Sunday, July 8, 2018

ආදරණීය නපුරා - අවසාන කොටස



සහන් රත්නපුරේට ලං වෙනකොට රෑ වෙන්නත් කිට්ටුයි.මේ රෑ එහෙම ගෙදරකට යන එක හොදද කියලා හිතුනත් සජිනිව හොයාගන්න උවමනාව ඊට වඩා තදින් තිබුන නිසා සහන් කෙලින්ම ගියේ සජිනිගේ නැන්දගේ ගෙදර හොයාගෙන.

ආයතනයේ වැඩ වලට ඇවිත් තිබ්බ නිසා රත්නපුරේ ගැන සෑහෙන දැනුමක් තිබ්බ එක මේ වෙලාවේ සහන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඒ කොහොම වුනත් රත්නපුරේට ආවේණික වුන චුරු චුරු වැස්ස අස්සේ පාරවල් වැරදි වැරදි සහන් නැන්දාගේ ගෙදරට එනකොට හොදටම රෑ වුනා.

වාහනේ එළියේ ඉඩ තියෙන තැනක නවත්තපු සහන් ගෙදර දොර ලගට ගියේ චකිතයෙන්.සජිනි නොහිටියොත් කියන බය එක්කම කොහොම පිළිගැනීමක් ලැබේවිද කියලත් සහන්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.දොර ලගට ගියපු සහන් දොරේ බෙල් එක ගැහුවා.බෙල් එක වැඩ නැද්ද දන්නේ නෑ කියලා කෝකටත් දොරටත් තට්ටු කරා.ටිකකින් දොර ඇරියේ මැදි වයසේ ගෑනු කෙනෙක්.එයා සහන් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන .

"මේ ප්‍රියානි නැන්දා ද?" සහන් එහෙම අහනවත් එක්කම ඒ ගෑනු කෙනා බය වෙලා වගේ බැලුවා

"ඔව් කවුද මේ?"

"මං සහන්,මට ඇතුළට එන්න පුලුවන්ද?"

"අහ් එන්න.." නැන්දා එහෙම කිව්වත් සහන්ව ඇතුළට ගත්තේ නම් ටිකක් අකමැත්තෙන් වගේ කියලා සහන්ට හිතුනා.ඒ කොහොම වුනත් ගේ ඇතුළ නම් පිටින් පේනවට වඩා ලොකුයි කියලා සහන්ට හිතුනේ ඇතුළට ගියාම

"වාඩි වෙන්න"

"තැන්ක් යූ"

"මේ දරුවා මේ වෙලාවේ මෙහේ ආවේ?"

"මං ආවේ සජිනි ඉන්නවද බලන්න"

"සජිනි නෑ මෙහේ.මං ඒ වෙලාවෙත් කිව්වනේ" මේ සැරේ නම් නැන්දා කිව්වේ ටිකක් තදින්

"නැන්දේ මං දන්නවා මගෙන් වැරැද්දක් වුනා කියලා.මට ඕනේ ඒ වැරැද්ද හදන්න.මට එක සැරයක් සජිනි හම්බ වෙන්න දෙන්න"

"සජිනි මෙහේ නෑ.මං දැන් එක සැරයක් කිව්වනේ"

"සජිනි මෙහේ ඉන්නවා කියලා මං දන්නවා.නැන්දේ අනේ ප්ලීස් මට ඕනේ වෙච්ච වැරැද්ද හදන්න.සජිනි දුකෙන් ඉන්නවට නැන්දා කැමතිත් නෑනේ නේද?" සහන් තමන් ලග තිබ්බ අන්තිම තුරුම්පුවත් දාලා බැලුවා

"මං දන්නේ නෑ ඔය ලමයා මේක කොහොම දැනගත්තද කියලා.ඒත් සජිනි හරිම දුකෙන් ඉන්නේ.මට කිව්වා කිසිම කෙනෙක්ට කියන්න එපා කියලා" නැන්දා කිව්වේ ටිකක් වෙලා ඉදලා.නැන්දගේ කතාවෙන් සහන්ට දැනුනේ හිතේ බරෙන් බාගයක්ම අඩු වුනා වගේ හැගීමක්

"සජිනි කොහෙද ඉන්නේ කියන්න.මං මේ ඔක්කොම විසදන්නම්" සහන් කියද්දි නැන්දා බැලුවේ උඩට යන්න තියෙන පඩි පෙළ දිහා

"සජිනි උඩ තට්ටුවේ.බැල්කනියට යන්න.පාර පැත්තට නෙවෙයි.කන්ද පැත්තට තියෙන බැල්කනියට.හැබැයි ඒ ලමයව තවත් රිද්දන්න නම් එපා.එයාගේ අකමැත්තෙන් නම් මෙහෙන් එයාව ගෙනියන්න මං දෙන්නේ නෑ" නැන්දා ඒ ටික කිව්වේ නම් හරිම සැරෙන්

"නෑ නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ" එහෙම කියපු සහන් පුටුවෙන් නැගිට්ටා.සහන් උඩට යන දිහා ප්‍රියානි බලන් හිටියෙත් කණගාටුවෙන්

'අනේ මේ දරුවන්ට හොදක්ම වෙන්න ඕනේ' ප්‍රියානි හිතින් කිව්වා

සහන් උඩට නැග්ගේ නොඉවසිල්ලෙන්.නැගලා වටපිට බලපු සහන් බැලුවේ කන්ද පැත්තට තියෙන බැල්කනිය මොකක් වෙන්න පුලුවන්ද කියලා.ඒ සාලේ බැල්කනිම තුනක් තිබ්බා.එකක් වහලා තිබ්බේ.ඒ නිසා සහන්ට හොයාගන්න අමාරු වුනේ නෑ.කන්ද පැත්තට තිබ්බ බැල්කනියේ තිබ්බේ මළානික කහ පාටක විදුලි එලියක්.සහන් හරි හෙමීට බැල්කනියට ගියා.

මේ වැස්සෙ කරුවලේ  බැල්කනියේ කොට තාප්පෙට හේත්තු වෙලා ඈත බලාගෙන හිටපු සජිනි අදුරගන්න සහන්ට එච්චර අමාරු වුනේ නෑ.සහන් ආපු බවක්වත් නොදන්න සජිනි වැස්ස දිහා බලාගෙන හිටියේ හරිම දුකෙන්

කියන්න දේවල් ගොඩක් තිබ්බත් මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරුව හිටපු සහන් උගුර පෑදුවේ සජිනිගේ අවධානේ ගන්න හිතාගෙන.සහන් හිතුවා වගේම ඒ සද්දෙට බය වුන සජිනි එක පාරටම හැරිලා බැලුවා.සජිනිගේ මූණ අඩලා අඩලා හෙම්බත් වෙලයි තිබ්බේ.ඇස් යටට ගිලිලා මේ වෙනදා දැකපු සජිනිද කියලා හිතාගන්නත් බැරි තරම් වෙනස් වෙලා තිබ්බේ.සජීගේ මූන දැකපු සහන්ට තමන් ගැනම ආවේ ලොකු තරහක්.

සහන්ව දැකපු සජිනිගේ මූණ එක පාරටම වෙනස් වුනේ සහන් බලන් ඉද්දිමයි.මුලින් සහන් දිහා පුදුමෙන් බලපු සජිනි ඊලග තත්පරේ දුකෙන් බිම බලාගත්තා.

"ඔයා ආවේ ඩිවෝර්ස් පේපර්ස් දෙන්නද? මං ඒවා එවන්නයි හිටියේ ලබන සතියේ" සජිනි බිම බලාගෙන කියද්දි සහන්ට හීල්ලුනා.සජිනි ආයෙත් කොට තාප්පේ පැත්තට හැරෙනකොට සහන් සජිනිව අල්ලලා එයාගේ පැත්තට හරව ගත්තා

"මොනවද සජිනි මේ කියන්නේ? ඇයි මේ එක සැරේට ගෙදරින් ගියේ? මට වචනයක් හරි කියන්න තිබ්බා නේද?" සහන් ඇහුවේ සජිනිගේ උරහිසින් අත් දෙකම තියාගෙන

සහන්ගේ කතාවට සජිනි උත්තර දුන්නේ නෑ.

"සජිනි....ඇයි ඔයා ගෙදරින් ආවේ? මං කොච්චර හෙව්වද කියලා දන්නවද? මගේ පපුව හිර වුනේ නැති එක විතරයි.ඔයා මෙහෙත් නැති වුනා නම් මං දන්නේ නෑ මං මොනවා කරාවිද කියලා" සහන් එක දිගට කියවගෙන යද්දි සජිනි සහන් දිහා හිස් බැල්මකින් බලන් හිටියා.

"සජිනි...ඔයාට ඇහෙනවද මං කියන දේ? "සහන් සජිනිගේ උරහිසින් අල්ලලා හෙලෙව්වේ සජිනිගෙන් කිසි ප්‍රතිචාරයක් නැති නිසා

"ඇයි මාව හෙව්වේ? " සජිනි ඇහුවේ එච්චරයි

"හෙව්වේ...හෙව්වේ...ඔයා මගේ වයිෆ් නිසා.ඔයා කොහොමද එහෙම මට කියන්නේ නැතුව ගෙදරින් යන්නේ?  ඔයා ගියාම මං හොයන්නේ නැතුව ඉන්නේ කොහොමද"

"මං හිතුවා" එහෙම කියපු සජිනි සහන්ගේ අත් වලින් ගැලවිලා ගේ ඇතුළට යන්න හැදුවා.ඒත් එක්කම සහන්සජිනිගේ උරහිසින් අල්ලලා  ආයෙත් ඇදලා ගත්තේ සජිනි හිතුවෙවත් නැති විදියට

"මොකක්ද හිතුවේ?" සහන් ඇහුවේ සජිනිගේ ඇස් වලට එබිලා

"ඔයා ඕක කියනවා කියලා" සජිනි කිව්වේ සහන්ගෙන් බේරෙන්න හදන ගමන්

" සහන් මට රිදෙනවා.අතාරින්න"

"මොකක්ද මං කිව්වේ?" සහන් ඇහුවේ එයාගේ අත් දෙකේ ග්‍රහනය ටිකක් අඩු කරන ගමන්.එහෙම කරපු ගමන් සජිනි සහන්ගෙන් ඈත් වෙලා හිටගත්තා

"ඔයා මේ ඔක්කොම කරන්නේ මං ඔයාගේ වයිෆ් නිසා.නැතුව මට ආදරේකට නෙවෙයිනේ සහන්.ඔයා මේ කරන්නේ හස්බන්ඩ් කෙනෙක්ගේ යුතුකම් ඉශ්ට කරන එක.මට එහෙම හස්බන්ඩ් කෙනෙක් ඕනේ නෑ .දවස ගානේ මැරි මැරි ඉපදෙනවා මං.ඔයා ඒ මුකුත් දන්නේ නෑ.දැනගන්න ඔයාට උවමනාවකුත් නෑ.ඔයා ඔයාගේ යුතුකම් කරනවනේ.ඔයාට වෙන හිතන්න දෙයක් නෑනේ." සජිනි කිව්වේ අඩන ගමන්.

සහන් හෙමීට සජිනි ලගට ගිහින් සජිනිගේ උරහිසින් අල්ලලා එක අතකින් නිකටෙන් අල්ලලා මූණ උඩට ඉස්සුවා.අනිත් අතින් සජිනිගේ මූනේ කදුලු පිහිදපු සහන් කතා කරා

"දැන් ටිකක් මං කියන දේ අහන්න.ඔව් ඔයා මගේ වයිෆ් නිසා තමයි මං මේවා කරන්නේ.හැබැයි යුතුකමකට නෙවෙයි මං ඔයාට ආදරේ නිසා" සහන්ගේ කතාවට සජිනිගේ ඇස් ලොකු වුනා.සජිනිගේ මූණේ වෙනස දැකලා සහන්ට හීනීයට හිනාවකුත් ගියා

"ඔව් සජිනි..මං ආදරෙයි ඔයාට.කියාගන්න බැරි තරමටම.මං ඒක කියන්න මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න.ඒත් කියන්න හදන්න හැම වෙලාවෙම කියන්න බැරි මොකක්දෝ බාධාවක් දැනුනා මට.මං දැන් දන්නවා ඒ මගේ ආඩම්බරකම නිසයි කියාගන්න බැරි වුනේ" සහන් කියද්දී සජිනි බලන් හිටියේ පුදුමෙන්.

"ඇයි?" සහන් ඇහුවේ සජිනි බලාගෙනම ඉන්න නිසා

"එතකොට නදිනි?" සජිනි අහපු ප්‍රශ්නෙට සහන් ඔලුව වැනුවා

"එයාව අපි දෙන්නා මැද්දට ගන්න එපා.මං කලින් කිව්වා තමයි මං නදිනිට ආදරෙයි කියලා.ඒත් දැන් එහෙම නෑ.මං ආදරේ ඔයාට.ඒක කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.ආපහු එහෙම නදිනි ගැන කතා කරන්න එපා." සහන් කිව්වේ තරවටුවක හඩින්

සජිනි ආයෙත් කල්පනා කරන්න ගත්තා.ඒ දිහා ටිකක් බලන් හිටපු සහන් සජිනිගේ ඉණෙන් අල්ලලා එයාගේ ලගට ගත්තා.සජිනි ඒකෙන් බය වෙලා බිම බලාගත්තා.

"ඔයාට මුකුත් කියන්න නැද්ද? සහන් ඇහුවේ සජිනි දිහාට පහත් වෙලා

"මේ..එතකොට ඔයා මේ ආවේ ඩිවෝර්ස් පේපර්ස් ගෙනියන්න නෙවෙයිද?" සජිනි හෙමින් අහද්දි සහන්ගේ ඇස් උඩ ගියා

'මං මේ කෙල්ලට මෙච්චර කියලත් තේරිලා නෑනේ.ඔලුවේ පිදුරුද කොහෙද?'

"ආ සහන්..." සජිනි ආයෙත් ඇහුවේ සහන්ගෙන් උත්තරක් නැති තැන

"මං ඔයාට ආදරෙයි.මං ඔයාව කසාද බැදලත් ඉන්නේ.ඉතින් එහෙම එකේ මං මොකටද රත්තරන් ඔයාව ඩිවෝර්ස් කරන්නේ?" සහන් කිව්වේ කියන්න පුලුවන් හොදම විදියට.ඒ කතාවට සජිනි රතු වුනා.

"ඉතින් මං හිතන්නේ ඔයාටත් මොනවා හරි කියන්න තියෙනවා නේද?" සහන් ඇහුවේ සජිනිගේ මූණට එබිලා.ඒත් සජිනි කරේ සහන්ගෙන් ඇස් හංගගත්ත එක.

"මොකද කියන්නේ නැද්ද?" සහන් අහද්දි සජිනි එහෙම්ම සහන්ගේ පපුවට බර වුනා.සහන් හරි ආදරෙන් සජිනිව තුරුල් කරගත්තා

"බය වෙන්න එපා..කවදාවත්ම ඔයාව අතාරින්නේ නෑ.මේ මගේ පණ ටික" සහන් එහෙම කිව්වේ සජිනිගේ ඔලුව උඩ හාදුවක් තියන ගමන්.

සහනුයි සජිනියි මෙහෙම කොච්චර වෙලා හිටියද කියලා එයාලට දැනීමක් තිබ්බේ නෑ.එයාලා එකිනෙකාගෙන් ඈත් වුනේ සජිනිගේ නැන්දගේ සද්දෙට

"සජිනි...." පහළ තට්ටුවේ ඉදන් කතා කරපු හඩට දෙන්නා දෙපැත්තට වුනා

"සහන් එක්කගෙන කන්න එන්න...." නැන්දා කතා කරේ පහළ ඉදන්.කලින් උඩට ඇවිත් යන්තමට බලලා ගිය නිසා මේ දෙන්නගේ ප්‍රශ්නයක් නැති බව ප්‍රියානිට තේරිලයි  තිබ්බේ.

"යමු..." සජිනි කිව්වේ ඉස්සර වෙන ගමන්.මොකක්දෝ හේතුවකට සජිනිට සහන් දිහා බලන්න බැරිකමක් හිතට දැනුනා.සජිනි ඉස්සර වෙනවත් එක්කම සහන් සජිනිගේ අතින් අල්ලගත්තා.

"මට කියන්න දෙයක් තියෙනවා කියලා මතක තියාගන්න" එහෙම කියපු සහන් සජිනිට ඉස්සර වෙලා සජිනිගේ අතිනුත් අල්ලගෙන පහළට ගියේ කෑම කන්න.

ප්‍රියානි  කෑම ලෑස්ති කරලා මේසේ ලගට වෙලා බලන් හිටියේ මේ දෙන්නා එනකම්.දෙන්නා එක්ක අත් අල්ලගෙන එනවා දකිද්දිම ප්‍රියානිට දැනුනේ ලොකු සතුටක්.

"අනේ මේ දරුවෝ දෙන්නගේ ආදරේට ඇස් වහක් කටවහක් නම් වදින්න එපා" ප්‍රියානි හිතින් ප්‍රාර්ථනා කරා.

"වාඩි වෙන්න දෙන්නම" ප්‍රියානි කිව්වේ ඉදි ආප්ප පිගාන අතට ගන්න ගමන්

"නැන්දත් වාඩි වෙන්න" සහන් කිව්වේ ප්‍රියානි ඉදිආප්ප බෙදද්දී

"මං දැන්ම කන්නේ නෑ පුතේ.දුවලගේ තාත්තා කන්නේ රෑ වෙලානේ.එයා එක්කම කාලා පුරුද්දට ගිහින්"

"නංගිලා මෙහේ නැද්ද නැන්දේ?" සහන් එහෙම ඇහුවේ දුවලා ඉන්නවා කිව්වට පේන්න නැති නිසා

"දෙන්නම පේරාදෙණිය කැම්පස්.එහේ ඉන්නේ.සතිඅන්තෙට එනවා"

"නැන්දා තනියමද එතකොට අනිත් දවස් වලට"

"නෑ පුතේ.දුවලගේ තාත්තගේ අක්කා මෙහේ ඉන්නේ.මේ ටිකේ එයා වන්දනා ගමනක් ගිහින්.මාත් යන්න හිටියේ.ඒත් නිවාඩු තිබ්බේ නෑ..ඒකත් වෙලාවට.දුව කතා කරේ හිතුවෙවත් නැති වෙලාවකනේ" ප්‍රියානි කියද්දි සහන් සජිනි දිහා බැලුවා.

රෑ කෑම වෙලාවෙම සහනුයි ප්‍රියානියි ආ ගිය විස්තර කතා කරත් සජිනි මේ කතා වලට සම්බන්ද වුනේ නෑ.සජිනි තාමත් හිතුවේ මේ දේවල් ඇත්තමද කියලා.

රෑ කාලා නිදාගන්න කාමරේට ගිය සහන් බැල්කනියට වෙලා එළියේ තරු දිහා බලන් හිටියා.සජිනිත් කාමරේට ආවේ ඒ වෙලාවෙමයි.සහන් ඉන්නවා දැකපු සජිනිත් එතනින් ඇවිත් හිටගත්තා.

"දැන් හද පායලා නේද?" සහන් ඇහුවේ සජිනි දිහා බලන්නෙවත් නැතුව

"හ්ම්ම්ම්..."

"හදට පායන්නත් ඉතින් වැස්ස නැති වෙන්නම ඕනේ" එහෙම කියලා සහන් බැලුවේ සජිනි දිහා.සජිනි ලගට කිට්ටු වුන සහන් සජිනිගේ උරහිස වටේ අත දාලා ලගට කරගත්තා.

"ආයේ එහෙම යනවා නෙවෙයි මට කියන්නේ නැතුව.තේරුනාද?" සහන් ඇහුවම සජිනි ඔලුව වැනුවේ හිනා වෙලා

"කාලෙකින් අපි සතුටෙන් නේද?" සහන් කියනකොට සජිනි සහන්ගේ පපුවට හේත්තු වුනා

"අද මෙයාගේ කට වැහිලා" සහන් කිව්වේ සජිනිගෙන් සද්දයක් නැති නිසා

"ම්ම්ම්...." සජිනි කිව්වේ එච්චරයි.සහන් ඊට වඩා ඇහුවෙත් නෑ.

ටිකකින් සජිනි කතා කරා

"සහන්...."

"ම්ම්ම්ම්..."

"මං ඔයාට ආදරෙයි" සජිනිගේ කටින් ඒ වචන කියවෙනවත් එක්කම සහන්ගෙ මූනේ හිනාවක් ඇදුනා.සජිනිගේ උරහිස වගේ තිබ්බ අත තව ටිකක් තව කරලා සජිනිව ලං කරගත්ත සහන් සජිනිගේ අනිත් අත අල්ලගත්තා..

"මං දන්නවා.මං හැමදාමත් දැනගෙන හිටියා" සහන් කිව්වේ හිනා වෙවි

"ඒ කොහොමද?" සජිනි ඇහුවේ පුදුම වෙලා

"ඔයාට මගේ ඇස් කියවන්න බැරි වුනාට මං හැමදාමත් ඔයාගේ ඇස් කියෙව්වා" සහන් කියද්දි සජිනි ලැජ්ජාවෙන් හිනා වුනා

"නිදාගන්න යමු නේද? හෙට ගෙදර යන්නත් ඕනේ "

"සහන්,නදිනි?"

"ජීවක හෙට ලංකාවට එනවා.එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයිනේ"

"හ්ම්ම්..." සජිනි කිව්වේ සැනසිල්ලෙන්.ටිකක් වෙලා යනකම් දෙන්නගෙම සද්දයක් තිබ්බේ නෑ

"නිදාගන්න යමු කිව්වා නේද?"සජිනි අහද්දි සහන් සජිනිව තවත් ටිකක් ලගට ගත්තා.

"මෙහෙම ටිකක් ඉමු අපි.මට තාම හිතාගන්නත් බෑ ඔයා මගේ ලග කියලා" සහන් කියද්දි සජිනි සහන්ගේ මූන බැලුවා.ඒ මූනේ තිබ්බේ ලොකු සැනසීමක්.සහන් ලග කවදාවත් දැකපු නැති තරම් සන්සුන්කමක්.

සජිනි සහන්ගේ උරහිසට ඔලුව තියාගත්තා.සහන්ව මුලින්ම දැකපු දවස,නදිනි එක්ක සහන් ඉන්නවා දැකපු දවස්,මංගල යෝජනාවක් නිසා අමතක කරලා හිටපු සහන් ආයෙත් ජිවිතේට ආපු හැටි හැමදේම සජිනිට මැවිලා පේන්න ගත්තා..

'අපි ආපු තරම් දුර.කොච්චර දේවල් වුනාද? ඒත් දැන් සහන් මගේ ලග. මට වෙන මුකුත්ම ඕනේ නෑ...' සජිනි හිතුවේ හිතට දැනෙන මහා සැනසිල්ලක් එක්ක.

-------------------------------------------------------------------------------------------------------
අවුරු 8 කට පසු.....,

"රශී.....කොහේ යනවද මන්දා මේ ලමයා..රශී එන්න මේ කෑම කන්න.අක්කා කාලත් ඉවරයි" සජිනි කෑගහන්න ගත්තේ කාමරේ හොයලා බැරිම තැන

"කෝ නැද්ද චූටි?" සහන් ඇහුවේ ටයි එක හද හද කාමරෙන් එලියට එන ගමන්

"නෑනේ මේ ලමයා.සශී...කෝ නංගි" සජිනි ඇහුවේ සාලෙට වෙලා බලාගෙන ඉන්න සශීගෙන්.ඒකට සශී කරේ ඉස්සරහ කාමරේට අත දික් කරපු එක 

සශී,රශී කියන්නේ සහන්ගෙයි සජිනිගෙයි මුල්ම දරුවෝ දෙන්නා.ඒ දෙන්නා නිවුන්නූ.නිවුන්නූ නිසා පෙනුම සමාන වුනත් ගතිගුණ නම් සෑහෙන්න වෙනස්.රශී හරිම දග ලමයෙක් වුනත් සශී නම් හරි කීකරු විදියටයි හිටියේ.ඉස්කෝලේ 1 වෙනි පන්තියේ හිටපු මේ දෙන්නව උදේට ලැස්ති කරන එක යුද්දයක් වුනේ රශී නිසාමයි.

"ඔයාගේ බත් එක බැන්දෙත් නෑ සහන් තාම" සජිනි කිව්වේ බත් එකත් අරන් රශීව හොයන අතරේ

"ඔන්න ඕක මට දීලා ඔයා බත් එක බදින්න.මෙයාලගේ කෑම දාලද?" සහන් ඇහුවේ කෑම එක ගන්න ගමන්.

"ඔව් ඔව්.කටක් දෙකක් වත් කවන්න සහන්" එහෙම කියපු සජිනි ගියේ සහන්ගේ බත් එක බදින්න.

වෙලාවට සජිනි බත් එක බැදන් එන අතරේ සහන් බත් කටක් දෙකක් කවාගෙන තිබුනේ ටීවී එක දාලා.

"අම්මී කිව්වේ ටීවී කැඩිලා කියලා..මේ වැඩනේ..." රශී කිව්වේ ටීවී පෙන්නන ගමන්.සහන් සජිනි දිහා බැලුවේ මේ කතාව මොකක්ද කියලා බලන්න.

"අහ් ඒ තාත්ති හරි අම්මී හරි දැම්මොත් විතරයි වැඩ.දැන් දෙන්නම යන්න ලෑස්ති වෙන්න.බෑග් අම්මි කාමරේ තියලා තියෙන්නේ.ගිහින් අරන් එන්න" සජිනි කිව්වේ සහන්ට රව රව

"පොඩි අයට බොරු කියන්න හොද නෑ සජිනි"

"එහෙනම් ඔයා ඇවිත් බලාගන්න මේ දෙන්නව.මේ සදුදා විදූගේ වෙඩින්ග් එක මතකනේ...නිවාඩු දාලා එන්න මතක ඇතුව"

"හරි හරි ලමයෝ මට එහෙම අමතක වෙනවද?"

"මේ මං අද කඩේ යනවා.අපි නදිනිලගේ ගෙදරත් යනවනේ නේද බබා බලන්න.බේබි කොට් එකක් ගන්නද?"

"ඔයා කැමති එකක් ගන්නකෝ.ඒ ගමන් නරකද අපිත් තව බේබි කොට් එකක් ගන්න එක ගැන හිතුවොත්" සහන් කිව්වේ සජිනිට ඇහැක් ගහන ගමන්.සජිනි ඒකට උත්තරයක් දෙන්න හදනකොටම එතනට දුවගෙන ආවේ බෑග් පිටේ එල්ලගත්ත දුවලා දෙන්නා.

