Saturday, January 5, 2019

මන්දාරම් අහස යට - විසිතුන්වන කොටස


එක පාරටම අසේලිගේ දුරකථනය විසන්ධි වුන නිසා ආදිත්‍ය දුරකථන තිරය දිහා බැලුවේ පුදුමෙන්.

'ඇයි දන්නේ නෑ ෆෝන් එක කට් වුනේ' ආදිත්‍ය කල්පනා කරේ දුරකථනය තිරය දිහා බලාගෙනමයි.එතකොටම ආදිත්‍යගේ දුරකථනයට අසේලිගෙන් කෙටි පණිවුඩයක් ආවා.

"Nangi awa kamareta.passe kiyannam" කෙටි පණිවිඩය දැකපු ආදිත්‍යට හේතුව තේරුම් ගන්න පුලුවන් වුනා.

"Hari ehenam passe kiyanna.good night.bs." ආදිත්‍ය යවපු කෙටි පණිවිඩයට අසේලිගෙන් පිළිතුරු ආවේ සුබ රැයක් පතලා.

මෙච්චර වෙලා බැල්කනියේ හිටපු ආදිත්‍ය කාමරේට ආවේ නිදාගන්න හිතාගෙන.

"මේ ආදි හෙටද බාප්පලා එන්නේ? " අවිශ්ක ඇහුවේ ඇදේ වාඩි වෙලා දුරකථනය දිහා බලන් ඉන්න ගමන්මයි.

"ඔව්...හෙට උදේ කියලා කිව්වේ"

"දැන් බාප්පලා දන්නවද මේ උසාවි කේස් එක"
" ලොකු අප්පච්චි කියලා අප්පච්චිට.අම්මා නම් තාම දන්නේ නෑ"

"පුංචි අම්මා ගෙන් තමා උඹට ප්‍රශ්නේ වෙන්නේ"

"ඔව් බං.මාත් මේ ඒකමයි හිතුවේ." ආදිත්‍ය කිව්වේ ඇදේ වාඩි වෙන ගමන්.

" ජොබ් එක ගැනත් දන්නේ නැද්ද"

" නෑ ඉතින්.ආවම කියන්න කියලා ඉන්නේ.කොහොමත් මේ නඩුව ඉවර වෙනකම් මට රට යන්න බෑ කියලනේ ලොකු අප්පච්චි කිව්වේ.නිකන් මෙහේ ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොදයිනේ"

" ඔව් එකත් ඇත්ත.එතකොට උඹේ ඩිග්‍රි එක?"
"තව මාසයක් තියෙනවනේ.ඒ වෙද්දි නඩුව ඉවර නොවුනොත් නිවාඩු ගන්නවා මං අවුරුද්දක්"

"ඒක හොදයි" අවිශ්ක කිව්වේ දුරකථනය පැත්තකින් තියන ගමන්.කාමරේ ලයිට් නිවපු ආදිත්‍යත් ඇදෙන් ඇලවුනා.දවසෙම කොළඹ ඉදලා මහන්සි නිසාම ආදිත්‍යට ඕනේ වුනේ නිදාගන්න.

"මොකද කිව්වේ කෙල්ල" එක පාරටම අවිශ්ක ඇහුවේ ආදිත්‍ය දිහාවට හැරිලා.

"නංගි ආවා කාමරේට එපාර කට් වුනා"

" අනේ මන්දා බං උඹලගෙත් ඒවා" අවිශ්ක කිව්වේ ආයෙත් ඇදේ උඩුබැලි අතට හැරෙන ගමන්

"ඇයි"

"ඇයි කියන්නේ? උඹ දැන් කතා කරන්න ඕනේ කෙනාට කතා කරාද"

" කවුද කතා කරන්න ඕනේ කෙනා?"

"ඒකවත් මතක නෑ නේද දැන්? දේදුණු" අවිශ්ක කිව්වේ සරදම් ස්වරයකින්.

" අමතක වෙලා නෙවෙයි අවියා.මං එයාට ඇත්තටම කතා කරා ඊයේ.ඒත් ෆෝන් වැඩ කරන්නේ නෑ.මං ගිහිල්ලම කතා කරන්න බැලුවේ.ලෙක්චර්ස් යනවා ඇතිනේ අනිවාර්යයෙන්"

"කවද්ද යන්නේ එතකොට? උඹ අනිද්දා ඉදන් වැඩට යනවනේ"

" බලන්න ඕනේ කොහොම හරි වෙලාවක් හොයාගෙන යන්න"

"හරි හරි එහෙනම් මං නිදාගන්නවා.ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්"  එහෙම කිව්වත් දේදුණුව මතක් කරපු නිසා ආදිත්‍යගේ නිදිමත නැති වෙලයි තිබ්බේ.

ආදිත්‍යට මතක් වුනේ පොඩි කාලේ දේදුණුලගේ ගෙදර යන හැටි.දෙන්නත් එක්ක එහේ මෙහේ දුව දුව සෙල්ලම් කරන හැටි මතක් වෙලා ආදිත්‍යට ඉබේටම හිනාවක් ගියා.

'එයාට හිටියා ලොකු හාවෙක්...ලොකු පුළුන් පුරවපු හාවෙක්.හරි ආදරෙයි ඒ හාවට.මට කිව්වේ මාත්  ඒ හාවා වගේ කියල' ආදිත්‍ය කල්පනා කරේ කරුවලට හිනා වෙන ගමන්.

' එක දවසක් මට මතකයි අපේ ගෙදර ආවා.ඒ තමයි දේදුණු අපේ ගෙදර ආපු පලවෙනි දවස.අපි සෙල්ලම් ගෙයක් දැම්මා.මං තාත්තා.එයා අම්මා.ලමයි කියලා එයා එයාගේ හාවාවත් අරගෙනයි ඇවිත් තිබ්බේ.සෙල්ලම් කරලා ආපහු යද්දි යන්න බෑ කියලා මාව බදාගෙන හොදටම ඇඩුවා.ඒ ඇස් රතු වෙලා තිබ්බ හැටි මට තාමත් මතකයි.ඒත් එදා තමයි මං දේදුණු දැකපු අන්තිම දවස.ඊට පස්සේ කවදාවත් එයාලා අපේ ගෙදර ආවෙත් නෑ.අපි එහේ ගියෙත් නෑ.මං එහේ යන්න ඕනේ කියලා කොච්චර ඇඩුවත් මාව එක්කගෙන ගියේ නෑ.ඊට පස්සේ හදිස්සියේ ම අපි රට ගියා.මට අදටත් හිතාගන්න බෑ එයාලට මොනවා වුනාද කියලා' ආදිත්‍ය කල්පනා කරේ පුදුමෙන්.

'රට ගියාට පස්සේ මට දේදුණුව අමතක වුනා තමයි.ඒත් කාලෙකට පස්සේ ආපහු ලංකාවට ආපු වෙලාවක අපේ පරණ ගෙදරදි හම්බුන දේදුණුගේ හාවා මට දේදුණුව ආයෙත් මතක් කරා.ඒ හාවා ගැන අම්මගෙන් ඇහුවත් රට යන්න කලින් ගෙදරම මොන්ටිසෝරියක් කරපු නිසා මේ කවුරු දාලා ගියපු හාවෙක්ද කියන්න අම්මට මතකයක් තිබ්බේ නෑ.ඒකේ පුදුමෙකුත් නෑ.ලමයි දාලා ගියපු සෙල්ලම් බඩු සෑහෙන ගෙදර තිබ්බ නිසා.ඒත් මට තියෙන ප්‍රශ්නේ අම්මට ඇයි දේදුණුව අමතක.ඇයි ඒ නම දන්නේ නෑ කියන්නේ.ඒ අම්මගේ යාලුවෙක්ගේ දුවෙක් කියලා මට හොදටම මතකයි.ඒත් අම්මා කියන්නේ දේදුණු කියලා දුවෙක් එයාගේ යාලුවන්ට නෑ කියලා.එහෙනම් ඒ දේදුණු ගේ අම්මා කවුද? මං එයාට කිව්වේ සුදු ඇන්ටි කියලා.කෝ දැන් එයාලා'ආදිත්‍ය නිදි නැතුවම කල්පනා කරන්න ගත්තා.

දේදුණු ගැන හිත හිත ඉදපු ආදිත්‍යට නින්ද ගියේ පාන්දර වෙලා.ආදිත්‍යට ඇහැරුනේ කවුදෝ එයාගේ ඔලුව අතගානවා වගේ දැනිලා.ඒ පුරුදු හැගීම ආදිත්‍යට ගෙනාවේ සනීපයක්.

"ආදී...."  එක පාරටම ආදිත්‍ය ඇස් ඇරියේ ඒ කටහඩට.එයා ලග වාඩි වෙලා ඉන්න ප්‍රියංකාව දැකපු ආදිත්‍යට දැනුනේ ලොකු සතුටක්.

"අම්මා....කොයි වෙලාවෙද ආවේ" ආදිත්‍ය ඇදෙන් වාඩි වුනේ එහෙම කියාගෙනමයි.

" දැන් පැයක් විතර වෙනවා.ඔයා නිදි අපි එද්දි" ප්‍රියංකා කිව්වේ හිනා වෙවී.

"පැයක්? ඔයාලාගේ ෆ්ලයිට් එක තිබ්බේ 7ටනේ.එතකොට දැන්...." එහෙම කියන ගමන්ම ආදිත්‍ය බැලුවේ බිත්තියේ ගහලා තිබ්බ ඔර්ලෝසුව දිහා.

"දැන් 12යි.මෙයාගේ නින්ද තමා නින්ද"ප්‍රියංකා කිව්වේ ආදිත්‍යගේ කොණ්ඩෙත් අවුල් කරලා.

"ඊයේ කොළඹ ගියා අම්මා.රෑ වෙලා නිදාගත්තේ.මේ අවිශ්කවත් මාව ඇහැරෙව්වේ නෑනේ " ආදිත්‍ය කිව්වේ ඔලුව කසන ගමන්.

"හරි දැන් ඒකෙන් කමක් නෑ.කොහොමද ඔයාට? ජොබ් එක ගැන මට අයියා කිව්වා.ඔයා කැමතිද ජොබ් එකක් කරන්න" ප්‍රියංකා ඇහුවේ කෙලින්ම ආදිත්‍යගේ මූණ බලාගෙන.හැංගි හොරා වැඩ නැතුව කෙලින් කතා කරන එක ප්‍රියංකා ගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්.ඒක ආදිත්‍යටත් ඒ විදියටම පිහිටලා තිබුනා.

"මං අම්මලා ආවම කියන්න කියලා හිටියේ"
"ඔව් ඔයාට කොහොමත් මට කියන්න ගොඩක් දේවල් තියෙනවා" ප්‍රියංකා කියද්දි ආදිත්‍ය බිම බලාගත්තා.

"අම්මේ....ඒ සිද්දිය වුනේ...." ආදිත්‍ය කියන්න පටන් ගත්තත් ආදිත්‍ය දිහාවට අතක් දික් කරපු ප්‍රියංකා ආදිත්‍යව නැවැත්තුවා.

" ඒ නඩුව ගැන මට අයියා හැමදේම කිව්වා.ඒ ගෑනු ලමයා ගැනයි මට දැනගන්න ඕනේ.ඒ ඔයාගේ යාලුවෙක්ද නැත්තම්...." ප්‍රියංකා ඇහුවේ ආදිත්‍ය දිහා හොදට බලන ගමන්

"යාලුවෙක් අම්මේ....වෙන කිසිම දෙයක් නෑ.අම්මම කියන්න මට, යාලුවෙක්ව මගේ ඇස් ඉස්සරහම වෑන් එකට දාගෙන යද්දි මට නිකන් බලන් ඉන්න බෑනේ"

"ඔව්...හරි....ඔයා ඒ කරපු දේ වැරැද්දක් මං කියන්නේ නෑ.ඒත් ඔයාට ඒ වෙලාවේ කරන්න තව දේවල් තිබ්බා.පොඩ්ඩක් කෑගැහුවා නම් මිනිස්සු එකතු වෙනවා.පොලීසියට ඒ වෙලාවෙම කෝල් කරා නම් මේක මීට වඩා හොදින් ඉවර කරගන්න තිබ්බා."

"ඒත් අම්මේ මගේ ෆෝන් එකේ බැට්‍රි තිබ්බේ නෑ.මං අවිශ්කට කතා කරන්න බැලුවා"

"පාරේ පේ ෆෝන් තියෙනවනේ පුතා...ඕවා නිදහසට හේතු නෙවෙයි.ඔයා කරේ බොහොම හොද වැඩක්.ඒත් ඔයාට කරදරයක් වුනා නම් මොකද කරන්නේ අපි? මට ඉන්නේ ඔයා විතරයි.ඒක ඔයා දන්නවනේ.මීට වඩා හිතන්න තිබ්බා ඔයාට.මතක තියාගන්න මුලින්ම තමන් ආරක්ශා වෙන්න ඕනේ කියලා." ප්‍රියංකා කියද්දි ආදිත්‍ය අහගෙන හිටියේ බිම බලාගෙන.අම්මා කියන දේවල් එක්ක තර්ක කරන්න ආදිත්‍යට කවදාවත්ම පුලුවන් වුනේ නෑ.

ආදිත්‍යගේ ඇදෙන් නැගිටපු ප්‍රියංකා ගියේ දොර ලගට.

"මං රූම් එකට යනවා චේන්ජ් කරන්න.ඔයා යනවද කොහේ හරි"  ප්‍රියංකා කිව්වේ තාමත් ඇදේ වාඩි වෙලා ඉන්න ආදිත්‍ය දිහා බලාගෙන.

" ග්‍රාම සේවක හම්බෙන්න යමු කියලා ලොකු අප්පච්චි කිව්වා.ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේ අම්මා.බඩගිනියි" ආදිත්‍ය කියද්දි ප්‍රියංකා හිනා වුනා.

"හරි....හරි....එහෙනම් ගිහින් කන්න ඔයා.අපි නම් ආපු ගමන් කෑවා.මං යනවා කාමරේට" 
ප්‍රියංකා එහෙම කියාගෙනම යන්න හැරුනා.

"අම්මා....මේ කෝ අප්පච්චි" ආදිත්‍ය අහද්දි ප්‍රියංකා ආයෙත් ආදිත්‍ය දිහාවට හැරුනා.

"ලොකු අප්පච්චි එක්ක කතාවක් පහළ" එහෙම කියපු ප්‍රියංකා කාමරේට යද්දි ආදිත්‍ය ඇදෙන් නැගිටලා ගියේ නාන කාමරේට.

දත් මැදලා ලෑස්ති වුනු ආදිත්‍ය පහළට යද්දි ක්‍රිශාන්ත හිටියේ එයාගේ අයියා නිශාන්ත එක්ක කතාවක.ආදිත්‍යව දැකපු ක්‍රිශාන්ත පුටුවෙන් නැගිට්ටේ හරි සතුටෙන්.

"මෙන්න මගේ ඉලන්දාරියා නැගිටලා.මං ඒ කාලේ වගේමයි නේ අයියේ" ක්‍රිශාන්ත කිව්වේ ආදිත්‍යගේ කරට අත දාගන්න ගමන්.

"ඔව් ඔව් උඹ ඒ කාලේ කරපු ගොන් වැඩම මූ අලුත් විදියට හිතලා කරනවා.අප්පච්චි ගෙම පුතා" නිශාන්ත එහෙම කියද්දි ආදිත්‍යයි ක්‍රිශාන්තයි දෙන්නම හිනා වුනා.

" අප්පච්චිට මහන්සි නැද්ද? අම්මා නම් ගියා කාමරේට" ආදිත්‍ය කිව්වේ ආයෙත් පුටුවේ වාඩි වුනු ක්‍රිශාන්ත දිහා බලාගෙන.

" මට ගානක් නෑ ආදි.අම්මට තමා මහන්සි.දැන් හෙටද ජොබ් එක පටන් ගන්නේ"

"ඔව් අප්පච්චි හෙට"

"මාත් එන්නම් එහෙනම් හෙට යන්න කොළඹ.මට වැඩ වගේකුත් තියෙනවා.ඔයාවත් දාලා ඒකට යන්න පුලුවන්" ක්‍රිශාන්ත කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"මගේ කාර් එකේ පලයන්" නිශාන්ත කිව්වේ ඔලුවෙන් එලියේ කාර් එක පෙන්නන ගමන්.

"හරි....ඒකත් හොදයි.නැත්තම් මං පියදාසට කියන්න හිටියේ වාහනයක් හොයලා දෙන්න කියලා" ක්‍රිශාන්ත කියද්දි ආදිත්‍ය පුටුවෙන් නැගිට්ටා.

"අප්පච්චි මං කාලා එන්නම්.පට්ට බඩගිනියි"

"තාම කෑවේ නැද්ද? යන්න යන්න ගිහින් කන්න.." නිශාන්ත කියද්දි ආදිත්‍ය ගේ ඇතුලට ගියේ කෑම කන්න.

කෑම කාලේ ගෙදර අයත් එක්කත් ටිකක් වෙලා කතා කරපු ග්‍රාම සේවක හම්බවෙලා චරිත සහතිකේකුත් අරගෙන ආවේ පහුවදා රැකියාවට යන්න ඕනේ නිසා.

හා හා පුරා කියලා රැකියාවට ගියපු ආදිත්‍යට එතන වැඩ පුරුදු වෙන එක එච්චර අමාරුවක් වුනේ නෑ.ඒ නිසාම සතියක් යද්දි වැඩ ඉක්මනින් පුරුදු වෙන්න ආදිත්‍යට පුලුවන් වුනා.පලවෙනි දවසේ අප්පච්චි එක්ක වැඩට ගියත් ඊට පස්සේ ආදිත්‍ය කොළඹ ගියේ දුම්රියේ.උදේට දුම්රියේ වැඩට යන ආදිත්‍ය  රෑ වෙලා ගෙදර ආවෙත් දුම්රියේමයි.
එක දිගට සතියක්ම වැඩ කරපු ආදිත්‍ය සිකුරාදා වෙද්දි හිටියේ හොදටම හෙම්බත් වෙලා.හවස 1ට විතර පරිඝනකයේ ලිපිගොනුවක් හදන අතරේ ආදිත්‍යට එයාගේ ප්‍රධානියාගේ හදිසි ඇමතුමක් ආවේ කාර්‍යාලයට එන්න කියලා.

"එක්ස්කියුස් මී සර්" ආදිත්‍ය දොර ටිකක් ඇරලා අහද්දි ආදිත්‍යගේ ආයතන ප්‍රධානියා වුනි වීරසිංහ මහත්මයා හිනා වෙලා ඔලුව වැනුවා.

"කම්...කම්...ආදිත්‍ය..." ආදිත්‍ය මේසේ ලගට ගිහින් හිටගත්තේ තව වැඩක් වෙන්න ඇති කියලා හිතන ගමන්.

" ආදිත්‍යට මං එන්න කිව්වේ පොඩි වැඩක් දෙන්න.අපේ කස්ටමර් කෙනෙක් ඉන්නවා  කලම්බු 7 වල.එයාගේ ඩොකියුමන්ට් වගයක් කුරියර් කරන්න ගිහින් මිස්ප්ලේස් වුනා.ආදිත්‍යට පුලුවන්ද ඒ ඩොකියුමන්ට් ටික එයාට අතටම ගිහින් දෙන්න.ආපහු කුරියර් යවන්න ගිහින් රිස්ක් එකක් ගන්න බෑනේ" වීරසිංහ කිව්වේ මේසේ උඩ තිබ්බ ෆයිල් එකක් පෙරලන ගමන්.

"හා හරි සර්...මං වැඩ ඉවර වෙලා ගිහින් දෙන්නම්" ආදිත්‍ය කිව්වේ වීරසිංහ දික් කරපු ෆයිල් එක අතට ගන්න ගමන්.

" නෑ නෑ දැන් යන්න ඕනේ ආදිත්‍ය.මේක ටිකක් හදිස්සි වැඩක්.ඔයා දැන් යන්න.මේ ටික දීලා ගෙදර යන්න..ආයේ මෙහේ එන්න වෙලාවක් නැති වෙයි.මං HR එකට කියන්නම් ඔයාගේ ඕෆ් එක 5ට දාන්න කියලා." වීරසිංහ කියද්දි ආදිත්‍යට දැනුනේ සතුටක්.

"හරි සර්.මං එහෙනම් දැන් යන්නම්"

"හරි ආදිත්‍ය.මං ඔයාට එඩ්‍රස් එකයි නමයි අනිත් විස්තරයි එව්වා.ආවද බලන්න." වීරසිංහ අහද්දි ආදිත්‍යත් දුරකථනය අතට ගත්තා.

"ඔව් සර්.ඇවිල්ලා." ආදිත්‍ය කිව්වේ දුරකථනය දිහා බලාගෙනමයි

"හරිනේ එහෙනම්.ආදිත්‍ය යන්න.යනකොට රිසෙප්ශන් එකේ පිංකිගෙන් ඩිලිවරි කොලයක් ඉල්ලගෙන යන්න.ඒ කස්ටර්මගේ අතටම දෙන්න.ඩිලිවරි කොලයත් සයින් කරගන්න."

"හරි සර්" එහෙම කියපු ආදිත්‍ය කාමරෙන් එලියට ආවේ සතුටෙන්.

'කලම්බු 7..ඒක හොදයි.එහෙනම් අද මට ඒ ගමන් දේදුණු හම්බවෙන්න යන්න පුලුවන්' එහෙම හිතපු ආදිත්‍ය දුරකථනය අතට ගත්තේ දේදුණුගේ දුරකථන අංකට හොයාගන්න.අංකය හොයාගත්ත ආදිත්‍ය දේදුණු ට ඇමතුමක් ගත්තා.පුරුදු විදියටම ඒකෙන් ඇහුනේ දුරකථනය සම්බන්ද කරගන්න බැරි බව සදහන් වෙන හඩ පටයක්.
'ඇයි දන්නේ නෑ.දැන් ගිහින් හොයලා බලනවා' ආදිත්‍ය හිතුවේ කාර්‍යාලයෙන් පිට වෙන්න සූදානම් වෙන ගමන්.

********************************************
ස්තූතියි කතාව කියවන හැමෝටමයි වචනෙකින් හරි මාව දිරිමත් කරන හැමෝටමයි.

ඊලග කොටසින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

2 comments: