Saturday, July 7, 2018

ආදරණීය නපුරා - හතලිස් වන කොටස


සහන් සජිනිලගේ ගෙදරට එද්දී රෑ 11ටත් කිට්ටුයි.මේ වගේ වෙලාවක සහන්ව දැකපු සජිනිගේ අම්මයි තාත්තයි පුදුම වුනත් සහන්ව ආදරෙන් පිළිගත්තා.

" වාඩි වෙන්න පුතා" සජිනිගේ තාත්තා කිව්වේ පුටුවක් පෙන්නලා 

"කෝ පුතේ අපේ සංජු? ඇයි එයා ආවේ නැත්තේ? ඊටත් මේ මහ රෑ? කරදරයක්වත්ද? " සජිනිගේ අම්මා කියවගෙන ගියේ හිතේ ප්‍රශ්න නිසාමයි.සහන්ට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වුනා.සහන් අම්මා එක්ක හිනා වුනේ අසරණ විදියට 

"ඕවා පස්සේ කතා කරන්න පුලුවන් නෝනා.මේ දරුවට කන්න ලෑස්ති කරා නම්" තාත්තා කිව්වේ සහන්ගේ තත්වේ තේරුම් අරන් වගේ 

"මං කාලා ආවේ අම්මේ"

"එහෙනම් තේ එකක් බොනවද?" අම්මා අහද්දි සහන්ට හීල්ලුනා.සහන් ඔලුව වැනුවම අම්මා ඇතුලට ගියේ සහන්ට තේ හදන්න 

'වෙච්ච දේ දන්නවා නම් මට ගහලා එලවාවි' සහන්ට හිතුනා.ඒත් අද සහන් ආවේ ඇත්තම කියන්නයි.

"ඇත්තට මොකක් හරි ප්‍රශ්නයක්ද  පුතේ?" සජිනිගේ තාත්තා කුස්සිය දිහාත් බලලා සහන්ගෙන් ඇහුවා.සහන් එලියට ගත්තේ සජිනි තියලා ගියපු ලියුම .සහන් ඒක සජිනිගේ තාත්තා අතට දුන්නා.

සහන්ගෙන් කිසිම ප්‍රශ්නයක් අහපු නැති තාත්තා කණ්නාඩි කූට්ටමත් දාගෙන හෙමීට ලියුම කියවන්න ගත්තා.

"මෙන්න දරුවෝ මේ ගෙදරම හදපු හැලප.තේ බොන්න කලින් කන්න" අම්මගේ කටහඩ ඇහෙද්දිම තාත්තා ලියුම නවලා හැංගුවා.

අම්මා හැලප  පිගාන තියලා ගියාට පස්සේ තාත්තා ආයෙත් ලියුම අරගෙන සහන් දිහා බැලුවා 

"මේවා එහෙම එක සැරේට අම්මට කියන්න බෑ.මං දන්නවනේ අපේ එක්කෙනාගේ හැටි.මං හෙමීට කියන්නම්" තාත්තගේ කතාවට සහන් ඔලුව වැනුවා 

"මං මුකුත් අහන්නේ නෑ ඔය දරුවගෙන්.මට ටිකක් විතර හිතාගන්න පුලුවන් වෙච්ච දේ.දැන් මේක කවද්ද වුනේ?"

"අද හවස තාත්තේ.ඇත්තටම මේක මගේ වැරැද්ද.මං හොද මහත්තයෙක් වුනේ නෑ සජිනිට.මට සමාවෙන්න තාත්තේ" සහන් බිම බලාගෙන කිව්වා.ඒ තාත්තගේ මූණ බලන් මෙහෙම දෙයක් කියන්න සහන්ට පුලුවන්කමක් තිබ්බේ නෑ 

"අපි කවුරුවත් පුරුදු වෙලා කසාද බදින්නේ නෑනේ දරුවෝ.මුල් කාලේ කසාද ජීවිතේට පුරුදු වෙන එක හැමෝටම ලේසි නෑ.අනිත් එක ඉතින් ඔය දෙන්නා දැන හදුනගෙන බැන්දත් නෙවෙයිනේ.දෙන්නගෙම අතින් අතපසුවීම් හිත් රිදීම් වෙන්න ඇති.දැන් ඒවා බලලා වැඩක් නෑ.ඉස්සරහට කරන දෙයක් තමයි හිතන්න ඕනේ" සජිනිගේ තාත්තා කතා කරේ හරි සන්සුන් විදියට

"මොකද තාත්තේ දැන් කරන්නේ? එයා කොහෙද යන්න ඇත්තේ?" සහන් අහද්දි තාත්තා ලියුම ආපහු සහන්ගේ අතට දුන්නා 

"කොහේ හරි එයා හොදට දන්න අපට හොයාගන්න අමාරු තැනක්" තාත්තා කිව්වේ කල්පනාවකින් 

ඒ අතරේ අම්මා තේ අරන් ඇවිත් එතනින්ම වාඩි වුනා.

"නෝනා ඔන්න අපේ සංජු ආයෙත් හොද හපන්කමක් කරලා" තාත්තා කිව්වා 

"ඒ මොකක්ද?"

"මේ මොකක්ද පොඩි දේකට හිත රිද්දගෙන ගෙදරින් ගිහින්" තාත්තා කියද්දි අම්මා බැලුවේ සහන් දිහා.සහන් හිටියේ බිම බලාගෙනමයි 

"අනේ මගේ දරුවා...මොකද පුතේ වුනේ? ඇයි සංජු ගෙදරින් ගියේ? යන්න තරමට මොකක්ද වුනේ? කොහෙද ගිහින් තියෙන්නේ?" සජිනිගේ අම්මා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න ගත්තේ හුස්මක්වත් නොගෙන 

"ඕකනේ ඉතින් නෝනා කලබල වෙනවනේ..මේ පොඩි දෙයක්.පුතා මට කිව්වා වෙච්ච දේ.නෝනට මං පස්සේ කියන්නම්කෝ.දැන් මේ දරුවට නිදාගන්න ලෑස්ති කරන්න" 

"ඒ වුනාට මහත්තයා අපේ දරුවා...." සජිනිගේ අම්මා කිව්වේ අඩන්න ලෑස්ති වෙලා 

"දරුවට මුකුත් වෙන්නේ නෑ නෝනා.මේ පලවෙනි පාරත් නෙවෙයිනේ.කලබල වෙන්නේ නැතුව ගිහින් සංජුගේ කාමරේ ලෑස්ති කරන්න.අපි හෙට උදේට බලමු කරන්න දෙයක්" තාත්තා කිව්වේ ටිකක් තදින්.ටිකක් වෙලා එහෙම්ම බලන් හිටපු අම්මා නැගිටලා ගියේ සහන්ට කාමරේ ලෑස්ති කරන්න 

"තාත්තේ මොකක්ද ඒ පලවෙනි පාර නෙවෙයි කියපු කතාව?" සහන් ඇහුවේ අම්මා යනකම් ඉදලා.සහන්ගේ ප්‍රශ්නෙට තාත්තා හිනා වුනා 

"මේ පලවෙනි පාර නෙවෙයි සංජු ගෙදරින් ගියපු.එයාගේ හිත රිදිලා එයාට ඕනේ දේ කරගන්න බැරුව කලිනුත් ඔහොම ගියා..මේ වගේම ලියුමක් තියලා ගියේ.කිව්වා වගේම සතියකින් කතා කරා.ගෙදර ආවා" 

"කොහෙද ඉදලා තියෙන්නේ?"

"යාලුවෙක්ගේ ගෙදර.ඒකයි පුතා මං කියන්නේ.අපි මේක හොයලා බලමු.මගේ කෙල්ල එහෙම කරදර දාගන්නේ නෑ.ඉන්නවා ඇත්තේ පරිස්සම් තැනක.හෙට අපි දන්න හැමෝටම කතා කරලා බලමු.බය වෙන්න දෙයක් නෑ.දරුවා හම්බ වේවී" තාත්තා කිව්වේ සහන් පුදුමෙන් බලන් ඉද්දි 

තමන්ගේ එකම දරුවා ගෙදරින් ගිහින් තියෙන වෙලාවක මේ තාත්තා කතා කරන විදිය ගැන සහන්ට පුදුමයි.සහන් එහෙම්ම බලන් ඉද්දි තාත්තා නැගිටලා සහන් ලගට ආවා.සහනුත් පුටුවෙන් නැගිට්ටා

"පුදුම වෙන්න දෙයක් නෑ.මං මගේ කෙල්ල ගැන දන්නවා.එයාට කරදරයක් නෑ.ඒ වගේම මොන දේවල් කලින් වුනත් දැන් ඔය දරුවා මේ ඇවිත් තියෙන්නේ අපේ සංජු ගැන ආදරෙන් බවත් මට පේනවා.මුලින් කෙල්ල හොයාගමු.ඊට පස්සේ පුලුවන් මේ ප්‍රශ්න විසදගන්න" තාත්තා සහන්ගේ පිටටත් තට්ටු කරලයි ගියේ.

සහන් සජිනිගේ කාමරේට ආවේ නිදාගන්න හිතාගෙනයි.ඒත් නින්දක් සහන්ගේ ඇස් මායිමකවත් තිබුනේ නෑ.සහන් සජිනිගේ ඇදෙන් වාඩි වුනා.සහන්ට මතක් වුනේ මේ කාමරේ හිටපු දවස්.රණ්ඩු වෙවී වුනත් ඒ ලගින් හිටපු දවස් මේ ලග නැති දවස් වලට වඩා කොච්චර ලස්සනද කියලා සහන්ට හිතුනා.

'මම බලන් හිටියා එයා මට ආදරේ කියනකම්.අඩු ගානේ එයාගේ හිත හැදුවේවත් නෑ මම.වචන වලින් කියපු නැති බැදීමක් මට දැනෙද්දී එයාටත් එහෙම දැනෙනවා ඇති කියලා මං හිතුවා.මට තිබ්බා එයාට කතා කරන්න.මට හිතෙන දේ කියන්න.මගේ ආඩම්බරකම නිසයි මේ ඔක්කොම' සහන් හිතුවේ පසුතැවිල්ලෙන්

සජිනි ගැන හිත හිත හිටපු සහන්ට නින්ද යද්දි ගොඩක් රෑ වුනත් පහුවදා පාන්දරින්ම ඇහැරුනේ හිතේ සැනසිල්ලක් නැති නිසාමයි.

ඇදේ ඉදන්ම වටපිට බලපු සහන්ට පෙනුනේ මේසේ උඩ තිබ්බ ෆොටෝ වගයක්.සහන් නැගිටලා ගිහින් මේසේ උඩ තිබ්බ ෆොටෝ අරන් බැලුවා.එකක් සජිනිගේ ඉස්කෝලේ කාලේ එකක්.තව එකක් සජිනිගේ අම්මයි තාත්තයි එක්ක ගත්ත එකක්.ඒ දෙකම බලලා සහන් ඊලගට බැලුවේ මේසේ උඩ තිබ්බ අනිත් ෆොටෝ එක දිහා.

ඒකේ සජිනි හිටියේ තවත් ගෑනු ලමයි දෙන්නෙක් එක්ක.ඒක මේ ලගකදිම වගේ ගත්ත එකක් කියලයි පෙනුනේ නම්.

'කවුද මේ ගෑනු ලමයි දෙන්නා? යාලුවෝ දෙන්නෙක් වෙන්න ඇති.ඒත් ෆ්රේම් කරලම තියාගෙන ඉන්නේ ඇයි දන්නේ නෑ' සහන් කල්පනා කරේ ෆොටෝ එක දිහා බලාගෙනමයි 

" පුතා නැගිට්ටද  ..." කාමරේ දොර ලගින් ඇහුනු අම්මගේ කටහඩට සහන් හැරිලා බැලුවා.සහන් බිම බලාගෙන හිනා වුනේ අම්මගේ ඇස් මග ඇරලා.

"මෙන්න පුතේ තේ එක" මේසෙන් තේ එක තියපු සජිනිගේ අම්මා අතට ගත්තේ මේසේ තිබ්බා සජිනිගේ ෆොටෝ එක. 

"අම්මේ...මං සජිනිව හොයාගන්නම්" සහන් කිව්වේ අම්මා ෆොටෝ එක දිහා බලන් ඉන්න අතරේ.

"ඕව්ව්..ඔව්..මං දන්නවා පුතා හොයාගනිවි" අම්මා කියද්දී සහන්ට හීල්ලුනා.

"මේ ඉන්නේ සංජුගේ නැන්දගේ දූලා දෙන්නා" අම්මා කිව්වේ සහන්ගේ අතේ තිබ්බ ෆොටෝ එක දැකලා 

"අහ් ඒක තමයි මං කල්පනා කරේ.මට දැකලා පුරුද්දකුත් නෑ කියලා"

"නැති වෙන්න එපැයි දරුවෝ.එයාලා වෙඩින්ග් එකට ආවෙත් නෑනේ.එන්න හරි නොඑන්න හරි  අපේ මහත්තයා කිව්වේ  නෑ වෙඩින්ග් එක "

"ඇයි ඒ?"

"නංගිට කසාදයක් ලෑස්ති කරලා තියෙද්දී කසාද දවසේ උදේම පැනලා ගියානේ.ඒ හිතේ අමාරුවට තමයි අපේ මහත්තයාගේ තාත්තා නැති වුනෙත්.ඒකෙන් ඒ නෑදෑකම් නැති වුනා.අපේ මහත්තයා කැමති නෑ නංගි ගැන කතා කරන්නවටවත්"

"එත් සජිනි නම් එයාලා එක්ක කිට්ටුයි වගේ" සහන් කිව්වේ ෆොටෝ එක දිහා බලලා 

"එයාට නැන්දව මුලින්ම හම්බුනේ මාත් එක්ක ගමනක් ගිය වෙලාවක.එදා ඒ නංගිගේ දුවෙක්ගෙන් මෙයා නම්බර් එකක් එහෙම ඉල්ලගෙන කතා කරා.පස්සේ කාලෙක යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනකොටත් අහම්බෙන් හම්බෙලා තිබුනා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එකක්" අම්මා එහෙම කියද්දි සහන් බැලුවේ ඒකේ ඉන්න සජිනි දිහා.

"ඒ කියන්නේ ඒ හම්බුනාට පස්සේ ලොකු ආශ්‍රයක් තිබුනේ නැද්ද? "

"නෑ පුතේ..අපේ මහත්තයගේ කැමැත්තක් නෑනේ නංගි ගැන කතා කරනවටවත්.ඒකත් සාදාරණයි එක අතකට"

"ඇයි ඒ? දැන් මේවා වෙලා ගොඩක් කල් නේ"

"අපේ මහත්තයගේ හිතට හරි අමාරුයි තාත්තා නැති වුන එකට.නංගිට ඒ ගැන හිතන්න තිබ්බා කියලා එයා කියන්නේ.ඒ විතරක්ද අපට සංජුට බදින්න කෙනෙක් හොයන්නත් සෑහෙන්න අමාරු වුනා නංගිගේ වැඩේ නිසා.නැන්දා පැනලා ගියපු පවුලක  ගෑනු ලමයෙක් ගන්න ලේසියෙන් පවුලක් කැමති වෙන්නේ නෑනේ.ඒ නිසා ගොඩක් යෝජනා අතෑරුනා.අපේ මහත්තයටත් ප්‍රෙශර් වැඩි වෙලා තිබ්බේ ඕක නිසා.වාසනාවට පුතාලගේ අම්මා ඒ ගැන හිතුවෙන් නෑ.හැමෝම කැමතිත් වුනා.පතාගෙන ආපු දේවල් තමා දරුවෝ" සජිනිගේ අම්මා කියද්දි සහන් අහගෙන හිටියා.

දැන් සහන්ට පැහැදිලියි ඇයි අර තරම් එපා කියලත් සජිනි තමන්ව බදින්න කැමති වුනේ කියලා.

'මං නිතරම කිව්වේ එයා ආත්මාර්ථකාමී කියලා.මං හිතුවේ එයා මට කැමති නිසා බැන්දා කියලා.ඒත් දැන් බැලුවම එයා නෙවෙයි මමයි ආත්මාර්ථකාමී වෙලා තියෙන්නේ' සහන් කල්පනා කරා 

"පුතා එහෙනම් තේ එක බීලා එන්නකෝ.මං සංජුගේ යාලුවන්ගේ ෆෝන් නම්බර් ටිකක් හොයාගත්තා.කතා කරලා බලන්නම්" අම්මා කිව්වේ කාමරෙන් යන ගමන්.

එදා උදේ වරුවම ගෙවුනේ දන්න කියන තැන් වලට කතා කරන්න.ඒ අතරේ නෑදෑ ගෙවල් වලටත් සැප දුක අහන මුවාවෙන් කතා කරලා සජිනි ගැන අහන්නත් සජිනිගේ අම්මා අමතක කරේ නෑ 

"මොකද මහත්තයා කරන්නේ?  දරුවා එක තැනකවත් නෑනේ.පොලීසියටවත් කියමුද?" සජිනිගේ අම්මා ඇහුවේ හැඩුම්බරව

"ඉන්නකෝ නෝනා.විදූටත් කතා කරානේ.එයත් දැන්  කොලබ ඉදන් එනවා කිව්වා.අපට වඩා සංජුගේ යාලුවෝ එයා දන්නවා ඇතිනේ" 

"අම්මේ...සජිනි නැන්දගේ ගෙදර ගියා වෙන්න බැරිද?" සහන් අහද්දි අම්මයි තාත්තයි දෙන්නම එයා දිහා බැලුවේ පුදුමෙන්.තාත්තා නම් බලපු ඉක්මනින් අහක බලාගත්තා 

"අනේ මන්දා පුතේ එහේ යාවිද කියලා නම්" අම්මා කිව්වේ සැරින් සැරේට තාත්තා දිහා බල බල 

"ෆෝන් නම්බර් එකක් නැද්ද කතා කරලා බලන්න"

"නම්බර් එකක් නම් මේ..." අම්මා කියද්දි තාත්තා කතා කරා 

"නම්බර් එක ගෙනත් දෙන්න නෝනා.පුතා කතා කරලා බලන්න"තාත්තා එහෙම කියපු ගමන් අම්මා ගිහින් නම්බර් එක ගෙනත් දුන්නා.සහන් එතනදීම කෝල් එක ගත්තා 

සම්බන්ද වෙන්න වෙලා යද්දි සහන්ට දැනුනේ බයක්.ඒත් අන්තිම තත්පරේ ගෑනු කෙනෙක් දුරකථනයට සම්බන්ධ වුනා 

"හෙලෝ..."

"හෙලෝ...මේ ප්‍රියානි  නැන්දද?"

"කව්ද මේ?"

"මං සහන්,සජිනිගේ හස්බන්ඩ්.සජිනිව දන්නවා ඇතිනේ"

"අහ් ඔව් ඔව්.ඇයි දන්නේ නෑ කතා කරේ?"

"මේ සජිනි ඔය පැත්තේ  ආවද?"

"නෑ සජිනි මෙහේ ආවේ නෑ"

"අහ් එහෙමද?"

"සජිනි කතා කරේවත් නැද්ද?"

"නෑ කතා කරේ නෑ"

"සජිනි අවොත් හරි කතා කරොත් හරි මට කියනවද? මේ මගේ නම්බර් එක.07********."

"හරි ආවොත් කියන්නම්"

"එහෙනම් මං තියන්නම්"

"හොදයි.බුදුසරණයි"

"බුදුසරණයි" එහෙම කියලා සහන් දුරකථනය විසන්දි කරේ කල්පනාවකින්.

"නෑ කිව්වා නේද?" අම්මා ඇහුවේ නොඉවසිල්ලෙන්

"නෑ කිව්වා නම් තමයි.ඒත් මං මේ හිතුවේ...."

"ඇයි දරුවෝ...."අම්මා අහද්දී තාත්තත් සහන් දිහා ඕනේකමකින් බැලුවා 

"මං හිතන්නේ එහේ ගිහින් බැලුවොත් හොදයි කියලා.මට නිකන් හිතෙනවා සජිනි එහේ ඇති කියලා"

"ඇයි පුතාට එහෙම හිතෙන්නේ?" තාත්තා ඇහුවම සහන් හුස්මක් හෙලුවා 

"නිකන් හිතෙනවා තාත්තේ මට.ගිහින් බලන්න හිතෙනවා" සහන් කියද්දි තාත්තා ඒ පාර බැලුවේ අම්මා දිහා

"සංජුගේ පොතක තිබිලා ඔයා ලියාගත්ත ඇඩ්‍රස් එක ගෙනත් දෙන්න පුතාට" අම්මා ඒක ගෙන්න ඇතුලට යද්දි තාත්තා හැරුනේ සහන් දිහාවට 

"එහේ නොහිටියොත් පුතා හිත කරදර කරගන්න එපා.විදූත් ලගම එනවා ඇති"

"නෑ තාත්තේ හිතට දැනෙන එකේ ගිහින් බලනවා"

"මෙන්න පුතා" අම්මා සහන්ගේ අතට කොළයක් දුන්නා 

"මේක රත්නපුරේ එකක් නේද?" සහන් ඇහුවේ ලිපිනය දැකලා 

"ඔව් බැන්දේ එහෙටනේ.දැන් නම් මහත්තයා නැති වෙලා.දූලා දෙන්නා එක්ක ඉන්නේ" තාත්තා කිව්වේ අහක බලාගෙන 

"එහෙනම් මං ගිහින් බලන් එන්නම් තාත්තේ" සහන් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන් 

"කාලම යන්න පුතා.මං ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්" අම්මා කියද්දී සහන් කාමරේට ගියේ ලෑස්ති වෙන්න 

*********************************************************************************

කට්ටියම එහෙනම් හෙට අවසානෙට ලෑස්තියිනේ නේද?

අපි බලමු මොකද වෙන්නේ කියලා..

ආදරණීය නපුරා දෙවෙනි කොටසක් ලියම්දෝ නොලියම්දෝ කියලත් හිත හිත මේ ඉන්නේ 😏

හෙට හම්බෙමු 

ආදරෙන් ඉන්න 💖

12 comments:

  1. ඉක්මනට ඉවර කරන්නේ ඇයි? 2ඕනි

    ReplyDelete
    Replies
    1. හින්දී සීරීයල් එකක් කරන්න කැමැත්තක් නෑ පැට්ටෝ

      Delete
  2. දෙවෙනි කොටසත් ලියන්න අනේ!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු හැබැයි ඒක මීට වඩා ගොඩක් වෙනස් වේවී

      Delete
  3. 2 අනිවාර්යෙන් ලියන්න

    ReplyDelete
    Replies
    1. තාම හිතනවා.හැබැයි ඒක මේ වගේ සරල සුන්දර ආදර කතාවක් වෙන එකක් නම් නෑ

      Delete
  4. අපි මෙහෙ පෙලපාලි යනවා "දියව් දියව් දෙවෙනි කොටස දියව්" කියලා.

    කේ. නැන්දා from USA

    ReplyDelete
    Replies
    1. ශා....එහෙත් පෙළපාලි යනවද? එහෙනම් සෑහෙන්න හිතන්න ඕනේ මේක ලියන්න.ස්තූතියි

      Delete
  5. ඉවර වෙන්නද යන්නෙ ??? හ්ම්

    ReplyDelete
    Replies
    1. මේක ආදරණීය නපුරාගේ අවසානය විතරයි.සහන්ගෙයි සජිනිගෙයි කතාව නම් දැන් පටන් ගන්නයි හදන්නේ.තේරුනේ නැද්ද? මටත් නෑ ;)

      Delete
  6. 2 ඕනේ.........................හරිද? නැත්නම් දන්නවනේ...........................

    ReplyDelete
    Replies
    1. ටික දවසක් ඉවසන්නකෝ...වෙනස්ම දෙයක් අරන් එන්නම් <3

      Delete

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...