Tuesday, May 22, 2018

සැලුන් අක්කලා



මා කොහෙත්ම සැලුන් රසිකාවියක් නොවෙමි.එසේ වීමට හේතු කීපයකි.ඒවායින් එකක් නම් මට ඕවාට යන්නට ඇති කම්මැලිකමයි.එක ගමනින් වැඩ දහයක් කරගැනීමට පිටත් වන මට සැලුන් යාම බොහෝවිට අතපසු වේ.මගේ යෙහෙළියන් කියන ලෙස නම් අතපසු වනවා නොව මා එය අතපසු කරමි.එක වැඩකට පමනක්  මුල සිට ඇද පැලද ගෙදරින් පිට වීම තරම් මට එපා කරන දෙයක් නොමැති නිසා සැලුන් යනවා කියා ගමනක් මට කොහෙත්ම නැත.දන්නා අදුරන අය බොහොමයක් එන  මගුල් ගෙදරක් ලග පාතක තිබුනොත්  පමණක්  කඩේ ගිහින් එන ගමන් ඇස් බැමි හදාගන්න යන්න හිතන මම ඒ යන්නේද  යන්නම ඕනේ යැයි සිතුනොත් පමණි.

නමුත් මූලිකම හේතුව වෙනත් එකකි .

මා සැලුන් යාමට අකමැති ප්‍රධානම හේතුව වන්නේ සැලුන් අක්කලාය.මොන සැලුන් එකට ගියත් සියලුම සැලුන් අක්කලා සිටින්නේ එකම මොඩල් එකකට ය.කියන්නේ එකම දේවල්‍ ය.කියන ආකාරයද බොහෝවිට එක සමාන වේ.සැලුන් ගිය විට අවසානයේ සිදු වන්නේ  අරන් ගිය තුට්ටු දෙකට තට්ටු වීම හා  හිත රිදවාගෙන ගෙදර ඒමට සිදු වීමයි.

මෙය ආරම්භ වන්නේ ඔවුන් අප දෙස හෙළන නිරීක්ෂණාත්මක බැල්මකිනි.ඉන්පසු කතාව ආරම්භ වේ...

"මිස්ගේ මූණ හරියට කලු වෙලානේ මිස්.සන්  ක්‍රීම්(sun cream) ගාන්නේ නැද්ද?.ෆේශල් එකක් කරා නම් හැබැයි ඕක ටක් ගාලා හරි යනවා.කරමුද? "

"මිස් කලින් කොහෙන්ද අයි බ්‍රෝස්(eye brows) හැදුවේ?මේ හරියට හදලා නෑනේ..එකක් ලොකුයි එකක් පොඩියි.ප්‍රශ්නයක් නෑ.මං දැන් හරියට හදන්නම්කෝ.අපෙන් දිගටම හැදුවා නම් මෙහෙම වෙන්නේ නෑ"

"මිස්  අපර් ලිප් (upper lip) එකත් ත්‍රෙඩින්ග්(threading)  කරමූ.මේ සෑහෙන ෆේශල් හෙයා(ර්) (facial hair) තියෙනවනේ.වැඩිය යන්නේ නෑ.වැඩිපුර 100ක් විතර යන්නේ"

"මිස්ගේ ඇස් යට හරියට කලු වෙලානේ.අලුතෙන් ආපු ක්‍රීම් එකක් තියෙනවා.සතියෙන් හරි යනවා.මිස්ට නිසා මං 600ට දෙන්නම්.පිටින් ගන්නවා නම් 1000ට වැඩියි."

"අහ් කොන්ඩෙ ලේයර් කරන්නද? හරි හරි මිස් බය වෙන්න එපා.ලස්සනට කපලා දෙන්නම්.නෑ නෑ මං එහෙම කොණ්ඩේ ගොඩක් කොට කරන්නේ නෑ.එත් ඉතින් කපනකොට ටිකක් කොට වෙනවා.මිස්ට තේරෙනවනේ ඉතින්" 

මේ කියන කොට කිරිල්ල ලේසි පහසු කොට කිරීමක් වන්නේ නැත.කොටින්ම මා අවසානයේ සැලුන් එකෙන් එලියට එන්නේ ජිවිතේට නැවත කොණ්ඩේ කපන්නේ නැත යන අධිශ්ඨානයෙනි.

ඒ විතරකින් මේ කතාව නිම වන්නේ නැත.සැලුන් අක්කලා කියන පරිදි මගේ මූණේ තරම් වලවල් ගොඩක් හදේ වත් නැත.මූනේ ඇති කලු පැල්ලම් යැවීම අපහසු මුත් ඇය ලබාදෙන නානාප්‍රකාර ක්‍රීම් බාවිතයෙන් එය ඉතා පහසුවෙන් ඉවත් කරගත හැකි වේ.ඒ කෙසේ වූවත් සමේ සහ කෙස් කළබේ ස්වබාවය ඉතා වියලි වන අතර ඇයගේ සැලුනයෙන් ස්කින් හා හෙයා(ර්) ට්‍රීට්මන්ට් කිරීමෙන් එය සුව කරගත හැකි වේ.ඇයට අනුව ඇයගේ සැලුනය වටපිටාවේ ඇති හොදම හා පිරිසිදුම සැලුනය වන අතර අනිකුත් බොහෝ සැලුනයන්හී වැඩ එච්චර හොද වන්නේ නැත.

මේ සියල්ල අවසන් වන්නේ සැලුන් අක්කා විසින් නියම කරන ලද ක්‍රීම් එකක් ගැනීමෙන් හෝ ඇය විසින් ඉතා හොද යැයි පවසන ලද ට්‍රීට්මන්ට් එකක් කරගැනීමෙනි.

සැලුන් අක්කලා ගැන කිසිම අවබෝදයක් නැති මුල් කාලයේ මා ද මෙවැනි ගොන් කම් කළ අතර දැන් නම් ඒවාගෙන් බේරෙන්නට මා ඇය යෝජනා කරන සියලුම ක්‍රීම් වර්ග සහ ට්‍රීට්මන්ට් වර්ග ප්‍රතික්ශේප කරන්නේ  ඉතා ප්‍රභල වාක්‍යයක් පවසිමිනි.ඒ නම්.

"මගේ මූන හරි සෙන්සිටිව් අක්කේ.මොනා ගෑවත් පිම්පල් දානවා.මේ ඩොක්ටර් කෙනෙක්ගේ ක්‍රීම් එකක් ගාලා මෙහෙම ඉන්නේ.වෙන මොනවත් කරන්න එපා කියලා තියෙන්නේ" 

මේ අක්කලා මොනා නැතත් දොස්තරලා කියන දේ පිළිගන්නා නිසා වැඩේ ශේප් වේ.

බොහොමයක් සැලුන් අක්කලා මේ ආකාරයේ වන නමුත්  අප ගැනත්  සිතන සැලුන් අක්කලාද ඉතා කළාතුරකින් සිටින බව ඉතා සන්තෝශයෙන් යුතුව  මතක් කරන අතර  ඒ විරල සැලුන් අක්කලාට මාගේ  ආදරය හා ගෞරවය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙය කියවූ ඔබ සැමට ස්තූතියි. 💓

ප.ළි. කෙසේ වූවත් උපතින් ලැබුණු මුහුණ හා කොණ්ඩය ඒ ලෙසම තබා ගැනීම කෝකටත් හොද බවද මතක් කරනු කැමැත්තෙමි.









9 comments:

  1. akkala ...... konde kotama karada nangage

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා 😭😭😭 මට මැරෙන්න හිතුනා 😒

      Delete
  2. Though I'm a male I'm sure , this is a very timely and informative article for ladies.

    ReplyDelete
    Replies
    1. Thank you so much 😊 This is the terrible salon truth 😂

      Delete
  3. මටත් මාරක ගමනක් වගේ ඔය සැලුන් යැවිල්ල. හාවා හඳ දකිනවා වගේ මම දුවන්නේ, ඒත් යන්නේ මහා හදිස්සියේ. සම්පුර්ණ ඇත්ත, අපි ආවේ මොන වැඩේට උනත් ; දොරෙන් ඇතුල් වෙනකොටම අට අනූවක් ව්‍යාධි අපෙන් පේන බව කියනවා. මම නම් කවදාවත් අහුවෙලා නැහැ ඒවාට නම්. පොලවේ පස් කකා කිව්වත් මට ඕනේ නම් විතරයි ගන්නේ/කරන්නේ. ඒ හින්දා දැන් දැන් එයාල මම ආපු ගමන් මගේ වැඩේ කරලා දීලා පිටමන් කරනවා. හි හි හි. එකපාරක් මගේ කොන්ඩේ පාටකරන්නම හැදුවනේ, පාලුයි කියල. ඒ කිව්ව විදියට කරන්න හිටපු පාට කිරිල්ලත් මම අතාරලා දැම්ම. හි හි හි

    වැද්දෙක් වගේ උනත් මමත් ඉතින් ඔය ඉන්නේ යසට!

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඕකට ගිය මුල් කාලේ ඉතින් ඒ අක්කගේ කතාව අහලා මං කරා ෆේශල් එකක්.හෙන ගනන් නේ.සල්ලිත් ගෙදරින්.ගෙදර ගියාම තාත්තා කියනවා මේ මොකද මේ? තම්බපු ඉස්සෙක් වගේනේ කියලා.එච්චරම තමයි.ආයේ නම් මෙලෝ දෙයක් කරේ නෑ.කොන්ඩේ නම් හැමදාම කපනවා කොටම වෙන්න.කොච්චර කිව්වත් එච්චරයි.ගෙදරින් කපාගන්න බැරිම නම් තමා යන්නේ.නැත්තම් වෙන්නේ ගෙදර ආපු වෙලාවේ ඉදන් කොන්ඩේ දික් වෙන්න කියලා තෙල් ගාන එක තමා :) දැන් ඉතින් මේ තියෙන පෙනුම මට හොදටම හොදා කියල සන්තොසෙන් ඉන්නවා

      Delete
  4. සැලූන් අක්කලාගේ ගාණ කපාගැනීම කියල දැම්ම නං තවත් හොඳයි. අපට ඉතින් අත්දැකීම් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න ගිහින් බලන්න.ඒක වෙනම අත්දැකීමක්.මෙකේ ගාන කපා ගැනිල්ලට වඩා අපිව මානසිකව වට්ටනවා

      Delete