Monday, June 11, 2018

ආදරණීය නපුරා - දහඅට වන කොටස



සහනුයි යාලුවො ටිකයි මැච් එක බලනකම් සජිනි කට්ටියට කෑම ලෑස්ති කරා.කෑම ටික මේසේට තියලා තමයි සජිනි කට්ටියට කන්න කතා කරේ.

"එන්න අයියේ,කමු" සජිනි ඇවිත් කතා කරා.

"යමන් යමන් කන්න" සහනුත් කිව්වා 

"අම්මෝ ඔව් බඩගින්නෙ හිටියේ" විහග කිව්වේ බඩත් අල්ලගෙන මේසෙන් වාඩි වෙන ගමන් 

"යකෝ තැනකට ඇවිත් හරියට හැසිරියන්කෝ,නංගි මේ මූගේ මල විකාර" ගයාන් කිව්වේ විහගට රවලා 

"ඔව් නංගි.මූ කියන ඒවා ගනන් ගන්න එපා.මූ මේ මහ රෑ 12ට ඇහුවත් බඩගිනියි කියන එකා" සුදේශුත් ඒකට පෝර දැම්මා 

"අඩෝ දැන් මේ මාව බයිට් කරන්න ගන්න එපා.උදේට කෑවේ නෑ නංගි හරියට.ඒකයි" විහග කිව්වේ අනිත් දෙන්නට රව රව 

"අයියෝ අයියා කියන්න එපැයි කලින්.උදේ හදපු කිරිබත් තිබුනා" සජිනි කිව්වේ පසුතැවිලි වෙන හඩකින් 

"මුගේ බොරු සජිනි,මූ මේ උදේටත් හොදට ගිලල එන්න ඇත්තේ" එහෙම කියාගෙන සහනුත් මේසේට වාඩි වුනා 

"අනේ එහෙනම් උබලා නොකා  හිටපල්ලා . මං නම් කනවා.නංගිගේ කෑම එහෙම මග අරින්න පුලුවන්ද " විහග කෑම බෙදාගන්න පටන් ගත්තා.

"මූ නම් හදන්න පුලුවන් එකෙක් නෙවෙයි" ගයාන් කිව්වා 

"අයියා බෙදාගෙන කන්න අයියේ"එහෙම කියන ගමන් සජිනි බැලුවේ මේසේ මුකුත් අඩුයිද කියලා.එතකොට තමයි සජිනිට තේරුනේ අඹ මාලුව මේසෙට තියන්න අමතක වෙලා කියලා.ඒ නිසා සජිනි ඉක්මනටම ගිහින් අඹ මාලුව බෙදාගෙන ආවා.

"අප්පා...අඹ මාලුවකුත් තියෙනවද? නංගි උයන ඒවගෙන් මං ආසම මේකට තමයි"එහෙම කියන ගමන් විහග අඹ මාලුව බෙදාගන්න ගත්තා 

"අයියා කලින් මගේ කෑම කාලා තියෙනවද?" සජිනි අහනකොට සහන්ට එක පාරටම සජිනි දිහා බැලුනා.ඒත් සජිනි හරි උවමනාවෙන් බලන් හිටියේ විහග දිහා 

"නැතුව නංගි.ඔයා දවල්ට සහන්ට හදලා එවන කෑම එක පට්ටයි.මූට ඉතින් ඒවා කන්න පින නෑනේ.අර කැන්ටින් බත් එක ගිලිනවා.පවට පින ..ආව්ව්... මොකද යකෝ කකුලෙන් ගහන්නේ" කිය කිය හිටපු කතාව නවත්තපු විහග එයා ලගම වාඩි වෙලා හිටපු  සුදේශ්ට රැව්වා.සුදේශුත් විහගට  රවලා පෙන්නුවේ සජිනිව.සජිනිගේ මූණ රතු වෙලා අමුතු වෙලා  තිබ්බේ.එතකොට තමයි විහගට සිද්දිය තේරුනේ.සහන් කෑම එක දිහාම බලාගෙන හිටියේ.

"නෑ නෑ නංගි මේ මූ කියන්නේ බෙදාගෙනනේ අපි කන්නේ.එතකොට මදි වුනම කැන්ටින් එකෙන් කන්නත් වෙනවා" ගයාන් පැහැදිලි කරන්න හැදුවා.

"මේ බත් ඉවරයි වගේ.මං බත් ටිකක් දාගෙන එන්නම්" එක පාරටම එහෙම කියපු සජිනි බාගෙට ඉවර වුන බත් දීසීයත් අරගෙන හැරුනේ ඇස් වලට ආපු කදුලු තද කරගෙන.

සජිනී කුස්සියට යනකම්ම කට්ටියම බලන් හිටියේ සජිනි දිහා.

"මොනවද යකෝ කරන්නේ?" සජිනි නොපෙනී ගිය ගමන් සුදේශ් විහගට කඩන් පැන්නා.

"අනේ සොරි මචන්.මට නිකන්ම කියවුනා" විහග කිව්වේ පසුතැවිල්ලෙන් 

"මං නංගිට කතා කරන්නම්" එහෙම කියාගෙන විහග පුටුවෙන් නැගිටින්න හැදුවා

"උබ මොකක් කතා කරන්නද?" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සහන් විහග දිහා බලලා ඇහුවා 

"මං කියන්නම්..." ඒත් විහගට ඒ කතාව ඉවර කරන්න වුනේ නෑ 

"ඒ කතාව බොරු කියලද? උබ බොරු නෙවෙයිනේ කිව්වේ.ඒක ප්‍රශ්නයක් නෑ.උබලා කාපල්ල.මං සජිනිට කතා කරන්නම්" එහෙම කියපු සහන් ආයෙත් කන්න ගත්තා.

කුස්සියට යනකොටත් සජිනිට ඇඩිලා ඉවරයි.හැමදාම උදේට කොච්චර ආසාවෙන්ද බත් එක හදන්නේ කියලා සජිනිට මතක් වුනා.ගෙදරදි නම් උදේ 6ට නැගිටින්නෙත් රස්සාව නිසා.උයන්න කියලා නම් කවදාවත්ම නැගිටලා නෑ.ඒ ඔක්කොමත් හරි.සහන් එක්ක ගෙවන ජිවිතේ සන්තෝසෙකට තිබ්බේ කතා නොකරත් තමන් හදලා දෙන කෑම සහන් කනවා කියන සැනසිල්ල විතරයි.'කෑම කියන්නේ මිනිහෙක්ගේ හදවතට තියෙන මාර්ගය' කියලා සජිනිට කියලා දුන්නේ සජිනිගේ අම්මා.

ඒ නිසාමයි සජිනි බදින්න කලින් හොදට උයන්න පුරුදු වුනේ,මොන අසනීපේ තිබ්බත් අමාරුවෙන් හරි එලාම් එක තියලා නැගිටලා උයලා දුන්නේ.මේ දේවල් මතක් වෙනකොට සජිනිට තවත් ඇඩුනා.හිතේ දුක යන්න ටිකක් වෙලා එහෙම්ම හිටපු සජිනි මූණත් ටිකක් හෝදගෙන කුස්සියෙන් යන්න හදනකොටමයි සහන් කුස්සියට ආවේ.

ඒ වෙච්ච සිද්දියත් එක්ක සහන්ට තිබ්බ බඩගින්නත් නැති වෙලයි තිබ්බේ.ඒ නිසා ඉක්මනටම කාලා ඉවර කරපු සහන් කෑම පිගානත් අරන් කුස්සියට ආවේ සජිනි ගැන බලන්නත් එක්කමයි.මොනවා වුනත් සජිනිගේ කෑම කන්න තිබ්බා කියලා සහන්ට හිතිලා තිබ්බේ දැන් ටික කාලෙක ඉදලා.මුල් කාලේ සජිනි එක්ක තරහට නොකැවත් පස්සේ කාලෙක සහන් කෑවේ නැත්තේ යාලුවන්ගේ බයිට් වෙන්න වේවි කියලා.

දවස් ගානක්ම සහන්  කැන්ටින් එකෙන් කෑවේ ගයාන්ලා සජිනිගේ කෑම එක කන හැටි දැකලා හුල්ල හුල්ල.ඒත් දැන් තරම් ඒ ගැන පසුතැවිල්ලක් සහන්ට කලින් දැකලා තිබ්බේ නෑ.බයිට් වුනත් කමක් නෑ කියලා සජිනිගේ කෑම එක කෑවා නම් මේ මුකුත් නෑ කියලා සහන්ට තමන් එක්කම තරහයි.

සජිනි සහන්ව දැකලා ආපහු හැරුනේ කෑම බලන්න වගේ.

"සජිනි.." සහන් කතා කරා 

"ඇ..ඇයි?" 

"ඔයා.. මේ..මම මේ.." කියන්න දෙයක් සහන්ට හිතාගන්න බෑ.කියන දෙයක් කටට එන්නෙත් නෑ.පලවෙනි සැරේට සජිනිට වැරැද්දක් කරා වගේ හැගීමක් සහන්ට දැනෙන්න ගත්තා.

හිතට ශක්තිය ගත්ත සජිනි සහන්ගේ පැත්තට හැරුනා.සජිනිගේ මුලු මූණම රතු වෙලා.දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා සජිනි හොදටම අඩලා කියලා.

