Wednesday, June 27, 2018

ආදරණීය නපුරා - තිස් හතර වන කොටස



පහුවදා ඉරිදා නිසා හවස්  වෙනකම්ම  සහන් කරේ ටෙස්ට් මැච් එකක් බලපු එක.නදිනිත් ක්‍රිකට් වලට ආස නිසා එයත් සහන් එක්ක ඉදගෙන මැච් එක බැලුවා.සජිනි නම් ඒ මැච් බැලිල්ලට කැමැත්තක් වුනේ නැති නිසා එයාගේ පාඩුවේ පොතක් කියෙව්වා.

"මට නම් මේ ඉන්දියන්කාරයෝ පේන්න බෑ..." නදිනිගේ නෝක්කාඩුවට සජිනියි සහනුයි දෙන්නම හිනා වුනා

"ඉන්දියන්කාරයෝ අපට වඩා හොදයි.දැන්වත් ඇත්ත පිළිගන්න"

"මෙයා බලන්නකෝ සජිනි..ඔයා ලංකාව පැත්තෙද? ඉන්දියාව පැත්තෙද?"

"අපට එහෙම පැත්තක් නෑ....අපි හරි උපේක්ශාවෙන් තමයි තරගයක් බලන්නේ" සහන්ගේ කතාවට නදිනියි සජිනියි හිනා වුනේ බඩවල් අල්ලගෙන 

"මාර උපේක්ශාව මෙයාගේ...උපේක්ශාව කියලා ලියාගන්නවත් දන්නෙ නැතුව ඇති" නදිනිගේ කතාවට සජිනි ආයෙත් හිනා වෙන්න ගත්තා.

"මේ ඕවට එන්න එපා හරිද? මට සිංහල A එකක් තිබ්බා O/L වලට" සහන් කිව්වේ කමිසේ කරත් උස්සලා 

"ඉතින් අපට නෑ කියලද හිතුවේ.මේ බලන්නකෝ සජිනි මෙයාගේ කතාව"

"ඔයාලගේ රණ්ඩු වලට මාව අල්ලගන්න එපා...බොන්න මොනවා හරි හදන්නද?" සජිනි ඇහුවේ පුටුවෙන් නැගිටින ගමන්.

"හා යමු මාත් එන්නම්.මෙයා එක්ක මේව බලනවට වඩා හොදයි නිදාගන්නවා"

"ඉතින් නිදාගන්නවකෝ ගිහින්..සජිනි මට තේ එකක්" සහන් කෑගැහුවේ සජිනිලා කුස්සියට යන අතරේ 

"ඔයා දන්නවද සජිනි,සහන්ට O/L සිංහල විතරයි A තියෙන්නේ.අනිත් ඔක්කොම B" එහෙම කියපු නදිනි හිනා වෙන්න ගත්තා 

"නෑ..." සජිනි ඒ ගමන් වතුර එක රත් වෙන්න තිබ්බේ තේ හදන්න 

"ඔව් අනේ...එයා ඉතින් ඔහොම සිංහල වචනයක් ගැන කියපු ගමන් කියන්නේ එයාගේ සිංහල A එක ගැන"

"ඉතින් සිංහල A තියෙන එකම ලමයා එයා නෙවෙයිනේ" සජිනි ඇහුවේ පුදුමෙන් 

"එයාලගේ යාලුවො සෙට් එකේ A තිබිලා තියෙන්නේ මෙයාට විතරයි" නදිනි ආයෙත් හිනා වෙන්න ගත්තා 

"පව් අනේ..." සජිනි හිනා වෙවීම බිස්කට් පැකට් එකක් එලියට ගත්තා.

"කනවද?" සජිනි බිස්කට් එක දීලා ඇහුවට නදිනි ගත්තේ නෑ 

"එපා අනේ..ඕවට ආස නෑ.."

"ඉතින් ආස දෙයක් කියන්න.හදලා දෙන්නම්" සජිනි ඇහුවේ මේ කාලෙට නදිනි කන්න ආස ඒවත් ඇතිනේ කියලා හිතලා.

"මං පස්සේ කියන්නම්කෝ..මේ සජිනි මං තව ටිකකින් පොඩි ගමනක් යන්න කියලා..ඔයත් එනවද?

"ඒ කොහෙද?"

"ඇදුම් ටිකක් ගන්න.මං මහත් වෙලාද කොහෙද මේ ඇදුම් ටිකක් හිරයි"

"ඔව් ඔයා ඉස්සරට වඩා මහත් වෙලා තමයි" 

"ඒකනේ අනේ...සහන් කිව්වා මාව එක්කන් යන්නම් කියලා.ඔයත් එනවද" නදිනි කියද්දී සජිනිත් ඔලුව වැනුවේ හා කියලා.ඒත් එක පාරට ආපු අදහසකට සජිනි ආයෙත් නදිනි දිහා බැලුවා.

"බෑ නදිනි...තිළිණි අක්කගේ වැඩකට එන්න කිව්වා.අර ඉස්සරහ ගෙදර අක්කා.මං කිව්වේ ඔයාට.ඔයාලා ගිහින් එන්න"

"අයියෝ එහෙමද? එහෙනම් කමක් නෑ"

"නදිනි මේ තේ එක දෙනවද සහන්ට? මට කෝල් එකක් ගන්න ඕනේ අම්මට"  නදිනිට තේ එක දීපු සජිනි කෙලින්ම ගියේ කාමරේට.ෆෝන් එක හොයාගත්ත සජිනි කෝල් කරේ සහන්ගේ අම්මට 

"හලෝ"

"හෙලෝ අම්මා"

"කොහොමද පුතේ? මං මේ කතා කරන්නත් හිටියේ"

"ඇයි අම්මා හදිස්සියක්ද?"

"නෑ නෑ සහන්ගේ අක්කලා ඔන්න අනිද්දා  ලංකාවට එනවලු"

"ආ හරි ඉක්මනට එනවා නේද? "

"ඒකනේ..එනවා එනවා කිව්වට මෙච්චර ඉක්මනට ඒවි කියලා මාත් හිතුවේ නෑ .ඒකත් බලන්නකෝ අද උදේ තමයි කිව්වේ.ඒ ලමයා ඔහොම්මයි.අන්තිම මොහොතේ කියන්නේ"

"අක්කට අමතක වෙන්න ඇති අම්මේ,පොඩි එක්කෙනත් එක්ක තනියෙන්නෙ අක්කා ඔක්කොම කරන්නේ.අයියටත් වැඩ ඇතිනේ"

"ඔව් කරලා දෙන්නවත් අපේ කවුරුවත් එහේ නෑනේ.දුවත් එයාලව දැකලම නෑ නේද? "

"ඔව් වෙඩින්ග් එකට හිටියෙත් නෑනේ.ෆොටෝ විතරයි දැකලා තියෙන්නේ"

"ඒකනේ...මේ සැරේ ආවම මාස 2ක් විතර ඉන්නවලූ.එතකොට හොදට දැන අදුනගන්න බැරියැ"

"ඔව් ඒක තමයි"සජිනි ඒ අතරේ හිතුවේ කොහොමද මේක අම්මාගෙන් අහන්නේ කියලා

"දුව මේ වෙලාවේ මේ කතා කරේ මොකක් හරි උවමනාවක්ද?"

"මේ අම්මේ..මේකයි මේ පොඩි දෙයක් දැනගන්න කියලා"

"ඒ මොකක්ද?"

"සහන් වැඩියෙන්ම කන්න කැමති මොනවද අම්මේ? මං සමහර ඒවා නම් දන්නවා.ඒත් අම්මා මට වඩා දන්නවා ඇතිනේ" සජිනි කියද්දී අම්මා හිනා වුනා

"මොකද මේ ඒක පාරට? උපන්දිනෙත් තාම නෑනේ අපෙ එක්කෙනාගේ"

"නෑ නෑ එහෙම නෙවෙයි අම්මා.අද ඉරිදත්නේ .පොඩ්ඩක් හොදට කෑම හදන්න හිතුආ .ඒකයි"

"අහ් මං ඒත් හිතුවා....මේ...හරි හරි ඒකෙන් වැඩක් නෑ.සහන් වැඩිපුර කැමති ගමේ කෑමට.පොළොස්,කොස්,දෙල් වගේ ඒවට.ඒත් මේ වෙලාවේ හොයාගන්න බැරුව ඇති නේද?"

"අනේ ඒකනේ අම්මේ..මේ වෙලාවේ කොහොමද හොයාගන්නේ"

"එහෙනම් මං කියන්නද වැඩක්"

"මොකක්ද අම්මේ"

"ඔයා දන්නවද බුරියානි හදන්න"

"හදලා නම් නෑ හැබැයි ඉස්සර අපේ අම්මා හදනකොට අම්මට උදව් කරලා තියෙනවා.රෙසපි එකක් බලාගත්තා නම් හදන්න පුලුවන් "

"හරි එහෙනම් ඔයා බුරියානි එකක් හදන්න.බිත්තරත් බැදලා.සහන් හරි කැමතියි බුරියානි කන්න.හොද සැරට චිකන් හොද්දකුත් හදන්න"

"චිලි පේස්ට් එකක් වගේ හොදයිද අම්මා? වෙජිටබල් චොපිසියකුත් එක්ක "

"ඒවා නම් ඕනෙත් නෑ දරුවෝ බුරියානි වලට.ඔයාට ඕනේ නම් හදන්නකෝ"

"අම්මා ඩෙසර්ට් වලට මොනවද හොද?"

"බිස්කට් පුඩිමක් හරි කැරමල් එකක් හරි හදන්න.ඉක්මනට හදාගන්නත් පුලුවන්නේ"

"හරි අම්මා...මං එහෙම හදන්නම්කෝ.අම්මා සහන්ට කියන්න එපා හොදේ"

"අනේ නෑ පුතේ මං ඕවා කියනවද?.පුතේ සහන්ට කියනවද අනිද්දට අක්කලා ගන්න යන්න කියලා.තාත්තට කතා කරන්න කියන්නකෝ"

"හා හරි අම්මේ මං සහන්ට කියන්නම්" සජිනි එහෙම කියද්දිම පිටිපස්සෙන් ඇහුනේ සහන්ගේ කටහඩ

"මොකක්ද මට කියන්නම් කිව්වේ"

"අහ් මේ අම්මා ඉන්නේ කෝල් එකේ..කතා කරන්න"

"ඔයාගේ අම්මද මගේ අම්මද?" සහන් ෆොන් එක ගන්නේ නැතුව රහසින් ඇහුවේ සජිනි අම්මලා දෙන්නටම කතා කරන්නේ එකම විදියට නිසා

"ඔයාගේ අම්මා අනේ.." එහෙම කියලා සහන්ට රවලා ෆෝන් එක දීපු සජිනි එලියට යන්න ලෑස්ති වුනේ  කෑම හදන්න ඕනේ බඩු ගන්න හිතාගෙන.සජිනි ලෑස්ති වෙලා සාලෙට එනකොටම තමයි නදිනිත් ලෑස්ති වෙලා එලියට ආවේ

"අහ් ඔයා එනවද ඒ පාර"නදිනි ඇහුවේ සජිනිත් එලියට යන්න ලෑස්ති වෙලා නිසා

"නෑ නෑ නදිනි...මං මේ බඩු වගයක් ගන්න යන්න කියලා.ගෙදර බඩුත් ඉවර වේගෙන යන්නේ"

"අපි එක්කම යමු.මං දාන්නම් ෆුඩ් සිටි එක ලගින්" එහෙම කිව්වේ ලෑස්ති වෙලා එතනට ආපු සහන්

"හා යමු එහෙනම්" සජිනි එහෙම කියද්දි සහන් බැලුවේ නදිනි දිහා

"ඔයා ලෑස්ති වුනාද?"

"ඔව් මං රෙඩි"

"පුදුමයි.ඔයාට ඉස්සර පැයක් විතර යනවනේ ලෑස්ති වෙන්න"

"අනේ...එහෙම නෑ ඔයා පැයක් කලින් ලෑස්ති වුනාට මං මොනා කරන්නද?" නදිනිත් හිනා වෙවී කියනකොට පලවෙනි සැරේට සජිනිට හිතෙන්න ගත්තා සහනුයි නදිනියි එකට යවන එක හොද නෑ කියලා.ඒත් දැන් අම්මටත් කියලා ලෑස්ති වුන එකේ මේකම කරනවා කියලයි සජිනි හිතාගත්තේ.

"මේ ඔන්න කාලා එහෙම එන්නෙපා එළියෙන්.මං උයනවා හොදේ" සජිනි කාර් එකට නැගලා සහන්ට කිට්ටු වෙලා කිව්වේ  සහන් එලියෙන්  කාලා ඒවි කියලා. එහෙම වුනොත් මේ කරන ඔක්කොගෙන්ම වැඩක් නැති වෙනවා.

සජිනිගේ කතාවට සහන් හිනා වුනා

"නෑ නෑ කොහෙන්වත් කන්නේ නෑ.ගෙදර ඇවිත් ඔයාගේ කෑම එකමයි කන්නේ"

සජිනිව ෆුඩ් සිටි එකෙන් දාලා ගියාට පස්සේ සජිනි හොයාගත්ත බුරියානි රෙසපි එකේ හැටියට ඕනේ බඩු අරන්  ඉවර වෙනකොටත් 5ට කිට්ටුයි.

ඉක්මනටම ආපහු ගියපු සජිනි උයන්න ගත්තේ සහන්ලා එන්න කලින් උයලා ඉවර කරන්න හිතාගෙන.

සහන් රෑ කියපු කතාවට සජිනිගේ හිත අවුල් වෙලා තිබ්බේ.

'දෙන්නා එක්ක එලියට යන්න කතා කරාම නදිනිවත් එක්කගෙන ආපු ගෑනිනේ' සහන්ගේ ඒ කතාව සජිනිට දැනුත් ඇහෙනවා වගේ.

'ඒ කියන්නේ සහන් ඒ ගමන නදිනිව එක්කගෙන යන්න හිටියේ නැද්ද?' සජිනි කීප සැරයක්ම තමන්ගෙම අහගත්තා.සහන් කොණ්ඩ කටු අරන් දීපු එක ගැනත් සජිනිගේ හිතේ තිබ්බේ සතුටක්.ඒ වෙනුවෙන් සහන්ට මොනවා හරි කරලා දෙන්න ඕනේ කියලා තමයි මේ සජිනි මෙහෙම සහන් කැමති කෑම හදන්න ගත්තේ.

 කලින් හදලත් නැති නිසා  පැය දෙකක් විතර මහන්සි වෙලා සජිනි බුරියානි එකයි එළවළු චොප්සියකුයි හදලා බිත්තරත් බැදලා තිබ්බා.ඔක්කොම ලස්සනට මේසෙට තියලා සරසපු සජිනි බලන් හිටියේ සහන්ලා එනකම්.මේසේ ලග වාඩි වෙලා පැයක්ම බලන් හිටියත් සහන්ලා එන පාටක් තිබ්බේ නෑ.

සහන්ට කෝල් කරන්නත් හදලා සජිනි නිකන් හිටියේ මේ සර්ප්‍රයිස් එක අවුල් වේවි කියලා.

සහන්ලා එනකොට රෑ 9ත් පහු වෙලා.සහන් ගෙට ඇතුල් වෙනකොටම දැක්කේ ටීවී එකත් දාගෙන එතන පුටුවේ නිදාගෙන ඉන්න සජිනිව.

"සජිනිට නින්ද ගිහින් නේද?" සහන්ට පිටිපස්සෙන් බෑග් ගොඩකුත් උස්සගෙන ආපු නදිනි හොරෙන් වගේ ඇහුවේ සජිනිට ඇහැරේවි කියලා.

"හ්ම්ම්...මං එයාව ඇදට ගෙනියන්නම්"

"මං එහෙනම් නිදාගන්න යනවා සහන්,හරි නිදිමතයි"එහෙම කියලා නදිනි නිදාගන්න ගියාට පස්සේ සහන් සජිනිව උස්සලා ගන්න හැදුවේ එයාව ඇදෙන් තියන්න හිතාගෙන.

ඒත් එතකොටම සජිනිට ඇහැරුනා.සජිනි බය වෙලා බැලුවේ එයා ඉස්සරහ හිටගෙන බලන් ඉන්න සහන් දිහාව.

"ඇයි?" සජිනි ඇහුවේ නිදිමතෙන්මයි

"ඇයි මෙතන නිදි? යමු ඇදට" සහන් කියනකොට එක පාරටම සජිනිට මතක් වුනේ හදපු කෑම

"සහන්, කෑම හැදුවා.කමු" සජිනි කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්

"අනේ සජිනි කාලනේ ආවේ..." සහන් එහෙම කියනවත් එක්ක සජිනිගේ මූණ මැලවුනා.ඒක දැකපු සහන් සජිනි ලගට ආවා.

"නදිනිට බඩගිනියි කිව්වා.මටත් හරි මහන්සියි එයා එක්ක එහේ මෙහේ ඇවිදලා.ඒපාර කෑවා ඉතින්"

"අනේ චුට්ටක් කමුකෝ"

"බෑ සජිනි...බඩ හොදටම පිරිලා....මං යනවා වොශ් එකක් දාන්න" සහන් එහෙම කියලා යන්න ගිහින් ආයෙත් හැරුනා.

"ඔයා කාලද?"

"ඔව්.." සජිනි හෙමීට කිව්වා.දැන් කොහොමත් කන්න උවමනාවක් තිබ්බේ නෑ සජිනිට.සහන් කාමරේට ගිය අතරේ සජිනි ගියේ කෑම මේසේ ලගට.

පැය ගානක් තිස්සේ මහන්සි වෙලා හරි රසට ලස්සනට හදපු කැම ටික දිහා සජිනි දුකෙන් බලන් හිටියා.

'මේවා වීසී කරන්නත් බෑ' එහෙම හිතනකොට සජිනිට එක පාරට මතක් වුනේ සුමනා නැන්දව.සුමනා තමයි මේ අපාර්ට්මන්ට් වල පිරිසිදු කරන වැඩ කරන්නේ.අද හවස හම්බුන වෙලාවේ අද රෑ වෙනවා කියලා සුමනා කිව්වා කියලා සජිනිට මතකයි.සජිනි එහෙම්ම කෝල් එකක් ගත්තේ සුමනට

"හලෝ"

"සුමනා නැන්දේ මං සජිනි"

"අනේ ඇයි නෝනා මේ වෙලාවේ"

"මේ නැන්දා වැඩ ඉවරයිද?"

"දැන් තමයි නෝනේ වැඩ ඉවර වුනේ...දැන් ගිහින් උයන්නත් ඕනේ"

"අහ් නැන්දේ එහෙනම් මෙහෙට එන්නකෝ..මෙහේ කෑම තියෙනවා.මං දෙන්නම්" එහෙම කියලා ෆෝන් එක තියපු සජිනි ගියේ කෑම ටික ලෑස්ති කරන්න.ටිකකින් දොරේ බෙල් එක වැදුනේ සුමනා ආපු නිසා

"අනේ නෝනෙට පින් නෝනේ මේ කරන උදව්වට.මං එවන්නකෝ මේ බාජන ටික අපේ ලොකු කොල්ලා අතේ"

"ඒක කොයි වෙලාවේ ගන්න බැරිද? මං ලොකු අය තුන්දෙනෙක්ට ඉව්වේ.නැන්දටයි මහත්තටයි පොඩි දෙන්නටයි ඇති වේවි"

"අනේ මේ හොදටම ඇති නෝනේ.නෝනට පින්" සුමනා ගියේ සජිනිට පුළුවන් තරම් පින් දුන්නට පස්සේ.

කුස්සියට ගිහින් වතුර එකක් බීපු සජිනි ඇදට ගිහින් ඇලවුනා.

'කිව්වේ නම් ගෙදර ඇවිත් මගේ කෑමමයි කන්නේ කියලා.ඇයි සහන් ඔයා මෙහෙම වෙනස් වෙන්නේ' ඒ සිතුවිල්ලට සජිනිගේ ඇස් වල කදූලු පිරුනා.කදුලු වලක්වන්න හිතාගෙන සජිනි ඇස් වහගත්තත් ඒකෙන් වුනේ කදුලු එලියට පැනපු එක.

නාගෙන එළියට ආපු සහන් දැක්කේ ඇදේ ඇලවෙලා ඉන්න සජිනිව.ඇස් වහගෙන හිටපු නිසා සහන් හිතුවේ සජිනි නිදි ඇති කියලා.ඇදෙන් ඇලවෙන්න ගියත් වතුර තිබහක් ආපු නිසා සහන් ඇදෙන් නැගිටලා කුස්සියට ගියේ වතුර එකක් බොන්න.

එතකොටම තමයි සහන්ට ඇහුනේ කවුරුහරි දොරේ බෙල් එක ගහන සද්දේ.

*********************************************************************************

අද ගොඩක් අය කොටස් දෙකක් ඉල්ලුවා.කොටස් දෙකක් ලියාගන්න ටිකක් අමාරුයි.ඉතින් ඒ නිසා ඔන්න ඒකට හරි යන්න දිග කොටසක් ගෙනාවා

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න 💖

4 comments:

  1. ශැඃ, අපරාදෙ බුරියානිය

    ReplyDelete
    Replies
    1. මටත් ඒකමයි හිතුනේ

      Delete
  2. ගොං හරක් තඩියා ගමකනවා. :(

    ReplyDelete
    Replies
    1. ඔය කොල්ලෝ ඔහොම්මයි

      Delete