Friday, January 25, 2019

මන්දාරම් අහස යට - තිස් එක් වන කොටස


සෙනසුරාදා පාන්දරම ආදිත්‍යයි අවිශ්කයි කොටුව දුම්රිය ස්ථානයට ආවේ නුවර යන්න.ඒ වෙද්දිත් අසේලිලා දුම්රිය ස්ථානයට ඇවිල්ලයි තිබුනේ.උදේ 6.50ට නුවර හරහා බදුල්ලට පිටත් වෙන දුම්රිය ඒ වෙද්දිත් ඇවිත් තිබුනේ නෑ.

කොටුව දුම්රිය ස්ථානයේ දෙවෙනි වේදිකාව දිගේ කරුවලේම ආදිත්‍යයි අවිශ්කයි ඇවිදගෙන ගියේ අසේලිලා ඉන්න තැනට.

"හලෝ...මචන් ගුඩ් මෝර්නිග්.වාඩි වෙයන් මෙතනින්" ඒ වෙද්දිත් එතනට ඇවිත් හිටපු මිගාර අවිශ්කවයි ආදිත්‍ය වයි පිළිගත්තා.

"ගුඩ් මෝර්නින්.තාම නෑ නේද ට්‍රේන් එක?" අවිශ්ක ඇහුවේ වටපිට බලලා වාඩි වෙන ගමන්.

"නෑනේ.අද පරක්කුද මන්දා.සෙනගත් වැඩියි"

" දවස් තුනක නිවාඩුවක්නේ.ඒකයි මං හිතන්නේ" අවිශ්ක මිගාර එක්ක කතාවක ඉන්න අතරේ ආදිත්‍ය බැලුවේ ඊට ටිකක් එහාට වෙලා යාලුවෝ එක්ක කතා කර කර ඉන්න අසේලි දිහා.

" මං ඒත් හිතුවා උඹ එන්නේ නැති වෙයිද කියලත්.අම්මලා බලන්න යන්න ඕනේ කිව්වා නේද?" මිගාර ඇහුවේ ආදිත්‍යගෙන්.ආදිත්‍ය ඒකට හිනා වුනා.

"මූ එන්නේ නැතුව ඉදිද කෙල්ලත් ට්‍රිප් එක යද්දි." ඒ වෙලාවේ එතනට ආපු ක්‍රිශාන් කිව්වේ මිගාර පුදුම වෙලා බලද්දි.

"කෙල්ල? මොන කෙල්ලද?" මිගාර පුදුමෙන් ඇහුවා.

"අපෝ බං.ආදිත්‍ය දාගෙන ඉන්නේ අසේලි නංගිවනේ.උඹ දන්නේ නැද්ද?" ක්‍රිශාන් කිව්වේ ආදිත්‍යගේ උරහිස වටේ අතක් දාගන්න ගමන්.මේ ඔක්කොටම ආදිත්‍ය කරේ හිනා වුනු එක විතරයි.

"අඩෝ....සිරාවට....මූ කිව්වෙත් නෑනේ" මිගාර කිව්වේ ආදිත්‍යගේ බඩට අතින් ගහන ගමන්.

ඒ වෙලාවේ එච්චර වෙලාම ඈත හිටගෙන හිටපු අසේලියි නෙහාරායි ආදිත්‍යලගේ ඉස්සරහ පුටු පේලියට ඇවිත් වාඩි වුනා.

නිල් ඩෙනිමට සුදු ටීශර්ට් එකක් ඇදලා කොණ්ඩේ පෝනිටේල් එකක් දාලා හිටපු අසේලිගෙන් අද පෙනුනේ වෙනදට වඩා වෙනස්ම කෙලිලොල් පෙනුමක්.තමන්ට ඉස්සරහ වාඩි වෙලා යාලුවෝ එක්ක කතා කර කර ඉන්න අසේලිව දැකපු ආදිත්‍යට අසේලිව අන්තිමට මුණ ගැහුනු රෑ මතක් වුනා.

කලු හැට්ටයට කහ පාට සාරියක් ඇදලා කොණ්ඩේ කඩලා දාලා විදුලි පහන් එලිය වැටුනු පාර දිගේ අසේලි දුවගෙන ආපු හැටි ආදිත්‍ය ට මතක් වුනා.

"ආදිත්‍ය මාව අතාරින්න" අසේලි ඒ වෙලාවේ මුමුණපු හැටි ආදිත්‍යට තාමත් ඇහෙනවා වගේ..

'ඒ වෙලාවේ අර ගෝතයා කෝල් නොකරා නම්' ආදිත්‍ය කල්පනා කරේ ඒ වෙලාවේ ආපු කෝල් එක ගැන.

අසේලිව පපුවට තුරුල් කරන් අසේලි දිහාම බලන් හිටපු ආදිත්‍ය එක පාරටම පියවි සිහියට ආවේ දුරකථනය ඇමතුමක හඩින්.

"ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා" අසේලි කියද්දි ආදිත්‍ය අසේලිව අත ඇරලා සාක්කුවට අත දාලා දුරකථනය අතට ගත්තා.

"හෙලෝ...."

"හෙලෝ...ආදි...කොහෙද ඉන්නේ" අවිශ්කගේ කටහඩ දුරකථනයෙන් ඇහෙද්දි ආදිත්‍ය බැලුවේ එයාගෙන් ඈතට වුනු අසේලි දිහා.

"ලගට ආවා.ඇයි? පාර්ටිය ඉවරයිද?"

"තාම නෑ.උඹ පෙන්න නැති නිසා බැලුවේ"

"පේන්න නැති වුනාම බලන්න මං මොන්ටිසෝරි ලමයෙක්ද? තියපන් ෆෝන් එක.මං එන්නම්" ආදිත්‍ය ඒක කිව්වේ සාරි පොටත් අල්ලගෙන වටේට හැරි හැරි හිටපු අසේලි දිහා බලාගෙන.ඒ ගමන්ම දුරකථනය විසන්ධි කරපු ආදිත්‍ය දුරකථනය සාක්කුවට දාගත්තා.

"මේ...මං යන්නම්" අසේලි කිව්වේ පුලුවන් තරම් ආදිත්‍යගේ ඇස් මග ඇරලා

"කීයටද ඕක ඉවර වෙන්නේ?"

" දන්නේ නෑ.පාන්දර වේවි"

"හ්ම්ම්...ඉවර වෙලා බෝඩිමට යන්නේ කොහොමද?"

"නෙහාරා ඉන්නවා.තව යාලුවෝ ඉන්නවා"

"හ්ම්ම්...හරි එහෙනම් යන්න" ආදිත්‍ය කියද්දි අසේලි යන්න හැරුනා.ඒ හැරුනු අසේලි ආයෙත් ආදිත්‍ය දිහා බැලුවා.

"ඔයා කොහෙද යන්නේ?"

"මං කොල්ලුපිටියෙ යාලුවෙක්ගේ පාර්ටි එකක හිටියේ.එහේ යනවා.අවිශ්කත් ඉන්නවා"

"හා...පරිස්සමෙන් යන්න" එහෙම කියපු අසේලි ආයෙත් කැම්පස් පාර දිගේ යන්න ගියා.
මේ සිද්දිය මතක් වෙනවත් එක්කම එක්කම ආදිත්‍යට හිනාවක් ගියේ එයාට නොදැනීමයි.

"මොකද මොකද මේ තනියෙන් හිනා වෙන්නේ" ආදිත්‍ය දිහාවට හැරුණු අවිශ්ක අහද්දි ආදිත්‍ය බිම බලාගත්තා.

"ආව්..ආව්..මූණත් එක්ක රතු වෙලා.මොකක්ද මල්ලි වුනේ" අවිශ්ක ඒ සැරේ ඇහුවේ අසේලි දිහාත් බලන ගමන්.

"මොනවා වෙන්නද? පිස්සුද?" ආදිත්‍ය කිව්වේ අවිශ්කගෙන් මූණ හංගන ගමන්.

"ඔව් ඔව් අපට තමා පිස්සූ..බෑග් එක ගනින්.ට්‍රේන් එක එනවා කිව්වා" අවිශ්ක කිව්වේ බෑග් එකත් අරගෙන නැගිටින ගමන්.

"කිව්වද එනවා කියලා" ආදිත්‍ය ත් බෑග් එක අරන් නැගිටින ගමන් ඇහුවේ පුදුමෙන්.

"නැත්තම්...උඹට ඉතින් ඒවා ඇහේවිද.මනෝ ලෝකේනේ හිටියේ" අවිශ්ක කිව්වේ අසේලි දිහා බලලා ඉගි කරන ගමන්.

