Tuesday, June 26, 2018

ආදරණීය නපුරා - තිස්තුන් වන කොටස



"කොහෙටද යන්නේ" සහන් ඇහුවේ වාහනේ පාරට දාන ගමන්.කාගෙන්වත් උත්තරයක් නැති තැන සහන් බැලුවේ සජිනි දිහා.

"කොහෙද යන්නේ?" සහන් ඒ පාර සජිනි දිහා බලන් අහනකොට සජිනි නදිනි හිටපු පිටිපස්සේ ශීට් එක පැත්තට හැරුනා 

"කොහෙටද නදිනි ඔයා යන්න කැමති" සජිනි ඒක අහනකොට සහන් ආයෙත් සජිනි දිහා බැලුවා 

'එයාගෙන් ඇහුවම කොහෙටද යන්න ඕනේ කියලා එයා නදිනිගෙන් අහනවා.මට නදිනිගෙන්ම අහන්න තිබ්බේ' සහන් කල්පනා කරා

"දැම්ම කන්න යන්නත් කලින් වැඩියිනේ" සජිනි කිව්වම නදිනි කල්පනා කරන්න ගත්තා. 

"ම්ම්ම්...විහාරමහාදේවි එකේ කාර්නිවල් එකක් තියෙනවා කියලා එෆ්බී පෝස්ට් එකක් දැක්කා .එහේ යමුද?" නදිනි ඇහුවේ ටිකක් කල්පනා කරලා

"හා යමු" සජිනිත් කිව්වේ ඒකට එකග වෙලා.සහනුත් ඒකට ඔලුව වැනුවා .

ටිකකින් විහාරමහාදේවි එක ලග වාහනේ නවත්තපු සහන් සජිනිටයි නදිනිටයි බහින්න කිව්වේ එයා වාහනේ නවත්තලා එනකම්.

"කමක් නෑ නේද මං මෙහෙට එමු කියපු එක?" නදිනි සජිනිගෙන් ඇහුවම සජිනි හිනා වුනා 

"අයියෝ ඔයා එහෙම කියපු එක හොදයි.මට නම් කිසිම අදහසක් තිබ්බේ නෑ කොහෙ යන්නද කියලා"

"ජීවක හරි ආසයි කාර්නිවල් වලට .බැන්දට පස්සේ ජීවක එක්ක මෙහේ තියෙන හැම කාර්නිවල් එකටම ආවා.දැන් ඇවිත් ඇවිත්මද කොහේ මාත් ආසයි" නදිනි කිව්වේ හිනා වෙවි 

"ජීවක අපේ වයසෙද?"

"අවූරුදු 3ක් වැඩිමල් අපට වඩා.හරි ප්‍රශ්න අනේ මුල් කාලේ.අපි දෙන්නා සම්පූර්ණ වෙනස්.මං කැමති සැර කෑම කන්න,එයා කැමතිම නෑ.එයා හරීම පිරිසිදුයි පිළිවලයි.එයාගේ පිළිවලට හැදෙන්න හරි අමාරු වුනා.ඒ විතරක් නම් බැරියෑ,එයා දවසෙම වැඩ කරලා නිවාඩු දවසේ එළියට යන්න කැමතියි.මං කැමති ගෙදර ඉන්න.මං කැමතියි නිතරම කෝල් කරනවට.ඒකට එයා කෝල් කරන්නෙම නෑ"නදිනිගේ කියවිල්ලට සජිනිට හිනා ගියා 

"එච්චරද?"

"අපෝ නෑ..පොතක් ලියන්න තරම් වෙනස්කම්"

"ඉතින් ඔයාද වෙනස් වුනේ?" සජිනි ඇහුවම නදිනි හිනා වුනා 

"අපි දෙන්නම.එයා සැර කෑමට පුරුදු වුනා.මං එයා එක්ක එළියට යන්න පුරුදු වුනා.ඒ වගේ ඉතින් අපි දෙන්නට දෙන්නා පුරුදු වුනා" නදිනි කිව්වේ ඒ හිනාවෙන්මයි.ජීවක මතක් වෙලා නදිනිගේ ඇස් වලට කදුලු පිරෙනවත් සජිනි බලාගෙනයි 

'එච්චර වෙනස්කම් තිබිලත් ඒ දෙන්නා අද සතුටෙන්.අපේ වෙනස්කම් ඇත්තෙම නැතුව අපි කොච්චර දුරින්ද ඉන්නේ' සජිනි හිතුවේ දුකෙන් 

ඒත් එක්කම සහන් ආපු නිසා එයාලා ටිකට් අරන් ඇතුළට ගියා.මහ ගොඩක් රෑ වෙලා නැති වුනත් ඒ වෙනකොටත් කාර්නිවල් එකේ සෙනග පිරිලා.

"අර අතන අච්චාරු කඩයක්.ටිකක් අරන් එන්නම් මං" නදිනි එහෙම කියලා සෙනග අස්සෙන් රිංගලා එතනට ගියේ සහන්වයි සජිනිවයි තනි කරලා.සජිනිගේ මූණේ අමුතු වෙනසක් සහන් දැක්කේ මේ වෙලාවේ. 

"ඇයි සජිනි?" සහන් ඇහුවේ ඒ නිසාමයි

"මුකුත් නෑ" සජිනි එහෙම උත්තර දුන්නත් සහන්ට මතක් වුනේ සෙනග වැඩි තැන් වලට කැමති නෑ කියලා සජිනි කියපු කතාව.

ඒත් එක්කම එතනට ආවේ අච්චාරු බෑග් එකකුත් ගත්ත නදිනි.

"ආ මෙන්න ගන්න" නදිනි අච්චාරු බෑග් එක සජිනිලට දික් කරා.සජිනි ඒක ගත්තත් සහන් නම් ඒ දිහා බැලුවේවත් නෑ 

"මේ ගෑනු ලමයි ඇයි ඔච්චර ඔය අච්චාරු ජාති වලට කැමති"සහන් ඇහුවේ නදිනියි සජිනියි ඒවා කන දිහා බලන් ඉදලා 

"මගේ නම් එහෙම ලොකු කැමැත්තක් නෑ.හම්බුනාම කනවා" සජිනි කිව්වේ නදිනිට ආයෙත් බෑග් එක දෙන ගමන් 

"මං නම් ආසයි" නදිනි කිව්වේ වෙරළු ගෙඩියක් කටේ දාගන්න ගමන් 

"හරි හරි අපි යමුද ඉස්සරහට...." සහන් ඇහුවේ එක තැන ඉන්නකොට මිනිස්සුත් ඇගේ හැපෙනවා වැඩි නිසා.

ඉස්සරහට යද්දි එක පාරටම කවුදෝ අතින් අල්ලගත්ත බවක් තේරුන සජිනි බය වෙලා බැලුවේ වික්‍රමගේ සිද්දියත් අමතක නැති නිසා 

"මම මම අල්ලගත්තේ...බය වෙන්න එපා" සහන් ලග ඉදන් කියද්දි සජිනිට සැනසිල්ලක් වගේම ලැජ්ජවකුත් දැනුනා.

"ඔහොම බෑ ඉතින්..මහත්තයාගේ අත අදුරගන්න පුලුවන් වෙන්න ඕනේ" සහන් සජිනිගේ කණට කරලා කිව්වේ කාර්නිවල් සද්දේ නිසා.ඒ කතාවට සජිනි රතු වුනා 

සෑහෙන දුරක් එක එක බඩු බල බල බයිට් ජාති කකා ඇවිදගෙන ගියත් සහන් විනාඩියකටවත් සජිනිගේ අත අතැරියේ නෑ 

"යමුද අපි දැන්" සජිනි කිව්වේ නදිනි දිහා බලලා.නොකිව්වට නදිනි හරි මහන්සියෙන් ඉන්නේ කියලා සජිනිට තේරුනා.

"හරි එහෙනම් යමු..වාහනේ ගෙන්නම් මං .කොහොමත් දැන් 8යි.කන්නත් ඕනනේ" එහෙම කියපු සහන් වාහනේ ගෙන්න ගිය අතරේ සජිනි නදිනි දිහා බැලුවා.

"ඔච්චර අච්චාරු කාලා දැන් රෑට කන්න පුලුවන්ද"

"බෑ අනේ...හිතුවේ නෑ එච්චර කැවේවි කියලා"

"පොඩ්ඩක් හරි කමු හොදේ..අන්න කාර් එක එනවා" සජිනි නදිනිගේ අතින් අල්ලගෙන කාර් එකට ගියා.

එයාලා ගියේ කොලඹ ප්‍රසිද්ද අවන්හලකට.කෑම ඇණවුම් කරලා වාඩි වෙලා ඉන්න අතරේ නදිනි වැසිකිළියට ගියා.නදිනි ගියාට පස්සේ සජිනි කල්පනාවකට වැටුනා 

"මොනවද හිතන්නේ?"  සහන් ඇහුවේ සජිනිගේ කල්පනාව නිසාමයි 

"මුකුත් නෑ"

"මුකුත් නෑ කියලා පේනවා අහස පොළව ගැට ගහන්න කල්පනා කරන විදියෙන්" සහන් කිව්වේ කටකොණකින් හිනා වෙන ගමන් 

"නෑ මං මේ හිතුවේ..." සජිනි කතාව පටන් ගන්නකොටම කෑම ගෙනාපු නිසා සජිනිගේ කතාව නැවතුනා.එත් එක්කම එතනට නදිනි ආපු නිසා කට්ටිය කෑම බෙදාගන්න ගත්තා.

"ඔයා මස් කනවද නදිනි? ඉස්සර වෙජිටේරියන් නේද?" සහන් ඇහුවේ නදිනි මස් කෑලි 3ක්ම බෙදාගන්නවා බලන් ඉදලා 

"අහ් මේ ඔව්..දැන් කනවා" නදිනි කිව්වේ සහන්ගේ ඇස් මග ඇරලා 

"නදිනි..ඔයා ප්‍රෙග්නන්ට් ද?" සජිනි එක පාරටම ඇහුවේ සහන් වගේම නදිනිත් පුදුම කරලා

"මොකක්ද?" සහන් ඇහුවේ පුදුම වෙලා 

"අහ් ඔව්.." නදිනිගේ කතාවට සහන් තවත් පුදුම වුනා 

"දැන් කොච්චර කල් ද?" සජිනි අහද්දි නදිනි හිනා වුනා.

"මාස 3 පහු වෙලා" 

"ජීවක දන්නවද?" සජිනි ඇහුවම නදිනි ඔලුව දෙපැත්තට වැනුවේ ඇස් වල කදුළු පිරෙද්දි

"ඇයි ඒ? එයා මේක දැනගන්නම ඕනනේ" සජිනි ඇහුවේ නොඉවසිල්ලෙන් 

"එයා රට ගිහින් මේක මං දැනගනිද්දි.මට ඕනේ වුනේ මුලින්ම එයාට කියන්න.ෆෝන් එකෙන් නැතුව මූණට කියන්න.ඒ මූණ වෙනස් වෙන හැටි බලන්න" ඒක කියනවත් එක්කම නදිනිගෙන් ඉකියක් පිට වුනා.කම්මුල් දිගේ කදුළු බේරෙන්න ගත්තා 

"හරි හරි දැන් අඩන්න එපා..ඔයා අපි ලග ඉන්නවනේ..ජීවක එනකම් අපි බලාගන්නම්.නේද සහන්?" සජිනි ඇහුවේ බය වෙලා බලන් ඉන්න සහන් දිහා බලලා.

"අහ් ඔව් ඔව් අපි බලාගන්නම්...බය වෙන්න එපා" සහනුත් කිව්වේ නදිනිගේ හිත හදන්න හිතාගෙන.

ආපහු එන ගමනේ සජිනියි නදිනියි දෙන්නා බබා ගැන වගේම එයාලා අම්මලගෙන් ඒ ගැන අහලා තියෙන එවා කතා කර කර ආවත් සහන් මේ කතා වලට සම්බන්ධ වුනේ නෑ.

"ඔයා එතකොට ඩොක්ටර් කෙනෙක් හම්බුනාද?"

"තාම නෑ...ජීවක ආවම යන්න කියලා හිතුවේ?"

"ඔයා කැමති පුතෙක්ටද? දුවෙක්ටද?"

"දුවෙක්ට" නදිනි කියද්දි සජිනි හයියෙන් හිනා වෙලා අත්පුඩියකුත් ගැහුවා.

"මාත් මාත්...මාත් කැමති දුවලට.හරි හුරතල් නේ එයාලා" සජිනි කියද්දි සහන් සජිනි දිහා බැලුවා

'මේ වගේ හුරතල් දුවෙක් නම් මාත් කැමතියි' ඒ හිතුවිල්ලටම සහන්ට හිනා ගියා

'ඉස්සර සජිනි දැක්කත් තරහ ගියපු මං මේ සජිනි වගේ දුවෙක් ගැන හිතනවා.මට පිස්සුද මන්දා' මේ හිතෙන දේවල් වලට  සහන්ට එයා ගැනම පුදුමයි

මේ අය ගෙදර එනකොට රෑ 10ටත් කිට්ටු වෙලා.ඒ නිසා ගෙදරට ආපු ගමන්ම කට්ටිය ගියේ නිදාගන්න.

සජිනි නාන කාමරේට ගිහින් එනකොට සහන් ඇදට වෙලා ෆෝන් එක බල බලයි හිටියේ.සජිනි කණ්ණාඩි මේසේ ලගට වෙලා කොණ්ඩේ පීරන්න ගත්තා

"කොහොමද දැනගත්තේ?" සහන්ගේ ප්‍රශ්නෙට සජිනිට හැරිලා බැලුවා

"මොකක්ද?"

"නදිනි ප්‍රෙග්නන්ට් කියලා"

"මට නිකන් තේරුනා"

"ඉතින් මට තේරුනේ නෑනේ"එහෙම කියන ගමන් සහන් ඇදෙන් නැගිට්ටත් කණ්ණාඩිය දිහා බලන් හිටපු සජිනිට ඒක තේරුනේ නෑ

"ඔයාලට ඕවා තේරෙන්නේ නෑ"

"අපිට තේරෙන්නේ නැති වෙන්න අපි බබ්බුද? කියනවකෝ කොහොමද දැනගත්තේ" සහන් කියද්දි සජිනි කොණ්ඩේ පීරලා ඉවර වෙලා ඇදට යන්න හිතාගෙන හැරුනා.ඒ හැරෙනකොටම සජිනිට පස්සෙන් අල්මාරියට හේත්තු වෙලා හිටපු සහන් දැකලා සජිනි ගැස්සුනා

"අම්මෝ...මං බය වුනා..හොල්මනක් වගේ ඉන්නවා මෙතන"සජිනි සහන්ව පහු කරලා යන්න හදනකොට සහන් සජිනිගේ අතින් අල්ලගත්තා.

"කවුද දන්නේ නෑ හොල්මන.කතාව මාරු කරන්න එපා.කොහොමද දැන ගත්තේ?" සහන් ඇහුවේ සජිනි ලගටම ඇවිත්

"ඉතින් එයා හරි මහන්සියෙන් වගේ හිටියේ..අච්චාරුත් කෑවනේ"

"අච්චාරු ඔයත් කෑවේ..ඔයත් ප්‍රෙග්නන්ට් ද එතකොට" සහන් අහද්දි සජිනිගේ මූන රතු වුනා

"අනේ මේ පිස්සු කියවන්න එපා...අතාරින්න මගේ අත.නිදාගන්න යන්න ඕනේ" සජිනි අත ගලවගන්න හැදුවා

"ඉන්න ටිකක්" සහන් එහෙම්ම ටිකක් ඉස්සරහට ගිහින් කණ්ණාඩි මේසේ උඩ තිබ්බ මොකක්ද කවරයක් ගත්තා.ඒකේ තිබිලා සහන් ගත්තේ ලස්සන කොණ්ඩ කටු වගයක්.

"මේ ගන්න..."

"මටද" සජිනි ඇහුවේ පුදුමෙන්

"නෑ තිළිණි අක්කට ගත්තේ.උදේට ගිහින් දෙන්න" සහන් කිව්වේ සජිනිට ඔරවගෙන.සහන්ගේ කතාවට සජිනි හිනා වුනා

"තැන්ක් යූ සහන්..කාර්නිවල් එකෙන්ද ගත්තේ..."

"නැත්තම් ඉතින්"

"හපෝ...පොඩ්ඩක් හොදට කතා කරොත් ඊට පස්සේ ගොරවනවා" සජිනි කියාගත්තේ තමන්ටමයි.

"මේ තනියෙන් කියවන්නේ නැතුව එනවා මෙහෙට නිදාගන්න"

සජිනිත් ලයිට් නිමලා ගිහින් ඇදේ ඇලවෙනකොටම ලොකු අත් දෙකකින් එයාව ඇදලා ගත්තා.

"සජිනි..."

"ම්ම්ම්..."

"දැන් මං ඔය කොණ්ඩ කටු දුන්නා නේද?"

"හ්ම්ම්..."

"ඕවා දුන්නේ ඔයාට..ඕවා එහෙම කාටවත් දෙනවා නෙවෙයි"

"මං කාට දෙන්නද?" සජිනි කරුවලේම හිනා වුනා

"කියන්න බෑනේ...දෙන්නත් එක්ක එළියට යමු කිව්වම නදිනිවත් එක්කගෙන ගියපු ගෑනිනේ...ඒකයි මං මේ කිව්වේ" සහන් කිව්වේ සජිනිව පුදුම කරලා.

*********************************************************************************

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න...💖

6 comments:

  1. පෝයට බෝනස් පාර්ට් එකක් හරි කතා දන්සලක් හරි හම්බවෙනවද?

    ReplyDelete
    Replies
    1. හේ හේ බලමු නේද? උත්සහ කරන්නම්කෝ..අඩු ගානේ එහෙම නැති වුනොත් බ්‍රහස්පතින්දා උදේන්ම කොටසක් දෙන්නම්

      Delete
  2. අද නම් උන දේවල් හරි ලස්සනය්.

    ReplyDelete
  3. comment karanne ada unata hemadama kathawa kiyawana. Harima lassanai.

    ReplyDelete
    Replies
    1. Thank you so much.hama comment ekama mata godak watinawa.digatama kiyawanna

      Delete