"මං පුඩින් එකක් හැදුවා.අරන් එන්නම්.පිගාන තියලා යන්න" එහෙම කියලා සජිනි පුඩින් එක තිබ්බ බාජනෙත් අරන් සහන්ව පහු කරන් කෑම කාමරේට ගියා.

කට්ටිය කතා කර කර ඉදලා යනකොට හවස් වුනා.දවල් කෑම වෙලාවේ වුන සිද්දියෙන් පස්සේ එතන තත්වේ ටිකක් අමුතු වගේ වුනත් සජිනිත් කට්ටිය එක්ක වාඩි වෙලා මැච් එක බලපු නිසා සහන්ගේ යාලුවන්ට නම් ටිකකින් සිද්දිය අමතක වෙලා ගියා.එත් සහන් නම් මැච් එක බැලුවේ සජිනිව මග අරින්නමයි.

ඊට පහුවදා සහන් වැඩට යන්න ලෑස්ති වෙලා එලියට එනකොට සහන් බලාපොරොත්තු වුනේ නැති විදියට වෙනදා වගේම සජිනි සහන්ගේ දවල් කෑම එකයි උදේ කෑම එකයි ලෑස්ති කරලා මේසෙන් තියලා තිබ්බා.සහන් හිතුවේ ඊයේ සිද්දිය නිසා සජිනි ආයෙත් කෑම දෙන එකක් නෑ කියලයි.ඒත් එක එහෙම නොවුන එක ගැන සහන් මේ වතාවේ සතුටු වුනා.

මේ විදියට සති දෙක තුනක්ම ගෙවිලා ගියා.සජිනි වෙනදා වගේම කෑම හැදුවත් දැන් සජිනිගේ එක වෙනසක් තිබ්බා.වෙනදට සජිනි සහන්ගෙන් එයාගේ කෑම ගැන අහනවා.මේක හොදයිද? අරක හොදයිද? ඒ වගේ ප්‍රශ්න.දැන් ඒ ප්‍රශ්න නැවතිලා.සහන් බලන් හිටියේ සජිනි එහෙම අහනකම්.ඒ ගැන කියන්න.ඒත් සජිනි කෑම ගැන කතා කරේම නෑ.

දවසක් සහන් වැඩට ගිය වෙලාවක සජිනිට කෝල් එකක් ආවේ එයාලගේ විවාහය ජායාරූප ශිල්පියාගෙන්.

"ෆොටෝ ටික නංගි ඔයාගේ  මේල් එකට එවලා තියෙන්නේ.බලලා ඇල්බම් එකට දාන්න පොඩ්ඩක් සිලෙක්ට් කරලා එවනවද? ඔක්කොම දාන්නත් පුලුවන් ඔයාලා කැමති නම්" 

"අහ් බලලා කියන්නම් අයියේ" එහෙම කියපු සජිනි ගියේ සහන්ගේ කාමරේට.සජිනිගේ ලැප් එක තාමත් ගෙදර තියෙන්නේ.ඒක ගෙන්න ගන්න බැරි වුනා මේ ගෙදරට.ඒක සජිනිට ලොකු ප්‍රශ්නයක් වුනෙත් නෑ.ඒත් දැන් මේ ෆොටෝ ටික බලන්න ඕනේ නිසා සජිනි හිතුවා ඒක සහන්ගේ ලැප් එකෙන් බලන්න ඕනේ කියලා.

ඒත් සජිනිගේ බලාපොරොත්තු කඩ වුනේ සහන්ගේ ලැප් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා දැකලා.අතෑරලා දාලා නිකන් ඉන්නත් හදලා සජිනි කෝකටත් කියලා සහන්ගේ බර්ත්ඩේ එක දාලා බැලුවා.ඒත් ඒක වැඩ නෑ.සජිනි ඒපාර උත්සහ කරේ සහන්ගේ අම්මගේ නම දාලා.ඒත් ඒකත් හරි ගියේ නෑ.එක පාරටම සජිනිගේ හිතට ආපු සිතුවිල්ලකට සජිනි, 'nadini' කියලා පාස්වර්ඩ් දාලා බැලුවා.

එක පාරටම ලැප් එකේ ඩෙස්ක්ටොප් එක විවෘත වුනේ නදිනිගේ ලස්සන ජායාරූපෙකුත් එක්කමයි.

*********************************************************************************

හෙට හම්බෙමූ

ආදරෙන් ඉන්න..... 💖

4 comments:

  1. පව් අහිංසක කෙල්ල.

    ReplyDelete
  2. අබ මාලුවද අඹ මාලුවද?

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි typing error එකක්.ස්තූතියි පෙන්නුවට.මං හදන්නම් :)

      Delete