Friday, December 7, 2018

මන්දාරම් අහස යට - නම වන කොටස



දවසෙම ලෙක්චර් හෝල් එක ඇතුළේ හිර වෙලා ඉදගෙන ව්‍යාපාර අධ්‍යනය ඉගෙන ගත්ත දේදුණු පන්තියෙන් එලියට ආවේ හරිම මහන්සියෙන්.

"මහන්සියි නේද?" කණ ලගින්ම වගේ ඇහුනු ඒ  කටහඩට දේදුණු හැරිලා බැලුවේ බය වෙලා වගේ.

එතන හිටගෙන හිටියේ එදා මැක්ඩොනල්ඩ්ස් එකේදි තමන් එක්ක කතා කරන්න ඕනේ කියපු කොල්ලා නේද කියලා දේදුණු දැක්ක ගමන් අදුනගත්තා.ඕනේ තරම් පිරිමි ලමයි කතා කරන්න ඕනේ කියලා පස්සෙන් ආවත් දේදුණුට ආදිත්‍යව හොදට මතක තිබුනා.ඒකට හේතු වුනේ ආදිත්‍ය එයාට පෙම්වතියක් ඉන්නවා කියලා කෙලින්ම කියපු එකම විතරක් නෙවෙයි.ආදිත්‍යගේ පෙනුම වගේම කතාවත් දේදුණුගේ හිතට වැදිලා තිබ්බේ.

"මහන්සි වැඩිකමට කතා කරගන්නත් බෑ වගේ" ආදිත්‍ය කියද්දි දේදුණුට ඉබේටම හිනා ගියා.

"ඔන්න ඔහොම ඉන්න එපැයිනේ" ආදිත්‍ය කිව්වේ හිනා වෙවි.ආදිත්‍ය කියන ඒවට දේදුණු කරේ හිනා වුන එක විතරයි.

"ඉතින් කොහොමද?" අදිත්‍ය ඇහුවේ දේදුණුගෙන් සද්දයක් නැති නිසා.

"වරදක් නෑ.ඇයි ඔයාලා මෙහේ" දේදුණු ඇහුවේ ආදිත්‍ය ලගම හිටපු අවිශ්ක දිහාත් බලන ගමන්.

"ඔයා බලන්න" ආදිත්‍ය කියද්දි දේදුණුට එක පාරම දැනුනේ ලැජ්ජාවක්.ඒත් ඒ බවක් ආදිත්‍යට පෙන්නන්න දේදුණු කැමති වුනේ නෑ.ඒ නිසා දේදුණු ආදිත්‍ය දිහා කෙලින්ම බැලුවා.

"ඇයි මොකක්ද උවමනාව" දේදුණු එහෙම අහද්දි ආදිත්‍ය යන්තමට හිනා වුනා.

"ඇයි එදා මං කිව්වේ මට වැදගත් දෙයක් කතා කරන්න ඕනේ කියලා"

"ඉතින් මාත් කිව්වේ ගර්ල් ෆ්රෙන්ඩ් එක්කගෙන එන්න කියලා කතා කරන්න ඕනේ නම්" දේදුණුත් පරදින්න ලැස්ති නෑ.

"ඉතින් මං ග්ර්ල් ෆ්රෙන්ඩ් ව එක්කගෙන තමයි ආවේ" ආදිත්‍ය කිව්වේ අවිශ්ක දිහාත් බලන ගමන්.ඒපාර දේදුණුටත් හිනා ගියා.

"අහ් මෙයාද ගර්ල් ෆ්රෙන්ඩ්? ඔයා ඒ ජාතියේද? අනේ සොරි මං දන්නේ නැතුවනේ ඇහුවේ" දේදුණු කිව්වේ ඇත්තටම පසුතැවිලි වෙන විදියට.දේදුණුගේ කතාවට ආදිත්‍යට වගේම අවිශ්කටත් හිනා ගියා.

"මෙන්න මූ නම් ඒ ජාතියේ තමයි.මං නම් ඕවට නෑ" අවිශ්ක කිව්වේ ආදිත්‍යගේ කරට අත දාගන්න ගමන්.

"අනේ නිකන් හිටපන්..මාත් ඕවට නෑ නංගි.ලස්සන කෙල්ලෙක් දැක්කොත් එකෙන්ම බලනවා" ආදිත්‍ය කියද්දි තුන්දෙනාම හිනා වුනා.

"හරි දැන් කෝ ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්?" ඒ සැරේ දේදුණු ඇහුවේ කුතුහලෙන්.

"අහ් ඉන්නකෝ" එහෙම කියන ගමන් ආදිත්‍ය එයාගේ දුරකථනය එලියට ගන්න ලෑස්ති වුනා.

"එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් ඉන්නේ ෆෝන් එකේනේ" අවිශ්ක කිව්වේ දේදුණුව ආයෙත් හිනස්සලා.

"එයාව එක්කගෙන එන්න විදියක් නෑ නංගි.එයාව ගෙදරින් එවන්නේ නෑ මෙච්චර දුර" ආදිත්‍ය එහෙම කියන ගමන් එයාගේ දුරකථනයේ තිබ්බ එයාගෙයි අසේලිගෙයි ජායාරූපය දේදුණුට පෙන්නුවා.ඒ ජායාරූපය දැකපු දේදුණුගේ හිත එක මොහොතකට ගැස්සුනා.මොකක්දෝ හේතුවකට ආදිත්‍යට ඇත්තටම ගෑනු ලමයෙක් නැතුව ඇති කියලමයි දේදුණුට හිතිලා තිබ්බේ.

'එහෙනම් එයාට ඇත්තටම ගෑනු ලමයෙක් ඉන්නවා' දේදුණු ෆොටෝ එක දිහා බලාගෙනම හිතුවා.

"ලස්සනයි නේද මගේ ගර්ල්" ආදිත්‍ය අහද්දි දේදුණු ඔලුව උස්සලා ආදිත්‍ය දිහා බැලුවා.

"ඇයි එයාට ගෙදරින් එන්න දෙන්නේ නැත්තේ? කොහෙද එයා ඉන්නේ?" ආදිත්‍යගේ ප්‍රශ්නේ ඇහුනේ නැති විදියට දේදුණු ආදිත්‍යගෙන් ඇහුවා.

"එයා කලුතරනේ.ඉතින් ටිකක් දුරයිනේ.ඒකයි" ආදිත්‍ය කියද්දි දේදුණු මුකුත් නොකිව්වේ නුවර ඉදන් ඇවිත් කලුතර කොහෙද තියෙන්නේ කියලවත් දේදුණුට ලොකු අදහසක් නැති නිසා.

"හරි දැන් මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ?" දේදුණු ඇහුවේ ආදිත්‍යගේ අතට ආයෙත් එයාගේ දුරකථනය දෙන ගමන්.

"අපි මොනවා හරි බොන ගමන් කතා කරමුද?" ආදිත්‍ය ඇහුවේ අවිශ්ක දිහාත් බලන ගමන්.ආදිත්‍යගේ ඒ කතාවට දේදුණු එයාගේ ඔර්ලෝසුව දිහා බැලුවා.ඒ වෙද්දිත් වෙලාව හවස 3ට කිට්ටුයි.දේදුණුට  3.30 වෙද්දි නැන්දා එක්ක වෛද්‍යවරයෙක් හම්බවෙන්න යන්න වෙලාවක් දාගෙනයි තිබුනේ.

"සොරි, මට අද ටිකක් ඉක්මනට යන්න ඕනේ.ඉක්මනට කියන්න පුලුවන්ද?" ආදිත්‍ය දේදුණු දිහා බැලුවා.

"ම්ම්ම්...එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද?" ආදිත්‍ය කියද්දි දේදුණු ආදිත්‍ය දිහා බැලුවේ ඇස් දෙකත් පුංචි කරලා.

'මෙයත් එන්නේ ඒ පොටටමද මන්දා,එහෙම එක පාරට දෙන්න බෑනේ නම්බර්.කවුද දන්නෙත් නෑ" දේදුණු කල්පනා කරද්දි ආදිත්‍ය ආයෙත් කතා කරා.

"දෙන්න බැරිද?"

"එහෙම දෙන්න බෑනේ.මං ඔයා කවුද දන්නෙත් නෑනේ" දේදුණු බිම බලාගෙන කියද්දි ආදිත්‍ය බැලුවේ අවිශ්ක දිහා.

"එහෙනම් ඔයාට මගේ නම්බර් එක දෙන්නද? කතා කරනවද?" ආදිත්‍ය ඇහුවේ වෙන විදියක් හිතාගන්න බැරුව

"එපා එපා" දේදුණු කියද්දි ආදිත්‍ය තවත් අසරණ වුනා.

"එහෙනම් මොකද කරන්නේ?" ආදිත්‍ය ඇහුවේ අවිශ්ක දිහා බලාගෙන.

"ම්ම්...ඔයාගේ මේ වැඩේ මොකක්ද? වැඩේ හොදයි නම් නම්බර් එක දෙන්නම්" දේදුණු කිව්වේ ආදිත්‍ය යන්න යාවි කියලා බයෙන්.කියාගන්න බැරි හේතුවක් නිසා ආදිත්‍යව හරි හුරු පුරුදු ගතියක් දේදුණුට දැනුනා.

"අන්න එහෙම එන්නකෝ නංගි" අවිශ්ක කිව්වේ හිනා වෙවි

"මෙහෙමයි.පොඩි කාලේ මාත් නුවර හිටියේ.පොඩි කාලේ මං අදුරන ගෑනු ලමයෙක් හිටියා දේදුණු කියලා.ඉතින් මට හිතෙනවා ඒ ඔයාද කියලා" ආදිත්‍ය කියද්දි දේදුණු අහන් හිටියේ පුදුමෙන්.

"ඔයා කොහොමද මේවා දන්නේ?"

"මොනවද?"

"මං නුවර කියලා.මගේ නම දේදුණු කියලා"

"මං දන්නවා.මං හෙව්වා සෑහෙන්න"

"මං ගැන"

"ඔයා ගැනත් හෙව්වා.ඒත් මුලින් හෙව්වේ දේදුණු කියන නම තියෙන නුවර ගෑනු ලමයි ගැන"

"දේදුණු කියලා නුවර ඉන්නේ මං විතරක්‍ නෙවෙයිනේ" දේදුණු කිව්වේ සැකෙන්

"ඔව් ඇත්ත.ඒත් ඔයාගේ වයසෙ.ඒ කියන්නේ මට වඩා අවුරුදු දෙකක් බාල දේදුණුලා මහ ගොඩක් නුවර ඉන්න විදියක් නෑනේ"

"හරි ඒත් ඔයා කොහොමද කියන්නේ ඒ මම මයි කියලා"

"මං දන්නේ නෑ ඒක,ඒ ඔයා වෙන්නත් පුලුවන්.නොවෙන්නත් පුලුවන්.මට ඒකයි ඔයා එක්ක කතා කරන්න ඕනේ" ආදිත්‍ය කියද්දි දේදුණු ටිකක් වෙලා එහෙම්ම බලන් හිටියා.

"ඉතින් මොකද කියන්නේ?" ආදිත්‍ය ඇහුවේ දේදුණුගෙන් උත්තරයක් නැති තැන

"මං දන්නේ නෑ ඔයා මේ මොනවා කියනවද කියලා.ඒත් මං ඔයාට නම්බර් එක දෙන්නම්.මට මහ රෑට නම් කෝල් කරන්න එපා.මං 10ට නිදාගන්නවා.ඊට කලින් කතා කරන්න" දේදුණු කිව්වේ ටිකක් කල්පනා කරලා

"අහ් ඔයත් 10ට නිදාගන්නවද?" අවිශ්ක ඇහුවේ ආදිත්‍යටත් ඇහැක් ගහලා.

"ඇයි වෙන කවුද 10ට නිදාගන්නේ?" ආදිත්‍යයි දේදුණුයි එක පාරටම ඇහුවේ කතා වෙලා වගේ.අවිශ්ක ඒ දිහා බලලා හිනා වුනා.

"කවුරුත් නෑ කවුරුත් නෑ.මට අමතක වුනනෙ එක්කෙනෙක් කෙල්ලෙක් අනිත් එක රටින් ආපු ගොඩ සුද්දෙක් කියලා" අවිශ්ක කියද්දි ආදිත්‍ය අවිශ්කට රැව්වා.

"කවුද යකෝ ගොඩ සුද්දා? අපි රියල් ලංකන් කොල්ලෝ"

"ඔව් ඔව් මං දන්නවා" අවිශ්ක කිව්වේ හිනා වෙවි.

"නංගි නම්බර් එක කියන්නකෝ" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ කතාව ගනන් ගන්නේ නැතුව.

"07*******"

"හරි මං ඔයාට කෝල් එකක් දෙන්නම්" ආදිත්‍ය කියද්දි දේදුණු ආයෙත් ඔර්ලෝසුව දිහා බැලුවා.

"පරක්කුද?"

"ඔව්..මං යන්නම් එහෙනම්.ටටා" දේදුණු කිව්වේ දෙන්නටම අත වනලා

එතනට ආපු ත්‍රී වීල් එකක් නවත්තගත්ත දේදුණු ඒකට නැගලා ඉක්මනටම ගියේ නවලෝක රෝහලට.එතනදි නැන්දව හම්බවෙලා නැන්දා එක්ක දොස්තරත් හම්බවෙලා එද්දි ගොඩක් රෑ වුනා.

රෑ වෙලා නිදාගන්න ලෑස්ති වුන දේදුණුට මතක් වුනේ හවස ආදිත්‍ය කියපු දේවල්.

"ඒක මහ බොරුවක්ද කොහෙද.එයාට ඕනේ වුනේ මාත් එක්ක කතා කරන්න.හැබැයි ඒකට එයා හොයාගත්ත විදිය නම් නියමයි.මං ඒකට කැමතියි."දේදුණු එයාටම කියාගත්තේ හිනා වෙවි.

'නරක කොල්ලෙක් නෙවෙයි වගේ.ප්‍රශ්නයක් වුනොත් විසල් අයියට කියනවා' දේදුණු හිතුවේ ආදිත්‍යව මතක් කරන ගමන්.

"ඒත් ඒ කෙල්ල කවුද? යාලුවෙක් වෙන්න ඇති මං හිතන්නේ.ඒත් එච්චර ලගට වෙලා ෆොටෝ අරන් තිබ්බේ යාලුවෙක්මත් වෙන්න බෑ.අනේ මං දන්නේ නෑ මං මොකට ඒ කොල්ලා ගැන මෙච්චර හිතනවද කියලා" දේදුණු කල්පනා කරේ තමන් ගැනම පුදුමෙන්.

"නෑ නෑ දේදුණු ඔයා ඒ කොල්ලා ගැන හිතන්න බෑ.ඔයාට විසල් අයියා ඉන්නවා.ඒක අමතක කරන්න එපා" දේදුණු තමන්ගෙම හිතට තරවටු කරගත්තා.

කොහොමින් කොහොම වුනත් සතියක්ම ගෙවිලා ගියත් දේදුණුට ආදිත්‍යගෙන් දුරකථන ඇමතුමක් ආවේ නෑ.මුල් දවස් කීපයේම දුරකථන ඇමතුමක් එනකම් දේදුණු බලන් හිටියත් පස්සේ දේදුණුටත් ඒක අමතක වුනා.

ඒ සදුදා දේදුණු පුරුදු විදියටම මාමා එක්ක පිටත් වුනේ එයාගේ දේශන වලට සහබාගි වෙන්න විශ්ව විද්‍යාලයට යන්න.

"අයියෝ මාමේ මට පරක්කුත් එක්ක" දේදුණු කාර් එකේ ජනේලේ ඇරලා එලියට එබුනේ ට්‍රැෆික් එකට හිතින් බැන බැන

"හරි හරි.තාම 8යිනේ.8.30ටනේ පටන් ගන්නේ.මං හරියට ඔයාව 8.30ට දාන්නම්"

"මං කවදාවත් පරක්කු වෙලා ගිහින් නෑ" දේදුණු කිව්වේ මූණත් බෙරි කරගෙන

"ඉතින් සුදූ බලන්නකෝ ඔයා නම් මේ කාර් එකෙත් ඉදගෙනනෙ.බලන්න අර බස් හෝල්ට් එකේ ඉන්න ගෑනු ලමයි.ඔයාගේ වයසෙමනේ.බස් එක කීයට ඒවිද කීයට යාවිද එයාලා" මාමා කියද්දි දේදුණු බැලුවේ බස් හෝල්ට් එකේ හිටගෙන හිටපු ගෑනු ලමයි දිහා.බැලූ බැල්මටම එයාලත් මේ බස් එකක් එනකම් ඉන්න විශ්ව විද්‍යාල ලමයි වගේ තමයි පෙනුනේ.

"ඉතින් අපි එයාලවත් එක්කගෙන යමුකෝ" දේදුණු කිව්වේ බස් හෝල්ට් එක දිහා බලාගෙනමයි

"අහ් මට එහෙනම් වැඩට යන්න වෙන් නෑ" මාමා කිව්වේ හිනා වෙවි.

ඒ අතරේ දේදුණුගේ ඇස් නැවතුනේ බස් හෝල්ට් එකට ඒ වෙලාවේ දුවගෙන ආපු සුදු ගවුමක් ඇදපු ගෑනු ලමයෙක් ලග.

'මං මෙයාව කොහේදි හරි දැකලා තියෙනවනේ' දේදුණු කල්පනා කරේ ඒ ගෑනු ලමයා දිහා බලාගෙනමයි.

"සුදූ ඕක වහන්න.දූවිලි ඔක්කොම ඇතුලේ.මං ඒසී දාන්නම්" මාමා කියපු නිසා දේදුණු ජනේලේ වැහුවා.

ඒ ජනේලේ වහද්දිම දේදුණුට එක පාරටම මතක් වුනා ඒ ගෑනු ලමයා කවුද කියලා.

"මේ අර බෝයිගේ ගර්ල් ෆ්රෙන්ඩ් නේද?" දේදුණු තමන්ටම කියාගත්තේ ජනේලෙන් ආයෙත් හොදට බලන ගමන්.

***************************************************************************

හරි ඔන්න දේදුණු අසේලිව දැක්කා.ඊලගට මොනවා වේවිද? හිතලා බලමු ටිකක්.

ඊලගට තව පොඩි දෙයක්.හැමදාම මං කියනවා වගේ ඔයාලගේ අදහස් තියෙනවා නම් මං හරිම කැමතියි.මේ ලිව්වට මං දන්නේ නෑ අඩු ගානේ කතාව සවුත්තුද කියලවත්.කතාව නරක නම් කියන්න.මගේ වැරදි හදාගන්න පුලුවන්.එහෙමත් නැත්තම් නොලියම ඉන්නත් පුලුවන්.කවුරුවත් කියවන්නේ නැත්තම් ලියන්න ආස හිතෙන්නෙත් නෑනේ ලමයි නේද?

මගේ කලින් කතාව කියවපු අය දන්නවා ඇති සතියට දවස් දෙකක් කතාව දාලා තමයි මං හැමදාම දාන්න පටන් ගත්තේ.සමහර දවස් වලට කොටස් දෙකක් දැම්මා. එතන මට ලොකු දිරිමත් කිරීමක් තිබ්බා.ඒත් මං දන්නේ නෑ අඩු ගානේ මේ කතාව ඔයාලා කියවනවද කියලවත්.ලයික් කොමෙන්ට් කියලා මහ ලොකුවට ඕනේ නෑ.මං ඒවා බලන් ලියන්නෙත් නෑ.ඒත් අඩු ගානේ හිතෙන දේ මැසේජ් එකකින් වත් කියන්න පුලුවන් නම් වටිනවා.අපි කියවනවා කියලවත් කියන්න මට .මොකද මගේ නමින් කතාවක් දාන්නත් මට බැරි කාලෙක මේක ලියන්නේ.දන්න අය දන්නවා මං මොකක්ද මේ කියන්නේ කියලා.ඉතින් මං ආයෙත් කියන්නේ ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.

හරි එහෙනම් හෙට හම්බෙමු.

ආදරෙන් ඉන්න 💖


4 comments:

  1. හැම කොටසක්ම කියවනවා. දිගටම ලියන්න.හරිම ලස්සනයි ඔයා ලියන කතා. K නැන්දා from USA

    ReplyDelete
  2. Love this one too. I think you lost some of your audience since you were silent for a while. Keep writing, we enjoy.
    Nadee

    ReplyDelete
    Replies
    1. Thank you so much.I just wanted to know that if there are any mistakes or problems in the story.Thank you again for the comment.this means a lot <3

      Delete