Friday, September 28, 2018

මන්දාරම් අහස යට - තුන්වන කොටස


හැම පැත්තෙන්ම ලොකු ගස් වලින් වට වුන පාරක් දිගේ අසේලි ඇවිදගෙන ගියේ යන්නේ කොහෙද කියලා කිසිම අරමුණක් නැතුව.වටේම කරුවලයි.එතකොට හවස් වෙලා වෙන්නැති කියලයි අසේලිට හිතුනේ.වහින්න කිට්ටු වෙච්ච ගතියකුත් පරිසරයේ තිබුනා.අසේලි එයා ඇදගෙන හිටපු රෝස පාට ගවුම ආසාවෙන් අත ගෑවා.ඒක ලගදි තිබ්බ උපන්දිනේට තාත්තා අරන් දීපු එකක් කියලා අසේලිට මතකයි.

මෙහෙම ඇවිදගෙන යන අසේලිව එක පාරටම ලොකු අතකින් ඇදලා ගත්තා.අසේලි හැමපැත්තටම හැරි හැරි උත්සහ කරේ ඒ ලොකු අත් දෙකෙන් බේරෙන්න.ඒ  එක අතක තිබ්බ උල් හයි කරපු  වලල්ලක තිබ්බ උල් අසේලිගේ අතේ වැදිලා අතත් තුවාල වුනා.මේ මුලු වෙලාවෙම අසේලි කෑගහන්න උත්සහ කරත් ඒක හරි ගියේ නෑ.ඒත් ඒ මිනිහා අසේලිව උස්සලා ගන්නවත් එක්කම අසේලි එයාට පුළුවන් වෙර දාලා හයියෙන් කෑගැහුවා.

"තාත්තේ...." 

"අක්කේ..."

"අක්කේ..." අසේලිට කවුදෝ කතා කරනවා ඇහුවේ හීනෙන් වගේ.

"අක්කේ නැගිටිනෝ..." අසේලි ඇස් ඇරලා බැලුවා.අසේලිගේ නංගි මේධාවී ඇදේ වාඩි වෙලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා දැකපු අසේලි ඇදෙන් වාඩි වුනා.

"මොකෝ හලෝ වුනේ?" මේධාවී ඇහුවේ අසේලිගෙන්.ඒකට උත්තරයක් නොදීපු අසේලි අත් දෙකෙන්ම ඔලුව අල්ලගත්තා.

"ආයෙත් අර හීන පේනවද?" මේධාවි ඇහුවේ අසේලිගෙන් සද්දයක් නැති නිසා 

"මට වතුර එකක් ගෙනත් දෙනෝ" අසේලිගේ කටින් ඒ වචන පිට වෙනවත් එක්කම මේධාවි නැගිටලා දිව්වේ අසේලිට වතුර එකක් ගේන්න.

'මොකක්ද මං ඒ දැක්කේ' අසේලි කල්පනා කරේ ඔලුවත් අල්ලගෙනමයි.

අසේලිට මෙහෙම හීන පේන්නේ පොඩි කාලේ ඉදන්මයි.මේ පේන හීන එකිනෙකට සම්බන්දෙකුත් නෑ.ඒත් ඒ හැම එකම අසේලිව බය කරනවා.මෙහෙම හීනෙන් බය වෙන්න ගත්තම ගෙදර අය අසේලිට එක එක බෙහෙත් කරන්න උත්සහ කරා.නූල බැන්දා,දෙහි කැපුවා,තොවිල් නැටුවා.දොස්තරලා හම්බෙන්න ගියා.කොටින්ම අසේලිට මේක හොදටම එපා වුනා.

හීන පේන එක නවතින්න කියලා අසේලි නිදාගන්නේ නැතුව හිටිය දවස් අනන්තයි.පේන හීන වලටත් වඩා මිනිස්සු ඒ ගැන දක්වන උනන්දුව අසේලිට කරදරයක් වුනා.ඒ නිසා අසේලි කරේ ඒ හීන පේන එක ගැන ගෙදරට හංගපු එක.මේ ගැන දැනගෙන හිටියේ අසේලිගේ යාලුවා විහාරායි අසේලිගේ කාමරේම නිදාගත්ත නංගි මේධාවී යි විතරයි.

මේධාවි ගෙනාපු වතුර එක බීපු අසේලි ආයෙත් ඇදේ ඇලවුනා.ලයිට් එක නිවපු මේධාවිත් අසේලි ලගින්ම ඇලවුනා.

"ඒ අක්කේ..."

"ම්ම්ම්..."

"මොකක්ද දැක්කේ?" මේධාවි අහපු එකට අසේලි උත්තරයක් දුන්නේ නෑ.

"කියනෝකෝ අනේ...වෙනස්ම එකක්ද?" මේධාවි හරිම උනන්දුයි මේ අසේලිගේ හීන ගැන.අසේලිට මේ හීන කරදරයක් වුනත් මේධාවිට මේ හීන හරිම ආස හිතෙන දෙයක් වුනා.එයා විශ්වාස කරේම මේවා අසේලිගේ පෙර ආත්මෙට සම්බන්ද දෙයක් කියලා.ඒ නිසාම මේ ගැන හරියකට දැනුම් තේරුම් තියෙන කාලේ ඉදන්ම  අසේලිට මේ හීන පේන දවස් එක්කම හීන වල විස්තරේ මේධාවි පොතක ලියලා තියන්නත් පුරුදු වෙලා හිටියා.

"කවුද මනුස්සයෙක් මාව උස්සගත්තා...මාව පැහැරගන්න හැදුවා මං හිතන්නේ" අසේලි කිව්වේ හෙමින්.

"ඉතින්? ඔයා තනියමද හිටියේ?" මේධාවි ඇහුවේ පුදුමෙන් 

"හ්ම්ම්..." මේධාවි හෙමීට අසේලිගේ අතින් අල්ලගත්තේ මෙහෙම හීන දැක්කම අසේලි දුක් වෙන බව දන්න නිසාමයි.

"ඇයි නංගි මටම මෙහෙම හීන පේන්නේ? මොන මගුලක් පේනවද දන්නේ නෑ.මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑ.මේක නවතින්නෙත් නෑ.පහුගිය කාලේ ටිකක් සැනසීමෙන් හිටියා පෙනුනේ නැති නිසා.දැන් ආයෙත් පේන්න පටන් අරන්.මොන කරුමයක්ද මන්දා මේක" අසේලි කියවගෙන ගියේ හිතේ වේදනාවටමයි.

"එහෙම හිතන්න එපා අක්කේ..ඕක හරි යාවි ඉක්මනටම" මේධාවි කිව්වේ අසේලිගේ හිත හදන්න.

"කොහේ හරි යන්නද? දැන් අවුරුදු කියක්ද? අපි ගෙවල් මාරු කරෙත් ඒකයි.කෝ හරි ගියාද නෑනේ"

"හරි හරි...හරි ගියේ නෑ මයි කියමුකෝ.ඒත් හලෝ ඔයාට අපි ඉන්නවනේ.අපි මොකෝ ඔයාට හීන පේනවා කියලා ඔයාව අතාරින් නෑනේ" මේධාවි කියද්දි අසේලිට කරුවලට හිනා වුනා.හිත හදන්න කියලා මේධාවි කියන මේ වගේ කතා අසේලිට හැමදාමත් ගෙනාවේ ලොකු සැනසීමක්.

"මේ පොඩි කෙල්ල දැන් පැහිලා තියෙන තරම්..." අසේලි කිව්වේ මේධාවිට පිටු පාලා පැත්තට හැරෙන ගමන්.

"අහ් මං දැන් පොඩි නෑ.හරිද?" මේධාවි එහෙම කිව්වේ අසේලිව පිටිපස්සෙන් වැලදගන්න ගමන්.

"එහාට වෙනවකෝ...පොඩි නෑ කිව්වට පොඩි අයගේ වැඩමයි කරන්නේ" අසේලි එහෙම කිව්වත් වැඩි විරුද්දත්වයක් පෙන්නන්න ගියේ නෑ.

අසේලිවත් තුරුල් කරගත්ත මේධාවි ඉක්මනින්ම නින්දට වැටුනත් අසේලිට නින්ද යන්න නම් සෑහෙන වෙලාවක් ගත වුනා.

පහුවදා සෙනසුරාදාවක් වුනත් අසේලිට උදෙන්ම නැගිටින්න වුනේ එයාගේ පරිඝනක පංතිය සෙනසුරාදා උදේට තිබ්බ නිසා.උසස් පෙළ ඉවර කරලා ගෙදර හිටපු අසේලිට මේ පංතියට යන්න කියලා බල කරේ අසේලිගේ අයියා නිමන්ත.අයියා කියන දේ ගෙදර අයත් හිස මුදුනින්ම පිළිගන්න නිසා අසේලිට සිද්ද වුනේ උසස් පෙළ ඉවර කරපු ගමන්ම පංති යන්න.මුලදි නම් මේකට අකමැති වුනත් විහාරාත් යන නිසයි එහේ මෙහේ ඇවිදින්න පුලුවන් නිසයි දැන් නම් අසේලි පංති යන්න හරිම කැමතියි.

උදෙන්ම නැගිටලා ලෑස්ති වුනත් අසේලිට එදා පංතියට යද්දි වෙනදට වඩා සෑහෙන පරක්කු වුනේ යන අතරමග සිද්ද වෙලා තිබ්බ වාහන අනතුරක් නිසා.එතන පැය බාගයක් විතරම බස් එක නවත්තගෙන හිටපු නිසා අසේලි පංතියට යද්දි පංතිය පටන් අරගෙනයි තිබ්බේ.ඒ නිසා අසේලිට විහාරා එක්ක කතා කරන්න පංති ඉවර වෙනකම්ම ඉන්න වුනා.

පංතිය ඉවර වෙලා අසේලි බලන් හිටියේ විහාරා එලියට එනකම්.ඈතින් විහාරා දැකපු අසේලි අත වැනුවා.හැබැයි විහාරා නම් අසේලි ලගට ආවේ එච්චර සතුටකින් නම් නෙවෙයි.

"මොකෝ නිකන් එක විදියක්" අසේලි ඇහුවේ විහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"මුකුත් නෑ" විහාරා කිව්වේ බිම බලාගෙන 

"මුකුත් නෑ වෙන්න බෑ.මොකෝ වුනේ?" 

"අවී කතා කරන්නේ නෑ අසේලි" විහාරා කිව්වේ අඩන්න වගේ මූණ හදාගෙන

'ඉතින් ඒක අලුත් දෙයක්‍ නෙවෙයිනේ.' අසේලි කල්පනා කරේ විහාරා දිහා බලාගෙන 

"හරි ඉතින්...දැන් මොකද වුනේ" අසේලි ඇහුවේ හරි පරිස්සමෙන්.මොකද විහාරා මෙතන අඩන්න ගත්තොත් ඒක නවත්තගන්න ශක්‍රයටවත් බෑ කියලා අසේලි දන්නවා.

"ඒක තමයි ඉතින් වුනේ" විහාරා කිව්වේ නහය උඩට අදින ගමන්.ඒත් එක්කම විහාරාගේ කම්මුල දිගේ කදුලක් බේරුනා.

'හරි ඉතින් දැන් මේ ඇඩිල්ල නවත්තන්නේ කොහොමද.' අසේලි එහෙම හිතුවත් ඇඩිල්ල නවත්තගත්තේ විහාරාමයි.

කම්මුල දිගේ බේරුන කදුල පිහිදගත්ත විහාරා අසේලි දිහාවට හැරුනා.

"අසේලි, මට උදව්වක් කරපන්"

"මොකක්ද?" අසේලි ඇහුවේ හැරෙන තැපෑලෙන් 

"මට කොහොම හරි එක පාරක් අවිශ්කත් එක්ක කතා කරන්න ඕනේ.ඒකට මට උදව් කරපන්" විහාරා කිව්වේ අසේලිගේ අත මිරිකන ගමන්.ටිකක් වෙලා විහාරා දිහා බලන් හිටපු අසේලි හිනා වුනා.

"අයියෝ ඕකද මේ...මං උදව් කරන්නම්.ඕක අහන්නත් දෙයක්ද?" අසේලි එහෙම කියනකොට විහාරා ලස්සනට හිනා වුනා.

'අම්මේ...කෙල්ල මේ මාසෙකින් විතර හරියකට හිනා වුනේ.කොහොම හරි විහාරාට උදව් කරන්න ඕනේ.' අසේලි හිතාගත්තා.

දෙන්නා කතාවෙන් කතාවෙන් බස් නැවතුමටම ආවා.

"යමුද අපේ ගෙදර අද?" විහාරා අසේලිගෙන් ඇහුවේ ඈත එන බස් එකක් දිහා බලාගෙන.

"බෑ සුදෝ.පුස්තකාලෙට යන්න ඕනේ.නංගි ගෙන්න කියලා පොත් දෙකක් ලියලා දුන්නා.ඒ දෙක ගන්න ඕනේ" 

"එහෙනම් මං මේ එන බස් එකේ යනවා හොදේ.ඔයා පරිස්සමෙන් යන්න" එහෙම කියපු විහාරා එතනට ආපු බස් එකට නැග්ගා.බස් එකට නැගපු විහාරාට අත වනපු අසේලි පුස්තකාලෙට යන්න හිතාගෙන පාරේ අනිත් පැත්තට පැන්නා.

පුස්තකාලෙට ඇතුල් වෙන්න ගිය අසේලි එහෙම්ම නැවතුනේ පුස්තකාලෙන් එළියේ දැකපු හුරුපුරුදු කෙනෙක් නිසා.

'මේ අර එදා මීගමුවෙදි හම්බුන අවිශ්කගේ යාලුවා නේද? එයත් එහෙනම් මෙහේ කෙනෙක්.' අසේලි කල්පනා කරේ ගහක් යට බංකුවකට වෙලා පාර බලන් ඉන්න ආදිත්‍ය දිහා බලාගෙන.

'අවිශ්කත් ආවද දන්නේ නෑ. විහාරාවත් එක්කගෙන එන්න තිබ්බේ' විහාරා තාමත් ඉන්නේ ආදිත්‍ය දිහා බලාගෙන.

'එක අතකට මේ කොල්ලත් වැරදි නෑ.මං මගේ යාලුවගේ පැත්ත ගත්තා වගේ එයත් එයාගේ යාලුවගේ පැත්ත ගත්තා.සාදාරණයි එක අතකට.මේක අවිශ්කගේ වැරැද්ද මිසක් වෙන කාගෙවත් වැරැද්දක් නෙවෙයිනේ.' අසේලි තවත් හිතනවා.

'මෙයාගෙන් අහලා බලන්නද අවිශ්ක ආවද කියලා.මෙයා උදව් කරාවිද මේ දෙන්නට කතා කරන්න.' අසේලි හිතුවේ සැකෙන්.

'ඔන්න ඔහේ ඕනේ දෙයක් වෙන්න කියලා මං ගිහින් කතා කරනවා.බලමු මොකද කියන්නේ කියලා.පේන තරම් යකා කළු නැතුව ඇතිනේ' අසේලි එහෙම හිතුවේ ආදිත්‍ය දිහාවට යන ගමන්.

මේ මුළු වෙලාවෙම ආදිත්‍ය හිටියේ ලොකු කල්පනාවක.පිටිපස්සෙන් ඇහුනු උගුර පාදන සද්දයක් නිසා ආදිත්‍ය හැරිලා බැලුවා.ඒ හිටපු කෙනා දැකලා ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

ආදිත්‍ය වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ ඒ පුදුමේ නිසාමයි.

"මේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" අසේලි ඇහුවේ අහිංසක විදියට.

"අහ්..." ආදිත්‍ය ඇහුවේ පුදුම වෙලා 

' මගේ මතකේ හරි නම් මේ අර පීසා හට් එකේ කෑගහපු කෙල්ල.ඒත් බලහන්කෝ දැන් කතා කරන හැටි.' ආදිත්‍ය හිතුවේ අහිංසක විදියට බලන් ඉන්න අසේලි දිහා බලාගෙන.

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" අසේලි ආයෙත් ඇහුවේ ආදිත්‍යගෙන් උත්තරයක් නැති නිසා

"මං දන්නේ නෑ ඉතින්.පොඩ්ඩක් බැරි නම් ගොඩක් කතා කරගන්න.මට අවුලක් නෑ" ආදිත්‍ය කියපු එකට අසේලිගේ කටත් ඇරුනා.

'ඉවසන්න අසේලි ඉවසන්න..ඔයා මේ කතා කරන්නේ විහාරා වෙනුවෙන්.' අසේලි හිතුවේ අමාරුවෙන් හිනා වෙන ගමන්.

"නෑ මං මේ කිව්වේ මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" අසේලි ආයෙත් කතා කරා.

"මොකක්ද? අර එදා වගේ වැදගත් දෙයක් නම් බුදු අම්මෝ....මට නම් බෑ.." ආදිත්‍ය ඒ සැරේ අත් දෙකත් වදින්න වගේ එකතු කරන් කියනකොට අසේලිට හිනා ගියා.

"නෑ නෑ..ඇත්තටම සොරි එදා වෙච්ච දේට.මං ටිකක් තරහ ගිහින් හිටියේ.ඒත් මට තේරෙනවා.මං මගේ යාලුවා වෙනුවෙන් කතා කරා වගේ ඔයත් කතා කරේ ඔයාගේ යාලුවා වෙනුවෙන්.ඉතින් ඒකේ වැරැද්දක් නෑ.සොරි ඒ වෙලාවේ කෑගැහුවට" අසේලි එක හුස්මට කියවගෙන ගියා.

අසේලිගේ කතාවට ආදිත්‍ය එක පාරටම පුදුම වුනත් ඒක පෙන්නුවේ නෑ.

"ආ...ඒකේ අවුලක් නෑ.ඒක ශේප්"  එහෙම කියාගෙනම ආදිත්‍ය ආයෙත් බංකුවෙන් වාඩි වුනා.

ආදිත්‍යගේ බංකුව ලග තිබ්බ මේසෙට ඉස්සර බංකුවෙන් අසේලි වාඩි වුනේ ආදිත්‍ය තවත් පුදුම කරලා.

"ඉතින් මේ අවිශ්ක පුස්තකාලේ ඇතුලෙද?"  අසේලි ඇහුවේ වටපිට බලන ගමන් 

' අහ් ඔය කිව්වේ ඇත්ත හේතුව..ඕක දැනගන්න තමයි මේ මෙතන සොරි කියාගෙන ආවේ ' ආදිත්‍ය කල්පනා කරේ හිත යටින් හිනා වෙන ගමන්

"නෑ මිනිහ අද ආවේ නෑ.මං මේ වෙන යාලුවෙක් එනකම් ඉන්නේ" ආදිත්‍ය කිව්වේ ගනන් ගන්නේ නැතුව.

"අහ් එහෙමද?" අසේලි මැලවුන කටහඩකින් අහද්දි ආදිත්‍ය හිත යටින් හිනා වුනා.ආදිත්‍ය හිතුවේ අවිශ්ක නැති නිසා දැන් අසේලි යාවි කියලා.ඒත් අසේලි නැගිට්ටේ නෑ.ටිකක් වෙලා කල්පනා කරපු අසේලි ආයෙත් කතා කරා.

"මේ...පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?"

"මොකක්ද?" 

"විහාරාට අවිශ්ක එක්ක එක පාරක් කතා කරන්න ඕනෙලු.අනේ ඒකට උදව් කරන්නකෝ.එකම එක පාරයි" අසේලි කිව්වේ බැගෑපත් හඩින්.

ආදිත්‍ය ටික වෙලාවක් එහෙම්ම අසේලි දිහා බලන් හිටියා.

"ඇයි දැන් මං එහෙම කරන්නේ? මට මොකක්ද ඒකෙන් තියෙන වැඩේ?" ආදිත්‍ය අහද්දි අසේලි බැලුවේ පුදුම වෙලා.

"ඔයාට...ඇති වැඩේ කියන්නේ...ඉතින් ..." අසේලි කියන්න හදද්දි ආදිත්‍ය ආයෙත් කතා කරා.

"මෙහෙමයි.මගෙත් පොඩි වැඩක් තියෙනවා.ඔයා ඒක කරලා දෙනවා නම් මං මේ උදව්ව කරනවා.මොකද කියන්නේ?" ආදිත්‍ය ඇහුවේ අත් දෙකත් බැදගෙන.

"මොකක්ද වැඩේ?" 

"ඔයා එක දවසකට මගේ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න ඕනේ" ආදිත්‍ය කියපු කතාවට අසේලිව බංකුවෙන් නැගිට්ටුනා.

*********************************************************************************

ඉක්මනට හම්බෙමු හොදේ...කතාවේ අඩුපාඩු හොද නරක ඔක්කොම කියන්න.සියල්ල සමසිතින් බාරගන්නෝ...

අද කතාව දිග වැඩිද මන්දා.එහෙමද? එහෙම නම් කියන්න.හෙට කොටස කොට කරලා දෙන්නම්.

ආදරෙන් ඉන්න....💖

2 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.ඇත්තටම මාත් ලගදි ලියන්න පටන් ගත්ත කෙනෙක්.ඉතින් අගය කිරීම් මට ගොඩක් වටිනවා.මං අනිවාර්යෙන්ම ඇවිත් බලන්නම්.ස්තූතියි

      Delete

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...