Saturday, March 16, 2019

මන්දාරම් අහස යට - හතලිස් තුන්වන කොටස


සද්ද ගොඩක් මැද්දෙන් පෙනුනු සුදු පාට එළියක් දිහාවට අසේලි ඉක්මනින් දුවලා යන්න හැදුවත් මොකක්දෝ දේකින් අසේලිව ආපහු ඇදලා ගන්න බවක් අසේලිට තේරුනා.ඔලුවේ දැනුනු ලොකු වේදනාවක් එක්කමයි අසේලි ඇස් ඇර්ඇරි.

ඇස් ඇරපු ගමන් අසේලිට පෙනුනේ සුදු පාට සිවිලිමක්.එතනින් එහා පැත්තේ ඇද අයිනේ මේධාවි පුටුවක වාඩි වෙලා හිටියේ නිදි කිරන ගමන්.ලොකු වතුර තිබහක් දැනුනු අසේලි වටපිට බැලුවා.මේසේ උඩ තිබ්බ වතුර එක දැකලා අසේලි අත දික් කරේ වතුර එක ගන්න හිතාගෙන.ඒත් එක්කම ඇදේ ගැස්සිල්ලට මේධාවි ඇස් ඇරලා බැලුවා.

"අක්කා...ඔයා නැගිට්ටද?" මේධාවි අහද්දි අසේලි ඔලුව වැනුවා.

"මොනවද ඕනේ?"

"වතුර..." අසේලි හෙමීට තොල් සෙලෙව්වා.

"ආ..." ඒ ඉක්මනින්ම වතුර වීදුරුවක් ගත්ත මේධාවි ඒක අසේලිට පෙව්වා.

වතුර බීපු අසේලි ආයෙමත් ඇදේ හාන්සි වුනා.

"ආදිත්‍ය කෝ..."

"ආ...එයාට දැන් හොදයි අක්කා" මේධාවි කිව්වේ අසේලිගේ ඇස් දෙක මග ඇරලා.
අසේලිට ආදිත්‍ය ගැන කිසිම දෙයක් කියන්න එපා කියන්න නිමන්ත කියපු හැටි මේධාවිට තාම මතකයි.

"කිසිම දෙයක් කියන්න එපා අක්කට ආදිත්‍ය ගැන.එයාට කොහොමද ඇහුවොත් හොදයි කියන්න.ඒ ඇති හොදටම" නිමන්ත කිව්වේ බොහොම තදින්.

"ඒත් ඇයි අයියා?"

"කියන දේ කරන්න චූටි" එහෙම කියලා නිමන්ත යද්දි ප්‍රශ්න ගොඩක් මේධාවිගේ හිතේ ඉතුරු වුනා.ඒත් නිමන්ත කවදාවත් අසේලිට වරදක් නොකරන බව මේධාවි දන්නවා.ඒ නිසාම මේ කියපු දේ ඒ විදියටම කරන්න මේධාවි හිතාගත්තා.

"එයාව ඩිස්චාර්ජ් කරලාද?" අසේලි ආයෙත් අහද්දි මේධාවි කල්පනාවෙන් මිදිලා අසේලි දිහා බැලුවා.

"අහ්...ඔව්...මේ ඔයාට වෙන මොනවත් ඕනේද? අම්මා ටිකකට එලියට ගියා.එන්න කියන්නද?" මේධාවි කලබලෙන් ඇහුවේ අසේලිගේ හිතින් නේ ප්‍රශ්න අමතක කරවන්න.

"ආ...ඔව්...අම්මා...කෝ...අම්මට එන්න කියන්න" අසේලි එක සැරේටම කිව්වේ කලබලෙන්.

අසේලි එහෙම කියපු නිසාම මේධාවි ජංගම දුරකථනය අතට අරන් ජනිතාට දුරකථන ඇමතුමක් දුන්නේ ඉක්මනටම කාමරේට එන්න කියලා.

"ඇයි අක්කේ මොනවද කල්පනා කරන්නේ? බය වෙන්න එපා.ඔයාව අල්ලන් ගිය අයගෙන් කීපදෙනෙක්ම අල්ලගෙන.ඉතුරු අයත් ඉක්මනටම අල්ලගන්නවා කියලා පොලිසියෙන් ආපු අය තාත්තට කියනවා මං අහගෙන" දුරකථනය විසන්ධි කරපු මේධාවි අසේලිගෙන් ඇහුවේ අසේලි කල්පනා කරනවා දැකලා.

"ආ...එහෙමද? ඒක හොදයි.මං මේ කල්පනා කරේ වෙන දෙයක්"

"ඒ මොකක්ද?"

"මේ චූටි...මං දන්නවා දැන් මට පේන හීන මොනවද කියලා" අසේලි කියද්දි මේධාවිගේ ඇස් ලොකු වුනා.

"ඒ කොහොමද? මොනවද ඒ හීන?"

" මං හිතන්නේ ඒ මට ඇත්තටම වෙච්ච දේවල්.පොඩි කාලේ.."

"ඒ කියන්නේ? අර කලුවර කාමර වල ඒවා?" මේධාවි අහද්දිම කාමරේ දොර ඇරුනා.

"අනේ සුදු දූ ඔයා ඇහැරුනාද?" ජනිතා අසේලි ලගට ආවෙම එහෙම කියාගෙන.

"ඔව්..අම්මා මට දැන් හොදයි"

"නංගි නැගිට්ට නිසා අපට දැන් ගෙදර යන්න පුලුවන් නේද අම්මා" ජනිතා එක්කම ඇතුලට ආපු නිමන්ත කිව්වේ අසේලි ලගට එන ගමන්.

"මුලින් පොඩ්ඩක් ආයෙත් ඩොක්ටර් ට පෙන්නලා ඉමු පුතා.ඔයා ගිහින් ඩොක්ටර් ට කියනවද" ජනිතා කියද්දි ඔලුව වනපු නිමන්ත කාමරෙන් ගියා.නිමන්ත යන දිහා බලන් හිටපු අසේලි බැලුවේ එයා ලගට වෙලා ඔලුව අතගාන ජනිතා දිහා.

"අම්මේ...මට අහන්න දෙයක් තියෙනවා"

"මොකක්ද සුදු දූ"

"මට ඇත්තම කියනවා කියලා මුලින් පොරොන්දු වෙන්න."

"මොකක්ද සුදූ ? අපි ඔයාට බොරු කිව්වේ කවද්ද" ඒ සැරේ නම් ජනිතා ඇහුවේ කුතුහලෙන්.

"පොරොන්දු වෙන්නකෝ අම්මා"

"හරි හරි ඔන්න පොරොන්දු වුනා.මොකක්ද ඉතින්"

"මාව පොඩි කාලේ කවුරුහරි පැහැරගත්තා නේද අම්මා" අසේලි අහද්දි ජනිතාගේ ඇස් ලොකු වුනා.

"පිස්සුද සුදූ...කවද්ද එහෙම දෙයක් වුනේ? ඔයාට විකාරද?" ජනිතා ඇහුවේ පුදුමෙන්

"අනේ අම්මා ඕකනේ ඉතින්..මං මේ විහිලුවට නෙවෙයි අහන්නේ.මං දන්නවා එහෙම වුනා කියලා.ඇයි ඉතින් ඔයාලා මට කියන්නේ නැත්තේ ඒ ගැන"

"මොනවද මේ කියවන්නේ දූ...එහෙම දෙයක් වෙලා නෑ කවදාවත්ම.මේ වගේ දෙයක් ගැන ඇයි මං ඔයාට බොරු කියන්නේ? මට නම් මේක තේරෙන්නේ නෑ.කවුද ඔයාට ඕක කිව්වේ?" ජනිතා ඇහුවේ පුදුමෙන්.

"කවුරුවත් කියලා නෙවෙයි මං දන්නවා.එහෙම වුනා" අසේලි ඒ සැරේ කිව්වේ ටිකක් තදින්.

"මොනවද චූටි මේ අක්කා කියවන්නේ? විකාරද?" අසේලිගේ කියවිල්ල නිසාම තරහ ජනිතාටත් තරහා ගිහින් හිටියේ.

"නෑ....මං කියන්නේ ඇත්ත...ඔයාලා මට කියන්නේ නෑ.මට අවුරුදු ගානක් තිස්සේ එක එක හීන පේනවා.ඒ පෙන්නේ මට වෙච්ච දේවල්ම තමයි.පිස්සු වගේ මට ඒ හීන ගැන හිතලම.ඒ ගැන ඇහුවම ඔයාලා කියන්නෙත් නෑ.මං වෙන කාගෙන්ද මේවා අහන්නේ?" අසේලි කියවගෙන යද්දි ජනිතා අහගෙන හිටියේ පුදුමෙන්.

"හීන? අර හීන තාමත් පේනවද? ඒත් අර තොවිලෙන් පස්සේ එක නැවතුනා නේද?" ජනිතා අහද්දි අසේලි වගේම මේධාවිත් ඔලුව වැනුවා.

"නෑ....නැවතුනේ නෑ.මං ඔයාලට කිව්වා නැවතුනා කියලා" අසේලි කිව්වේ ඇදේ අයිනට හේත්තු වෙන ගමන්.

"මොකක්ද මේ කතා වල තේරුම? චූටි ඔයාවත් මට කියනවද?" ජනිතා ඇහුවේ ඇත්තටම පුදුමෙන් බව අසේලිටත් තේරුනා.

"මං කියන්නම් වෙච්ච දේ..." එතකොටම දොර ලගින් ඇහුනු කටහඩට කට්ටියම ඒ දිහා බැලුවා.දොර ලග හිටගෙන හිටියේ අසේලිගේ තාත්තා ජයවර්ධන.

ඇතුලට ආපු ජයවර්ධන ජනිතා වාඩි වෙලා හිටපු සෝපාවේ කොණකින් වාඩි වුනා.

"මොකක්ද ඔයා කිව්වේ?"ජනිතා ඇහුවේ ජයවර්ධන දිහා හොදට බලන ගමන්.

"සුදු දූ ගේ ප්‍රශ්න වලට මං උත්තර දෙන්නම්.ජනිතා ඔයත් මට සමාවෙන්න මෙච්චර කල් මේවා නොකියා හිටියාට.සුදූ දූ අම්මා මේ මොනවත් දන්නේ නෑ.ඒ නිසා අම්මා එක්ක තරහා වෙන්න එපා"

"මොනවද ජයේ මේ කියන්නේ?" ජනිතා ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව.

"ඩොක්ටර් සර්ජරි එකක කියලා එන්න වෙලා යනවා කිව්වා.ආවාම ඩිස්චාර්ජ් කරන්නම් කිව්වා"එතකොටම දුරකථනයෙන් එහෙම කියාගෙනම කාමරේට ඇතුල් වුනේ නිමන්ත.ඒත් කාමරේ ඇතුලේ තිබ්බ නිශ්ශබ්දතාව දැකපු නිමන්ත එතනම නැවතුනා.

"මං ඔයාට පස්සේ කතා කරන්නම්" එහෙම කියපු නිමන්ත දුරකථනය විසන්ධි කරා.

"නිමන්තත් වාඩි වෙන්න" ජයවර්ධන කිව්වම නිමන්තත් සද්ද නැතුවම වාඩි වුනේ මොකක් හරි බරපතළ කතාවක් බව තේරුණු නිසා.

"මේ සිද්දිය වුනේ අපි නුවර ඉන්නකොට.අම්මට මල්ලි හම්බෙන්න ඉන්නකොට.චූටි ට මතක නැතුව ඇති.නිමන්තට මතකයිනේ නේද අම්මට මල්ලි හම්බෙන්න ඉන්නවා" ජයවර්ධන අහද්දි නිමන්ත ඔලුව වැනුවා.

"කෝ ඉතින් ඒ මල්ලි? " ඇහුවේ පුදුමෙන්
.
"ඉන්නකෝ කියන්න.මල්ලි හම්බවෙන්න ඉන්න ඒ කාලේ නිමන්ත ඉස්කෝලේ යනවා.චූටි එක්ක අම්මට තනියෙන් වැඩ කරගන්නත් අමාරු කාලේ.මාත් හැමදාම වැඩනේ.සුදු දූ ඒ ලග අම්මාගෙම යාලුවෙක්ගේ ගෙදර තමයි වැඩිපුර හිටියේ.ඒ අතරේ අම්මට මල්ලි හම්බෙන්න අමාරු වෙලා අම්මව ඉස්පිරිතාලේ නැවැත්තුවා" ජයවර්ධන එහෙම කියලා කට්ටියම දිහා බැලුවා.

"අම්මව බලන්න යන්නයි නිමන්තව ඉස්කෝලෙන් ගන්නයි එහේ මෙහේ දුවන අතරේ මට සුදු දූ ගන්න යන්න පරක්කු වුනා.ඒ අතරේ මං පරක්කු නිසා සුදු දූ තනියෙන් ගෙදර එන්න ඇවිත් තිබුනා.ඒ වෙලාවේ තමයි මගදි කවුදෝ කට්ටියක් සුදු දූව දාගෙන ගිහින් තිබුනේ වෑන් එකක"

"දෙයියනේ...." ජනිතාට ඉබේටම කියවුනා.

" සුදු දූ නෑ කියලා දැනගත්තම මට පිස්සු නොහැදුනා විතරයි.නිමන්තවයි චූටි වයි මහ ගෙදරට ගිහින් දාලා කාටවත්ම වෙච්ච දෙයක් නොකිය මං පාරක් පාරක් ගානේ සුදු දූව හෙව්වා." ජයවර්ධන එහෙම කියද්දි එයාගේ අත් දෙක වෙව්ලනවා අසේලිට පෙනුනා.

"ඒ අතරේ තමයි ආරංචිය ආවේ ඔයාට පුතා හම්බෙන්න අමාරු වෙලා කියලා.මං ඒත් ඔයා ලගට වත් නොගිහින් හැමතැනම සුදු දූ හෙව්වා.ඔයා ලග නම් අම්මලා හැමෝම ඉන්නවා.සුදු දූට වෙච්ච දෙයක් දන්නේ නැතුව මං පිච්චිලා මැරෙන්න ගියේ.ඔය විදියට මං පැය ගානක් දූ ව හෙව්වා.බැරිම තැන ඉස්පිරිතාලේ ට ගියේ ලොකු මල්ලිවත් එක්කගෙන දූව හොයන්න යන්න හිතාගෙන.එතකොට තමයි දැනගත්තේ පුතා ඉපදෙනකොටම නැති වෙලා කියලා" ජයවර්ධන එහෙම කියන ගමන්ම ඔලුවට අත තියාගත්තා.

"එතකොට සුදු දූ? මොකද වුනේ?" ජනිතා ඇහුවේ නොඉවසිල්ලෙන්.

"මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුනා.ෆෝන් එකක් තිබ්බෙත් නෑ ඒ කාලේ අතේ.මං ආයෙත් වාහනේ අරන් ගියේ පොලීසියට වත් යන්න හිතාගෙන.ඒත් මොකක්දෝ වාසනාවකට සුදු දූ හම්බුනා"

"කොහෙද නංගි හිටියේ?"මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු නිමන්ත ඇහුවා.

" අපේ ගෙදර පහු කරගෙනනේ පොලීසියට යන්න තිබ්බේ මතකද? ගෙදරට කිට්ටුව මග සුදු දූ බිම වැටිලා හිටියා.වෑන් එකෙන් යන මග දිගටත් මං බල බල ගියපු නිසා මං දැක්කා සුදු දූ වැටිලා ඉන්නවා."

"දෙයියනේ...ඉතින්..." ජනිතා කිව්වේ පපුවටත් අත තියාගෙන.

"මං ඒ වෙලාවෙම සුදු දූව අරන් ලග ඩිස්පෙන්සරි එකට ගියා.ඒ ඩොක්ටර් කිව්වේ දූට තියෙන්නේ කම්පනයක් විතරයි කියලා.සේලයින් එකකුත් දීලා එව්වා.ඩොක්ටර් කිව්වා වගේම පැයකින් විතර දූ ඇහැරුනා.ඒත් ප්‍රශ්නේ පටන් ගත්තේ ඊට පස්සේ"

"ඒ මොකක්ද?" නිමන්ත ඇහුවේ කුතුහලෙන්.

"දූට සමහර දේවල් අමතක වෙලා තිබ්බා.අම්මා ඉස්පිරිතාලේ කියලා දූ දැනගෙන හිටියේ නෑ.කොටින්ම සිද්දිය වෙන්න මාස ගානකට කලින් ඉදන් දේවල් අසේලිට අමතක වෙලා තිබුනා.ඒ සිද්දිය ගැන අසේලිට කිසිම මතකයක් තිබ්බේ නෑ.මං ඉතින් ඒ ගැන අම්මටවත් කාටවත් කිව්වේ නෑ.ඒ දවස් වල අම්මත් මල්ලි නැති වුනු එකේ හිතේ අමාරුවෙන් හිටියේ.මෙහෙම දෙයක් කියන්නත් පුලුවන්කමක් තිබුනේ නෑ" ජයවර්ධන කියද්දි ජනිතා ජයවර්ධන දිහා හොදට බැලුවා.

"ඒක නිදහසට හේතුවක් නෙවෙයි ජයේ...ඔයාට ඊට පස්සේ හරි මේවා කියන්න තිබ්බා මට.මගේ දරුවට කරදරයක් වත් වුනා නම් එහෙම" ජනිතා එහෙම කියන ගමන්ම කම්මුල දිගේ බේරුනු කදුලු බිංදුවක් පිහිදගත්තා.

"මගේ හීන ගැන ඉතින් තාත්තා දැනන් හිටියානේ.ඇයි අම්මා තොවිල් කරද්දිවත් ඒ ගැන නොකිව්වේ?" අසේලි අහද්දි ජයවර්ධන සුසුමක් හෙලුවා.

"ඔයාගේ අමතක වීම ගැන මං කතා කරේ නුවන් අංකල් එක්ක.මතකයි නේද නුවන් අංකල්.ඩොක්ටර් කෙනෙක් හිටියේ අපේ නුවර ගෙවල් ලග" ජයවර්ධන කියද්දි නිමන්ත වගේම අසේලිත් ඔලුව වැනුවා.

"එයා කිව්වා එහෙම අමතක වීමක් ආයෙත් මතක් වෙන්න ඉඩ තියෙනවා කියලා.සමහර විට ඒ හීන නිසා ඒක මතක් වේවි කියලා.ඒත් මට ඒ ගැන අම්මට කියන්න තරම් හිතේ ශක්තියක් තිබුනේ නෑ" ජයවර්ධන බිම බලාගෙන කියද්දි ගෙදර හැමෝම බලන් හිටියේ දුකෙන්.

"ඒක නෙවෙයි දැන් ඇයි මේ එක සැරේටම තාත්තා මේක අපට කිව්වේ" නිමන්ත ඇහුවේ සෑහෙන වෙලාවක ඉදන් එයාගේ හිතේ තිබුනු ප්‍රශ්නයක්.

"මං අහපු නිසා...මට මතක් වුනා මේ ඔක්කොම" අසේලි කිව්වේ හුස්මක් හෙලන ගමන්.

"එක පාරටම..." නිමන්ත ඇහුවේ පුදුමෙන්.

"අනේ මන්දා...ඒක නිකන් හීනයක් වගේ.ඒත් දැන් මට මතකයි"

"ඔක්කොම මතකද? ඔයාව පැහැරගත්ත අයව එහෙම?" ජයවර්ධන ඒ සැරේ ඇහුවේ උනන්දුවෙන්.

"නෑ එහෙම මතක නෑ.වාහනේ දාගෙන යනවා මතකයි.ලොකු කලුවර කාමරේක මං හිටියා.මං එතනට දානකොට තව ලමයි 5ක් විතර හිටියා.පස්සේ එයාලව එක්ක ගියා.මං විතරයි හිටියේ.කවුදෝ ඇවිත් දොර ඇරලා ඇතුලට ආවා.ඇතුල කරුවල නිසා එයා හිතුවේ කවුරුවත් නෑ කියලා.මං එයා ඇරපු දොරෙන් එලියට ඇවිත් දුවලා ගිහින් එතන තිබ්බ කාර් එක පිටිපස්ස ට නැග්ගා" අසේලි කිව්වේ හෙමීට හෙමීට මතක් කරන ගමන්.

"අපොයි දෙයියනේ..ඊට පස්සේ" ජනිතා කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඊට පස්සේ...ඊට පස්සේ....ලොකු මහත මිනිහෙක් කාර් එකට නැග්ගා.මට මතකයි තව එකෙක් කියනවා "ඒ ලුත් පොඩි කෙල්ලගේ ගෙදර මිනිස්සු පොලීසියට යනවද කියලා න් රෙන්" කියලා කිව්වා.කාර් එක නැවැත්තුවේ අපේ ගෙවල් ලගම වගේ. කාර් එක නවත්තලා කලු මිනිහා බැහැලා ගියා.  මං ජනේලෙන් බැලුවා මතකයි.කාර් එක අපේ තාත්තාගේ එක වගේම නිසා අරින්නත් අමාරු වුනේ නෑ.මං කාර් එකෙන් බැහැලා දොර වහද්දිම කලු මිනිහා ආවා.එයා කාර් එක අරන් ගියා.මං ගෙදර දැක්කා මතකයි.ඊට පස්සේ මට ආයේ මතක තාත්තා මාව වඩාගෙන ඉන්නවා"

අසේලිගේ කතාව හැමෝම අහගෙන හිටියේ පුදුමෙන්.

"අම්මෝ...අක්කේ පුදුම බේරිල්ලක් ඔයා බේරිලා තියෙන්නේ" මේධාවි කිව්වේ පුදුමෙන්.

"ඒකම තමා මාත් හිතුවේ" නිමන්ත එහෙම කියද්දිම කවුදෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.

"නිමන්ත බලන්න කවුද කියලා" ජයවර්ධන කිව්වම නිමන්ත නැගිටලා ගිහින් දොර ඇරියා.

"මට අසේලි බලන්න පුලුවන්ද?" දොර ලගින් ඇහුනු සුපුරුදු කටහඩක් නිසා අසේලි දොර දිහා හොදට බැලුවා.

දොර ලග හිටගෙන හිටපු කෙනා දැකපු අසේලිගේ ඇස් ලොකු වුනා.ඒත් වෙනසක් නොපෙන්වපු අසේලි කතා කරා.

"එන්න දේදුණු ඇතුලට...."

****************************************
පුලුවන් ඉක්මනින් කොටසක් ගේන්නම්..
කතාවේ අවසානයට කිට්ටුයි ❤️


ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment