පත් වෙනවා.

මෙත්සරා ත් තරුල්‍යා ත් සිත තුල සංසන්දනය වද්දී මට ඉබේටම නින්ද ගොස් තිබුනා.

උදෑසන හිරු කිරණ මුහුණට පතිත වද්දී මම දෑස් හැර බැලුවා.රාත්‍රියේ මා අසල නින්දට ගොස් සිටි මෙත්සරා පෙනෙන්නට නැති වීම මා කලබලයට පත් කරා.කඩිමුඩියේ මා ඇදෙන් නැගිටිද්දී නාන කාමරයෙන් එලියට එන මෙත්සරා ගේ දසුන මා සන්සුන් කරා.මා දෙස එක් බැල්මක් පමණක් හෙලු ඇය අසල තිබු බෑගයක් අතට ගත්තා.

"ඔයා කොහෙද මේ යන්නේ" මා ඇසුවේ රෙදි බෑගය දැකීම නිසා ඇති වූ කුතුහලයෙන්.

"මම ගෙදර යනවා" මගේ දෑස් මගහරිමින් ඇය පැවසුවා

"මේ හදිස්සියේ..."

"අම්මා හුග දවසක ඉදන් ගෙදර එන්න කියන්නේ" 

"හෙට යමු මාත් එක්කම..මට තව වැඩ.." මා එසේ කියන්නට ගත්තත් ඇය මා මගින් නැවැත්තුවා 

"නෑ ඔයා වැඩ කරගෙන එන්න.මට අද යන්නම ඕනේ" එසේ කියමින් ඇය මා දෙස නෙත් ඔසවා බැලුවා.දිනයේ පළමු වරට ඇගෙ දෙනෙත් මගේ දෙනෙත් හා පැටලෙද්දී ඒ දෙනෙත් වල වේදනාව මගේ හදවත රිදෙව්වා.

"එහෙනම් ඉන්න මම ඔයාව ඇරලවන්නම්" මා එසේ කියමින් නැගිටිද්දී ඇය හිස වැනුවා.

"එපා.මං කැබ් එකක් බුක් කරා.දැන් එක ඇවිත් තියෙන්නේ" එසේ කියමින් මා අසලට පැමිණි ඇය එක්වරම මා වැළද ගත්තා.

ඇයගේ වැළද ගැනීම් මට බොහෝ සුපුරුදු වුවත් මෙවර එය වෙනස් වී දැනුනා.ඇයගේ උණුසුම මා සැනසුවා.මගේ උරතලට මතට තද වී තිබු මුවින් ඇය කතා කරා.

"ඔයාගේ ජීවිතේට හොද තීරණයක් හිතලා ගන්න අයියේ.ඒ මොන තිරනෙට වුනත් මම ඔයාට උදව් කරනවා" එසේ කියමින් උරතලය මතට උණුසුම් හාදුවක් තැබූ ඇය රතු වී තිබු දෙනෙත් මගෙන් සගවමින් මගෙන් ඈත් වුනා.

"පරිස්සමෙන්.ගිහින් කෝල් එකක් දෙන්න" ඇය කාමරයෙන් පිට වද්දී මම සෙමින් කිව්වා.

ඇය කැබ් රථයට ගොඩ වනවාත් කැබ් රථය පිට වනවාත් මද වෙලාවක් බලා සිටි මම සුදානම් වී කච්චේරිය වෙත පිටත් වුනේ මේ ඉඩම් වැඩකටයුතු හැකි ඉක්මනින් අවසන් කරදැමීමේ අරමුණින්.වෙහෙසකර දිනයක් අවසානයේ නැවතත් සංචාරක නිවහනට පැමිණි මම ආලින්දයේ සිටි ලෝචනට සිනහවකින් පමණක් සංග්‍රහ කරමින් කාමරය දෙසට ගියේ ලෝචන ගේ පවුලේ තවත් පිරිසක් එතන කතාවක යෙදී සිටි බැවිනුයි.නමුත් පිටුපසින් ඇසුණු ලෝචන ගේ කටහඩ නිසා මා ආපහු හැරී බැලුවා.

"කැලුම්..."

"ලෝචන...එතන කට්ටිය නිසා මං කතා නොකරේ" මා එසේ කියද්දී ඔහු මට ලියුම් කවරයක් දිගු කරා.

"තරුල්‍යා මේක උබට දෙන්න කියලා ගිහින් තිබුනා" ඔහු එසේ කියද්දී මම ඔහු දෙස බැලුවේ පුදුමයෙන්

"තරුල්‍යා කොහෙද ගිහින් තියෙන්නේ"

"ඕස්ට්‍රේලියා ගිහින් අද දවල්.උදේ අපට කෝල් කරා එයාර් පෝට් එකේ ඉදන්" ඔහුගේ වදන් මගේ සවනට විශ්වාස කරගත නොහැකි තරම් වද්දී මම අතේ තිබු ලියුම දෙස බැලුවා.

"ඕක උබට දෙන්න කියලා කන්නාඩි මේසේ උඩ තියලා තියෙනවා කිව්වා මට.කියවලා බලපන් බන් මොනවද තියෙන්නේ කියලා.අපටත් හරියට දෙයක් කිව්වේ නෑ" ලෝචන ගේ නොඉවසිලිමත් බව ඔහුගේ කටහඩින් පෙනෙද්දී මම සැලෙන අතැගිලි වලින් ලියුම දිග හැරියා.

*****************************************************************************************************

හදවත නොසන්සුන් කරනා,

සිත ප්‍රීතිමත් කරනා ප්‍රේමයත්...

හදවත සනසනා,

මට මා වන්නට ඉඩ සලසනා සෙනහසත්....

මා දෙදෙනෙකු අතර අතරමන් කරවයි 💖

2 comments:

  1. සුපිරි ආ... ඒක පට්ටම..
    එල එල ඉතිං ජය!

    ReplyDelete