"අම්මී...සාදු..."

"තාත්තී...සාදූ..." කියලා පොඩි දෙන්නා පහත් වෙලා වදිද්දී සජිනිගේ ඇස් වලට කදුලක් ආවේ එයා නෝදැනිමයි

"හරි පැටියෝ පරිස්සමෙන් යන්න.දෙන්නා දෙන්නව බලාගන්න ඕනේ හොදේ" සජිනි කිව්වේ දෙන්නවම ඉබලා සමු දෙන ගමන්.ඒ දෙන්නා එලියට යන අතරේ සහන් සජිනි ලගට ආවා.

"මං කියපු එක හිතල බලන්න.පරිස්සමෙන් ඉන්න" සහන් කිව්වේ සජිනිගේ නළලට හාදුවක් දීලා

"ඔයත් පරිස්සමෙන්" සජිනි කිව්වේ සහන් හිනා වෙලා ගෙදරින් එලියට යද්දී.

සහන් එක්කම එලියට ගිය සජිනි බලාගෙන හිටියේ තමන්ගේ ජිවිතේ හැමදේම වුන සහනුයි මේ දරු පැටව් දෙන්නයි පිට වෙලා යන දිහා.

"මගේ පවුලට දළදා හමූදුරුවන්ගේ පිහිටයි" සජිනි තමන්ටම මුමුණ ගත්තා.

සමාප්තයි.

*********************************************************************************

කොටස් 40ක් පුරාවට ඔයාලා ආදරෙන් කියවපු 'ආදරණීය නපුරා' අදින් ඉවර වෙනවා.මේ කතාව ලියන්න ගත්තේ මෙච්චර දුර එන්න හිතාගෙන නෙවෙයි.මේක මුහුණු පොතට දාන්න කිසිම අදහසක් තිබ්බේ නෑ.මේ හැමදේම අහම්බයක්.

ස්තූති කරන්න කීප දෙනෙක්ම ඉන්නවා.නයෝමි ස්තූතියි ඔයාට.ඔයා නැත්තම් මේ කතාව කොටස් 6කින් ඉවරයි.ඊලගට ප්‍රභා ට."උබ ලියපන්,මං කියවනවා" කිව්වට.ඒ වචන ටික මාර හයියක් වුනා.ගොඩක්ම ස්තූතියි කියවපු ඔයාලා හැමෝටම.මේ කතාවට මගේ බ්ලොග් එකේ වීව්ස් 500කට කිට්ටු වෙන්න තියෙනවා.ලියන්න ගත්ත ගමන්ම නිසා ඒක මට ලොකු ගානක්.කියවපු අයට වගේම කොමෙන්ටුවක් දාලා සුබ පතපු මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

මං දන්නේ නෑ ඊලග කතාව කවදා ලියවේවිද කියලා.ඒත් ඒක හොද සැලසුමක් එක්ක ලියවෙන වෙනස්ම කතාවක් වේවි.එදාටත් අද වගේම ඔයාලා මාත් එක්ක ඉදිවි කියලා හිතනවා

එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු...

හැමෝම ආදරෙන් ඉන්න...💖

28 comments:

  1. ලියන්න පටන් ගන්නේ කොහොමද කියලා හිතද්දි අ යන්නේ ඉදලා බ්ලොග් එක ගැන කියලා දිපු ඔයා මට අද තැන්කියෝ කියලා ..

    අන්න ඒකට නම් ඇඬුණා යාලු..

    අපි අපිම පරීක්ෂණ කරලා නිරික්ෂණ කරලා ප්‍රතිඵල අනුව නිගමන වලට ආපු ගමනක අවසානය තමයි සජි සහා ආදරය ..

    ඇත්තටම කතාව දානකම් මං බලන් හිටියා හැමදාම..ලියා ගන්න බැරිව ලැප් රාජයා ලෙඩ වෙච්චි දවස් වල වින්ද දුක මතකයි හොදටම.කොහොම හරි අන්තිමට ඔයා ඒක කරා.

    මං දන්නවා ඊළඟ කතාව ඔයා ලියන්නේ තවත් ආසාවෙන්..ඔව් ඔයා Motivate වෙලා..

    අපි වෙනුවෙන් අපි theory එක එදාටත් වලංගු නිසා මං බලන් ඉන්නවා..ඔයා අමුණන මොනවිදියේ පදයක් වුනත් ආසාවෙන් කියවනවා..

    අදත් මං කියන්නේ උඹ ලියපන් මම කියවනවා..

    අලුත් දෙයක් කියන්න ද ?

    පොතක් කරමු දම්මියෝ ..

    මුල් පිටපත් වලින් එකක් මට ඕනි හොදේ්...
    ඒ දවස ඉක්මනින් ඒවි..

    ආදරෙන් සුභ පතමි..

    ReplyDelete
    Replies
    1. අම්මෝ අන්න අරහේ සජිනි සහන් දෙන්නා තරහ වෙලාලු..
      මාත් එක්ක අනේ..
      අමතක කරා කියලා.
      හරි ඉතින් දැන් රණ්ඩු නැහැනෙ..
      අපි අයින් වුනා..ඉස්සරනෙ ඕවා බේරන්න මැදට පනින්න වුනේ..
      පොඩ්ඩෝ දෙන්නව මතක් කරන්න ..
      නදිනි, ජිවක වගේම විදුවත්

      Delete
    2. ඔයා නැතුව පාලුවෙන් තමා හිටියේ... කමක් නෑ දැන් ආවනේ..අපි බලමුකෝ නේද? මේ කතාව පොතක් වේවි දවසක.ලගදිම නොවුනත් කවදමහරි දවසක <3 ටිකක් ඉවසලා ඉමු එතකන්.අලුත් කතාවකුත් අරන් ඉක්මනින් එන්නම් <3

      Delete
  2. Oyage kathawa harima ලස්සනයි
    Harima adaraneeyai.
    Katawa godak aasawen kiyeuwa.
    Tawath lassana kata liyanna.
    Good luck
    ��

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි <3 පුලුවන් ඉක්මනින් අලුත් කතාවක් ගෙන්නම් :)

      Delete
  3. සුබ පැතුම් . කතාව ලස්සනයි .

    අන්තිම කොටස බලාපොරොත්තු වුනා වගේම දෙන්නව එකතු කළා. ඔයාගේ ලිවීමේ රටාව ඉතාම ආකර්ශනීයයි , දෙබස් හැසිරවීම සහ අවස්ථාව විස්තර කිරීම වගේ දේවල් ඉහලින්ම තියෙනවා. \

    මට පෞද්ගලිකව හිතෙන දෙයක් මේ කියන්නේ , මම හිතන්නේ අර අවුරුදු අටකට පසු කොටස නොතිබ්බනම් හොඳයි . මොකද කතාවෙ climax එක තියෙන්නේ දෙන්නට දෙන්නා නැන්දගේ ගෙදරදී මුණගැහෙන එක. අවුරුදු අටකට පස්සේ කියන තැන නාට්‍යමය ස්වරූපය වැඩියි වගේ. ඒ දෙන්නා සතුටෙන් ඉන්න බව තහවුරු කරන්න ඕන නෑ මං හිතන්නේ.

    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, මොකද මම දකින දේ කිව්වේ . කතාවී සම්පුර්ණ අයිතිය ඔයාගේ, එක ලියන විදිහ තීරණය කරන්න ඕනේ ඔයා.

    අර කිව්වා වගේ පොතක් කරන්න උත්සාහ කරන්න . අපිත් එන්නං දොරට වැඩුමට ජය වේවා , තවත් කතාවකින් හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි :) ඇත්තටම ඒ කොටස දැම්මේ අලුත් කතාවක් ගැනත් හිතේ තියෙන නිසා.තාම හරියටම තීරනයක් නැතත් ඒක මේකටම සම්බන්ද වෙනස්ම කතාවක් වේවී.ඒ කොහොම වුනත් ගොඩක් ස්තූතියි ඒ අදහස් වලට.මගේ ලිවීමේ රටාව ගැන මටම සෑහෙන ගැටලු තිබ්බා.මේක ලියන භාශාව න්වෙයි.ඉතින් මං ඒක වෙනස් කරන්නත් ගොඩක් හිතුවා.ඒත් ඔයා වගේම ගොඩක් අය කිව්වා මේක හොදයි කියලා.ඉතින් ඉස්සරහටත් මේ ලියන විදිය වෙනස් කරන්නේ නෑ.

      මේක පොතක් වේවි දවසක.එදාට අනිවාර්යෙන්ම ඔයාලා හැමෝටම කියනවා.පළවෙනි කතාවෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වැරදි අඩුපාඩු ඊලග කතාවේ තියෙන එකක් නෑ.

      ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි කතාව කියෙව්වට වගේම අදහස් දැක්කුවටත් <3

      මං ගොඩක් ආසාවෙන් කාලයක්ම බලපු බ්ලොග් කතුවරයෙක්ගෙන් මෙහෙම කොමෙන්ටුවක් කියන්නේ මට හීනයක් වගේ..(බලපු කිව්වේ කාලෙකින් මොනවත්ම කියවන්න තරම් වෙලාවක් නොවුන නිසා)

      Delete
    2. හපොයි , කාලෙකින් කියවන්න බැරිවෙන්න ඇත්තේ ,කාලෙකින් මටත් යමක් ලියන්න බැරිවුනා , අලුත් රස්සාවක් එක්ක පොඩ්ඩක් කාලය ගැන ගැටළු තමා තිබ්බේ , දැන් එක හරි ආපහු ලියන්න හිතාගෙන ඉන්නවා. ළඟදීම පටන් ගන්න ඕන .

      බලාගෙන ඉන්නවා පොත් එලියනට් එනකන් , ජයවේවා , සුබ පැතුම් ඒ වැඩේ ඉක්මනින්ම වෙන්න කියලා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හපූයි ඔව් මේ ඉවාන් අයියා දැන් ලියන්නෙත් නෑ මුකුත්. මාත් හැමදාම ඒ පැත්තෙ ගිහින් එනවා.

      කම්මැලියා

      Delete
    5. හම්මේ දැකපු කල් , මොකෝ වුනේ , හිටිගමන් වාශ්පවෙලා දැන් නිකං පච හලන්නේ නැතුව ඉන්නවද ?

      Delete
    6. අව්ව වැඩි නෙ අප්පා ඒකයි වාශ්ප වෙලා හිටියෙ..
      ඕ යෙස්

      අනේ ඉවාන් අයියෙ එක පොස්ට් එකක්වත් දාන්නකො අනේ..
      ඇත්තටම දැන් ගොඩක් කත ලියවෙන බ්ලොග් අඩුයි වගේ.
      නැත්තම් මට දැනෙන හැටි ද දන්නෙ ත් නෑ..

      කෝම වුනත් ඉවාන් අයියගෙ කතාවක් නම් කියවන්න ඕනෙමයි දැන්

      Delete
    7. හැමදාම ඒ පැත්තෙ ගියාම මං දොර ඇරන් එළියට ගිහින් බලනවා..
      කෝ ඉතින් ඉවාන් අයියා ඇවිල්ලද නැත්තම් මට මොනවහරි කන්න දෙයක්වත් ගෙනත් තියලා ගිහිල්ලද කියලා..
      ම්හු.. මෙලෝ දෙයක් නෑ.

      එහෙම තියෙද්දි ඉවාන් අයියා මට නෙ කියන්නෙ පච හලනවා කියලා

      :P

      Delete
    8. ලියන්න ඕන නගෝ , පොඩි කම්මැලි කමක් තමයි තියෙන්නේ , මොකද දැන් සෑහෙන කාලයක් මොනවත් ලිව්වී නෑනේ , ලබන සතිය ඇතුලත මොකක් හරිම ලියන්නොන . උඹට කන්න ගෙනාවා වෙල්ල වැහුම් . ඔ යේස් :D

      Delete
    9. ඉක්මනට ලියන්ඩෝ...දැන් මේ ලියන එකත් ටිකක් නැවතුන එකේ මාත් එහේ මෙහේ ආයෙත් ඇවිදලා කියවන්න ගන්න ඕනේ

      Delete
    10. @ඉවාන් අයියා
      ඊලඟ සතියෙ ලිව්වෙ නැත්තම් නෙ බලාගමු..

      දම්මියෝ.. අනේ තව එකක් ලියන්න අනේ.. අපිටත් කියවන්න දෙයක් තියෙන්න ඕනෙ නෙ අනේ..

      Delete
    11. ලගදිම ගේනවා හොලිවුඩ් ස්ටයිල් එකට කොරියන් මික්ස් කරලා සිංහල පදමට ලියපු එකක්....

      Delete

    12. කොරියන් මික්ස් කියුවට සින්හලෙන් ලියන්න හලිද.. :P

      Delete
  4. හැමදාමත් හරිම කැමැත්තෙන් කියෙව්ව කතාවක්. ගොඩාක් ස්තුතියි ඔයාට.ඊලග කතාවත් ඉක්මනටම දාන්න.අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි <3 ලගදිම නොවුනත් පුලුවන් ඉක්මනින් අලුත් කතාවක් අරගෙන එනවා :)

      Delete
  5. හරිම ලස්සනයි. මාත් ගොඩක් ආසවෙන් ඔක්කොම කියෙව්වා. හැමදාම කමෙන්ට් කරන්න තරම් වේලාවක් හම්බුනේ නැති එකට සමාවෙන්න.. ඉතින් ඉක්මනට තව කතාවක් ලියන්න. අපි බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.අනේ...මෙහෙම කියන වචන ටිකම ඇති මට.අලුත් කතාවක් ලගදිම එනවා.මේක ලිව්වේ කිසි සැලසුමක් නැතුව.හරි අමාරු වුනා ඒ නිසා.ඊලග එක එහෙම නැතුව හොද සැලසුමකින් පටන් ගන්නයි ඕනේ.ස්තූතියි

      Delete
  6. ඇති යන්තම් සතුටුදායක අවසානයක්.:D මේ කතාව අතරමැදදි දැක්කා උනත් මුලට ගිහින් අවසානය වෙනකන් කියෙව්වා.පුලුවන් විදියට කමෙන්ට් කලා. පිටරටක ගෙවෙන ඒකාකාරී ජීවිතෙ පොඩ්ඩක් හරි මිදෙන්නෙ ඔයාලගේ මේ ලස්සන නිර්මාණ බලන් ඉන්න එකෙන් තමයි.තවතවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා සුභපතනවා දම්මි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.ඔව් දැන් හැමෝම හරි කාර්‍යබහුලයි.මාත් හරිම අමාරුවෙන් වෙලාව හොයාගෙන ලිව්වේ.ඉතින් මට හිතාගන්න පුලුවන්.එහෙම එකේ මග අතාරින්නේ නැතුව අන්තිම වෙනකම් කියෙව්වට ගොඩක් ස්තූතියි.අලුත් කතාවකින් හම්බවෙමුකෝ

      Delete
  7. අහම්බෙන් මේ පැත්තට ආවේ අර උඩ ඉන්න දෙන්නාගේ පින්තූරේ හින්දා. මුළින්ම දැකපු මේ අවසන් කොටස ටිකක් කියවද්දි ආස හිතුණ නිසා වෙලාවක් හොයාගෙන එක හුස්මට මුළ ඉඳන්ම කියෙව්වා. මේක හරිම ලස්සන කතාවක් දම්මි. ආසාවෙන් රසවින්දා. ස්තූතියි මහන්සි වෙලා මේ වගේ රසවත් කතාවක් අපිට කියවන්න දුන්නාට. නිවාඩු පාඩුවේ දම්මිගේ අනිත් ලිපිත් කියවලා බලන්නම්කෝ. සුබ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි.කතාව ඉවර වුනත් එක්කම වැඩ ගොඩක් මැද හිර වුනා.සැප්තැම්බර් වෙනකොට අලුත් කතාවක් ගේනවා.ඒකත් කියවන්න :)

      Delete

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...