Monday, February 4, 2019

මන්දාරම් අහස යට - තිස් තුන්වන කොටස


පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් එලියට ආපු කට්ටිය මිගාරගේ ගෙදර යන්න වාහනේට නගින්න වාහනේ එනකම් බලන් හිටියා,

"හැමෝම ඉන්නවා නේද?" පුරුදු විදියටම මිගාර කට්ටියව ගනන් කරන්න පටන් ගත්තා.

"දේදුණු නංගි අපි එක්ක යනවද?" ක්‍රිශාන් ඇහුවේ ආදිත්‍ය ලගට වෙලා හිටගෙන ඉන්න දේදුණුගෙන් 

"නෑ අයියේ.මං දැන් ගෙදර යනවා.හෙට උදේ එන්නම් නුවර එලි යන්න" දේදුණු උත්තර දුන්නා.

"ඔයා යන්නේ කොහොමද? කැබ් එකක් කතා කරන්නද?" ආදිත්‍ය ඇහුවේ දේදුණුගෙන්

"ඕනේ නෑ ආදි.මං කැබ් එකකට කෝල් කරා" දේදුණු කියපු එක ඇහුනු විහාරායි නෙහාරායි එකිනෙකා දිහා බැලුවේ පුදුමෙන්.

"ඇහුනද ඒ කියපු එක?" නෙහාරා හෙමීට විහාරට කෙදිරුවා.

"ආදි කියලා නේද කිව්වේ?" විහාරාත් කිව්වේ රහසින්.

"ඒකනේ...මේ මේකි එනපොට හොද නෑ.අපේ එකිටත් ඕනේකමක් නෑනේ" නෙහාරා කියපු එකට විහාරා ඔලුව වැනුවා.

"කියලා වැඩක් නෑ.ඔන්න බලන්න අන්තිමට අපට තමා ඇඩිල්ල අහන් ඉන්න වෙන්නේ.මට මතකයිනේ අර ඉස්සර ඉස්කෝලේ ලයින් දාපු කොල්ලා වෙන ඉස්කෝලෙකට ගියා කියලා මේකි අඩපු තරම්" විහාරා කිව්වේ ජනීශ එක්ක කතාවක ඉන්න අසේලි දිහා බලන ගමන්.

".සිරාවට..අසේලිට එහෙම එකකුත් තිබ්බද? අපි දන්නෙත් නෑනේ" නෙහාරා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මහ ලොකු එකක් නෙවෙයි අනේ.අසේලි ඒ කොල්ලා දිහා බලනවා.ඒ කොල්ලත් අසේලි දිහා බලනවා.එච්චරයි.අර කොමර්ස් එකේ හිටියේ රවීන් කියලා කොල්ලෙක්.ඔයාට මතකත් ඇති" විහාරා කියද්දි නෙහාරා කල්පනා කරන්න ගත්තා.

"ආ.....ම්ම්ම්ම්....මතක් වෙන්නේ නෑනේ" නෙහාරා කිව්වේ කල්පනා කරන ගමන්.

"පුදුමයක් නෑ ඔයාට අමතක එක.ඒ කොල්ල කෙට්ටු කලු කොල්ලෙක්.උඹ ඉතින් බැලුවේ සුදු මහත එවුන් දිහානේ" විහාරා කිව්වේ නෙහාරාට ඇහැකුත් ගහන ගමන්.

"අනේ පලයන් යන්න...මේ ඔන්න නගිනෝ ඉක්මනට.මතකනේ වැඩේ" නෙහාරා එහෙම කියන ගමන් විහාරාව එතනට ආපු වෑන් එක පැත්තට තල්ලු කරා.

"නගිමු නේ..." විහාරා වෑන් එකට නගින්න හදන අතරේ එතනට ආපු අසේලි කිව්වේ විහාරගේ පිටිපස්සෙන්ම වාහනේට නගින්න හදන ගමන්.

"හිටපන් ටිකක්" නෙහාරා අසේලිගේ අතින් අල්ලගෙන බැලුවේ අවිශ්ක දිහා.

"අවිශ්ක අයියේ ඔයා නගින්න" නෙහාරා එහෙම කියද්දි අවිශ්ක පුදුමෙන් වගේ නෙහාරා දිහා බැලුවත් මුකුත් නොකියම වෑන් එකට නැගලා විහාරා ලගින් වාඩි වුනා.

"ආ...දැන් උඹ නැගපන්.ඉස්සරහ ශීට් එකෙන් වාඩි වෙයන්" නෙහාරා එහෙම කිව්වේ පුදුමෙන් බලන් ඉන්න අසේලිට.

දේදුණු ඇරෙන්න වාහනේට නැග්ගට පස්සේ වාහනේ පිටත් වුනේ මිගාරගේ ගෙදරට යන්න.

යන ගමනේ ටික වෙලාවක් යනකම්ම අවිශ්කයි විහාරායි අතරේ කිසිම කතාවක් ඇති වුනේ නෑ.

'මොනවා හරි කතා කරපන්' අවිශ්කගේ හිත කෑගහලා කියද්දි අවිශ්ක බැලුවේ ජනේලෙන් එලිය බලන් ඉන්න විහාරා දිහා.

"ඔයා තරහද මාත් එක්ක" අවිශ්කගේ කටින් ඒ වචන එක පාරටම පිට වුනේ අවිශ්කටත් නොදැනීමයි.ඒ හඩට විහාරා හැරිලා බැලුවා.

"නෑ...ඇයි" 

"නෑ....මේ....මං කරපු දේ..." අවිශ්ක කතා කරන්න වචන හෙව්වා.

"ඒක අමතක කරන්න.මාව ඔයාට ගැලපෙන්නේ නැත්තම් නෑ තමයි.ආදරෙයි කියලා ඔයාට කරදරයක් වෙලා ඉන්න මං කැමති නෑ" 

"ඒ කියන්නේ ඔයා තාමත් මට ආදරෙයි" අවිශ්ක ඇහුවේ පුදුමෙන්.

"නෑ....ගැලපෙන්නේ නැති කෙනෙක් වෙනුවෙන් මගේ හිතේ ඉඩක් නෑ" විහාරා කිව්වේ තීරණාත්මක ස්වරයකින්.එහෙම කියපු විහාරා ආයෙත් ජනේලෙන් එහා පැත්ත බලාගත්තේ අවිශ්කගේ මූණ මැලවෙද්දි.

ටිකකින් විහාරා ආයෙත් අවිශ්ක දිහා බැලුවා.

"මට දෙයක් දැනගන්න පුලුවන්ද?" විහාරා අහද්දි අවිශ්ක ඔලුව වැනුවා.

"කවුද ඒ දේදුණු ?"  විහාරා අහද්දි අවිශ්ක බැලුවේ එයාලට ඉස්සරහ ශීට් එකක වාඩි වෙලා ඉන්න අසේලි දිහා.

"ඕක ඔයාගේ ප්‍රශ්නයක්ද? අසේලිගේ ප්‍රශ්නයක්ද?" 

"මගේ ප්‍රශ්නයක්"

"හ්ම්ම්...දේදුණු ආදිත්‍ය අදුරන නංගි කෙනෙක්"

"කොහොමද එයා මේ නුවර නංගි කෙනෙක් අදුරන්නේ? එයා ඕස්ට්‍රේලියාවේ ඉදන් ආවෙත් ලගදිලු නේද?" විහාරා ඇහුවේ කුතුහලෙන්.

"මේ ආදිත්‍ය පොඩි කාලේ ගෙවල් ලග හිටපු ගෑනු ලමයෙක්.පස්සේ ඒ ගෑනු ලමයා කොළඹදි හම්බෙලා යාලුකම් වැඩි වෙලා" අවිශ්ක උත්තර දුන්නේ ටිකක් වෙලා ඉදලා

"යාලුකම් වැඩි වෙලා කිව්වේ" 

"නෑ නෑ ඔයාට කලබල වෙන්න දෙයක් නෙවෙයි.නිකන් යාලුවෝ." අවිශ්ක ඒක නම් කිව්වේ විහාරා දිහා හොදට බලන ගමන්.

"හ්ම්ම්...හරි හරි තැන්ක් යූ" එහෙම කියපු විහාරා ආයෙත් ජනේලෙන් එලිය බලාගත්තා.

"තෑන්ක් යූ නෙවෙයි දැන් ඇයි මගෙන් මේවා ඇහුවේ" 

"දැනගන්න" 

"මොකක් දැනගන්නද?" 

"දේදුණු ආදිත්‍ය ගේ කවුද කියලා" විහාරා උත්තර දුන්නේ ජනේලෙන් එලිය බලාගෙනමයි

"ඇයි ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්නේ.ඔන්න ඒක අසේලිට ප්‍රශ්නයක් වුනා නම් මට තේරුම් ගන්න පුලුවන්" අවිශ්ක එහෙම කියද්දි විහාරාගේ ඇස් ලොකු වුනා.

"ඒ කියන්නේ ආදිත්‍ය අසේලි ගැන මොනවා හරි කියලා තියෙනවද?" එක පාරටම හරි උනන්දුවෙන් අහපු විහාරා දිහා අවිශ්ක බැලුවේ පුදුමෙන්.

"මට ද?" අවිශ්ක ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව.

"ඔව් අනේ ඔව්..ඔයාට තමයි.මොනවා හරි කියලා තියෙනවද?" විහාරා අහද්දි අවිශ්කට හිනා ගියා.

'මෙච්චර වෙලා බුම්මගෙන කතා කරපු කෙල්ල මෙන්න දැන් උඩ පැනගෙන කතාව' අවිශ්ක කල්පනා කරේ හිනා වෙන ගමන්මයි.

"මොකද හිනා වෙන්නේ? කියන්නකෝ. කිව්වද?" ඒ සැරේ විහාරා ඇහුවේ අවිශ්ක දිහා තවත් හොදට බලන ගමන්.

"එහෙම විශේශයක් මට කටින් නම් කියලා නෑ....ඒත් ඇයි ඔයා අහන්නේ?"

"කියලා නැත්තම් වැඩක් නෑ ඉතින්.ඒත් අර ඇයි එහෙනම් ඔයා කිව්වේ අසේලි ඇහුවා නම් තේරුම් ගන්න තිබ්බා කියලා" විහාරා ඇහුවේ කල්පනා කරන ගමන්.

"ඒ ඉතින් ඒ දෙන්නගේ විශේශයක් තියෙනවනේ නේද?ගර්ල් ෆ්‍රෙන්ඩ් කියනවා.දෙන්නා හම්බවෙනවා.කෝල් කරනවා.ආදි ගෙදරත් ගියානේ බලන්න" අවිශ්ක කියද්දි විහාරාත් ඔලුව වැනුවා.

"ඉතින් ඒ දේවල් ගැන ආදිත්‍ය ඔයාට කියලා නැද්ද? මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කතාව ගැන"

"නෑ...ඇත්තටම ඒක කොහොම වුනාද කියන්න මං දන්නේ නෑ.මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වට ඒ දෙන්නා යාලු නෑනේ නේද?" අවිශ්ක අහද්දි විහාරා ශීට් එකට හොදට හේත්තු වුනා.

"නෑ...."

"ඒත් මේ....මට තේරුනු විදියට ආදිත්‍යගේ හිතේ තියෙන්නේ වෙන දෙයක්" අවිශ්ක කියද්දි විහාරා ආයෙත් අවිශ්ක දිහාවට එබුනා.

"ඒ මොකක්ද?" විහාරා ඇහුවේ හරිම උනන්දුවෙන්.ඒත් එතකොටම වෑන් එකේ දොර ඇරුනා.

"බැහැපල්ලා බැහැපල්ලා.මෙතන උඩ අපේ ගෙදර" මිගාර කතා කරේ වෑන් එකේ දොරෙන් ඔලුව ඇතුලට දාන ගමන්.

"යමන් යමන්" පිටිපස්සේ ශීට් එක බදු අරන් හිටපු ක්‍රිශාන් කිව්වේ අවිශ්කගේ ඔලුවටත් පාරක් ගහන ගමන්.ඒත් එක්කම කට්ටිය වෑන් එකෙන් බහින්න ගත්තා.

වෑන් එකේ ඉස්සරහම වාඩි වෙලා හිටපු ආදිත්‍ය ඒ වෙද්දිත් බැහැලයි හිටියේ.

බිමට බැහැපු කට්ටිය තම තමන්ගේ බෑග් අරන් උඩට යද්දි නෙහාරා හෙමීට විහාරාට කිට්ටු වුනා.

"මොකද වුනේ වැඩේට" නෙහාරා ඇහුවේ රහසින්.

"වැඩි දෙයක් දැනගන්න බැරි වුනා" විහාරා කිව්වේ පසුතැවීමෙන්.

"අපෝ බං උඹ නම්.දේදුණු ගැනත් බැරි වුනාද?" 

"ආ...ඒක දැනගත්තා" 

"කියපන් කියපන්" 

"ඒ පොඩි කාලේ ගෙවල් ලග හිටපු යාලුවෙක්.පස්සේ කොළඹදි හම්බවෙලා. යාලුවෝ විතරයිලූ" විහාරා කිව්වේ කෙදිරිලි හඩකින්.

"ආ...එහෙනම් ශේප්" නෙහාරා කිව්වේ සැනසිලිදායක හඩකින්.

බෑග් අරන් උඩට ගියපු කට්ටිය තමන්ට ඉන්න කාමර හොයාගත්තා.සාමාන්‍ය ගෙදරක් වුනු මිගාරගේ ගෙදර එක කාමරයක් ගෑනු ලමයින්ටත් තව කාමරයක් පිරිමි ලමයින්ටත් වෙන් වුනා.

එයාලා ගෙදරට එද්දිත් රෑ 7ටත් කිට්ටු කරලා තිබ්බ නිසා ගෑනු ලමයි ඉක්මනටම නාලා ඇදුම් මාරු කරගත්තා.කලින්ම නාපු අසේලි කලු කලිසමට නිල් අත්දිග ටීශර්ට් එකකුත් ඇදගෙන එලියට ගියේ ගෙදරට දුරකථන ඇමතුමක් දෙන්න හිතාගෙන.

නාලා හිටපු අසේලිට නුවර හුලග ගෙනාවේ අමුතුම සීතලක්.මුලු ඇගේම හිරිගඩු පිපෙද්දි අසේලි ඈත කදුයාය දිහා බලාගෙනම ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ..."

"....................."

"ඔව් අම්මා...දැන් ආවේ"

".............................."

"නෑ නෑ නෑවේ නෑ.අම්මා මොකද කරන්නේ? උයනවද?"

"..................................."

"ඔව් හෙට උදේ යනවා නුවරඑළි.අනිද්දා හවස ගෙදර එනවා.කෝ නංගි?" 

"......................................"

"ආ.....එපා එපා පාඩම් කරපුදෙන්.මං පස්සේ එයාට ගන්නම්.අයියා ආවද? තාත්තා ආවද?"

"..........................................." 

"ආ....එහෙනම් අද කලින් ඇවිත්..." 

අසේලි අම්මා එක්ක කතා කරද්දි මේ කතාව අහගෙන හිටියේ ආදිත්‍ය.

"ගෙදර හැමෝම ගැන හොයනවා වගේ" දුරකථනය විසන්ධි කරනවත් එක්කම පිටිපස්සෙන් ඇහුනු කටහඩට අසේලි හැරිලා බැලුවා.එතන වැටට හේත්තු වෙලා අසේලි දිහා බලන් හිටපු ආදිත්‍ය හිනා වුනා.

"එහෙම තමයි ඉතින්.මමනේ ගෙදර ලොකු දුව" 

"හ්ම්ම්..ඒකත් ඇත්ත තමයි" එහෙම කියපු ආදිත්‍ය අසේලි ලගට ඇවිත් හිටගත්තා.ටික වෙලාවක් යනකම් දෙන්නා අතර ඇති වුනේ නිශ්ශබ්දතාවයක්.

"ඔයාගේ පවුලේ කවුද ඉන්නේ" අසේලි එහෙම ඇහුවේ නිශ්ශබ්දතාවය බිදින්න හිතාගෙන.

"මායි අම්මයි අප්පච්චියි විතරයි" 

"අහ් එහෙමද? " අසේලි කිව්වේ වෙන කියන්න දෙයක් හිතාගන්න බැරුව.

"හ්ම්ම්...මට මල්ලි කෙනෙකුත් ඉදලා.ට්වින් කෙනෙක්.එයා නැතිවෙලා පොඩි කාලෙම" ඈත කදු යාය දිහා බලාගෙනම ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය දිහා හොදට බැලුවා.ඒ මූණේ කිසිම හැගීමක් අසේලි දැක්කේ නෑ.

"ට්වින් කියන්නේ...එයා ඔයා වගේමද?" 

" එහෙමත් නෑ ඉන්නකෝ පෙන්නන්න" එහෙම කියපු ආදිත්‍ය දුරකථනය අරන් ඒකේ තිබ්බ ජායාරූප යක් අසේලිට පෙන්නුවා.

"මේ මම,මේ මල්ලි,මේ අම්මයි තාත්තයි" ආදිත්‍ය ඒ ජායාරූප යේ හිටපු අයව අදුන්වලා දෙද්දි අසේලි ඒ දිහා හොදට බැලුවා.

"ඒයි උඹලා දෙන්නා එන්නේ නැද්ද? අපි කන්න හදන්නේ" මිගාර ගේ ඇතුලේ ඉදන් කෑගැහුවා.

"යමුද ඇතුලට" ආදිත්‍ය අසේලිගෙන් ඇහුවත් අසේලිගේ ඇස් තිබ්බේ දුරකථන තිරයේ පෙන්නන ජායාරූපයේ.

'මේ පිරිමි ලමයි දෙන්නා...මං දැකලා තියෙනවා...කොහේදි හරි....මේ කොලර් එක දාපු මීකී මවුස් ටීශර්ට් එක මට මතකයි....' අසේලි කල්පනා කරේ ජායාරූප ය දිහා බලාගෙනමයි.

"අසේලි....අසේලි..." ආදිත්‍ය ටිකක් හයියෙන් කතා කරේ අසේලිගෙන් ප්‍රතිචාරයක් නැති නිසා.

"ආ...." ආදිත්‍ය ගේ කටහඩට අසේලි ඔලුව උස්සලා ආදිත්‍ය දිහා බැලුවා.

"ඇයි?"

"නෑ...නෑ...මුකුත් නෑ"

"යමු ඇතුලට.කන්න කතා කරනවා" ආදිත්‍ය කිව්වේ අසේලිගෙන් දුරකථනය ගන්න ගමන්.

"යමු...." අසේලි ඉස්සර වෙද්දි ආදිත්‍ය අසේලිගේ පිටිපස්සෙන් ගේ ඇතුලට ගියා.

***********************************************

ඊලග කොටසින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

2 comments:

  1. Ikmanata danna.
    K nenda

    ReplyDelete
    Replies
    1. Thank you nande.data iwara wunane.kathawa liyala tibbe eye.hetath kotasak danawa 😊

      Delete