"නදිනි.." සහන් මිමිණුවා.
ලස්සන දිග කොන්ඩයක් එක්ක හරි අහිංසක පාට ගෑනු ලමයෙක් සහන් ලගට ආවා.ඒ නදිනි.
"සහන්.."
"නදිනි ඔ..ඔයා..." සහන්ට වචන හොයාගන්න බැරුව ගොත ගැහුනා.ඒ අතරේ මෙච්චර වෙලා මේ දෙන්නා දිහා බලන් හිටපු සජිනි නැගිට්ටා.
"නදිනි.." සජිනි කතා කරා.එතකොට තමයි නදිනි සජිනිව දැක්කේ.
"අනේ සජිනි..ඔයා කොහෙද මෙහේ? මට හිතාගන්නත් බෑ.ඔයා මේ සහන් එක්කද ආවේ එතකොට" නදිනි ඇහුවේ සහන් දිහාත් බලලා.
"අහ් ඔව් මේ.."
"මේ මගේ වයිෆ්" සහන් සජිනි පටන් ගත්ත වාක්‍ය ඉවර කරා.ඒකට නදිනි සහන් දිහා බැලුවේ පුදුම වෙලා.
"අහ්..අනේ මං දැනන් හිටියේ නෑ.සොරි" නදිනි කිව්වේ සජිනිගේ අතකිනුත් අල්ලලා.
"අනේ ඒකට කමක් නෑ නදිනි.ඔයා කාත් එක්කද ආවේ" වටපිට බලපු සජිනි ඇහුවා.
"හස්බන්ඩ් එක්ක ආවේ.එයා වොශ් රූම් ගියා.ආ අර එන්නේ" නදිනි කිව්වේ එයාලගේ පැත්තට එන උස මහත ලස්සන කොල්ලෙක්ව පෙන්නලා.ඒ කොල්ලා නදිනි ලගට ඇවිත් නදිනිගේ ලගින් හිටගත්තා.
"ජිවක මේ සජිනි,මගේ ඉස්කෝලේ යාලුවෙක්.සජිනි මේ ජීවක මගේ හස්බන්ඩ්" නදිනි හදුන්වලා දුන්නා.
"හෙලෝ"
"හෙලෝ" සජිනියි ජීවකයි අතට අත දුන්නා.
ඊට පස්සේ නදිනි හැරුනේ හිස් බැල්මකින් බලන් හිටපු සහන් දිහාවට.සහන් ගැන මොකක්ද කියන්නේ කියලා නදිනි ඒ වෙනකොටත් හිතාගෙනයි හිටියේ.
"ජීවක මේ සහන්.සජිනිගේ හස්බන්ඩ්.ස්කෝලේ මගේ යාලුවෙක්" නදිනි කිව්වේ ජීවක දිහා බලාගෙනමයි.සහන් දිහා බලන්න තරම් පුලුවන්කමක් නදිනිට තිබ්බේ නෑ.ඒත් සහන් නම් බලන් හිටියේ නදිනි දිහාමයි.
මේ මුකුත් තේරුනේ නැති ජීවක හරි සුහදශීලී විදියට සහන්ත අත දුන්නා.
"හලෝ මචං"
"හලෝ" සහන් කිව්වේ එච්චර හොද විදියකට නෙවෙයි.
"ඔයාලා මේ ලගද පදිංචිය" සජිනි ඇහුවේ මොනවා හරි අහන්න ඕනේ නිසා.
"ලගමත් නෙවෙයි.දෙහිවල." නදිනි කියනකොට ජීවක නදිනිගේ උරහිස වටේ අත දාලා නදිනිව ලගට ගත්තා.සහන් ඉන්න නිසා නදිනිට ඒකෙන් ගැලවෙන්න ඕනේ වුනත් ජීවකට වෙනසක් තේරෙවි කියලා නදිනි එහෙම්ම හිටියා.මේක බලාගෙන හිටපු සහන්ගෙ මූණ රතු වෙලා තිබ්බේ.
"දෙහිවල ලගයිනේ අනේ.අපි කොල්ලුපිටියේ" සජිනි දිගටම කතා කරේ මේ නොසන්සුන්කම නැති කරන්න.
එතකොටම සහන්ගේ දුරකතනට නාද වුන නිසා සහන් එකත් අරන් එහාට ගියා.
"ඔයා කොහෙද වර්ක් කරන්නේ? ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සේ මේ දැක්කමනේ නේද අනේ" නදිනිත් සාමාන්‍ය විදියට කතා කරන්න උත්සහ කරා.ඒත් එයාගේ ලගින් ජිවක තියාගෙන සහන්ව පේන මානේ තියාගෙන සහන්ගේ වයිෆ් වුන සජිනි එක්ක කතා කරන එක නදිනිට අමාරු වෙලා හිටියේ.
"මං වර්ක් කරන්නේ නෑ.ගෙදර ඉන්නේ"
"ඇයි ඔයා වර්ක් කරා නේද? දිනේශා දවසක් හම්බෙලා කිව්වා ඔයා වර්ක් කරනවා කියලා"
"ඔව් කරා ඒ දවස් වල.ඒත් සහන් කැමති වුනේ නෑ.ඒ නිසා අයින් වුනා"
"ඒත් මේ සහ.." නදිනි කියන්න ගත්තේ සහන් කැමති වුනේ තමන්ම හම්බ කරන ස්වාදීන ගෑනු ලමයෙක්ට කියලා.ඒ දවස් වල සහන් ඒක නිතරම නදිනිට කියලා තියෙනවා.
ඒත් නදිනිට ඒක කියන්න වුනේ නැත්තේ එතකොටම සහන් එතනට ආපු නිසා.එහෙම වුන එක හොදයි කියලා නදිනිට හිතුනේ සහන් ගැන ජීවක කිසිම දෙයක් නොදන්න නිසා.
"සජිනි අපි යමුද? මට වැඩ වගයක් තියෙනවා" සහන් කිව්වේ නදිනිලා දිහා බලන්නෙවත් නැතුව.
"හා යමු.සහන් බිල් එක"
"ඉස්සරහින් පේ කරමු" එහෙම කියලා සහන් සජිනි ලගට ආවා.
"හරි එහෙනම් අපිත් යන්නම්" නදිනි කිව්වේ සජිනිට.පුලුවන් තරම් සහන්ව මග ඇරලයි නදිනි කතා කරේ.
"වෙලාවක හම්බ වෙමුකෝ එහෙනම්" සජිනිත් එහෙම කියලා සමු අරන් ආවා.
ටිකකින් දෙන්නා කාර් එකේ නැගලා පිටත් වුනේ ආපහු ගෙදර යන්න.
කාර් එකේ ගියපු මුලු දුරම සහන්වත් සජිනිවත් කතා කරේ නෑ.සජිනි සැරින් සැරේ සහන් දිහා බැලුවේ එයා මොනා හරි කියාවි කියලා හිතලා.ඒත් සහන්ගේ හැටි දන්න නිසාම සජිනි සහන් එක්ක කතා කරන්න නම් ගියේ නෑ.
නදිනිව මෙහෙම දැකපු එකෙන් සහන්ගේ හිත අවුල් වෙලා තිබුනා වගේම සහන්ව දැකලා නදිනිත් හිටියේ සෑහෙන අවුල් වෙලා.කවදාම හරි සහන්ව තමන්ට මූණට හම්බ වේවි කියලා දැනන් හිටියත් මේ විදියට හම්බ වෙන්න නදිනි හිතුවේ නෑ.ඒ ඔක්කොටම වඩා සහන්ගේ මූණේ තිබුනූ ඒ හිස් බැල්ම නදිනිගේ හිතට කරදරයක් වුනා.
"නදිනි,මොකක්ද ප්‍රශ්නේ" ජීවක ඇහුවේ වාහනේ පදවන ගමන්.එයාලා ආපහු ගෙදර යන ගමන් හිටියේ
"ඇ..ඇයි"
"නෑ ඔයා ලොකු කල්පනාවක වගේනේ.මූණත් සුදුමැලි වෙලා" ජීවක කිව්වේ එක අතකින් නදිනිගේ අතින් අල්ලගන්න ගමන්.
"මගේ ඔලුව ටිකක් රිදෙනවා අනේ.ඒක නිසා වෙන්න ඇති" නදිනි කෝකටත් හරි යන තුරුම්පුව ගහලා බැලුවා.
"එහෙනම් ටිකක් ඇස් පියාගන්න.ගෙදරට ගියාම මං ඇහැරවන්නම්".ජීවක නදිනිගේ ඔලුව අතගාන ගමන් කිව්වා.නදිනි එහෙම්ම සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තේ ටිකක් කල්පනා කරන්න.ඒත් එක්කම නදිනිට මතක් වුනා එයා ජීවක ගැන සහන්ට කියපු හැටි.
නදිනි නිවාඩුවකට ගෙදර ගියපු වෙලාවක හදිස්සියේම නදිනිව බලන්න ආපු මනමාලයා තමයි ජීවක.නදිනිගේ ගෙදර තිබුනු දැඩි නීතී රීති එක්ක නදිනිට සහන් ගැන ගෙදරට කියාගන්න පුලුවන්කමක් තිබුනේ නෑ.
"ඔයා මොකක්ද මේ කියන්නේ නදිනි? ඔයා කොහොමද එහෙම කරන්නේ? " නදිනිට තාම මතකයි සහන් දුරකතනයෙන් අඩපු හැටි.
"ඔයාට එහෙම කරන්න බෑ.මං එන්නද ඔයාව එක්කන් යන්න.ගෙදරට ඕක කටක් ඇරලා කියන්න බැරි ඇයි ඔයාට" සහන් ඒ කියපුවා නදිනිට තාමත් ඇහෙනවා වගේ.ඒ මොනවා වුනත් මෙච්චර ආදරේ කරපු සහන් ගැන තමන්ගේ හමුදා පියාට කියනවට වඩා මේ නොදන්න මනුස්සයෙක් වෙච්ච ජීවක බදින්න තමන් කැමති වුනේ ඇයි කියලා නදිනිට තාමත් හිතා ගන්න අමාරුයි.
'සමහරවිට අපිට අපිව අයිති නැතුව ඇති '...නදිනි එහෙම හිතුවේ තමන්ගේ අතත් අල්ලගෙනම වාහනේ පදවන ජීවක දිහා බලාගෙනයි.
*****************************************************************************
කතාව ලියන්න සෑහෙන අමාරු වුනා ලමයි.කීප සැරයක්ම ලියන එක මැකුනා.ඒත් කොහොම හරි ඔන්න කතාව ගෙනාවා.
ඊලග ඉරිදා හම්බෙමු..
ප.ලි. ඔයාලගේ කමෙන්ට් වලට උත්තර නැති වුනාට මේ ටිකේ තරහ වෙන්න එපා හොදේ.ලියන එක හරිද බලාගන්නෙත් යාලුවෙක්ට කියලා.ලැප් රාජයා නැතුව මගේ අතක් පයක් කැඩිලා වගේ.ඒ නිසා සමාව බාජනේක දාලා ඔයාලා මේ ගැන හිතන දේ මට කියන්නත් අමතක කරන්න එපා.