Sunday, June 17, 2018

ආදරණීය නපුරා - විසි තුන් වන කොටස


සහනුයි සජිනියි සජිනිලගේ ගෙදර එනකොට දවල් 10ට විතර වුනා.සජිනිලා එන බව දන්න නිසාම සජිනිලගේ අම්මායි තාත්තයි උදේ ඉදන්ම මග බලාගෙනයි හිටියේ.

"තාත්තා....." කාර් එක හරියට නවත්තන්නත් කලින් එලියට බැස්ස සජිනි දුවලා ගියේ තාත්තා ලගට 

"හෙමින් හෙමින්...පොඩි ලමයෙක් වගේ මෙයා"සජිනිගේ තාත්තා කිව්වේ එයාව බදාගෙන ඉන්න සජිනිගේ ඔලුව අත්ගාන ගමන්.

"ඉතින් මං ඔයාට වඩා කොහොමත් පොඩියිනේ තාත්තේ..කෝ අම්මා" 

"අන්න කුස්සියේ උයනවා.උදේ ඉදන්ම බලාගෙනයි හිටියේ"

"ඔය ඉතින් හෙමින් යන්න ලමයෝ..අම්මා කොහේවත් යන්නේ නෑ" සජිනිගේ තාත්තා කෑගැහුවේ දිග ගවුමත් උස්සගෙන පඩිපෙල නගින සජිනිට.

දෙන්නගෙම බෑග් දෙකත් අරන් සහන් එතනට ආවේ ඒ වෙලාවේ 

"මේ පුතාවත් අමතක කරලා දාලනේ මේ කෙල්ල  දිව්වේ.කෝ දෙන්න මං එකක් ගන්නම්" සජිනිගේ තාත්තා සහන්ගේ අතේ තිබ්බ බෑග් එකක් ගන්න හැදුවා 

"නෑ නෑ මට පුලුවන් තාත්තේ"

"අද කාලේ කොල්ලෝ ඉතින් අපට වඩා හයියයිනේ.එහෙනම් එන්නකෝ අරගෙන.කාමරෙන් තියලා ඇග ටිකක් හෝදගන්න"

එහෙම කියපු සජිනිගේ තාත්තා සහන්ව එක්කගෙන ගියේ සජිනිගේ කාමරේට.

"මේක තමයි අපේ දෝණියැන්දගේ කාමරේ.අපි කිසි දෙයක් වෙනස් කරේ නෑ.බඩුවක් වෙනස් කරොත් නහින්න හදනවනේ මේ කෙල්ල"සජිනිගේ තාත්තා කිව්වේ සජිනිගේ මේසේ ලගට යන ගමන්.සජිනිගේ මේසේ උඩ එක එක බඩු පිරිලා.සහන් බෑග් දෙක තියලා බැලුවේ සජිනිගේ ඇදෙන් වාඩි වුනා 

මේ එහා පැත්තේ තියෙන්නේ බාත් රූම් එක පුතා.වොශ් එකක් එහෙම දාගෙන එන්නකෝ එහෙනම්.මහන්සිත් ඇතිනේ" එහෙම කියලා සජිනිගේ තාත්තා එළියට ගියේ සහන්ට කාමරේ හොදට බලන්න දීලා 

සජිනිගේ කාමරේ නිකන් කාර්නිවල් එකක් වගේ කියලා සහන්ට හිතුනා.බිත්ති වල ලස්සන පින්තූර එල්ලලා ඇදට උඩින් සජිනිගේ එක එක ෆොටෝ තියලා අල්මාරියේ පවා ස්ටිකර් අලවලා.වටේම බලපු සහන් ඊලගට ගියේ ජනේලේ ලගම තියලා තිබ්බ සජිනිගේ මේසේ ලගට.මේසේ උඩ සජිනිගේ පොත් වගයක් තියලා තිබුනේ තව පොඩි පොඩි බඩු ගොඩකුත් එක්කමයි.ඒ ලගම තිබ්බ රාක්කේ තිබුනේ ඩීවීඩි ගොඩකුයි නවකතා පොත් ගොඩකුයි.ඒවා බලන සහන්ට ඉබේටම හිනා ගියා.

ඒ පොත් ඔක්කොම වගේ බොලද ආදර කතා.ඒ තිබ්බ ඩිවිඩි පවා එහෙමයි.මේවා බල බල හිටපු සහන්ට මතක් වුනේ නදිනි නම් මේ වගේ පොත් වලට වැඩිය කැමති නෑ නේද කියලා.නදිනි හැමදාමත් කැමති වුනේ ගැඹුරු අර්ථයක් තියෙන කතා වලට.ලෝක ප්‍රසිද්ද පරිවර්ථන පොත් ගොඩක් නදිනි ලග තිබුනා.නදිනිගේ හැම උපන්දිනේකටම සහන් නදිනිට පුරුද්දක් විදියට පොතක් තෑගි කරා.ඒක තෝරන්න වුනත් අමාරුවක් නොවුනේ සහනුත් ඒ පොත් වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා.ඒ අතින් නදිනියි සජිනියි අහසට පොළව වගේ කියලා සහන්ට හිතුනා.

සහන්ගේ ඒ කල්පනාව බිදිලා ගියේ සජිනිගේ කටහඩින්.

"එන්නකෝ අනේ මෙහෙට,ඔයාට දැන් මාව අමතක වෙලාද?" සහන් ජනේලෙන් එබිලා බලනකොට දැක්කේ පොඩි පූස් පැටියෙක් පස්සේ දුවන සජිනිව.

'මේ අර මාත් එක්ක ගෙදර රණ්ඩු කරපු කෙල්ල නම් නෙවෙයි' මේ දිහා බලන් ඉන්න සහන්ට ඉබේටම හිනා ගියා

සජිනි පූස් පැටව්න්ට බලු පැටව්න්ට එහෙම පොඩි කාලේ ඉදන්ම ආදරෙයි.ඒත් ගෙදර පූසෝ බල්ලෝ තහනම් නිසා සජිනි දරුවෝ වගේ බලාගත්තේ පාරේ ඉන්න වටේ ගෙවල් වල ඉන්න පූසෝ බල්ලෝ.දැන් මේ ආවම ඒ පූසන්ට එයාව අමතක වෙලාද කියලා සජිනිට දුක හිතුනා.පූසා පස්සෙන් දුවන සජිනි හදිස්සියේම දැක්කේ එයාගේ කාමරේ ජනෙලෙන් බලන් හිනා වෙන සහන්ව.සහන්ව දැකපු සජිනි එහෙම්ම එතනම නැවතුනා.

'සහන් හිනා වෙද්දි ඉස්සර වගේම ලස්සනයි' සජිනිගේ හිත කියද්දී සජිනි එහෙම්ම ටිකක් වෙලා බලන් හිටියා.එක පාරටම සජිනිගේ මූන වෙනස් වුනා.සජිනි එහෙම්ම ගේ ඇතුලට දුවගෙන වගේ ආවා.

සජිනි ගේ ඇතුලට එනවා බලන් හිටපු සහන් ඇවිත් ඇදෙන් වාඩි වෙලා තුවායක් අතට ගන්නකොටම සජිනිගේ කටහඩ ඇහුනේ කාමරේ දොර ලගින් 

"ඔයා මෙතන මොකද කරන්නේ?"

"මං මේ නාන්න කියලා" 

"නාන්න? කොහෙද?" 

"අරකේ" සහන් පෙන්නුවේ සජිනිගේ කාමරේටම අල්ලලා තිබ්බ නාන කාමරේ 

"ඒකේ කොහොමද ඔයා නාන්නේ? ඊටත් වඩා කවුද ඔයාට මේ කාමරේට එන්න කිව්වේ?" සජිනි ඇහුවේ තරහෙන් පිපිරි පිපිරි 

"තාත්තා එක්කන් ආවේ,ඇයි මොකක්ද ඒකේ ප්‍රශ්නේ?"සහන් කිව්වේ ගානක්වත් නැතුව 

"ප්‍රශ්නේ තමයි මං කැමති නෑ මගේ කාමරේට පිට කවුරුවත් එනවට"

"පිට කවුරුවත්??" එහෙම කියපු සහන් හෙමීට ආවේ සජිනි ලගට 

"මං පිට කවුරුවත්ද? හොදට මතක් කරලා බලන්න.මට මතක විදියට නම් මං ඔයාගේ මහත්තයා.මට ඉන්න බැරි නම් ඔයාගේ කාමරේ කාටද ඉන්න පුලුවන්" එහෙම කියපු සහන් සජිනි ලගින් හැරුනා 

"මං එහෙම කියලා මෙයාගේ කාමරේට ගියා නම් බලන්න තිබ්බා" සජිනි තමන්ටම මුමුණ ගත්තා.

"මොකක්ද කිව්වේ?" සහන් ආයෙත් සජිනි දිහාට හැරුනා 

"නෑ නෑ මුකුත් නෑ.නාගන්න එහෙනම්" සහන්ට ඔරවපු සජිනි කාමරෙන් යන දිහා සහන් බලන් හිටියේ හිනා වෙවි.

සජිනි කෙලින්ම ආවේ කුස්සියට.මේවා අම්මටවත් කියන්න බෑනේ කියලා සජිනි හිතුවේ තරහෙන් .තරහෙන්ම කුස්සියේ බැම්මට හේත්තු වුන සජිනි අම්මා කප කප හිටපු කොස් කෑල්ලක් කටේ දාන් හපන්න ගත්තා.

"කී සැරයක් කියන්න ද දරුවෝ කිරි කොස් අමුවෙන් කෑවම බඩ රිදෙන්න ගන්නවා"

"හරි හරි අම්මේ.."

"විදූ ආවලු නේද එහේ?" සජිනිලගේ අම්මා ඇහුවේ සජිනි දිහා බලන්.

"හ්ම්ම් ආවා"

"එහේ යන්න අද හවස වත්.එයත් තනියෙන්නේ.මෙහේ එක්කන් එන්න රෑ කෑමට"

"එයාට කෝල් කරමුකෝ මෙහෙට එන්න කියලා.ඉවරයිනේ අම්මා එතකොට.ගිහින් එක්කගෙන එන්න පොඩි ලමයෙක්යැ"

"ඒකත් ඇත්ත.කෝල් එකක් දෙන්න එහෙනම්"

"එයත් පණ්ඩිතයිනේ අම්මේ,මෙහෙ ඇවිත් ඉන්නේ නැතුව තනියෙන් ඉන්නේ අර ගෙදරට වෙලා"

"තනියෙන් නෙවෙයිනේ දරුවෝ,සුමනා අම්මාත් ඇවිත් ඉන්නේ"

"සුමනා අම්මා ඇවිත්ද? එහෙනම් කමක් නෑ.මං කතා කරලා කියන්නම්කෝ"

එහෙම කියලා සජිනි සාලෙට ආවේ විදූශට කෝල් එකක් දෙන්න හිතාගෙන.කෝල් එක ගන්න අතරේ සජිනි වටපිට බැලුවේ සහන්වත් තාත්තාවත් පේන්න නැත්තේ ඇයි කියලා.

සහන් සජිනිගේ තාත්තා එක්ක වත්ත පහළට ගියේ තාත්තගේ ගම්මිරිස් වගාව බලන්නත් එක්ක

"තාත්තා මේ වැඩේ හොදට කරනවා නේද?"

"මං ඉස්සර ඉදන්ම ආස වැඩක් පුතා මේ වැඩේ" සහන් හොදට ගස් වටේ ගිහින් බැලුවා.'මේවගෙන් හොද ආදායමක් එනවා ඇති' සහන්ට හිතුනා.සජිනිගේ තාත්තගේ ගම්මිරිස් වගාවත් එක්කම තව එලවලු පලතුරු වගවකුත් තිබුනා.

"ඒක නෙවෙයි තාත්තේ,මට තාත්තාගෙන් දෙයක් අහන්න පුලුවන්ද?" සහන් ඇහුවේ තාත්තගේ වගාවන් බලලා ආපහු එන ගමන්.

"අහන්න දරුවෝ"

"සජිනි ඇයි විදූශට අකමැති වුනේ" මේ කතාවට තාත්තා සහන් දිහා බැලුවේ පුදුමෙන් වගේ.

"විදූ වෙන්න ඇති කිව්වේ" සජිනිගේ තාත්තා ඇහුවම සහන් ඔලුව වැනුවා.

"මං කතාවක් කියන්නම්කෝ,සංජු පොඩි කලේ අපි මේ ගේ හදනකොට ඉතින් එයාටත් ගෙදර සැලැස්ම එහෙම පෙන්නලා විස්තර කරා.මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ දරුවෝ.ඉතින් කාමර තුනයි හදන්න හිතුවේ.මගේ අම්මත් ඒ කාලේ අපි එක්ක හිටියේ" මේ කතාවට සහන් හරි උනන්දුවෙන් අහන් හිටියා

"පුතා  දන්නවද අපේ සංජු  ගෙදර සැලැස්ම බලලා මොකක්ද ඇහුවේ කියලා"

"මොකක්ද?"

"කෝ මේකේ විදූට කාමරයක් කියලා ඇහුවනේ අපේ කෙල්ල" තාත්තගේ කතාවට සහන්ගේ කටත් ඇරුනා.තාත්තා ඒ දිහා බලලා හිනා වුනා.

"මටත් හරි පුදුම හිතුනා.මං ඇහුවා ඇයි විදූට මොකටද කියලා,සංජු කියනවා ඉතින් තාත්තේ විදූ මගේ අයියනේ ඔයාගේ පුතානේ.ඔයාගේ දුවට කාමරයක් හදලා ඇයි පුතාට නැත්තේ කියලා" සජිනිගේ තාත්තා හිනා වුනා

"ඉතින්?" සහන්ට හරි පුදුමයි මේ කතාවට

"ඉතින් දරුවෝ කාමර තුනේ ගෙයක් හදන්න හිටපු මම කාමර හතරේ ගෙයක් හැදුවා"

"ඒ කියන්නේ විදූශටත් මෙහේ කාමරයක් තියෙනවද?"

"ඔව්,දැන් පුතාට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනාද?"

"හ්ම්ම්..." සහන් උත්තර දුන්නේ ලොකු කල්පනාවක

ඔව් සහන්ට ඒ උත්තරේ හම්බුනා.සජිනිට විදූශ ගැන එහෙම හිතන්න බැරි බව දැන් සහන්ට තේරෙනවා.සහෝදර බැදීමක් ප්‍රේමණීය හැගීමක් කරන්න බෑ.ඒක වෙනම දෙයක්.සජිනිගේ හිත සහන්ට තේරෙන්න ගත්තා.

දවල් කෑමෙන් පස්සේ සජිනිගේ අම්මයි තාත්තයි පන්සලට පිටත් වුනේ දායක සංගමේ රැස්වීමක් තියෙනවා කියලා.ඇගේ මහන්සියටත් එක්ක සහන් සජිනිගේ ඇදෙන් ඇලවුනා.ජනේලෙන් එන හුලගේ සනීපෙටත් එක්ක සහන්ට නින්ද යාගෙන එනකොටමයි සජිනි කතා කරනවා ඇහුනේ

"ඔයා මොකද මෙතන කරන්නේ?" සහන් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා

"ඔයා ඕක කලිනුත් ඇහුවා"

"මේක මගේ ඇද"

"ඔයාගේ ඇද කියන්නේ මගෙත් ඇද"

"මේක යකාගේ වැඩක්නේ" සජිනිට දැන් හොදටම තරහ ගිහින්

"මොකක්ද?"

"එහේ ඉන්නකොට එක නීතියක්.මෙහේ තව එකක්"

"එහෙම තමයි" සහන් ආයෙත් ඇස් පියාගත්තා

"යන්නකෝ මගේ ඇදෙන්.මට නිදාගන්න ඕනේ.මහන්සියි" සජිනි සහන් ලගටම ගිහින් කිව්වා

"ඉතින් නිදාගන්න.මේ ඕනේ තරම් ඉඩ තියෙන්නෙ"

"මේ මිනිහා නම් ඇත්තට...." සජිනිට කතාව ඉවර කරන්න වුනේ නෑ.

"ඔයාට ඕනේ නම් මේකේ නිදාගන්න,නැත්තම් මට නිදාගන්න දීලා යන්න" සහන් එහා පැත්තට හැරුනේ සජිනිගේ කොට්ටෙකුත් බදාගෙන

"මගේ කොට්ටේ දෙනවා" එහෙම කියපු සජිනි ඒ කොට්ටෙත් අරන් කාමරෙන් ගියේ සහන්ටත් රවාගෙන

'දැන් යන්නකෝ ඔයා,රෑට ඔයාට මේකට එන්නම වෙනවනේ..' සහන් හිතුවේ කට කොණකින් හිනා වෙන ගමන්.

*********************************************************************************

ඔන්න ගෙනාවා,අද ටිකක් පරක්කුයි තමයි.ඒත් දිග කතාවක් ගෙනාවා.

හෙට හම්බෙමු....

ආදරෙන් ඉන්න 💖

6 comments:

  1. ඒ කොටු කොටු seen එකක් coming soon baby

    ReplyDelete
  2. සහන්ට මොකො මේ වෙලා තියෙන්නේ

    ReplyDelete
  3. කතාව සම්පුර්ණයෙන් වෙනස් වෙන්න වගේ යන්නේ. ඉක්මනට ඉතුරු ටික දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න දාලා තියෙන්නේ :)

      Delete