Friday, May 1, 2020

වසන්තය සිහිනයක් - පසුවදන



අපගේ විවාහයට වසරක් ගත වෙලා....

කැලුම්ගේ එදා නොදුටු වෙනසක් අද දකින්නට තිබීම මගේ හිතට ඇති කරන්නේ ලොකු සතුටක්.එදා නොලැබුණු ආදරයක් රැකවරණයක් සෙනහසක් මට දැන් ලැබෙනවා වුනත් එක් අඩුවක් එදා වගේම මට දැනෙනවා.කැලුම් ගේ හිත තාමත් තරුල්‍යා ගැන හිතනවා.ඔහු ඒ ගැන මට වචනයක්වත් නොකිව්වත් විවාහක බිරිදට සිදු විය යුතු යුතුකම් අඩුවක් නොකලත් ඔහුගේ දෑස් වලින් මම විටෙක තරුල්‍යා ව දකිනවා.

ඔව්..මම ඉරිසියා කරනවා ඇයට.මා ලග ඉදලත් කැලුම්ගේ මතකයන් වල ජිවත් වෙන්න තරමට තරුල්‍යා ට තියෙන හැකියාව මට පුදුමයක්.ඒ දුරින් ඉදලත් තාමත් හදවතේ ජිවත් වෙන ප්‍රේමය මට අරුමයක්.

ඒත් මං විශ්වාස කරනවා කැලුම් ගේ හදවතේ මටත් ඉඩක් තියෙන බව.තරුල්‍යා ලගට යන්න පුළුවන්කම තියෙද්දිත් මම ලගට ආවේ ඒකයි.මා ලගදිත් ඔහුගේ දෑස් දිලිසෙන්නේ ඒකයි.

දවසක සමහරවිට මේ දේවල් මීටත් වඩා වෙනස් වේවි... 

ඔහු මට විතරක්ම පෙම් කරාවි...

මා ගැන පමණක්ම සිතාවි...

මා පමණක්ම ඒ දෑස් වල පෙනේවි...

මා පමණක්ම ඒ හදවතේ ඉදිවී....

ඔව් ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා...

- මෙත්සරා දහනායක  - 

*****************************************************************************************************

වසරක් ගිහින්....ඔව් හරියටම අවුරුද්දක්...

මම විවාහ වෙලා අවුරුද්දයි..

තරුල්‍යා ලංකාවෙන් ගිහින් අවුරුද්දයි...

මේ අවුරුද්දට එයාට පුළුවන් වුනේ ලංකාවෙන් යන්න විතරයි.එයා මගේ හිත ඇතුලේ එදා වගේම රැදිලා ඉන්නවා.ඒත් එදා එයාගේ ඉඩෙන් ටිකක් අද මෙත්සරා අයිති කරගෙන තියෙනවා.එත් තාමත් මට තරුල්‍යා ගේ සිනාසෙන හඩ මතක තියෙනවා.ඇයගේ දෙතොල් පැහැය මතකයට එනවා.ඇයගේ ලග හැමදාමත් දැනෙන රෝස සුවද මට තාමත් සිහිනයෙන් මෙන් දැනෙනවා.

ඔව් ඇය තවමත් මගේ හදවතේ ජිවත් වෙනවා...

හරියට ආරංචියක් නොදන්නවා වුනත් ඇය සතුටෙන් ඉන්න බව ලෝචන මට නිතරම කියනවා.ඇය මට කතා කරන එක ප්‍රතික්ෂේප කරේ එහෙ ගිය දවසේ ඉදන්මයි.ඔව් පසු කාලයක් වෙද්දී මමත් එයට කැමති වුනා.ඇයගේ කටහඩ අසන්නට ඇති ආසාව වගේම එය මෙත්සරාට ඇති කරන බලපෑම ගැන මම බය වුනා.

මෙත්සරා...මගේ බිරිද..අද වෙද්දී මම මුළු හදවතින්ම මගේ කරගත් මගේ බිරිද.සමහරවිට ඇයට කවදාවත්ම තරුල්‍යා ගේ ප්‍රේමයට ලං වෙන්න බැරි වේවි.ඒත් ඇය ගේ  සෙනෙහස අද වගේම හැමදාටම මගේ හදවතේ පිරිලා තියේවි.

දවසක...ඔව් කවදාහරීම දවසක...

මට තරුල්‍යා හමු වේවි..

එදා අපට එකිනෙකාට කියන්න අපහසු වුනු බොහෝ දේ අපට එදාට කියන්න පුළුවන් වේවි.

ඔව්... මම බලාගෙන ඉන්නවා ඒ දවස එනකම්...

- කැලුම් නිසංසල බණ්ඩාර - 

****************************************************************************************************

කාලය හරි ඉක්මනින් යන්නට ගිහින්...

ඔස්ට්‍රේලියාවට පැමිණ වසරක් ඉක්ම ගියේ හිතාගන්නත් බැරි වේගෙකින් .මේ වසරේ බොහෝ දේ සිදු වුනා .වසර ගණනාවක සිහිනයක්ව තිබු උසස් අධ්‍යාපනය සම්පුර්ණ කරන්න මට දේශානි ගේ  උදව් ලැබීම ලොකු ශක්තියක් වුනා.ඒ සියල්ලත් එක්කම ලංකාවේ තාත්තගේ ව්‍යාපාර අයිතිය මම ලෝචන ට පැවරුවා.ඒවා එහෙම ගන්න ඔහු කැමැත්තක් පෙන්නුවේ නෑ.ඒ නිසාම ඔහු හැම මාසෙකම මා වෙනුවෙන් ව්‍යාපාර වල ආදායමෙන් හරි අඩක් බැංකු ගත කරන්න පටන් ගෙන තිබුනා.ඔව්...වියදම් අධික රටක ජිවත් වෙද්දී ඒ මුදල් මට සෑහෙන උදව්වක් වුනා.

කැලුම්...

ඔව් ඔහු හොදින් ඉන්නවා...

මම දන්නවා ඔහු හොදින් බව...ලෝචන මට ඔහුගේ විවාහයේ ජායාරුප ඒවා තිබුනා.එහි ඔහු සුන්දර සිනහවකින් මෙත්සරා සමග සිටියා,මෙත්සරා ඔහුට හොදින් ගැලපුනා.

සත්තයි...මට සතුටුයි...

ඔහු මගේ ප්‍රේමයේ  බැදීමෙන් නිදහස්ව ඔහුගේ ජීවිතය සොයාගැනීම ගැන මට සතුටුයි...

හදවතේ ඇති වූ ප්‍රථම ප්‍රේමය සතුටෙන් වීම ගැන මට සතුටුයි...

මගේ සිහිනය තුල රැදෙන්නට හැකි වීම ගැන සතුටුයි...

ප්‍රේමනීය පීඩනයෙන් මිදීමට හැකි වීම ගැන සතුටුයි...

ඔව් සත්තයි මම සතුටෙන්..

කැලුම්ගේ මතකයන්...ඒ ආදරණිය දෑස්...ඒ හදගැස්ම අදටත් මා සතුටෙන් තියනවා..

ඔහුගේ මතකයන් සමගින් බැදී ප්‍රේමය මා ජිවත් කරවනවා..

දවසක අප හමු වේවි කැලුම්..

මේ හැමදේම කතා කරන්නට හැකි දවසක අපි හමු වේවි..

ඔව්...මම බලාගෙන ඉන්නවා ඒ දවස එනකම්..

- තරුල්‍යා අමන්දි විජේනායක - 

**********************************************************************************************************

වසන්තය සැබෑවටම සිහිනයක් 💖

- සමාප්තයි - 

**********************************************************************************************

මුළු කතාව පුරාවටම මම ඔබෙන් කිසිම අදහසක් ඉල්ලුවේ නෑ.කතාවට ඉගි දුන්නේ නෑ.එයට හේතුවක් තිබුනා.මේ කතාව පෙර සිටම ආරම්භය,අවසානය තීරණය වුනු කතාවක්.එක් වරම උදෑසනක ආපු සිතුවිල්ලකට රචනා වෙන්න පටන් ගත්ත කතාවක්.නමුත් මෙය අපි හැමෝගෙම කතාවක්.ඔබට කියන්න පුලුවන්ද මේ එකම එක සිතුවිල්ලක්වත්,එක හැගිමක්වත් ඔබට ඔබේ ජිවිත කාලයේ දැනුනේ නැති බව.විශ්වාසයි මට එක් වරක් හෝ ඔබට මේ එකම එක වදනක් හෝ සිතෙන්නට ඇති බවට.

ඉතින් අද මම කැමතියි අදහස් දැනගන්න...ඔබ හිතන දේ ගැන..

එය උදව්වක් වගේම සතුටක් වේවි

ඉතින් අවසරයි සමුගන්න..

කතාව රස විදි, අදහස් දැක්වු හා දිරි ගැන්වූ සියලු දෙනාට බොහොම ස්තුතියි 💖

1 comment: