Monday, April 16, 2018

බෝඩිමේ ළිද


මේක වුනේ මගේ පලවෙනි බෝඩිමේදි.මේ ගැන ඇත්තටම දන්නේ මායි අම්මායි විතරයි.කතාව කියන්න කලින් කියන්නම්කෝ බෝඩිමට ගියපු හැටි.

2013-04-17 කියන්නේ මට ගොඩාක් විශේශ දවසක්.සරසවිය සිහිනයක් පමණයි කියලා අතැරලා දාලා හිටපු කාලෙක එක පාරටම ලියුමක් එනවා ගෙදරට කැම්පස් සිලෙක්ට් කියලා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි.ලියුම එන්නම ඕනේ කැම්පස් සිලෙක්ට් ද දැනගන්න.  ඉතින්  ඒ අප්‍රේල් 17 ආපු ලියුමේ තිබුනේ අප්‍රේල් 22 කැම්පස් පටන් ගන්නවා.එදාට ඇවිත් රෙජිස්ටර් වෙන්න කියලා.දවස් 5යි තියෙන්නේ හැමදේටම.

එන්න කිව්වේ 22 වුනාට තාත්තා කිව්වා අපි හෙට යමු රෙජිස්ටර් වෙන්න කියලා.ඒ ගමන් බෝඩිමකුත් හොයාගන්නයි හිතාගත්තේ.මගේ තාත්තා ගැන කියන්නම්කෝ මුලින්ම.මගේ තාත්තා කියන හැටියට අපායට වුනත් යනව නම් කලින් යන්න ඕනේ.හිතන්නකෝ අපට උදේ 8ට යන්න ඕනේ කියලා තැනකට.තාත්තා මාව එතනට යවනවා 6.30ට.අන්න එහෙමයි අපේ තාත්තා.😎

ඉතින් තාත්තයි මායි 18 උදේම පිටත් වුනා කැම්පස් එකට යන්න.බස් 2ක ගිහින් උදේ 11 විතර වෙනකොට අපි කැම්පස් එකට ඇවිත් රෙජිස්ටර් වුනා.ඒ වෙලාවේ තමයි මට කැම්පස් එකේ පලවෙනි යාලුවා හම්බුනේ.ඒ යාලුවා පස්සේ කාලෙක මාලුවා වුනා .ඒක වෙනමම කතාවක්.

එයත් තාත්තා එක්ක ඇවිත් හිටියේ.ඉතින් තාත්තලා දෙන්නයි අපි දෙන්නයි පිටත් වුනා බෝඩිම් හොයන්න.එහේ තියෙනවා "කෝරළේවත්ත" කියලා පැත්තක්.එහේ තමයි කිව්වා බෝඩිම් තියෙන්නේ.ඔන්න ඉතින් හැමතැනම ඇවිදලා ඇවිදලා බෝඩිමක් හොයාගත්තා.ඒක වෙනම ගෙදරක්.2nd year අක්කලා දෙන්නෙකුත් හිටියා වෙනම කාමරේක.අපට හම්බුන කාමරේ ඇදන් 4ක් එකට අහුරලා තිබුනා.රෙදි වැටකුයි පොඩි රාක්කෙකුයි තිබ්බා.එච්චරයි.ඒක තමයි හොයාගන්න පුලුවන් වුන හොදම කාමරේ.ඉතින් හිතාගන්නකෝ අනිත් බෝඩිම්.අපේ අනිත් ඇදන් දෙකට කවුරුවත් ඇවිත් හිටියේ නෑ.ඔන්න ඉතින් බෝඩිමට සල්ලි දිලා අපි ගෙදර එන්න ආවා.

ඒ ඉතුරු දවස් 4 යුද්දයක් වගේ.මං කවදාවත් බෝඩිමක ඉදලා නෑ.ඉතින් ගෙනියන්න දේවල් ලිස්ට් කරලා කඩේ ගිහින් බඩු ගෙනැල්ලා ඒවා ඔක්කොම පැක් කරලා ඉවර වෙනකොට දවස් 4 නිකන්ම ගිහින්.වැඩ වැඩි නිසා බය වෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.අප්‍රේල් 21 හවස අපි බඩුත් අරන් බෝඩිමට යන්න පිටත් වුනාම තමයි මං බයේ ගැහෙන්න ගත්තේ.යන්නම බෑ වගේ මට.මං පවුලේ එකම ලමයා.ඉතින් අම්මලා නැතුව ඉදලම නෑ.බෝඩිමට ආවම අර මගේ යාලුව ඇවිල්ලත් නෑ ඒ වෙනකොට.මං හොදටම බය වෙලා.ඒත් එහෙම කෝමද බයයි කියලා පෙන්නන්නේ.මං ඉතින් ෆුල් ගැම්මෙන් හිටියා අම්මලා යනකම්ම.අම්මලා ඉතින් ඔක්කොම බඩු එහෙම ලැස්ති කරලා දීලා පිටත් වුනා විතරයි මං හිතේ බයටයි හිතේ දුක යන්නයි හොදටම ඇඩුවා.😓

අඩලා ඉවර වෙලා ඉතින් ඔන්න ළිද ලගට ගියා නාන්න කියලා.ඇතුලෙත් නාන කාමරයක් තිබ්බත් ඒ වෙනකොට ඒකේ දොර වහලා තිබ්බ නිසා තමයි ළිදට ගියේ.අහන්නත් බයයි නේ.ඇත්තම කියනවා නම් මං ළිදකින් වතුර ඇදලම නෑ ඒ වෙනකොට.ඒ වුනාට ඉතින් එහෙම කියලා බෑනේ.අනික කැම්පස් සිලෙක්ට් වෙච්ච මට වතුර එකක් ඇදගන්න බැරිද ළිදෙන්.හපෝ...එහෙම හිතුවත් ලැජ්ජයිනේ.(ඒ කාලේ ඉතින් කැම්පස් කියලා පොඩි උණක් තිබ්බා.ඒ උණ කැම්පස් පය ගහපු වෙලාවෙම නැති වුනා).😝

ඔන්න ඉතින් නාන්න ලැස්ති වෙලා බාල්දිය ලිදට දාලා වතුර එකක් ඇද්දා කියන්නකෝ.ඒත් මේක උඩට ගන්න බෑ බරයි.

සෑහෙන්න ට්‍රයි කරා.කොහෙද බෑ.

මේ සැරේ අදිනවාමයි කියලා හිතලා ඇද්දා උඩට.වතුර ටික උඩින් වීසී වුනා.ඒත් එක්කම ළිද ලග ලිස්සලා මං එතන පත බෑවුනා.

අම්මෝ.... ඇගේ ඇට  කැඩිලා වගේ රිදෙනවා..නැගිටගන්න බෑ.කදුලු බේරෙනවා.හිතේ අමාරුව වැඩියි ඇගේ අමාරුවට වඩා.ඒත් එහෙම කියලා ඉන්න බෑනේ.ගෙදර නෙවෙයිනේ.අමාරුවෙන් නැගිටගත්තා.😶

පොඩ්ඩක් හීරීලා මිසක් වෙන තුවාලයක් නම් නෑ.කොන්ද නම් කැඩිලා වගේ රිදෙනවා.දැන් ඉතින් නාන්න නම් බෑ.ඇග හෝදගෙන යනවා කියලා හිතලා බාල්දිය ගන්න බැලුවා.

දෙයියෝ සාක්කී... කෝ බාල්දිය 😨

හැමතැනම බැලුවා.කෝකටත් කියලා නිකමට වගේ ළිදට එබුනා.මෙන්න බොලේ බාල්දිය ළිදේ.

මේ කලබලේ අස්සේ බාල්දිය ළිදට වැටිලා.දැන් මොකෝ කරන්නේ.දැන් මට ඇගේ අමාරුවක් මතක නෑ.බයටම දාඩියත් දාලා මට.ගන්න විදියක් හිතාගන්නත් බෑ.හොද වැඩේ මටත් තනියෙන් පන්ඩිත වැඩ කරනවට.මට මාත් එක්කම තරහයි.

ඔන්න ඒ අස්සේ මට ගණ දෙවි නුවණ පහළ වුනා.ඒ වෙනකොට බෝඩිමේ අක්කලා ඇවිත් හිටියෙත් නෑ.බෝඩිමේ ඇන්ටි ඉන්නෙත් වෙනමනේ.ඉතින් මං මෙතනට නාන්න ආවා කියලා කවුරුවත් දන්නේ නෑ.පත්තරේ දාලා නාන්න යන්නේ නෑනේ.😏

ඉතින් මං ශේප් එකේ ඇදුම් ආපහු ඇදගෙන දුවලා දුවලා ගියා බෝඩිමේ කාමරේට.දැන් හරි.කවුරුවත් දන්නේ නෑ වෙච්ච දේ.මට හරි සතුටුයි මේකෙන් බේරුනු එකට.එහෙම්ම ඇදට වැටුනා මං.ඇදට වැටිලා විනාඩි දෙකක් ගියේ නෑ බෝඩිමේ ඇන්ටි කතා කරනවා එලියෙන්.

"දුව... "

මට දැන් බයේ බෑ.බාල්දිය ගැන අහන්න තමා මේ ඇවිත් ඉන්නේ කියලා මට හොදටම විශ්වාසයි.ඒත් එහෙම කියලා හැංගිලා ඉන්නත් බෑනේ.මං ගට් අරගෙන ගිහින් දොර ඇරියා.😐

"අහ් ඇයි ඇන්ටි" මගේ කටහඩත් වෙව්ලනවා.

"අනේ දුව මට බාත් රූම් එකේ දොර අරින්න බැරි වුනානේ.නිවාඩු කාලෙට අපි කාමර ලොක් කරනකොට ඒකත් ලොක් කරනවා" ඇන්ටි එහෙම කියාගෙනම ගිහින් ඇතුලේ නාන කාමරේ දොර ඇරියා.
මට ඒ වෙලාවේ ඇන්ටිව පෙනුනේ දෙයියෙක් වගේ.ඒත් ඉතින් ඇන්ටිට තිබ්බේ ඕක කලින් ඇරලා තියන්නනේ.එහෙම වුනා නම් මේ කිසි දෙයක් නෑනේ.😐😕

"ඔන්න දැන් දුවට නාගන්න පුලුවන්.කෑම අරන්ද දරුවෝ ආවේ රෑට"
ඇන්ටි ඉතින් කතාවක් පටන් ගන්න ලැස්තිය.දැන් මගේ හාර්ට් බීට් ඒක කූල් වේගෙන යනවා.මට දැන් ඕනේ ඇන්ටිව යවලා නාගෙන ඇදට වැටෙන්න.

හැබයි ඇන්ටි ගියේ තවත් පැය කාලක් විතර කියවලා.

ඇන්ටි ගියාට පස්සේ මං දෙයියනේ කියලා නාන කාමරෙන් නාගත්තා.නාගෙන ඇවිත් අම්මා දීපූ බාම් එකකුත් තැලිච්ච තැන් වලට ගාගත්තා.
ආපහු නම් මං ඒ බෝඩිමේ ළිදෙන් නාන්න තියා ඒ පැත්තෙන්වත් ගියේ නෑ.

ප.ලි. හැබැයි දැන් නම් මට ළිදෙන් වතුර ඇදන් නාන්න පුලුවන්.ඒක පුරුදු වුනේ වෙන බෝඩිමක ළිදකින් 😅😎




2 comments:

  1. යකෝ ළිදකින් වතුර බාල්දියක් ඇදගන්න බෑ කිව්වම

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ බැරි වුනාට දැන් නම් ළිදේ බැහැලත් නාන්න පුලුවන්

      Delete