දුම්රිය ඇවිත් නවත්තන්නවත් එක්කම පිරිමි ලමයි ටික ඉක්මනින්ම දුම්රිය ට නැගගත්තේ වාඩි වෙන්න තැන් අල්ලගන්න හිතාගෙන.හිතුවා වගේම සෑහෙන සෙනගක් දුම්රිය ට හිටියා වුනත් කට්ටියටම ඇති වෙන තරමට එක ලග වාඩි වෙන්න ශීට් අල්ලගන්න පුලුවන් වුනා.ආදිත්‍ය ජනේලේ ලග ශීට් එකේ වාඩි වෙද්දි එයා ඉස්සරහින් විහාරායි අසේලියි වාඩි වුනා.බෑග් එකක් උඩට දාන්න ගියපු අවිශ්ක ටිකකින් ඇවිත් ආදිත්‍ය ලග වාඩි වෙනවත් එක්කම විහාරා එතනින් නැගිට්ටා.

"ඇයි?" අසේලි ඇහුවේ එක පාරටම එතනින් නැගිටපු විහාරා දිහා බලන ගමන්.

"නෙහාරා මෙතනට එන්නකෝ" අසේලි අහපු එක නෑහුනු ගානට විහාරා එහා පැත්තේ ශීට් එකේ වාඩි වෙලා හිටපු නෙහාරාට කිව්වා.එතකොටම අවිශ්ක එතනින් නැගිට්ටා.
"ඔයා ඉන්න.මං යන්නම්" අවිශ්ක එහෙම කිව්වත් විහාරා ඒක ගනන් ගත්තේ නෑ.නෙහාරා එතනට නැගිටලා එනවත් එක්කම විහාරා ගිහින් නෙහාරාගේ ශීට් එකෙන් වාඩි වුනා.ඒ නිසා අවිශ්කත් ආයෙම වාඩි වුනා.

ටික වෙලාවකින් දුම්රිය ගමන ආරම්භ වෙනවත් එක්කම කට්ටියම සිංදු කියන්න පටන් ගත්තා.ගෙනාපු කෑම ජාති කන ගමන් සිංදු කිය කිය යන ගමන හැමෝටම හරිම විනෝදජනක වුනා.නැගිටලා සිංදු කිය කිය ඉන්න අයගේ නිල ජායාරූප ශිල්පියා විදියට වැඩ කරේ ආදිත්‍ය.මෙහෙම හැමෝගෙම ජායාරූප ගත්ත ආදිත්‍ය එහේ මෙහේ බැලුවේ අසේලිව හොයන්න.කලින් විහාරා ලගට වෙලා සිංදු කියපු අසේලි පේන්න නැති නිසා ආදිත්‍ය වටපිට බැලුවා.

ජනේලේ ලග ශීට් එකක වාඩි වෙලා දුරකථනයෙන් කතා කරන අසේලිව දැකපු ආදිත්‍ය කැමරාව ඒ පැත්තට හරවලා අසේලිගේ ජායාරූප කීපයක්ම ගත්තා.ඊට පස්සේ ආදිත්‍යත් එතනින්ම වාඩි වුනා.

"ඉතින් ඔයා නංගිගෙන් අහන්න ඕනේ නම්.මං ආවේ කැම්පස් යාලුවෝ සෙට් එකක් එක්ක." අසේලි කියනවා ආදිත්‍යට ඇහුනා.

"ඉතින් ඔයා ගෙදර ඉන්න එපැයි ඔයාට කියන්න.බොරුවට කියවන්න එපා අයියේ.මං තාත්තට කියලා අවසර අරන් ආවේ.ඔයා තාත්තා නෙවෙයිනේ ඔච්චර කියවන්න"

"................................................."

"හරි හරි ඊලග සැරේ ලියුමක් ලියලා වැදලා අවසර අරන් එන්නම්කෝ මං.පුදුම වදයක්නේ අප්පා ඔයාගෙන්"

".............................................."

"අනේ මේ මං තියනවා.අහන්න ඕනේ දෙයක් තියෙනවා නම් ඔයා තාත්තාගෙන් අහගන්න මෙතන මට වද දෙන්නේ නැතුව."

"......................"

"බායි...බායි...බුදුසරණයි" අසේලි එහෙම කියන ගමන්ම දුරකථනය විසන්ධි කරලා ජනේලෙන් එලිය බලාගත්තේ තරහෙන්.කොච්චර ආදරේ වුනත් නිමන්ත මේ ඕනවට වඩා තමන් ගැන හොයන එකට අසේලිගේ කැමැත්තක් තිබුනේ නෑ.ඒකට විශේශම හේතුව වුනේ මේ හෙවිල්ල ලගකදි ඉදන් වැඩි වුනු එක.නිමන්තට තමන් ගැන සැකයි කියන එක අසේලිට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.

"මොනවද කල්පනා කරන්නේ" එක පාරටම තමන්ගේ එහා පැත්තෙන් ඇහුනු හඩට අසේලි ගැස්සිලා හැරිලා බැලුවා.

"මේ මං බය වුනා...මොනවා කරනවද මන්දා" ආදිත්‍යව දැකපු අසේලි කිව්වේ පපුවත් අල්ලගෙන.

"බය වෙන්න මං යකෙක්ද? මොනවද හිතුවේ?" ආදිත්‍ය ඇහුවේ ශීට් එකේ හරිබරි ගැහිලා වාඩි වෙන ගමන්.

"විශේශ දෙයක් නෑ" අසේලි කිව්වේ ශීට් එකෙන් නැගිටින්න හදන ගමන්.ඒත් ආදිත්‍ය අසේලිගේ අතින් අල්ලලා ආයෙත් වාඩි කෙරෙව්වා.

"ඉන්න ටිකක්"

"ඇයි...??" වාඩි වුනු අසේලි ඇහුවේ අමනාපයෙන් වගේ.

"ඇයි මාව මග ඇරලා යන්න හදන්නේ?"

"මගඇරියේ කව්ද? හැමෝම සිංදු කියනවා.එතනට යමු"

"එයාලා කියාගත්තදෙන්.අපි නෑ කියලා ඒක නවතින්නේ නෑනේ.මට කතා කරන්න දෙයක් තියෙනවා" ආදිත්‍ය ඒ සැරේ කිව්වේ බැරෑරුම් හඩකින්.

"ඒ මොකක්ද?"

" අර ඇත්තට එදා ඔයාගේ ෆෝන් එකට කතා කරේ කවුද?"

"මං දන්නේ නෑ අනේ..ඕකද ඔයාට කතා කරන්න තියෙන වැදගත් දේ"

"ඔව්...ඒක මට වැදගත් තමයි" ආදිත්‍ය තදින් කියද්දි අසේලි ශීට් එකට හේත්තු වුනා.

"හරි දැන් ඒ කොල්ලා මොකක්ද කිව්වේ?"

"ඔයත් එක්ක තියෙන සම්බන්දේ නවත්තන්න කිව්වා.කැම්පස් කෙල්ලට කැම්පස් එකෙන්ම ගොඩ යන්න දෙන්න කිව්වා"

"ඉතින් ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" අසේලි කිව්වේ ටිකක් වෙලා ගිහින්

"වැරැද්ද මොකක්ද කියන්නේ.ඌ කොහොමද ඔයාගේ ෆෝන් එක ආන්සර් කරලා මට එහෙම කියන්නේ?" ආදිත්‍ය ඒ සැරේ ඇහුවේ සැරෙන්.

"එයා කියපු එක ගැන නෙවෙයි මං කියන්නේ.ඔයාට තරහ යන්න දෙයක් කියලා නෑනේ කියලා.අපි දෙන්නගේ ඇත්තට එහෙම සම්බන්දයක් නෑනේ නේද? ඉතින් ඇයි ඔයා කලබල වෙන්නේ"අසේලි එහෙම ඇහුවේ හොරෙන් ආදිත්‍ය දිහා බලන ගමන්.

"ආ....." අසේලි අහපු එකට ආදිත්‍ය අසේලි දිහා බැලුවේ පුදුමෙන්.

"නෑ...මං ඇහුවේ නෑ නේද කියලා අපි දෙන්නගේ සම්බන්දයක්?" අසේලි අහද්දි ආදිත්‍ය අසේලිගේ පැත්තට එබුනේ අසේලි ජනේලේ දිහාවට ඉබේටම තල්ලු වෙද්දි.

"නැද්ද? ආ...." මූණටම කිට්ටු වුනු ආදිත්‍ය අහද්දි අසේලි බලන් හිටියේ නිල් පාටට දිලිසෙන ඇස් දෙක දිහා.

*****************************************
රාජකාරි වැඩ පෞද්ගලික වැඩ ගොඩක් මැද්දේ හිර වෙලා සැරින් සැරේට අසනීප වෙන නිසයි ඊයේත් කතාව ගේන්න බැරි වුනේ.ඒත් හෙටයි අනිද්දයි දෙකේම කතාව ගේනවා.ඊලග නිවාඩු දවස් දෙක ඇත්තටම නිවාඩු ගන්නයි හිතන් ඉන්නේ 
ආදරෙන් ඉන්න ❤️

4 comments: