Tuesday, January 15, 2019

මන්දාරම් අහස යට - විසි හය වන කොටස


කලින් කොටස හරියටම ඉවර වුනේ නෑනේ නේද? මේ එතන ඉදන්....
****************************************
එතනට ආපු කොන්දොස්තර නිසා ආදිත්‍ය පර්ස් එක එලියට ගත්තේ අසේලිගේ ප්‍රශ්නෙට උත්තර නොදීමයි.ආදිත්‍ය පර්ස් එක ගන්න අතරේ අසේලි එයාගේ දුරකථනය ආදිත්‍යගේ අතින් ගත්තා.

"කලුතර දෙකක්" ආදිත්‍ය සල්ලි දික් කරේ එහෙම කියන ගමන්මයි.

"නෑ නෑ මං ගන්නම් මට" අසේලි කලබලෙන් කිව්වේ එයාගේ පර්ස් එක බෑග් එකෙන් ගන්න ගමන්.

"පණ්ඩිත නැතුව ඉන්නවා" ආදිත්‍ය කිව්වේ අසේලි දිහා බලන්නෙවත් නැතුව.

කොන්දොස්තර ටිකට් එක දීලා එතනින් යනවත් එක්කම අසේලි 100 කොලයක් ආදිත්‍යට දික් කරා.ඒත් ආදිත්‍ය හිටියේ ඒක දැක්කේ නෑ වගේ.

"මේ ගන්න සල්ලි..." අසේලි කිව්වේ ආදිත්‍යගේ උඩ සාක්කුවට සල්ලි දාන්න හදන ගමන්.සාක්කුව අතින් වහන ගමන්ම ආදිත්‍ය අසේලිට රැව්වා.

"මේ මං ජොබ් එකක් කරනවා.ඔයාට ටිකට් එකක් ගත්තා කියලා මං බංකොලොත් වෙන්නේ නෑ" ආදිත්‍ය කියද්දි අසේලි සල්ලි එයාගේ පර්ස් එකට දාගත්තා.

"ඊලග දවසේ මං ගන්නම්" අසේලි කිව්වේ පර්ස් එක බෑග් එකට දාගන්න ගමන්මයි.

"ආ....ඔයා එතකොට ඊලග දවසෙත් මාත් එක්කද එන්නේ?" ආදිත්‍ය ඇහුවේ අසේලිගේ මූණට එබෙන ගමන්.

" නෑ නෑ මං එහෙම නෙවෙයි කිව්වේ" අසේලි කිව්වේ මුණත් රතු කරගෙන.

"එහෙනම් කොහොමද කිව්වේ"

"කොහොමවත් නෙවෙයි" ඒ සැරේ නම් අසේලි අහක බලාගත්තේ තරහෙන් වගේ.

" අනේ මන්දා මේ කෙල්ල නම්" ආදිත්‍ය තමන්ටම මුමුණ ගත්තා.ටික වෙලාවක් යනකම් දෙන්නම කතාවක් කරේ නෑ.බස් එකේ ශීට් එකට ඔලුව තියාගත්ත ආදිත්‍ය ඇස් දෙක පියාගත්තා.සතියක්ම එක දිගට වැඩ කරපු නිසා ආදිත්‍ය මහන්සි වෙලා හිටියේ.

මෙහෙම ඇස් පියාගෙන ඉන්න ආදිත්‍යට ඇහුනේ අසේලිගේ කටහඩ.කතා කරන විදියෙන්ම මේ කතා කරන්නේ දුරකථනයෙන් කියලා ආදිත්‍යට තේරුනා.

"ඔව් අයියේ"

"..........................."

"නෑ නෑ ප්‍රශ්නයක් නෑ"

"............................"

"ඔව් තනියම"

"......................."

"හා...හා..."

"......................................."

"හරි හරි බුදුසරණයි" අසේලි දුරකථනය විසන්ධි කරේ එහෙම කියන ගමන්.දුරකථනය විසන්ධි කරපු අසේලි බැලුවේ ආදිත්‍ය දිහා.ඒ බලන් ඉද්දි අසේලිට මතක් වුනේ තාත්තා කලින් දවසක කාටදෝ දුරකථනයෙන් කියපු කතාව.

"ආදි...ආදිත්‍ය ද කොහෙද නම.ඒ කොල්ලටත් යස වැඩක් කරන්න ඕනේ" තාත්තාගේ ඒ කටහඩ අසේලිට තාමත් ඇහෙනවා වගේ.

"මං එච්චරටම හැන්ඩ්සම් ද?" අසේලි ආයෙත් පියවි සිහියට ආවේ ආදිත්‍යගේ කටහඩින්

"ආ...."

"නෑ මෙච්චර වෙලා එක දිගට මගේ මූණ බලන් හිටියේ මං එච්චරටම හැන්ඩ්සම් ද" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහා ඔලුව හරවලා බලන ගමන්.

"කවුද බැලුවේ" අසේලි එහෙම කියාගෙනම අහක බලාගත්තේ ලැජ්ජාවෙන්.

'මෙයා ලග ඉන්නකොටමයි මට මේ වගේ ඒවා වෙන්නේ..අයියෝ මොන ලැජ්ජාවක්ද' අසේලි කල්පනා කරේ මූණත් රතු කරගෙන.

"මේ...." ආදිත්‍ය කතා කරේ අසේලි දිහා හොදට බලන ගමන්.

"ඇයි"

"මොකක්ද අවුල"

" මුකුත් නෑ"

"මුකුත් නැත්තම් ඇයි මට හරියකට මූණ දීලා කතා නොකරන්නේ"

" මොනා කතා කරන්නද"

" ආ.....දැන් ඒකත් එහෙමද? හරි හරි" එහෙම කියපු ආදිත්‍ය අහක බලාගත්තා.

"සොරි.මං හිතලා ආවා නෙවෙයි එතනට" අසේලි කියනවා ඇහුනු ආදිත්‍ය ආයෙත් අසේලි දිහා බැලුවා.ඒත් අසේලි හිටියේ ජනේලෙන් එලිය බලාගෙන.

"මොකක්ද?" ආදිත්‍ය ඇහුවත් අසේලි ඒකට උත්තර දුන්නේ නෑ.

"අසේලි...මොකටද ඔයා සොරි කිව්වේ" ආදිත්‍ය ඒසැරේ ඇහුවේ අසේලිට තවත් කිට්ටු වෙලා.

"ඔයාලට ඩිස්ටර්බ් කරාට" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.

"කාටද? කොයි වෙලාවෙද?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"අද හවස"

" අද හවස...අද හවස කවුද?....ආ...මේ....ඒකද?" අසේලි කියපු දේ තේරුනු ආදිත්‍යට ඉබේටම හිනාවක් ගියා.

"මොන ඩිස්ටර්බ් ද? පිස්සුද ඔයාට" ආදිත්‍ය කිව්වේ ඒ හිනාවෙන්මයි.

"ඔව් ඔව් මට පිස්සු.මොකටද එහෙනම් මාත් එක්ක ආවේ.ඉන්න තිබ්බනේ කතා කර කර ඒ ලස්සන ගෑනු ලමයා එක්ක" අසේලි කියවගෙන ගියේ තරහෙන්.අසේලිගේ ඒ කතාවට ආදිත්‍ය හොද හුස්මක් ගත්තා

"ඇහුනේ නැද්ද මං එයාට කිව්වා ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගෙදර එන්නේ නැතුව මං එයා එක්ක එතන නවතින්නද" ආදිත්‍ය කියද්දි අසේලි රැව්වා.

"දැක්කනේ දැක්කනේ...එහෙනම් මේ කෙල්ලටද මාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා පෙන්නන්න හැදුවේ? අපරාදේ නේද මං ආවේ නැත්තම් නවතින්නත් තිබ්බනේ."

"පිස්සුද හැටිද ? මේ කෙල්ලොන්ගේ හැටියක්ද කොහෙද බොරුවට එල්ලිගෙන් රණ්ඩු වෙන එක.මං ඒ වෙලාවේ කොහොමත් එතනින් එන්න හැදුවේ.ඔයා ආපු නිසයි අදුන්වලා දුන්නේ" ආදිත්‍ය කිව්වේ නොඉවසිල්ලෙන්.මේ විකාර කතාව මේ වෙද්දි ආදිත්‍යට ඇති වෙලා තිබ්බේ.

"හරි හරි...ඔයා කියන දෙයක් තමයි ඉතින්.ආයේ එහෙම වෙන්නේ නෑ.එච්චරයි" අසේලි අහක බලාගත්තේ එහෙම කියන ගමන්.

" පිස්සු කියවන්න එපා.මං මේ හිතුවා අර එදා කෝල් කරලා කියන්න හදපු කතාව කියන්න හදන්නේ කියලා.දැන් බැලුවම වෙන මගුලක් කියවන්නේ" ආදිත්‍ය එහෙම කියද්දි තමයි අසේලිට මතක් වුනේ ආදිත්‍යට කියන්න හිටපු කාරණේ.


"ආ....ඒකත් කියන්න ඕනේ.කොහෙද ඔයානේ මේ කෙල්ලොත් එක්ක හුරතල් වෙන්න ගියේ"

"මේ මට කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න ආසාවක් නෑ.ඕනේ නම් බැරිකමකුත් නෑ.යකෝ හොදින් කතා කරන්න බෑනේ මේ කෙල්ලෝ එක්ක" ආදිත්‍ය තරහෙන් කියද්දි අසේලිට තේරුනා මේ සැරේ නම් ආදිත්‍යට ඇත්තටම තරහ ගිහින් කියලා.

බෑග් එකෙන් පත්තරයක් අතට ගත්ත අසේලි ඒක හෙමීට ආදිත්‍ය දිහාවට දික් කරා.

"මේ මොකක්ද?" ආදිත්‍ය ඇහුවේ පත්තරේ අතට වත් ගන්නේ නැතුව.

"අරන් බලන්න" අසේලි කියපු නිසා ආදිත්‍ය පත්තරේ අතට ගත්තා.

" කළුතර ප්‍රසිද්ද බේකරි ව්‍යාපාරිකයාගේ දියණිය ගණිකා මඩමකදී හසුවෙයි" ආදිත්‍ය පත්තරේ සිරස්තලය කියෙව්වා.

"මේ මොකක්ද? කවදා පත්තරේද මේ" ආදිත්‍ය ඇහුවේ පත්තරේ දිනය බලන ගමන්.

"ගිය සතියේ පත්තරේ.ඔක්කොම කියවන්නකෝ" අසේලි කියපු නිසා ආදිත්‍ය පත්තරේ කියවන්න පටන් ගත්තා.

පත්තරේ කියවලා ඉවර වුනු ආදිත්‍ය බැලුවේ අසේලි දිහා.

"මේකේ මේ ඔයාව පැහැරගත්ත කතා නෑනේ.වෙලාවට ඔයාගේ නම් ගම් නම් එහෙමත් මුකුත් නෑ.මාතෘකාවට විතරක් දාලා වගේ සිද්දිය."

"හ්ම්ම්...ඔව්..ඒත් කළුතර ලොකුම බේකරිය අපේ තාත්තගේ.දන්න අය දන්නවා ඒ මමයි කියලා"

"තාත්තා මේක දැක්කද? මොකද වුනේ?"

"තාත්තා අම්මට කියද්දි තමයි මාත් දැනගත්තේ.කෑලෑ පත්තර එහෙමත් ගහලා තිබිලා"

"කෑලෑ පත්තර කියන්නේ පෝස්ටර් වගේද?" ආදිත්‍ය ඇහුවේ කල්පනාවෙන්.

"ඇයි ඔයා දන්නේ නැද්ද?" අසේලි පුදුම වුනේ ආදිත්‍යගේ කතාවට.

"නෑ...ඕසි හිටපු නිසා ඔහොම වචන ගැන මං වැඩිය දන්නේ නෑ.හරි දැන් මොකද වුනේ? ගෙදර අවුල් ද?"

"නෑ...තාත්තා දන්නේ නෑ මං මේ ගැන දන්නවා කියලා.ගෙදර මේ ගැන මං ඉන්න වෙලාවට මුකුත්ම කතා වෙන්නේ නෑ."

"ඒකත් එහෙමද? එතකොට පෝස්ටර් සීන් එක දැන් හරිද? පුදුමයි මං මේ ගැන මුකුත් නොදන්න එක.අපේ ලොකු අප්පච්චි පත්තරේ ගන්නවනේ අනිවාර්‍යෙන්ම"

"ඔයාට කියලා නැතුව ඇති ලොකු අප්පච්චි" අසේලි කිව්වේ බෑග් එකෙන් තවත් පත්තරයක් එලියට ගන්න ගමන්.

"මේ මොකක්ද?" ආදිත්‍ය පුදුමෙන් ඇහුව්‍ර්ර් අසේලි තවත් පත්තරයක් දීපු නිසා.

" මෙන්න මෙතන බලන්නකෝ"

" නිවැරදි කිරීමයි..ගණිකා නිවාසය වැටලීම සම්බන්ද ව පෙර දින පළවූ ලිපිය සම්බදවයි.එහි සදහන් වූ බේකරි ව්‍යාපාරිකයාගේ දියණිය එම අවස්ථාවේදි එම ස්ථානයේ සිට ඇත්තේ ඇය පැහැරගැනීමකට ලක් වූ බැවින් බව ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් දැනගැන්මට ලැබී ඇත.මේ සම්බදව මේ වන විට පොලිස් පරීක්ශන සිදුවෙමින් පවතින අතර සිදුවූ ප්‍රමාද දෝශය පිළිබදව සියලුම පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලමු" ආදිත්‍ය මුලු ලිපියම කියවලා ඉවර කරලා බැලුවේ අසේලි දිහා.

" ඕක තිබ්බේ පහුවදා පත්තරේ" අසේලි කිව්වේ පත්තරේ ආදිත්‍යගේ අතින් ගන්න ගමන්.

" පොලීසියෙන් අවුලක් වෙලා වෙන්න ඇති වෙනස් කරලා ලිව්වේ.ලොකු දෙයක්" ආදිත්‍ය කියද්දි අසේලි ඔලුව වැනුවා.

"අවුලක් වෙන්න නම් ඇති.ඒත් කාගෙන්ද කියලයි මං හිතුවේ" අසේලි කිව්වේ කල්පනාවකින්.

"වෙන කාගෙන්ද? " ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.ඒත් ඒකට උත්තරයක් නොදුන්නු අසේලි කෙලින්ම බැලුවේ ආදිත්‍ය දිහා.

"ඔයා පරිස්සම් වෙන්න" අසේලි එහෙම කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඇයි මේ ඔයා සැරින් සැරේටම මට පරිස්සම් වෙන්න කියන්නේ"

" පරිස්සම් වෙන්න ඕනේ නිසා කියන්නේ මං.ප්‍රශ්න අහන්න එපා ඔච්චර.මට බයයි.ඒකයි කියන්නේ" ඒ සැරේ අසේලි කිව්වේ ඇඩුම් ස්වරයකින්.

"හරි හරි මං පරිස්සම් වෙන්නම්" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

ටික වෙලාවක් ගෙවිලා ගියේ දෙන්නගෙම සද්දයක් නැතුව.

"අසේලි...මේ..." ආදිත්‍ය අසේලි දිහා බලලා කතා කරත් අසේලිගෙන් උත්තරයක් නොතිබ්බ නිසා ආදිත්‍ය අසේලි දිහා එබිලා බැලුවා.එතකොට තමයි දැක්කේ ශීට් එකටත් ඔලුව තියාගෙන අසේලි නින්දක කියලා.

'මගේ ඔලුව පත්තු වෙන්න ප්‍රශ්න දීලා මේ කෙල්ල නිදි' ආදිත්‍ය හිතුවේ හිනා වෙවී.

එත් එක්කම ආදිත්‍යගේ උරහිසට දැනුනි බරක් නිසා ආදිත්‍ය ඔලුව හරවලා බලද්දි දැක්කේ ආදිත්‍යගේ උරහිසට බර වෙලා තිබ්බ අසේලිගේ ඔලුව.බස් එකේ ගැස්සිලත් එක්ක අසේලිගේ ඔලුව ආදිත්‍යගේ උරහිසින් මිදිලා පහලට වැටෙන්න ගියා.ඒත් එක්කම ඔලුවෙන් අල්ලගත්ත ආදිත්‍ය ඒක ආයෙත් එයාගේ උරහිසින්ම තියාගත්තා.ආදිත්‍යගේ අතින් දැනුනි චලනය නිසාමද කොහෙද එහාට මෙහාට වුනු අසේලි ආදිත්‍යගේ උරහිසට ඔලුව තියාගෙන නිදාගත්තා.

'මට පිස්සු හැදෙනවා මේ කෙල්ල නිසා.."ආදිත්‍ය හිතුවේ ශීට් එකට ඔලුව තියාගන්න ගමන්.

'මේ තරහයි...මේ යාලුයි...අනේ මන්දා.හැබැයි නිදාගත්තම නම් මාර අහින්සකයි' ආදිත්‍ය හිතුවේ ඇස් වහගන්න ගමන්.මහන්සිය නිසාම ආදිත්‍යට ත් නින්ද යන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

ආදිත්‍යට ඇහැරුනේ එක පාරට ඇහුනු කෑගැහිල්ලකින්.

"කළුතර බහින අය කිට්ටු වෙන්න..."

 කොන්දොස්තරගේ කෑගැහිල්ලට ඇහැරුනේ ආදිත්‍යට විතරක් නෙවෙයි.සද්දෙට ඇහැරුනු අසේලිට දැනුනේ ලොකු සනීපයක්.පහුගිය ටිකෙම හරි නින්දක් නොතිබුනු අසේලිට මේ පොඩි නින්ද ගෙනාවේ ලොකු සැනසීමක්.

"කළුතර බහින අය කිට්ටු වෙන්න...." 

කොන්දොස්තර ආයෙත් කෑගැහුවා.ඒත් එක්කම තමයි අසේලි පියවි සිහියට ආවේ.තමන් මේ ඔලුව තියන් ඉන්නේ කාගේ හරි උරහිසකට කියලා තේරුනු අසේලි ඉක්මනින්ම ඔලුව ගත්තා.

"මගේ උරහිස එහෙම නිකන් නිදාගන්න දෙන්නේ නෑ.සල්ලි ගන්නවා" අසේලිට ඇහැරුනු බව දැක්ක ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහන ගමන්.

මූණත් එක්ක රතු කරගත්ත අසේලි ජනේලෙන් එලිය බැලුවා.ඉන්නේ කළුතර පාලම උඩ කියලා තේරුම් ගත්ත අසේලි බෑග් එක ගත්තේ බහින්න.ඒත් එක්කම මතක් වුනු දෙයක් නිසා අසේලි ආදිත්‍ය දිහා බැලුවා.

"මේ ඔයා ඉස්සරහින් බහිනවද?"

"ඇයි" අසේලිගේ ප්‍රශ්නෙට ආදිත්‍ය ඇහුවේ පුදුම වෙලා.

"අයියා එනවා මාව එක්කගෙන යන්න.ඒකයි" අසේලි එහෙම කිව්වම ආදිත්‍ය ඔලුව වැනුවා.

"හරි එහෙනම් ගිහින් මැසේජ් එකක් දාන්න"

"ඔයත් පරිස්සමෙන් යන්න" එහෙම කියපු අසේලි බස් එකෙන් බහින පෝලිමට එකතු වෙද්දි ආදිත්‍යත් බස් එක ඉස්සරහට ගියේ ඉස්සරහ දොරින් බහින්න හිතාගෙන.

බස් එකෙන් බැහැලා හැරිලා බලපු ආදිත්‍ය දැක්කා පාර පැනලා කාර් එකක් ලගට දුවන අසේලිව.අසේලි කාර් එකට නැගලා පිටත් වෙනවා දැකපු ආදිත්‍යත් ගෙදරට යන්න පිටත් වුනා.

පාරේ ටික දුරක් යද්දිම ආදිත්‍යට ඇහුනේ එයාගේ දුරකථනය නාද වෙන සද්දේ.කෝල් කරන්නේ දේදුණු කියලා දැනගත්ත ආදිත්‍ය දුරකථනයට පිළිතුරු දුන්නා.

"හෙලෝ..."

"හෙලෝ...කොහෙද ඉන්නේ"

"ගෙදර යන ගමන්"

"තාම...??"

"ඔව්...ඉතින්..දුරයිනේ අපේ ගෙවල්"

"ආ...එහෙනම් මං පස්සේ ගන්නද"

"නෑ නෑ කියන්න.මං මේ පයින් ගෙදරට යන ගමන්.තව විනාඩි 10ක් විතර යනවා මට" ආදිත්‍ය කිව්වේ හොදට හිතලා බලලා.ගෙදර ගිහින් කතා කරනවට වඩා මෙහෙම කතා කරන එක හොදයි කියලා තමයි ආදිත්‍යට හිතුනේ.

"ආ....මේකයි මං මේ කෝල් කරේ වැදගත් දෙයක් හොයාගත්තා කියන්න"

"ඒ මොකක්ද? "

"මං හිතන්නේ ඔයා කියපු පොඩි කාලේ ඔයාගේ යාලුවා, දේදුණු මං තමයි" දේදුණු එහෙම කියද්දි ආදිත්‍යට දැනුනේ ලොකු පුදුමයක්.

******************************************
ඔන්න මං ආයෙත් ආවා.

වෙනදා වගේම දවසක් ඇර දවසක් කතාව කියවන්න පුලුවන්..

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment