Saturday, March 9, 2019

මන්දාරම් අහස යට - හතලිස් දෙවන කොටස


ගගන හෙමීට අසේලි ලගට ඇවිදගෙන ආවේ කට කොණකින් හිනා වෙන ගමන්.

" අදුරන්න පුලුවන් නේද?" ගගන අහද්දි අසේලි බලන් හිටියේ පුදුමෙන්.

"ඔයා?..ඔයාද මේ..." අසේලි ඇහුවේ පුදුමෙන්.

"මොකක්ද? ඔයාව ගෙනාවෙද? අපෝ නෑ" ගගන කිව්වේ මහ හයියෙන් හිනා වෙන ගමන්.

අසේලි ලගටම ආපු ගගන අසේලිගේ මූණ ලගට පහත් වුනා.

" මේක වෙන කෙනෙක්ගේ වැඩක්.ඔයා වරද්ද ගත්ත වැඩක්.වෙලාවට ඒ ඔයා වුනේ.නැත්තම් මේ වෙද්දි ඔයාට ඔයාවම හොයාගන්න බැරි තැනක ඉන්න තිබ්බා" ගගන කිව්වේ අසේලිගේ කණට කිට්ටු වෙලා.

ගගනගෙන් ආපු මත්පැන් ගදත් එක්ක උණුසුම් හුස්මට අසේලිගේ ඇගේ හිරිගඩු පිපුනා.අසේලි මූණ එහාට හරව ගත්තේ ඒ දැනුනු අපහසුතාවය දරාගන්න අමාරු නිසයි.අසේලි මූණ හරවගන්නවා දැකපු ගගන හිනා වුනා.

"ඔය මූණ වැඩි වෙලා ඔහොම හරවගන්න බැරි වෙයි" එහෙම කියපු ගගන අසේලි ලගින් කෙලින් වෙලා සිගරට් එකක් අරන් පත්තු කරගත්තා.

"ඇයි මෙහෙම තියාගෙන ඉන්නේ? මට යන්න දෙන්න" අසේලි කියද්දි ගගන අසේලි දිහා හොදට බැලුවා.

"මේක කරගත්තේ ඔයා මයි.ඔයයි ඔයාගේ මහ ලොකු කොල්ලායි.දැන් මට කරන්න පුලුවන් හොදම දේ මං මේ කරන්නේ" එහෙම කියපු ගගන කටින් දුම් රැල්ලක් පිට කරා.

"ආදි...." අසේලි කතාව පටන් ගත්තත් ඒක ඉවර කරන්න වුනේ නෑ.

"ශ්...ශ්...මං තාම කියලා ඉවර නෑ.ඔයා අද මෙහෙම මෙතන ඉන්නේ මං නිසා.නැත්තම් ඔයා කොහේ ඉදිවීද කියලා ඔයාටවත් හිතාගන්න බෑ.ඒ නිසා කටවහගෙන කියන විදියට ඉන්න" එහෙම කියන ගමන්ම කටේ තිබ්බ සිගරට් එක බිමට දාලා පාගපු ගගන ආපහු යන්න හැරුනා.

" මොකක්ද අපි ඒ තරමටම කරපු වැරැද්ද? ඇයි මෙහෙම කරන්නේ? කෝ ආදිත්‍ය? මට යන්න දෙනවා " අසේලි කෑගැහුවේ පිටුපාලා යන ගගනට.අසේලිගේ සද්දෙට ගගන ආපහු හැරුනා.

හැරිලා ආපහු අසේලි ලගටම ආපු ගගන අසේලි ලගට පහත් වුනා.ගගනගේ ඇස් වල රතු පාට දිහා අසේලි බලන් හිටියේ බය වෙලා.
"ආපහු මට ඇහෙන්න ආදිත්‍ය කියන නම වත් කියන්න එපා..එහෙම වුනොත් මොනවා වේවිද කියලා හිතාගන්න බැරි වෙයි" ගගන එහෙම කියලා එතනින් නැගිට්ටා.

" ඇයි මොනවා කරන්නද මට? කරන දෙයක් මට කරනවා.මගේ ආදිත්‍යව අතෑරලා.කෝ ආදිත්‍ය" අසේලි අහද්දි ගගන හිනා වුනා.

" එයාට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.අන්න ඉන්නවා ඉස්පිරිතාලෙක ඇදකට වෙලා.ඕකට මේ ආත්මෙට ඇදෙන් නැගිටින්න බෑ" ගගන කියද්දි අසේලිගේ පපුව හීතල වෙලා ගියා.

"මොකක්ද මනුස්සයෝ ඒ අසරණ කොල්ලට කරේ? තමුසෙලට මොකක්ද එයා කරපු වැරැද්ද.මගේ නම් වැරැද්ද මාව මරනවා ඒ කොල්ලට මොකක්ද කරේ?" අසේලි කෑගැහුවේ මුලු ඇගම වෙව්ලද්දි.ඔලුව දිගේ ගලාගෙන ආපු දාඩිය අසේලිගේ කදුලුත් එක්ක එකතු වෙලා පහලට ගලාගෙන ගියා.

"වහගන්නවා කට..මෙච්චර වෙලා හොදින් කතා කරා මං.ආයේ වචනයක් කිව්වොත් එහෙම..." ගගන කිව්වේ අසේලිට රවන ගමන්.

"ඇයි මරන්නද මාව? මරලා දානවා ඉතින්..ඇයි බලන් ඉන්නේ"

"නෑ...තමුසෙව නෙවෙයි මං ඌව මරන්නේ..අර ආදිත්‍ය ව.ඒ නිසා කට වහගෙන ඉන්නවා" ගගන කට කොණකින් හිනා වෙන ගමන් කියද්දි අසේලි ගගන දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.

"ඒයි ජැකා...මේකි කෑගහන්න හැදුවොත් ඉස්පිරිතාලේ අපේ එකාට කතා කරපන්" ගගන එතන හිටපු මනුස්සයෙක්ට කිව්වේ අසේලි දිහාත් ඇස් කොණින් බලන ගමන්.

එහෙම කියපු ගගන ආපහු දොර දිහාට යන හැටි අසේලි බලන් හිටියේ අසරණ වෙලා.

එතකොටම එලියෙන් ඇහෙන්න ගත්ත ලොකු සයිරන් හඩක් නිසා ගගන ආයෙත් හැරුනා.

"ඒ මොකක්ද? බලනවා ඉක්මනට"ගගන කෑගහද්දි එතන හිටපු මිනිස්සු දෙන්නම කලබලේට එලියට දිව්වා.

"බේරගන්න....මාව බේරගන්න...." අසේලි කෑගැහුවේ කාටම හරි ඇහේවි කියලා.ඒත් එතකොටම අසේලි ලගට අඩියට දෙකට ආපු ගගන අසේලිගේ කට අතින් වැහුවා.

"වහපන් කට..." ගගන එහෙම කියනකොටම එලියේ ඉදන් දුවගෙන ආපු මනුස්සයා ගගනට කෑගැහුවා.

"පොඩි මහත්තයා...පොලීසියෙන්" ඒ කතාවට ගගන ගැස්සුනා.ඒත් එක්කම අසේලිගේ කටින් අත එහාට වුනා.අසේලි දෙවතාවක් නොහිතාම ගගනගේ අත පුලුවන් තරම් හයියෙන් හැපුවා.

"ආ....ව්...." ගගන කිව්වේ අත අල්ලගන්න ගමන්.

"උඹට මම...." අසේලි දිහා ගගන බැලුවේ රතු වෙච්ච ඇස් වලින්.ගගනට කේන්ති ගිහින් බව කියන්න අසේලිට වෙන සාක්ශි ඕනේ වුනේ නෑ.

"පොඩි මහත්තයා...පහළ වැඩ පොළට යමු..." ඒ මනුස්සයා කියද්දි ගගන ඒ දිහා බැලුවා.

"උඩ ටික පැක් කරගනින්.මං සෙප්පුව අරන් එන්නම්" ගගන එහෙම කියන ගමන්ම අසේලිගේ කට බලෙන්ම රෙදි කෑල්ලකින් ගැට ගැහුවා.

"මොනවද මේ කරන්නේ?මේකිව ගෙනියන්න බෑ.මේකි නිසා තමයි පොලීසියෙන් ඇවිල්ලත් තියෙන්නේ.නිකන්ම අහු වේවි" එතකොටම එතනට ආපු තව කෙනෙක් කියද්දි ගගන ඒ කෙනා දිහා හොදට බැලුවා.

"මං ඒක දන්නවා සුරේ...උඹ ගිහින් සේප්පුව ගනින්.මං මේකිව අස්සකට දාලා එන්නම්.පෙත්තක් දැම්මම මේකිට සිහියක් එන එකක් නෑ" ගගන කිව්වේ බලෙන්ම අසේලිගේ අතකට එන්නතක් විදින ගමන්.

අසේලි එහාට මෙහාට හැරිලා ගැලවෙන්න බැලුවත් කටත් තද කරලා තිබුනු නිසා ගැලවෙන්න ක්‍රමයක් තිබ්බේ නෑ.

"මෙන්න මේකිව කරට ගනින්.යන ගමන් පඩිපෙල පහලට දාගෙන යමු" ගගන කිව්වට පස්සේ ගගන ලග හිටපු කෙනෙක් අසේලිව උස්සලා කරට ගත්තා.ඒ වෙද්දිත් අසේලිගේ ඇස් පියවෙන්න අරන් තිබුනේ ලොකු මත් ගතියකුත් ඔලුවට දැනෙද්දිමයි.

සයිරන් හඩ වැඩි වැඩියෙන් ඇහෙද්දි කවුදෝ කට්ටියක් එහේ මෙහේ දුවන හඩක් ඇහෙන්න ගත්තා.ඒත් එක්කම අදුරු තැනකට අසේලිව වැටුනේ එයාටත් මුකුත්ම හිතාගන්න වෙලාවක් නොදීමයි.මුලු ඇගම තලා පෙලා දාන වේදනාවට වැඩියෙන් දැනෙන ඔලුවේ මත් ගතියත් එක්ක අසේලිගේ ඇස් නිලංකාර වෙලා ගියා.

දැඩි සත්කාර ඒකකයෙන් එලියේ හිටපු ප්‍රියංකායි අවිශ්කයි කලබල වුනේ එක පාරටම දැඩි සත්කාර ඒකකය උඩ රතු බල්බය දැල්වෙන්න ගත්ත නිසා.ඒත් එක්කම දොස්තර වරු හෙදියන් කලබලයෙන් දැඩි සත්කාර ඒකකය ඇතුලට යනවාත් ප්‍රියංකා බලාගෙනයි හිටියේ.

"මොකක්ද පුංචි අම්මේ ඒ වෙලා තියෙන්නේ" අවිශ්ක ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව.

"දන්නේ නෑ අවි...බාප්පට කෝල් එකක් දෙන්න ඉක්මනට එන්න කියලා" ප්‍රියංකා කිව්වේ දොර දිහා බලාගෙනමයි.

ඒත් එක්කම ඇරුනු දොරෙන් එලියට ගත්ත ඇදේ හිටපු ආදිත්‍ය දැකලා ප්‍රියංකා කලබලෙන් එතනට දුවලා ගියා.

"අනේ ආදි...ආදි.." ප්‍රියංකා ආදිත්‍ය ගේ අතින් අල්ලන්න උත්සහ කරත් ඒකට පුලුවන්කමක් ලැබුනේ නෑ.

"අම්මා පොඩ්ඩක් එහාට වෙන්න..අපට පේශන්ට් ව ගෙනියන්න ඉඩ දෙන්න" එතන හෙදියක් කිව්වේ ටිකක් තදින්.

"මොකද මොකද වුනේ මගේ පුතාට" ප්‍රියංකා ඇහුවේ ට්‍රොලිය යන වේගෙටම ඒ ලගින් දුවන ගමන්.අවිශ්කත් ප්‍රියංකාගේ පිටිපස්සෙන් දුවගෙන ආවේ ක්‍රිශාන්තට දුරකථන ඇමතුමක් ගන්න උත්සහ කරන ගමන්.

" මයිනර් ඇටෑක් එකක්.චෙකප් එකක් කරන්න ගෙනියන්නේ..කලබල නැතුව ඉන්න" හෙදිය එහෙම කියන ගමන්ම ට්‍රොලිය වහලා තිබ්බ කාමරේකට ඇතුල් කරේ ප්‍රියංකලාව එතනම නවත්තලා.

"අනේ ආදි...." ප්‍රියංකා දොර ඉස්සරහ පුටුවකට බර වුනේ ඇස් වලින් කදුලු බේරෙද්දි.

'අනේ...මගේ ලගම හිටපු පොඩි එකා දෙයියනේ...මේ මොකක්ද වුනේ' ප්‍රියංකා කල්පනා කරේ බිත්තියට ඔලුව තියාගෙන.

"හරි පුංචි අම්මේ.බාප්පා දැන් එනවා කිව්වා" අවිශ්ක එහෙම කියාගෙනම ප්‍රියංකා ලගින් වාඩි වුනා.

"මොකක්ද අවි මේ වුනේ...මං රාජ කුමාරයෙක් වගේ මගේ කොල්ලව හැදුවේ.ලංකාවෙන් ගියෙත් මගේ කොල්ලට මල්ලිව අමතක වෙන්න කියලා.මල්ලිව මතක් වුනොත් දුක හිතේවි කියලා.අනේ එහෙමටවත් දුකක් නොදී මං හදපු දරුවා මේ" ප්‍රියංකා කියද්දි අවිශ්කගේ ඇස් වල කදුලු පිරුනා.

අවිශ්ක ප්‍රියංකාගේ උරහිස වටේ අත දාලා ප්‍රියංකාව ලං කරගත්තා.

"ආදි ට සනිප වෙනවා පුංචි අම්මේ.බය වෙන්න එපා.දැන් අපේ අම්මත් බෝධි පූජා කරනවනේ.ආදි ට නරකක් වෙන්නේ නෑ.මෙහේ ඉන්නෙත් හොදම ඩොක්ටර්ස් ලා" අවිශ්ක කිව්වේ ප්‍රියංකාවේ පිටට තට්ටු කරන ගමන්.

" මොකද වුනේ...කෝ ආදී"එතකොටම එතනට දුවගෙන ආපු ක්‍රිශාන්ත ඇහුවේ කලබලෙන්.

"අනේ ක්‍රිශා..." ප්‍රියංකා අත් දෙකෙන්ම ක්‍රිශාන්තගේ අත් දෙක අල්ලගනිද්දි අවිශ්ක පුටුවෙන් නැගිට්ටේ ක්‍රිශාන්තට ඉඩ දීලා.

"කෝ කෝ මේ අඩනවනේ ඔයා.අඩන්න එපා ඉතින්.අවී පුතා මොකද වුනේ?" ක්‍රිශාන්ත ඇහුවේ බොහොම සන්සුන් විදියට වුනත් ඒ හඩේ තිබුනේ කලබල ගතියක් බව අවිශ්කට තේරුනා.

"චෙකප් එකකට ඇතුලට ගත්තේ බාප්පේ.වෙන විස්තරයක් දන්නේ නෑ"

"හා....එහෙනම් මොකද මේ අඩන්නේ.චෙකප් එකකටනේ ඇතුලට අරන් තියෙන්නේ" ක්‍රිශාන්ත එහෙම කියාගෙනම ප්‍රියංකා ලග පුටුවෙන් වාඩි වුනා.

"ඒ වුනාට මට බයයි ක්‍රිශා...ඇයි එකපාරටම එහෙම ගත්තේ.මයිනර් ඇටෑක් කතාවකුත් කිව්වා" ප්‍රියංකා කියද්දි අවිශ්කත් ඔලුව වැනුවා.

"ඩොක්ටර් මොකද කිව්වේ" ක්‍රිශාන්ත ඇහුවේ අවිශ්කගෙන්

"තාම ආවේ නෑ එලියට"

"එහෙනම් එලියට එනකම් එමු..අඩන්න එපා ප්‍රියා..මේ අවි ත් බය වෙලා ඔයා අඩද්දි" ක්‍රිශාන්ත කිව්වේ අවිශ්ක දිහා බලලා අමාරුවෙන් හිනා වෙන ගමන්.

ඒ කතාවට හිනා වුනු අවිශ්ක කොරිඩෝව කෙලවරේ තිබ්බ ජනේලේ ලගට ඇවිදගෙන ගියා.

'පව්...බාප්පාත් බය වෙලා ඉන්නේ.පුංචි අම්මා බය වෙයි කියලා අමාරුවෙන් හිනා වෙලා ඉන්නවා.පුංචි අම්මාටත් මේක දරාගන්න බෑ.කොච්චර පරිස්සම් කරාද ආදි ව.මේ මොනවා වෙනද මංදා' අවිශ්ක හිතුවේ ජනේලෙන් එලිය බලාගෙන.එතකොටම දුරකථන යට ආපු ඇමතුමක් නිසා අවිශ්ක දුරකථන තිරය දිහා බැලුවා.ඒ විහාරා.

"හෙලෝ විහාරා"

"හෙලෝ...මේ පණිවිඩයක් කියන්න ගත්තේ"

"මොකක්ද? අසේලිව හම්බුනාද?"

"ඔව්...පොලීසියට හම්බෙලා.අර ගිය සැරේ අසේලිව අරන් ගිය කට්ටියමලු මෙ සැරෙත් අරන් ගිහින් තියෙන්නේ"

"කොහෙද ඉදලා තියෙන්නේ අසේලි? කොහොමද දන්නේ එයාලාමයි කියලා"

"පාලු ගෙදරක්ලු.කට්ටිය පැනලා යද්දි අහුවෙලා කියලා තමයි කිව්වේ.හොර නෝට්ටු අච්චු ගහන තැනක් ලූ එක"

"අපෝ..මාර කේස් එකක්නේ ඒක.දැන් කෝ අසේලි"

"තාම හරියට සිහියක් නෑ.සිහිය නැති වෙන ජාතියක් දීලා ලූ."

"හ්ම්ම්...ඔයා කාලාද ඉන්නේ"

"ඔව්..ඔයා කාලාද?"

" තාම නෑ"

"ආදිත්‍ය අයියට දැන් කොහොමද?"

"දැන් ඇතුලට ගත්තා චෙකප් එකකට.වෙනසක් නෑ ඉතින්"

"හ්ම්ම්...ඔයා කන්න මොනවා හරි.මං තියන්නම්"

" විහාරා..."

"ආ...."

"සොරි..."

"ඇයි?"

"නිකන්...මට කියන්න හිතුනා"

"හ්ම්ම්...මං තියනවා.බුදු සරණයි"

"බුදු සරණයි"

විහාරාගේ දුරකථන ඇමතුමෙන් පස්සේ අවිශ්ක ආයෙත් හැරිලා බැලුවේ ආදිත්‍යව ඇතුලට ගත්ත දොර දිහා.එතන ඉදන් දොස්තර මහත්තයෙක් ක්‍රිශාන්ත එක්ක කතා කරනවා දැකපු අවිශ්ක ඉක්මනින්ම එතනට ගියා.

"දැන් මොකක්ද ඩොක්ටර් අපට මේකට කරන්න පුලුවන් වෙන්නේ" ක්‍රිශාන්ත අහද්දි දොස්තර ප්‍රියංකා දිහා වගේම අවිශ්ක දිහාත් බැලුවා.

"මේ ඔපරේශන් එක කරන්නම ඕනේ.ඒකත් පුලුවන් ඉක්මනින්ම.පහු වෙන දවසක් පවා පේශන්ට් ට අනතුරුදායකයි." දොස්තර එහෙම කියද්දිම එතනට ආවේ නිශාන්ත.එයත් දොස්තරගේ කතාවට ඇහුම්කන් දුන්නා.

"එහෙනම් අපි කරමු ඩොක්ටර්.කීයක් ගියත් මට කමක් නෑ" ප්‍රියංකා කිව්වේ ස්තීර හඩකින්.
"ඒක තමයි තියෙන ගැටලුව.මේ වෙද්දි ඒක කරන්න තරම් සුදුසු ඩොකටර් කෙනෙක් ලංකාවේ නෑ.ලංකාවේ මේ වගේ ඔපරේශන් එකක් කරපු එකම ඩොක්ටර් මේ දවස් වල ඇමරිකා වල ඉන්නේ"

"අපි පුතාව පිටරටකට ගෙනිච්චොත්" මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු නිශාන්ත ඇහුවා.

"ඔව්..එහෙම පුලුවන්.ඕස්ට්‍රේලියා වගේ වැඩිය හොදයි.එහේ හොස්පිට්ල් එකකට අපට මේ ගැන දැනුම් දෙන්නත් පුලුවන් දැනට අපේ ඩොක්ටර්ස්ලා එහේ ඉගෙන ගන්න නිසා"

"හරි ඩොක්ටර් එහෙනම් අපට ඒක ලෑස්ති කරලා දෙන්න පුලුවන්ද?"ඒක ඇහුවෙත් නිශාන්තමයි.

"හරි...එන්න මගේ ඔෆිස් එකට.මං ලෑස්ති කරලා දෙන්නම්" දොස්තර එහෙම කියලා යද්දි ක්‍රිශාන්ත බැලුවේ නිශාන්ත දිහා.

"දැන් මේ ඔහොම ගෙනියන එක නඩුවට ප්‍රශ්නයක් නැද්ද?"

"මේ දැන් ඔයාට ඕනේ නඩුවද දරුවද.අනේ මට නම් කමක් නෑ නඩුවට හෙන ගැහුවත්.මල්ලි ඔයා ලෑස්ති කරන්න වැඩේ" ප්‍රියංකා කිව්වේ ක්‍රිශාන්තට රවන ගමන්.

"ඒක අවුලක් වෙන්නේ නෑ අයියේ...දැන් ඩොක්ටර්ම කියනවනේ මෙහේ කරන්න බෑ කියලා.එහෙම කියලා ලියුමක් අරගෙන ඉදිරිපත් කරමු.එතකොට හරි" නිශාන්ත කිව්වේ දොස්තර ගේ කාමරේ පැත්තට යන ගමන්.

"හරි එහෙනම් අපි මෙහේ වැඩ බලාගන්නම්.ඔයා අවී එක්ක ගෙදර ගිහින් යන්න ලෑස්ති වෙන්න" ක්‍රිශාන්ත කියද්දි ප්‍රියංකා ඔලුව වැනුවා.

නිශාන්තයි ක්‍රිශාන්තයි දොස්තරගේ පිටිපස්සෙන් යනවා බලන් හිටපු අවිශ්කයි ප්‍රියංකායි එලියට යන්න හැරුනා.

**************************************
සමාවෙන්න පරක්කු වුනාට.අධ්‍යාපන චාරිකා,අධ්‍යාපනික ප්‍රදර්ශන,හවස පංති එක්ක ගොඩක් කාර්‍යබහුල වෙලා හිටියේ.ලබන සතියෙත් විවාහ මංගල්‍යය කීපයකට කාලය වැය කරන්න වෙලා තියෙන නිසා ඊලග කොටස දාන්න වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා ට තමයි.හැමෝම ගොඩක් ගොඩක් සමාවෙන්න.

ඒ වගේම කතාව කියවන කොමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි

ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment