Sunday, March 31, 2019

මන්දාරම් අහස යට -හතලිස් හත් වන කොටස


අවිශ්කගේ දුරකථන ඇමතුම ඉවර කරපු අසේලිට දැනුනේ මහා හිස්කමක්.මහ දවාලේ වුනත් අහසත් කලු කරලා හුලගක් හමාගෙන ගියේ අසේලිගේ හිතේ දුක අහසටත් තේරිලා වගේ.

වටේට කලු කරගෙන සීතල හුලගක් හමාගෙන යද්දි කොළඹ හතේ විශ්ව විද්‍යාල බස් හෝල්ට් එක ලග අසේලි හිටගෙන හිටියේ එතනින් යන බස් දිහාවවත් බලන්නේ නැතුව.අසේලිගේ හිත කිසිම හැගීමක් නැතුව හිස් වෙලා තිබුනා.බෝඩිමට යන බස් දෙක තුනක්ම එතනින් ගියත් අසේලි ඒ දිහා බලාගෙන හිටියා මිසක් බස් එකට නැග්ගේ නෑ.

' ආදිත්‍ය මං ගැන අහලා නෑලු.එයාට මාව අමතක වෙලාද? නැත්තම් අමතක කරලාද?' අසෙලිගේ හිතේ තිබුනේ ඒ ප්‍රශ්නේ විතරයි.එක පාරටම ඇහුනු මහා අකුණු සද්දෙට අසේලි ගැස්සිලා ගියා.

"කොටුව...කොටුව..කොටුව...නගින්න...නගින්න..." එයා ලග ඉදන්ම කෑගහන කොන්දොස්තර දිහා ටිකක් වෙලා බලන් හිටපු අසේලි බස් එකට නැග්ගා.

බස් එකට නැගලා ජනේලේ ලග ශීට් එකක වාඩි වුනු අසේලි ජනේලෙන් එලිය බලාගත්තා.වටේම කලු කරලා තිබ්බේ මහ වැස්සක පෙරනිමිති කියන්න වගේ.ඒත් අසේලිගේ හිතේ ඒ කිසිම දෙයක් තිබ්බේ නෑ.කලු කරලා තිබ්බ අහස දිහා බලාගෙන හිටපු අසේලි එක පාරටම කලබල වුනේ දුරකථනය නාද වෙන හඩින්.

"හෙලෝ..."

"හෙලෝ අසේලි කොහෙද ඉන්නේ" දුරකථනයෙන් ඇහුනේ නෙහාරාගේ කටහඩ.

"බස් එකේ"

"තාම බස් එකේද? මං මේ කියන්න කතා කරේ අනේ සුදෝ මං උදේ හෝදලා දාපු රෙදි ටික ගන්නවද ඇතුලට"

"හා"

"ඇයි? මොකද වුනේ? " අසේලිගේ කටහඩේ වෙනස නිසා නෙහාරා ඇහුවේ.

"මුකුත් නෑ.මේ මං බහින්න හදන්නේ.රෙදි මං ගන්නම්" එහෙම කියපු අසේලි දුරකථනය විසන්ධි කරා.

බෝඩිම ලගින් බස් එකෙන් බැහැපු අසේලි නෙහාරාගේ රෙදි ටිකත් අරගෙනම ඇතුලට ආවා.රෙදි ටික ඇද උඩින් දාපු අසේලි ඇද උඩ වාඩි වුනා.

"ඔයා ඇත්තටම මාව අමතක කරාද?" අසේලි තමන්ගෙන්ම ඇහුවා.ඒත් එක්කම මෙච්චරවෙලා හිරකරගෙන හිටපු කදුලු බිංදුවක් කම්මුල දිගේ බේරිලා ගියා.

"ඔයා...ඔයා...කොහොමද එහෙම අමතක කරන්නේ? මාව බලන්න ගහක් දිගෙත් ආවා එදා.මහ වැස්සෙත් ආවා.මාව බේරගන්නත් ආවා.ඒ හැමපාරම ඇවිත් මේ සැරේ ඔයා මාව අතෑරලම දාලාද? " අසේලි තමන්ටම කියාගත්තේ කදුලු වලින් මූණ තෙමෙද්දි.

දුරකථනය අතට ගත්ත අසේලි දුරකථනයේ ඉදිරිපස තිරය දිහා බලන් හිටියා.ආදිත්‍ය ත් අසේලිත් මුලින්ම කලුතර බෝධිය ලගදි ගත්ත ජායාරූපය දිහා අසේලි බලන් හිටියේ සිහින් ඉකියක් උගුරෙන් පිටවෙද්දි.

"එක අතකට ඔයා හරි...මං වගේ කෙල්ලෙක් එක්ක ඉදලා ඔයාට කරදර විතරයි.ඔව් ඒක හරි" අසේලි කිව්වේ අමාරුවෙන් ඇස් වල කදුලු පිහිදගන්න ගමන්.ආයෙත් ටික වෙලාවක් තිරය දිහා බලන් හිටපු අසේලි සුසුමක් හෙලුවා.

"අනේ....ඊලග සැරේ බස් එකේ ඔයාට ටිකට් ගන්න හිටියේ මමනේ...අනේ එන්නකෝ ඒ ටිකට් එක අරන් මාත් එක්ක බස් එකේ යමු" ඉකියකුත් එක්කම තමන්ටම එහෙම කියාගත්ත අසේලි මහා හඩින් හඩාගෙනම ඇද උඩට වැටුනා.

කොයිතරම් වෙලා ඇඩුවද කියලා අසේලිට මතකයක් තිබ්බේ නෑ.අඩලා මහන්සියටම අසේලිට නින්ද ගියේ නෙහාරාගේ රෙදි ගොඩ උඩමයි.හවස් වෙලා තෙමීගෙන බෝඩිමට ආපු නෙහාරා බෝඩිමේ දොර ඇරියේ අසේලිට බැන බැනමයි.

"මොකද බං මේක ඇතුල මෙච්චර කරුවල.ලයිට් කපලාද?"එහෙම කියාගෙනම කාමරේ ලයිට් දාපු නෙහාරා දැක්කේ ඇදගෙන ආපු ඇදුම පිටින්ම ඇද උඩ නිදාගෙන ඉන්න අසේලිව.හෙමීට ඇද ලගට ගියපු නෙහාරා අසේලිගේ නලලට අත තිබ්බා.

"පව්...මේ කෙල්ල හිතේ තියාගෙන නහිනවා.මේ අදත් අඩලා.කොට්ටෙත් එක්ක තෙතයි" නෙහාරා තමන්ටම කියාගත්තේ අසේලි දිහා දුකෙන් බලන ගමන්.

"අසේලි....නැගිටින්න"  නෙහාරා කිව්වේ අසේලිගේ ඔලුව අතගාන ගමන්.

"ම්ම්ම්..." අසේකි සද්දයක් කරත් ඇස් ඇරලා බැලුවේ නෑ.

"නැගිටහන් සුදෝ..මෙන්න මං රෑට කන්න ආප්ප ගෙනාවා.නැගිටින්න.කාලා පාඩම් කරමු" නෙහාරා කියද්දි අසේලි ඇස් ඇරලා බැලුවා.

"වොශ් දාගෙන එනවද ඔයා?" නෙහාරා ආයෙත් ඇහුවේ අසේලිගෙන් උත්තරයක් නැති නිසා.

"ඔයා යන්න" අසේලි කිව්වේ සුසුමක් හෙලන ගමන්.

"හරි ඔයා එතකම් කෑම ලෑස්ති කරන්න.අන්න නෝට්ස් ටික පොත ඇතුලේ.ඕනේ නම් ගන්න"නෙහාරා කිව්වේ නාන කාමරේට යන ගමන්.

ඇද උඩ තිබුනු නෙහාරාගේ පොත අතට ගත්ත අසේලි ආයෙත් සුසුමක් හෙලුවා.ඒ වෙද්දි ඉතුරු වෙලා තිබුනේ තවත් එක විශයක් විතරයි.පහුවදා ඒ විශයත් ලියලා ගෙදර යන්නයි නෙහාරායි අසේලියි හිතාගෙන හිටියේ

හිතුවා වගේම පහුවදා විභාගේ ඉවර වෙලා දෙන්නත් එක්ක කලුතර බස් එකක නැග්ගේ ගෙදර යන්න.කලින් දවසේ හවස ඉදන්ම අසේලිගේ හැසිරීමේ වෙනසක් නෙහාරාට පෙනුනත් ඒ ගැන අසේලිගෙන් අහන්න නෙහාරා බය වුනා.

:ඊයේ කතා කරපු තරම්වත් අද කතාවක් නෑ.අහන්නත් හිතයි මොකද කියලා.නෑ එක්කෝ ඕනේ නෑ.ඕක අහන්න ගිහින් ආයෙත් හිත රිදුනොත් එහෙම.අඩවන්න ඕනේ නෑ.විහාරාට කියනවා හෙට අහන්න කියලා.ගෙදරනේ ඉන්නේ ඇඩුවත් මොකෝ.'නෙහාරා හිතුවේ එහෙමයි.

බස් එකේ එන අතරදිත් නෙහාරායි අසේලියි අතර කතාවක් වුනේම නැති තරම්.ටිකක් වෙලා ඉදලා නෙහාරාම කතාව පටන් ගත්තේ අසේලිගේ නිශ්ශබ්දතාව නැති කරන්න හිතාගෙන.

"සති 3ක්ම නිවාඩු මේ සැරේ.මොකද කරන්න ඉන්නේ" නෙහාරා අහද්දි අසේලි ලාවට හිනා වුනා.

" දන්නේ නෑ නෙහාරා.නංගිගේ විභාගෙත් ඉවර වුනානේ.ඒ නිසා ගෙදරින් ප්ලෑන් කරලා ඇත්තේ ට්‍රිප් එකක්"

"කොහේ වගේද යන්නේ?"

"දන්නේ නෑ.දවස් දෙකක් තුනක් තමා කොහොමත්.අයියට නිවාඩු නෑනේ"

"හ්ම්ම්...ඔව් නේද?" එහෙම කියපු නෙහාරා අසේලි තවත් දෙයක් කියනකම් බලන් හිටියත් අසේලි ඇස් වහගෙන ශීට් එකට හේත්තු වෙනවා දැකපු නෙහාරා සුසුමක් හෙලුවා.

'අනේ මං දන්නේ නෑ මේ මොකද කියලා එක පාරට වුනේ.විහාරාට කියන්න ඕනේ විස්තරේ' එහෙම හිතපු නෙහාරා විහාරාට විස්තරේ කියලා කෙටි පණිවිඩයක් යවලා ශීට් එකට ඔලුව තියාගත්තා.

පුරුදු විදියටම අසේලිව එක්කගෙන යන්න කලුතර බස් නැවතුමට නිමන්ත ඇවිත් හිටියා.

"මොකෝ මේ?" කාර් එකේ ගෙදරට යන ගමන් නිමන්ත ඇහුවේ අසේලිගේ අසාමාන්‍ය නිශ්ශබ්දතාව නිසා.

"මහන්සියි අයියා" අසේලි කියද්දි නිමන්ත හිනා වුනා.

"එහෙම තමයි විභාග ලියද්දි.ඔන්න මහන්සිය නැති වෙන්නත් එක්ක අපි මරු ගමනක් ලෑස්ති කරා."

"ඒ කොහෙද?"

"නුවර...අපේ නුවර ගෙදර.සතියක් විතර එහේ ඉදලා ඇවිදලා එහෙම එන්න හිතාගෙන ඉන්නේ" නිමන්ත කියද්දි අසේලි ගැස්සිලා ගියා.

'නුවර ගෙදර? මගේ අතීතය තියෙන ගෙදර. මගේ විතරක් නෙවෙයි.ආදිත්‍යගෙත්.මට ආදිත්‍යව මුලින්ම හම්බුනු ගෙදර" අසේලි එහෙම හිතද්දි අසේලිගේ ඇස් වලින් කදුලක් ගලාගෙන ගියා. 
*****************************************
ඔන්න අදත් කොහොමහරි කොටසක් ගෙනාවා.

දැන් අසේලිගේ ඒවා ඇති නේද? අපි බලමු රට ගියපු ආදිත්‍යට මොකද වුනේ කියලා.

ඊලගට කෝ බලන්න නෙහාරා වගේ යාලුවෙක් ඉන්න අය අත උස්සන්න බලන්න 

මට ඉන්නවා ඒ වගේ යාලුවෝ.මේ නෙහාරා හැදුවේ ඒ අය කීපදෙනෙක්ම එකතු කරලා ❤️

ඉක්මනින් හම්බෙමු

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...